Tuesday, August 30, 2011

රාවණායනය -1 (සීතාවනි ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව.)

   බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත යොමුවිය.තමා පොලොවෙන් පිටත්වන විට සතුරු කරදර වලින් ආරක්‍ෂා වීමට විමානයේ පිටත මයිකා තහඩුවල ආලේපනය කරන ලද කොහොඹ හා භූනාග සමඟ මිශ්‍රකල කළු මයිකා ද්‍රවයේ ක්‍රියාකාරිත්වය ක්‍ෂය වෙමින් පවතින බවත් විමානය "ආකාශාකාර" (අහස ලෙස පෙනෙමින් අදෘශ්‍යමාන වීම) තත්ත්වයෙන් ඉවත් වෙමින් පවතින බවත් හදිසි කාල නාදකයෙන් පිටවූ ශබ්දයෙන් දැන්වූ බව ඉන්ද්‍රජිත් වටහා ගත්තේය.
     සේද,කපු,ලෝම,මයිකා මිශ්‍රණයෙන් සාදා ස්වභාවික ශාකසාර වලින් පදම් කරන ලද කර සෑදූ සුවිශේෂී අභ්‍යවකාශ ඇදුම් කට්ටලය ඉන්ද්‍රජිත්ව අභ්‍යවකාශයේදී ඇතිවය හැකි ශාරීරික හා මානසික පීඩාවලින් ආරක්‍ෂා කලේය.ආහාර ගතයුතු වේලාව පැමිණ ඇති බව දැනගත් ඉන්ද්‍ර විමානයේ නියාමකත්වය සහායකට පවරා ආහාර ගැනීමේ කුටියට ඇතුල් විය.
    තමා ගුවන් ගමන ඇරඹූ අවස්ථාවේ සරත් සෘතුව පැවතීමත් තමගේ සිරුර ඊට ආවරණ වීමත් නිසා තමාගේ ආහාර වට්ටෝරුවද ශරීරයට යෝග්‍ය ආකාරයට තෝරාගත යුතු විය.තිරිඟු හා කළු රනිලත් කුකුල් මසුත් යෝග්‍ය වූ ආහාර විය.තමා සත්ත්ව මාංශ ප්‍රිය නොකලත් යා යුතු භාරදූර්ය ගමනේදී ශාරීරික හා මානසික යෝග්‍යතාව නිසිලෙස තිබිය යුතු නිසා ඉන්ද්‍රජිත් එම ආහාර ගත්තේය.එළකිරි පානයද ගත්තේය.ආහාර ගැනීමෙන් පසු සුළු මොහොතක් විවේකී සුවයෙන් ගතකළ ඉන්ද්‍රජිත් එම විවේකී සුවයෙන්ම අතීත ආවර්ජනයක නියැලුනේය.
   තමා තෙදබල ඇති මහා පාලකයකු වූ රාවණා රජුගේ පුතෙකු බව සිතට දැනෙන විට ඉන්ද්‍රජිත් චිත්තාලම්භණ ප්‍රීතියෙන් ප්‍රබෝධමත් විය.තමා අයත් වූ හෙළ අසුර වංශිකයන් මුලු ලෝකයේම හතරදිග් භාගයේ පාලකයන් ලෙස වැජඹීම ඔහු සිත තවත් ප්‍රබෝධමත් කලේය.රමනීය රට (වර්තමාන රුමේනියාව) පාලනය කළ දනුබ් කුමරු ඔහුගේ මාමා (තම මව වූ මන්දෝදරීගේ සහෝදරයෙකි.) විය.පාතාල රටේ (පෘථිවි ගෝලයේ ලංකාවට විරුද්ධ පසින් නිසා මෙම නාමය ලැබී ඇත.) පාලක වීරවන කුමරු, මහා අධිරාජ්‍යයකු ව සිටි හිරන් කසුප් රජු මෙන්ම අතුලාපුර(වර්තමාන කාශ්මීරය) ශිව රජු සියල්ලන්ම තමාගේ ඥාතීන් බව සිහිවන විට ඔහු සිත තවත් ආඩම්බරයෙන් ඔදවත් විය.සිංහ හෙවත් හෙළ වංශයට ප්‍රධාන වශයෙන් අයත්වන තමන් ඉනුත් සුවිශේෂී වූ රකුස්(රැක් + කුස්)  හෙවත් කුස රකින්නන් ලෙස සැලකූ ගොවිතැනට මූලික තැන දී කටයුතු කල වංශයට අයත් විය.ශක්තිය නිපදවීම යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කිරීම අතින් තම පියාගේ රාජ්‍යයේ මිනිසුන් තුල වූ හැකියාව ලොව විසූ වෙනත් හෙළ රාජ්‍යන් අතරත් නොතිබීම පිළිබදව ඉන්ද්‍රජිත් ආඩම්බරයෙන් මෙනෙහි කළේය.
     හෙළ අසුර රාක්‍ෂ වංශිකයන් චිරාත් කාලයක් ධාර්මිකව පාලනය කළ අය විය.ගහට කොළට සතා සීපාවාට ඔවුහු ආදරය කළහ.ආරක්‍ෂාව ලබා දුන්හ.තමන් සතු විමාන වලින් අහසින් ගමන් කිරීමේ තාක්‍ෂණය යොදාගෙන ලෝකයේ වෙනත් ජාතීන්ට පිහිට වූහ.කිසිවිටෙක තමන් සතු තාක්‍ෂණය අන් අය තලා පෙලීමට ඔවුන් ආක්‍රමණය කිරීමට යොදාගත්තේ නැත.ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් පිරමීඩ බිත්ති හා වෙනත් ශිලා ලේඛන වල සටහන් කළ "අහසින් ආ සිංහ මිනිසුන් අපට මෙම නිර්මාණ කියා දුන්හ."  වැකි වලින් නිරූපනය වූ සිංහ මිනිසුන් විමාන වලින් ලංකා පුර සිට ගිය හෙළ අසුරයන් මිස පිටසක්වල ජීවීන් නොවන බව කෙදිනක හෝ හෙළිවනු ඇත.තම තාක්‍ෂණය යොදා අසරණයන් පෙලීම නොකලත් විමාන වලින් ලොව වටා ගමන් කිරීමේදී ඇතැම් ජාතීන් සතුන්ට හා අසරණ මිනිසුන්ට කරන ලද නොපනත්කම් අපරාද දුටු හෙළ අසුරයන් ඒවා නොඉවසීය.විශේෂයෙන් භාරතීය බමුණු කුල වල සිටි මිසදිටු හා නපුරු බලවේග මගින් ශක්තිමත්වූ බමුණන් අසරණ සතුන්,ළමුන්,කාන්තාවන්,මිනිසුන් බිලිදෙමින් සිදුකල මහා බිලිපූජා වලට හෙළ අසුරයන් සෘජුව විරෝධය පලකලහ.දීන බමුණන්ගේ බිලි පූජාවලින් සතුන් ළමයින් මිනිසුන් බේරා ගැනීමට ඔවුන් නිරන්තරයෙන් ඉදිරිපත් විය.දෙවියන් හා යක්‍ෂයන් පිදීම ලෙස දක්වමින් සිදුකරන මෙවැනි බිලිපූජා සිදුකරන ස්ථානවලට අහසින් ගොස් පහරදී බිය වද්දා බිලිපූජාවන් කඩාකප්පල් කර අසරන සතුන් මිනිසුන්ගේ ජීවිත බේරා ගත්හ.ඉතා කුරිරු අපිරිසිදු හා හිංසාවාදී ලෙස බමුණන් සිදුකල මෙම බිලිපූජා වලට අවිහිංසාව අගය කළ භාරතීය ඉසිවරු ආගමික පූජකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද පිළිකුල් කලහ.බිලිපූජා සිදුකෙරෙන ස්ථාන දක්වමින් හෙළ අසුරයන්ට ඔවුන් සහය දුන්හ.
     තමා යන මෙම අහස් ගමනට මූලික වූ සිද්ධි සමූහයට ආරම්භක කාරණය වූයේ හෙළ අසුරයන් බිලිපූජා කඩාකප්පල් කිරීම නිසා බමුණන්ගේ වෛරයට ලක්වීම බව ඉන්ද්‍රජිත් දැන සිටියේය.විමාන වල නැගී අහසින් පැමින තමන්ගේ බිලිපූජා කඩා ඉහිරවන හෙළ අසුරයන් විනාශ කිරීමට නපුරු බමුණන් කූට උපක්‍රමයක් යෙදීය.විමාන වලින් ලඟා විය නොහැකි ගිරිදුර්ග වලින් යුත් ගුහාවක් තුළ විශාල සතත්ව බිලි පූජාවක් බමුණන් විසින් සූදානම් කලේ එය විනාශ කිරීමට හෙළ අසුරයන් පැමිනෙන බව දන්නා බැවිනි.යානා වලින් ලගා විය නොහැකි වුවත් භාරතීය රකුසන්(ගොවියන්) ගේ සහයද ඇතිව පා ගමනින්ම ගොස් බමුනන් හා සටන් කොට බිළිපූජාව නතර කිරීමට හෙළයන් ඉදිරිපත් වූයේ සතුන් සමඟම හීන කුලවලට අයත් යැයි සැලකූ මිනිසුන් පිරිසක්ද බිලිදීමට සැලසුම් කොට සිටි බැවිනි.විවිධ ශිල්ප ශාස්ත්‍ර මන්ත්‍ර ක්‍රම මගින් ප්‍රාදේශීය රජවරුන් කිහිපදෙනෙකුගේ සහය තමන් වෙත ලබා ගැනීමට බමුණන් සමත් විය.අයෝධ්‍යා පුර දශරථ රජු හා ඔවුන්ගේ පුතුන් වන රාම ලක්‍ෂමන එලෙස බමුණන්ගේ බිලිපූජා යාගහෝම වලට උදවු උපකාර කළ අය විය.බමුනන්ගේ බිලිපූජාවන්ට සහයට පැමිණ සිටි රාම හා ලක්‍ෂ්මන විසින් හෙළ අසුරයන් 12000ක් උපක්‍රමශීලීව ඝාතනය කළේය.රාමගේ නායකත්වයෙන් සිදුවූ මෙම ඝාතනයට ප්‍රති උපකාරයක් ලෙස බමුනන් විසින් රාම කුමරුන් මිථිලා නුවරට ගෙනගොස් තමන්ගේ බිලිපූජා යාගහෝම ආදියට උදවු කරන තවත් මිසදිටු රජෙකු වන ජනක රජුගේ "රුද්‍රා" දුන්න රාම ලවා බිඳ ජනක රජුගේ දියණිය සීතාව ලබා ගැනීමට රාමට උදවු කලේය.බමුනන් විසින් මන්ත්‍ර බල මගින් බන්ධනය කර තිබූ දුන්න බිදින අයට සිය දියණිය සරණ පාවා දය යුතු ලෙස පෙර සිටම ජනක රජු රවටා තිබුනි.රාම දුන්න ඔසවනවාත් සමඟම බමුනන් මන්ත්‍ර බන්ධනය ලිහිල් කලේය.මෙලෙස බමුනන් විසින් රාම කුමරු ප්‍රබලයකු කිරීමට කටයුතු කලේ ඔහු ලවා සිය අරමුණ සඵල කර ගැනීමටය.
   රාම කුමරු හා ලක්‍ෂමණ අයෝධ්‍යාවට ආසන්න දණ්ඩකාරණ්‍යට දුණු හී රැගෙන දඩකෙලියට පිවිසීමට එහි පාලිකාව වූ මාගේ නැන්දණිය වූ සුපර්ණිකා(රාවණා නැගණිය) විරෝධය පළකලේ දණ්ඩකාරණ්‍යට දුනු හී රැගෙන නොඑන ලෙසත් එසේ නැත්නම් දන්ඩකාරණයෙන් පිටව යන ලෙසත්ය.(රාම කුමරු දශරථ රජු සාපයෙන් මිදවීමට වසර 14ක් සීතා හා ලක්‍ෂමණ සමඟ වනගතව තවුස් දම් පිරූ කතාව වාල්මිකීගේ ප්‍රබන්ධයකි.)ස්වභාවයෙන්ම කළහයට බර මෙන්ම දීන කපටියෙකු වූ රාම තම මල්ලී වූ ලක්‍ෂ්මනට කළ ඉඟියත් සමඟම ලක්‍ෂමන සුපර්ණිකාගේ කන හා නාසය කපා දැමීය.පිරිමින් දෙදෙනෙකු විසින් කාන්තාවකට කළ මෙම හිංසාවට එකට එක කිරීමක් ලෙස සිය පියා දඩු මොණර විමාණයෙන් ගොස් සීතාව පැහැරගෙන සිර කිරීම දීන ක්‍රියාවක් ලෙස ඉන්ද්‍රජිත් කිසිවිටෙක නොසිතුවේය.සුපර්ණිකාට සිදුකල නොමනා ක්‍රියාවට රාම ලක්‍ෂමණ දෙදෙනා සුපර්ණිකා ඉදිරියේ සමාව ගතහොත් සීතාව නිදහස් කිරීමට තමා සූදානම් බව රාවණා රජු රාම කුමරු වෙත දැන්වීය.තමා තුල වූ උද්දච්ච හා අහංකාර කම නිසාම ඊට අවනත නොවූ රාම කුමරුට සීතාව නිදහස් කර ගැනීමට වඩා රාවණාගෙන් පළිගැනීමට ඇති උනන්දුව වැඩි විය.සීතාව නිදහස් කරගැනීම පවසමින් තම පියාවූ දශරථ හා මාමා වූ ජනක රජවරුගෙන් සේනා සහය පැතූ නමුත් රාම ලක්‍ෂමන් දෙදෙනා සුපර්ණිකාගෙන් සමාව ගතහොත් සීතාව නිදහස් කිරීමට රාවණා සූදානම් බැවින් දශරාථ,ජනක රජවරුන් දෙදෙනාම රාමට දැන්වූයේ තමන් සිදුකළ වරදට සුපර්ණිකාගෙන් සමාව ගෙන සීතාව රැගෙන එන ලෙසය.රාවණා වැනි බලවත් රජෙකු සමඟ සේනා නසාගනිමින් යුද්ධ කිරීම නොකොට පහසු ක්‍රමයෙන් සීතාව මුදවා ගත හැකිකම තිබුනත් අහංකාර රාම කුමරු රාවණා සමඟ යුධ වැදීමට තීරණය කළේය.තමා ඇසුරු කළ බමුණන්ගේ මඟ පෙන්වීම යටතේ සැඟවී සිට විදින ලද හීයකින් වාලී නම් වානර රජු මරා දමා සුබ්‍රීවට වානර රජකම ලබාදී අතිවිශාල වූ වානර සේනාවේ සහාය රාම කුමරු තමාගේ යුද්ධයට උපක්‍රමශීලීව ලබා ගත්තේය.
   මේ සියල්ලටම වඩා තම පියාවූ රාවණා රජුගේ බලය යටපත් කිරීමට හේතුවූයේ රාවණා රජුගේ සොයුරු විභීෂණ ද්‍රෝහී ලෙස රාමට එකතු වීමය.රජකමට කෑදරව තම වැඩිමල් සොයුරාට ද්‍රොහිවූ විභීෂණට රාම වැනි කපටියෙකුගෙන් ප්‍රති උපකාර ලැබීමක් සිදුවේ යැයි ඉන්ද්‍රජිත් නොසිතුවේය.හෙළ අසුර රාජ්‍යය විනාශ කිරීමට අවශ්‍ය රහස් ඔහු ලවා ලබාගෙන අවසානයේ ඔහුවත් මරා දැමීම රාම අතින් සිදු වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.දැනටමත් අපගේ තාක්‍ෂණික උපක්‍රම හා මන්ත්‍ර රහස් සතුරන් අතට පත් කිරීම විභීෂණ අතින් සිදුවෙමින් ඇත.අහෝ විභීෂණ! තොප අප අතරම ඉපිද අපව විනාශ කිරීමට සිත් යොමු කරවූයේ කෙසේද?
     රාවණා පුත් ඉන්ද්‍රජිත් මෙසේ අතීත ආවර්ජන කරමින් ස්වකීය විමාණයෙන් යන මෙම අහස් ගමන කුමක් අරභයාදැයි මොහොතකට සිත් යොමු කරමු.සීතාව බේරා ගැනීමට වඩා හෙළ අසුර රාජ්‍යය වැනසීමේ බමුණු අරමුණ සඵල කිරීමට ලංකා පුරයට පිවිසි රාම ලක්‍ෂමන ප්‍රමුඛ වානර හමුදාව රාවණ සොයුරු විභීෂණ සහය ඇතිව රාවණාගේ තාක්‍ෂණික ආයුධ හා ඥානය සොරාගනිමින් රාවණාගේ සටන්කාමී සොයුරනා කීප දෙනෙකුම විනාශ කරමින් හෙළ අසුර රාජධානිය ක්‍රම ක්‍රමයෙන් බිඳ දමමින් සිටින අවස්ථාවකදී සිය පියා වන රාවණා රජුගේ අනු දැනුමෙන් තමන් සතු ශිල්පීය ක්‍රමයක් යොදාගෙන ඈත අහසේ සිදුවන විදුලි කෙටීම් හා විවිධාකාර වූ විකිරණ එක් රැස්වීම් සතුරු හමුදාව වෙතට එල්ල කිරීමට හෙවත් තවත් විදියකින් කිවහොත් හෙන පිට හෙන පහරවල් හා විකිරණ පහරවල් සතුරු හමුදාව වෙතට එල්ල කිරීමටත් අති සුවිශේෂී හෙණ සරයන් වූ (බ්‍රහ්ම,විශ්ණු) සර සතුරු හමුදාවට එල්ල කිරීමට අවශ්‍ය විභව හා වෙනත් ශක්තීන් ලබා ගනු පිණිස හිරුගේ "බාධ්‍යා" නම් ආලෝක ආචරණය ඇතිකරවන අභ්‍යවකාශයේ වූ සුවිශේෂී වායුපථ මායිම් ආසන්නයට යන ගමනේදී රාවණා පුත් ඉන්ද්‍රජිත්  විසින් සිදුකල අතීත ආවර්ජනයක ඔබ අප රැදී සිටිමු.
     නැවත නියමු කුටියට පිවිසි ඉන්ද්‍රජිත් සහායක නියමුවාට බාරදී තිබූ විමානයේ නියාමනය නැවත තමා යටතට ගත්තේය.විමානයෙන් පිටත දර්ශන  පෙන්නුම් කරවන දර්පන හොදින් පරීක්‍ෂා කළ ඔහු ඉන්පසු රසදිය ඉන්දන පරීක්‍ෂාවද සිදු කලේය.පොලොවට ඉහළින් වූ හයවැනි වායු තට්ටුවට තමන් ලඟාවෙමින් සිටින බවත් වායු තෙරපීම ක්‍රමයෙන් අඩුවන නිසා මින් ඉදිරියට රසදිය ඉන්දන දහණය කිරීම මන්ත්‍ර බලයෙන් කළ යුතු බව වටහා ගත්තේය.මහා සෘෂි "භාරද්වාජ" විසින් රචිත "වෛමානික ශාස්ත්‍ර" මන්ත්‍ර සියල්ල ඉන්ද්‍රජිත් කටපාඩමින් දැන සිටියේ විමාන නියමුවකු ලෙස පුහුණුව ලද කුඩා අවදියේ සිටය.ඉන්ද්‍රජිත්ගේ මන්ත්‍ර බලයෙන් රසදිය උනුවීමේ ක්‍රියාව තවදුරටත් නොනැවතී සිදු විය.
   හිසර මෙන් අකුණු සර පොකුරු විදිය හැකි වායුපථ මායිමට ඉන්ද්‍රජිත් මෙහෙයවූ විමානය ක්‍රමයෙන් ලගාවිය.තමාට අවශ්‍ය විභවයේ විමානය සිටුවා අනතුරු කාරී වායුපථ මායීමේදී විමානය ගිනි ගැනීමේ අවධානයෙන් මුදවා ගැනීමට විමානයේ මුළු ශක්තිය යානයේ හදවතට එක්තැන් කරවීමේ මන්ත්‍රය මැතුරුවේය.අකුණු සර විදීමට සැකසිය යුතු විමානයේ යාන්ත්‍රික පද්ධතියේ නිවරද්‍යතාව පරීක්‍ෂා කළ ඉන්ද්‍රජිත් ප්‍රහාරය එල්ල කිරීමට සුදුසු නැකැත් වේලාව එනතුරු මොහොතක් සිටියේය.සුදුසු වේලාව ලගාවුවත් නැකැත් වේලාවට මොහොතකට පෙර ප්‍රහාරය එල්ල කරන යන්ත්‍රයේ මතුවූ සුළු ශක්ති දෝෂයක් නිසා නියමම වේලාවට ප්‍රහාරය එල්ල කිරීමට ඉන්ද්‍රජිත්ට නොහැකි විය.පොකුරු අකුණු සැර රාමගේ සේනාව වෙත නිවැරදිව ඉලක්ක වුවත් නැකැත් වේලාව මඟ හැරීම නිසා ප්‍රහාරය එක දිගටම කිරීමට නොහැකි විය.කෙසේ වුවත් අකුණු ප්‍රහාරය හමුවේ රාමගේ වානර හමුදාවෙන් විශාල ප්‍රමාණයක් විනාශ වූ බව ඉන්ද්‍රජිත් හොදින් දැන ගත්තේය.ඊලගට ඇත්තේ අති දරුණු විදුලි සර හා විකිරන ප්‍රහාරය දියත් කිරීමට අදාළ වායුපථ වෙතට යාමය.එම වායු පථවෙතට යාමට ඉන්ද්‍රජිත් විමානය නැවත පන ගැන්වීය.
    එක්වරම දුටු දසුනින් ඉන්ද්‍රජිත් වික්‍ෂිප්ත විය.සතුරු හමුදා වලින් සන්නද්ධ වූ විමාන රාශියක් තම විමානය ඉදිරියේ දෘෂ්‍යමාන විය.විමාන ප්‍රතිබිම්භ මැවීමේ ශාස්ත්‍රීය ක්‍රම පිළිබදව ඉන්ද්‍රජිත් දැන සිටියත් තමා ඉදිරිය් ඇති විමාන රාශිය එසේවූ ප්‍රයෝග විමාන නොවන බව වටහා ගැනීමට ඉන්ද්‍රජිත් සමත් විය.සතුරු හමුදාව ගුවනින් යා හැකි විමාන තැනීමේ තාක්‍ෂණය ලබා ගත්තේ කෙසේදැයි ඉන්ද්‍රජිත් පුදුමයට පත් විය.සතුරු විමාන වල ස්වරූපය තමා පදවන විමානයේ ස්වරූපයම විය.ද්‍රොහී විභීෂණ සිහිවීමත් සමඟම ඊට හේතු වටහා ගත හැකි විය.හිරු ප්‍රමුඛ ග්‍රහයන්ගෙන් ඇතිවන විවිධාකාර වූ ශක්තීන් පෘථිවි ස්ථර මතට වැටීමේ ස්වභාවය අනුව නිර්මානය වන සෞමක,සෞන්දල,මෞර්ත්විකාදී විවිධ ලෝහ කාන්ඩ සුවිශේෂී නිස්සාරණ ක්‍රම මගින් සකසා විමාන නිර්මාණය කොට රසදිය ඉන්දන මගින් ප්‍රති ගුරුත්වාකර්ෂණ බලය යටතේ ඒවා අහසො ධාවනය කිරීමේ සිට නියමු ශාස්ත්‍රීය ක්‍රම දක්වා වූ ලේඛනගත සියළු රහස් ශිල්පයන් විභීෂණ විසින් සතුරු හමුදාව අතට පත්කොට ඇති බව ඉන්ද්‍රජිත් වටහා ගත්තේය.තමා උගත් නියාමක ශිල්ප සතුරු හමුදාව දැන සිටීම ඉන්ද්‍රජිත්ට විශාල අවාසියක් විය.තමා විසින් උගත් හා නූගත් විවිධ නියාමන උපක්‍රම යොදමින් සතුරු යානා කිහිපයක්ම ඉන්ද්‍රජිත් විසින් විනාශ කලේය.අවසානයේ පරල වූ පිස්සෙකු මෙන් විමානයේ ප්‍රහාරක අවි වලින් සතුරු විමාන වලට දරුණු ප්‍රහාරයක් දියත් කලේය.එම ප්‍රහාරය හමුවේ සතුරු යානා විශාල ප්‍රමාණයක් විනාශ වූ නමුත් හනුමන්තා නායකත්වය දැරූ සතුරු බල හමුදාව ඉදිරියේ තනිවම සටන් කිරීමට ඉන්ද්‍රජිත්ට වැඩි වේලාවක් නොහැකි විය.ජීවිතය අවසන් වන තුරුම නියම වීර හෙළ අසුරයකුසේ සතුරන් සමඟ සටන් කළ ඉන්ද්‍රජිත් සතුරු ප්‍රහාරයට ලක්වී විමානයත් සමඟම විනාශ විය.

 ---------------------------------------------------------------------------------
සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව


පති කුල ගොත වත – ඉහළයි හැමවිට
එහි අභිමානය – රකිනෙමි හැමවිට //

අන් සතු අඟනක් සෙනෙහස පැතුමට
නිහින නොවේ මේ රාවණ පෙළපත

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා //

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

                            http://www.youtube.com/watch?v=ejHmAz6U3pg&feature=player_detailpage


ගායනය    - ප්‍රේමසිරි නානායක්කාර
පදරචනය - 


---------------------------------------------------------------------------------







2 comments:

Test Profile said...

අපි​ නොදන්න අතීතයක රාජකීය විලාසය....!

kasun said...

thawa wisthara danna hugak dewal mama meken danagaththa...

lanka pura thibune nakals kadu watiye kiyanne aththada?

mama hithagena hithiye e kale ape aya nayashtika bomma hadanna danagena hitiya kiyalai.....(brahma hi saraya)

haela ithihasaya gana danna wisthara meke danna akamathinam mata emall
karanna,,,,,bokada helayek widiyata thamange ithihasaya danaganna one...

kaurwath wadiya mewa gana danna ....mulashra thiyanawanam kiyanna .....mama asai kiyawanna......bohoma pin!!!!!!!!!!

Related Posts Plugin for WordPress, Blogger...