Sunday, February 6, 2011

ගෙට ගෙවදීමේදී අනුගමනය කලයුතු වත් පිළිවෙත්

ගෙට ගෙවදීමට නැකැත් සෑදීමට එන බොහෝ දෙනා මතුකරන ප්‍රශ්න කිහිපයකි.

  1)ගෙයි වැඩ සම්පූර්ණයෙන් නිම නොකොට කාමරයක පමන වැඩ නිම කොට පදිංචි විම අගුණද?
  2) පිරිත් සජ්ජායනය කිරීම ගෙට ගෙවදීමට(කිරි ඉතිරවීමට) පෙර කළ යුතුද? පසු කළ යුතුද?
  3) ගෙට බඩු දැමීම (ඇඳන් අල්මාරි වැනි) ගෙට ගෙවදීමට ප්‍රථම කිරීම අසුභද?
  4) කිරි ඉතිරීමේදී එලකිරි භාවිතා කිරීම සුදුසුද? 


පිළිතුරු
  1)ගෙයි වැඩ සම්පූර්ණයෙන් නිම කොට ගෙට ගෙවදීම වඩාත් සුභ වුවත් වර්තමානයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ උපකරණ වල අධික මිල ගනන් හා වෙනත් වියදම් සලකා බැලූ විට ගෙයි වැඩ නිම කිරීමට වැඩි කාලයක් ගතවේ.මෙම හේතුව හා ඉන්න හිටින්න තැනක් ඉක්මනින් සාදා ගැනීමේ අවශ්‍යතාව නිසා කාමරයක්,කුස්සියක් වැනි කොටසක් සාදා එම කොටස්වලට අදාලව වහළ සාදා ඉක්මනින් ගෙට ගෙවදීමට සාමාන්‍ය හා අඩු ආදායම් ලාභී අය පෙලඹේ.ගෙයි ප්ලෑනයේ අත්තිවාරමට යටවන වර්ගඵලය,ජනෙල් උළුවහු සංඛ්‍යාව ...ආදිය වාස්තු විද්‍යානුකූලව  සකසා ඇත්තේ මුළු නිවසට අදාළ පරිදිය.එබැවින් මෙම ක්‍රියාව සුදුසු නැත.නැති බැරි කමට මෙලෙස සම්පූර්ණයෙන් වැඩ නිම නොකොට ගෙට ගෙවදුනත් හැකි ඉක්මනින් නිවසේ ඉදිරි වැඩ නිම කිරීම කළ යුතුය.
  2) පිරිත් සජ්ජායනය කළ යුත්තේ ගෙයි නිවැසියන් ගෙට ගෙවදී ලිප ගිණි මොලවා එම ගෙයි සෑදූ ආහාරයක් ඉදුල් කළ පසුය.ගෙට ඇතුල්වූ වහාම ආගමික කටයුතු කිරීම මගින් ආගමට තැන දීම සිදුවේ.මෙහිදී බොහෝ දෙනා ආගමික සිතුවිලි හා ජ්‍යොතිෂය පටලවා ගෙන ඇත.
  3) ගෙට ගෙවදීමට ප්‍රථම ඇඳන් මේස අල්මාරි වැනි ගෘහ භාණ්ඩ නිවස ඇතුලට දැමීම වරදක් නැති නමුත් ඒ සදහාද සුභ දිනයක් වේලාවක් තෝරා ගත යුතුය.ගෙට ගෙවදුන දිනයේ බඩු නිවස තුලට දැමීම වඩාත් සුදුසුය. 


 ගෙට ගෙවදීමේ නැකැත් තේරීමේදී දෛවඥයා විසින් සුභ වේලාවන් කිහිපයක් දිය යුතුය. 
    * ගෙට ඇතුල්වීමට සුභ වේලාව 
    * කිරි ඉතිරවීමට (ගේ මැද) සුභ වේලාව 
    * කුස්සියේ ලිප ගිණි මෙලවිමට (ගෙයි කිරි උතුරන වෙලාවටම කුස්සියේ ලිප ගිණි මෙලවිමද කළ හැකියි.)    
       සුභ වේලාව 
    * ආහාර අනුභවයට සුභ වේලාව 


 ගෙට ගෙවදීමේදී ප්‍රථමයෙන්ම ගෘහ මූලිකයා ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් (තාත්තා,අම්මා දරුවන්) ගෙට ඇතු ඇතුල් වීමේ නැකැත් වේලාව ආසන්න වන විට ඊට සූදානම් විය යුතුය.ප්‍රථමයෙන්ම නිවසට ඇතුල් විය යුත්තේ ගෘහ මූලිකයායි.නිවසට ඇතුල් වන විට රැගෙන යා යුතු සංඛේතාත්මක ද්‍රව්‍ය කිගිපයක් ඇත.ඒවා නම්
    * නැවුම් පොඩි වතුර කලයක්
    * කිරි භාජනයක්  (කිරි ඉතිරීමට ගන්න)
    * ආහාර අමුද්‍රව්‍ය(ලුණු සීනි හැර මිරිස්,තුනපහ,කුළු බඩු ලුණු සීනි ක්‍ෂය වන ද්‍රව්‍ය නිසා ගෙට ගෙවදීමේදී රැගෙන නොගොස් පසුව ගෙන යයි.)
    * බිත්ති ඔරලෝසුවක්
    * රන් රිදී බඩු ස්වල්පයක්(රන් බඩු පැලද යාම සුදුසුයි.)
    * සෙල්ලම් බඩු, පාසැල් උපකරණ වැනි දෑ
    * අතේ ගෙනයා හැකි සුඛෝපභෝගී විදුලි උපකරණයක්
    * රාජකාරී උපකරණ (ගෘහ මූලිකයාගේ රැකියාවට අදාළ,මේවා රැගෙන යාමේදී කිරි වතුර ආදියෙන් හානි නොවන පරිදි රැගෙන යා යුතුය.)
 මෙම භාණ්ඩ පවුලේ සාමාජිකයන් අතර බෙදා ගෙන යා හැකිය.නිවසට ඇතළු වූ විගස ආගමික කටයුතු කළ යුතු නිසා බෞද්ධ අය නම් බුදු පිළිමයක් රැගෙන ගොස් සුදුසු ස්ථානයේ තැන්පත් කිරීම ප්‍රථමයෙන් කළ යුතුය.
    සාමාන්‍යයෙන් ගෙට ඇතුල්වීමේදී ජ්‍යොතිෂවේදියා ලබා දී ඇති සුභ දිශාව සැලකිය යුතුය.නැකැත සෑදීමේදී ජ්‍යොතිෂවේදීන් නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන විට පෙනෙන දිශාවට සුදුසු ලෙස ගෙට ඇතුල්වන විට බැලිය යුතු දිශාව තේරිය යුතුය.ඇතුල්වන විට උතුරු දිශාව පෙනෙන නිවසකට දකුණු දිග බලා ඇතුල්වීම කළ නොහැක.පස්සෙන් පස්සට යාමද සුදුසු නැත.මරු සිටින දිශාවද මග හැරිය යුතුය.එබැවින් සුදුසු අනු දිශාවක් හෝ ජ්‍යොතිෂවේදියාගෙන් ලබා ගෙන එම දිශාවට බරව ඇතුල් විය යුතුය.
   නිවසට ඇතුල් විමේදී ප්‍රථමයෙන් නිවස තුලට තැබිය යුත්තේ දකුණු පාදයයි.
  නිවසට ඇතුල් වීමේදී පහත දැක්වෙන යහපත් සිතුවිලි වලින් යුතුව ඇතුල් විය යුතුය.
 " අද දිනයේ අභිනවයෙන් සිදුකරන මෙම ගෙට ගෙවදී කිරි උතුරා ලිප ගිණි දල්වා සිදුකරන මංගල්‍ය සාර්ථක වේවා.එමෙන්ම මෙම නිවසට ගෙවදී පදිංචි වූ පසු අප සියළු දෙනාටත් නිවසටත් දේපළ වලටත් පිහිට ආරක්‍ෂාව ලැබේවා.එය නිවස තුලදීත් ඉන් පිටතදීත් එලෙසම වේවා.එමෙන්ම අපට කිසි විටෙක සතුන් සර්පයන්ගෙන් ජලයෙන් ගින්නෙන් විදුලියෙන් කරදර නොපැමිනේවා.වාස්තු දෝෂ භූත දෝෂ වැනි අදෘෂ්‍ය කරදර බාධක ඇති නොවේවා.නිවසේ පියකරු බව ශාන්ත බව අලංකාරය නිතරම පවතීවා.ඉදිරියේදී නිවසේ යම් වෙනස්කමක් කලත් ඉන් වාස්තු දෝෂ වැනි දෝෂ ඇති නොවන පරිදි සිදුකිරීමට  වැඩ සැලසේවා.කිසිකලෙක අපිට බේබද්දන් පිස්සන් සල්ලාලයන් චන්ඩින්ගෙන් කරදර ඇති නොවේවා.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නීති ප්‍රශ්ණ සතුරු කරදර ඇති නොවේවා.අසල්වැසියන්ගෙන් කරදර ඇති නොවේවා.අපෙන්ද අන් අයට කරදරයක් හිරිහැරයක් නොවේවා.බේබද්දන් සල්ලාලයන් වැන්නවුන් මෙම නිවසින් ඉදිරි පරම්පරාවකදීවත් බිහි නොවේවා.සෑම විටම මෙම නිවස තුල සාරධර්ම ගුණ දහම් සුරැකේවා. "


 ගෙට ඇතුල් වූ පසු ප්‍රථමයෙන්ම කළ යුත්තේ ආගමික කටයුතු සිදු කිරීමයි.බෞද්ධ අපි බුදු පහන දල්වා තෙරුවන් නැමදිය යුතුය.අන්‍ය ආගමික අය ඊට අදාලව ආගමික කටයුතු කළ යුතුය.ආගමික කටයුතු සදහා ගත යුතු කාලය ඇතුල් වී කිරි ඉතිරවීම දක්වා කාලය අනුව තීරණය කළ යුතුය.


 අනතුරුව ගෙයි සාලයේ මැද ලිපක් සකසා (ගෙයි ටයිල්ස් අල්ලා ඇත්නම් වැලි ස්වල්පයක් අතුරා  ඒ මත ටකරමක් තබා ටකරම මත ලිප සාදා ගන්න) කිරි ඉතිරවීමට සූදානම් විය යුතුය. කිරි ඉතිරවීමේදී එලකිරි යොදා ගැනීම පිළිබදව විවිධ මත පලව ඇත. මීට කලකට පෙර රූපවාහිනී වැඩ සටහනකින් එක්තරා දෛවඥයකු ගේ මැද එළකිරි ඉතිරවීම විවේචනය කළේය.එලකිරි සතකුගෙන් ගන්නා දෙයක් බවත් එලකිරි ගේ මැද ඉතිරවීම ගේ මැද ලේ හැලුවා වැනි දෙයක් බව පවසා එලකිරි ඉතිරවීම නුසුදුසු බව එම දෛවඥයා පැවසුවේය.එදා සිට අපේ අය ගෙට ගෙවදීමේදී එලකිරි ඉතිරවීම නොකරති.බොහෝ දෙනා එලකිරි වෙනුවට පොල්කිරි ඉතිරවීම කරති.ඇත්ත වශයෙන්ම මෙය විකාරයකි.එලකිරි ඉතිරවීම ශාස්ත්‍රීය ක්‍රමයයි.
 කිරි ඉතිරවීමේ නැකැත් වේලාව ලෙස යොදා ගත යුත්තේ කිරි භාජනය සහිත ලිපට ගිණි දැල්වීමේ වේලාවයි.මෙම වේලාවටම කුස්සියේ ලිපේ කිරිබතකට ලිප ගිණි දැල්වීම කළ හැකිය.
    සාලයේ මැද කිරි ඉතිරෙන විට පවලේ සාමාජිකයන් සතුටු සිතින් එදෙස බලා සිටිය යුතුය.මෙම කිරි උතුරන අයුරින් අපටද කිරි ඉතිරී සෞභාග්‍ය උදාවේවායි පාර්ථනා කරන්න.
   එක එක පළාත් වල මෙම සාලයේ කිරි ඉතිරීමට පසු ක්‍රියාවන් විවිධය.උතුරා ගිය කිරි මුට්ටියේ ඉතිරි කිරි වලින් සකස් කර ගන්නා කිරිබතක් පවුලේ අය එකතු වී නැකතට අනුභව කර මුට්ටියට නිදන් වස්තු දමා යටලීයේ එල්ලයි.
 ඇත්ත වශයෙන්ම නිවසට ගෙවදීමේ කාර්යය සම්පූර්ණ වන්නේ නිවස තුල ලිප පත්තුවෙන් සැකසෙන ආහාරයක් නිවැසියන් නැකතට අනුභව කිරීමෙන් පසුවයි.

8 comments:

රත්ගමයා said...

එල එල....ලිපිය කියෙව්වා මුල ඉදලම...කොහෙන්ද අප්පේ මේ විස්තර

jhothishalanka said...

@රත්ගමයා
පාරම්පාරිකව ලැබුණු ශාස්ත්‍රීය දැනුම තමයි රත්ගමයෝ

Sagara said...

මට තාම ගුරුවරයෙකුගේ විස්තර ලැබුනෙ නෑනෙ. මාව මතකද මන්දා ?

jhothishalanka said...

@sagara
මතකයි මතකයි.මගේ ගුරුවරයා නම් තාත්තා ඒත් මම හුගක් දේවල් ඉගෙන ගත්තෙ මගේම උත්සාහයෙන්.අපේ පරම්පරාවේ හුගක් දෛවඥයො සිටියත් ඒ අයගේ කුසලතා විවිධාකරයි.අපේ තාත්තටයි මටයි හස්ත රේඛා, නිමිති ඇල්ලීම බැරි වුනත් සීයා ඒවටත් හොද දක්‍ෂයෙක්.මම ඔයාට කියන්න හැදුව ගුරුවරයා මට උගන්වා නැතත් එයා හොද දක්‍ෂයෙක්.අවාසනාවට එයා දැන් අසනීපෙන්.ජ්‍යොතිෂ පන්ති කරන තවත් හොද අය කීපදෙනෙක්ගෙ විස්තර මේක ලියල ඉවර වෙච්ච ගමන් ඔයාට මේල් කරන්නම්. ඒ නම් මෙතන ලියන්නේ නැහැ. එතකොට ඒක වෙලඳ දැන්වීමක් වගේනේ.ආර්.එච් විලියම් මහතාගේ පොත් බලන්න.

Sagara said...

ස්තූතියි ක්ෂණික ප්‍රතිචාරයට. මම email එක බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු සරණයි.

Unknown said...

වැදගත් ලිපියක්.. දැනටනම් මට ඕන වෙන එකක් නෑ.. ඒත් ඉස්සරහදි ඕන වේවි.. :D :D :D

jhothishalanka said...

@sagara
මම මේල් එකක් එවලා ඇති බලන්න

කුරුම්නියා said...

ඇත්තෙන්ම ගොඩක් වටින ලිපියක් මේක...කමෙන්ට් කරන්න බැරි උනාට ඔබේ හැම ලිපියක්ම වාගෙ මම බලනවා...මේ කාර්යය දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා...

Related Posts Plugin for WordPress, Blogger...