Thursday, September 8, 2011

කළු කුමාර උපත

         කළු කුමාර උපත 

"සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය.


   සකලකලා වල්ලභ රජුට අනියම් බිසවකට දාව ඉතා රූමත් පුත් කුමරෙක් විය.මොහු ඉතාමත් නාහෙට නාහණ ගති ඇත්තෙකි.ඇතැම් විට රජුටද අවනත නොවන අවස්ථා විය.සුරූපි කාන්තාවන් දුටු විට ඔවුන්ගේ වයස ආදියවත් නොසලකා හිරිහැර කිරීමට මෙම කුමාරයා පුරුදුවී සිටියේය.හිරිමල් වයසේ ලදුන් මෙන්ම වයසින් මුහුකුරා ගිය කාන්තාවන්ටද කුමරුගෙන් අතවර කරදර විය.ගැබිනි කාන්තාවන් සමඟ සංසර්ගයේ යෙදීමට දැඩි ආශාවක් දැක්වූ මෙම කුමරු එවැනි කාන්තාවන් සෙයාගෙන ගොස් ඔවුන් තම ග්‍රහණයට නතු කර ගත්තේය.කුමරුගේ මෙම නොපනත් කම් නොඉවසූ රටවැසියන් කුමරුගේ ක්‍රියාකලාපය ගැන රජුට පැමිණිලි කලහ.තමාගේ අන්තඃපුර රාජ බිසවන්ට පවා කුමරුගෙන් කරදර සිදුවී ඇති බව දැනගත් රජු පුත් කුමරාට දැඩි දඩුවමක් ලබා දුන්නේය.
    දඩුවම් ලැබූ කුමරු පිය රජු සමඟ තදින් වෛර බැන්දේය.රජුගෙන් තම මවට සිදුවූ අඩු සැලකිල්ලක් පිළිබද කුමරු පෙර සිටම රජු සමඟ අමනාපයෙන් සිටියේය.දඩුවමෙන් පසු වෛරය තවත් වැඩි විය.රජු පිළිබදව තමා තුලවූ වෛරය පිටතට නොපෙන්වූ කුමරු රජු මැරීමට අවස්ථාවක් එනතුරු සිටියේය.උපක්‍රමශීලීව රජා මරාදමා රජකම ලබාගැනීමද ඔහුගේ අරමුණ විය.
   සකලකලා වල්ලභ රජු දියකෙලියට පොකුණට බැසීම වෙනුවට උඩක සිට දියට පැන ජල ක්‍රීඩා කිරීමට මහත් ආශාවක් දැක්වීය.රජැගේ මෙම පුරුද්ද ඔහු මැරීමට උපක්‍රමයක් ලෙස යොදාගැනීමට සිතු කුමරු කාටත් හොරෙන් නාන පොකුණෙ රජ්ජුරුවො දියට පනින තැන උල් කරපු ලී හිටෙව්වා. දියට පනින රජතුමා උල් ලීවල ඇනිලා මැරෙන විදිහටයි ලී හිටෙව්වේ.

එදා දිය කෙළියට ඇවිත් සකල කලා වල්ලභ රජ්ජුරුවො දියට පනින්ට සූදානම් වුණා. ඒත් ජලය මත වසා ඉන්න මැස්සෙක් රජතුමා දුටුවා. මැස්සෙකුට ජලය මත වහන්ට පුළුවන්ද? රාජපුරුෂයෝ පොකුණ පරීක්ෂා කළා. රජු මරා දමන්ට පොකුණේ සිටුවා තිබූ ලී උල් හමුවුණා.

වැඩේ වැරදුණු බව දැනගත් කුමාරයා මාලිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා කුණු දිය පර්වතයෙන් පැනල දිවි නසා ගත්තලු. මරණින් පසු ඔහු ‘කලු කුමාරයා’ බවට පත්වුණාලු
.
 පසන් කලාවල්ලභ  පිය නර නින්දා
 තමන් හට නොදී රජ කරනා සින්දා
 මරන්නට නාන පොකුණේ උල් ඉන්දා
 සිටින්නට නූනි මෙනුවර මේ සන්දා

 --------------------------------------------------------------------------------

  රජවාසළට එන රෙදි නැන්දා(රජක ස්ත්‍රිය) ගජබා රජුගේ අනියම් බිරිදක් විය.රජුට දාව රෙදි නැන්දාට නීල නමින් පුත් කුමරෙකු විය.වැඩිවියට පත් නීල රෙදි නැන්දා සමඟ දිනපතාම රජ වාසලට පැමිණියේය.දිනක් තම මවවූ රෙදි නැන්ද සමඟ පැමිණි නීල රජුගේ යගදාව ගෙන බලා එය උඩු යටිකුරු කර තබන ලදී.පසුව එතැනට පුමිනි ගජබා රජ යගදාව ඉසිලූ හපනා කවුදැයි මැති ඇමතිවරුන්ගෙන් විමසා එය කලේ නීල බව දැන විශ්මයට පත්ව නීලව තමගේ හමුදාවේ සේනාධිපති ධූරයට පත් කලේය.(පසු කලෙක ගජබා රජු සොලී රට ආක්‍රමණය කර තම පියාගේ සමයේදී මෙරටින් ගෙන ගිය සිංහල සිර කරුවන් බේරා ගැනීමට සොලී රටට යාමට යගදාවෙන් ගසමින් මුහුද දෙබෑ කර පාර සාදා දුන් නීල මහා යෝදයා මොහුය)
  ස්ත්‍රීන් වසන ස්ත්‍රී පුරයට ගිය නීල කුමරුට මහත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය.නීලගේ දැවැන්ත සිරුරට වශීවූ ස්ත්‍රීන් ඔහුගේ සිරුරේ එල්ලී සිරුරේ දැවටී එක පොකුරට නීලව බදා ගත්තේය.ස්ත්‍රීන් එකිනෙකා පොර අල්ලමින් සිදුකළ මෙම වියරු ක්‍රියාවෙන් කුමරු මහත් අපහසුතාවකට පත්විය.ස්ත්‍රීන් ඇගේ දැවටීම නිසා ඇතිවූ රාගී සිතුවිලි නිසාම තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහරදී බේරී යාමටද නීලට නොහැකි විය.ඇතැම් ස්ත්‍රීන් නීලගේ සිරුරේ කොටස් ටික ටික කඩාගෙන කෑ බවද සදහන්ය.අවසානයේ අධික මෛථූනය හේතුවෙන් නීල මිය ගියේය.ස්ත්‍රීන් කෙරේ ආශාව වෛරය මුසුව මියයාම නිසා නීල "නීල මදන කළු කුමාර" යක්‍ෂව උපන් බව සදහන්ය.
    යසින් කුමරු සොලී පුරේ යන්නට සැරසු   න් 
    ගොසින් මුහුද මැද සිටගෙන යගදා ගසමිමි න්
    රොසින් කිපී  එමවිට  මණිමේකළාන       න්
    ගාසින් කුමරු ගොඩ බැසිකළ ස්ත්‍රී පූරටව න්

    එනුවර සිටි නාලියොහට පුරුස බයක් නැ   තී
    අනුවන බස් කියා ලදුන් කාමෙට ලොබවෙ තී
    දෙනුවන මල් කැකුළු සේම පියයුරුනටව   තී
    අනුවන ළඳලියෝ ඇවිත් කුමරු බදා  ග     ති

    බාළ තරුණ අඟනන් හට විදිනට බැරි වෙ තී
    රාළ කියා එකින්නෙකා පොර අල්ලාග    තී
    දැළවරේ වටලාගෙන කුමරුන් ලෙවක    තී
    කෝළහලෙන් කුමරු මැරී පණචුත විය    තී

 ---------------------------------------------------------------------------------
      මහා වංශයේ සඳහන් පරිදිත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක්‌ අනුව හා  වැලිගම්පුර "රාජකුලවඩන" විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි බුවනෙකබාහු චක්‍රවර්ති මහෝත්තමයන් 6 වන වර්ෂයේදී රජවූ බවත් ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් පැමිණි කුමරකු රජුගේ අනුග්‍රහයෙන් මානවළු ප්‍රදේශයේ රජකම් කොට ඇත. බිසව දෙමළ මාලාවූ බවද තද කළු පාට නිසා කළු කුමාර නම්වූ බවද කියවේ. ඉතිහාසඥයෙක්‌ වන "කොඩ්රින්ටන්" මහතාගේ මතය අනුව මෙම රජු  විසූ මානවලු පුරය උඩරොටේ, පල්ල රොටේ යන පරිවාරයෙන් යුතු ගම්දනව් ඇතුළුවූ බව කියවේ. ඔහු ජීවත්ව විසූ උස්‌ ගොඩනැඟිල්ල උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්‌ටුය. ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක්‌ මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක්‌ එනවිට ඔසවන බව කියා පිටව ගොස්‌ කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක්‌ කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේය. මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ. තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය "ආභරණ ඇල්ල" නමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්‍ෂණියන් වූ බවද ජන කතාවලින් කියවේ.

මේ කුමරියන් සත් දෙනා කොණ්‌ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල නමින් හැඳින්වේ. මේ හැර කළු කුමාරයාට බිසෝවරු 32 ක්‌ සිටි බවටද සඳහන් වේ. මෙවන් බිසෝවරුන් ගණනාවක්‌ සිටියද මොහු යෞවනියන්, කාන්තාවන් පසුපස මෙලොවදීත් හඹා යන්නේ අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ යක්‍ෂයෙක්‌ නිසාය. මොහු ආත්මයෙන් ආත්මයට මේ පුරුද්ද ඇතිකරගෙන ඇත
  
 ---------------------------------------------------------------------------------
 ඉහතින් දැක්වූයේ කලු කුමාර යකාගේ විවිධාකාර ප්‍රභේද(අවතාර) ලෙස සලකන කුමාර,නීල මදන හා මාතාමුළු උපත් පිළිබද ජනප්‍රවාද කිහිපයකි.මීට අමතරව වට කළු කුමාර හා තොට කලු කුමාර ලෙස කලු කුමාර යකාගේ උප්පත්ති අවස්ථා විස්තර කර ඇත.
  කලු කුමාර යකා  වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්‌ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස්‌ ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්‌, බිත්තර බැද කා යන විට වතක්‌ ගලවා වතක්‌ අඳින තැන් ආදිය වේ.

මොහුගේ බැල්මක්‌ දිෂ්ටියක්‌ ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්‍ෂණයන් ඇතිවේ. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක්‌ දක්‌වයි. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්‌, ගිරයක්‌ අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය. මේ නිසා ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි. මෙම කාව්‍යයෙන් එය අපට මනාව වැටහේ.

මල්වර වෙලා ඉස්‌ නානට යන ගමනේ

මනකල් වෙලා හඬ තලමින් නානතුනේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ

ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ

එමෙන්ම කළු කුමාරයා ස්‌ත්‍රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැත. එනිසා ස්‌ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය.

16 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

කළු කුමාරයා ගැහුවා කියලා අහලා තිබුනට කතාව දන ගත්තේ අද තමා. එත් කතා ගොඩයි. බලන් යනකොට ඔය කතාවල ඉන්න මොකාද හරි කළු කුමාරයා කියලා හොයන්නත් මාර ගේමක් දෙන්න වෙනවනේ

චතුර විජේකෝන් said...

හැබෑට මෙච්චර කළු කුමාරයෝ ඉඳලත් අපිට හම්බ වුණේ නෑ නොවැ ඔයිං එකෙක්...

දිල් said...

ඉස්සර කරුවල වෙලාවට ලිඳ ලඟට එහෙම යන්න යද්දී ගමේ අම්මා ( අත්තම්මා ) කියනවා " හොඳට යන්න ගොම්මනේ..කළු කුමාරයා ඒවි " කියලා. ඉස්සරනම් ඔය කළු කුමාරයට මම බයයි..හික්ස්..සිරාවටම..ඒත් එයාගේ කතාව දැන ගත්තෙ නම් අද...

ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද ?

පිසාචයා said...

හුඟක් දේවල් දැන්ගත්ත..බෝම ස්තූතියි....

Gimhani said...

අද තමයි කළු කුමාරයා යනු කව්ද කියා හරියටම දෑන ගත්තේ..මෙච්චරකල් කළු කුමාරයා ගැන හිතාගෙන සිටි කරුණු වැරදියි....

ස්තූතියි...

හරී said...

කළු කුමාරයත් ග්‍රීස් යකෙක්ද?

Anonymous said...

වයඹ පළාතේ අරක්ගෙන ඉන්න කළු දේවතා බණ්ඩාර කියන්නෙත් ඔය කළු කුමරයාටමද?

සංකල්ප said...

අදම තමයි මම් කවුද කලු කුමාරයා කියන්නේ කියලා දැන ගත්තේ.

අර දියේ උල් හිටවලා මරන්න ගිය ක්‍රමයෙන්ම නුවර පලාතේ රජ කෙනෙකුත් මරන්න ට්‍රයි කලා. රජතුමා දියට බහින්න එනකොටම අර විදිහට බත්කූරෝ වහලා ඉන්නවා දැක්කා.

ඔන්න ඔය විදිහට තුඩු උඩ හිටපු බත්කූරා නිසා ලූ කුණ්ඩසාලේ කියන නම හැදුනේ.

කුණ්ඩ (බත් කූරා) + ශූලේ (උල )
කුණ්ඩසාලේ උනා ලූ.

pavithra weerapperuma said...

\\ස්ත්‍රීන් ඇගේ දැවටීම නිසා ඇතිවූ රාගී සිතුවිලි නිසාම තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහරදී බේරී යාමටද නීලට නොහැකි විය.//

පට්ට විජ්ජාත්මක පදනමක් ඇතිව කියල තියෙන්නේ. බලාහල්ලකො යොදයන්ත් ටෙස්ටෙස්ටරෝන් බල පාන අන්දම... ;)

බැරිද හැබෑට අර බබා වඩාගෙන ඉන්න ඇන්ටි ගැන කියන්ට.. :)

jhothishalanka said...

@සුළඟිල්ල | pinkie
මොකක්ද සුලෑ මල්ලියේ ඒ කතාව අපි දන්නේ නෑනේ.කියන්නකෝ බලන්න.

හිස් අහස said...

කලු කුමාර දිශ්ඨිය වැහිච්ච අය ගැන අන්නන්ත අහලා තියනවා ඒත් ඇත්තටම මේ කතාව හරියට දැනගත්තේ අද ..

Podi Kumarihami said...

ලස්සන කතා ටිකක් දැනගත්තනේ. අර පැත්තේ සිංහල රජවරුන්ට අන්තඃපුරයක් තිබුනද නැද්ද කියලා කතාවෙනවා. මෙහෙ ඒක ඔප්පු කරලා. මම හදන්නේ මේ පෝස්ට් එකට ලින්ක් එකක් වලව්වේ දාන්ට කියලයි. කමක් නැතුව ඇතිනේද?

jhothishalanka said...

කමක් නෑ කමක් නෑ අපි ලියන දේවල් වැඩි පිරිසක් බලනවනම් අපිටත් හරි සතුටුයි.

M. M. Rohana Wasantha said...

මෙන්න කළු යකා ගැන මගේ අදහස ...
කළු යකා සහ දෝ සතර
http://kendaralk.blogspot.com/2009/06/blog-post_11.html

Anonymous said...

එල මචන්, මම මේ ගැන ගොඩාක් කරුණු දැනගත්ත....

Gayani Imbulana said...

ඔය සකලකලා වල්ලභ කියන්නෙ පුත්තලම් යද්දි හමුවෙන තනිවැල්ල දේවාලයේ තනිවැල්ල දෙවියන්ට කියලා මං අහලා තියනවා.

Related Posts Plugin for WordPress, Blogger...