Saturday, May 7, 2011

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම

කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

*කපුටු දානය සෙනසුරාදා දිනවල උදේ 6 -7 අතර දීම වඩාත් සුදුසුය.(ශනි හෝරාව)
 * කපුටන් සොයා ගැනීමට අසීරු විට විහාරස්ථාන ආදියේ කලාට කම් නැත.මුහුදු වෙරළ,කුනු කසල ඇති තැන් මස් වෙළද සැල් වැනි අපිරිසිදු ස්ථාන වලදී කපුටු දානය දීම සුදුසු නැත.


 සෙනසුරු අපලයට සිදු කෙරෙන විශේෂ බෝධි පූජාව
  සෙනසුරාදා රාත්‍රී 7 ට පමණ පන්සලට ගොස් බෝධිය අසළ මල් ආසනයේ පැත්තක පහන් 13ක් බුලත්  කොළ මත තබා දල්වන්න.මෙයින් පළමු පහන් තුන ත්‍රිවිධ රත්නය වෙනුවෙන්ද(මැද පහන බුදුන්ට බව මෙනෙහි කරන්න)ඊලඟ පහන බෝධීන් වහන්සේ වෙනුවෙනි.ඉතිරි පහන් නවය නව ග්‍රහයන් වෙනුවෙන් දල්වන්න.නවග්‍රහ පහන් නවය මත පඩුරු තබන්න.එම පහන් නවය අතර නිල් හා සුදු මල් අතුරා හදුන් කූරු දල්වන්න.පූජාව අරඹන දිනයේ හා අවසන් දිනයේ නිල් හා සුදු මල් මාලාවලින් බෝධිය සරසන්න.මෙම පහන් පූජාවෙන් පසු බෝධි පූජාව පවත්වන්න.
   බෝධිය නෑවීම සදහා පිරිසිදු වතුර නැවුම් පොඩි කළයකට ගෙන හිස මත තබාගෙන බෝධිය වටේ තම දකුණත බෝධිය පැත්තට යොමු කර පැදකුණු කර වතුර කළයෙන් හත්වරක් බෝධිය නහවන්න.ඉන්පසු මෛත්‍රී භාවනාව කරන්න.ශාසනාරක්‍ෂක දෙවියන්ට පින් දෙන්න.විශ්ණු දෙවියන්ටද පින් පමුණුවා සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.


 සෙනසුරු පූජාව
     නිල් පැහැ මල් වර්ග ,ගිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි නවයක්,පළතුරු,උක්සකුරු,පස්ගෝරස,තැඹිළි ගෙඩියක් පූජා වට්ටියක තබා සෙනසුරු දේවාලයක් හෝ නුග රුකක් පාමුල පහත ගාථාවන් කියමින් සෙනසුරු පූජාව කරන්න.සුවද දුම් අල්ලන්න.සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.ඉතාම පවිත්‍රව කළ යුතුය.


  වරුන දිසාධිපති ශනි රාජා වෘක්‍ෂ නුගෙ
  නීලමාණික්‍ය විමානේ වාහනේ ගරුඩං
  යුතං ශනිවරං නීල වර්ණව භෝජනම්
  නිත්තෙන් මම නමදිම් මුදුන් දී වදිම්
  නීලංග රාජා නමෝ නමෝ .....///


 මෙසේ සෙනසුරාදා දින නවයක් කපුටු දානය හා බෝධි පූජාව කරන්න. සෙනසුරු පූජාව අවසාන සෙනසුරාදා දිනයේ සිදු කරන්න.


 මහළු කොර අයට,ආබාධිත අයට,හිගන්නන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම
  (මෙවැනි අයට දන් දෙනවාට වඩා සිල්වත් ගුණවත් අයට දන් දීම වඩාත් ඵලදායි නොවේ දැයි කෙනෙකුට සිතිය හැක.මෙවැන්නන්ට සංග්‍රහ කරන්නේ ශනිට නීච ස්වභාවයක් ඇති බැවිනි)


 පැලදිය යුතු යන්ත්‍ර හා ආභරණ
    නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.
    කාක නිල්,නිල් මැණික් 


 හිමි වෘක්‍ෂය
   නුග වෘක්‍ෂයට සාත්තු කිරීම,ස්පර්ශ කිරීම,සෙවනේ සිටීම


 ඔබට ඇති ශනි අපලයේ ස්වභාවය අනුව මෙම පිළිවෙත් කළ යුතුය.ශනි අපලය සුළු එකක් නම් පිළිවෙත් සියල්ල කිරීම අනවශ්‍යයි.
 ඔබ බෞද්ධයකු නොවී අන්‍ය ආගමිකයකු නම් තමන්ගේ ආගමානුකූලව කටයුතු වතාවත් කර ශනි අපලයෙන් මිදීමට පිහිට පතන්න.

4 comments:

Anonymous said...

සෙනසුරුට තලමිශ්‍ර කිරිබත හෝ තලමිශ්‍ර ආහාර හා කලුරෙදි වලින් මැසූ ඇඳුම් දන්දීමද අපල මගහැරීමට කරන පුණ්‍යකර්මයන් වේ.

jothiratna said...

මම විශ්වාස කරන විදිහට අපල වලට ප්‍රතිකර්ම නැහැ.මම මීට කලිනුත් කමෙන්ට් එකක් දැම්ම වෙන පොස්ට් එකක ඒ ගැන.කේන්දරේ තියෙන්නේ සිද්දවෙන දේ.එක වෙනස් කරන්න බැහැ.සිද්ද වෙනවනම් සිද්ද වෙන්නේ අදාල ප්‍රතිකර්මය කරාට පස්සේ කරපු දෙයින් ප්‍රතිපල ලැබෙයි කියන බලාපොරොත්තුව නිසා හිතට දැනෙන සුළු සැහැල්ලුව විතරයි.JHOTHISHALANKA අමනාප වෙන්න එපා මේක මගේ විශ්වාසය.

jhothishalanka said...

@jothiratna ඔබ කියන කතාවේ යම් ඇත්තක් ඇති බව පිළිගනිම්.සිදු වීමට නියමිතව ඇති හොද නරක ඇතැම් දේ එලෙසම සිදුවන අවස්ථා වැඩිය.ඒවාට බලපෑම් කිරීම අසීරුයි.පිළිවෙත් කිරීමෙන් 100%ක් දෝෂ මඟ හරවා ගත හැකියයි මම කියන්නේ නැහැ.අපල තියෙන්නේ විදින්න තමයි.පිළිවෙත් මගින් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලැබේ නම් මිනිසුන් කරන සෑම කටයුත්තක්ම හොදින් සාර්ථකවේ.කරන කරන විභාගය,සම්මුඛ පරීක්‍ෂණ සාර්ථකවේ.නිවාස ඉදිකිරීම් ව්‍යාපාර අතිසාර්ථක වේ.දික්කසාදවීම් අසන්නටවත් නැත.සතුරු කරදර තුවාල අනතුරු වලට ලක්වීම්ද නැත. ලෙඩ දුක් හැදෙන්නේද නැත.හැදුන ලෙඩවලටත් බෙහෙත් වැටී සනීපවේ.කොටින්ම අපල වලට කරන ප්‍රතිකර්ම සාර්ථක වී ඉහත දැක්වූ පරිදි අපගේ ජීවිත දුක් කරදර වලින් ඉවත් වී 120 පරමායුෂද ඉක්මවා පවත්වා ගත හැකි විය යුතුය. නමුත් පිළිවෙත් පින් දහම් කරමින් පස්පවින් වැලකී ධාර්මිකව කටයුතු කරන අයට අපල කරදර වලින් ආරක්‍ෂා වීමේ බලයක් ඇත.රජගහ නුවර ධනවත් සිටු වරයකු තම ධනය අනිසි ලෙස පරිහරණය කරමින් නැති නාස්ති කර අවසානයේ මහමග සිගා කමින් බුද්ධ පිරිස ඉතිරි කළ ආහාරයට ගන්නා අවස්ථාවේ බුදු රදුන් එය දැක සිනහ පහල කිරීමත් අනද හිමියන් එසේ සිනහ වීමට කරුනු විමසූ කළ "මෙම සිටුවරයා මෙලෙස කටයුතු නොකොට අඩු වැඩි අයුරන් හෝ අවස්ථානුකූලව පින් ධහම් කරමින් ධනය විය පැහැදම් කලේ නම් මාර්ගඵල ලැබීමට තරම් හේතුවේ" ලෙසට බුදුරදුන් දුන් පිළිතුර විමසා බලන්න.සිටුවරයා ධාර්මිකව කටයුතු කලේ නම් ඔහුගේ ජීවිතයට එය බලපෑ හැකි බව ඒ අනුව කියවෙනවා නොවේද? අජාසත් රජු පීතු ඝාතකයකු නොවූයේ නම් සෝවාන් වීමට තරම් පින්බල තිබූ බවද බුදු රදුන් දේශනා කොට ඇත

Tiraj Adikari said...

ඔබගේ බ්ලොගය ඉඳ හිට බලමි.
බොහෝ වැගත් කරුණු අඩංගුව ඇත.
කෙසේනමුත් ජෝතිරත්න මහතාගේ අදහස සමග මා හට නම් එකඟ විය නොහැක.
මගේ අදහස අනුව නම් , කේන්ද්‍රයෙන් පෙන්වනුයේ තමා ගෙන ආ කර්ම ශක්තියයි.
අපල යනු තමන් පොදි බැඳගෙන ආ අකුසල කර්මයයි
බුදු දහමට අනුව එයද අනිත්‍ය වෙනස්වන සුළු දෙයකි. එම නිසා අවැසි නම් කේන්ද්‍රයෙන් පෙන්වන
කාර්ම බලයද වෙනස් කල ගත හැකිය. (ඉතාම බලවත් කුසලාකුසල කර්මයන් නොවේ ).
නමුත් ඒ සඳහා එයට අදාල වන නියමිතම ප්‍රතිකර්මය කල යුතුය.
(අනුරුද්ධ හිමියන් තම නැගණියගේ සමේ රෝගයට ප්‍රතිකර්ම නියම කල සේ )... ප්‍රශ්නය ඇත්තේ නියමිත ප්‍රතිකර්මය හරි හැටි හඳුනාගත හැකි ධ්‍යාන ලාභී හෝ ජෝතිශයෙහි පරතෙර පැමිණි අය දැන් සුලභ නොවීමයි.
කර්ම විෂය / ලෝක විෂය අචින්ත්‍ය වේ. එම නිසා කිසිවක් කිරීමට නොහැකිය , සැම දේම වෙනස් කල හැකිය යන අන්ත දෙකම අත හැර දැමිය යුතු බව මගේ නම් අදහසයි.

Related Posts Plugin for WordPress, Blogger...