එදින උදේ සිටම ඉතාලියේ පීසාහි සුප්‍රකට ඇලවෙන කුළුන අසල නිවෙස්වල පදිංචි කරුවෝ නිවෙස් වලින් එලියට නොබැස සිටීමට වග බලා ගත්හ.පීසා විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය වරයකු වන "ගැලීලියෝ ගැලිලි" එදින උදේ වරුවේ සිට කුළුණ උඩට නැග සිදුකරන පරීක්‍ෂණයක් මීට හේතු විය.ගුරුත්වජ ත්වරණය පිළිබද නියමය අනුව කවර හෝ වස්තුවක් ඉහළ සිට නිදහසේ අත හරින ලද විට ගුරුත්වය යටතේ පොලොවට වැටෙන්නේ එකම මොහොතේ එකම කාලයකදී ය.ඒ අනුව විවිධ ස්කන්ධවලින් යුත් කාළතුවක්කු උන්ඩ කුළුණ උඩ සිට අතහරිමින් ගැලීලියෝ සිදු කළ ක්‍රියාව දෙස නගර වැසියෝ නිවෙස් තුලට වී ජනෙල් අස්සෙන් බලා සිටියේ එලියට ගියහොත් ගැලීලියෝ බිමට අතහරින කාල තුවක්කු උන්ඩයක් කොයි මොහොතේ හෝ තමන්ගේ හිස මතට කාඩා පාත් විය හැකි යැයි දැනුනු බිය නිසාමය.
" මේ මනුස්සයට පිස්සුද කොහේද,වැඩියෙන් බර එක මුලින් බිමට වැටෙන බව තේරෙන්නේ නැද්ද මන්දා" අයෙක් පවසයි.
"එහෙම කියන්න එපා මෙතන අපි නොදන්න මොකක් හරි ඇති.ඈත ග්‍රහලෝක බලන්න පුළුවන් දුරේක්‍ෂයකුත් හැදුවෙ මෙයානේ." තවකෙක් පිළිතුරු බදියි.
කෙසේ හෝ අවසානයේදී කල්පිතයක් ලෙස ඉදිරිපත් කෙරුණු ගුරුත්වජ ත්වරණය පිළිබද නියමය ගැලීලියෝ විසින් පරීක්‍ෂණාත්මකව සනාථ කරන ලදී.
*****************************************************
ක්‍රි.ව. 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරන ලද "සාධාරණ සාපේක්‍ෂතාවාදය" හෙවත් "සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය" මගින් විශාල ස්කන්ධ ආසන්නයේදී ආලෝක කිරණවල නැමුමක්(වක්‍ර වීමක්) ඇති වන බවට නිගමනයක් ඉදිරිපත් විය.සූර්ය ග්‍රහණයක් ඇතිවන වෙලාවකදී අපගේ සූර්යයා ආසන්නයෙන් ගමන් කරන ඈත පිහිටි තාරුකා වලින් නික්මෙන ආලෝක කිරණ වල සිදුවන මෙම වක්‍රවීම පැහැදිලිව මිණුම් කරගත හැකි බවත් කියා සිටි අයින්ස්ටයින් සූර්යයා ආශිතව ලැබිය හැකි වක්‍රවීම සදහා ෙසෙද්ධාන්තික අගයක්ද ඉදිරිපත් කළේය.ඊට වසරකට පසු ඇතිවූ පූර්ණ සූර්ය ග්‍රහණ අවස්ථාවේදී රටවල් කීපයක සිට විද්‍යාඥයන් අදාළ නිරීක්‍ෂණය කළහ.අයින්ස්ටයින් කිව් පරිදි ආලෝක කිරණ සූර්යයා අසලදී වක්‍ර වීම සිදුවන බව එම නිරීක්‍ෂණ වලින් ඔප්පු වූවා පමනක් නොව ඔහු ෙසෙද්ධාන්තිකව ඉදිරිපත් කළ අගයන්ද පරීක්‍ෂණාත්මක අගයන් සමඟ නියමෙටම ගැලපුනි.
***************************************************
මා ඉතා කුඩා කාලයේ පියාගෙන් ඇසූ ප්‍රශ්නයක් හා ඊට ලැබුණු පිළිතුර ඉතා හොදින් මතකයේ ඇත.
"තාත්තේ ජ්‍යොතිෂය ලෝකට දුන්නේ කවුද?"
"ඉස්සර ඉන්දියාවේ හිටිය ඉසිවරු.ඒ අය කියපු ලියපු දේවල් අනුව තමයි ජ්‍යොතිෂය නිර්මාණය වෙලා තියෙන්නේ."
පසුකලෙක පියාගේ ජ්‍යොතිෂ පොත්පත් ලේඛන කියවන විට තාත්තාගේ අත්අකුරින් ඔහු විසින්ම ලියූ විශාල පොතක් හදිසියේම හමුවිය.එම පොත පුරාම තිබුනේ තාත්තා විසින් කලින් කලට ලකුණු කරන ලද එක් එක් පුද්ගලයන්ගේ කේන්ද්‍ර සටහන්ය.එම පොතේ ඇති ආකාරයට එහි වූ කේන්ද්‍ර සටහන් ලකුනු කිරීම ඉතා දිගු කාලයක් තිස්සේ කරමින් සිටින බව දැක ගත හැකි විය.තාත්තා ඒ වනවිටත් එම පොත නිතර භාවිතා කරමින් සිටි බවක් එහි තිබූ ලේඛන සටහන් අනුව පෙනී ගියේය.අඩු වයසින් මියගිය අය,මන්ද බුද්ධික අය,සියදිවි නසාගත්, මිනීමරුවන්,සොරුන්,චන්ඩියන්,සල්ලාල වැඩ කළ ගැහැනු පිරිමින්, දොස්තර ඉංජිනේරුවන් ,.....ආදී විවිධාකාර පුද්ගලයන්ගේ කේන්ද්‍ර සටහන් විය.ඒවා ලකුණු කර ගැනීමේදීද සයිමන් බාස්උන්නැහේගේ මන්දබුද්ධික ළමයා,ඩේවිඩ්ගේ මූදෙ පැන්න දෙවෙනි කෙල්ල,..... ආදී වශයෙන් පසු කලෙක නැවත බැලීමේදී කේන්ද්‍රයේ අයිතිකරු තමාට මතක් කර ගැනීමට හැකි අයුරින් ලියා තිබීමද විශේෂයක් විය.එම පොත පිළිබදව මා පියාගෙන් කරුණු විමසුවෙමි.
" ඔය කේන්ද්‍ර සටහන් මම ලියලා තියාගත්තේ ඒ ඒ පුද්ගලයන්ගේ කේන්දර වල සැඟවිලා තියෙන පොදු ග්‍රහ ලක්‍ෂණ හදුනා ගන්න.ඔය පොතේ තියෙනවා මිනීමරුවො රාශියකගේ කේන්ද්‍ර.ඒවා දිහා බලලා ඒ අයට පිහිටන පොදු ග්‍රහ පිහිටූම් කීපයක් මම දැකලත් තියෙනවා.ඒ වගේම වෛද්‍ය,ඉංජිනේරු අංශවලට යොමු වෙන අයගේ කේන්ද්‍රවල පොදුවේ වැඩි වශයෙන් පිහිටල තියෙන ඒත් පොත්පත්වල සටහන් වෙලා නැති දේවලුත් මම දැකල තියෙනවා.ඔය කේන්දර බලන වෙලාවට මම ඒවයින් ප්‍රයෝජන ගන්නවා."
"ඉතින් තාත්තේ අපි එහෙම අපිට පේන දකින විදියට හදාගත්ත සිද්ධාන්ත පාවිච්චි කරන එක හරිද?එතකොට අපි පැරණි ඉසිවරු දක්වපු ජ්‍යොතිෂ සිද්ධාන්ත වෙනස් කලා වෙනවනේ.අනිත් එක එහෙම පැරණි සිද්ධාන්තයි.මේ වගේ පරීක්‍ෂණ හරහා එළඹෙන සිද්ධාන්තයි දෙක පැටලිලා පලාඵල වරදින්න පුළුවන්නේ."
" ඔන්න ඔතන තමයි වැදගත්ම තැන.මේවැඩේ කරන එකම කේන්දර බලන කෙනා මම නෙවෙයි.ගොඩක් අය මේ වැඩේ කරනවා.ඒත් ඒ අය ඒක කරන්නේ නිසියාකාරව.පැරණි සිද්ධාන්ත වැඩිපුරම භාවිතා කරන අතරේ තමන් මේ වගේ අත්දැකීම් වලින් ලබාගත්ත දේවල් අතරින් පතර භාවිතා කරනවා.ඒව ගුරු මුෂ්ටි වගේ සැඟවිලා තිබිලා ඒ අයගේ මරනයත් එක්ක නැතිවෙලා යනවා."
"ඉතින් එහෙනම් තාත්තා ඔය පොතේ ලියපු කේන්දර සටහන් බලල අළුතින් දැන ගත්ත තොරතුරු මටත් කියා දෙන්න.නැත්නම් ඒවත් ගුරු මුෂ්ටි වෙලා නැතිව යාවී."
" (සිනාසෙමින්) මම උබට ඒව කියල දෙන්නේ නැහැ.එතකොට උඹ නිකමෙක් වෙනවා.උබත් කේන්දර බලන දවසක ඔයවගේ පොතක අහන්න දකින්න ලැබෙන විශේෂ කේන්දර සටහන් කරගෙන මම කලා වගේ කරපන්.එතකොට උබටත් ඒ හැකියාව ඉඹේම ඒවි.අනිත් එක ඒවගේ දේවල් කටින් කියල කොලේක ලියල කියා දෙන්න බැහැ."
"මට හිතෙන්නේ ඔය පරීක්‍ෂණ වැඩක් නැහැ කියලා.අපිට පලාඵල බලන්න නැකැත් හදන්න වගේ දේවල් වලට අවශ්‍ය පැරණි සිද්ධාන්ත මෙච්චර ගොඩක් තියෙද්දි මොකටද තවත් දේවල්."
"එහෙම හිතන එකත් වැරදියි.අතීතයේ දේවල් සෑම විටම නොගැලපෙන වෙලාවල් තියෙනවා.පරීක්‍ෂණ කරල ඉතාමත් සාර්ථක සිද්ධාන්ත හදාගන්න පුළුවන්.පුර පසලොස්වක දවසට රවි සදු දෙන්නා පූර්ණ සප්තම වෙනවා කියලා දන්නවනේ.ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් පුර පසලොස්වක පෝය දවස ලංකාවේ නිවාඩු දවසක්.ඒක අනිවාර්යයි.ඉතින් පෝය නිවාඩු දවස්වල ලංකාවේ අයගේ ජීවන රටාව ,පාරසරික ලක්‍ෂණ සලකල කාට හරි පුළුවන්නේ රවි,සදු ග්‍රහයන් එකිනෙකාට පූර්ණ සප්තම වන විට ලංකාවට බලපාන ලෝකායන ජ්‍යොතිෂ අනාවැකි සිද්ධාන්තයක් නිර්මාණය කරන්න.ඒක සමහර විට අනාවැකියක් ලෙස හදුන්වනවටත් වඩා 100%ක් නිවැරදි ප්‍රත්‍යක්‍ෂ නිරීක්‍ෂණයක් වෙන්නත් පුළුවන්.ඉතින් ඉස්සර කාලේ හිටපු ඉසිවරයො රවි සදු පූර්ණ සප්තම වන දවස අනාගතයෙදි ලංකාවෙ අනිවාර්ය නිවාඩු දවසක් වීමට අදාළ සිද්ධාන්ත හදල නෑනේ.ඒ වගේ දේවල් අපි හදා ගන්න ඕන.ජ්‍යොතිෂය මිත්‍යාවක් කියන අය ජ්‍යොතිෂ සිද්ධාන්ත වල ඇති පෞරණිකකමට හා කාලානුරූපි නොවීම ගැන උපහාස කරනවා"
මෙම විස්තරය මගේ පියා විසින බොහෝ කලකට පෙර පවසන ලද්දකි.ඒ වන විට මා පාසැල් සිසුවෙකි.එදා මගේ පියා විසින් පැවසූ දෙය ජ්‍යොතිෂයට නූතන සම්භාවිතා සංඛ්‍යාන සිද්ධාන්ත යොදා ගැනීමක් බව මා අද දනිමි. සංඛ්‍යානය හා සම්භාවිතා න්‍යායන් පිළිබදව සැලකිය යුතු දැනුමක් ඉතා ඈත කාලයේ ලබා ඇතත් දැන් ඒවා මතක නැති තරම්ය.මා මෙතෙක් කිසි විලෙක ජ්‍යොතිෂයට සංඛ්‍යාන සම්භාවිතා මූලධර්ම යෙදී ඇති හා යෙදෙන ආකාරය පිළිබදව සවිස්තරව සලකා බලා නැත.නිමිති ශාස්ත්‍රය සම්බන්ධ සිද්ධාන්ත ඉතා ගැඹුරු අයුරින් සංඛ්‍යාන සිද්ධාන්ත මත ගොඩ නැගී ඇති බව පෙනී යන කරුනකි.නිමිති ශාස්ත්‍රයේ භාවිත සංඛ්‍යාන සම්භාවිතා සිද්ධාන්ත අප ගණිතයේදී හා වෙනත් ස්ථාන වල භාවිතා කරන බටහිරින් ලැබුණු සංඛ්‍යාන සම්භාවිතා සිද්ධාන්ත වලට වඩා වෙනස් වූවක් බව පමනක් දැනට පවසමි.ගැලීලියෝ හා අයින්ස්ටයින් කල්පිත ලෙස දක්වා පසුව පරීක්‍ෂණාත්මකව ඔප්පු කිරීම් මගින් නියමයන් සනාථ කිරීමට ප්‍රතිලෝමවූ ක්‍රියාවක් ජ්‍යොතිෂ සිද්ධාන්ත වල ගැබ්වී ඇත. ඊලඟ ලිපියෙන් ඒ පිළිබදව සවිස්තරව සලකා බලමු.
-------------- මතු සම්බන්ධයි. ---------------
ප.ලි.
(Anonymous -Nathan-) ඇසූ ගැටළුව වෙනුවෙන් අප්ලෝඩ් කල රූප සටහන උපුටා ගැනීම "පොරොන්දම් බලන හැටි" කතෘ - වෛද්‍යාචාර්ය ආර්.එච්. විලියම්
7 comments:
දේශපාලඥයකු සම්බන්ධ ප්‍රශ්ණය ඇසූ අයට
එතුමාගේ ජන්ම ලග්න කේන්ද්‍රයේ සටහනක් ඇතත් උපන් වේලාව නිසිලෙසම නැහැ.කේන්ද්‍රයේ සියුම් අංග බැලිය හැකි උපන් වේලාව නැති නිසා මෙයට නිසි පිළිතුරක් දිය නොහැකියි.
මහත්මයා,
ගෑහෑණු ළමයෙකු හා පිරිමි ළමයෙකු සOසර්ගයේ(cohabit) යෙදෙන වේලාව,ගෑබ් ගන්නා කළලය කෙරෙහි බලපානවාද?
ඒ කියන්නේ කළලය පිරිමිද,ගෑහෑනුද යන්න වග.
මා අසා තිබෙනවා මෙය.සOසර්ගයේ(cohabit) යෙදෙනා විට ඈති වේලාව කළලයේ ගෑහෑනු,පිරිමි බව තීරණය වීමට යම් කිසි විදියකින් බලපාන බව....
මෙසේ සOසර්ගයේ(cohabit) යෙදීමෙන් පිරිමි දරුවන් ලබා ගෑනීමට ඈතම් ඉන්දීයානු ජනයා පෙලබී සිටිනා බව මා ලිපියක දුටුවා.
ඒකයි මා මෙය ඔබෙන් අසන්නේ.
මා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ජෝතිශ්‍යය ඈසුරින් පෑහෑදිලි කිරීමක්.
-Nathan-
නියමයි, නියම ලිපියක්.කියවන්න ආස හිතෙනවා ලියපු විදිහට..
මුල් ටික නම් එක හුස්මට කියෙව්වා
@(Anonymous-Nathan-) ඔබ ඇසූ ප්‍රශ්නයට ජ්‍යොතිෂයෙන් 100%ක් සාර්ථක පිළිතුරක් ලබා ගත නොහැකි වුවත් ජ්‍යොතිෂ පොත් පත් වල මේ පිළිබද විස්තර දක්වා ඇත.මෙම බ්ලොග් ලිපියේ අවසානයට ඔබ ඇසූ ප්‍රශ්නයට අදාළ පිළිතුරක් දී ඇති විස්තරයක් අඩංගු ලේඛනයක් දක්වා ඇත..උපුටා ගැනීම "පොරොන්දම් බලන හැටි" කතෘ - වෛද්‍යාචාර්ය ආර්.එච්. විලියම්
තේරෙන්නෙ නෑ අප්පා.හැබැයි කියවන්න ආසයි.සහෝගෙ කියවන්න බැරි උන ලිපි ටිකත් පස්සෙ බලන්න ඕනෙ.
හම්මේ... දිනේෂ් ඔයා හුග කාලෙකට පස්සේ ඇවිත්.ලංකාවෙ ඉන්ටනෙට් වේගෙ මදි හින්දද මෙච්චර කල් සද්ද නැතිව හිටියේ.
මේ ලිපිය අදයි දුටුවේ..... ඔබේ පියානම් අතිවිශිෂ්ඨයි....!
Post a Comment