Thursday, February 17, 2011

ක්‍රිකට් තරග වැනි තරග වල ජය පරාජය පිළිබද අනාවැකි පැවසීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් අත ලගටම ඇවිල්ලා.ලංකාවේ අයටත් දැන් දැන් ක්‍රිකට් උනුසුම දැනෙන්න පටන් අරන්,(තරගවල ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම ගැන පුවත්පත් වල පලවන සටහන් වලින්ම මෙය පැහැදිලිවේ.)
ක්‍රිකට් උන්මාදය උග්‍ර වෙන්නේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම  තරගයෙන් තරගය ජයග්‍රහණය කරමින් කුසලානයට ලගා වන විටදීය.එය වයස් භේදයක් තත්තවය තරාතිරමක් නැතිවම දැකිය හැකි තත්ත්වයකි.
     ක්‍රිකට් වැනි තරගයක ජයපරාජය පිළිබදව තරගය පැවැත්වීමට පෙර දැනගත හැකි ක්‍රමයක් ජ්‍යොතිෂයෙන් හෝ වෙනත් ශාස්ත්‍රයක තිබේද?බොහෝ දෙනාට මෙම ගැටළුව මතුවූයේ පසුගිය කාළයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෝල් නැමැති මුහුදු බූවල්ලකු යොදාගෙන සිදුකළ අනාවැකි පළ කිරීම 100%ක් නිවැරදි ප්‍රතිඵල දීමයි.බූවල්ලා සිටින ටැංකියට තරගය පැවැත්වෙන රටවල් දෙකේ ලාංඡන සහිත භාජන දෙකක කෑම දමා ඇත.බූවල්ලා ප්‍රථමයෙන්ම ආහාර ගන්නා භාජනයට අයත් රට ජයග්‍රහණය කිරීම එම එම තරගාවලිය පුරාම දක්නට ලැබීම විශ්මිත සිදුවීමකි.මෙම ක්‍රියාව ආරම්භ කල මුලදී බොහෝ දෙනා අවඥාවෙන් බැලුවත් අනාවැකි 100%ක් සාර්ථක වන විට සැවොම බූවලු අනාවැකියට අවදානය යොමු කලහ.ලෝක කුසලාන තරගාවලිය පුරා පැවති අති විශාල තරග සියල්ලටම නිවැරදිව අනාවැකිය පළවීමත් එකදු අවස්ථාවකදීවත් නොවැරදීම පුදුම සහගතය. වාසනාවකට හෝ අවාසනාවකට පෝල් නැමැති එම බූවල්ලා දැන් මිය ගොස්ය.වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව සූදු ඔට්ටු කරුවන්ගේ ග්‍රහනයට හසුවී තිබීම නිසා පෝල් මිය යාම එක අංශයකින් හොදය.එසේ නොවුනා නම් ධනවත් බුකී කරුවන් කුලී ක්‍රමයට හෝ පෝල්ව මිලදී ගනු නිසැකය.
   මලල ක්‍රීඩා,පිහිනුම්,අශ්ව රේස් වැනි කණ්ඩායම්(රටවල්) කීපයක් එකවර තරග වදින ක්‍රීඩාවන්ට වඩා වරකට කණ්ඩායම් දෙකක් පමනක් තරග වදින පාපන්දු ක්‍රිකට් වැනි තරග සදහා මෙලෙස ජයපරාජය අනාවැකි අන්දමින් ඉදිරිපත් කිරීම බහුලව දක්නට ඇත.
   පාපන්දු ක්‍රිකට් වැනි තරගවල ජයපරාජය පිළිබද අනාවැකි පලකිරීමට සතුන් යොදා ගැනීමට අමතරව කාසි උඩ දැමීම ,කාඩ් පත් තේරීම වැනි විවිධාකාර ක්‍රම යොදාගත් අවස්ථා පසුගිය කාලයේ දක්නට විය.මෙවැනද අනාවැකි ඇතැම් විට සත්‍ය වූ මෙන්ම වැරදුනු අවස්ථාද විය.පසුගිය කාලයේ ලංකාවේ එක්තරා ජ්‍යොතිෂවේදියකු (ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාව කළේ මෙම ජ්‍යොතිෂවේදියා පමනි.) මෙලෙස ක්‍රිකට් තරග අනාවැකි ඉදිරිපත් කල අයුරු මෙම ලිපිය කියවන ඔබ අසා දැක තිබෙන්නටද පුළුවනි. කාසි කීපයක් උඩදමා හෝ කැටයක් පෙරලා ඉන් ලැබෙන අගයන් අනුව හා ගිරවකු ලවා ලබාගන්නා තුණ්ඩුවකට අනුව ඉදිරිපත් කෙරුණු මෙම අනාවැකි නිසා ජ්‍යොතිෂය හෑල්ලු වීමක් පැහැදිලිව සිදුවිය.පසුගිය ලෝක කුසලාන අවසන් තරගයට පෙරාතුව මෙවැනි ක්‍රමයක් අනුගමනය කරමින් "ශ්‍රී ලංකා ජය නියත" බවත් එය ස්ථිර බවත් මෙම පුද්ගලයා පැවසූවා ඔබට මතකද?
    ජ්‍යොතිෂයේදී  නැතිවූ බඩු,ප්‍රාණීන් පිළිබද මෙන්ම මල්වර ඵල ,සර්ප දෂ්ඨ,ඉදිරි ක්‍රියාවක සාර්ථක අසාර්ථක බව ජය පරාජය ගැන පැවසීමේ ක්‍රමයක් ඇත."තත්කාල නිමිත්ත" ලෙස හැදින්වෙන මෙම ක්‍රමයේදී සපුරාලිය යුතු හා සපුරා ගත යුතු අනිවාර්්‍ය හා ප්‍රමාණවත් අවශ්‍යතා කීපයකි.
    * සිදුවීමට ඉතා ආසන්න විය යුතුය.
             තත්කාල නිමිත්ත බැලීමේදී අදාල සිද්ධියට ඉතා ආසන්න කාල සීමා වල කළ යුතුය.මල්වර පරීක්‍ෂාවේදී මල්වරය සිදුවූ ආසන්නයේ පරීක්‍ෂාව කළ යුතුය.තරගයක ජය පරාජ පිළිබදව පැරණි පොත්පත් වල සදහනක් නැතත් යම් සිද්ධියක වාසිය තමන්ට අත්වේද නොවේද යන්න විමසා බැලීමට සිද්ධිය සිදුවීමට පැය කිහිපයකට පෙර කාලය යොදා ගත යුතුය.
     * නිමිත්ත අල්ලන ජ්‍යොතිෂවේදියා ඒ සදහා උගත් පලපුරුදු අයෙකු විය යුතුය.යොදා ගන්නාඋපකරන ආම්පන්න ආදියද සුදුසු තත්ත්වයේ තිබිය යුතුය.
        මෙය ඉතා වැදගත්ය.නිමිති ශාස්ත්‍රය නිසි ලෙස නූගත් බොරු වංචාකාරී ජ්‍යොතිෂවේදීන් කොපමණ නිමිති ඇල්ලුවත් සාර්ථක නැත.නිමිති අල්ලන්නාගේ ශාස්ත්‍රීය දැනුම මෙන්ම පලපුරුද්ද අත්ගුණය හා ගුණ දහම් අනුවද සාර්ථක අසාර්ථක බව තීරණයවේ.අංජනම් බැලීමේදී හා කනප්පු ගමන් කරවීමේදී අදාළ පරිදි දේව රාක්‍ෂ ගණ වල උපන් අය තේරීම මේහා බැදී ඇත.සතෙකු යොදාගෙන කරන නිමිත්තකදීද එය එසේමය.පෝල් නැමැති බූවල්ලාගේ ක්‍රියාවට වෙනත් බූවල්ලකු යොදා කිරීම අසාර්ථක විය හැක.
     * උදේ වරුවක වීම වඩාත් ප්‍රතිඵලදායකයි..
            තත්කාල නිමිත්ත විමසීමේදී උදේ වරුවක යොදා ගැනීම(ඉර මුදුන් වීමට පෙර) වඩාත් සුදුසුය.රාහු කාලය වැනි අසුභ කාලද මග හැරිය යුතුය.ඉහත සදහන් කල ජ්‍යොතිෂවේදියා රූපවාහිනී වැඩසටහන් වලදී හවස 5ට පමන කාසි උඩ දමමින් පුද්ගල පලාඵල ඉදිරිපත් කිරීම තනිකරම විහිළුවකි.
       ක්‍රිකට් තරග අනාවැකි පලකිරීමේදී ඉහත සදහන් කල ජ්‍යොතිෂවේදියා අනුගමනය කල ක්‍රියාව ලේඛකයා(මා) අනුමත නොකරමි.රෙදි කඩකින් දෑස් බැද සිදුකරන කණාමුට්ටිය බිදීමේ ක්‍රීඩාව වැනි තත්ත්වයකට ජ්‍යොතිෂය පත් නොකල යුතුය.පෙබරවාරි 19 වැනි දින ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරගවල අනාවැකි පළකිරීමට ඉහත සදහන් කල ජ්‍යොතිෂවේදියා නැවත පැමිණිය හැක.මෙවර ඔහු වෙනත් ක්‍රම අනුගමනය කළ හැක.ඔහුගේ අනාවැකි බලන්න අසන්න එපා යැයි ඉල්ලීමට හෝ පැවසීමට මට අයිතියක් නැත.ඔබ එදෙස බලා හිදින්න මමද එදෙස බලා සිටිමි.අඩුම තරමින් එම ක්‍රියා ඔස්සේ ජ්‍යොතිෂය මිනිසුන් අතරට ගමන් කිරීමක් හෝ සිදුවේ.නමුත් යන්නේ වැරදියටය.අවසාන වශයෙන් පැවසිය යුතු දෙයක් ඇත.
    "ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය දිනනවාමයි." (මෙය අනාවැකියක් නොව ප්‍රාර්ථනාවකි.) 

12 comments:

Chanaka Aruna Munasinghe said...

.
ජය පරාජය ගැන අනාවැකි කියන්න පංච පක්ෂි කියල ක්‍රමයක් තියෙනවා නේද ?

මෙවර ලෝක කුසලානය දිනන්නේ පකිස්ථානයයි. (මෙය අනාවැකියකි)

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ඔව් ඔව් පඤ පක්‍ෂි ක්‍රමය ජය පරාජය ගැන පැවසීමට යොදා ගන්නවා. මම ඒ ගැන මීට කලින් කියල තියෙනවා.

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_8908.html

ඔයාගෙ අනාවැකියට නම් මම සතුටු නැහැ.

Chanaka Aruna Munasinghe said...

ඒක මගේ අනාවැකියක් නෙවෙයි . තරඟ කාලසටහන,තරඟ අතරතුර විවේක කාලය, තරඟ සඳහා පියාසර කරන්න වෙන දුරවල්, තරඟ පැවැත්වෙන දේශගුණික තත්ව, ආදිය බලලා සංඛ්‍යාන ක්‍රම (Statistic Methods) වලින් කියපු අනාවැකියක්.

මගේ ප්‍රාර්ථනාවත් ලංකාවේ ජයග්‍රහණයම තමයි.

හිස් අහස said...

ඔය අනාවැකි කියපු කෙනාගැන මමත් දන්නවා එයාගේ නාවැකි නිසා මටත් ගිය පාර මාරම බලාපොරොත්තුවක් හිතට ඇවිල්ලා තිබුනා . එදා මැච් එක පැරදුනාට පස්සේ මට ඔය අනාවැකි ගැන පුදුම තරහක් ඇතිවුනා .

මම විස්වාස කරන්නේ හැමදේම වෙන්නේ දෛවයට අනුව කියලා . අපිට කොහොමටවත් දෛවය වෙනස්කරන්න බැහැ කියලා . සමහරවිට මම වැරදි ඇති . ඒ ගැන මොකද හිතන්නේ ? ඔයා හිතන විදිහ බලන්න මම ආයෙත් එනවා ඒක නිස මට පිලිතුරකුත් ලියන්න

ඔයා හරියට හරි "ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය දිනනවාමයි." මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒක . අපේ උන් ගැන අපි හැර වෙන කවුරු විශ්වාස කරන්නද ? දිනුවත් පැරදුනත් උං අපේ ..

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ඒක මිසක් මමත් බැලුව පකිස්ථාන් කාරයෙක්ද කියලා.

jhothishalanka said...

@හිස් අහස
දෛවය අනුව සිද්ධවෙන දේවල් සිදු වුවත් අපි උත්සාහය අතාරින්න හොද නැහැ.

කුරුම්නියා said...

මේක අහන්න තිබුනේ මේ ලිපියෙදි නොවුනත් ..අවශ්යතාවය යෙදුනේ දැන් නිසා පිලිතුරක් ලැබේවි කියල හිතනවා..නිවසක් සෑදීමට පලමුව, මුනගැසිය යුත්තේ ප්ලෑන් එක අදින පුද්ගලයාද? එහෙම නැතිනම් තමාගේ හදහන පරීක්සාකරන කෙනාද?..නිවසක දිග පළල තීරණය වන්නේ තමාගේ හදහනට අනුවද? (ප්ලෑන ඇදලා හරි වැරදි හැදීම හොදද )මම හිතනවා මම අහනදේ ඔබට තේරුණා කියල.ස්තුතියි.

jhothishalanka said...

@කුරුම්නියා
මගේ මතයට අනුව නම් මුලින්ම හමුවිය යුත්තේ ප්ලෑන අදින්නාවයි.ජ්‍යොතිෂවේදියාත් අවශ්‍ය තමයි. නමුත් ජ්‍යොතිෂවේදියාට වඩා ප්ලෑන් අදින්නාට තාක්‍ෂණ දැනුම තියෙනවා.ජ්‍යොතිෂවේදියා ඉඩමට පැමිණ එහි විස්තර බැලීමක් කරන්නේ නැහැ.එයා ගෙදර ඉදන් නැකත හදනවා විතරයි. නමුත් හොද ප්ලෑන් අදින්නා ඉඩම පරීක්‍ෂාකර බලා ගෙහිමියාව හොදින් දැනුවත් කරනවා.ගෙයක් හදන්න නැකැත් බලන්න මුලින්ම ගිය විට සමහර ජ්‍යොතිෂවේදීන් හ්‍රහ අපල ගැන පමනට වඩා දක්වමින් බියට පත් කරනවා.ගෙයක් හැදීමට ඉතාම තදින් අපල ඇති කාල සුදුසු නොවුනත් හොද නැකතක් හසුවූ විට දෝෂ කැපී යයි.ප්ලෑන අනුමත කර ගැනීමටත් කාලයක් යනව නේද?
නිවසේ දිග පලල තේරීමේදී කේන්ද්‍ර හිමියාගේ ජන්ම පත්‍රය අනුව තමයි කෙරෙන්නේ.නමුත් එහෙම වෙනකොට මම කලින් දුන්න ප්‍රථමයෙන් ප්ලෑන් අදින්නා මුනගැසීමේ උපදෙස පරස්පර විරෝධී වෙනවා.මොකද එතකොට දිග පලල තේරීම ජ්‍යොතිෂවේදියාට පැවරිය යුතු වන නිසා.සාමාන්‍යයෙන් නිවසක ප්ලෑන් අදින්නෙකුට වාස්තු විද්‍යාව ගැනත් යම් තරමින් හෝ දැනඑමක් තිබිය යුතුයි.ප්ලෑනයක් ඇදීමෙන් පසු හරි වැරදි බැලීම ඉතා හොදයි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ වැරුද්ද ප්ලෑන් ඇන්ද මුල් තැනැත්තා නොපිළිගත්තොත් තමයි. මගේ එක හරි .කවුරුහරි වැරදියි කියනවනම් එයාටම කියල ඇද ගන්න කියන ප්ලෑනා අදින්නොත් ඉන්නවා.

කුරුම්නියා said...

ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි...

``` Outsider``` said...

හපොයි මේ ලංකාවේ ඡන්ද කාලෙට මැච් කාලෙට රූපවාහිනියට අරක්ගන්න සාස්තරකාරයෝ කියන දේවල් ඇත්ත වු‍ණානම් අද වෙද්දි මේ රට කොතැන තියෙයිද කියල හිතා ගන්නත් බෑ. ඒ ඔක්කොම දේශපාලනයේම කොටසක් විතරයි.
අනෙක ක්‍රීඩාවකදි වගේ එහෙම කලින්ම අනාවැකි නිවැරැදිව කියන්න නොහැකි බවක් තියෙනවනම් මම කැමැතියි. හොඳ තරඟකාරිත්වයක් තියෙන්නෙ එතකොටයි. ඒත් ඕනෑම කෙනෙක්ට පසුගිය දක්ෂතා ගැන හිතලනම් විශ්වාසයක් ඇති කරගන්න පුඵවන් මේ රට දිනයි කියල. ඒ වගේ තමයි අද වෙද්දි මේ රටේ ගොඩක් අය ලෝක කුසලානය ලංකාව ජයග්‍රහණය කරයි කියල හිතන්නෙ. ඒක අනාවැකියක් නෙවෙයි පසුගිය දක්ෂතා සැලකිල්ලට ගෙන ඇති කරගත් විශ්වාසයක්. එහෙත් ක්‍රීඩාව කියන එක මොහොතකින් වෙනස් වෙන්න පුඵවන්. කළින් එතරම් දක්ෂතා නොදක්වපු කණ්ඩායමක් ජයග්‍රහණය කරන්නත් පුඵවන්.
ඒත් නිවැරැදි අනාවැකි ක්‍රීඩාවකදි කියන්න බැරිවීම තමයි වඩා හොඳ.

Anonymous said...

mepara loka kusalanaya kandayam 3k athara dolanaya wenawa.e kandayam 3na thama srilanka,australia,england.hamoma kiyanne india,pakisthan,south africa wage ratawal anthimata enawa kiyala.mama ita virudda adahasak daranne.sure ekatama oya 3n ekak thamai dinanne.emoka unath api prarthana karamu srilankawata jaya labewa kiyala!

රත්ගමයා said...

අනාවැකිය කෙසේ වෙතත් ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා අපි හිතමු

Related Posts Plugin for WordPress, Blogger...