Thursday, April 4, 2013

අළුත් අවුරුදු චාරිත්‍ර - 2013


අළුත් අවුරුදු චාරිත්‍ර 2013

 නව සද බැලීම
     මෙය අපේ ඉතා පැරණි චාරිත්‍රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්‍රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.

  2013 වසරේ අභිනව චන්ද්‍ර වර්ෂය හා අභිනව සූර්ය වර්ෂය සදහා අප්‍රේල් මස 14 වෙනි ඉරිදා නවසද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය
  මෙම චාරිත්‍රයෙන් නව වසර සදහා සූදානම් වීමත් ගෙවී යන වසරේ තමන්ට ආරක්‍ෂාව ප්‍රවේශම ලබා දුන්නාට ඉෂ්ට දේවියන්ට තුති පිදීමත් සංකේතවත් කෙරේ.මෙහිදී නානු සාදා ගන්නේ පරණ අවුරුදු දිනයට අදාළ වෘක්‍ෂයේ පත්‍ර යුෂ වලිනි
 දින 7ට අදාළ වෘක්‍ෂ
     ඉරිදා    - ඉඹුල්
     සදුදා    - දිවුල්
     අඟහරුවාදා -  කොලොන්
     බදාදා   -  කොහොඹ
     බ්‍රහස්පතින්දා - බෝ
     සිකුරාදා  -  කරඳ
     සෙනසුරාදා - නුග
 
 මෙවර පරණ අවුරුද්ද සදහා ස්නානය
    2013 අප්‍රේල් 13 සෙනසුරාදා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.
   
 පුණ්‍ය කාලය 
    අළුත් අවුරුද්ද සදහා වෙන්වූ චාරිත්‍ර වල ඉතාම වැදගත් චාරිත්‍රයකි.මෙහිදී සූර්යයා මීන රාශියත් මේෂ රාශියත් අතර මැද සංක්‍රාන්ති කාලයේ සියළු සුභ කටයුතු අත්හැරීම සංකේතවත් කෙරේ.සූර්යයා ආපෝ(ජල) රාශියක් වන මීනයේ සිට තේජෝ(ගිනි) රාශියකට සංක්‍රමනය වීමේදී ඇතිවන අසුභ තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා වීම සංකේතවත් කෙරේ.


  මෙවර පුන්‍ය කාලය
      2013 අප්‍රේල් 13 වෙනි සෙනසුරාදා අපර භාග (රාත්‍රී) 07.05 සිට අප්‍රේල් 14 වෙනි ඉරු දින පූර්‍ව භාග (උදේ) 7.53 දක්වා පුන්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි සෙනසුරාදා අපර භාග (රාත්‍රී) 07.05  පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද ,පුණ්‍ය කාලයේ අපර කොටස තුල අළුත් අවුරුදු උදාව සැමරීම,ආහාර පිසීම,වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි.


 ** මෙහිදී පුණ්‍ය කාලයේම අපර කොටසේදී අවුරුදු උදාව සැමරීම ආහාර පිසීම අනුභවය වැඩ ඇල්ලීම ආදී සුභ කටයුතු කිරීම ඇතැම් අයට ගැටළුවක් වුවත් නිරයන සාස්ත්‍රීය ක්‍රමය අනුව නිවැරදි ක්‍රමය එයයි.එනම් 14 ඉරු දින පූර්ව භාග 01.29 සිට 07.53 දක්වා පහත දක්වා ඇති පරිදි ආහාර පිසීම,වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි.


අළුත් අවුරුදු උදාව
       මෙමගින් සූර්යයා මේෂ රාශියට එලඹීම සංකේත කෙරේ.රතිඤ්ඤා දැල්වීම ඝණ්ඨා නාද වැනි ශබ්ද පූජා පවත්වමින් මෙම අවස්ථාව චාරත්‍රානුකූලව සමරයි.

    මෙවර අළුත් අවුරුදු උදාව 
          අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග(උදේ) 1.29 ට අළුත් අවුරුද්ද උදාවෙයි.

 ආහාර පිසීම
     මෙය ඉතා වැදගත් අවුරුදු චාරිත්‍රයකි.අළුත් අවුරුද්දේ පලමු ආහාරය පිසීම සදහා ලිප ගිණි දැල්වීම මගින් ඉදිරි වසරේ සෞභාග්‍ය උදාවීම මින් සංකේතවත් කෙරේ.මෙහිදී භාවිතා කෙරෙන ලිප,දර,මුට්ටිය ආදී සියල්ල නැවුම් අයුරින් යොදා ගැනීමද චාරිත්‍රයේ විශේෂ අංගයකි.සුභ නැකැත් වේලාවට එදිනට නියමිත වර්ණයෙන් යුත් අළුත් ඇදුමක් ඇද සුභ දිශාව බලා කිරිබතක් පිළියෙල කර ගනී.
   දින හතට හිමි වර්ණ
     ඉරිදා    - රතු කහ මිශ්‍ර
     සදුදා    - සුදු
     අඟහරුවාදා - රතු
     බදාදා   -  කොළ
     බ්‍රහස්පතින්දා - රන්වන්
     සිකුරාදා  -  සුදු නිල් මිශ්‍ර
     සෙනසුරාදා - නිල්

 මෙවර ආහාර පිසීම 
        අප්‍රේල් 14 ඉරිදා පූර්ව භාග(උදේ)  4.06 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණූ දිග බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.


 වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය.
ආහාර අනුභවය
 පාරම්පරික දේශීය රසකැවිලි සහ කිරිබතින් සකස්කර ගනු ලබන අවුරුදු කෑම මේසය මැද පිත්තල පොල්තෙල් පහනක් තබා එය ගෘහ මූලිකයා විසින් දැල්විය යුතුය. ශුභ නැකැත් වේලාවට නියමිත ශුභ දිසාව බලා ප්‍රථම ආහාරය (කිරිබත්) අනුභව කළ යුතුය. ගෘහ මූලිකයා විසින් පවුලේ සියලු දෙනාටම ආහාර පිළිගැන්විය යුතු අතර, ආහාර අනුභවයෙන් පසුව පවුලේ දූ දරුවන් මවුපියන් වෙත බුලත් අතක් පිළිගන්වා දෙපා නැමදීමෙන් තම ගෞරවය පිළිගැන්වීම සිදුකරනු ලබයි. සමහර පළාත්වල ප්‍රථම ආහාරයෙන් කොටසක් වෙන්කොට දෙවියන් සඳහා පූජා කරනු ලැබේ.


වැඩ ඇල්ලීම
මෙයින් අදහස් කරන්නේ එළැඹෙන අලුත් අවුරුද්ද සඳහා ස්වකීය වෘත්තීන්හි නියැලීම සංකේතවත් කිරීමකි. උදාහරණයක් වශයෙන් ගොවීන් කුඹුරුකෙටීම්, පැළ සිටුවීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොතපත කියවීම, සමහර ප්‍රදේශවල තමන් භාවිත කරන පිහියා වැනි ආයුධවලින් කිරි සහිත ගසකට කෙටීම (ඒ මගින් භාවිත කරන ආයුධ උපකරණවල පන්නරය ආරක්ෂාවීම සහ කල් පැවැත්ම පිළිබඳ විශ්වාසය), ඖෂධීය පැළෑටි රෝපණය කිරීම.


ගනුදෙනු කිරීම
මෙය ඉතා වැදගත් චාරිත්‍රයකි. ඒ අනුව ගෘහ මූලිකයා හෝ ධනය අතින් සෞභාග්‍යමත් වැඩිහිටියෙකු විසින් බුලත් කොළයක ඔතන ලද මුදලක් ප්‍රදානය කරනු ලැබේ. එහෙත් චාරිත්‍රය වර්තමානයේදී වාණිජකරණය වී ඇති බවක් පෙනී යයි. එනම් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත මුදල් තැන්පත් කිරීමට මහා පරිමාණ වශයෙන් පෙලඹවීමත් එය අගය කරමින් කිසියම් ත්‍යාගයක් සංකේතවත්ව ප්‍රදානය කිරීමත් ය.


ජලය වෙත ගෞරව දැක්වීමේ චාරිත්‍රය
ගම්බද ප්‍රදේශවල ස්වකීය ගෙවත්තේ ඇති ළිඳෙන් හෝ ජලාශවලින් ප්‍රථම වතුර කළය ගැනීමට ප්‍රථම, කාසි කිහිපයක් (පඬුරු), පිච්ච මල් සහ අඟුªරු කැබලි කිහිපයක් ළිඳට දමා වැඳ ආචාර කර, අවශ්‍ය ජලය තම භාජනවලට පුරවා ගනී. මෙයින් සංකේතවත් වන්නේ තමන් භාවිත කරන, තමන්ට ජීවය ලබාදෙන ජල මූලාශ්‍රයන්ට පුද සත්කාර සහ ගෞරව දැක්වීමයි.

  මෙවර වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
     අප්‍රේල් 14 වෙනි ඉරිදා පූර්වභාග(උදේ) 7.05 ට තඹ පැහැති(රතු හා කහ මිශ්‍ර) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණූ දිග බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
 
 හිස තෙල් ගෑම
   අළුත් අවුරුද්දේ විශේෂ චාරිත්‍රයකි.අතීතයේ සිටම මෙය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉතා උත්සව සිරියෙන් සිදු කළ චාරිත්‍රයකි.මින් සංකේතවත් වනුයේ දීර්ඝායුෂයි.මෙහිදී හිසට උඩින් එදිනට නියමිත වෘක්‍ෂයේ පත්‍රද පයට ඊට පෙර දිනයට නියමිත වෘක්‍ෂ පත්‍රද තබා (මෙම ලිපියේ ඉහලින්ම දක්වා ඇති දිනයට නියමිත වෘක්‍ෂ බලන්න.)තෙල් හා එදිනට නියමිත වෘක්‍ෂ පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සිදු කරයි. සිකුරාදා දිනය යෙදෙන විට පයට බෝ වෘක්‍ෂ පත්‍ර යෙදීමට සිදුවීමත් බෝ වෘක්‍ෂය ගෞතම බුදුන් පිටදුන් වෘක්‍ෂය වීමත් නිසා සිකුරාදා දිනයන් අවුරුදු හිසතෙල් ගෑමට යොදා නොගනී.

 මෙවර හිසතෙල් ගෑම 
      අප්‍රේල් 15 වෙනි සදුදා පූර්ව භාග(උදේ) 6.41 ට නැගෙනහිර දිග බලා හිසට දිඹුල් පත්ද පයට ඉඹුල් පත්ද තබා සුදු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් හා දිඹුල් පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය මැනවි. 

 රැකියා සඳහා පිටත්වීම
ශුභ දිනයේ ශුභ වේලාවට, ශුභ පැහැති ඇඳුමෙන් සැරැසී ශුභ දිසාව බලා ස්වකීය රැකියාවන් සඳහා පිටත්වීම සමඟ ම අලුත් අවුරුදු චාරිත්‍ර මෙන් ම අලුත් අවුරුදු උත්සව ද සමාප්තියට පත්වෙයි. මෙයින් බලාපොරොත්තු වන්නේ ලැබූවාවූ අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් එකක් බවට පත්කර ගැනීමයි.

 මෙවර  රැකියා සඳහා පිටත්වීම
      අප්‍රේල් මස 17 වෙනි බදාදා පූර්ව භාග(උදේ) 7.42 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කොට දකුණු දිග බලා රැකියා සදහා පිටත්වීම මැනවි.

4 comments:

SilentSahan said...

godak sthoothiyi ayye...

Grateful Reader said...

Thankyou very much for this... i really needed something like this for work.. Very Grateful :) Thanks again.

මුතු said...

ගොඩාක් වටිනා ලිපියක් අයියේ. මෙයටම තව කොටසක් එකතු කලොත්
නව සඳ බලන්නා වූ දිනය අනුව;
ඉරිදාට - ධනලාභ, සම්පත්
සඳුදාට - කරදර, ධනහානි
අඟහරුවාදාට - සොර බිය, නඩු හබ
බදාදාට - ධනහානි, දුක් මුසු පුවත්
බ්‍රහස්පතින්දාට - මිත්‍ර ලාභ, සම්පත්
සිකුරාදාට - ස්ත්‍රී ලාභ
සෙනසුරාදාට - ලෙඩ දුක්
ලෙස දක්වා ඇති බැවින් නව සඳ බැලීම සඳහා ඉරිදා සහ බ්‍රහස්පතින්දා බොහෝවිට යොදාගන්නා බව කියවේ.

අඩුපාඩුවක් ඇතොත් නිවැරදි කරන්න.

උමා said...

man adamai me paththata awe mata dana ganna wadagath deyak thiyenawa

Related Posts Plugin for WordPress, Blogger...