LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Sunday, January 2, 2011

ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?

   ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?මෙය බොහෝ දෙනාට මතුවන ප්‍රධාන ගැටළුවක්.
මීට දිය හැකි අවංකම පිළිතුර නම් ජ්‍යොතිෂයේ ජන්ම කේන්ද්‍ර සෑදීම ඉතා පැහැදිළි ගණිත විද්‍යා පදනමක් මත ගොඩ නැගී ඇති අතර පලාඵල කථනය කිරීම වැනි මෙහි ඉදිරියේදී දක්වා ඇති ජ්‍යොතිෂයේ වර්ගීකරණයේ වෙනත් ක්‍ෂෙත්‍ර ව්ද්‍යාත්මක මෙන්ම ගුප්තමය පදනම් මත ගොඩ නැංවී ඇති බවයි. (මෙහි ගුප්ත යනුවෙන් හැදුන්වූයේ ඉන්ද්‍රිය ඝෝචර නොවන හා ඉන්ද්‍රිය ඝෝචරත්වයට පත්කළ නොහැකි තත්ත්වයක ඇති බවයි.)ජ්‍යොතිෂය සම්බන්ධ මෙම බ්ලොගයේ 2011 වසරේ මුල්ම ලිපිය ලෙස ලියැවෙන මෙම සටහනින් බලාපොරොත්තු වන්නේ ජ්‍යොතිෂයේ ගණිත විද්‍යාත්මක පසුබිම පිළිබදව කෙටි හැදින්වීමක් පාඨක ඔබට දැක්වීමටයි.
   ජ්‍යොතිෂ විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 5කට වර්ගීකරණය කල හැක.
 1) ජන්ම කේන්ද්‍ර ජ්‍යොතිෂය(NATAL  ASTROLOGY )
          කිසියම් ජන්මියකුගේ ජන්ම පත්‍රය අනුව සලකා බලමින් පලාඵල කථනය කෙරෙන විෂය ක්‍ෂෙත්‍රය.
 2) වෛද්‍ය ජ්‍යොතිෂය(MEDICAL  ASTROLOGY )
          මිනිස් සිරුරට බලපාන විවිධ ග්‍රහ බලපෑම් අනුව සලකා බලමින් දැනට පවතින හා ඉදිරියේදී මතුවිය හැකි රෝග පීඩා හා වෙනත් තත්ත්ව සලකා බලන ක්‍ෂෙත්‍රය.
 3)නක්‍ෂත්‍ර ජ්‍යොතිෂය(ELECTIONAL  ASTROLOGY )
          සුභ නැකැත් තෝරා දී වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට උපකාරී වන ක්‍ෂෙත්‍රය.
 4)ලෝකායතන ජ්‍යොතිෂය(MUNDANE  ASTROLOGY )
          ලෝකයේ විවිධ ස්ථාන වල ඇතිවිය හැකි ස්වභාවික සංසිද්ධි ව්‍යසන හා සමාජ ආර්ථික විචලන ගැන කියවෙන විෂය ක්‍ෂෙත්‍රය.
 5)තත්කාල ජ්‍යොතිෂය(HORARY  ASTROLOGY)
         එම මොහොතේ පවතින ග්‍රහ තත්ත්ව සලකමින් ප්‍රශ්ණ හා ක්‍රියාකාරකම් අනුව අනාවැකි පවසන විෂය ක්‍ෂෙත්‍රය.
         
           ඉහත වර්ගීකරණය ඉදිරිපත් කලේ මෙම ලිපියේ වටිනාකම නියම ලෙස ඇතිවීමට එය ඉවහල් වන බැවිනි.ඒ පිළිබදව ඊට වඩා වැඩි විස්තර කිරීමක් මෙම අවස්ථාවේ සිදු කිරීමට බලාපොපොරොත්තු නොවේ.එය මාතෘකාවට බැහැර දෙයක් වන බැවිනි.මාතෘකාවට අදාළව පළමු අදියර  ලෙස ජ්‍යොතිෂයේ පුද්ගල ජන්ම කේන්ද්‍රය හා සම්බන්ධ වී ඇති විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබදව ප්‍රථමයෙන් සලකා බලමු.
     අළුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රය සැකසීමේදී දෛවඥයා විසින් දරුවාගේ උපන් දිනය, වේලාව හා උපන් ස්ථානය දත්ත ලෙස ප්‍රධාන වශයෙන් භාවිතා කරයි.මෙහි උපන් දිනය හා වේලාව ලෙස දෙකක් දැක්වුවත් එහි අන්තර්ගතය එක් දත්තයකි. මන්ද දිනය හා වේලාව දෙකම කාළය මැනීම සමඟ බැදී ඇති බැවිනි.ඒ අනුව දරුවාගේ ජන්ම කේන්ද්‍රය සැකසීමට උපන් වේලාව හා උපන් ස්ථානය යන ප්‍රධාන දත්ත දෙක අවශ්‍යවේ.විද්‍යාවේදී කාලය හා අවකාශය ලෙස ගැඹුරින් විමසා බලන්නේද  මෙහි ව්‍යුත්පන්නයකි.
     ගෝලකාර පෘථිවියේ සෑම ස්ථානයකටම(ලක්‍ෂයකටම) අනන්‍ය වූ ස්ථාවරත්වයක් ඇත.දරුවා උපන් ස්ථානයට සාපේක්‍ෂව නැගෙනහිර බටහිර දිශා රේඛා ඔස්සේ බැලූ විට පෙනෙන නැගෙනහිර බටහිර ක්‍ෂිතිජයන් පිළිබදව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.පෘථිවියේ දකුණු පසට සිදුවන භ්‍රමණ ක්‍රියාවලිය නිසා ඉර හද ඇතුළු ග්‍රහ තාරුකා නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවී බටහිර ක්‍ෂිතිජයෙන් බැසයන අයුරු ඉන්ද්‍රිය ඝෝචර තත්ත්වයක් පෘථිවි ලක්‍ෂයේ සිටින්නාට දැනේ.ලංකාවේ නැගෙනහිර දිශාව අප සිටින දිශාවට ඔබ්බෙන් පිහිටි නිසා අපට බටහිර මුහුදෙන් ග්‍රහ තාරුකා බැසයන අයුරු දැකගත හැකි අතර නැගෙනහිර වෙරළ ආශ්‍රිත පදිංචි කරුවන්ට නැගෙනහිර මුහුදෙන් හිරු නැගෙන අයුරු දැක ගත හැක.ජ්‍යොතිෂයේ ජන්ම කේන්ද්‍රය ආශ්‍රිත සිද්ධාන්ත සැකසී ඇත්තේද උපන් ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජය මූලිකවය.මොහොතින් මොහොත අළුත් වීමක්(අළුත් අහසක්) ඇතිවන නැගෙනහිර ක්‍ෂිතිජය තෝරා ගැනීමම විද්‍යාත්මක නොවේද?
    දරුවා උපදින මොහොතේ උපනා ස්ථානයට අදාල නැගෙනහිර ක්‍ෂිතිජයෙන් ඉහලට මතු වෙමින් පැවති ලග්න දොළහට අයත් (මේෂ,වෘෂභ,....ආදී) තරු රාශිය කේන්ද්‍ර හිමියාගේ උපන් ලග්නය ලෙස සලකයි.කැරකෙන බඹරයක් නිසල වීමට ආසන්න වන විට භ්‍රමන අක්‍ෂයේ සිදුවන ලප්පා වීමට(පූර්වායනය) අනුරූපව පෘථිවි අක්‍ෂයද එහි ඇලවීම හා වෙනත් හේතු නිසා කේතුවක පෘෂ්ඨයක හැඩයට ඉතා සෙමින් පූර්වායනයවේ.(ජ්‍යොතිෂයේදී අයනය ලෙස හැදින්වෙන්නේ මෙයයි.) පෙරදිග ජ්‍යොතිෂයේදී මෙම පූර්වායන චලිතය(අයනය) අනුව අපට දෘෂ්ටි වන තත්ත්වය බැහැර කර අයනය රහිතව(නිරයන) පෘථිවි චලිතය සලකා දරුවා උපදින වේලාවට එම ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවෙමින් තිබූ ලග්න රාශිය හා එහි ඉහලට මතුවූ කොටස අනුව ලග්නයත් ලග්නයේ අභ්‍යන්තර බෙදීම්(නවාංශකය,ත්‍රිංශාංශකය ....ආදී) සලකා බලන බව විශේෂයෙන් දැන ගත යුතුය.අයනය සහිත(සායන)ක්‍රමය බටහිර ජ්‍යොතිෂයේ භාවිතාවේ.එය එසේ වුවත් තාරකා විද්‍යාවට අදාල සායන ක්‍රමය භාවිතා කරන බටහිර ජ්‍යොතිෂය අපේ පෙරදිග ක්‍රමයට වඩා නිවැරදිය යන තීරණයට එලඹීමට කළබල විය යුතු නැත.
         නැගෙනහිර ක්‍ෂිතිජ රේඛාව අංශක 0 ලෙසත් එම රේඛාවේ සිට අහසේ ඊලගට මතුවෙන කොටසේ දිශාවට අංශක 30 පෙදෙස පළමු භාවය ලෙසත් ඊලග අංශක 30 කොටස දෙවන භාවය ලෙසත්  ආදී කොට  අහසේ අංශක 360 අවකාශ පෙදෙස කොටස් දොලහකට බෙදා එක් එක් කොටස එල්ලේ ඇති ග්‍රහයන් අනුව සකසා ගත් ග්‍රහ පිහිටීමත් අනුව ජන්මියාගේ භාව කේන්ද්‍ර සටහන සකසා ගන්නා අතර අප එදිනෙදා භාවිතා කරන දළ කේන්ද්‍ර සටහන සාදා ගන්නේ මීට තරමක් වෙනස් ආකාරයකටය.එහිදී නැගෙනහිර ක්‍ෂිතිජයෙන්  නිරයන ක්‍රමයට මතුවෙන ලග්න දොළහට අයත් රාශිය 1 ස්ථානය(ලග්නය) ලෙසත් ඉන්පසු මතුවන ලග්නය 2ස්ථානය(දෙවැන්න) ලෙසත් අනුරූප අයුරින් සලකා ස්ථාන 12 සකසා ඇති අතර එක්එක් ග්‍රහයා නිරයන ක්‍රමය අනුව සිටියේ කුමන රාශිය එල්ලේද ඒ අනුව ග්‍රහ පිහිටීමද සටහන් කෙරේ.අපේ රටේ මෙම භාව කේන්ද්‍ර හා දළ කේන්ද්‍ර ක්‍රම දෙකම භාවිතා කරන නමුත් පලාඵල බැලීමේදී වැඩිපුර භාවිතා කෙරෙන්නේ දළ කේන්ද්‍රයයි.
       සාමාන්‍යයෙන් දරුවෙකු මව් කුසින් ස්වභාවික අයුරින් බිහි වීමේදී දරුවාගේ හිස පෙදෙස පළමුවෙන්ම එළියට පැමිනීම සාමාන්‍ය ක්‍රමයයි.ඉන් පසුව ක්‍රමයෙන් ශරීරයේ ඉතිරි කොටස් පිළිවෙලින් බෙල්ල,පපුව,උදරය,ලිංග පෙදෙස,පාද මව්කුසින් බිහිවේ.ජ්‍යොතිෂයේදී ලග්නයට හිස ප්‍රදේශයත් දෙවැන්නට ඇස් කන් නාස්වලටත් තුන්වැන්නට බෙල්ල සිව්වැන්නට පපුව ........දොලොස්වැන්නට යටිපතුල් හා හිස මුදුනත් ආදී වශයෙන් කේන්ද්‍රයේ ස්ථාන 12ට ශරීරාංග වෙන්කොට ඇති ආකාරයේද විද්‍යාත්මක පිළිවෙළක් දක්නට ඇත.
       මීට අමතරව ජ්‍යොතිෂයේදී අහස් ගෝලය බෙදා ඇති ආකාරයේද පිළිවෙළක් දක්නට ඇත.
          1) අහසේ තරු රටා විශාල ප්‍රමාණයක් ඇතත් ලග්න දොළහට අයත් තරු රටා තේරීමේදී සමකයට ආසන්නව ඇති එකකට පසු එකක් අනුපිළිවෙළින් පායන තරු රටා 12ක් තෝරාගෙන ඇත.


          2) (රූපය ක්ලික් කර බලන්න)
                                
       ජ්‍යොතිෂයේ සත්‍ය අසත්‍යතාව විද්‍යාත්මකව සැලකීමේදී බොහෝ දෙනා තෝරා ගන්නේ නූතන තාරකා විද්‍යාවයි.කෙප්ලර් නියම,නිව්ටන් නියම,සාපේක්‍ෂතාවාදය අනුව තර්ක කරන බොහෝ දෙනා පැරණි ජ්‍යොතිෂ සංකල්ප ඔස්සේම නවීන විද්‍යාව ගොඩ නැගී ඇති බව පිළිගැනීමට මැළිකමක් දක්වයි.

1 comment:

  1. වෛද්‍ය ජ්‍යොතිෂය ගැනත් ලිපි විද්‍යාත්මක පදනමත් සහිතව පැහැදිලි කරමින් දාන්න...ස්තුති‍යි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...