Saturday, March 31, 2012

"හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්නම ගුරුකමක් කරමු."

   ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය එකිනෙකට බැදී ඇතත් එකිනෙකට වෙනස් ක්‍ෂෙත්‍ර දෙකකි.බොහෝ දෙනා මෙ වෙනස වටහා ගෙන නැත.ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වල පැහැදිලි සත්‍යතාවක් ඇතත් වර්තමානයේ පුවත්පත් දැන්වීම් වල පෙනී සිටින රොඩී ශාස්ත්‍ර කරුවන්ගේ වංචා බොරු ක්‍රියාකාරකම් නිසා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගැන ජනතා විශ්වාසය පළුදු වී ඇත.තමන්ගේ ජන්ම කේන්ද්‍රය සාදා ගැනීමක් වත් නොකොට ජ්‍යොතිෂය බොරු බොරු යැයි මොර ගසන බොහෝ දෙනෙක් රොඩී ගුරුකම් කාරයන් හා ජ්‍යොතිෂ ඇදුරන් අතර වෙනස වටහා ගෙන නැත.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන වැඩි පිරිසකගෙන් තමන්ගේ කේන්ද්‍රය පරීක්‍ෂා කොට නැත්දැයි ඇසූ විට ලැබෙන පිළිතුර වන්නේ

"අනේ මට ඔය කේන්දර ගැන විශ්වාසයක් නෑ ඒ හින්ද මම මගේ කේන්දරේ හදලවත් නෑ."
  මෙය හරියට තේ කෝප්පයකින් උගුරක් නොබී "මේ තේ එකට සීනි මදිනේ" යනුවෙන් පැවසීමක් වැනිය.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇති තවත් විශේෂ ලක්‍ෂණයක් වන්නේ අනිත් අයට ඇහුම් කන් නොදීමය.
  වශී ගුරුකම් කරුවන් කරන්නේ බොරුවක් බව මෙන්ම මුදල් ඉපැයීමට ඔවුන් ඕනෑම නින්දිත ක්‍රියාවක් කරන බව පෙර සිටම හැඟී ගොස් තිබූ නමුත් ඔවුනගේ ක්‍රියා අධීක්‍ෂණයකින් තොරව පූර්ව නිගමනයට එළැබීමෙන් මාත් ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන්ගේ තත්ත්වයටම සමාන වන බැවින් මෑත දිනකදී සති අන්ත පුවත්පතක පලවී තිබූ රොඩී ගුරුකම් කාරියකගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි.
  දුරකථන සංවාද පූර්ව නාදය ලෙස පටිගත කල කවි බනක් ඇසෙන්නේය.බෞද්ධයන් නොවන රොඩී කුලයේ අය කවි බන "කෝලර් ටියුන්" වලට දැමීම ගැන සතුටක් මෙන්ම දුකක්ද ඇති විය.එහා පසින් කාන්තාවක් කාරුණික හඩින් කතා කළාය.
කාන්තාව  - "හලෝ"
 මම  -     "හලෝ මේ ........... ගුරු මෑණියෝද"
කාන්තාව  -  "ඔව් දරුවා... මෑණියෝ තමා කතා කරන්නේ" කටහඩ පෙරටත් වඩා කාරුණිකය.
 "මෑණියෝ මම මේ කතා කරන්නේ ගාල්ලෙන්.ඉරිදා ලංකාදීප පත්තරේ දැන්වීමෙන් තමයි ටෙලිෆෝන් නම්මරේ හොයා ගත්තේ"
  "හොදයි දරුවා එහෙනම් කියමු බලන්න කාරනේ මොකක්ද කියලා."
  " පත්තරේ දැන්වීමේ තිබුනේ "පින් සලකා" ගුරුකම් කරනව කියලා ඒ කියන්නේ අපිට ගුරුකම් නිකං කරගන්න පුළුවන් නේද?" මා  මෝඩ  ස්වරූපයක් ආරූඩ කරගනිමින් ඇසුවෙමි."
  "පත්තරේ තිබුනු දේ ඔය දරුවා වැරදියට වටහා ගෙන.මේ වැඩ එහෙම නිකන් කරන්න බැහැ පූජා භාණ්ඩ වලට තමයි වැඩි පුර වියදම් යන්නේ අපෙන් සිදුවන සේවේ වටිනාකම ගැන හිතුමහම අපෙන් කෙරෙන්නේ පුණ්‍ය කටයුත්තක් තමයි.ඔය දරුවගේ ප්‍රශ්නේ මුලින් කියලා ඉන්නකෝ."
   "අනේ මෑණියනේ අපේ අල්ලපු ගෙදර ඉන්න ගෑනි අපිත් එක්ක තරහයි.මේ ගෑනි අපේ ඉඩමට නඩු දාලා අපේ ඉඩම කොල්ල කා ගන්න හදනවා.මට ඕන මේකිව හැදි ගෑවිලා යන්න ගුරු කමක් කරන්න."
 මා ඉතා දැඩි පලිගහණ ස්වරූපයෙන් කියාගෙන ගියෙමි.
   "හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්න ගුරුකමක් කරමු.දරුවාට පූජා භාණ්ඩ වලටයි අනිත් දේවල් වලටයි වියදම් කරන්න පුළුවන්ද?"
   මා විශ්මයට පත්කරමින් රොඩී ගුරුකම් කාරිය පැවසුවාය.ඇය එසේ පවසන විටම මගේ සිහියට ආවේ ඇගේ දුරකථනයේ කෝලර් ටියුන් එකෙන් ඇසුනු කවි බණයි.මා බොරුවට පැවසූ අසල්වැසි කාන්තාව හොදද නරකද විවාහකද අවිවාහකද දරුවන් සිටීද ආදී කිසිවක් නොඇසූ රොඩී කාන්තාව මුදල් ගෙවන්නේ නම් හැදි ගෑවිලා යාමට ගුරුකම් කිරීමට ලෑස්ති බව පැවසුවාය.සල්ලි ගෙවන්නේ නම් අම්මා තාත්තා වුවද විනාශ කිරීමට ඕඩර් භාර ගැනීමට ඔවුන් සූදානම් බවක් ගුරුකම් කාන්තාව පැවසූ දේවල් වලින් පසක් විය.
  "අන්න හොදයි මෑනියෝ මම අපේ දෙනියේ තේ කෑල්ල උකස් කරලා හරි සල්ලි දෙන්නම් කීයක් යයිද වැඩේට.මට ඕන කොහොම හරි මේ ගෑනිට පාඩමක් උගන්නන්න."
  රොඩී කාන්තාවගේ කපටිකම් එළියට ඇද ගැනීමේ උවමනාවෙන් මා පැවසුවෙමි.කතා කරන විට මෝඩ ස්වරූපයෙන් කතා කිරීමද මා විසින් සිදු විය.
"හොදයි එහෙනම් කියමු බලන්න තමන්ට කරදර කරන ගෑනු කෙනාගේ විස්තර කොහොමද කියලා"
 "එයා කෙට්ටුයි කළුයි.ටිකක් වෙන්න කෝපිකඩේ දයාවතීගේ පෙනුම තියෙනවා.නාහේ අග හරියේ උපන් ලපයකුත් තියෙනවා."
 "ඒ විස්තර නෙවෙයි මම ඇහුවේ  එයාගේ නම ලිපිනය ඉන්න තැන වගේ දේවල්."
 "ඒ ගෑනී ඉන්නේ අපේ ගෙවල් ලඟමයි.අර මහ රාත්තිරියේ දොට්ට කරන්න ගිහිල්ල දෙරකඩදි නයා ගහල මැරිච්ච සැම්පි ආච්චි දන්නවනේ.අන්න ඒ සැම්පි ආච්චිලගේ ගෙවල් ඉස්සරහින් තියෙන අඩි පාරේ හූ දෙකක් විතර ගියහම හම්බෙන මාර ගහ ගාව තමයි අපි ඉන්නේ. ඒ ගෑනිත් ඉන්නේ එතනමයි."
 ගුරුකම් කාන්තාව කෝප ගැන්වීමේ උවමනාවෙන්ම මා විසින් නැවත ගොන්පාට් එකක් දැමිමෙමි.නමුත් මා බලාපොරොත්තු වූ පරිදි කාන්තාව කෝප ගත්තේ හෝ දුරකථනය විසන්ධි කලේ හෝ නැත.
 "ඔය දරුවට මම කියපු දේ තේරුනේ නෑ මම ඇහුවේ ඕව නෙවෙයි තමන්ට කරදරයක් වෙලා තියෙන ගෑනු පරානේ නම ගම වයස වගේ දේවල්."
 " හරි හරි එයාගේ නම යසවතී. .................  යසවතී. මම බොරු නමක් හා ලිපිනයක් කීවෙමි."
  "හොදයි මම එයාව හැදි ගෑවිලා යන්න වින බන්ධනයක් කරන්නම්.ඔය දරුවා මෙහේට දවසක් එන්න ඕන.මම කියන විදියට වැඩ කරන්න ඕන.එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"
 " ඉතින් මෑනියෝ තාම ගාන කිව්වේ නෑනේ."
 "හොදයි වැඩේ හොදට කරල දෙන්නම් ගාස්තුව 6100 යි.ශත 20යි."
 "අනේ මෑනියෝ ගාන සැර වැඩියිනේ අඩු කරන්න බැරිද?"
 "තමුන්ට ඕන මේ වැඩේ කරගන්නනේ.ඇයි කලින් කිව්වේ මුදල් ප්‍රශ්ණයක් නෑ කියලා."
  එවර කතාව තරමක් දුරට සැරය.
"හරි හරි මම වැඩේට කැමතියි.එතකොට මම කොහොමද ඔතනට එන්නේ "
"මහනුවරට ඇවිත් මැණික්හින්නෙන් බැහැළ මගේ නම්බරේට කෝල් කරන්න.වෙන කොහේටවත් යන්න එපා"
 "ඇයි මෑණියෝ වෙන කොහේටවත් යන්න එපැයි කිව්වේ.මෑණියෝ විතරද හරියට ගුරුකම් කරන්නේ අනිත් අය කරන්නේ බොරුද?"
  "මේකනේ දරුවා අද කාලේ වැඩිපුර ඉන්නේ බොරු වංචා කරයෝනේ.ඉතින් දරුවව ඒ වගේ තැන්වලින් ආරක්‍ෂා කරන්න තමයි මම එහෙම කිව්වේ."
  මා අසන ගැටළු වලට කෝප නොගෙන සන්සුන් අයුරින් උත්තර දෙමින් කාන්තාව පැවසුවාය.
 "හොදයි එහෙනම් මම හම්භ වෙන්න එන්නම්.එතකොට මම මුදල් ගෙවන්නේ කොහොමද"
 "ඔය දරුවට පුළුවන් අද වුනත් අහවල් බැංකුවේ තියෙන මගේ ගිනුමට අත්තිකාරම් මුදලක් දාන්න.දාලා ඉවර වෙලා මට කියන්න.මම ඉක්මනින් වැඩේ කරලා දෙන්නම්."
 "හොදයි.මම ගිනුමට අත්තිකාරම් මුදලක් දාන්නම්."
 "මට මේ දරුවගේ නම්බරේ පේන්නේ නැහැ.මට ටෙලිෆෝන් නම්බරේ කියන්න"
 "0112688688"
 "ටිකක් හෙමින් කියන්න දරුවා ඔච්චර හයියෙන් කිව්වහම ලියා ගන්න බෑනේ"
 "0..1...1...2...6..8..8..6..8...8.."
 "හොදයි එහෙනම් සියළු දෙවි රැකවරනෙන් දරුවගේ වැඩේ සාර්ථක වෙන්න කියනවා.දෙවි පිහිටයි."
 කාන්තාවගේ අවසන් වදන හමුවේ මා නිරුත්තර විය.
 

11 comments:

නදී said...

අනේ අප්පෝ මේවටත් ගිහින් වැඩ කරගන්න මිනිස්සු අනන්තවත් ඇති.බලන්ඩකො පත්තරයක් අරන් ඔය මැනික් හින්නෙ ඇඩ් ගොඩ දාල තියන.

ශාකුන්තල | Shaakunthala said...

මේක කියෙව්වම බැලුම්ගල මතක් වුණා. :P

Very good blog. It's my first time here. :)
I'm reading the rest of the articles.

හිස් අහස said...

මේක කියෙවුවම මමත් ලියන්නම් කියලා හිතේ තියාන තැවි තැවී උන්නු එක කතාවක් ලියලම දාන එක හොඳා කියලා හිතුනා . අයියන්ඩි ..

ජෝතිරත්න said...

දෙවාරුඩයෙන් සාස්තර කියන තැන වල නම් ගම් එක්කම විස්තර කියන බව මන් අහල තියෙනවා.. එහෙම අසාමාන්‍ය විදිහට නම ගම විස්තර කියපු සිද්දියක් මන් පුද්ගලිකවත් දන්නවා. හීනෙකින් වත් හිතන්න බැරි විදිහට නම, ගම, ගෙදර ඇතුලේ විස්තර කියපු අවස්ථාවක්...

මාතලන් said...

අනේ මන්දා ගුප්ත විද්‍යාවෙත් හිතා ගන්න බැරි ඒවා තියෙනවා. මමත් ඇත්දැකීමෙන්ම අත්බූත දෙවල් හා බොරු ඇන්දිලි යන දෙකම දැකලා තියෙනවා...

හරී said...

ඒ ගෑණි ටැක්සියක ගිහින් තියා අහලවත් නෑ වගේ...

"ඒ ගෑනී ඉන්නේ අපේ ගෙවල් ලඟමයි.අර මහ රාත්තිරියේ දොට්ට කරන්න ගිහිල්ල දෙරකඩදි නයා ගහල මැරිච්ච සැම්පි ආච්චි දන්නවනේ.අන්න ඒ සැම්පි ආච්චිලගේ ගෙවල් ඉස්සරහින් තියෙන අඩි පාරේ හූ දෙකක් විතර ගියහම හම්බෙන මාර ගහ ගාව තමයි අපි ඉන්නේ. ඒ ගෑනිත් ඉන්නේ එතනමයි." මේ ටිකට ඒ ගෑණිට මළ නොපැන්නා පුදුමයිනෙ..

සමහරවිට අම්බානක මෝඩයෙක් කියලා හිතලා හොඳ ගානක් කපාගන්න නිකා හිටියද දන්නෙත් නෑ..

දූපත් වැසියා said...

// ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම වල පැහැදිලි සත්‍යතාවක් ඇතත් වර්තමානයේ පුවත්පත් දැන්වීම් වල පෙනී සිටින රොඩී ශාස්ත්‍ර කරුවන්ගේ වංචා බොරු ක්‍රියාකාරකම් නිසා ගුප්ත ශාස්ත්‍රීය ක්‍රම ගැන ජනතා විශ්වාසය පළුදු වී ඇත.// :- මටනම් කිසිම සත්‍යතාවක් නොපෙනේ. පැහැදිළිව එසේ කල හැකිව තිබ්බා නම් ප්‍රබාකරන්ට 30 වසරක් ඉන්නට තිබ්බේ ඇයි. මානසික බලපෑමක් මිස අන් කිසිවක් තිබේ යැයි ඔප්පු කල හැක්කෙකුට ලෝක ප්‍රසිද්දියට මෙන්ම කෝටි ප්‍රකෝටිපතියෙක් වන්නටද පුළුවන්ය.

ඇනෝපිලිස් said...

මම ඔබතුමාගේ බ්ලොගය නිතිපතා කියවන එහෙත් කිසිදා කොමෙන්ට් නොකල අයෙක්.. දැන් ලියන එක අඩුවෙලා වගේ පෙනුනු නිසයි මේ ඉල්ලීම... අපිටත් යමක් ඉගෙන ගන්න දිගටම නිතිපතා ලියන්න..... කොමෙන්ට් නොකලට අපි දිගටම ඔබත් එක්ක ඉන්නවා.... ස්තූතී.

දුකා said...

යකඩෝ . . . මේක බැලුම් ගලට දෙන්න වටින කේස් එකක් . . .

Unknown said...

ඔය වගේ දේවල් අද කාලෙ හාමුදුරැවරැත් කරන එක තමා හාතට දුක..සාසනෙත් ඉවරය්........

Anonymous said...

රොඩියන්ගෙ රොඩී වැඩ .මුන් මේ රටේ මෝඩයො අන්දනවා අන්තිම බලු විදියට

Related Posts Plugin for WordPress, Blogger...