Sunday, May 22, 2011

"සුභ වේලාවට සීසර් කිරීම" හෙවත් "බඩේ ඉන්න ළමයට කේන්දර හැදීම"

 මේ කතාව බ්ලොග් එකට දාන්න ඉස්සෙල්ල දෙපාරක් හිතුවා.මොකද බැරිවෙලාවත් ඉදල හිටලා බ්ලොග් එකේ දාන මගේ වෘත්තීය අත්දැකීම් වලට සම්බන්ධ කෙනෙක් මේ විස්තර දැක්කොත් ඒක හරි නැති හින්දා.කොහොමත් දෛවඥයො වෙච්චි අපි වගේ අය තමන් ලගට එන අයගේ පෞද්ගලිකත්වය රකින්න ඕන.නැත්නම් ඒක අපේ වෘත්තියට අයහපත් බලපෑම් ඇති කරනවා.බ්ලොග් එකේ ලියන්නේ ඉතා තදින් දිගු කාලීන මතකයට කා වැදුනු දේවල් විතරයි.ඒවයිනුත් වැල්වටාරම් අයින් කරලා මේක කියවන අයට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි වැදගත් දේවල් තමයි ලියන්නේ.ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් නිසා පීලි පැනලා ලියන්නත් බෑනේ.

---------------------------------------------------------------------------------
      ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් කාලේ සාමාන්‍ය දරු උපත් වලට වඩා වැඩියෙන් සීසර් සැත්කම් මගින් දරුවන් බිහිවීම(බිහි කරවීම) වැඩිය.මුදල් අය කරන පෞද්ගලික රෝහල් වල සිදුවන දරු උපත් බොහොමයක්ම වගේ සිදුවෙන්නේ සීසර් සැත්කම් මගිනි. දරුවාගේ බිහිවීම සාමාන්‍ය ප්‍රසූතියකින් සිදුවීම අනාරක්‍ෂිත අවස්ථාවලදී ආරක්‍ෂාකාරී ක්‍රමයක් ලෙස සීසර් සැත්මක වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වුවත් විලි වේදනාවෙන් හා වෙනත් අපහසුතා වලින් අත්මිදීමට බොහෝ මව්වරු උවමනාවෙන්ම තම කුස තුල සිටින දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට සූදානම් වන අතර වානිජ වාසි ප්‍රයෝජන හා පහසුව සලකා ඇතැම් වෛද්‍යවරු සාමාන්‍ය ප්‍රසූතියකින් බිහිකල හැකි අවස්ථා පවා සීසර් සැත්කම සදහා නිර්දේශ කරති. 
  වෛද්‍යවරුන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට හිතවතුන්ට සීසර් සැත්කමක් කිරීමේදී තමන්ට අවැසි වේලාවක් ඒ සදහා යොදාගත හැකි වීමේ වාසියක් ඇත.දරුවකුගේ ජන්ම කේන්ද්‍රය සෑදෙන්නේ උපන් වේලාව අනුව නිසා මෙහිදී ජ්‍යොතිෂවේදියකු ලවා සුභ වේලාවක් සකසාගෙන ඒ අනුව බලවත් දරු උපතක් සාදා ගැනීමට ඔවුන්ට හැක.(මෙය දුටු ගමන් සමහරු කමෙන්ට් කිරීමට කලබල විය හැක.කලබල නොවී ලිපිය සම්පූර්ණයෙන් බලන්න).මෙම මානසිකත්වයේ සිටිමින් සුභ වේලාවන් අනුව සලකා බලවත් ජන්ම කේන්ද්‍ර ඇති දරුවකු ලබා ගැනීමේ මානසික රෝගය ලංකාවට පුරුදු කලේ ජ්‍යොතිෂවේදීන් නොව වෛද්‍යවරු හා ඔවුන්ගේ පවුල්වල අයය.පසුව ඔවුන්ගෙන් මෙය පුරුදු වූයේ ධනවතුන්ය.මෙය ආරංචි වූ සාමන්‍ය පන්තියේ අයද තම දරුවාද සුභ වේලාවකට සීසර් කරන්න බැරිදැයි රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කලහ.තමන්ගේ දරුවන් සුභ වේලාවන් වලට ගත්තත් අන් අයත් මෙය සිදු කිරීම තමන්ට කරදරකාරී නිසා බොහෝ වෛද්‍යවරු එවැනි ඉල්ලීම් කල අයට ඇහුන්කන් නොදී ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කලේ බලු බැනුම් බනිමින් උපහාසාත්මකවය.පසු කලෙක පෞද්ගලික රෝහල් සේවය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සුබ වේලාවන් අනුව සීසර් කීරීම හෙවත් "බඩේ ඉන්න ළමයාට කේන්දර හැදීමේ" උමතු රෝගය වැඩි වශයෙන් පැතිර ගියේය.මේ ලිපියේ ප්‍රධාන අරමුණ මෙම ක්‍රියාවේ ප්‍රායෝගික භාවිතය හා ක්‍රියාකාරීත්වය ප්‍රතිඵලදායක බව ගැන වැඩි වශයෙන් කතා බහ කිරීමය.
   මෙහි මාතෘකාවට පිවිසීමට ප්‍රථම මා ලද වෘත්තීය අත්දැකීමක් ගැන විස්තරයක් කතාවක ස්වරූපයෙන් ගෙනහැර පාමි.මේ පෝස්ට් එකෙන් පාඨක ඔබට ලබාදීමට බලාපොරොත්තුවන පනිවුඩයෙන් වැඩි කොටසක් එම කතාව කියවීමෙන්ම ඔබටම වටහා ගත හැක.
  අප ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු දිනක් මා හමුවට පැමිණියේය
     "මල්ලි අපේ නෝනට බබා හම්බවෙන්න දින වැටිලා තියෙන්නේ ලබන මාසේ 25 වෙනිදාට.අපි ස්කෑන් කරල බැලුවා දුවෙක්.ඩොක්ටර් මගේ හිතවතෙක්  ඒ නිසා අපිට සති එක හමාරකට විතර කලින් බබාව සීසර් කරල ගන්න පුළුවන්.සුභ වේලාවකට බබාව ගන්න පුළුවන් නේද?අනේ මල්ලි මේක ලොකු උදව්වක්."
    "මේ වැඩේ හුඟක් බරපතළ වැඩක්.ඇත්තම කියනවනම් මේක ශාස්ත්‍රීය අගෞරවයක්.ජ්‍යොතිෂවේදීන් මෙවැනි ක්‍රියා සිදුකිරීම නොකළ යුතු බවට පරණ පොත් වලත් ලියල තියෙනවා.අනිත් එක ඔය වැඩේ හරි මානසික යුද්ධයක්.ඒක දන්නේ අපි විතරයි."
    "අනේ මල්ලි එහෙම කියන්න එපා.මේක ඔයා මට මේ වැඩේ කරල දෙන්න. ලොකු උදවුවක්"
    "හොදයි එහෙනම් මට ඔයාලගේ කේන්ද්‍ර දෙකයි.ඩොක්ට සීසර් එක කරන්න පුළුවන් කිව්ව ඒ ඒ දවස්වල කාල පරාස ටිකයි.මට දීල යන්න.ඔයාගේ ටෙලිපෝන් නම්බරෙත් දීල යන්න"
 (මෙය මා විසින් දරුවකු සීසර් කිරීමට වේලාවක් සෑදීමට භාරගත් පළමු අවස්ථාව විය.පසු කලෙක මා විසින් දරුවන් සීසර් කිරීමට වේලාවන් හා වේලා පරාස කීප දෙනෙකුට ලබා දී ඇත.)
   දෙමව්පියන්ගේ කේන්ද්‍ර හා දොස්තර ලබා දුන් දින කාල වකවානු ඒ වෙලාවේම මා අතට දුන් හේ ගෙදර ගොස් දුරකථනයෙන් කිහිප වරක් කතා කරමින් දිනයන් හා වේලාවන් කිහිප වරක් වෙනස් කලේය.
    " ආ මල්ලි අර දින වලින් සෙනසුරාදා ඉරිදා දවස්වල හවස 5න් පස්සෙ වෙලාවක් ගන්න බැහැ.ඒ වෙලාවට ඩොක්ට චැනලින්"
   "අනේ මල්ලි අරකෙ තව කචල් එකක් තියෙනවා.බදාදා දවසෙ සිහි නැති කරන ඩොක්ට නිවාඩු.ඒ දවසත් අයින් කරන්න වෙනවා."
 අන්තිමේදී ඉතිරි වූයේ දින පහක් පමනි. ඒ දිනවලද යම් යම් කාල වේලාවන් විවිධ හේතු නිසා ඉවත් කිරීමට සිදු විය.
  ඉන්පසු මා ජීවිතයේ ප්‍රථම වරට සීසර් සැත්කම සදහා සුභ වේලාවක් ලබා දීමේ ක්‍රියාවට සූදානම් විය.ඇත්තෙන්ම මෙය එක් අතකින් මෝඩ උපහාසාත්මක වැඩක් සේ පෙනුනත් තවත් පැත්තකින් විශාල මානුෂික ගුණාත්මක ස්වරූපයක් දැරීය. මා එදා එය භාර ගත්තේ මඟ හැරීමට බැරිම නිසාවෙනි.නමුත් විශාල වගකීමකි.
  මා ඉතා විශාල කාලයක් ගෙන ඉතා සුපරික්‍ෂා කාරීව සලකා බලා දින කීපයක් හා එම දිනවලට අදාළ වේලා කිහිපයක් සකසා ඔහුට දැන්වූයෙමි.
 "අනේ මල්ලි මෙතන දින කීපයකම වෙලා තියෙනවනේ.මේකෙනුත් හොදම වෙලාවක් ගනිමුකෝ."
 "ඔය වෙලාවන් ටික මම හැදුවෙ හුගක් මහන්සි වෙලා.ඔය වෙලාවල් වලට හැදෙන කේන්ද්‍ර අයිති දරුවන් මානසික,සෞඛ්‍ය තත්ත්වය හැකියාවන් වලින් ඉහලයි.ආයුෂත් වැඩියි.හොද පින්වන්ත බල තියෙනවා.සැප සම්පත් ලැබීමේ බලයත් වැඩියි.දෙමව්පියන්ටත් හොදයි."
 "අනේ බොහොම ස්තූතියි.මල්ලි.මම එහෙනම් මේ වෙලාවන් ටික ඩොක්ටට දෙන්නම්.මොනව හරි උවමනාවක් වුනොත් මම කතා කරල කියන්නම්"
 එසේ පවසා ඔහු මා දුන් වේලාවන් රැගෙන ගියේය.නැවත දිනක් කතා කලේය.
  "අර දුන්නු දිනවලින් සිකුරාදා දිනයත් අයින් කරන්න වෙනවා.එදාට ඩොක්ටට හදිසි වැඩක් යෙදිලා.ඒ දවසහොදම දවසද දන්නෑ නේද?මමයි නෝනයි කැමති බබා ඩොක්ට කෙනෙක් කරන්න."
  "ඒ දිනේ මඟහැරුනට කමක් නෑ ඉතිරි වෙලා තියෙන වෙලාවක් ගන්න." මම කීවෙමි.
 කාලය ගතවිය.එක් දිනක් හදිසියේම  ඔහු මා හමුවට පැමිනියේය
   " අනේ මල්ලි අර වෙලාවල් වලට බබාව ගන්න බැරිව ගියානේ.නෝනට අමාරු වෙලා හදිසියෙන්ම බබාව සීසර් කරල ගත්තා.මම ආවේ බබාගේ වේලපත්කඩේ හදන්න." ඔහු නොසතුටෙන් මෙන් කීවේය.


 "කොපමන සුභ වේලාවන් තේරුවද දරුවකු මෙලොවට බිහිවීමට තීරණය වූ වේලාවක් ඇත.එය නියමයක් සේ සිදු වන්නකි.සාමාන්‍ය ආකරයෙන් හෝ අහඹු ලෙස හෝ සුභවේලාවන් අනුව සීසර් මගින් දරුවා මෙලාවට බිහිවන්නේ එය සිදු විය යුතු ආකාරයටය.කිසිවෙකුට එය වෙනස් කළ නොහැක.මව්කුස තුල ප්‍රථමවරට කලලයට ජීවය(විඥාණය) ඇතිවන විටම මෙලොවට බිහිවිය යුතු වෙලාව,ආයුෂ ප්‍රමාණය,ජීවන තත්ත්වය තීරණය වේ.මෙය පූර්ව කර්ම ශක්තිය අනුවමය.දෙමව්පියන්ගේ ජාන,මව්කුස තුලදී ලැබෙන පෝෂණය,මුහුණ දෙන බාධක,මානසික හා ශාරීරීක සැකසුම තීරණය වන්නේද කර්මානු රුපීවය.සුභ වේලාව තේරුවද එම වේලාවට දරුවා බිහිකිරීම කළ හැක්කේ ඒ සදහා දරුවාට වාසනා බලය ඇත්නම් පමනි.මව්කුස තුල මන්ද බුද්ධිකයකු ලෙස ශරීර අවයව ෙසෙල සැකසෙන ජීවියකුට කිසි විටෙක බුද්ධිමතෙකුට උරුම වූ ජන්ම වේලාවකට මෙලොවට බිහිවිය නොහැක.එමෙන්ම සකල ශරීර අවයව මනස මැනවින් සැකසුනු පින්වත් දරුවෙකුව පව්කාරයකුට උරුම වූ ජන්ම වේලාවකට උපද්දවීමට තරහා කාරයෙකුටවත් බැරිය." 



       

25 comments:

Anonymous said...

From where u graduated as a medical student ? What is your school and background ?

Anonymous said...

operation eken ipadenna niyamitha welawata kalin gaththoth mokada wenne...eka thama ea lamaya ipadenna niyamitha welawa kiyala kiyanna epa habay

kalalaya pilisida ganna kota welawak theeranaya wenawanam ,eeta kalin doctor gaththoth mokada wenne??
oya dakwapu athdakeema ahambayak witharay

හිස් අහස said...

ළමයට යහපතක් කරන්න හිතා ගෙන ඒ තාත්තා ඒ වගේ ක්‍රියාවක් කලත් ..එයාම දන්නේ නැතුව ඇති ඔය වැඩේ තියන බයානක කම .. ඔයවගේ අයට තේරුම් කරලා දෙන්නත් අමාරුයි ඔයා මේක පැහැදිලි කරන්න ගියානම් එයා තව ජ්‍යොතිෂය වේදියෙක් ගාවට යාවි

දේව් ගේ අඩවිය said...

ඇත්තටම ඔය වගේ මානසික තත්ව තියන අයව එක පාර වෙනස් කරන්න බැ... ඔයා මොනවහරි කිවා නම් අනිවර්යෙන්ම ඒ වැඩේ ඔයාට නැති වෙනවා... එත් වෙන්න තියන දේවල් ඒ විදිහටම වෙනවානේ

All in one....... said...

කවුරුත් කැමතියි තමන්ගේ දරුවන්ට යහපතක් වෙනවනම්. ඉතින් දෙමව්පියෝ විදියට ඒ අය තමන්ට කරන්න පුළුවන් විදියේ කරන්න පුළුවන් ප්‍රමාණයේ උත්සාහ ගන්නවා දරුවන්ට උපරිම යහපතක් කරන්න. මේකත් ඒ වගේ දෙයක් ...

Rajith said...

මේ කාරනේ මිට වඩා ගැබුරින් සාකච්චා කල යුතුයි කියලයි මගේ හැගිම.

අපි පොඩිකාලේ ගමේ කතාවක් තිබුනා එක පවුලක ලමයි දෙන්නව සුබ වෙලාව බලලා සිසර් කරලා අරන්තියෙන්නේ කියලා.
එක්කෙනෙක් ​වෛද්‍යවරයෙක් සහ එක්කෙනේක් ඉනජිනේරැවෙක් වෙන විදියට කියලා ඒ දවස් වල ඒ ලමයිනගේ වයස අවුරැදු 5 ක් විතර ඇති.

අවසානයේ ඒ දේ ඒ විදියටම උනා.

තව එකක් අපි ඕනැම සුබ දේකට සුබ වෙලාවක් බලනවානම් ඈයි මෙකට විතරක් බැරි නේද? බලන්න නොතැනු ගේකට අපි සුබ නැකතක් හදනවා මුල් ගල තියන්න.
දැන කවුරැහරි කියයි ගෙට කර්මය බලපාන්නේ නැහැ කියලා ඒත් ඒ ගෙයි සුබ අසුබ තාවය අනුව එය අයිති කෙනාට හොද විපාක නරක විපාක ලැබෙනවා නේද? එහෙනම් ගේ හදේන්ඩත් ඔනේ අර පුද්ගලයාගේ කර්මයට අනුව පෙර තිරනය වු වෙලා වකට නේද? ඒත් අපි පුරැද්දක් විදියට ගෙයක් හදන්ඩ නැකතක් හදනවා ඒ පෙරසිට කල නිසා නමුත් මේකාරනයේදි සමහරැ පස්ස ගහනවා හේතුව ඒ සදහා පෙර සිට අපට පුරැද්දක් නොතිබුනිසා.
මම නම් හිතන්නේ අතිතයේ සිසර් ක්‍රමය සාර්තක නැති නිසා පැරැන්නන් මේ ගැන උනන්දු නොවෙන්ඩ ඈති ඒත් අපි දැන් මේගැන උන්නදුවිය යුතුකාලය පැමින ඈතැයි මට සිතේ. තවද පැරැන්නන් පින්වත් දරැවෙක් ලැබිම සදහා ලිංගිකව ඒක් විමට සුබනැකැත් හැදුවා නේද? ඒ ඒකාලයේ ඒගොල්ලන්ට කල හැකිව තිබු එකම දෙයනිසා වෙන්ඩ ඈති.

තවද මේසදහා සුබ නැකතක් සැදිමේදි දෙමවුපියන්ගේ කේනදර පිරිස්සිය යුතුබව මාගේ හැගිමයි. ඒ සාදන නැකතේ උපදින දරැවා දෙමාපියන්ට යහපත්ද යන්න පිරික්සිමට පමනක් නොවේ.
මෙවැනි නැකත්ක් ඈති දරැවකු ලැබිමට එම දෙමාවුපියන්ට වාසනාව ඈද්දැයි ද යන්නත් පිරික්සියයුතුයි. නැතිනමි දෙමාපියන්ට වාසනාව ඈති උපරිම හොද නැකතක් සාදා දිය යුතුයි.

පන්සල් හංදිය said...

මනුස්සයෙක් ලබා තිබෙන කර්ම ශක්තිය වෙනස් කරන්න කාටවත් බැහැ ....

mayya said...

Earlier you were saying that it was wrong according to the ancient astrological books, but later you justify the same. Isn't it a contradiction.However this trend is financially beneficial for astrologers. May be this describe the contradiction :)))
(I do not have Sinhala typing right at this moment; sorry 4 that)

නදී said...

මමත් දවසක ටීවී එකෙන් දැක්ක ප්‍රසිද්ද ජෝතිශවේදියෙක් කියනව එයාගෙ දුවල දෙන්නම ගත්තෙ ඔය විදියට වෙලාව බලල කියල.

Anonymous said...

බොහොම අගනා ලිපියක්. මේ ගැන සෑහෙන හිතන්න තියෙනවා. එක අතකින් ඒ වගේ වේලාව බලලා සීසර් කරලා ගන්න එක ගැන වැරැද්දක් කියන්න බෑ.

බුදු දහම අනුව නම් ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව තමයි අම්මා කෙනෙකුගේ කුසක පිළිසිඳගන්නේ. බුදු හිමියන් පස් මහා බැලුම් බැලුවා වගේ බවුන් වඩා නැති කෙනෙක්ගේ පිළිසිඳ ගැනීම සිදුවන්නේ කරම ශක්තිය අනුව. මට නම් හිතෙන විදියට මේ පිළිසිඳගැනීමේදී ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රය තීරණය වෙලායි තියෙන්නේ. සමහර විටෙක ඒ පිළිසිඳ ගැනීමේ කාලය හරි හැටි නිගමනය කරගත නොහැකි නිසා තමයි දරුවෙක් මෙලොව උපදින වේලාව ජන්ම පත්‍රය හදන්න ගන්නේ. පිළිසිඳ ගැනීමේ සිට උප්පත්තිය දක්වා ගණිතමය හෝ ජ්‍යොතිෂයමය විදියට සම්බන්ධතාවයක් ඇති කියලයි මට හිතෙන්නේ.

ඒ නිසා මට නම් හිතෙන්නේ අපට කැමති වෙලාවට සීසර් කරැයි කියලා කර්ම ශක්තිය වෙනස් කරගන්න බෑ. වැරැද්දක් තියෙනවා නම් කියා දෙන්න.

jhothishalanka said...

@Anonymous 1
දෛවඥ කියන්නේ වෛද්‍ය කියන එක නෙවෙයි.දෛවඥයන් කියන්නේ ජ්‍යොතිෂවේදීන්ට

@Anonymous 2
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා කියන්න එපා කියපු උත්තරේම තමයි.

@හිස් අහස - ඔව් ඔව්

@සදරු ගේ ලෝකය - මේ වගේ වැඩ එන්නෙ නැති තරමටම හොදයි.

@All in one...... ඒ ගැන හිතල තමයි මමත් වැඩ කලේ යාළු

@Rajith ඔබගේ අදහස් දැක්වීම මාද අනුමත කරමි.මගේ පියා විසින් සකසන වේලාවකට එලියට ගත් වෛද්‍ය වරයෙකුගේ පුතකු මේ ලගදි වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වුනා.(සල්ලි වලට වෛද්‍ය උපාධි දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට නෙවෙයි නියම විදියට)එම වේලාව නියම කරන විට මගේ පියා පවසා ඇත්තේද ලමයා මේ වෙලාවට ගත්තොත් වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවෙකු වෙන බවයි.

@කල්හාර දිසානායක ඔබ හරි සුභ වේලාවට කරන සීසර් සැත්කමක් යෙදීමත් එක්තරා කර්ම ප්‍රතිඵලයකි.

@mayya පැරණි ඉන්දියානු පොත්පත් ස්වභාවික ක්‍රියාවලියන් වෙනස් කිරීමට යම්යම් ශාස්ත්‍ර බලවේග යොදා ගැනීම ශාස්ත්‍රීය අගෞරවයක් ලෙස සදහන් කර ඇත.ඔබ කියනා පරිදි මුලින් එය පවසා මමද එලෙසම කටයුතු කිරීම වරදක් බව පිළිගනිමි.මම උත්සාහ කරන්නේ යහපතක් කරන්නයි.මෙවැනි වැඩකට අතගහන්න පෙර දෙමව්පියන්ගේ කේන්ද්‍ර හොදින් පරීක්‍ෂා කරනවා.ඒ අයගේ උගත්කම පවුල් පරිසරය ගතිගුණ,ලෙඩදුක් විතරක් නෙවෙයි ඒ අයගේ පරම්පරා වල අතීතයේ සිටි අය වැඩ කටයුතු කල අන්දමත් සොයා බලනවා.මම ඒව බලන්නේ හදන වෙලාවට දරුවව එලියට ගන්න වාසනා බලය තියෙනවද කියල බලන්න.මම දුන්නු වෙලාවල් වලට සීසර් කරපු බබාලත් ඉන්නවා.ඒ අයගේ ජීවන තොරතුරු මා නිරන්තරයෙන් සොයා බලනවා.

@නදී - සුභ වේලාව නිවැරදිම විදියට හැදිල ඒ වෙලාවටම ගත්තනම් ආයේ දෙකක් නෑ දූලා දෙන්න ගොඩ.

@sameerausa - ඔබගේ අදහස මමද අනුමත කරමි.

Asanga said...

ජ්‍යෝතිෂ මුලධර්ම මා තරමක් දුරට හදාරා තිබෙනවා. දරුවාගේ උපත හුදෙක් අපගේ සැලසුමට අනුවම අපගේ පාලනයට යටත්ව සිදු වේ නම් එවැනි කේන්ද්‍රයක් විශ්ලේෂණය කිරීමේ තේරුමක් නැති බව මගේ අදහසයි. මෙහි ඉදිරිපත් කර ඇති සාක්ෂි කිහිපය ප්‍රමාණවත් නොවේ. ඔය කියන වෘත්තියකට දරුවකු ඇතුළු වීම වර්තමානයේ මහා ලොකු දෙයක් නොවේ. එය මහා විශිස්ටත්වයකට සාධකයක් නොවේ.

මගේ අදහස අනුවනම් ජන්ම කේන්ද්‍රය සැදීම වලංගු වන්නේ ස්වභාවික ක්‍රියාවලියකදී පමණක් බවයි. අහඹු වේලාවකදී, එනම් හිතා මතා තෝරා නොගන්නා වේලාවකදී සිසේරියන් සැත්කමක් මගින් සිදුවන උපතකදී ජන්ම කේන්ද්‍රයෙහි වලංගුතාවය පර්යේෂණයකට ලක් කල යුතුයි. එය ඔබ වැනි දැනුවත් ජ්‍යෝතිර්වේදීන් අතින් ඉටු විය යුත්තක්. කෙසේ හෝ මෙම ක්‍රියාව ආචාර ධර්මවලට පටහැනි බවට ඔබ පැරණි ඉසිවරුන් අනුව යමින් පල කල මතයට මා එකඟයි. මන්ද යත් එය මානසික ව්යාකුලතාවයන්ට හේතු විය හැකි නිසා.

හරී said...

මොනදේත් ඕනාවට වැඩිය ඕනෙ නෑ කියනවනෙ.......

- නිල් අහස - said...

ජ්‍යෝතිෂය ගැන ලොකු අවබෝධයක් නැනත් ඔබගේ අඩවියෙන් ඒ පිලිබද යම් අදහසක් ගැනීමට උත්සාහ කරමින් සිටිමි.
මා නම් සිතන පරිදි පෙර කර්මානුරූපීව.. ජන්මය මෙන්ම ලද භවයෙහි සිදුවන දෑ.. තීරණය වන බවයි.

ඉන්දික said...

ha..ha..
ඔබතුමා මේ කියපු දේ සහතික ඇත්ත. මගෙ පුතු සීසර් කරල ගත්තෙ මගෙ රෝහලේදිමයි. ඒ ගන්න කළින් මගේ මිතුරු වෙදැදුරු තුමා මගෙනුත් ඇහුව " ඉන්දික හොඳ වෙලාවක් එහෙම තියෙනවද? අපි ඒ වෙලාවට ගනිමු" කියල..මම නම් ගත් කටටම කිවුවෙ ඔබතුමාගෙ සුබ වෙලාව මගෙ සුබ වෙලාවනේ..අපි පුලුවන් වෙලාවට ගනිමු කියලයි!

Anonymous said...

මහත්මයා,

ලන්ඩන් නගරයේ ඉපදුන අයෙකුට කේන්දරයක් සදා ගන්නේ කොහොමද?
දළ වශෙයෙන් පෑහෑදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
ලොකු උදව්වක් මහත්මයා.

-Nathan-

jhothishalanka said...

-Nathan-පල්ලෙහා ලින්ක් එකට ගිහින් කේන්දරේ ඔයාලටම හදා ගන්නනම් පුළුවන්.හැබැයි පලාඵල බලන්නනම් ජ්‍යොතිෂවේදියෙක්ගෙ උදවු ගන්න.මේකෙන් කේන්දරේ හදා ගන්න තේරෙන්නෙ නැත්නම් මට උපන් දිනෙයි වෙලාවයි කමෙන්ට් කරන්න.

http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx!

jhothishalanka said...

@-Nathan-
මේකත් බලන්න
http://lankajhothisha.blogspot.com/2010/10/blog-post_5576.html!

Anonymous said...

බොහොම ස්තූතියි ඔබට මහත්මයා.
මාගේ මවගේ සහෝදරියගේ කේන්දරය තමයි සාදා ගෑනීමට අවශ්‍ය්ය.
කේන්දරය කිව්වාට ලග්නය පමනයි ඈයට දෑන ගන්න ඔනී.
මොහොම ස්තූතියි මහත්මයා.

Anonymous said...

බොහොම ස්තූතියි ඔබට මහත්මයා.
මාගේ මවගේ සහෝදරියගේ කේන්දරය තමයි සාදා ගෑනීමට අවශ්‍ය්ය.
කේන්දරය කිව්වාට ලග්නය පමනයි ඈයට දෑන ගන්න ඔනී.
මොහොම ස්තූතියි මහත්මයා.


-Nathan-

Bindi said...

පුංචි කාලේ ඉඳන් කේන්දර ගැන මගේ ඒ හැටි අවදානයක් නැහැ, එත්'' මම නොකෙරුවත් නොකරමි එය ගැරහීම'' .

ප්‍රධාන හේතුව මගේ කම්මැලිකම සහ කොවුර්ගේ පොත්වලට හෙම පිස්සු වැටි සිටීම. මගේ පළමු බබාට එන්න වුනේ හදිසියේ. ඩොක්ටට උදේ ආණ්ඩුවේ රෝහලට යන්න තියෙන නිසා උදේ හතට දෙවෙනියා ආවේ. මම හිතන්නේ ඒ තමයි එයාලගේ වේලාවන් .

පොඩ්ඩන්ගේ වේලාවන් බල කී ගතිගුණ හෙම නම් ටික ටික හරි. ඔබගේ මේ අඩවිය කියවා යමක් ඉගෙන ගන්න වෙසෙසින්ම ශාස්ත්‍රනුකුලව සරලව තේරුම් ගන්න කැමතියි.

Malith said...

මට මෙම ශාස්ත්‍රය ඉගෙනීම‍ට මහත් ආශාවක් ඇත.
ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?.........

jhothishalanka said...

@Malith
ඇත්තටම ජ්‍යොතිෂය ඉගෙනීම කළ යුත්තේ ස්වඋත්සාහයෙන්මයි.ඒක උපතින්ම ගේන්න ඕන.අපේ තාත්තා ජ්‍යොතිෂවේදියෙක් වුනත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ පොත්පත් බලලා.
ආරම්භ කළ යුත්තේ කොතනින්ද කියලා අහල තිබුනනේ
ලඟම තියෙන පොත් හලකින් (ගුණසේන වගේ)
* හෙන්ද්‍රක්ද සිල්වා හෙට්ටිගොඩ මහතා රචිත "ජීවිතය හා ග්‍රහයෝ"
* වෛද්‍යචාර්්‍ය ආර්.එච්.විලියම් මහතා රචිත "කේන්ද්‍ර හදන හැටි"
පොත් දෙක මිලදී ගන්න.ඉපැරණි ලිත් හොඩිය පොතකුත් සොයා ගන්න.විලියම් මහතාගේ "කේන්ද්‍ර හදන හැටි" පොත ගුණසේන ප්‍රකාශනයක් ඒ පොත මේ මෑතක් වෙනතුරු මිල තිබුනේ රු 90 ක් වගේ සුළු මුදලක්.මීට අමතරව 2011-2012 "ඈපා පංචාංග" හා "ලංකාපංචාංග ග්‍රහස්ඵුථ" ලිත් මිලදී ගන්න.මේ පොත් ටිකට රු 2000 ක් විතර යාවී.
ඊට පස්සේ "ජීවිතය හා ග්‍රහයෝ පොත" හා "කේන්ද්‍ර හදන හැටි" පොත් දෙක එක සමාන්තරව (දෙකම එකට වගේ ) හොදින් කියවන්න.(එකක් කියවල ඉවරවෙලා අනික කියවන්න එපා.)මේ පොත් කියවන විට ඒ හා සමාන්තරව වැඩ කරන්න.කේන්ද්‍ර හැදීම කරන විටත් සේරම ඉගෙන ගෙන ඉවරවෙලා කේන්දර හදන්න ගියොත් කවදාවත් කරන්න බැහැ.ජ්‍යොතිෂය ඉගෙන ගන්න ගමන්ම එහි භාවිතයන් පුරුදු පුහුණු වෙන්න ඕන.
කේන්ද්‍ර හැදීම හා බැලීම පුහුනු වීම ආරම්භ කරන්න ඕන තමාගෙම කේන්ද්‍රයෙන්.නමුත් තමන් උපන්න අවුරුද්දෙ පංචාංග ලිත හොයා ගන්න අමාරු නම් 2011 වගේ පංචාංග ලිතක් මිලදීගෙන ඒ අවුරුද්දෙ උපන්න තමන්ගෙ පවුලෙ හෝ ඥාති දරුවෙක්ගේ උපන් දිනේ වෙලාව අරගෙන හදල බලන්න පුළුවන්.විලියම් මහතාගේ "කේන්ද්‍ර හදන හැටි" පොතේ නම් උදාහරණ කේන්ද්‍රවලට අදාළ පංචාංග ලිත්වල අවශ්‍ය පිටුත් දාලා තියෙනවා.කේන්ද්‍ර හැදීම ඉගෙන ගැනීමට මේ පොත වඩාත් හොදයි.පංචාංග ලිත්වලත් අග හරියේ ජන්ම කේන්ද්‍ර හදන පාඩම් මාලා දක්වා ඇතත් ඒවා සියල්ල එක සැරේ බලන්න ගියොත් අච්චාරුවක් වගේ වෙනවා.ආර්.එච්. විලියම් මහතාගේ "ජ්‍යොතිෂ අත්පොත" මගින් කේන්ද්‍ර සෑදීම බැලීම පහසුවෙන් කරන්න උදවුවෙනවා.ඒකත් ගන්න.
කේන්ද්‍ර හැදීම ක්‍රමයෙන් ඉගෙන ගන්නා ගමන්ම කේන්ද්‍ර පරීෂාවට අදාළ සිද්ධාන්තත් එකින් එක බලන්න.ජ්‍යොතිෂය සිද්ධාන්ත සම්පූර්ණයෙන් ඉගෙන ගෙන ඉවර වෙලා අත ගහන්න බැහැ.ජ්‍යොතිෂය ඉගෙනීම රස්සාවක් ලෙස යොදා ගැනීමේ අරමුනින් ඉගෙන ගන්න එපා.
ජ්‍යොතිෂ පලාඵල සිද්ධාන්ත ඉගෙනීමට
* ආර්.එච්. විලියම් මහතාගේ "කේන්ද්‍ර බලන හැටි" පොත් 12න් (මෙය එක ලග්නයට එක බැගින් ඇත.) තමන්ගේ ලග්නයට අදාළ පොත පමනක් මුලින් මිලදී ගන්න
* හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ "පලාඵල කියන හැටි" පොතත් ගන්න.
මේවා අනුව සලකමින් පළමුව ජ්‍යොතිෂය ඉගෙන ගන්න ඉන්පසු
* "භාව කුතුහලය","හෝරාහරණය","සාරාවලිය","වෘහත් සංහතිකාව" ,..... ආදී පැරණි පොත්පත් වලට යන්න.

ජ්‍යොතිෂය ඉගෙන ගැනීමට ගුරුවරයෙක් අවශ්‍යම නැහැ.මේ බ්ලොග් එකට පිටරටක ඉදල "ජෝතිරත්න" කියල කෙනෙක් කමෙන්ට් කරනවා.එයාම කියල තියෙනවා එයා ජ්‍යොතිෂය ඉගෙන ගත්තෙ පොත් පත් වලින් කියලා.එයාත් ජ්‍යොතිෂවේදියකු තරමටම ඉන් සාර්ථක ප්‍රතිඵල ලබල තියෙනවා.ඇත්තම කියනවා නම් මමත් සංස්කෘත ශ්ලෝක ඉගෙන ගෙන ඒ අනුව පලාඵල කියන පාරම්පරික ජ්‍යොතිෂවේදීන්ට වඩා වෙනස් විදියට ජ්‍යොතිෂය ඉගෙන ගත්ත කෙනෙක්.අපේ තාත්තත් මුලින් මුලින් මට සංස්කෘත ශ්ලෝක කටපාඩම් කෙරෙව්වා.එහි යම්යම් ප්‍රතිඵල ඇතත් මගේ ජ්‍යොතිෂ දැනුම දියුණු වුනේ සරල සිංහල බසින් ලියවුනඑ පොත් පත් කියවීමෙන්.

සංකල්ප said...

මේ වගේ දේවල් වලින් උපදින දරුවන්ට සාමාන්‍ය කේන්දර හරි යනවද මන්දා. බලෙන් උපද්දවලා නේ තියෙන්නේ. දරුවෙක් උපදින එක සුබ දෙයක්.ඒක කවදා කොයි වෙලාවක උනොත් මොකෝ වෙන්නේ.

Sagara said...

ඔබට බොහොම ස්තූතියි. මම මීට මාස 6කට පෙර ඔබගෙන් මෙම ශාස්ත්‍රය ඉගෙන ගැනීමට උදව් ඉල්ලුවා. ඊට ඔබගෙන් ලැබුන යහපත් ප්‍රතිචාරය මත ඉගෙනුම ලැබූ මා අද වනවිට තනියම කේන්ද්‍රයක් ලිවීමට හැකි තත්වයක සිටිනවා. තවමත් ඉගෙනගනිමින් සිටිනවා කොහොමද පලාපල කියන්නේ නියලා. ඒකට තව සෑහෙන්න කල් යයි. මොකද මේ ශාස්ත්‍රය ඒ තරම් ගැඹුරුයි. මම මගේ පලාපල බලමින් ඉගෙන ගන්නවා. ස්තූතියි

Related Posts Plugin for WordPress, Blogger...