Wednesday, December 22, 2010

2011 වසර ඔබේ ලග්නයට කොහොමද?

      සාමාන්‍ය ජනයා අතර ජ්‍යොතිෂය භාවිතා වීම ,ක්‍රියාත්මක වීම හා ප්‍රයෝජනයට ගැනීම සරලව විමසා බැලීමේදී පලාඵල බැලීම,නැකැත් සෑදීම,විවාහ පොරොන්දම් පරික්ෂාව යන අංග ප්‍රධාන චශයෙන් දැක්විය හැකියි.
මින් පලාඵල බැලීම සම්බන්ධව විස්තර දැක්වීම් සිදුකළ බ්ලොග් ලිපි කීපයක්ම වරින් වර ඉදිරිපත් කර ඇත.එම ලිපි ලිවීමේදී ජ්‍යෙතිෂවේදියකුගේ සාම්ප්‍රධායික දෘෂ්ටියෙන් හා අන්තවාදීවීමෙන් බැහැරව සාමාන්‍ය ජනයා විසින් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් දැනගත යුතු(ජ්‍යොතිෂවේදීන් විසින් සඟවා තබන ලද සැකකටයුතු හා ඇතැම් මතවාදාත්මක අවස්ථාවන්ද විනිවිද පෙනෙන අයුරින්)කරුණු කාරණා විදහා දක්වමින් අදහස් එලිදැක්වූ බව අවංකව පවසමි.එලෙස කරුණු දැක්වීම ජ්‍යොතිෂවේදියකුට නොවටිනා බව ඇතැම් අය චෝදනා කළත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උපරිම ඵල ප්‍රයෝජන සෑම පාර්ශ්වයකටම නිසි අයුරින් ලබා දීමත් කාලානුරූපීව ජ්‍යොතිෂය ආක්‍රමණය කරන වැරදි මතවාද හොර මගඩිකම් වලින් ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය ගෞරවය හෑල්ලු වීම වැලකීමත් අභිලාෂ කොට පිරිසිදු  හා සතුටු සිතින් එම ලිපි ලිවූ බවත් නැවත මතක් කරමි.අද දින ඉදිරිපත් කරන බ්ලොග් ලිපියෙන් අවධානය යොමුකර  ඇත්තේද ලග්න පලාඵල ඉදිරිපත් කිරීමේදී ඉපැරණි සිද්ධාන්ත අනුකූලව ප්‍රතිඵලදායක ලෙස සිදුවීම නොවීම පිළිබදව විමසා බැලීමක් හා විදහා දැක්වීමක් සිදු කිරීමටය.
                         ජ්‍යොතිෂ පුවත්පත් සඟරා ඔස්සේ නිරන්තරයෙන්ද රූපවාහිනිය,ගුවන් විදුලිය හා වෙනත් පුවත්පත් හරහා විශේෂ අවස්ථාවලදීද ජ්‍යොතිෂ පලාඵල අනාවැකි දැකිය හැකිය.රටරටවල් වල ඇතිවන සමාජ,ආර්ථික හා ස්වභාවික සංසිද්ධි පිළිබදවත් පුද්ගලයන් වශයෙන් එකිනෙකාගේ ලග්න වලට  බලපාන අයුරින් දක්වා ඇති මෙම පලාඵල අනාවැකි වර්තමානයේදී සාමාන්‍ය ජනයා අතරට සම්බන්ධ වීම සිදුවන ස්වභාවය සලකා පහත දැක්වෙන පරිදි වර්ග කළ හැක.(මෙවැනි වර්ග කිරීමක් පැරණි පොත්පත් වල හෝ වෙනත් කිසිදු ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථයක දක්වා නැති බවත් මෙය හුදෙක් ලේඛකයා විසින් තමාට දෘෂ්ථි වූ ආකාරයට දැක්වන වර්ග කිරීමකි.)
     1) ජනවාරි 01 දිනෙන් ඇරඹී දෙසැම්බර්31 දිනෙන් අවසන් වන කැළැන්ඩර වර්ෂයක් සදහා දැක්වෙන පොදු පලාඵල විස්තර
     2) සූරයයා මීනයේ සිට මේෂයට සංක්‍රමණය වන අවුරුදු සංක්‍රාන්තියෙන් ඇරඹෙන දින 365 ක කාලය සදහාවූ සංවත්සර පලාඵල විස්තර
     3)ග්‍රහ මාරුවක්, සංයෝජනයක්, සප්තමවීමක්, යුද්ධයක්, උදා, අස්ත, වක්‍ර,නිවෘති ආදී වෙනස් වීමක් මෙන්ම සූර්‍ය,චන්ද්‍ර ග්‍රහණ අවස්ථා වලදී යම් යම් කාල සීමාවන්ට අදාලව දක්වා ඇති පලාඵල විස්තර
     4)පුද්ගල ජන්ම කේන්ද්‍ර අනුව සලකමින් ඉහත දැක්වූ විශේෂ අවස්ථා වලට අනුරූප පුද්ගල පලාඵල විස්තර දැක්වීම
     5)රවි සදු ආදීන්ගේ චලිතය ප්‍රධාන වශයෙන් සලකා සිදුකෙරෙන දිනපතා,සතිපතා හා මාසික ලග්න පලාඵල විස්තර
     6)එක් එක් ජ්‍යෙතිෂවේදීන් තමන් විසින්ම සකසා ගන්නා ලද විශේෂ අවස්ථාවන්ට අදාළ කේන්ද්‍ර සටහන්(දිවුරුම් දීම්,නාම යෝජනා බාරදීම් වැනි)අනුව සිදු කරන දේශපාලන මැතිවරණ පලාඵල අනාවැකි.
     7)පරිසරයේ දක්නට ඇති විවිධ සන්සිද්ධීන් සතත්ව ක්‍රියාකරකම් හා වෙනත් නිමිති ක්‍රම අනුව ඉදිරිපත් කරන පලාඵල අනාවැකි.

  ඉහත දක්වන ලද 1),2) හා 3) වර්ග කිරීම් අනුව බැලූ විට ඉතා පැහැදිළිව පෙනී යන කරුණක් නම් ජ්‍යොතිෂයේදී දක්වා ඇති පලාඵල අනාවැකි ක්‍රමය අච්චාරුවක් හෝ පටලැවුනු නූල් බෝලයක් වැනි තත්ත්වයක ඇති බවය. ජනවාරි 01 දිනෙන් ඇරඹෙන වසර සදහා දක්වා ඇති ලග්න පලාඵල විස්තරත් අප්‍රේල් අවුරුදු සංක්‍රාන්තියෙන් ඇරඹෙන අවුරුද්ද සදහා දැක්වෙන පලාඵල වලත්(මෙම කාළ වකවානු වල පොදු කාළ සීමාව අප්‍රේල් සිට දෙසැම්බර දක්වා)වෙනස්කම් තිබීම සාමාන්‍ය ජනයාට ජ්‍යොතිෂය ගැන ඇති විශ්වාසය පළුදු විමට හේතුවේ.එමෙන්ම බොහෝ දෙනා සිදු කරන චෝදනාවක් වන්නේ එක්එක් පුවත්පත් වල දැක්වෙන දිනපතා,සතිපතා හා වාර්ෂික ලග්න පලාඵල එකකට එකක් වෙනස් වීම හා ජ්‍යොතිෂවේදීන් තුන් හතර දෙනෙකුගෙන් කේන්ද්‍රය පරීක්‍ෂා කල විට එකිනෙකා විවිධාකාරවූ පලාඵල දක්වන බවය.තමන්ගේ කේන්ද්‍රයට මේ දිනවල ඉතා භයානක අපල ඇති බව එක් ජ්‍යොතිෂවේදියකු කියද්දී තවත් ජ්‍යොතිෂවේදියකු  තමාට තරමක් අපල බවත් තවකෙකු තමාට ඉතා සුභ කාළයක් උදාවී ඇති බව පවසන අතර එනිසාම කේන්දර පලාඵල බැලීම නවතා "ඔන්න ඔහේ වෙන දෙයක් වෙච්චාවේ"යන මානසිකත්වයෙන් සිටින බව ඇතැමුන් පවසති.වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් අවිධිමත් ලෙස බිහිවන "ජ්‍යොතිෂ පාඨමාලා" නිසා මතුවන "එක රැයේ තරු" හා "වන් මෑන් ෂෝ" ජ්‍යොතිෂවේදීන් නිසාත් ජ්‍යෙතිෂ සේවය එක් තැනෙක කඩේට ගොස් පැනඩෝල් පෙත්තක් රැගෙන එන්නාක් වැනි තත්ත්වයකත් තවත් තැනෙක එය චැනල් දොස්තර මහතෙකු හමුවීම වැනි තත්ත්වයක පැවතීමත් මීට බලපෑ ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැක.
      සත්‍ය වශයෙන්ම ජනවාරි 01 දිනෙන් ආරම්භවී දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කැළැන්ඩර වර්ෂය සදහා පලාඵල දැක්වීමේ ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රමයක් නැත.මෙම වර්ෂ ක්‍රමය ඉංග්‍රීසි ක්‍රමයයි.මෙය හුදෙක් පුවත්පත් රූපවාහිනී වැනි ජනමාධ්‍ය වල වෙළඳ අවශ්‍යතාව සදහාත් "රට යන විදියට අපිත් යමු" යන ආදර්ශ පාඨය ඔස්සේ ගමන් කිරීමට ජ්‍යොතිෂවේදීන් විසින්ම සිදුකල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසත් දැක්විය හැක.ලග්න පලාඵල දැක්වීමේදී රජයේ ජනමාධ්‍ය කන්‍යා ලග්නයට නැති සුභ විදහා දැක්වීමත් රජයට විරුද්ධ මාධ්‍ය කන්‍යා ලග්නයට නැති අපල දැක්වීමත් නිසා "පුල් හොල්මන්"  වෙන්නේ 8.3% සසම්භාවී සම්භාවිතාවක් ඇති කන්‍යා ලග්නය හිමි සාමාන්‍ය ජනතාවයි. 
      දෙසැම්බර් 31 රාත්‍රී 12 න්(ජනවාරි 01 ආරම්භය) ඉංග්‍රීසි ක්‍රමයට ආරම්භ වන වර්ෂයට අදාලව කිසිදු ජ්‍යොතිෂ සන්සිද්ධියක් නැත.එවැනි දෙයක් ඇතොත් ඒ එම වේලාවට ග්‍රහ මාරුවක් සංයෝජනයක් යුද්ධයක් උදා,අස්ත,.. වැනි සංසිද්ධයක් ග්‍රහණයක් වැනි දෙයක් සිදු වුවහෙත් පමනි.එමෙන්ම ඉහත වර්ග කිරීමේදී දක්වන ලද 6 වැන්න විවිධ පාර්ශ්වයන් වල අවශ්‍යතාව සපුරාලීමට කරන මවා පෑමකි .මෙවැනි කටයුතු වලින් ජ්‍යොතිෂයේ ගෞරවය හෑල්ලුවේ.
                                              

5 comments:

මාරයාගේ හෝරාව said...

හොඳ ලිපියක්...
ඒ වගේම..උත්පත්තියේ ග්‍රහයෝ මොන ලොකේ හිටියද දන්නේ නැතිව පොදු පලා පල කියන එක ඒ තරම්ම සාර්ථක නැහැනේ..ටිකක් විතර ආසන්නව ලගින් යන්න කිව්වා උනත්..අහල ගං හතකින්වත් යන්නේ නැති වෙලාවල් ඔන තරං...
ඔන්න දැකලා නොදැක්කා වගේ යන්නේ නැතුව ආවා කියලා කියලාම ගියා...හරිනේ...

dinesh said...

අපිත් දිගටම ඉන්නවා................කෝකත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ.

jhothishalanka said...

@මාරයාගේ හෝරාව - බොහොම ස්තූතියි මාරයෝ.
@dinesh බොහොම ස්තූතියි.ඔයාගේ "අකේලේ හම්" බ්ලොගය දැක්කේ මේ ලගදි.ඔයාගේ ප්‍රොපයිල් ඒකට කලින් ඒක ඇතුල් කරලා තිබුනේ නෑනේ.ඒකත් මාර බ්ලොග් එකක්.ඔයාට හොදට ලියන්න පුළුවන්.සයන්ස් කරපු කෙනෙක් වෙලත් සිංහල අක්‍ෂර වින්‍යාස,ව්‍යාකරණ රැකගෙන බ්ලොගය ලිවීම ඉතාමත්ම අගය කරනවා.

Anonymous said...

බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට. ගොඩක් වටිනවා

The තරුවා said...

හ්ම්............

Related Posts Plugin for WordPress, Blogger...