LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Monday, September 12, 2011

අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව



 ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළියෙළ කරන ලද පත් ඉරු වලිනි.පුස්කොළ ලෙස කටවහරේ ඇති මෙම තල කොළ පිළිබද ඉතිහාස කතාව ඉතාමත් රසවත් මෙන්ම සාහිත්‍ය අගයකින් යුත් පුරාවෘත්ත වලින් ගහන වූවකි.

     තාල වර්ගයට අයත් ශාකයක් වන තලගස තෙත් කලාපයො වැඩෙන අතර සත් කෝරලය,සතර කෝරලය හා තුන් කෝරලයේ බහුලව වැඩේ.(යාපනයේ වැවෙන තල් ගස මෙය නොවේ)
   තල ගසේ උපත පිළිබදව පුරාවෘත්ත කිහිපයක් ඇති අතර ඉන් එකකිනා දැක්වෙන පරිදි තව්තිසා දෙව් ලොවට අධිපති සක් දෙවියන් විසින් මිනිස් ලොව ලේඛන අවශ්‍යතාව දිවැසින් දැක ස්වකීය නදුන් උයනේ ඇති තල ගස් වලින් ඇට කිහිපයක් ගෙන අපේ රටේ හත්කෝරලයේ මැද පිහිටි ගමක් වන ගලතරය ප්‍රදේශයට දැමූ බවත් ඒ අනුව තලගස් හැදී ව්‍යාප්ත වූ බවත් සදහන්ය.පහත දැක්වෙන කවි පෙළින් එම පුරා වෘත්තය විස්තර කෙරේ.
   සාර සියද තිස්‌තුන් වෙනි වසලක වළගම්බා මහරජ පැමිණී
ධීර යෝධ නම් අභිදම් කර්තෘක ගායනාව කළ සතරවෙනී
බාර වෙනව සිය පනස්‌ සවෙනි වස මහානාම නම් රජ පැමිණී
නෑර බුද්ධ ඝෝසාචාරීන් කළ පිටකත්‍රය අටුවා සැදි ණී"

දැකලා නෙත් දහසින් යුත් පුරඳුරු පසුවට ලොව පවතින නුදුරේ
එකලා නඳුනුයනෙන් සිව්තල බිජු ගෙන සක්‌ දෙව් වැඩ ගගන තුරේ
මෙකලා මුළු ලොව බෝවෙයි සිතමින් "සත්කෝරලෙ" රට මැද අයුරේ
වපුළා ලෙස බිජු කිරිසක භූමිය ඉස්‌සා කිව් දෙව් ගල් අතුරේ"

 මෙහි සදහන් ගල් අතුර පසුව ගලතරය වී ඇත.ජන කවියේ ඇති අන්දමට හංසයන් තලගෙඩි තැන තැන ගෙන ගොස්‌ දමා ඇත්තේ බෝවීම සඳහාය. එම ජන කවිය මෙසේ දැක්‌වේ.

"යසින් අනගි සුර පත්‍ර විමානේ පැළවුන තල රුක උපත අසන්
උඩින් හංසයෙක්‌ ඉගිලී ඇවිදින් කඩා ගනිති ගෙඩි උගේ හොටින්
හොටින් විකා තල ඇට පැණි බීලා ඒවා තැන තැන අත හරිමින්
ගල් අතරට ඇට වැටුණ නිසාවෙන් ගලතරයයි කියවුණා නමින්"
   පුරා හා ඉතිහාස ගවේශන මතය අනුව අප තලපත් වල ලිවීම පුරුදු වී ඇත්තො අසල්වැසි භාරත දේශයෙනි.නමුතා අරිසෙන් අහුබුදු ශූරී මතය අනුව රාවණා යුගයේ සිටම හෙළයන් තලපත් වල ලිවීම කර ඇත.
   ලේඛන හා වෙනත් අවශ්‍යතා සදහා තල ගොබය යොදා ගැනීමද ක්‍රමවත් බවක් ඇත.තල ගොබයේ පිටතින්ම ඇති දිගු ගොක් කොළ ජන්ම කේන්ද්‍ර ලිවීමට ගන්නා අතර මැද ගොක් කොළ බණපොත් වැනි එකට බැද තබන පුස්කොළ පොත් ලිවීමට යොදා ගනී.ගොබයේ අග කොටස් වටාපත් හා වියන් පත් සෑදීමට යොදා ගනී.වටාපත් නිර්මාණය කරනු ලබන තලගොබයට කියන්නේ "හිරිඅත්ත" කියාය.
   ලිවීම සදහා භාවිතා කරන පුස්කොළ සාදා ගන්නේ තල ගොබයෙන් ගන්නා ගොක් කොළ තම්බා පදම් කොට ඉන්පසු මද අව්වේ කිහිප වරක් වියලා ගැනීමෙනි.වියලා ගත් කොළ රැයක් පින්නේ දමා නැවත වරක් වේලා ගනී එවිට තලපත් තීරු වඩා පැහැදිලි සුදු පැහැයක් ගනී.
    පුස්කොල පොත් ලිවීමට හා ජන්ම කේන්ද්‍ර සෑදීමට ගන්නා පුස්කොළ සෑදීමේදී පදමට වියළා ගත් තලගොබ පත්ඉරු මෝල් ගසක්‌ ගෙන එය දෙපැත්ත ලණුවලින් ගැටගසා එල්ලා ඒ මැදින් තල්පත්ඉරු තදින් ඇදීමෙන් ඒවා හොඳින් මැදේ. ඊටපසු එම තල්පත් ඉරු රෝල් කර තබන අතර ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් ආරක්‌ෂා කරගැනීම සඳහා හොර හා කැකුණ ආදී කිරි වර්ග පොල්තෙල් හෝ තැඹිලි තෙල් මිශ්‍රකර යන්තමින් අතුල්ලා හරින අතර ඊටපසු කෘමීන්ගෙන් එය සම්පූර්ණයෙන් ආරක්‌ෂා වේ.මෙලෙස සකස් කරගන්නා තල්පත් වසර දහස් ගනනක් වුවත් ආරක්‍ෂා කර ගැනීමට හැකි බව සදහන්ය.එතරම් පැරණි පුස්කොළ පොත් වර්තමානයේත් ඇති බවට සාක්‍ෂි සාධක ඇත.
  අප කුඩා කාලයේ මගේ පියා විසින් මෙම පුස්කොළ පදම් කිරීම සිදු කරන අයුරු කුඩා අප මහත් ආශ්වෙන් බලා සිටි දෙයකි.බෙහෙත් බඩු කඩවල් වල පුස්කොළ වට්ටු ගසා විකිනීමට ඇතත් මගේ පියා මහනුවර ප්‍රදේශයෙන් තල ගොබ ගෙන්වා ගෙන නිවසේදීම පුස්කොළ සකස් කර භාවිතා කිරීම වැඩි වශයෙන් කලේ එය වඩාත් ලාභ දායක වීම හා එලෙස නිවසේදී සකස් කර ගන්නා පුස්කොළ ගුණාත්මක බවින් වැඩි නිසාවෙනි. 
    පුස්කොළය නිසි පරිදී පදම් කර වියලා ලිවීමට අවශ්‍ය ප්‍රමාණයට කපා ගත් පසු නැවත මැදීමක් සිදු කරන්නේ පුස්කොළයේ ලිවීම පහසු කිරීමටය.අප කුඩා අවධියේදී අපගේ ප්‍රදේශයට විදුලිය නොතිබූ නිසා මමත් අයියාත් අක්කාත් පොල්කටු ඉස්ත්‍රික්කයෙන් පුස්කොළ මැදීමට තාත්තාට උදවු වූ අයුරු තාමත් මතකයේ ඇත.එක් අයකු පුස්කොළයේ පළල් අත හරහා ඉස්ත්‍රික්කය තබා තද කරගෙන සිටින අතර අනෙකා පුස්කොලයේ කෙළවරකින් අල්වා සෙමින් අදින්නේ ඉස්ත්‍රික්කය හරහා පුස්කොළය මැදීගෙන යන ආකාරයටය.මෙලෙස පුස්කොළයේ දෙපැත්තම හොදීන් මැද ගන්නා අතර පුස්කොළ මැදීමට ප්‍රථම පැයක් පමණ වතුර බේසමක බහා තබා පොඟවා ගැනීමද සිදු කරයි.
   පුස්කොළයේ ලිවීම කරන්නේ පන්හිඳෙනි.වානේ ලෝහයෙන් තුඩ සකසා ඇති මෙම ලෝහමය පන්හිඳවල් අතර බොහෝමයක් අලංකාර කැටයම් වලින් විචිත්‍ර කාට ඇත.මෙම පන්හිඳ නිමැවීමේ තාක්‍ෂණයද විද්‍යාත්මකය.ලියන්නා එය භාවිතා කරන ස්වභාවය අනුව පන්හිදේ දිග පළල හා පන්හිදේ කද මැද හා උඩ කොටසේ බර ප්‍රමාණය අඩු වැඩි කරන්නේ පන්හිදේ ගුරුත්ව කේන්ද්‍රය ලියන්නාට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමටය.තම ගෝලබාලයන් පන්හිද අල්ලන හා ලියන ස්වභාවය සලකා ගුරුවරුන් කම්මල් කරුවා ලවා පන්හිඳ නිර්මානය කරවයි.අතීතයේ සිටද කම්මල් කරුවන් පන්හිඳ නිර්මාණය කිරීමේදීද විශේෂ වූ තාක්‍ෂනික ක්‍රම උපයෝගී කරගෙන ඇත.
  පන්හිදෙන් පුස්කොළයේ ලිවීමටද සුවිශේෂී පලපුරුද්දක් අවශ්‍යය.ලිවීම කරන්නේ වම් මහපටැඟිලි නියපොත්තේ කැපුමකින් කට්ටයක් සාදා ඒ මත පන්හිද තබාය. වමින් ලියන අයෙක්‌ නම් දකුණතේ මහපටැඟිලි නියපොත්ත මත තබා එය ඇඳි කෙරේ.මෙම නියපාතු කට්ටය පන්හිදෙන් ලිවීමේදී පන්හිඳ එහා මෙහා වී අකුරු ඇදවීම වලකා කඩදාසියේ ලියන ආකාරයට ලිවීමට ආධාරකයක්වේ.(වයස අවුරුදු අසූ ගානක් වන තාත්තා දැනට අසනීපව ඇදට වී සිටියත් ඔහු විසින් පුස්කොළ ඇදීමට නියපොත්තේ සකසා ඇති කට්ටය එලෙසම තිබීම ප්‍රිය කරයි.වරක් ඔහුගේ වම් මාපටැගිල්ලේ නියපොත්තේ වූ මෙම සලකුණ මා විසින් නියපොතු කපන අවස්ථාවකදී කපා ඉවත් කලේ ඔහු අසනීපව සිටින නිසා හා නැවත පුස්කොළ ලිවීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක නැති බැවිනි.නියපොත්ත කපා දැමීම සිදුකිරීම ඔහුට නොදන්වා කළ අතර මා විසින් නියපොත්ත සම්පූර්ණයෙන් කපා දැමී බව දැනගත් ඔහු දුක්මුසු හඩින් කීවේ "ඔය නියපොතු කට්ටේ කැපීම මම කලේ අවුරුදු 14 වගේ ඉදන්.උඹ ඒක කැපුව එක හරි නැහැ.කට්ටෙ තියෙන විදියටම නියපොත්ත කපන්න තිබුණා." යනුවෙනි. මා විසින් දැනට පුස්කොළ කේන්ද්‍ර ලිවීම නවතා දමා ඇත්තේ එය ඉතා අධික වේලාවක් ගතකොට හා මහන්සියකින් කළ යුතු කාර්යයක් බැවිනි.සීයාත් තාත්තාත් පාරම්පරිකව සිදුකළ පුස්කොළ ලිවීම මා විසින් නවතා දැමීම පිළිබදව තාත්තා එතරම් මනාපයක් නැත.)හොදින් පලපුරුදු අයකුට කඩදාසියේ අදින ලියන වේගයෙන්ම පුස්කොළයේ ලිවීමටද හැකියාව ඇත.අප නිවසේ පන්හිඳ කිහිපයක්ම තිබූ නමුත් මේ වන විට ඉන් කිහිපයක් අස්ථාන ගතවී ඇත.දැනට ඇති පන්හිඳක පින්තූරයක් පහත දක්වා ඇත.
                           
   පුස්කොළ ලිවීමේදී යම්කිසිවූ විචිත්‍ර බවක් ඇතිව ලිවීමද එහි වූ ඉතා විශේෂ ලක්‍ෂණයක් විය.ජන්ම පත්‍ර පුස්කොළයේ ලිවීමේදී චිත්‍ර සටහන් රටා මගින් පුස්කොළය අලංකාර කෙරේ.ලියවැල් මකර තොරන් ආදී විවිධාකාර රටා ක්‍රම භාවිතය ගුරු කුල අනුවද විවිධ විය.සාමාන්‍ය ලේඛනයේදී  අපි තබන නැවතීමේ තිත වෙනුවට පුස්කොළ ලිවීමේදී භාවිතා කැරෙන්නේ පෙයියාලමය. ( ) පුස්කොළයේ ලිවීම අපගේ සංස්කෘතික හා සාහිත්‍ය අංගයක් ලෙස දක්වා ඇත්තේ එබැවිනි.
  ලියා අවසන් වූ පුස්කොළය ඉන්පසු කළු මැදීම සිදු කරයි.100%ක් කපු වූ රෙදි කැබැල්ලක් පුළුස්සා එම අළු කොටසට දුම්මල ද්‍රාවණයකින් ස්වල්පයක් එක්කොට පුස්කොළයේ ඇතිල්ලීම කරන්නේ අකුරු කළු පාටින් පෙනීම සදහාය.ඉන්පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් හොදින් පිසදා නැවත අව්වේ වේලීම සිදු කර යි.ජන්ම කේන්ද්‍ර පුස්කොළ ගත කිරීමේදී මෙලෙස සිදු කොට නොගැලවෙනසේ රවුමට වට්ටුව ගසයි.පුස්කොළය රව්මට වට්ටු ගැසීම කිරීම කරන්නේද ආරාක්‍ෂාකාරී පිළිවෙතක් අරභයාවෙනි.පුස්කොළ කේන්ද්‍ර සෑම විටම වියලිව තබා ගත යුතුය.වතුර ගෑවුනහොත් පුස් ඇල්ලීම සිදුවේ.එබැවින් පුස්කොළය ලිවූ අළුත ගෙයි දුම් මැස්සේ තබා තව දුරටත් පදම් කිරීමක් සිදු කිරීමට කේන්ද්‍රයේ අයිතිකරුට දන්වයි.
   ධර්මය,ජ්‍යොතිෂය හා ආයුර්වේය වැනි ශාස්ත්‍රීය කරුණු ලියන පුස්කොළ ලිවීමෙන් පසු එක් එක් තල් කොලය සිදුරු කොට ඒවා නූල් වලින් බදියි.මෙම පුස්කොළ පත්‍ර සියල්ල එකට බැද පොතක් ලෙස සකසන්නේ පුස්කොළ මැදට සිටින සේ ලී වලින් සකසන ලද විශේෂී කම්භයක් මගිනි.ඉන් පුස්කොළ පොතට ආරක්‍ෂාවක් ලැබෙන අතර කියැවීමටද පහසුවේ.කම්බයේ පියන්පත ලීයෙන් ඔපදමා අලංකාර ලෙස සකස්‌ කෙරේ. ඒ සඳහා ලාක්‍ෂා කැටයම්ද යොදාගනී. හංස පූට්‌ටු ලියවැල් ආදිය පියන්පත් අලංකාරය සඳහා යොදා ගැනේ. ලී පියන්පත් බොහෝවිට අලංකාර කෙරෙන්නේ ලාක්‍ෂා කැටයමින්ය. ඒ සඳහා කළු, කොළ, කහ, රතු යන පාට වර්ග ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. මේ කටයුත්ත ඉතා අමාරු අපහසු දෙයක්‌ ලෙසින් පෙනුනද පළපුරුදු අයට මෙය එතරම් අපහසු කාරියක්‌ නොවේ. මන්ද ඒ පිළිබඳව හොඳ පුහුණුවක්‌ ලබා ඇති හෙයිනි. දෙවැනි, තෙවැනි සියවස්‌වල ලේඛන කටයුතු සඳහා බොහෝවිට යොදාගත්තේ මෙම පත්ඉරුය. ඒ සඳහා පත්ඉරු සකස්‌ කළේ වෙනම කණ්‌ඩායමකි. පසුකාලීනව "පන්සල" සංස්‌කෘතියේ උපන්ගෙය වූ නිසා මහා සංඝරත්නය මේ සියලු කටයුතු ඉතා පරිණත භාවයෙන් සිදු කරන්නට විය. බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මාතලේ අළුලෙනේදී ග්‍රන්ථාරූඪ කරන විට ඒ සඳහා පුස්‌කොළ පත්ඉරු සකස්‌ කළේද, මේ දඹදෙණියේ පිහිටි රජතල් උයනෙන් ලබාගත් තලගොබවලින් බව පුරාවෘතවල සඳහන්ය.
                         
        අද "තලගහමඩුව" යන ස්‌ථානයේ එදා තලකොළ පත්ඉරු වියළා සකස්‌ කළ බවට තොරතුරු ඇත. ඒ ආසන්නයේ පිහිටි තලපත් ගල තැනිතලා ගලකි. එහි පත්ඉරු වේළීමට වනා තැබූ බව සඳහන් වේ. එදා මාතලේ අළු ලෙනට මෙම තලපත්ඉරු ගෙනගියේ තවලම් මගින්ය. මෙම තවලම් මාර්ගය වැටී තිබුණේ පැරැණි රෑණගල රජමහා විහාරය හරහා අනුරපුර දක්‌වා වැටී තිබුණ මාර්ගය ඔස්‌සේය. එම මාර්ගය කලාවැව හරහා දඹුල්ල ඔස්‌සේ මාතලේට වැටී තිබුණ බව කියෑවේ. මෙම රජ තල් උයන පිළිබඳව ඇති පැරැණි ජනකවි රාශියක්‌ හමුවී ඇත.

බුදුන් වදාළ දස ධර්මය ලිවීම සඳහා ඉතාම සුදුසු දෙය තල්පත් ඉරුව බව පැරැණි ජන කවියා දුටුවේ මෙලෙසින්ය. 

"අත්ත හොඳයි තද වැස්‌සට ඉහලන්ඩ
පිත්ත හොඳයි තද වරපට අඹරන්ඩ
ගොබය හොඳයි දස ධර්මේ ලියවන්ඩ
මේ මල හොඳයි බුදු පුදයට ගෙනියන්ඩ"

    වර්තමානයේ ද සත් කෝරලයේ පිසහිටි ගලතරය තලකොළ කර්මාන්තය සඳහා ඉතාමත් ප්‍රසිද්ධය. මහා සංඝරත්නය උදෙසා නියමිත පරිදි වටාපත් නිර්මාණය කරන්නේද මෙහිය.
    එදා පන්සිය පණස්‌ ජාතක පොත වැනි අති විශාල ග්‍රන්ථ තලකොළ පත්ඉරුවේ ලියා තැන්පත් කළේ මහා සංඝරත්නයයි. අද එම පන්සිය පණස්‌ ජාතක පොතේ එක්‌ පිටපතක්‌ සත් කෝරලයේ අතිශය පැරැණි දැකුම්කලු රාජමහා විහාරයක්‌ වන මැද්දේපොළ පොත්ගුලේ තබා ඇත. කෙළින් සිටවූ විට පොතේ උස අඩි තුනක්‌ පමණ ඇත. එසේම අති විශාල ප්‍රමාණයක්‌ ආයුර්වේද ග්‍රන්ථ ලියා ඇත්තේ ද පුස්‌කොළවලය. අද මේවායේ වටිනාකම මිනිය හැකි නොවේ. ඒ තරම් වටිනාකමක්‌ ඒවායේ ඇත.
    තලපත් ඉරුවේ හරි මැදින් පත්ඉරු දෙකක්‌ හෝ තුනක්‌ ලබාගත හැකිය. දෙපස තීරු දෙකක්‌ අයින් කළත් ඒවා කුඩා පොත් බැඳීූම සඳහා යොදාගත හැකිය. තලගොබය පදම් කිරීම සඳහා වේළීමේදී යම් ප්‍රමාණයක්‌ ඇත. කරවන තුරු වේළීමද යෝග්‍ය නොවේ. සමහර පිරිස්‌ තලගොබ පදම් කරන්නේ මඳ පවනේ වියළමින්ය. පස්‌ලෝ හා රත්රන් රිදී සුර නොමැති කාලයේ කරේ දැමීම සඳහා යන්ත්‍ර සකස්‌ කරන ලද්දේ ද පුස්‌කොළයෙනි. වේළා සකස්‌ කරන ලද පුස්‌කොළය පැරැන්නෝ වේලාපත්කඩය හෙවත් හඳහන සකස්‌ කිරීමටද යොදාගති.

රිදී හා රත්‍රංවලින් කනකර ආභරණ නොපැළඳි යුගයේ පුස්‌කොළයෙන් තැනූ ආභරණ පැළඳි බව ජන කවිවල දැක්‌වේ.

"දෙකනේ පුස්‌කොළ තෝඩු දැමූවත් 
තපසට නොගනිති වන්නා"
   
   තල පිත්තෙන් අඹරා ගන්නා වරපට අලි ඇල්ලීම සඳහා ද යොදගත් බව කියෑවේ. එය ඒ තරම්ම ශක්‌තිමත්ය. තල ගහෙන් ගන්නා වැඩ රාජකාරි බොහෝය. රාජ රාජ, මහාමාත්‍ය ආදී උසස්‌ අයගේ නිවෙස්‌ සෙවිලි කිරීමටත් තල අතු යොදාගත් බව සඳහන්ය. සත්කෝරලය පාලනය කළ මීගස්‌තැන්නේ මහ අදිකාරම්ගේ කුලියාපිටියේ කෝන්ගහගෙදර තනා තිබූ නිවස සෙවිලි කර තිබුණේද තල අතුවලින් බව පුරාවෘතවලින් කියෑවේ. තල අත්ත අව්වේ වියළා පදම්කොට වහලයට බැන්ද පසු එය අවුරුදු පහක්‌ පමණ නොදිරා තිබේ. එසේම වහළයේ පීලි දැමීම සඳහා ද පැරැන්නෝ තල අත්ත භාවිතයට ගෙන ඇත. වී වගාවේදී කුඹුරු පාළු කරන සතුන් සඳහා ද පුස්‌කොළයෙන් යන්ත්‍ර ඇඳ හතරකොන තබනු ලැබේ. එය පැරැණි අත්දුටු ක්‍රමයන්ය.

මෙම ක්‍රම අභිචාර විධි ලෙසද සැලකේ. රාජ යුගයේ දී රහස්‌ පණිවුඩ ලියා යෑව්වේද පුස්‌කොළයේය. ඒ නිසා තලකොළය සිංහලයේ ලිවිසැරිය දියුණුව උදෙසා කොතරම් දුරට ඉවහල්වීද යන්න අපට සිතා ගැනීමට පුළුවන. එසේම තල ගසේ කඳ ආහාර වශයෙන්ද මහත් ප්‍රයෝජන රාශියක්‌ ලබාදේ.
       තල කඳේ හැදෙන පිටි මගින් රොටී, කැඳ හා තලප සාදාගත හැකිය. මෙය ඉතා රසවත්ය. තල තලප, කිතුල් පැණි සමග ඉතා රසවත්ය. වර්තමානයේ තල ගොබය ඉතා විශාල ලෙසින් විනිමය උපයන ආයිත්තමක්‌ වී ඇත. ඒ මගින් නිපදවන තේ පෙට්‌ටි හා විසිතුරු භාණ්‌ඩ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක්‌ පවතී.
   තල මලද ඉතාමත් අලංකාර නිමැවුමකි. ගමේ සියලුම ගස්‌ මුදුන්වලට ඉහළින් පිපෙන තලමල ඉතා අලංකාරය. එහෙත් තල මලක්‌ පිපුණ විට ගමට අපල බව ගැමි කියමනකි. කෙසේ වෙතත් තල මල පිළිබඳ කවිද පටබැඳී ඇත. ඒවා තල මල වරුණ ලෙසින් හැඳින්වේ. සිංහල සාහිත්‍යාවලියේ බොහෝ සම්භාව්‍ය ග්‍රන්ථ රචනා කර ඇත්තේද පුස්‌කොළ පොත්වලය. පසු කලෙක ඒවා මුද්‍රණද්වාරයෙන් එළිදක්‌වා ඇත. සාමාන්‍ය තලගොබයකින් පත්ඉරු ගත හැක්‌කේ කුඩා ප්‍රමාණයකි. එයට හේතුව නම් අගමුල පොත් කම්බ බැඳීම සඳහා ප්‍රමාණවත් නොවීමයි.
    
 මූලාශ්‍ර - 
        "දඹදෙනි සිරිත් හා වගතුග" - ගොඩගේ ප්‍රකාශන
         විකිපීඩියා
         ගම්වැසි වදනරුත් -සමරවීර විජයසිංහ
         චාරිත්‍ර පෙරහැර - අනිල් ප්‍රියරත්න

25 comments:

  1. පුස්කොල ගැන ඉතාමත් වටිනා ලිපියක්.. බොහොම ස්තූතියි නොදන්න කරුණු ගොඩාක් දැනගත්තා.. අපේ ගෙදෙරත් තල් ගහක් තියනවා. ඒකෙ වටිනාකම අදයි දැනගත්තේ...

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක් . අද මම සිංහල Calligraphy තියනවද කියල හොයා හොයා ඉද්දි මතක් වුනේ මේ පුස්කොල වල ලියල තියෙන්නේ එක්තරා විදියකට Calligraphy නේද කියල . මුණු පොතෙන් නලිනි එකක් සොයා දුන්න . අදම මේ ලිපිය දැම්මට ගොඩක් ස්තුතියි,.

    ReplyDelete
  3. බොහෝ දෙනෙකු නොදන්නා, ඒ වගේම අභාවයට යන පුස් කොළ පොත් ලිවීම ගැන සවිස්තරාත්මකව ලියවුනු මේ ලිපිය ඉතා වටිනවා.බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. මේ ලිපියට අදාල නැති දෙයක් මම මේ අහන්නෙ ..අමනාප වෙන ඵකක් නෑ කියල හිතනවා..මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. 2012 අවුරුද්දට අදාල නැකැත් දැන්ම දැනගන්න විදියක් නැද්ද?( මට මගේ වෙඩින් එකට ලබන අවුරුද්දෙ නැකතක් තියෙන මාසයක් දැනගන්න.ඒ කියන්නේ මම සහ මගේ සහකාරියගේ කේන්දර වලට ගැලපෙන මාසයක් දැන ගන්න.)අම්මලාට කේන්දර බලන කෙනෙක් කියල තියෙන්නෙ ලබන අවුරුද්දෙ නැකැත් දැනගන්න ජනවාරි වෙනකම් ඉන්න වෙයි කියල. මම දැනට විදේශ ගතවෙලා ඉන්නෙ.

    ReplyDelete
  5. වටිනාම වටිනා ලිපියක් .. රසවත්ව ලියලා.. දැන ගත්ත කාරණා ගොන්නයි.. ස්තූතියි ඔබේ වටිනා ලිපියට..

    ReplyDelete
  6. තොරතුරු ගොඩාක් දැන ගත්තු අගනා ලිපියක්. පොඩි කාලේ තලප කාලා තියනවා. ඒත් මොන තලපද කියලා මතක නෑ. ඔය කියන තල ගහේ පින්තූරයකුත් දැක ගන්ට තිබුනානම් අපූරුයි.

    මොන තරම් සියුම් නිර්මානයක්ද පුස්කොලයක් සැකසීමත්. ඒ කලාව හැමදාටමත් නොනැසී අපේ රටේ දිගටම පවතී කියලා හිතනවා.

    ReplyDelete
  7. දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් දැනගත්තා..ගොඩක් වැදගත් ලිපියක් ..

    ReplyDelete
  8. @Anonymous
    ලංකාවේ ප්‍රසිද්ධම පංචාංග ලිත් දෙක වන ඈපා හා ලංකා පඤ්චාංග ලිත් දෙක සැලකූ විට ඈපා ලිතෙන් 2012 ජුනි 30 දක්වාත් ලංකා ලිතෙන් 2012 අප්‍රේල් 15 (අව්රුදු සංක්‍රාන්තිය දක්වා) පංචාංගය දක්වා තිබෙනවා.දෝෂ දින අත්හැර මෙම ලිත් වලින් ඉහත දැක්වූ කාල වකවානු දක්වා සුභ නැකැත් සෑදීම කල හැකියි.එමෙන්ම ඉදිරියට නැකැත් සෑදීමට භාවිතා කල හැකි රෆායල් ලහිරි වැනි අන්තර්ජාතික ලිත් ඇති නමුත් ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නිසා පෙරදිග දෛවඥයන් අතර භාවිතය අඩුයි."ඉසිකර" නමින් පල කෙරෙන පංචාංග ලිතෙන් 2013 අග දක්වාම සුභ නැකැත් තේරීම කල හැකියි.නමුත් ලාංකීය දෛවඥයන් වැඩි පිරිසක් පුරුදුව සිටින්නේ ඈපා හා ලංකා පංචාංග ලිත් මගින් සුභ නැකැත් සෑදීමට නිසා ඔවුන් වෙනත් ලිත් ඇසුරෙන් නැකැත් සෑදීම ප්‍රතික්ෂේප කරනවා.2012 අපේල් 15 න් පසු සුභ නැකැතක් තේරීමට ලංකා ලිත භාවිතා කරන්නන් හා 2012 ජුනි 30 න් පසු සුභ නැකතක් තේරීමට ඈපා ලිත භාවිතා කරන්නන් 2012 දෙසැම්බර් දක්වා සිටිය යුතු බව දක්වන්නේ ඊලඟ කලාපය එන්නේ දෙසැම්බර් වල බැවිනි.ඈපා හා ලංකා ලිත් සෑදීම කතුවරු මණ්ඩලයක් විසින් සිදු කිරීම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන් වීම නිසා එම ලිත් වැඩි විශ්වාසයි.(මම කිව්වේ අවංකව නැතිව මම කාටවත් කඩේ ගියා නෙවෙයි.)පරිගණක මෘදුකාංග ඇසුරෙන් පංචාංග තත්කාල ගැන බලා ඉදිරි ඕනෑම දිනයකට නැකැත් සෑදීමේ ක්‍රම ඇතත් ඒවායේ පැටලීම් වැරදීම් වැඩියි.

    @Podi Kumarihami ඇයි පින්තූරයක් දාලා තියෙන්නේ ඔන්න පල්ලෙහායින් ආපහු දැම්මා.දැක්කද මලකුත් පිපිලා තියෙන අපූරුව.හැබැයි මේක ඇදපු රූපයක්.
    තල ගහේ පින්තූරය

    කමෙන්ට් කල අනිත් අයටත් ස්තූතියි.

    ReplyDelete
  9. පෙයියාලමද (-පෙ- හරියටම නොදනී) කුණ්ඩලියද (෴) ..

    ReplyDelete
  10. හරි හරි ඔය දෙකම හරි මම දාලා තියෙන්නේ දෙමළ වචනය

    ReplyDelete
  11. වටිනා ලිපියක්... ස්තුතියි !

    ReplyDelete
  12. ගොඩක් ජාති කියෙව්වා. හරි අපූරුයි. අදමනෙ මේ පැත්තෙ ආවෙ.
    මගෙත් පලාපල බලාගන්ඩ හිතෙනවා :D.
    තල මලක් පිපුනහම අහල ගං හතක් විනාසයි කියල අපේ පැත්තෙ නං කියන්නෙ. අපේ ඉඩමකත් පිපුන එකක්. ඇත්ත තමා. පැල ගලවලාම එපා උනා. මාර පොහොරක් අදින්නෙ ඔව්ව ගස් වලට.

    ReplyDelete
  13. හිතවත් මහතානී; පන්හිඳක පින්තූරයක් දැක්වීම තුති. එහෙත් එම පන්හිඳක වු ඉහළ කොටස් වලට විවිධ නම්ද?,අරුත් දී ඈති බැවු මගේ මතකයක් වේ. හැකිවේද ඒ සටහන සොයා දැනුවත් කරන්න!

    ReplyDelete
  14. @janaka
    පන්හිදක අග මුල මැද ආදිය හැදින්වීමට භාවිතා කැරෙන හෙළ නම් ඇත.තාත්තාගේද උදවු ඇතිව ඉඩ ලද විටෙක ඒ පිළිබදව දැනුවත් කරන්නම්.

    ReplyDelete
  15. මේ මේ මේ එහෙනම් පරණ මන්තර එහෙම තියෙන රහස් තියෙන පුස්කොල පොත් එහෙම ඇති නේද ?:P

    ReplyDelete
  16. @තිරිසනා
    අපේ සීයා ගාවනම් තිබුනා.තාත්තා ගාවත් කීපයක් තියෙනවා.ඒත් ඒව අපිට බලන්න තහනම්.මම පොඩි කාලේ ඔයින් පොතක් අරගෙන හොරෙන් බලල හොදටම ගුටි කෑවා.මන්තර පුස්කොළ පොත් සංස්කෘත පාලි නාගර දෙමළ ,තෙලිගු වැනි ඉන්දීය භාෂා වලින් ලියවුනු ඒවා.මටනම් ඒවා කියවන්න තේරෙන්නේ නැහැ.මම කොහොමත් ඒ ක්‍ෂෙත්‍රයට කැමති නැහැ.මගේ සීයාගේ තාත්තාත්(මුත්තා) ජ්‍යොතිෂය කරපු කෙනෙක්.එයා අපි තුන්දෙනාටම වඩා වැඩකාරයා.ඒත් එයා මන්තර වලින් නරක වැඩ කිහිපයක් කරල තියෙනවා කියලා අපේ තාත්තා ඉස්සර කියනවා මතකයි.

    ReplyDelete
  17. ඒවා එහෙම්මම වල පල්ලට යන්ඩ දෙන්ඩ එපා.පොඩ්ඩක් ඒවත් ටච් එකේ තියාගන්ඩ ඕනෙ කියන එකයි මගේ අදහස නම්.මුත්තගේ නරක ටික ඇරල හොඳ ටික ගන්ඩ.මුත්තගේ පරපුරේ අවසාන පුරුක අයිය වෙන්ඩ ඉඩ තියන්ඩ එපා.හික්ස් :D

    ReplyDelete
  18. පුස්කොළ ලිවීම හා එහි තාක්‍ෂණය සමඟ බැදුනු සවිස්තරාත්මක වටිනා ඉංග්‍රීසි ලිපියකට සබැදියක් කේන්දර සිංහලෙන් බ්ලොග් අඩවිය ලියන රෝහණ වසන්ත මහතා ඊමේලයට එවා ඇත.එම සබැදිය පහත දැක්වේ.

    http://budsas.110mb.com/palm/index.htm

    ReplyDelete
  19. රෝහණ මහතා එවූ සබැදියේ ඇති ලිපියේ දැක්වෙන පන්හිඳ වගේම එකක් අපේ ගෙදරත් තිබුනා.පන්හිද දමන කොපුවක් නම් ඔය දැක්කමයි.

    ReplyDelete
  20. http://www.youtube.com/watch?v=SmK9IzUeCjc&feature=player_embedded#!

    ReplyDelete
  21. http://www.youtube.com/watch?v=YuXFuS2Xp-I

    http://www.youtube.com/watch?v=u7BR3f9n2cc&feature=related

    ReplyDelete
  22. සෑහෙන වටින ලිපියක් සහෝදරයා . මම හරිම ආසාවෙන් මේ ලිපිය කියෙවුවේ .

    මගේ අත්තා ගාව තිබුනු පුස්කොල පොත් වගයක් අපි හරියට භාවිතා නොකල නිසා කෑලි වලට කැඩිලා ගිහින් තිබුණා . අපරාදේ ඒක කියවන්නවත් හැකි වුණානම් .

    දිගටම දෙන්න මේවගේ ලිපි ..

    මෙදා ලිපිය සුපර්

    ReplyDelete
  23. මගේ ප්‍රශ්නයට ඉක්මනින්ම පිළිතුරක් ලබාදීම ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි...ඔබ තුමාට දිගාසිරි...

    ReplyDelete
  24. කදිම ලිපියක්. ගොඩක් දේ දැනගත්තා. ස්තූතියි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...