Saturday, November 8, 2014

2014 නෙවැම්බර් 02 සිදුවූ ශනි මාරුව ඔබේ ලග්නයට කොහොමද?


 ශනි මාරුව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් පසුගිය දිනවල වැඩි කතා බහක් විය.බොහෝ දෙනා ශනි මාරුව පිළිබඳ කතා බහ කලේ ශනි මාරුව යෙදී ඇති 2014 නොවැම්බර් 02 දිනට පෙර සිටය.ජ්‍යොතිෂය පිළිබඳ ලියැවෙන මෙම අඩවියේද ශනි මාරුව පිළිබදව සටහනක් ලිවීම එම ග්‍රහ මාරුවට පෙර සිදුවිය යුතු වුවත් අඩවියේ කතුවරයා වන මා හට පසුගිය දිනවල තිබූ අධික කාර්ය බහුල බව නිසා ඒ සදහා කල් වේලා මදි වීමෙන් එය අතපසු විය.කෙසේ හෝ ශනි මාරුව සිදු වීමෙන් පසු හෝ ශනි මාරුව ඔබේ ලග්නයට පොදුවේ බලපාන ආකාරය ගැන ලිවීමට සිතුවෙමි.

  ශනි මාරුව ආසන්නයේ හා පසුව තමාගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමට මා වෙත පැමිණි බොහෝ දෙනා සෙනසුරු මාරුව පිළිබඳ රූපවාහිණී,ගුවන්විදුලි හා පුවත්පත් වැඩසටහන් ලිපි කියවා බලා පැමිණි අය විය.එවැන්නන්  තමා නැරඹූ,කියවූ ලිපි ලේඛන විස්තර පිළිබඳව කතා බහ කරන්නට විය.වෙනදා මෙන් පුවත්පත් කීපයක තමාගේ ලග්නයට සෙනසුරු මාරුවේ බලපෑම විවිධ ආකාරයට දක්වා තිබීම පිළිබඳ මැසිවිලි නැගූ පිරිසක්ද විය.මෙවර මාධ්‍ය හරහා ඔවුන් වෙත අළුත් ගුලියක් ගිල්ලා එවා තිබුණි.
  “ශනි මාරුව ඇත්තටම තවම සිදුවී නැති බවත් තාරකා විද්‍යාව අනුව ශනි ග්‍රහයා තවමත් සිටින්නේ තුලා රාශිය එල්ලේ වන අතර ශනි වෘශ්ච්ක රාශිය එල්ලේ පිහිටන්නේ 2015 වසරේ මුල් කාලයේදීය“
  මෙවැන් අදහසක් එක්තරා මාධ්‍ය වැඩසටහනක් ඔස්සේ ප්‍රකාශයට පත් කොට ඇත.(ලේඛකයා මෙම මාධ්‍ය වැඩසටහන නැරඹීමක් නොකල අතර එය පැවසුයේ කවරකු විසින්ද යන්නද නොදනී) එම අදහස තාරකා විද්‍යාව අනුව සත්‍යය. නමුත් ජ්‍යොතිෂය හා තාරකා විද්‍යාව යනු ආකාර දෙකකි.මේ දෙක අතර ඇති වෙනස දන්නා අයට මෙම කාරණය ගැන අමුතුවෙන් විස්තර කල යුතු නැති නමුත් මා වෙත ජන්ම කේන්දුය පරීක්ෂා කිරීමට පැමිණි බොහෝ දෙනෙකුට මේ පිළිබඳව නිසි  අවබෝධයක් නොතිබූ නිසා ඒ පිළිබඳව කෙටි විස්තරයක් සදහන් කල යුතුය.
   ජ්‍යොතිෂයේ ප්‍රධාන සිද්ධාන්ත සැකසී ඇත්තේ නිරපේක්ෂ භෞතික සන්සිද්ධි මත නොව සාපේක්ෂ බලපෑම අනුවය.තාරකා විද්‍යාව අනුව පෘථිවිය ඇතුළු ග්‍රහයන් සූර්යයා වටා පරිභ්‍රමණය සිදුවුවත් ජ්‍යොතිෂයේදී සිද්ධාන්ත සැකසී ඇත්තේ පෘථිවියට සාපේක්ෂව හිරු ඇතුළු ග්‍රහ තාරකා පෘථිවිය වටා සිදුවන චලිතය සලකමින්ය.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් හා විවේචනය කරන්නන් තම විවේචන අපහාස උපහාස කරන්නේ මෙතැනින්ම ආරම්භ කරමින්ය.කෙසේ වුවත් ග්‍රහ වස්තුවක නිරපේක්ෂ බලපෑම ස්වභාවය ප්‍රායෝගිකව සිදු කල නොහැකි බවත් විශ්වයේ කිසිදු නිරපේක්ෂ දෙයක් නොමැති බවත් තාරකා විද්‍යාෙවන්ද හෙලිවී ඇත.යම් කිසි සමුද්දේශ රාමුවක් තුල (මෙහිදී පෘථිවිය) සිටින්නකුට හෝ පිහිටි දෙයකට(උදා මිනිහෙක්,සතෙක්,ගොඩනැගිල්ලක්,....) වෙනත් සමුද්දේශ රාමුවකින් හෝ එය තුල සිදුවන අන්තර් ක්‍රියාවක බලපෑම ඇතිවන්නේ නිරපේක්ෂ අයුරින් නොව සාපේක්ෂ අයුරිනි.පහත දැක්වෙන උදාහරණ කීපය සැලකූ විට ඉහත සංකීර්ණව දැක්වූ දෙය සරලව වටහා ගත හැක.
   * අපගේ සූර්යයා අද(2014 නොවැම්බර් 08) පුපුරා විනාශ වී ගියේයැයි මොහොතකට සිතන්න.පිළිවෙලින් අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ 10 ක් හා 100ක් ඈතින් වූ වෙනත් සෞර ග්‍රහ මණ්ඩල දෙකක සිටිනන්න්ට අපගේ සූර්යයාගේ විනාශ වීම දිස්වන ආකාරය විමසා බලමු.ආලෝක වර්ෂ 10 ක් ඈතින් පිහිටි ග්‍රහලොවට අපගේ සූර්යයාගේ පිපිරීම 2024 නොවැම්බර් 08 දින දිස්වී ඉන්පසු අපගේ සුර්යයා නොපෙනී යයි.නමුත් ආලෝක වර්ෂ 100 ක් ඈතින් පිහිටි ග්‍රහලොව සිටින්නන්ට අපගේ සූර්යයාගේ පිපිරීම දිස්වන්නේ 2114 වසරේ නොවැම්බර් 08 දාය.

   * තද වැසි ඇති දිනෙක දිනෙක ද්ව්ත්ව දුම්රිය මාර්ග අසල නිවසක සිටින අයකු  තම නිවසේ ජනේලයෙන් පිටත බලමින් වැහි බින්දු හරි සිරස්ව වැටෙන බවත් එම මොහොතේ එක් දුම්රිය මඟක ගමන් කල දුම්රියක සිටින අයකු දුම්රියේ ජනේලයෙන් බලා වැහි බින්දු තම දුම්රියේ ගමන් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇලව ඇඟ හැලෙන බවත් පවසන අතර එම මොහොතේ අනෙක් දුම්රිය මඟෙහි පලමු දුම්රියට පුතිවිරුද්ධ දිශාවට එම වේගයෙන්ම ගමන් කරන දුම්රියක සිටින මගියකු පවසන්නේ වැහි බින්දු වැටෙන්නේ තම දුම්රියේ ගමන් දිශාවට ප්‍රතිවිරුද්ධ ආනතියකින් බවය.

 තාරකා විද්‍යාෙව්දී මේ වන විට ශනි තුලා රාශියේ සිටින බවත් ජ්‍යොතිෂයේදී නොවැම්බර් 02න් පසු ශනි වෘශ්චිකයට යන බවත් වෙනස් ආකාරයට පැවසීමද මීට අනුරූපය.පෘථිවි අක්ෂයේ සිදුවන පූර්වායනය නිසා රාශි චක්‍රයේ සිදුවන වෙනස මීට හේතුවන ආකාරය මෙම අඩවියෙන්ම මීට පෙර අවස්ථා කීපයකදීම පෙන්වා දී ඇත.අළුත් අවුරුදු සංක්‍රාන්තිය අප්‍රේල් 12,13,14 ආසන්න දිනක සිදු වන බව සැලකුවත් තාරකා විද්‍යාව අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සිදු වන්නේ අප්‍රේල් 22 ආසන්න දිනකදීය.ඒ අනුව තාරකා විද්‍යාව මුල් කොට කටයුතු කිරීමට යතොත් අවුරුද්ද සැමරිය යුත්තේ අප්‍රේල් 22 දිනය.තව වසර 1000 කින් පමණ මෙම දිනය යෙදෙන්නේ මැයි මාසයේ මුල් දිනකය.නමුත් ජ්‍යොත්ෂයේදී සලකන්නේ අයනය සහිත(සායන) ක්‍රමය නොව අයනය රහිත(නිරයන) ක්‍රමය බව අමතක නොකල යුතුය.
----------------------------------------------------------------------------------------------------------
2014 නොවැම්බර් 02 ඉරිදා ශනි තුලා රාශියේ සිට වෘශ්චික රාශියට පිවිසේ.මෙම ශනි මාරුව ලග්න දොලහට බලපාන ආකාරය පිළිබඳ පොදු පලාඵල විස්තරයක් පහත දැක්වේ.එක් එක් අයගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම,දශා ක්‍රමය අනුව මෙම පොදු පලාඵල විස්තරයේ යම් විචලතාවන් ඇති විය හැක් වුවත් සමස්තයක් ලෙස මෙම පලාඵල විමසා තමන්ට සෙනසුරු මාරුවේ බලපෑම ඇතිවන ආකාරය දැන්‍රවත් වීම මැනවිය.

 මේෂ 
     මේෂ ලග්න හිමියාගේ ශනි පිවිසෙන්නේ අටවැන්නටය.සතුරු හා මාරක ස්ථානයට ශනි පිවිසීම සුභ නැත.ශනි අටවැන්නෙන් මිදී නවයට යන තුරුම(2017 වසරේ අග දක්වා) ශනිගේ අෂ්ඨම ඒරාශ්ඨක අපලය ගත කරයි.ඒරාශ්ඨකය ලබන විට උච්ච ගුරු දෘෂ්ටිය ශනි මතට වැටීම නිසා ආරක්ෂා බලයක් ඇතත් තුවාල අනතුරු සෞඛ්‍ය පීඩා ආදියෙන් ප්‍රවේශම් ආරක්ෂා විය යුතුය.මූල පද්ධතිය මුත්‍ර පද්ධතිය පීඩා ඇති කරයි.උපතේදී සදු 1 හෝ 8 සිටින අයට අපල කරදර වැඩි වන්නේ චන්ද්‍ර පීඩනයක්ද ඇති කෙරෙන බැවිනි.

වෘෂභ 
     මෙවර ශනි යන්නේ 7 වැන්නටය.විවාහඅපේෂිතයන්ට මෙය අහිතකර තත්ත්වයක් වුවත් ශනිට හත දිග්බල නිසා හා ගුරු දෘෂ්ටිය ලබන වසරේ මැද දක්වාම 7ට වැටෙන නිසා වෙනත් අංශ වලට හොඳයි.ගේ දොර ඉඩකඩම් සම්බන්ධව හා පුන්‍ය කටයුතු වලට යහපත්ය.ඉගෙනුම ලබන අයට පසුබෑම් ඇතිවිය හැක.උපතේදී සදු 7 සිටින අයට ශනිගේ චන්ද්‍ර පීඩනයක් ඇති නිසා අපලයි.

මිථුන
      ශනි පිවිසීම හයවැන්නටය.බොහෝ ජ්‍යොතිෂ මූලග්‍රන්ථ වල ශනි හයට සුභ ලෙස දක්වා ඇත.සතුරු මර්ධන බලයක් ලැබේ.උපතේදී සදු හයේ සිටින්නන්ට සෙම් හා වාත රෝග වැඩිවේ.මිථුන ලග්න හිමියාට ශනි සුභයෙකු නිසා හා ශනි මාරුව සිදුවන විට ලග්නාධිපති බුධ බලවත්ව සිටීම යහපත්ය.අධ්‍යාපන කටයුතු වලට හොඳයි.

කටක
     ශනි මාරුව පස් වැන්නට නිසා අධ්‍යාපනය ලබන කටක ලග්න හිමියන්ට බාධක ඉස්මතු කරයි.දරුඵල අපේක්ෂිත අයට අසුභයි.දරුවන් ඇති අයටද දරුවන්ගේ අසනීප හා වෙනත් කරදර වලින් මානසික පීඩා වැඩි කරයි.උපතේදී සදු පහේ සිටින අයට මෙම අපල වැඩියි.ලග්නයේ උච්ච ගුරු බලය නිසා යම් ආරක්ෂාවක් ලබාදේ.

සිංහ
      ශනි මාරුව සිව්වැන්නටය.ගේ දොර ඉඩකඩම් වැනි ස්ථාන කරදර වැඩියි.මානසික ඒකාග්‍රතාව බිඳ දමන කාලයකි.මව්ට අපලයි.හදවත් රෝග ලේ රෝග ඇති අයට පීඩාව වැඩියි.කේතු අටේ පීඩාවද ඇති නිසා සෞඛ්‍ය පීඩා වැඩි කාලයකි.

කන්‍යා
  වසර හත හමාරක් පුරා පැවති ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලය ගෙවී යාම විශාල සහනයකි.සෞඛ්‍ය පීඩා පැහැදිලිවම අඩු කරයි.හත අධිපති ගුරු 11 වැන්නේ උච්චව හතට දෘෂ්ටි වීම ශනි බලයෙන් තවත් හොඳවී මංගල යෝග උදාවටද හොඳයි.ප්‍රජා දේශපාලන කටයුතු වල නිරත අයගේ බලය වැඩිවේ.ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය සුබදායකයි


තුලා

    එතෙක් ලග්නයේ ගමන් කල ශනි ග්‍රහයා මෙවර ශනි මාරුවත් සමඟ ලග්නයෙන් මිදී දෙවැන්නට යාමත් සමඟ මානසික පීඩා කාර්ය බහුලත්වය අඩු කරන නමුත් ධන හානි තරමක් දුරට වැඩි කරයි.ශරීර සොබාව හා ශක්තිය අඩු කරයි.ඇස් උගුර ආශ්‍රිත පීඩා වැඩි විය හැක.උපතේදී සදු දෙවැන්නේ ඇති අයට තවත් අවු දෙක හමාරක් ඉදිරියට ඒරාශ්ඨක අපල ඇදී යයි.


වෘශ්චික

     ශනි මාරුවත් සමඟ එතෙක් 12 වැන්නේ ගමන් කල ශනි ලග්න ගත විය.සාමාන්‍යෙයන් ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලයකදී 12 වැන්නේ ගමන් කාලයට වඩා ලග්නයේ ගමන් කාලය අපල අඩු බවට සම්මතයක් ඇතත් වෘශ්ච්ක ලග්න හිමියාගේ 12 වැන්නට වඩා ලග්නය ශනිට නරකය.12 වැන්න වූ තුලාව ශනිට උච්ච හා යෝගකාරක බලයක් ඇතත් ලග්නයේ බල අඩුය.එබැවින් වෘශ්චික ලග්න හිමියන්ට මෙවර ශනි මාරුවෙන් සැලකිය යුතු සුභයක් නැත.නමුත් ජන්ම කේන්ද්‍රෙය් ස්වභාවය අනුව ඇතැම් විට තිබුණාට වඩා අපල අඩු විය හැක.මානසික පීඩා හිසේ රෝග සහෝදර සහෝදරියන් සමඟ ආරවුල් තත්ත්ව ඉස්මතු විය හැක.


ධනු

   ශනි මාරුවෙන්නේ එකොලොස් වැන්නේ සිට දොලොස් වැන්නට නිසා ශනි මාරුවත් සමඟ සියළු ධනු ලග්න හිමියන්ට ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලයක් ලබයි.සෞඛ්‍ය පීඩා ධන හානි තුවාල අනතුරු අවධානම වැඩිවේ.නීති ප්‍රශ්ණ සතුරු කරදරද වැඩිවේ.වාහන ගමන් බිමන් ආදියෙන් ප්‍රෙව්ශම් ආරක්ෂා වන්න.ගුරු මහ දශාව ගත කරන්නන්ට මෙම අපල දීම තරමක් දුරට අඩුවේ.ස්ත්‍රීන් නිසා කරදර නින්දා අපහාස ඇති විය හැක.


මකර

    ශනි මාරුව 11 වැන්නට නිසා ලග්න 12න් සුභම ඵල උදා වන්නේ මකර ලග්න හිමියන්ටය.උපතේදී සදු 11 වැන්නේ සිටින්නන්ට පවා චන්ද්‍ර පීඩනයට වඩා 11 වැන්නේ ලග්නාධිපත් ශනි බලය ඉස්මතුවේ.රැකියාව දියුණුව අධ්‍යාපනය පවුල් ජීවිතය සෞඛ්‍ය ආදී සෑම අංශයකින්ම සුභදායක තත්ත්වයක් ඇත.


කුම්භ  

    ලග්නාධිපති ග්‍රහයා වුවත් ශනි දස වැන්නට යාම රැකියා පීඩා ඉස්මතු කරයි.අටවැන්නේ රාහු පිහිටීමද නිසා වෙනදාට වඩා කාර්යබහුල අවිවේකී ගතියක් ඇති කරයි.වැඩියෙන්ම පීඩා විදින්නේ පාලන අංශයේ රැකියා වල නිරත අයයි.කෙසේ වුවත් කරදර වලට නොබියව මුහුණ දිමේ හැකියාවද ලැබේ.රාහු මහ දශාව ගත කරන්නන්ට ඇවිදිලි වැඩිවේ.අධ්‍යාපනයට යහපත්ය.


මීන

  උච්ච හා යෝගකාරක බලයෙන් වුවත් එතෙක් අෂ්ටම ඒරාශ්ඨක අපලව ගමන් කල ශනි අටෙන් මිදී නවයට ඒම යහපත්ය.සෞඛ්‍ය පීඩා තුවාල අනතුරු අවධානම පැහැදිලිව අඩු කරයි.ශනි අටෙන් මිදීමත් සමඟ පස්වැන්නේ උච්චව ගමන් කරන ලග්නාධිපති ගුරුගේ බලය හොදින් ඉස්මතුවේ.අධ්‍යාපනයට,දරුවන්ට,මංගල යෝග උදාව අපේක්ෂා සඵලවේ.


ශනි මාරුව ගැන පසුගිය ලිපි මෙතනින්

    
   

No comments:

Related Posts Plugin for WordPress, Blogger...