LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, August 20, 2011

භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

  මහා පරිමාන ජීවිත හා දේපළ වනසමින් හදිසි රකුසකු සේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වන භූමිකම්පා ඇතිවීම පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසා උත්සාහ කරමින් සිටී.

    වර්තමානයේ ජ්‍යොතිෂය විවේචනය කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක සාධක අතර භූමිකම්පා,ගංවතුර,ලැව්ගිනි .. වැනි ස්වභාවික අනතුරු පිළිබඳව ජ්‍යෙතිෂමය පූර්ව අනාවැකි පලවීමේ ඇති දුබලතා පෙරමුණ ගෙන ඇත.2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයට හේතුවූ භූමිකම්පාව පිළිබදව ජ්‍යොතිෂමය අනාවැකි ඉදිරිපත් නොවීම ගැන ජ්‍යොතිෂයට ඇඟිල්ල දික්වුවත් මෙතරම් දියුණුයැයි පවසන නවීන විද්‍යා ක්‍රම වලටද එවැනි භූමිකම්පා ඇතිවීම පෙරාතුව පැවසීමට නොහැකි වී ඇත.සියවස් ගනනාවක් පෘථිවි අභ්‍යන්තරය ආශිතව ගවේශන පරීක්‍ෂණ සිදුකරමින් භූමිකම්පා ඇතිවීම කලින් දැන ගැනීමේ ක්‍රම සොයමින් හෙම්බත්වූ නවීන විද්‍යාඥයන් වර්තමානයේදී සදු හිරු වැනි සෞර ග්‍රහ වස්තු වලින් පෘථිවියේ භූමිකම්පා ඇතිවීමට බලපෑමක් ඇත්දැයි සෙවීමට නැඹුරුවෙමින් සිටී.තාරකා විද්‍යාව ලෙස ලේබල් ගසා මෙම අධ්‍යනයන් සිදුකලත් වක්‍රාකාරයෙන් ඔවුන් සිදු කරන්නේ අතීතයේදී පුරාණ පෙරදිග ජ්‍යෙතිෂ ආචාරීන් විසින් මේ පිළිබදව දක්වා තිබූ සිද්ධාන්ත වෙතට පිවිසීමක් වැනි ක්‍රියාවකි.අතීතයේ සිටි ජ්‍යොතිෂ ආචාරීන් මෙන් වර්තමාන ජ්‍යොතිෂවේදීන්ට ඉපැරණි සිද්ධාන්ත නිවැරදිව විශ්ලේශනාත්මකව භාවිතා කිරීමේ නොහැකියාව නිසාම වර්තමාන ජ්‍යොතිෂවේදීන්ගේ අනාවැකි වැරදුනත් පුරාණ ජ්‍යොතිෂවේදීන් වඩාත් නිවැරදි ලෙස ස්වභාවික අනතුරු පිළිබදව අනාවැකි ඉදිරිපත් කොට ඇති බවට සාක්‍ෂි ඇත.තමාගේ අනාවැකියක් වැරදුනහොත් හිස් ගැසුම් කෑම වැනි දරුණු මරණීය දඩුවම් උරුම වන බව දත් පුරාණ රාජකීය දෛවඥයන්ද අනාවැකි ඉදිරිපත් කිරීමේදී ඉතා දිගු කාලයක් යොදා ගනිමින් හොදින් සොයා බලමින් අති ප්‍රවේශම් සහගතව ඒවා ඉදිරිපත් කලත් වර්තමානයේදී තමාගේ අනාවැකිය වැරදුනත් හිස බේරෙන නිසා අද සිටින දෛවඥයන්ගෙන් එම ප්‍රවේශම ගිළිහෙමින් පවතී.නමුත් මෙවැනි අවස්ථාවලදී ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය ගෞරවය නැතිවී යාම නිරාසයෙන් සිදුවේ.වර්තමානයේ සිදුවෙමින් ඇත්තේද එවැන්නකි.අනාවැකි ඉදිරිපත් නොකොට සිටිය විටත් එය එසේමය.මෙයින් අදහස් කලදෑ තවත් අයුරකින් කිවහොත් වර්තමානයේ ජ්‍යෙතිෂ අනාවැකි නිවැරදිව ඉදිරිපත් නොවීම ජ්‍යොතිෂවේදීන්ගේ  අඩු ලුහුඩුකම් වලින් මිස ජ්‍යොතිෂයේ වරදකින් නොවන බවයි.සත්‍ය වශයෙන්ම භූමිකම්පා පිළිබද පෙර අනාවැකි නිවැරදිව පැවසීමේ හැකියාව පුරාණ ජ්‍යොතිෂ ආචාරීන් සතුව තිබී ඇත.මේ ලිපිය කියවීම මෙතනින් නොනවත්වා දිගටම කලහොත් භූමිකම්පා ඇති වීම පූර්වයෙන් අවබෝධ කර ගැනීම පිළිබදව නවීන විද්‍යා ක්‍රම විදි හා ඉපැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත අතරින් වඩාත්ම විශ්වාසදායක හා සාර්ථක ප්‍රතිඵලදායක වන්නේ කුමක්ද යන්න පාඨක ඔබටම වටහා ගත හැක.
     භූමිකම්පා ඇතිවීම පිළිබද ගවේශන වලින්ම බිහිවූ "භූගර්භ විද්‍යාව" අනුව අපේ පෙළොව භූ තැටි කිහිපයකින් සමන්විත බවත් ඒවා පොළොව මධ්‍යයේ ඇති ද්‍රව ගතියෙන් යුත් මාධ්‍යයේ පා වන බවත් සඳහන් ය. මෙසේ ගමන් කිරීමේ දී මේවා එකිනෙක ගැටීමේ දී භූමිකම්පා ඇති වේ. එසේ ම මේ තැටි එක මත එක තද වී යම් වික්‍රියාවකට බඳුන් වී තිබී හදිසියේ මේ වික්‍රියා ශක්‌තිය මුදා හළ විට ද මේ භූ තැටි ගැස්‌සීම නිසා ද භූමිකම්පා ඇති වන බව සදහන්වේ.
      භූකම්පනයක්‌ ඇති වන අයුරු සහ එවැන්නක්‌ ඇති වූ පසු සිදු වන දේ නිව්ටෝනීය යාන්ත්‍රිකය තුළ පැහැදිලි කළ හැකි ය. සුනාමි රළ ඇති වීම ද පැහැදිලි කළ හැකි ය. එහෙත් නිව්ටෝනීය යාන්ත්‍රිකයට භූකම්පා ඇති වීමට පෙර ඒ බැව් ප්‍රකාශ කළ නොහැකි ය. ඒ ඇයි? ඇත්තට ම නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්‌කේ අප එදිනෙදා භෞතික පරිසරයේ බොහෝ මතුපිට සිදුවීම් පමණ ය. යම් යම් සිදුවීම්වලට හේතු කවරේ දැයි දිගින් දිගට ම විමර්ශනය කළ හොත් එක්‌ සීමාවකින් පසුව නිව්ටෝනීය යාන්ත්‍රිකයට පිළිතුරු නැත. නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්‌කේ යම් යම් දේ සිදු වූ පසු සිදු වන දේ පමණ ය. උදාහරණයක්‌ ලෙස යම් ගොඩනැඟිල්ලක ව්‍යදහය කඩා වැටීම සලකමු. මේ සඳහා හේතුව ව්‍යදහය මත ඇති වූ බල නිසා ඇති වූ ආතති, වික්‍රියා ලෙස අපට කිව හැකි ය. එහෙත් මේ ආතති, වික්‍රියා නිසා ව්‍යදහය මෙ ආකාරයට බිඳ වැටුණේ ඇයි? මේ ආතති, වික්‍රියා නිසා අදාළ පැලුම් මේ ආකාරයට ම ඇති වූයේ ඇයි?
                                 

 මේ සඳහා ඇතැම් විට අදාළ ව්‍යදහයේ ද්‍රව්‍යවල ගුණ දුර්වල වී පැවැති බව පැවසෙනු ඇත. ඉතින් මේ ගුණ මෙලෙස දුර්වල වූයේ ඇයි? විශේෂයෙන් ද්‍රව්‍යවල ගුණ වෙනස්‌ වීම පිළිබඳව නිව්ටෝනීය යාන්ත්‍රිකයට හොඳ පැහැදිලි කිරීම් නැත. මෙහි දී ද්‍රව්‍යවල ගුණ යනුවෙන් ගැනෙන්නේ යං මාපාංකය, පොයිසන් අනුපාතය, දුස්‌ස්‍රාවීතාව, පෘෂ්ඨක ආතතිය ආදියයි. යම් ද්‍රව්‍යයක මේ ගුණවල වෙනස්‌ වීම, හැසිරවීම බටහිර භෞතික විද්‍යාවට එතරම් ගෝචර නැත. ඒ පිළිබඳ නිව්ටන් චලිත, බල නියම මෙන් නිශ්චිත පැහැදිලි සමීකරණ නැත. ඉතින් ද්‍රව්‍යවල ගුණ වෙනස්‌ වීම මේ විද්‍යාවට එතරම් හොඳින් විස්‌තර කළ නොහැකි වුවත් එසේ වෙනස්‌ වූ පසු යාන්ත්‍රිකව සිදු වන දේ හොඳින් පැහැදිලි කළ හැකි ය. 

    භූ තැටිවල යංමාපාංක, පොයිසන් අනුපාත ආදිය හෝ ඒ ආශ්‍රිත ගුණ වෙනස්‌ වීම නිසා පෙර කී පරිදි භූකම්පන ඇති විය හැකි ය. (මෙහි දී ද්‍රව්‍යවල ගුණ යන්න සඳහා සිසිල, උණුසුම ද ඇතුළත් ය). භූ තැටියක යං මාපාංකය වෙනස්‌ වුව හොත්, පා වන මාධ්‍යයේ ඝනත්වය, දෘඪතා මාපාංකය ආදිය වෙනස්‌ වුව හොත්, එසේ නොමැති නම් මේ භූ තැටි ප්‍රසාරණය/ සංකෝචනය වුව හොත් භූ කම්පන ඇති විය හැකි ය. මේ ගුණ වෙනස්‌ වීම නිසා භූ තැටිවල චලනයන් ද වෙනස්‌ විය හැකි ය.
    ද්‍රව්‍යවල ගුණ වෙනස්‌ වීම, ඒවායේ හැසිරීම ආදිය පිළිබඳව බටහිර විද්‍යාවේ ඇති අඳ ස්‌වභාවය, භූකම්පා පිළිබඳව ඊට නිසි අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම තුළ ද ඇති ප්‍රධාන සාධකය ලෙස හඳුනා ගැනීමේ එතරම් වරදක්‌ නැතැයි සිතේ. අදාළ භූ තැටිවල සහ අදාළ ද්‍රව මාධ්‍යයේ ගුණ වෙනස්‌ වී කම්පනය ඇති වූ පසු සිදු වන්නේ කුමක්‌ ද යන්න මේ විද්‍යාවට ගෝචර ය. එහෙත් ගුණ වෙනස්‌ වීම පිළිබඳ පුරෝකථන කළ නොහැකි ය.
   ද්‍රව්‍යවල ගුණ පිළිබඳ පෙරදිග විද්‍යාවල විශාල දැනුමක්‌ ඇත.ඒ ගැන විමසා බැලීමට ප්‍රථම එදා සිට අද දක්වා භූ කම්පන ගවේශන හා පර්යේෂණ මගින් බටහිර විද්‍යාඥයන් විසින් කලින් කලට හෙළිදරවු කරගත් විශේෂ තොරතුරු කිහිපයක් සලකා බලමු.
  * තමන් භූකම්පන සිදුවීම පිළිබදව වැදගත් සොයාගැනීම් කල බව පැවසූ රුසියානුවෝ 20 වැනි සියවසේ මුල් භාගයේදී පමන භූමිකම්පාව සිදු වීමට ඔන්න මෙන්න තිබියදී පොලොව හරහා ගමන් කරන ස්වභාවික තරංගයක ප්‍රවේගය හා විස්තාරය අතර විශේෂ සම්බන්ධයක් සොයා ගත් නමුත් ජීවිත හා දේපළ සුරකිමින් භූමිකම්පාවට සූදානම් වීමට රුසියාණුවන්ගේ මෙම සොයා ගැනීම ප්‍රමාණවත් නොවීය.
  * 1960 මැයි මාසයේ දිනකදී චිලී දේශය දරුණු භූමිකම්පාවකින් තොටිල්ලක්සේ පැද්දී ගියේය.ඊට දින දෙකකට කලින් හිරුගේ පෘෂ්ඨයේ මධ්‍යාහ්න රේඛාවට ඉහළින් ගමන් කරණු විද්‍යාඥයන්ට දැකගත හැකි විය.ඉන්පසුකාලීනව සිදුවූ දරුණු භූමි කම්පා කිහිපයකදීම ඒ ආසන්න දිනවල මෙලෙස හිරු මත විශාල හිරු ලප දක්නට විය.මේ නිරීක්‍ෂණයත් සමඟ එතෙක් පෘථිවි අභ්‍යන්තරයට කොටුවී සිටි විද්‍යාඥයන් සූර්යයා චන්ද්‍රයා වැනි වෙනත් ග්‍රහ වස්තු මගින් පෘථිවි භූකම්පන වලට ඇති වන බලපෑම සෙවීමට වැඩි උනන්දුවක් දැක්වීය.
   * ක්‍රි.ව 1967 කොයිනා ව්‍යසනයෙන් පසු ප්‍රංශ විද්‍යාඥ රෝස් හා ඉන්දියානු විද්‍යාඥයන් වන ගුප්තා හා රස්ටෝජි යන විද්‍යාඥයන් විසින් ජලබර( ) සිද්ධාන්තය ඉදිරිපත් කරමින් භූකම්පන ඇති වීම විස්තර කල අතර ඒ හා බැදුනු පරීක්‍ෂණය මඟින් භූමිකම්පාවක් පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ඉදිරිපත් කලේය.නමුත් පසුකාලීනව යුනෙස්කෝ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම සිද්ධාන්තයේ හා පරීක්‍ෂණයේ ඇති දුර්වලතා පෙන්වා දීමත් සමඟ මෙය යටපත් විය.
   * මියුනිච් සරසවියේ භූගර්භ විද්‍යාඥයකු වන ආචාර්ය රුඩොල්ෆ් තෝමස් චෙක් විසින් දරුණු භූකම්පන 134 ක් අධීක්‍ෂණය කරමින්  ඒ අවස්ථා වලදී සෞර ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහ වස්තු පිහිටි ආකාරය අතර බලවත් සම්බන්ධතාවක් ඇති බව පෙන්වා දුන්නේය.ග්‍රහයන් දෙදෙනෙකු හෝ වැඩි ප්‍රමාණයක් පෘථිවිය එල්ලේ පිහිටන අවස්ථා වලදී භූකම්පන උත්ප්‍රේරණය වන බවත් එවැනි අවස්ථාවලදී වැඩිතරයක් භූකම්පන සිදු වන බවත් එහිලාත් පෘථිවිය සූර්යයා හා චන්ද්‍රයා එක එල්ලේ පිහිටන පුර චන්ද්‍ර හා අමාවක දින පෙරමුණ ගෙන ඇති බවත් ඉදිරිපත් කලේය.
  * භූකම්පන ආසන්න අවස්ථාවලදී සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් දක්නට ලැබීම විද්‍යාඥයන් විසින් විශේෂ නිරීක්‍ෂණයන්ට ලක්කොට ඇති අතර සතුන් තුල දක්නට ඇති මෙම සුවිශෙෂී සංවේදී බව උපයෝගී කරගෙන භූකම්පන පෙරාතුව හදුනා ගැනීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අවස්ථාද දක්නට විය.
  
  භූකම්පන ඇතිවීම පෙරාතුව දැන ගැනීමේ බටහිර විද්‍යාත්මක ක්‍රම වල විශාල දියුණුවක් දක්නට නොවීම පැහැදිළිව දැකිය හැකි ලක්‍ෂණයක් විය.ඉදිරිපත් වී ඇති ක්‍රම විධි වලින් බොහොමයක් සංඛ්‍යාන ප්‍රතිඵල වලින් ලත් නිගමන විය.
    අනෙක් අතට මවිත කර සත්‍ය නම් භූකම්පන අධ්‍යනයේ නියුතු බහුතරයක් විද්‍යාඥයන් පෘථිවි පෘෂ්ඨයේ මතුපිට හා ඉන් ඉහළ සිදුවන පවතින දේ ගැන සාමූහික අවබෝධයක් ලබාගැනීමට දක්වන නොකැමැත්තය.
    දැන් අප පැරණි පෙරදිග විද්‍යා ඇසුරෙහි විමසමින් භූකම්පන ඇතිවීම විමර්ෂණය කොට ඇති අයුරු කෙටියෙන් විමසා බලමු.
   ද්‍රව්‍යවල ගුණ පිළිබඳ පෙරදිග විද්‍යාවල විශාල දැනුමක්‌ ඇත. මෙහි දී ද්‍රව්‍යවල ගුණ යනු පඨවි, ආපෝ, තේජො, වායෝ, ආකාශ ආදි භූතයන් ය. මෙහි දී ද්‍රව්‍යවල ගුණ ලෙස සඳහන් වුවත් වඩාත් නිවැරැදි ආකාරයට නම් ද්‍රව්‍ය, ගුණ යනුවෙන් බෙදීමක්‌ නැත. මේ ගුණ එක්‌ එක්‌ ග්‍රහයාට ද සබැඳ ඇත. එනම් ඒ ඒ ග්‍රහලෝකවල බලපෑම යටතේ පෙර කී ගුණ වෙනස්‌ වේ. නක්‍ෂත්‍රයේ ද, ආයුර්වේදයේ ද මේ පිළිබඳ දීර්ඝ විස්‌තර ඇත.
  ග්‍රහයන් මේ ගුණවලට (පොළොවේ) බලපෑමේ දී පොළොවේ සිට අදාළ ග්‍රහයාට ඇති දුර වැදගත් නැත. මෙහි දී වැදගත් වන්නේ අපට ඉහළ (පහළ) අහසේ මේ ග්‍රහයන් පිහිටන්නේ කවර කෝණයක්‌ තුළ ද යන්න ය. ජ්‍යෙඩතිෂයේ දී ද සලකා බලන්නේ අදාළ ග්‍රහයා පොළොවට කෙතරම් දුරින් පිහිටනවා ද යන්න නො ව එය අදාළ රාශි චක්‍රය පසුබිමේ පොළොවට සාපේක්‍ෂව, කෝණිකව පිහිටන්නේ කොතැනක ද යන්න ය. ග්‍රහයා ගේ දුර වැදගත් වන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ සමීකරණයට ය. එය වෙන ම කතාවකි. ග්‍රහයාට පොළොවට සහ පොළොවේ සත්ත්වයනට බලපෑම් කළ හැක්‌කේ ගුරුත්වය මගින් පමණක්‌ නො වේ. අපේ එදිනෙදා වැඩකටයුතුවල දී, රොකට්‌ යෑවීමේ දී, චන්ද්‍රිකා යෑවීමේ දී ආදියේ දී මේ ගුරුත්වය වැදගත් වු වද පොළොවේ ද්‍රව්‍යවල ගුණ වෙනස්‌වීම පිළිබඳව සැලකීමේ දී ගුරුත්වය යන්න අදාළ නැතැයි සිතේ. 
 පෙරදිග ශාස්ත්‍රීය නියම හා සිද්ධාන්ත අනුව භූකම්පන ඇති වීම පිළිබදව විස්තර කෙරෙන අවස්ථා කීපයක් ප්‍රථමයෙන් සලකා බලමු.
  * පුරාතන සම්භාව්‍ය ග්‍රන්ථයක් වන "ගර්ග සංහිතාව" පෘථිවි කම්පනය හිරු මත කළු ලප මත පවරා ඇත.නූතන බටහිර විද්‍යාඥයන්ද ස්වකීය අධ්‍යනයන් වලින් මෙම සම්බන්ධතාව පසක් කරගෙන සිටී.
  * ක්‍රි.පූ.3100 දී පමණ විසූ "පරාශර" විසින් මෙසේ දක්වා ඇත. "වෙනත් ග්‍රහයන්ගේ ආකර්ෂණ ශක්තිය නිසා කිසියම් ග්‍රහයකුගේ සුපුරුදු ගමන් පෙතෙන් එයට බාධාවක් එලඹුනි නම් එවිට ඒ ග්‍රහයාගේ ගැස්සීමක් හෝ සසල වීමක් ඇති වෙයි.භූකම්පනයක් ලෙස හැදින්වෙන්නේ එවැන්නකි."
  * දැනට අප සතු ජ්‍යොතිෂ සාහිත්‍ය අධ්‍යයනයෙන් භූමිකම්පාවක් සිදුවන අවස්ථාවකදී ඇති විය හැකි නක්‍ෂත්‍ර තත්ත්වයන් පිළිබදව පහත දැක්වෙන කරුණු අනාවරණය වෙයි.
   (1) සාමාන්‍යයෙන් විශාල භූමිකම්පා පුර පසලොස්වක හා අමාවක දිනවල හා ඒ ආසන්නයේ සිදුවීමට වැඩි නැඹුරු අතර එයිනුත් චනද්‍ර හා සූර්ය ග්‍රහණ අවස්ථාවල හා ඒ ආසන්නයේ වැඩි නැඹුරුය.
   (2) සාමාන්‍යයෙන් ප්‍රබල භූකම්පනයක් සිදු වීමට වැඩි නැඹුරුතාව ඇත්තේ මැදියම් රැ හා හිරු උදාව අතර හෝ මැදියම් දවාල හා හිරු බැසීම අතරය.
   (3) විශේෂයෙන්ම ප්‍රධාන ග්‍රහයෝ අන්‍යොන්‍ය චතුර්ථ වෘත්ත පාදගතවත් ග්‍රහයන් දෙදෙනෙකු අතර අංශක 120 ක කෝණගත වීමක් තුළ ලග්නව හෝ අන්‍යොන්‍ය සංයෝජනයෙන් හෝ විසංයෝජනයෙන් සිටින විට භූමිකම්පා සිදුවීමට වැඩි නැඹුරුතාවක් ඇත.
   (4) භූමිකම්පාව සිදුවිය හැකි ස්ථානයට අයත් ලග්නය හා ඒ සම්බන්ධ හතර,හත,අට,දොළහ ස්ථාන පීඩාවේ.
   (5) දිනයේ නැකත පඨවි හෝ වායු ගණයට අයත් වීමට වැඩි නැඹුරුය.
   (6) සදු,බුධ දෙදෙනා ආසන්නව(යෝගව) හෝ එකම නැකතේ පිහිටීමට වැඩි නැඹුරුය.
   අතීතයේ සිදුවූ භූ කම්පන බොහොමයක් ආශිතව මෙම නක්‍ෂත්‍ර ලක්‍ෂණ දැකිය හැකි වූඅතර 1923.9.1 දින ටෝකියෝ,1934.1.15 බිහාරය,1960.2.29 අගදීර්,1962.9.2 වයඹ දිග ඉරානය භූමිකම්පා උදාහරණ ලෙස දැක්විය හැක.

 දැන් අපි මේ පසුබිමේ පසුගිය දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද භූ කම්පන පිළිබඳ අනාවැකි පළ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සලකමු. ඒ මහතා නව ක්‍රමවේදය නිර්මාණය කරගෙන ඇත්තේ ජ්‍යොතිෂයට අදාළ වැඩකටයුතු කර ගැනීම සඳහා නිපැයූ පරිගණක මෘදුකාංගයක්‌ භාවිත කරමින් ය. එමගින් ඕනෑ ම දිනක ඕනෑ ම වෙලාවක පෙළොවට සාපේක්‌ෂව (පොළොව වටා) හිරු, සඳු, සෙනසුරු, බ්‍රහස්‌පති ආදි ග්‍රහයන් කෝණිකව පිහිටන අයුරු බලාගත හැකි ය. මේ ග්‍රහ පිහිටීම් සහ භූ කම්පන සිදු වූ අවස්‌ථා නිරීක්‍ෂණය කිරීමේ දී ඒ මහතාට භූ කම්පා සිදු වූ අවස්‌ථාවල දී යම් සුවිශේෂී ග්‍රහ පිහිටීමක්‌ දක්‌නට ලැබී ඇත. දැනට නිරීක්‍ෂණය කර ඇති දත්ත අනුව මේ ග්‍රහ රටාව සහ භූ කම්පන අතර සබඳතාව 75%කින් පමණ වන බැව් ඒ මහතා සඳහන් කරයි. එනම් මෙවැනි ග්‍රහ රටාවක්‌ (පොළොව වටා) පිහිටි විට භූ කම්පනයක්‌ සිදු වීමේ සම්භාවිතාව 75%ක්‌ පමණ වේ. එසේ ම භූ කම්පනයක්‌ සිදු වුව හොත් අදාළ ග්‍රහ රටාව පැවතීමේ සම්භාවිතාව ද එලෙස ම ය. කෙසේ වුවත් මේ පිළිබඳව ඒ මහතා තව දුරටත් මේ ගැන අධ්‍යයනය කරමින් සිටී. එසේ ම මේ අත්දැකීම මත ඒ මහතා මෑතක දී කළ අනාවැකි ද සෑහෙන පමණ සාර්ථක වී ඇත. 

කෙසේ වුව ද දැනට ඒ මහතාට මේ පිළිබඳව ඇත්තේ සංඛ්‍යානය මත පදනම් වූ පදනමක්‌ පමණි. එනම් සංඛ්‍යානමය රටාවක්‌ පමණි. එහෙත් සොබාදහමේ සියල්ල ද රටා ය. මේ රටා ඉතා සරල, කෙටි රටා නම්, එනම් සොබාදහම අපට එලෙස කෙටි, සරල රටා ලෙස තේරුම් ගත හැකි නම් වඩා හොඳ ය. නිව්ටන් නියම ඉතා සරල කෙටි රටා ය. එහෙත් දැනට මහාචාර්ය අතුල සේනාරත්න මහතා සතු රටාව එවැනි සරල කෙටි, (සුන්දර) එකක්‌ නො වේ. එහෙත් මේ සංඛ්‍යාන රටාව කෙලෙසින් හෝ පවත්නා බටහිර විද්‍යා නියමවලින් (රටාවලින්) ම තව දුරටත් පැහැදිලි කළ යුතු යෑයි නියමයක්‌ ද නැත. අවශ්‍ය නම් මේ සංඛ්‍යාත රටාව එලෙස ම තබා ගනිමින් ඉන් ප්‍රයෝජන ගත හැකි ය. කෙසේ වුවත් මේ රටාව නිව්ටන් ගේ ගුරුත්වයෙන් හෝ චුම්බක ක්‍ෂේත්‍ර ඇසුරෙන් හෝ පැහැදිලි කෙරුම එතරම් ලෙහෙසි වැඩක්‌ නො වේ. මෙහි දී මේ සඳහා පෙරදිග පවතින ද්‍රව්‍යවල ගුණ සහ ග්‍රහයන් අතරේ ඇති සබැඳියාව පදනම් කර ගත් දැනුම ප්‍රයෝජනයට ගත හැකි ය. 

අතුල සේනාරත්න මහතා තම රටාව නිරීක්‍ෂණය කොට ඇත්තේ සූර්යයා කේන්ද්‍ර කරගත් ආකෘතියක්‌ හරහා ද නො වේ. ඒ මහතා උපයෝගී කරගෙන ඇත්තේ පෙරදිග චන්ද්‍ර-සූර්ය ග්‍රහ ආකෘතිය ය. මේ ආකෘතිය තුළ ග්‍රහ පිහිටීම් සහ ද්‍රව්‍යවල ගුණ අතර සබැඳියාව ගැබ් ව ඇත. මෙහි දී පෙර සඳහන් කළ පරිදි පොළොවේ සිට අදාළ ග්‍රහයාට ඇති දුර වැදගත් නැත. වැදගත් වන්නේ අදාළ (පොළොවට සාපේක්‌ෂ) කෝණික පිහිටුම පමණි. මේ ග්‍රහ පිහිටුම් පමණක්‌ නො ව ඒවා ඈත පිහිටි තරු රාශි පසුබිමේ පිහිටුම ද සැලකුව හොත් මේ සබැඳියාව තව දුරටත් සනාථ කර ගත හැකි වනු නොඅනුමාන ය. මේ අනුව දැන් කළ යුත්තේ පොළොව වටා ඇති ග්‍රහයන් මගින් පොළොවේ ද්‍රව්‍යවල (සතුන් ගේ ද ඇතුළුව) ගුණ වෙනස්‌ කෙරෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කෙරුම ය. මෙහි දී අධ්‍යයන පමණක්‌ නො ව මනින්ද්‍රිය ද ඇසුරු කර ගනිමින් ධ්‍යාන ක්‍රම ද අතිශය වැදගත් වනු ඇත. මෙසේ ද්‍රව්‍යවල ගුණ වෙනස්‌ වීම අනුව භූ කම්පන සිදුවීම පැහැදිලි කර ගත හැකි වනු ඇත. එනම් ග්‍රහ පිහිටීම් අනුව මේ ගුණ වෙනස්‌වීම් පුරෝකථනය කළ හැකි වනු ඇත. ඒ අනුව භූ කම්පන පුරෝකථනය කළ හැකි වනු ඇත. එපමණක්‌ නො ව දැනට සංඛ්‍යාන රටාවක්‌ ලෙස පවතින දැනුම පෙරදිගින් මනා අරුත් ගැන්වීමක්‌ ද කළ හැකි වනු ඇත. 

චන්ද්‍රයා ගේ බලපෑම අනුව ආපෝ භූත රාශිය වෙනස්‌ වන අයුරු දැනටමත් අපි දනිමු. පැළෑටි තුළ ද මේ වෙනස්‌වීම් දක්‌නට ඇත. මෙසේ පඨවි, තේජෝ, වායෝ ආදි ගුණ ද වෙනස්‌ වන විට නූතන භෞතික විද්‍යාවට ගෝචර යං මාපාංකය, ද්‍රස්‌ස්‍රාවිතාව, උෂ්ණත්වය ආදිය ද වෙනස්‌ වනු ඇත. භූ තැටිවල සහ අදාළ ද්‍රව මාධ්‍යයේ මේ ගුණ වෙනස්‌ වීම තුළ භූ කම්පන ඇති වීම අනතුරුව (අවශ්‍ය නම්) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් පැහැදිලි කර ගත හැකි ය.
                                   

  රූපය 1හි ඇත්තේ භූ කම්පනයක්‌ ඇති වූ දිනක පොළොවට සාපේක්‍ෂව ග්‍රහයන් පිහිටි අයුරු ය. එහි දී ග්‍රහයන් ගේ යම් සංකේන්ද්‍රණය වූ ගතියක්‌ ඇත. රූපය 2හි ඇත්තේ එවැන්නක්‌ නැති දිනක ග්‍රහ පිහිටීමය.
          (    ප්‍රධාන ග්‍රහයන් අතර සංයෝජන වියෝජන පැහැදිලිව බලාගත හැකි ක්‍රමයක් ලෙස ජ්‍යොතිෂයේදී        Sound Horoscope ක්‍රමය භාවිතා වේ (පහත සබැදිය බලන්න)
                      http://www.astro.com/cgi/chart.cgi?&btyp=mus&lang=e                          )

    ඉතින් දැන් කළ යුත්තේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් පෙරදිග ග්‍රහලෝක ආකෘතිය තුළ හිඳිමින් ඉදිරිපත් කරනු ලබන ග්‍රහ පිහිටුම් සහ භූ කම්පන පිළිබඳ රටාවට පෙරදිගින් ම පදනමක්‌ ලබා දීම ය. මේ සඳහා නිව්ටන් ගේ ගුරුත්ව සමීකරණ පසුපස යැම යෝග්‍ය නැත. ග්‍රහ පිහිටුම් සහ ද්‍රව්‍ය ගුණ අතර පෙරදිග දැනුමේ ඇති දැ මෙහි දී වැදගත් වනු ඇත. 
        නිව්ටෝනීය යාන්ත්‍රිකයට අනුව යම් ග්‍රහ වස්‌තුවක්‌ ඒකාකාර නො වූ ගුරුත්ව ක්‍ෂේත්‍රයක චලනය වන විට වස්‌තුවේ අභ්‍යන්තරයේ ආතති/සම්පීඩන ඇති වේ. එහෙත් සෙනසුරු, බ්‍රහස්‌පති වැනි විශාල ග්‍රහයන් ගේ සමස්‌ත බලපෑමෙන් පොළොව සමීපයේ ඇති කෙරෙන ගුරුත්ව ක්‍ෂේත්‍රයන් වුව සාමාන්‍යයෙන් සූර්යයා ගෙන් සහ චන්ද්‍රයා ගේන් ඇති කෙරෙන ගුරුත්ව ක්‍ෂෙත්‍රයේ (පොළොව සමීපයේ) වෙනසක්‌ ඇති වේ යෑයි සිතීම ඉතා උගහට ය. 
    අතුල සේනාරත්න මහතා විසින් එළිදැක්වන ලද භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමය ජ්‍යොතිෂය හා බැදුනු ක්‍රමයක් වීම බටහිරයන් විද්‍යාවේ මහා බ්‍රහ්මයන් ලෙස සලකමින් බටහිර සිරිත් හා සංස්කෘතිය මෙරට පැළපදියම් කරවීමට උත්සාහ දරණ අපේම රටේ කළු සුද්දන් පිරිසකට ඉවසා සිටීමට බැරි වුවත් භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ නියම ශාස්ත්‍රීය ක්‍රමයන් පෙරදිග ජ්‍යොතිෂයේ ඇති බව මුළු ලොවටම අවබෝධ වන දිනය වැඩි ඈතක නොවේ.ජ්‍යොතිෂය යනු කළු සුද්දන් සිතා සිටින ආකාරයට හරක් බැලූ ගොපල්ලන් අහස දෙස බලා ඔවුන්ගේ චිත්තානුරූපීව නිර්මාණය කරගත් විෂයයක් නොවන බව අවධාරණය කල යුතුය.
   භූමිකම්පා පිළිබදව ජ්‍යොතිෂ පූර්ව අනාවැකි දැක්වීම් නිවැරදිව සිදු කල අවස්ථාවන් පිළිබදවද වාර්තා ඇත. THE ASTROLOGICAL MAGAZINE  සඟරාවේ 1978 ජනවාරි කලාපයෙන් ඉදිරියේදී සිදුවිය හැකි 1978.09.16 පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පාදක කොට ඉරාණය ඇසුරු කොටගෙන මහා පරිමාන භූමිකම්පාවක් ඇති විය හැකිය යන අනාවැකිය සත්‍ය කරමින් එම චන්ද්‍ර ග්‍රහණ රාත්‍රියේ පුද්ගලයන් 10000 කට මරු කැදවමින් ඉරානයට දරුණු භූමිකම්පාවක් ඇතිවිය.
 -------------------------------------------------------------------------------- 
 ආශ්‍රිත කෘති හා ලේඛන
        *  විදුසර 2011 මැයි 11
        * "ජීවයේ සම්භවය" සිරිල් පොන්නම්පෙරුම
        *  වෘහත්සංහිතාව
        * "ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි" අතුල මංචනායක
        * Planetary Influences on Human Affairs (Dr. B.V. Raman)

10 comments:

  1. Buddhika ThambugalaAugust 20, 2011 at 2:30 AM

    1. බටහිර විද්‍යාව හැම කෙහෙල්මලක්ම ප්‍රෙඩික්ට් කරන්ඩ දන්නෙ නැහැ.. නමුත් ජෝතිෂ්‍යය ඒකට විකල්පයක් ලෙස යොදා ගන්න හැටි සාමාන්‍ය ජනතාවට (ගූඪවාදින්ට නොවෙයි ) වැටහෙන ආකාරයෙන් පැහැදිළි කරනවා ද?

    2. ඔබ කියන විදිහටම වුණත් විවිධ ව්‍යුහ කඩා වැටීමට හේතුව (සහ එයට හේතුව ) ආදී වශයෙන් අදියර ගණනාවක් දක්වාම බටහිර විද්‍යාව පැහැදිළි කරයි.. නමුත් ඒ හැමටම "එහෙම වෙන්නෙ ඇයි?" "ආ එහෙමද? එතකොට ඒක වෙන්නෙ කොහොමද?" යනුවෙන් අනන්තය දක්වා පිළිතුරු දෙන්නට බටහිර විද්‍යාවට නොහැකිය.. එතැනින් එහාට ජෝතිෂය ඒවාට පිළිතුරු දෙනව කියල ඔබ කියනව නම් බවට විෂය මූලික සාක්ෂි පුළුවන්නම් පෙන්නන්ඩ.. එහෙම නැත්තම් ඒ පිළිතුරු පැහැදිළිව දක්වන්ඩ (එතනින් එහාට බටහිර විද්යාවට පැහැදිළි කරන්ඩ බැරි කාටත් ප්‍රෙඩික්ට් කළ නොහැකි අහඹු බව නිසා නෙමෙයිද? -අහඹු බව මාර්කට් කරන එකනෙ ඉතින් කොහොමත් ජෝතිෂ්‍යකාරයන්ගෙ වැඩේ.. නේද? )

    3. හද ගැනයි අනික් ග්‍රහලෝක ගැනයි කියල ඔබ කරන්නෙ මිනිසුන් මුලා කිරීමක්.. හද මගින් ඇති කරන බලපෑම් (උදම් ඇති වීම් ආදිය ) හොයා ගත්තෙ බටහිර විද්‍යාවෙන්.. හොදයි 1800ට කලින් කවුරු හරි ජෝතිෂයෙන් එහෙම කිව්ව කියල පෙන්නන්ඩ බලන්ඩ.. හද මගින් තරම් අනෙක් ග්‍රහලෝක මගින් බලපෑමක් නොවෙන්ඩ හේතුව පැහැදිළියි.. හද තියෙන්නෙ ග්‍රහලෝක එක්ක බලද්දි ඉතාම ළගින්. ඒ නිසා චන්ද්‍ර ආකර්ශණය පොළොවට දනෙන එක වැඩියි.. ඒක "බටහිර" විද්‍යාවටත් වඩා සාමාන්‍ය දැනීම.. ඔහෙල හද නිසාඅ උදම් ඇති වෙන එකවත් හරියට කිවුවද විද්‍යාවට කලින්?

    4. ජෝතිෂය ගණිත ක්‍රමයක් ලෙස ඉතාම දියුණුයි තමයි.. නිදසුනක් ලෙස මම 8 වසරෙ ඉන්දැද්දි නිකමට "නොනගත කාලයේ පැය ගණන" ඇසුරෙන් සූර්යයගෙ විෂ්කම්භය සහ සූර්යයා වටා පෘථිවි කක්ෂයේ දුර අතර අනුපාතය හෙව්ව.. 700 ගාණක් එනව.. බටහිර විද්‍යාව පෙන්නන අනුපාතයට ඉතාම සමානයි.. නමුත් ටිකක් පැහැදිළිව බලද්දි තේරෙයි ග්‍රීක, රෝම මායා ශිෂ්ටාචාර කාරයොත් ඒක හරියටම දැනගෙන හිටිය කියල.. ඉර බෝලයක් හැටියට සලකල ඒක අහසේ කොච්චර පදාසයක් ගන්නවද කියන එක ගැන අගයක් විතරයි ඒක..

    4. තමුන්ගෙ මතය නොපිළිගන්න හැමෝම "බටහිර විද්‍යාව අනුව හිතන කළු සුද්දො" ද? තමුන්ගෙ "සොයා ගැනීම්" ඇත්ත නම් ඔය විදිහට මිනිස්සුන්ට අපහාස කරන්ඩ ඕනෙ වෙයිද? ඒ කළු සුද්දො ටික එකතු වෙලා ඔහෙල කරන මගඩි වැඩ ගැන එළි කරන්ඩ ගත්තොත් මක් වෙයිද? වර්ල්ඩ් කප් එක ලන්කාව දිනනව කිව්ව.. පරාදයි.. පැරදුනාට පස්සෙ වෙන කුණුහරපයක් කියනව.. දිනුවනම් කියයි "ආ දැක්කෙ නැද්ද අපි හරියටම කිවුව කියල" ඕනෙ මෝඩයෙකුට තේරෙනව දිනන්ඩ තියෙන චාන්cඑ එක 50% හෝ ඒ අවට අගයක් කියල.. ඉතින් 50%ක සම්භාවිතාවක් ඇති දෙයක් හරියට කියා ගන්ඩ බැරි ජෝතිෂ්‍යය එනව මෙතන භූමි කම්පා ප්‍රෙඩික්ට් කරන්ඩ..

    5. අන්තිමේ කියන්ඩ ඕනෙ දෙයක් තියෙනව.. අපි හද සහ ග්‍රහලෝක ගැන ගැන ජෝතිෂයෙන් ගණන් හද හද ඉන්දැද්දි විද්‍යාව ඇසුරෙන් ගාන හරියට හදපු ඇමරිකන්කාරයො හදට කිහිප වරක්ම මිනිසුන් යැව්ව.. ප්ලූටෝ හැර සෙසු සියළු ග්‍රහයන් ආසන්නයට/මතට මිනිසුන් රහිත යානා යවල ඒවයෙ භූ විද්‍යාව, රසායනය ගැඹුරින් හැදෑරුව.. රුසියන්, චීන, ජපාන, යුරෝපීය සන්ගම්කාරයොත් නොයෙක් අයුරින් අභ්‍යවකාෂය ජය ගත්ත.. ජෝතිෂයෙ මූලිකයො ලෙස සැලකෙන ඉන්දියන්කාරයොත් 2008 දි "චන්ද්‍රයාන්" කියල යානාවක් යැව්ව.. ඒකෙ කාක්ෂික චන්ද්‍රිකාවෙන් ගත්තු පින්තූර සහ විශ්ලේෂණ නාසා ආයතනය පවා ණයට ඉල්ලගත්ත.. නමුත් ඉන්දියන්කාරයො ඒක යැව්වෙ ජෝතිෂය අනුවද? නෑ.. බටහිර තාරකා විද්‍යාව සහ ඔබ "ප්‍රාථමිකයි" කියන නිවුටෝනීය භෞතිකය ඇසුරෙන්.. බටහිර නොවන අනික් රටවල් පවා ඔබ බැහැර කරන විද්‍යාව මගින් එබදු ජයග්‍රයණයන් ලබා ගනිද්දි ලන්කාවෙ අපිට නම් ජෝතිෂය තමා..

    ReplyDelete
  2. නියම ලිපියක්.
    ඒත්... සමහර කරුණු තේරුනා හොරයි. ඒ ඒවා වල ගැඹුරුකම නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. මේ බ්ලොග් එකෙන් අයියා විශ්වාස කරන දේ ප්රමෝට් කරන එක මට ප්‍රශ්නයක් නෑ. ඒත් දිගින් දිගටම විද්‍යාවට ගරහන එකනං මම හෙළා දකිනවා. අනික අර පිටස්තරයා කියනවා වගේ විද්‍යාවට කොහෙද පෙරදිග අපරදිග භේදයක්. විද්‍යාව කොහෙදිත් විද්‍යාව. වෙනස් වෙන්නේ ඒක භාවිත කරන කෙනා සහ යොදාගන්න ආකාරය විතරයි.

    ඇමරිකාව සහ බටහිර රටවල් මේ කිසිම ජ්‍යෝතිශයක් නැතුව මෙච්චර දියුණු වෙච්ච එක ගැන අයියා මොකද කියන්නෙ?

    ReplyDelete
  4. @Buddhika Thambugala
    1) මේ ලිපියේ දක්වා ඇති කරුණු මා හැඟි පමනින් සරලව දක්වා ඇත.මීට වඩා සරලව ලිවීම කළ නොහැකිය එසේ කළහොත් ලිපියෙන් කීමට යන අදහස නිසිලෙස ප්‍රකාශ කිරීම අසීරුය.

    2) ද්‍රව්‍යවල ගුණ වෙනස්වීම පිළිබදව මෙහි දක්වා ඇති විස්තරය ඔබ වටහා ගෙන ඇත්තේ මෙහි දැක්වෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකිනි.සරල උදාහරණයකට මෙහි දක්වා ඇති "චන්ද්‍රයා ගේ බලපෑම අනුව ආපෝ භූත රාශිය වෙනස්‌ වන අයුරු දැනටමත් අපි දනිමු. පැළෑටි තුළ ද මේ වෙනස්‌වීම් දක්‌නට ඇත. මෙසේ පඨවි, තේජෝ, වායෝ ආදි ගුණ ද වෙනස්‌ වන විට නූතන භෞතික විද්‍යාවට ගෝචර යං මාපාංකය, ද්‍රස්‌ස්‍රාවිතාව, උෂ්ණත්වය ආදිය ද වෙනස්‌ වනු ඇත. භූ තැටිවල සහ අදාළ ද්‍රව මාධ්‍යයේ මේ ගුණ වෙනස්‌ වීම තුළ භූ කම්පන ඇති වීම අනතුරුව (අවශ්‍ය නම්) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් පැහැදිලි කර ගත හැකි ය." යන කොටස නිවැරදිව තේරුම් ගැනීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැක.මින් කියවෙන්නේ චන්ද්‍රයාගේ බලපෑම අනුව පෘථිවියේ(පරිසරයේ හා සතුන් ශාක වැනි ජීවීන්ගේ) ආපෝ භූතය හෙවත් ජල සාන්ද්‍රණය සදුගේ බලපෑමෙන් වෙනස්වන ආකාරය දන්නා බවත් මෙසේ පඨවි(දෘඩ බව) , තේජෝ (උෂ්ණය) ,වායෝ (වායූන්) භූතයන් විවිධ ග්‍රහ වස්තූන්ගේ බලපෑමෙන් වෙනස්වීමද විස්තර කල හැකි බවත්ය.නමුත් නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවෙන් අවබෝධකරගත හැක්කේ වෙනත් ග්‍රහවස්තුන් නිසා ඒ කෙරෙහි ඇතිවන ගුරුත්වාකර්ෂණ බලපෑම පමනක් බවත් එයද පෘථිවියේ ස්කන්ධ කේන්ද්‍රය ලෙස සලකන ලක්‍ෂයට පමනක් සීමාවන බවත් පඨවි ආපෝ තේජෝ වායෝ භූත වලට අනුරූප නිව්ටෝනියානු ඒකක වන යං මාපාංකය ,දුස්ස්‍රාවිතාව,උෂ්නත්වය,.. ආදියේ පෘථිවියේ එක් එක් ස්ථානයන්ට අනුරූප විචලනයන් මැනීමක් නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවෙන් කළ නොහැකි බවත්ය.මේ සදහා ජ්‍යොතිෂ සංකල්ප යොදා ගැනීම අහඹුතාවක් ලෙස බැලූ බැල්මට පෙනුනත් සතෘ ලෙසම මෙහි අහඹුතාවක් නැත.
    3) චන්ද්‍රයාගේ බලපෑමෙන් පෘථිවියේ ආපෝ භූතය වෙනස්වීම ලෙස ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේ උදම් වෙනස පිළිබදවය මෙය ජ්‍යොතිෂයේ භාවිතා කෙරෙන්නේ ඔබ කියන බටහිර විද්‍යාව බිහි වීමට බොහෝ පෙර සිටය.
    4) පිළිතුරු නොදෙමි.පදනම් විරහිත ප්‍රකාශයකි.
    5) කළු සුද්දන් ලෙස හැදින්වූයේ ජ්‍යොතිෂය පිළි නොගන්නා සැවොම නොවේ.මෙහිදී එය නොදැක්වීම මා අතින් සිදුවූ වරදකි.සමාව අයදිමි. ක්‍රිකට් අනාවැකි නිවැරදිව පැවසීමට ක්‍රමයක් ජ්‍යොතිෂයේ නැත.එසේ කලේ නියම ජ්‍යොතිෂවේදීන් නොවේ.
    6) වේලාව තිබේනම් මේ පොස්ට් එක ඔස්සේ දක්වා ඇති ලිපි පෙළ කියවන්න.
    http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_08.html
    ෆේස් බුක් සම්බන්ධ සාකච්ඡාවේ චමිල ද අල්විස් ගේ කමෙන්ටුව දැක සිනහ පහළ විය.ඉතා ද්වේෂ සහගතව හා අසභ්‍ය වදන් වලින් යුත් කමෙන්ටු දෙක තුනක් හැරුණු විට මෙම බ්ලොගයේ කමෙන්ටු වාරණයක් නැත.

    ReplyDelete
  5. @blog gadol
    මම විද්‍යාවට ගැරහීමක් කලේ නෑ මල්ලි.විද්‍යාවට පෙරදිග අපරදිග භේදයකුත් නෑ ඒකත් හරි ඒ වුනාට මම කියන්න ගියේ පැරණි පෙරදිග ශාසත්‍රීය ක්‍රම ඉවත් කරන්න ප්‍රතික්ෂේප කරන්න හොද නැහැ කියන එකයි.දැන් ඔය මල්ලිත් දන්නවනේ පෙරදිගින් බටහිරට ලැබුණු "ශූන්‍යය" සංකල්පය නැත්නම් ඛන්ඩාංක ජ්‍යාමිතියක්,අවකලනය අනුකලනය විවරණය කිරීමක්,තාර්කික පද්ධතිය ඔස්සේ පරිඝනකය දක්වා පැමිණීමට නවීන විද්‍යාවට පුළුවන්ද?කොටින්ම ආලෝකයේ ප්‍රවේගය කඩදාසියක ඉලක්කමකින් ලියා ගන්න පුළුවන්ද?
    අපේ රටවල් ඇමෙරිකාව වගේ බටහිර රටවල් තරම් දියුණුවෙන්න හේතුව අපි ජ්‍යොතිෂය පිළිපැදීමවත් ඒ අය ජ්‍යොතිෂය නොපිළිපැදීමවත් නෙවෙයි මල්ලි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය දුර්වල වීමයි.අපේ අය කරන්නේ ඒ අයගේ විද්‍යා සොයාගැනිම් පතුරු ගහමින් ඉගෙන ගන්න එකයි.ඒ අය නිර්මාණය කරණ නව විද්‍යා නිපැයුම් පාවිච්චි කිරීමටම විතරක් බලා ඉන්න හින්ද?අපේ උන්ට ඉදිකට්ටක් වත් අපේ රටේ හදන්න බැරි වෙලා තියෙන්නේ ජ්‍යොතිෂය හින්දද?

    ReplyDelete
  6. විද්‍යාවේ නිර්මාණ භාවිතා කරන ගමන්ම, ඒවායින් පෘථුල පල ප්‍රයෝජන ලබන ගමන්ම, විද්‍යාවට ගැරහීම අද යුගයේ ලංකාවේ 'පැෂන් එක' බව පත්ව තිබේ. මම මේ ගැන පුදුම නොවෙමි. අන්ධකාරයේ සිටින්නෝ හැමදාම ආලෝකයට බියවෙති. ආලෝකය පිළිකෙව් කරති. තමන් අන්ධකාරයෙන් එළියට යෑමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත. එසේම තමන් වෙසෙන අඳුරට අනෙකුන්ද කැඳවා ගත යුතුය ඔවුන් සිතති.

    පණ්ඩිතයන් දාහක් සමඟ තර්ක කළත් එක මෝඩයකු සමඟ තර්ක කළ නොහැකිය යන්න සිංහල‍යේ ප්‍රකට කියමනකි. එනිසා මම මෙහි තර්ක කරන්නට නොයමි. (එයින් කුණුහරුප අසා නොසිටීමටද ලැබෙනු ඇත. තර්කයට තර්කයෙන් පිළිතුරු ගත නොහෙන කළ අඥාණයින් ඊට වෙනත් විකල්ප භාවිතා කරන බව කීවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය.)

    ඒ වෙනුවට මම මේ බ්ලොග් ලියන්නාට අභියෝග කරමි. ජ්‍යොතිෂයට භූමි කම්පා ගැන නිවැරදිව අනාවැකි කිව හැකි නම් කරුණාකර ඉදිරි වසර දෙක තුළ තුළ සිදුවන රික්ටර් මාපාංකයේ 8.0ට ඉහළ භූමි කම්පා ගැන අනාවැකි පළ කරන්න. එවිට ඒවා සිදුවන විට පාඨකයින්ටම ජ්‍යොතිෂයේ ඇත්ත නැත්ත දැන ගත හැකිය. එසේම ඒ තොරතුරු නිසා විශාල පිරිසකගේ දිවි ගලවා ගැනීමට හැකි වනු ඇත. මෙය කරන්නට බැරි නම් (දැන් මේ බ්ලොග්කරුවා විසින් එය කරන්නට අසීරු හේතු දක්වනු ඇතැයි සිතමි.) ජ්‍යොතිෂය යනු අන්ධ විශ්වාසයක් බව ඔහුට පිළි ගැනීමට සිදු වනු ඇත්තේය.

    මෙතැන ඇත්තේ පෙරදිගින් බිහි වු දැනුම හා බටහිරින් බිහිවූ දැනුම පිළිබඳ ගැටළුවක් නොවේ. පෙරදිගින්, බටහිරින් පමණක් නොව අඟහරු ලෝකයෙන් බිහි වුණත් දැනුම දැනුමමයි. අද බොහෝ දෙනා බටහිරින් බිහිවූ දැනුම සේ සලකන බොහෝ දැනුම් සංඝටක ඇත්තටම බිහිවූයේ චීනයෙන් හෝ අරාබිකරයෙනි. මේ ගැන මා මේ බ්ලොග්කරුවා ලියන්නට බොහෝ කලින් විස්තරාත්මකව විදුසරට ලියා ඇති නිසා පුනරුච්චාරණය අනවශ්‍යය.

    ජ්‍යොතිෂය පිළිබඳව විද්‍යාඥයින්ට ඇති ගැටළුව එය පෙරදිග උපත ලද්දක් නොව එය ඔප්පු කළ නොහැකි පාරම්පරික විශ්වාස කිහිපයක් පමණක් වීමයි. (ලෝකයේ එක් එක් සමාජ වල ඔවුන්ටම ආවේණික වූ ජ්‍යොතිෂ විශ්වාස තිබේ. එනිසා එය තනිව පෙරදිග බූදලයක් නොවේ.) මෙවැනි පාරම්පරික විශ්වාස හරි මෙන්ම වැරදි වීමට පිළිවන. සාමාන්‍යයෙන් වැඩි කොටස වැරදිය. මෙවැනි පාරම්පරික මත දරණ පුද්ගලයින් සාමාන්‍යයෙන් කරන්නේ අර කලාතුරෙකින් විද්‍යාවට අනුගත වන කොටස අල්ලා ගෙන (උදාහරණයක් හැටියට විශබීජ නාශකයක් සේ කහ භාවිතය) මහා බොරු තොගයක් සාධාරණීකරණය කිරීමයි. අප විසින් හෙළි කළ යුත්තේ මේ බොරුවයි. මේ අභියෝගය එපිණිසය.

    තව එකක්. භූමි කම්පාව වන්නට සති දෙකකට පෙර වත් අනාවැකිය පළ කළ යුතුය. සමහර භූමිකම්පා සිදුවීම තාක්ෂණික ක්‍රම මඟින් කලින් දැන ගත හැකිය. (ඒවාට නිසි පියවර නොගැනීම වෙනම කතාවකි.)

    මේ බ්ලොග්කරු විසින් අභියෝගය භාර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    එසේම ඔහු තමන්ගේ නියම නම හෙළි කරතැයි මම බලාපොරොත්තු වෙමි. මන්ද මා මේ අභියෝගය කරන්නේ මගේ නියම නමින් වීම නිසා ඔහු ඒ අභියෝගය භාර නොගන්නේ නම් හෝ එය ආසාර්ථක වන්නේ නම් ඔහු ගෙනයන මිත්‍යාව පැතිරවීමේ ක්‍රියාව පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම මගේ වගකීමක්ය සිතන නිසාය.

    ReplyDelete
  7. Buddhika' Thambugala'August 21, 2011 at 12:43 PM

    චන්ද්‍රයාගෙ බලපෑම නිසා පෘථිවියේ ඇති පඨවි ධාතුවෙ වෙනස්කම් වෙනව කියල (ද්‍රව ධාතුවෙ නෙමෙයි ) ජෝතිෂයෙ කියල තියෙන බව ඔබ කියනව.. හොදයි.. ඒ සම්බන්ධ මූලාශ්‍ර කරුණා කර දක්වන්න.. ඒ වගේම එම මූලාශ්‍ර කියල ළගදි ලියපු පොතක් එහෙම පෙන්නන්ඩ එපා ඔන්න.. මගෙ අභියෝගය චන්ද්‍රයා මගින් පෘථිවියේ උදම් තරන්ග ඇති වීම බටහිර විද්‍යාවෙන් පැහැදිළි කරන්ඩ කලින් චන්ද්‍ර බලපෑම ගැන ජෝතිෂය ගැන කියපු දේවල් පෙන්නන්ඩ කියන එකයි..

    හරි.. චන්ද්‍ර බලපෑම් ගැන ජෝතිෂය කියල තියෙනව කියමුකො.. නිවුටෝනීය භෞතිකය අනුව නම් අනෙක් ග්‍රහලෝක වල බලපෑම ගණනය කරොත් චන්ද්‍රයාගෙ බලපෑමෙන් මිලියනයකින් එකකටත් වඩා අඩු බව පෙනේවි.. ඒ නිසා එහෙම බලපෑම් වෙනව කියල නිවුටෝනීය භෞතිකය හෝ දැනට විද්‍යාවෙ ඇති ආකෘතියකින් පැහැදිළි කරන්ඩ බෑ.. එහෙමනම් ඔබ ඒක පැහැදිළි කරන්ඩ යොදා ගන්නෙ කුමන පදනමක් ද? ඒ සදහා දැනට පිළිගත් ආකෘතියක් යොදා ගන්ඩ බැරි නම් ඔබට විකල්ප ආකෘතියක් හදන්ඩ වෙනව.. නමුත් ඕනෙම එක්කෙනෙක් "මෙන්න මම ආකෘතියක් හැදුවෝ" කිව්වට විමර්ශනශීලී මිනිස්සු ඒක පිළි ගන්නෙ නැහැ.. ප්‍රමාණවත් පර්යේෂණ සහ සාක්ෂි වලින් එම ආකෘතිය සාධනය කරල ඉන්ඩ ඕනෙ.. නිවුටෝනීය භෞතිකයට විරුද්ධ ආචරණ පැහැදිළි කරපු මැක්ස් ප්ලාන්ක්/ අයින්ස්ටයින් වගේ අය නව ආකෘති හදල ඒව ඔප්පුත් කරල තමයි එතනින් එහාට ගියෙ.. නමුත් ඒ වෙනුවට ඔබ තෝර ගන්න විකල්පය කුමක් ද? ඔබ කියන දේ පිළි නොගන්න අය ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වය පැහැදිළි කරන්ඩ දැනට ඇති වඩා ගැලපෙන ආකෘතිය වන නිවුටෝනීය ආකෘතිය යොදාගෙන, ඔබ ක්ලේම් කරන දේවල් බැහැර කළහම ඒ මිනිස්සුන්ට කළු සුද්දො කියල බණිනව.. අළුත් මතයක් අවන්කව ඉදිරිපත් කරන විද්‍යාර්ථියෙක් එහෙම හැසිරෙයිද? අළුත් ආකෘතියක් අවන්කව හදල ඉදිරිපත් කිරීම වෙනුවට ඔබ කරන්නෙ ගූධවාදයට රෙසෝර්ට් වීමත් ටෝක්ස් ඉෂු කිරීමත් නම් අනික් මිනිස්සු (විමර්ශනය නොකර විශ්වාස කරන අය හැර ) ඔබට හිනා වෙන එක ගැන කරන්ඩ දෙයක් නැති වෙයි..

    (මොකක්?? ඔබ කියන්නෙ නොනගතය පැය දොළහක් වීමේන් සූර්යයා අහසෙ ගන්න පදාසය ගැන අගයක් එනව කියන එක පදනම් රහිත කතාවක් කියල ද? ඔවු ඉතින් ඒකෙන් සල්ලි නම් හම්බෙන්නෙ නෑ තමයි.. හොදයි එහෙනම් මෙහෙම හිතන්ඩ.. සූර්යයා වටා ගමන් කරන්නෙ පොළොව වුණත් පොළොවට සාපේක්ෂව සූර්යයාගේ ගමනක් ගැන ජෝතිෂ්‍යය කියනව.. පොළොවට සාපේක්ෂව බැලුවොත් අවුරුද්දක් තුළ (රාශි චක්‍රය මගින් නිරූපනය වන ) අපට පෙනෙන අහසේ එක් වටයක් සම්පුර්ණ කරනව.. වටයක් නිසා අවුරුද්දකට අන්ශක 360ක් කියල ගත්තොත් එක රාශියක් (අන්ශක 30ක් ) පසු කරන්ඩ මාසයක් යනව.. ඒ කියන්නෙ දළ වශයෙන් පෘථිවියට සාපේක්ෂව සූර්යයාගේ දෘශ්‍ය චලිතය අපට පෙනෙන අහසේ දිනකට අන්ශකයක්.. සාමාන්‍යයෙන් නොනගත කාලය කියල කියන්නෙ පැය 12කුත් විනාඩි ගණනක් නෙ.. ඒ කියන්නෙ ඔයාල අහස බෙදල තියෙන එක රාශියකින් අනික් රාශියට යන්ඩ ඉරට ගතවෙන වෙලාව.. එනම් රාශි දෙක අතර සීමාවක් ඇන්දොත් සූර්යයාගෙ විශ්ගම්භය එම සීමාව පසු කරන්ඩ ගතවෙන කාලය.. සූර්යයාගේ දෘශ්‍ය චලිතය අනුව සූර්යයා අවුරුද්දක් තුළ යන දුර වෙන්ඩ ඕනෙ පෘථිවි කක්ෂයේ පරිධිය.. ජෝතිෂයට අනුව (නොනගත කාලය පැය දොළහක් නිසා ) සූර්යයා දින බාගයක් තුළ කරන දෘශ්‍ය චලිතය සූර්යයාගෙ විශ්කම්භයට සමන දුරක්.. එහෙනම් කක්ශයෙ පරිදිය සහ විශ්කම්භය අතර අනුපාතය දළ වශයෙන් 730ක් එනව.. නූතන විද්‍යාව සොයා ගෙන ඇති පෘථිවි කක්ශයේ පරිධිය සහ සූර්යයාගෙ විශ්කම්භය බෙදල බැලුවහමත් ඔය අගය (ආසන්න වශයෙන් එනව ).. ඒකයි මම කිව්වෙ ජෝතිෂයෙ හොද ගණිත ක්‍රමයක් තියෙන්ඩ ඇති කියල.. -හැබැයි ඔය 730 අගය ග්‍රීක, රෝම මායා වරුනුත් ලබාගෙන තිබෙනව.. ඒ නිසා ඒක අමුතු මැජික් එකක් නෙමෙයි.. ඒකයි මම කිව්වෙ- ඕකවත් තේරුම් ගන්ඩ බැරි නම් ආයෙ ජෝතිෂය ගැන කතා කරන්ඩ එපා.. මම ඔය කැල්කියුලේෂන් එක කළේ අට වසරෙදි..)

    මම නැවතත් අහනව, අනික් රටවල් (බටහිර සහ බටහිර නොවන ) නිවුටෝනීය භෞතිකය ඇසුරෙන් උපදවපු තාක්ෂණයෙන් ලෝකය හා අභ්‍යවකාශය දිනද්දි අපි ඉතාම පසුගාමීව සිටීමට එක ප්‍රධාන හේතුවක් තමුන්නාන්සේලා නෙමෙයිද කියල? නිදසුනක් ලෙස රූපවාහිනියෙ තාරකා විද්‍යා වැඩසටහනකට වඩා අතිශයින් වානිජ ඉල්ලුමක් තමුන්නාන්සේලා හදාගෙන තියෙනව.. රාජ්‍ය අනුග්‍රහය වගේ පැති බැලුවත් ඉතින් එහෙමනෙ..

    ක්‍රිකට් මැච් ගැන ජෝතිෂයෙන් කියන්ඩ බැරි බව ඔබ කියනව.. නමුත් ඒ වගේම වෙනත් ජෝහිෂකාරයොයි කියන මිනිස්සු අනාවකි කියපු බවත් ඇත්තනෙ.. ඒ අනාවැකි කියන එක ඔබ දන්න ජෝතිෂයට අනුව වැරදි නම්, අනාවැකි වැරදිච්චි එකට ඔබ පළි නැහැ.. ඒක තේරුම් ගන්ඩ හැකියාවක් මට තියෙනව.. නමුත් බැරි වෙලා හරි එහෙම අනාවැකියක් හරි ගියා නම් එතෙන්දිත් "ජෝතිෂයෙන් එහෙම අනාවැකි කියන්ඩ බැහැ" කියල ඔබ කියයිද? මම දන්නෙ නැහැ.. ඔබ කළුද සුදුද කියලවත් මම දන්නෙ නැහැ.. නමුත් ඒ වගේ අනාවැකි අතර හරි ගියෙ ඒවට "මේව ජෝතිෂයෙන් කියන්ඩ පුළුවන් ඒව නෙමෙයි" කියල කිසිම ජෝතිෂකාරයෙක් කියනව මේ වෙනකන් නම් මට ඇහිල නෑ..

    ReplyDelete
  8. ග්‍රහ ලෝක දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය වගේ දේවල් මම දන්න විදිහටනම් පරීක්ෂණාත්මකව මැන බැලිය හැකි ක්‍රම තවම නෑ. යම් යම් නිරීක්ෂණ මත පදනම් වෙලා හදා ගත්ත ගණිතමය ආකෘති වලට ආදේශ කිරීමෙන් ලබා ගත් අගයයන් විතරයි තියෙන්නෙ. මෙතනදී ජ්‍යෝතිෂයේ සහ නවීන විද්‍යාවේ වෙනසක් නෑ. දෙකේම තියෙන්නෙ සාධක කීපයක් මත පදනම් වෙච්ච වෙනස් ආකෘති

    භූමිකම්පාවක් වගේ දෙයකට බලපාන සාධක ලක්ෂ කෝටි ගාණක් ඇති අපි දන්නා සහ නොදන්නා

    බුදුහාමුදුරුවො කියල තියෙනව නේද ලෝක විෂයය අචින්ත්‍යයි කියල.

    ReplyDelete
  9. ජෝතිශ අයියා, මම මේ උත්තරයක් බලාගෙනයි ඉන්නේ......තව පුරස්න තිබුනට ඉතින් අහපු පුරස්න වලට උත්තර දීල නැති නිසා බලන් ඉන්නවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...