Monday, December 27, 2010

නිවසක මූලික වාස්තු දෝෂ හදුනා ගනිමු

නිවසක වාස්තු දෝෂ ඇතිවන හා ඇතිවිය හැකි අවස්ථා

1)නිවස පිහිටි භූමියේ හැඩය,පිහිටීම නිසා ඇතිවන දෝෂ
2)භූමිය ආශිත බහිරව,භූත,අණවිණ,කොඩිවිණ වැනි දෝෂ
3)ඉඩමේ පාද බෙදීමේදී(බ්‍රහ්ම,දේව,මානුෂ,ප්‍රේත) සුදුසු පාදයේ නිවස සෑදීම මගහැරීමෙන් ඇතිවන දෝෂ
4)සැලසුම නිර්මාණයේදී ඇතිවිය හැකි දෝෂ(සැලසුම් නිර්මාණ කරු විසින් නිවසේ සැලසුම නිර්මාණය කිරීමේදී ගෙහිමියාට,භූමියට සුදුසු අයුරින් නොකිරීම හා අත්තිවාරමට පාද බෙදීමේදී,කාමර වෙන් කිරීමේදී,දොර උළුවහු ලකුණු කිරීමේදී හා සැලසුමේ වෙනත් අවස්ථාවලදී මර්මස්ථාන මගහැරීම නිසිලෙස සිදු නොවීම)
5)සැලසුම දෝෂ රහිතව ඇතත් මේසන්,වඩුවන් විසින් සැලසුම නිසිලෙස ක්‍රියාත්මක නොකරමින් ලණු ඇදීමේදී,බිත්ති බැදීමේදී,උළුවහු ජනෙල් තැබීමේදී,වහළ ගැසිමේදී නොදැනුවත්කමින් (හෝ උවමනාවෙන්ම) දෝෂ ඇතිවන පරිදි වැඩ කටයුතු කිරීම නිසා ඇතිවන දෝෂ
6)නිවස සාදා පසුකාලීනව සිදුකෙරෙන අවිධිමත් වෙනස් කිරීම්,අසල්වැසි නිවෙස් ඉදිකිරීම් වෙනස් කිරීම්,පරිසරයේ ගහකොළ පිහිටීම් ආදියේ සිදුවන වෙනස් වීම් නිසා ඇතිවන දේෂ


ඉහත දක්වන ලද දෝෂ පිළිබදව තවදුරටත් සලකා බලමු.
  1)භූමියේ හැඩය පිහිටීම නිසා ඇතිවන දෝෂ(මෙම හැඩතල දිස්වීම මෙහි දක්වා ඇති ආකාරයටම නැති වුවත් හොද පුරුදු කාරයෙකුට ඉඩමේ හැඩය කුමක්දැයි දුටු පමනින්ම වටහා ගත හැක.)
         වාසයට සුදුසු හැඩැති භූමි
         * හිස ඔසවා ගත් සිංහයකුගේ හැඩය(සිංහාකාර) ඉඩම
         * දෙපසට හැරුණු ඇත් යුවලක් හොඩ දිගුකොට සිටින හැඩැති(ගජාකාර) ඉඩම
         * ගවයකුගේ රුව හැඩැති(වෘෂභාකාර) ඉඩම(පූර්ව හා අග කොටස පටුය මධ්‍ය පෙදෙස පළලය)
         * කොඩි කනුවක හැඩැති(ඡත්‍රාකාර)(කොඩියක හැඩය ඇති පටු දිගු අග කොටසක් ඇති)
         * බේසමක හැඩය(වට ප්‍රදේශය උස්ව මැද උස්නොවූ)(ශිඛාකාර)
         * හිස බිමට ඔබාගත් සතකුගේ හැඩැති(පූර්ව කොටස නොඋස්ව හා අග කොටස උස්ව පිහිටි කුඩා බිම)(වරහාකාර)
         * බෙර සමක් සේ සමව මටසිලිටි ඉඩම(ජලතලාවක් මෙන්) (ජලතලාකාර)
         * මුල් කොටස පළල්ව පසුව පටුව ගලනා ගඟක් හැඩැති(ගංගාකාර)
         * බැලූ පමනින් සිත සනසන වලගොඩැලි රහිත (සාධාරණ) භූමිය


 වාසයට නුසුදුසු හැඩය ඇති භූමි
         * කළයක හැඩය ඇති(කුම්භාකාර)
         * ත්‍රිකෝණාකාර ඉඩම
         * චතුරස්‍රාකාර ඉඩම
         * පරිනායක්කාර(වටකුරු හැඩැති නමුත් බියක් උපදවන ස්වරූප ගනී.)
         * දිගින් වැඩි පළලින් අඩු(ආතාකාර) ඉඩම
         * රාක්‍ෂමුඛාකාර(රකුසු කටක හැඩැති) වටින් කදුගැට සහිත කඨෝර බිම් සහිත නැගෙනහිරට බෑවුම් වූ ඉඩම
         * සිළුමිණක හැඩැති(අයගනාකාර ඉඩම)
         * වේ තුඹස් කළු පස් අධිකව ඇති(කූඨ අෂ්ඨාකාර) ඉඩම
         * අටපට්ටම්,උදළු තලය ,පොරොව තලය හැඩය ඇති ඉඩම්
         * මැද පෙදෙස සමතලාව ඇතත් සෑම පැත්තටම බෑවුම් වූ(කූර්වාකාර) ඉඩම
         * බිත්තරයක(ඛේවලාකාර) ඉඩම (මධ්‍ය ප්‍රතිඵලයි)
  
 වාසයට නුසුදුසු වෙනත් භූමි
          හෙනගැසූ ඉඩම්,සොහොන් ඉඩම් 


 සැලකිය යුතු - වාසයට නුසුදුසු භූමියක් සුදුසු පරිදි සමතලා කිරීම් පස් පිරවීම් හා හැඩයේ සුළු වෙනසක් කිරීමෙන් වාසයට සුදුසු භූමියක් බවට පත්කර ගත හැක.(හෙනගැසූ හා සොහොන් ඉඩම් වාසයට සුදුසු වීමට කල්ගත විය යුතුය.)


 2) භූමිය ආශිත බහිරව,භූත,අණවිණ,කොඩිවිණ දෝෂ
         වස්තුවට භූමියට ආශාවෙන් පහල වූ කොට්ඨාශයක් වන බහිරවයන් පන්නා දැමීමක් නොකර ඔවුන්ගේ සිත් සතුටු කර(පොඩි පගාවක් දී) ඔවුන්ගෙන් බාධා ඇතිවීම වලක්වා ගෙන ආශීර්වාද ලබා ගැනීමේ ක්‍රමයක් පුරාතනයේ සිට පවතී.ඒ අනුව බලනවිට සෑම ඉඩමකව මෙම බහිරවයන් අරක් ගැනීම් ඇති අතර අදාළ පරිදි වත් පිළිවෙත් කිරීම සිදුනොවන විට ඉඩකඩම් ආශිත බහිරව දෝෂ මතුවේ.පාලුවට ගිය හිස් මුඩු ඉඩම් හා කලක් මනුෂ්‍ය වාසයෙන් තොරවූ ඉඩම් වල නිවාස සෑදීමේදී මෙම බහිරවයන් සතුටු කිරීම ගැන විශේෂයෙන් සැලකිය යුතුය.බහිරවයන් සතුටු කිරීමේ මෙම චාරිත්‍රය බහිරව පූජාව ලෙස හැදින්වේ.වඩාත්ම සුදුසු අත්තිවාරම් දැමීමට පෙර මෙම බහිරව පූජාව සිදුකිරීමයි.එය අතපසු වුවහොත් ගෙවදින විටදිවත් සිදුකළ යුතුය.බහිරව පූජාවක කොටසක වීඩියෝ දර්ශණයක් පහත දක්වා ඇත.(උපුටා ගැනීම- කේන්දර සිංහලෙන් බ්ලොග් අඩවිය(එම්.එච්.රෝහණ වසන්ත මයා))
                 මෙතනින් බලන්න
       බහිරව දේෂයට අමතරව භූමියේ පදිංචිව සිටි හෝ එයට ආශාවෙන් මිය පරලොව ගිය අය මරණින් පසු ප්‍රේත,භූත ආත්ම වල ඉපදී ඉඩමට අරක් ගනී.මෙම භූත බලවේග හා විවිධාකාර සතුරු කරදර අවස්ථා වලදී එම සතුරන් විසින් සිදුකරන අණවිණ,කොඩිවිණ,භූමි පාළු වලින් ඉඩමේ පදිංචි කරුවන්ට කරදර මතුවේ.මෙම දෝෂ පරම්පරා ගනනක් යනතුරුම බලපවත්වන අවස්ථා ඇත.මෙම දෝෂ වලින් ආරක්‍ෂාවීමට ,දෝෂ ඉවත් කිරීමට සුදුසු සාස්ත්‍රීය ක්‍රමද පුරාතණයේ සිටම අනුගමනය කෙරෙමින් ඇත.මීටත් අමතර වශයෙන් කිසිවකු හෝ සම්බන්ධ නොවී ස්වභාවික වශයෙන්ම නිර්මාණය වූ ස්වභාවික හූනියම්(සත්ත්ව ඇටකටු වැලලිම් වැනි)මගින්ද භූමි දෝෂ ඉස්මතු විය හැකි අතර ඒවා හදුනා ගැනීමට හා ඉවත් කිරීමට පිළිවෙත් ක්‍රමද පැරණි පොත්පත්වල සදහන්ය.


3)ඉඩමේ පාද බෙදීමේදී(බ්‍රහ්ම,දේව,මානුෂ,ප්‍රේත) සුදුසු පාදයේ නිවස සෑදීම මගහැරීමෙන් ඇතිවන දෝෂ
       ඉඩමක දිග පැත්ත සමාන කොටස් 7කටත් පළල පැත්තද එලෙස සමාන කොටස් 7කටත් බෙදු විට ලැබෙන මැදම කොටුව බ්‍රහ්ම පාදයත් ඊලග කොටු වලල්ල දේව පාදයත් ඊලග කොටු වලල්ල  මනුෂ්‍ය පාදයත් ඉඩමේ වැට මායිමට ආසන්න අවසන් කොටුව ප්‍රේත පාදයත්වේ.නිවස සෑදීමට වඩාත් සුදුසු දේව හා මානුෂ පාද හසුවනසේය.


4)සැලසුම නිර්මාණයේදී ඇතිවිය හැකි දෝෂ
       නිවසක ප්ලෑන ඇදීමේදී සැලසුම් ශිල්පියා විසින් ප්‍රථමයෙන්ම ඉඩම පරීක්‍ෂා කළ යුතුමය.මන්ද නිවස සෑදීමේදී වටපිටාවේ පිහිටීම ගහ කොළ අසළ නිවෙස් පිහිටා ඇති අයුරුද වැදගත් වන බැවිනි.ඉඩමේ හැඩය ගැන සලකා නිවස සෑදිය යුතු සුදුසුම ස්ථානය තේරිමද ඔහු සතු වැදගත් කාර්යයකි.(වර්තමානයේ ඉඩකඩම් සීමිත වීම හා ඒවායේ ස්වභාවය අනුව පොත් පත්වල දක්වා ඇති වාස්තු දෝෂ මගහැර වැඩ කිරීම අපහසු වුවත් හැකි උපරිම සුදුසු බව රැකිය යුතුය.)වර්තමානයේ බොහෝ සැලසුම් කරුවන් (සෙත්කවි සාදන්නන් එකම සෙත් කවිය නම වෙනස් කරමින් කිහිප දෙනෙකුට සපයන ආකාරයටම) පහසුව තකා එකම ප්ලෑනය යම් යම් වෙනස්කම් කරමින් කිහිප දෙනෙකුටම සපයති.සේවා දායකයන් ඒ ගැනද සැලකිළිමත් විය යුතුය.සැලසුම් කරුවන් මෙන්ම පාඨකයන්ද දැනසිටිය යුතු වාස්තු නීති ,දෝෂ යෙදීම් කිහිපයක් පහත දක්වා ඇත.අනුපිළිවෙල සම්බන්ධයෙන් පාඨකයන් මා හට දොස් පැවරිය හැකි නමුත් ඉතා සංකීර්ණ කෙෂත්‍රයක කොටස් බ්ලොග් ලිපියකට සම්පීඩනය කිරීමේදී ඉතාම සුදුසු ක්‍රමය මෙයයැයි මට හැගුණි.


නිවසක අත්තිවාරමට පාද බෙදීම
    නිවසේ(ඉඩමේ නොවේ) මුළු දිග සමාන කොටස් 15 කට බෙදු විට ලැබෙන තීරු පාද ලෙස හැදින්වේ. මෙම තීරු 15 පිළිවෙළින් නන්දා,භද්‍රා,ජයා,රික්තා,පූර්ණා,නන්දා,භද්‍රා,ජයා,රික්තා,පූර්ණා,නන්දා,භද්‍රා,ජයා,රික්තා,පූර්ණා ලෙස දක්වා ඇත.මින් නන්දා,ජයා,පූර්ණා පාද සුභපාද ලෙසත් භද්‍රා,රික්තා අසුභ පාද ලෙසත් දක්වා ඇත.සුභ පාදවල අත්තිවාරම් දැමීම දොර උළුවහු තැබීම කළ යුතුය.


නිවසක අත්තිවාරමට යටවන වර්ගඵලය(වඩු රියන් ක්‍රමයට)(වඩු රියනක් යනු දළ වශයෙන් අගල් 31කි) 
      * අටෙන් බෙදූ විට ශේෂය ඔත්තේ(1,3,5,7) වීම හොදයි.
      * මීට අමතරව මෙම වර්ගඵලය ඇසුරෙන් සිදු කෙරෙන 11 පොරොන්දම් පරීක්‍ෂාවේ අත්‍යාවශ්‍ය පොරොන්දම්  ගැලපීම සුභ වීම වඩාත් හොදයි.(මෙම පොරොන්දම් පරීක්‍ෂාව මෙහි දැක්වීම ලිපියේ සරල බව නැති කරයි.)


ගිනි කතිරය
  පෘථිවියේ භූචුම්භක උතුරු දිශාවත් සූර්යාලෝකය නිසා ඇසේ වර්තන ක්‍රියාවෙන් දෘෂ්ටියට වැටෙන උතුරු දිශාවත්  දැක්වෙන රේඛා කැපීයන කෝනයට අයත් ප්‍රදේශයයි. නිවසක අත්තිවාරමට ලණු ඇදීමේදී දෘෂ්ටි උතුරු දිශා රේඛාව තරමක් ඊශාන දිශාවට බර කොට ගැනීමෙන් මෙම ගිනිකතිරයට අත්තිවාරම අසුවීමේ දෝෂය මගහරවා ගත හැක.


මරු සුලම
      ඉඩමක අටකොන දිශාවන් එකිනෙකට කැපීයන හරි මැද ලක්‍ෂය


සියළු දෙනා දැන සිටිය යුතු නිවස ආශ්‍රිත ප්‍රධාන මර්මස්ථාන 
   1)නිවසේ අත්තිවාරම් මුළු යාකෙරෙන (විකර්ණ) රේඛා දෙක කැපීයන ස්ථානය ප්‍රධාන මර්මස්ථානයකි.මෙම ලක්‍ෂය හරහා උළුවහු නොවැටිය යුතුය.
   2)ඉදිරිපස බිත්තිය හරිමැද දෙකට බෙදීයන පරිදි ප්‍රධාන උළුවස්ස තැබීම අසුභය.ප්‍රධාන මර්මස්ථානයකි.
   3)නිවසක මුදුන් යටලීයට ලම්භකව හරිකෙලින්  පහල බැලූ විට උළුවස්සක,ජනේලයක හරි මැදට වැටීම,උළුවහු කදක හරි කෙලින් වැටීම,ජනේලයක ජනෙල් කදක් හරිකෙලින් වැටීම අශුභයි.ප්‍රධාන මර්මස්ථානයකි.
   4)නිවසේ බිත්ති සමානව දෙකට බෙදී යන පරිදි මුදුන් යටලීය හරි මැද තැබීම අශුභයි.ප්‍රධාන මර්මස්ථානයකි.
   5)ප්‍රධාන බිත්තිය හරහා මුදුන් යටලීය බිත්තිය හරි මැදදී එකට පිරිද්දීම අශුභයි.ප්‍රධාන මර්මස්ථානයකි.
   6)නිවසක හරි මැද(නිවසේ බ්‍රහ්ම පාදයේ මධ්‍ය ලක්‍ෂය)අපවිත්‍රව පැවතීම,වැසිකිළි ආදිය තිබීම අශුභයි.ප්‍රධාන මර්මස්ථානයකි.
   7)මුදුන් යටලීයට කෙළවරින් පරාල 3ක් එකට සම්බන්ධ කිරීම දෝෂයකි.
   8) නිවසක වහල් කාප්පයක් භද්‍රා,රික්තා පාද වලට හසුවීම ප්‍රධාන මර්මස්ථානයකි.


ද්වාර(දොරටු) වේධ දෝෂ හා ගෘහ වේධ දෝෂ
      ද්වාර වේධ දේෂ 18කි
        1)මාර්ග වේධ දෝෂ
                නිවසක ප්‍රධාන දොරටුව කෙලින් මාර්ගයක වංගුවක් වැටී තිබීම දෝෂයකි.
        2)වෘක්‍ෂ වේධ දෝෂ
               නිවසක ප්‍රධාන දොරටුව කෙළින්ම ආසන්නයේ විශාල වෘක්‍ෂයක්(ගසක්) පිහිටීම.
        3)කදිම වේධ දෝෂ
               නිවසක ප්‍රධාන දොරටුව කෙලින් ආසන්නයේ නිතර මඩවලක් තිබීම
        4)ජලනිර්ගමන වේධ දෝෂ
                නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් ආසන්නව ජලය ගලන(ඇලක් වැනි)මාර්ගයක වංගු වැනි හැරීයන ස්ථානයක් එක එල්ලේ වීම
        5) කුප වේධ දේෂ
                නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් ඉතා ආසන්නව ලිදක්,පොකුණක් තිබීම
        6)දේවතා වේධ දෝෂ
               නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් ඉතා ආසන්නව දේවාලයක්,දේවතා රුවක්,පිළිමයක්,ආගමික සිද්ධස්ථානයක් තිබීම
        7)ස්ථම්භ වේධ දෝෂ
               නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් ඉතා ආසන්නව ගල් කනුවක් කුළුණක් පිහිටීම
        8) සුසාන වේධ දෝෂ
               නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් සුසාන භූමියක සොහොනක්,සොහොන් කොතක්,ආදාහනාගාරයක් තිබීම
        9) කෝණ වේධ දෝෂ
                නිවසක ප්‍රධාන දොරටුව කෙලින් මාර්ගයක තුන්මං,හතරමං හන්දි වැටීම,අසල නිවසක, ඉඩමක මුල්ල වැටීම
       10) ද්වාර වේධ දේෂ
                නිවසක ප්‍රධාන දොරටුව හරිකෙලින් ආසන්න නිවසක ප්‍රධාන දොරටුව වැටීම,ඉඩමේ ප්‍රධාන ගේට්ටුව කෙලින් වැටීම
       11)වර්චස්ථාන වේධ දෝෂ
                නිවසක ප්‍රධාන දොරටුව කෙලින් වැසිකිළියක්,මලමුත්‍රා පහ කරන ස්ථානයක්,කුණුකසල රැස්වන ස්ථානයක් වැටීම.
       12) තිරස්චීන වේධ දෝෂ
                ප්‍රධාන දොරටුවට හරිකෙලින් ගව,අශ්ව,කුකුල්,ඌරු වැනි සතත්වගාල් පිහිටීම
       13) රජක වේධ දෝෂ
                ප්‍රධාන දොරටුව කෙලින් රෙදි අපුල්ලන,රෙදි සෝදන තැනක් පිහිටීම.
       14)  කුම්භාකාර වේද දෝෂ
                ප්‍රධාන දොරටුව කෙලින් කුඹල් හලක්(මැටි භාණ්ඩ සාදන) පිහිටීම
       15) ගනිකා වේද දෝෂ
                ප්‍රධාන දොරටුව කෙලින් ගනිකා මඩමක් තිබීම.
       16) මෙලෙච්ජ වේද දෝෂ
                ප්‍රධාන දොරටුව කෙලින් අහිකුණ්ඨක වැනි පහල පන්තියේ අය සිටින නිවසක් ලැගුම්හලක් තිබීම.
       17) රාජ වේධ දෝෂ
                ප්‍රධාන දොරටුව කෙලින් රාජ,අමාත්‍ය වැනි ප්‍රභූ නිවසක් තිබීම.
       18) බ්‍රහ්ම වේධ දෝෂ
                 නිවසේ ඉදිරිපස බිත්තියේ හරි මැද ප්‍රධාන දොරටුව තිබීම


   ගෘහ වේධ දෝෂ 10කි
        1) කෝණ වේධ දෝෂ
                   පදිංචි නිවසේ මුල්ලක් වෙනත් ආසන්න නිවසක මුල්ලක් එල්ලේ වීම
        2) දුක් වේධ දෝෂ
                 පදිංචි නිවසේ ප්‍රධාන දොර වෙනත් නිවසක ප්‍රධාන දොර  එල්ලේ වීම
        3) ජිද්‍ර වේධ දෝෂ
                 පදිංචි නිවස ඉදිරිපිට ඒ හා සමානම ගෙයක් තිබීම
        4) ඡායා වේධ දෝෂ
                 තමන් පදිංචි නිවසට අසල වෙනත් නිවසක සෙවනැල්ල වැටීම
        5) සෘජු වේධ දෝෂ
                 පදිංචි නිවසින් එක් පැත්තක ලොකු ගෙවල් හා තවත් පැත්තක කුඩා ගෙවල් තිබීම
        6) වංශ වේධ දෝෂ
                 නිවසේ බාල්කයක් වෙනත් නිවසක බාල්කයක් එල්ලේ පිහිටීම
        7) අග්‍ර වේධ දෝෂ
                නිවසේ බිත්තියක් වෙනත් නිවසක බිත්තියකට ලම්භ වනසේ පිහිටීම
        8) භූමි වේධ දෝෂ
                 නිවස පිහිටි ගෙබිමේ උතුරු නැගෙනහිර දෙදිසාවේ භූමි කොටස ගිලා බැස හෝ පහත් බිමක් වීම.
        9) සංඝාතක වේධ දෝෂ
                 නිවසේ උසින් අඩක් වන දුරක වෙනත් ගෙයක් වේද එම ගෙයි බිත්තිද පදිංචි නිවසේ බිත්ති හා සමාන උසින් පිහිටීම.
       10) දත්ත වේධ දෝෂ
                  පර්වතයකින් ඉවත්වුනු ගලක් නිවසේ බිත්තියකට එක එල්ලේ පිහිටීම

9 comments:

dinesh said...

සමහර එව්වනම් තේරුනේ නෑ ඕන්.....වැදගත් ලිපියක්.දැන්නම් පැල් කොටේ අටවල ඉවරයිලු.තාත්තල ඕව බලන්න ඇති.හික්..........

මාරයාගේ හෝරාව said...

බොහෝම විස්තරාත්මකව පැහැදිලි කිරීම් සහිත ලිපියක්.
හරිම වටිනවා...

Kanishka said...

වැදගත් ලිපියක්.. සිරාවට වටිනවා.

Anonymous said...

ඔය කියලා තියෙන හැම දේයම හරි මම ගෙය හදන කා​ලයේ ඕවා ගනන් ගත්ත කෙනෙක් නෙමෙයි නමුත් ඉන් මට මගේ ජිවිතයේ ගොඩක් බලපැම් එල්ල වුනා ගොඩක් දේ පසුව නිරාකරණය කර ගන්න පුළුවන් වුනා මුලික දේ වුනේ විශ්වාස නොකරිමයි පසුව ඉතින් ගොඩක් දේ තෙරැම් ගන්න පුළුවන් වුනා ඇතිවු ගැටළු නිසා මුදල් වියදම් වුනා ඒහෙම වුනේ කිසි දේයක් විශ්වාස නොකරපු එකයි නමුත් අර ඉඩම් වල ඉන්න පරණ ම්නිසුන්ගෙන් ඇතිවන බල පැම නම් ගොඩක් වැඩියි මෙ ලගදිත් අයින් කරනන් සිදු වුනා මෙවා වෙන්නේ අපිටමද කියලත් හිතෙනවා ගෙදර සැලැස්ම බැලුවේ හොදට දන්න කෙනේක් නමුත් ඒ යකා ඕක්කොම වරැද්දුවා මම නම් කියන්නේ කවුරැ හරි දේයක් කරන වා නම් හරියට දන්න කෙනෙක් ගෙන් හොයා බලන්න කියලයි වෙලා තියෙන්නේ මෙවා දන්න හරි කෙනෙක් හොයා ගන්න බැරි එකයි

Anonymous said...

anonymous comments allow karapu eka loku deyak.
wasthudosha gana dana gannawata wada pudgala kendra sambandayen dana ganna api wada kamathi.Eeta adala jyothisha danuma oben balaporottu wenawa..

Anonymous said...

nida ganna sudusu saha asuba disha thiyenawa kiyanne aththak da ehenam ewa monawada kiyala pahadhili karanna puluwan da ?

jhothishalanka said...

@Anonymous
මේ ලිපිය කියවල ඒකෙ කමෙන්ට්ස් බලන්න
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post_17.html

Anonymous said...

a great work ...

RANDEW GURUKULAYA said...

වඩු රියන අගල් 31 ලෙස ගැනීමට හෙතු ෙමානවාද? වඩු රියන අගල් 31 ලෙස සදහන් ගණිත චක්රයක් තිබෙද එක් රියන් එක් වියත් සිව් අගලක් යන පුරාණ මයිමතය අනුව අාවක් ද?
සමන්ත පාසාදිකා වියන අටුවාවෙ කියන වඩු රියන සාමාන්‍ය පුද්ගලයෙකුගෙ හස්ත ප්රමාණයකි. එය අගල් 24 ලෙස ෙබාෙහා දෙනා සලකයි. මයිමතය මය සෘෂි ගෙ මතයක් ෙනාවන බව අද ෙබාෙහා දෙනාගෙ පිළිගැනීමයි.
අගල ගණනයට වෙනස් යව ප්රමාණ සමහර තැන්හි දැක්වීම නිසා මෙම වෙනස්කම අැතිවී අැති බව මගෙ මතයයි. (එසෙ නොමැති නම් මා දැනුවත් කරන්න) යව අටින් සෑදෙන අගල ජිනාංගුලයට ද කර්මාංගුලයට ද ගතයුතු බව වරහමිහිරාචාර්ය තුමන් විසින් වෘහත් සංහිතාවෙහි විස්තර ෙකාට තිෙබ්.
මෙම ප්රශ්ණ කිරීම අවංකව ම දැනුවත් වීම සදහා ය.
මෙම ලිපිය සැබවින් ම වටිනා කමින් ඉතා උසස් ය. මෙලෙසින් දැනුම බෙදා දීම සදහා ඔබතුමන්ගෙ කාලය වැය කිරීම පිළිබද හිස නමා අාචාර කරමි
---තෙරුවන් සරණයි---