Wednesday, October 5, 2011

චන්ද්‍ර මංගල යෝගය

       "මංගල" යනු කුජ(අඟහරු) ග්‍රහයා හදුන්වන නමයි.ඒ අනුව "චන්ද්‍ර මංගල යෝගය" යන්න කුජ හා සදු ග්‍රහයන් සම්බන්ධ වූවක් බව වටහා ගත හැකිය."ශනි මංගල යෝගය" කියා තවත් යෝගයක් ඇත.එයද වචනයෙන් දැක්වෙන පරිදි ශනි හා කුජ සම්බන්ධවීමෙනි.නමුත් මෙම යෝගදෙකේ ප්‍රතිඵල වෙනස්ය."චන්ද්‍ර මංගල යෝගය" සුභඵල ගෙනදෙන යෝගයක් ලෙසත් "ශනි මංගල යෝගය" අසුභ(විවාහය සම්බන්ධ දෝෂයක් ලෙස) යෝගයක් ලෙසත් දක්වා ඇත.පටලැවීම් ඇති වීම වැලැක්වීමට යෝග දෙකම යෙදෙන ආකාරය මෙහි කෙටියෙන් සදහන් කරමි.ශනි මංගල යෝගය විවාහය කෙරෙහි දෝෂයක් ලෙස බලපාන අයුරු විවාහ දේෂ 2 ලිපියෙන් සවිස්තරව දක්වා ඇත.

    ශනි හා චන්ද්‍ර මංගල යෝග දැක්වීමත් චන්ද්‍ර මංගල යෝගයේ ඵලදීම් ගැන විස්තර කිරීමත් තරමක් ප්‍රමාද කරමි.ඊට ප්‍රථම යමක් පැවසීමට ඇත.ඇත්තටම එය පොඩි බයිලා පාරකි.බ්ලොග් ලියන්නන් අතරින් පතර බයිලා ගැසීම සාමාන්‍ය සිරිතකි.මමද එය ඉදහිට කරමි.100%ක් වෙස් පෙරලා ලියන මගේ අනිත් බ්ලොගය තනිකරම බයිලා බ්ලොගයකි.නමුත් එය කියවිමට පිරිස වැඩිය.ජ්‍යොතිෂය ගැන ලියවෙන මෙම බ්ලොගය ප්‍රවේශමෙන් සීරුවට ලිවීමට මා නිතර උත්සාහ කරන්නේ එය මගේ ජීවන වෘත්තිය මෙන්ම පාරම්පරිකව මාහට උරුම වූ ශාස්ත්‍රයක් හා බැදී ඇති බැවිනි.බයිලා බ්ලොගය ලිවීමට වඩා ජ්‍යොතිෂය ගැන ලියැවෙන මෙම බ්ලොග් අඩවියේ ලිපි ලිවීම ඉතා අසීරුය.ඇතැම් ශාස්ත්‍රීය කරුනු ගැන ලිවීමට ප්‍රථම මා වැඩිහිටි ජ්‍යොතිෂ වේදීන් කිහිප දෙනෙකුගෙන්ම අදහස් විමසා බලන්නේ සුළු වැරදීමක් හෝ සිදු වුවහොත් එය මහා විනාශයක් බදු වන බැවිනි.
   බ්ලොගයක් ලිවීම කළ පමනින් මා ජ්‍යොතිෂයේ ප්‍රවීනයකු නොවන බව හොදින් දනිමි.එවැනි මානසිකත්වයක සිට මෙය ලිවීම සිදුකලා නම් මෙපමණ දුරක් පැමිණිය නොහැක.පැරණි ලිපි හා කමෙන්ට් කියවීමෙන් පසු මෙන්ම වයසින් බාල වුවත් ඇතැම් බ්ලොග් සහෘදයන් මා හට පෙන්වා දුන් කරුණු අනුව ලිපි ලිවීමේදී මා අතින් සිදුවූ බරපතළ වැරදි දෙකක් හදුනා ගතිමි.
     1) ජ්‍යොතිෂය අසත්‍යයක් නොව සත්‍යයක් බව විදහා පෙන්වීමට යාම 
     2) ජ්‍යොතිෂය බලෙන් අන් අයගේ ඇගේ එල්ලීමට යාම

 ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය සත්‍යයක් බව නැවත නැවත පෙන්වා දීමට යාම අනවශ්‍ය දෙයක් බව මා හට වැටහුනේ බොහෝ කලකට පසුය."ජ්‍යොතිෂය සත්‍යයක්මය" එය එක්වරක් පැවසීම ප්‍රමාණවත්ය.එය මෙහි ලියැවෙන අවසන් වතාවද මෙයම විය හැක.මා විද්‍යාව හා ජ්‍යොතිෂය ගැන මින් ඉදිරියටත් ලියන නමුත් ජ්‍යොතිෂය මාකටිං කිරීමට නොයමි.එමෙන්ම එය නුබලාගේ ඇඟේ බලෙන් එල්ලීමටද නොයමි.එසේ කලහොත් මා කරන්නේ ජ්‍යෙතිෂය අන් අයට ලඟා කරවීම වෙනුවට එය අන් අයට තව තවත් එපා කරවීමක්මය.එය වටහා ගැනීම මා ලද ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බවද හොදින් දනිමි.මෙම ජ්‍යෙතිෂ බ්ලොගය විවේචනය කරමින් ෆේස්බුක් ග්රූප් කිහිපයකම ලිපි හා කමෙන්ට් වැටී ඇති අයුරු දුටුවෙමි.ඒ බොහොමයක දක්වා තිබුනේ ජ්‍යොතිෂය බොරුවක් බවත් ඒ බොරුව මා සයිබර් අවකාශයේ පතුරවන බවත්ය.ජ්‍යොතිෂයේ සත්‍ය අසත්‍ය බව දැනීම එකිනෙකාට සාපේක්‍ෂය එබැවින් ඒ පිළිබද කනගාටු නොවෙමි.ඉන් පන්නරය ලබා ලිපිවල ගුණාත්මක බව වැඩි කරගනිමින් හැකිතාක් කල් ලියමි. 
    මීට ටික කලකට පෙර "මොහොමඩ්" නැමැත්තකු අමුතු බ්ලොගයක් ලියුවේය.ඔහු එලෙස ලිව්වේ අපව අවුස්සා ආතල් එකක් ගැනීමට බව පසු කලෙක හෙළිදරවු විය.එය ලිව්වේ මුස්ලිම් අයකු නොව හොදින් තෙම්පරාදු වූ සිංහළ බ්ලොග් ලියන්නකු බවද පසුව හෙළිවිය.එවෙලේ අපිද බ්ලොග් කරුවන් ලෙස බූරු වන්නමක් නැටුවෙමු.අපි සියල්ල ඔහුගේ බ්ලොග් එකට කඩා වැදී ඔහුට අම්මා මෝ නැතිව බැන වැදුනෙමු.එය අපි සිදුකළ මෝඩ ක්‍රියාවකි.මොහොමඩ් ලියූ "ෂරියා නීතිය ලංකාවේ ස්ථාපනය කිරීම" හා මා ලියූ "ජ්‍යොතිෂය" දෙකක් වුවත් මොහොමඩ්ට සෘජුව එල්ල වූ "ලියන එක නවත්තපන්" ගල් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් හේතුවාදීන් ගෙන් මගේ බ්ලොගයටද එල්ල විය."ජ්‍යොතිෂය බොරුවක් ඒ බොරුව ගැන ලිපි ලිවීම නවත්තපන්" යන්න ඔවුන්ගේ සෘජු චෝදනාව විය.ඇතැම් අය ලිපි ලිවීම නතර කරන ලෙස පැවසුවේ මගේ බ්ලොගයට කඩා වදිමින් ඉතා නින්දිත අයුරිනි.එවැනි ඇතැම් අයගේ වැඩිහිටිකම හා තත්ත්වය ගැන සලකා මා විසින් යම් තරමින් හෝ ගෞරවයක් දැක්වුවත් ඔවුන්ගෙන් එය විද්‍යාමාන නොවිනි.සිංහළ බ්ලොග් ලියන්නන් බුරුතු පිටින් "මොහොමඩ්" ට බැන වැදුනත් එය ලිවූ තැනැත්තා ඇත්තටම මුස්ලිම් අයකු නොවූ නිසා හා ඔහුගේ අරමුණ වෙනකක් වූ නිසා ඉන් මොහොමඩ්ට කිසිදු පීඩාවක් නොවීය.ඔහු තමාට බැන වදින්නන් තව තවත් අවුස්සමින් ආතල් එකක් ගත්තේය.ඒ ඔහු තුල සත්‍ය ලෙසම බොරුවක් තිබූ බැවිනි.(එදා මෙහොමඩ්ට බැන වැදුනු බූරු රැලෙන් මමද එකකු විය)
   කෙසේ වුවත් මගේ ලිවීම ගැන මට සතුටුය.ඉදිරි අනාගතයේදී අන්තර්ජාල ලිපි සොයන්නන් මගේ ලිපිද කියවනවා ඇත.ඔවුන් එයින් කුමන හෝ ප්‍රයෝජනයක් ගනු ඇත.එය මා හට විශාල සතුටකි.
   මේ ටික ලිව්වේ අනිත් අයගේ අනුකම්පාව ලබා ගන්නනම් නෙවෙයි.ජ්‍යොතිෂය පිළිබද බ්ලොග් ලියන්නෙකු අදහස් දක්වන්න ඕන හැඟීම් වලින් නොවෙයි ශාස්ත්‍රීය කරුණු වලින් බව මා හට හොද වැටහීමක් ඇත.
     ඒ කතාව එතනින් ඉවරය.නැවත ශනි හා චන්ද්‍ර මංගල යෝග ගැන විමසා බලමු
   * චන්ද්‍ර මංගල යෝගය
             කුජ හා සද ග්‍රහයන් සංයෝග වීම(එකම රාශියක තැන්පත් වීම) හා සම සප්තම වීම(එක් ග්‍රහයකු සිටින රාශියේ සිට සත්වැනි රාශියේ අනිත් ග්‍රහයා තැන්පත් වීම)

   * ශනි මංගල යෝගය
          ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීම(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම)

  ශනි මංගල යෝගය ගැන විවාහ දෝෂ 2 ලිපියේ දක්වා ඇත.මෙම ලිපියෙන් සුභ යෝගයක් ලෙස පොදුවේ සැලකෙන චන්ද්‍ර මංගල යෝගයේ ඵල විපාක සලකා බලමු.

 චන්ද්‍ර මංගල යෝගයේ ඵල විපාක.
        ධනය ලබයි.එඩිතර නිර්භය ගතියක් ඇත.කෙසේ හෝ ජීවිතයේ සාර්ථකත්වයක් ලබයි.මෙම සාර්ථකත්වය ලැබීමේදී ඇතැම් විට සිතට එකඟ නොවන මාර්ගයන්ගෙන් ලබන ඉපයීම්ද හේතුවේ.මව් සමඟ ඇති බැඳීම ජීවිතයේ එක් වරකදී හෝ කඩා දමන පිහිටීමක් ලෙසද සැලකේ.

 විශේෂ සටහන්.
     * සදු ,කුජ දෙදෙනා සප්තම වීමට වඩා සංයෝගව යෙදීම වඩා බලවත් බව සදහන්ය.එයිනුත් 1,2,5.9.10.11 ස්ථාන වල සංයෝග වීම වඩාත් බලවත්ය.

13 comments:

Podi Kumarihami said...

//100%ක් වෙස් පෙරලා ලියන මගේ අනිත් බ්ලොගය තනිකරම බයිලා බ්ලොගයකි.//මොකක්ද අනේ මේ බ්ලොග් එක?

විවාහයට බලපාන වෙනත් යෝග සහ ග්‍රහයන් ගැන පොඩ්ඩක් කියලා දුන්නා නම්...:D

Anonymous said...

ඔයාගේ ලිපි ගොඩක් කාලයක ඉදන් මම කියවනවා. නමුත් පළමු වතාවට අද තමා කොමන්ට් කරේ. මමත් ජ්යොතිෂයට උනන්දු කෙනෙක්. ඔයාගේ ජ්යොතිෂය කරුණු දැක්වීම ඉතා අගෙයි. මොකද එම කරුණු තේරුම් ගැනීමට ජ්යොතිෂය පිළිබද අල්ප මාත්‍රයක්වත් දැන සිටීම අනවශ්‍ය වීමයි. ඔබට හැකිනම් උමා ජ්යොතිෂය ගැන කරුණු ඉදිරිපත් කරන්න, එය ඉතා වටී යැයි මට සිතේ. (එය හෙළ ජ්යොතිෂය බැවිනි) කෙසේ වුවත් ඔබේ බ්ලොග් ලිවීමට මා සුභ පතනවා. ඔයාගේ ලිපි ගොඩක් කාලයක ඉදන් මම කියවනවා. නමුත් පළමු වතාවට අද තමා කොමන්ට් කරේ. මමත් ජ්යොතිෂයට උනන්දු කෙනෙක්. ඔයාගේ ජ්යොතිෂය කරුණු දැක්වීම ඉතා අගෙයි. මොකද එම කරුණු තේරුම් ගැනීමට ජ්යොතිෂය පිළිබද අල්ප මාත්‍රයක්වත් දැන සිටීම අනවශ්‍ය වීමයි. ඔබට හැකිනම් උමා ජ්යොතිෂය ගැන කරුණු ඉදිරිපත් කරන්න, එය ඉතා වටී යැයි මට සිතේ. (එය හෙළ ජ්යොතිෂය බැවිනි) කෙසේ වුවත් ඔබේ බ්ලොග් ලිවීමට මා සුභ පතනවා.

jhothishalanka said...

@Podi Kumarihami අපෝ ඒ බ්ලොග් එක ගැන කියන්න බැහැ.
@Anonymous ස්තූතියි.

තිරිසනා said...

මේක කියෙව්වහම මට පොඩි දෙයක් කියන්ඩ ඕනෙ.අයිය මේක පෝස්ට් නොකලත් කමක් නෑ.මේ ගල් මුල් කියන එක ජීවිතයේ සාමාන්‍ය දෙයක්.ඒවට ආයේ රිටර්න් දෙන්ඩ වෙනම පෝස්ට් දාන්ඩ යන්ඩ එපා.එතකොට ඉල්ලම් කෑමක් වෙනව.ඕවට අපි ගේම දෙන්ඩ ඕනෙ මොලෙන්.එහෙම නොකලොත් අපේ තියෙන ජ්‍යෝතීර් විද්‍යා දැනුමෙනුත් අපිට වැඩක් නෑ.

අපි පෙන්නමු නැකතේ පවර් එක.ලග්නෙට ගුරු තියල 6 පවර් කරල දාමු මින් පස්සේ පෝස්ට්.මේ තියෙනේ මම හදපු නැකතක් 09-26-2011, 08:49 ප.ව.අයේ නෑ පිස්සෝ කැලේ.අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.


මේක පෝස්ට් කරන්ඩ එපා.........

තිරිසනා said...

ඔය බයින එවුන්ව තඹේකට ගණන් ගන්ඩ එපා.මම දැකල ඔයිට වඩා හයි කාරයෝ එනව ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා කඳුලු පෙරාගෙන කේන්දරේ බලවගන්ඩ.බලපුවම මහාචාර්යවරු,ඉංජිනේරුවෝ, ව්‍යෛද්‍යවරු.පස්සේ මම මගේ ගුරුවරයගෙන් ඇහැව්ව මේ මොකද සර් කියල.සර් හිනාවෙලා මට කිව්වේ හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්ඩ කියල.සෙනසුරු,රාහු නොහිටින්ඩ අද මේ ලෝකේ තිරිසනාගාරයක් බවට පත්වෙලා.ජ්‍යෝතිශ්‍ය රුස්සන්නේ නැත්තේ තමාගේ දැනුම ගැන මාන්නයෙන් ඉන්න උන්.උන් බලන් ඉන්නේ කාට හරි වරදින පොටක් හරි තමාගේ දැනුමෙන් තව එකෙක්ව මඩවල තමා මහා ප්‍රාඤ්ඤයෙක් එහෙම නැත්තම් මහා කෙරුමෙක් කියන එක ලෝකෙට පෙන්නන්ඩ.

සුනිල් එදිරිසිංහ මහත්තයගේ අලුත් සිංදුවක් තියෙනව.සිනාසෙන අපමයි හඬන්නේ කියල.අහල බලල ඒකටත් පුලුවන් නම් තම තමන්ගේ මහාශාක්‍ය වූ දැනුම් සම්භාරයෙන් බැනපල්ල.

සුනිල් එදිරිසිංහ මහත්තයගේ අලුත් ඇල්බම් එකේ ඒ සිංදුව අහල බලපල්ල.මුලු ජීවිතේම පුදුමාකාර වචන පෙලකින් විස්තර කරනව.

මුතු said...

මේ බ්ලොග් එක ගැන උනන්දු පිරිස අඩු උනත්, මෙය නිතර කියවන්නේ මේ පිලිබදව සැබෑම උවමනාවක් කැමැත්තක් ඇති අයයි. ඒ ගැන සිතා සතුටුවන්න.

චන්ද්‍ර මංගල, ශනි මංගල පැටලුනා නේ මට. :(
ගුරු මංගල කියල තව යෝගයක් තියනවා නේද? එයද ලද විටෙක පහදන්න.
ඒ හැර ධර්මකර්මාධිපති යෝගය ගැනත් දැන ගැනීමට කැමැත්තෙමි.
විශේෂයෙන් ධර්මකර්මාධිපති ග්‍රහයන් ඒ ඒ ලග්න වලදී උච්ච, මිත්‍ර, සම ආදී ලෙස සිටින විටදී ලැබෙන ගුණ මොනවාද ?
නීච හා සතුරු ලෙස සිටින විටදී එම යෝගය නොයෙදෙයිද?
එම යෝගය යෙදෙයි නම් එහිදී ලැබෙන ප්‍රතිඵල මොනවද?
කුජ ශුක්‍ර යෝගය ධර්ම කර්මාධිපති ලෙස යෙදෙන විට එහි බලපෑම වන්නේ කෙසේද?

jhothishalanka said...

@මුතු
බලමු බලමු ඉඩ තියෙන විදියට ඔය කාරණා ගැන දන්න විදියට ලියන්නම්

මුතු said...

මගේ හදහනේ බලන හැමෝම ගොඩක් හොද කියනවා. එත් ඇති හොදක් නම් නෑ. වෙන්නෙම නරක.
වෙච්ච දේවල් හදහන බලන කෙනාට කියල ඇහුවොත් එත් කියන්නේ නෑ.
රැකියාව ගැන ඇහුවොත් පැත්තකින්වත් යන්නේ නැති දෙයක් කියන්නේ.
ගෙදරින් බැණ බැණ යෝජනා ගේනවා. ඒත් මම ප්‍රේම සම්බන්දයකින් ලු විවාහ වෙන්නේ.
හදහන බලන කෙනාට අනුව මේ වෙද්දී මම දෙවතාවක් වත් විවාහ වෙලා තියෙන්න ඕන.
මට දැනගන්න ඕනෙත් රැකියාවයි විවාහයයි ගැනයි.
ඔබගේ සේවාදායකයෙක් ලෙස හමුවිය හැකි නම් ඒ කෙසේද?
ඔබ තුමාගේ තර්කානුකුල බව නිසා නිවැරදි ලෙස හදහන බලාගත හැකි යයි මට හැගේ
කල යුතු දෙය කියනු මැනවි. ස්තුතියි...!!!

jhothishalanka said...

@මුතු
මම හුඟක්ම දක්‍ෂ හදහන් බලන්නෙක් නෙවෙයි.හදහන් බැලීම රැකියාව ලෙස කලත් මා හට වඩා දක්‍ෂ වැඩිහිටි දෛවඥයන් එමට සිටී.එවැනි අයෙක් හමුවීම වඩාත් හොද යැයි අදහස් කරමි.අනික මේ බ්ලොගය හදන විටම මා තීරණය කලා මෙය ජ්‍යොතිෂය පිළිබද දැනුවත් කිරීමට මිස වෙළඳ ලාභ ප්‍රයෝජන වලට යොදා නොගත යුතු බවට.ඔබට මතුවන ජ්‍යොතිෂ ගැටළු පිළිබද පමනක් වරින් වර අසන්න ඉඩ ඇති සැටියෙන් පිළිතුරු දෙන්න බලන්නම්.
jhothishalanka@gmail.com ඊමේල් ලිපිනයට ඔබගේ උපන් දිනය වේලාව එවන්න.රැකියාව විවාහය ගැන සරල කෙටි විස්තරයක් දෙන්න බලන්නම්

මුතු said...

හදහන් බලන්න දක්ෂ අයට වඩා යමක් කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් කෙනා ගැන විශ්වාසයක් තියන්න පුළුවන් නිසයි ඔබ තුමා ගෙන් විමසා සිටියේ.. ඔබ තුමන්ගේ සහයෝගයට ස්තුතියි...!! මම දී ඇති email ලිපිනයට මගේ උපන් දිනය වෙලාව යොමු කලෙමි. නැවත වරක් ස්තුතියි...!!

අරවින්ද said...

මගේ කේන්දරයේ (මීන ලග්නය) 9 වැන්නේ කුජ, සදු, කේතු, යුරේනස් යන ග්රහයන් සිටිනවා. මෙහි කුජ බලවත් වුවත් සදු නීචව පැවතීම අසුබද, ඉහත කී යෝගය මට තිබෙනවාද මෙම පිහිටීමට එම පල ලැබෙනවාද

jhothishalanka said...

@අරවින්ද
ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍ර මංගල යෝගය ඇත.සදු නීච වීම නිසා සුභඵල ඉස්මතු වීම තරමක් යටපත් වුවත් යෝග බලය ඔබට ඇත.

අරවින්ද said...

බොහෝමත්ම ස්තුතියි ඔබට !!!

Related Posts Plugin for WordPress, Blogger...