Tuesday, February 28, 2012

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 1

                                    
   පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන්ව ඇති ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිභ්චිත සදහනක් නැතත් චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් පැමිණ ඇත.

    පෝරුවේ චාරිත්‍ර වලදී අෂ්ඨක කීම බෞද්ධ ජන සමාජයට පමනක් සීමා වී ඇති නිසා එය බෞද්ධ සංස්කෘතික අංගයක් ලෙසද සැලකිය හැකිය.වර්තමානයේ පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේදීඉපැරණි චාරිත්‍ර අවුල් සහගත හා වැරදි ලෙස භාවිතා කිරීමක් දැකිය හැකි විම කනගාටුවට කරුණකි.අෂ්ඨක කීමට සුදුසු පුද්ගලයකු සොය ගැනීමට අසීරු වූ අවස්ථාවල යන්තම් ශ්ලෝකයක් දෙකක් කටපාඩමින් කිව හැකි බේබදු වැඩිහිටියන් ලවා අෂ්ඨක කියවීම් අද බහුලව දැකිය හැකිය.එමෙන්ම නූතන හෝටල් ක්‍රමයේ මූලික සිද්ධාන්තය වන "වැඩි පහසුව" සලකා පෝරුවේ චාරිත්‍ර කෙටි කිරීම  නිසාද එම චාරිත්‍ර අභාවයට යාමට හේතු වී ඇත.අෂ්ඨක කීම සඳහා සුදුස්සන් තෝරාගත් ආකාරය ගැන කියුවෙන පැරණි කවි පෙළක් පහත දැක්වේ.

     

    පෝරුව හා එහි චාරිත්‍ර ඉටු කිරීමේ මූලික අරමුණු
   * පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව මනාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි.
      * නව යුවලට ත්‍රිවිධ රත්නයේ හා දේවාශිර්වාදය ආරක්‍ෂාව පැතීම
      *  තමා හැදූ වැඩූ හා තමාගේ සහකාරිය සහකරු හැදූ වුඩූ දෙමාපියන්ට කෘතගුණ සැලකීම
      * පාරම්පරික සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම.

අතීතයේ සිට අද දක්වා භාවිතා වන පෝරු වර්ග 3ක් ගැන සදහන්ය.
      *මහා සමමත ආදී රජුන් සදහා වූ මගුල් පෝරුව
  *සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය සදහා යොදා ගත් මගුල් පෝරු ආකෘතිය
      * සාමාන්‍ය ජනයා සදහා වූ මඟුල් පෝරුව

 පෝරුව සෑදීම
      වර්තමානයේ හෝටල්වල මංගල උත්සව ගැනීම් වලදී මංගල පෝරුව සදහා හෝටලය විසින් නොමිලේ හෝ සහනදායි මිලට සපයන පෝරු භාවිතා කිරීම් වැඩි වශයෙන් සිදු වුවත් නියම ශාස්ත්‍රාණුකූලව බලන විට එය නුසුදුසුය.වෙනත් යුවලක් නැංවූ පෝරුවක තවත් මනාල යුවලක් නැංවීම සුදුසු නැත.හෝටල්වල හා වෙනත් වෙළඳසැල් වල කුලියට දීමට හා විකිණීමට ඇති පෝරු වැඩි දෙනෙකු පරිහරණය කල ඒවාය.නියමාකාරයට නම් මනාල යුවලක් වෙනුවෙන් අළුත් මංගල පෝරුවක් සැකසිය යුතුය.
  අතීතයේ මංගල පෝරුව සෑදීම ඉතා බැතියෙන් හා චාරිත්‍රාණුකූලව සිදුකල කටයුත්තකි.මඟුල් පෝරුව සාදන්නා පන්සිල් රකින සිල්වත් ගුණවත් අයකු විය යුතුය.ඉතා හොදින් පිරිසිදුව දින කිහිපයක් මස් මාංශ වලින් වැලකී පේවී ඒ සඳහා සූදානම්වේ.පෝරුව සෑදීම ආරම්භ කරන්නේ සුභ නැකතක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානය හොදින් ශුද්ධ පවිත්‍ර කර ගෙනය.පෝරුව සෑදීම සදහා රත්හදුන්,සුදු හදුන් හෝ කිරි ගසක පළුදු නොවූ අළුත් ලෑලි යොදා ගනී.
   පැරණි සම්මතය අනුව පෝරුවේ දිග වඩු රියන් 16 කුත් පළල වඩු රියන් 15 කුත් විය යුතු අතර(වඩු රියනක් යනු දළ වශයෙන් අඟල් 31කි.) දොරටු 4ක් හා මුලු 8ක් සෑදෙන පරිදි සැකසිය යුතුය.(දොරටු 3 මංගල පෝරු වර්තමානයේ බහුලව භාවිතා කරයි.)
   පෝරුව තැන්පත් කල යුත්තේ එය තුලට වාත්‍රාශය හොදින් ලැබෙන පරිදිය.වර්තමානයේ හෝටල් ආශ්‍රිතව පෝරුවේ චාරිත්‍ර සිදු කරන විට දෙපාර්ශ්වයේ ඥාතීන් පෝරුව අසල එක්රැස් වීමත් පොටෝ වීඩියෝ කරුවන් ඒ අසල එක්රැස් වීමත් පොල්තෙල් පහන් නිවී යාම වැලක්වීමට විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමත් නිසා පෝරුව අසල කාබන්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිවේ.මෙවැනි අවස්ථාවලදී පෝරුව මත සිටින මනාළ යුවළ මහත් අපහසුතාවට පත්වන අතර ක්ලාන්ත වීම් වැනි වෙනත් අපහසුතාද ඇතිවේ.(පෝරුව මතදී මනාලිය හෝ මනාලයා ක්ලාන්ත වීම ඔවුන් කුමර කුමරි බඹසර බිදගත්තවුන් බවට ඉඟි කරන බව පැරැන්නන් අතර මතයක් ඇත.)
  පෝරුවේ ඉදිරිපස පිහිටිය යුතු දිශාව තීරණය කල යුත්තේ නැකැත් දිනයේ දක්වා ඇති සුභ දිශාව අනුවය.මනාළ යුවල පෝරුවට නැංවීමට පෙර සහල්,ලදපස්මල් ඉස ඒවා සුදු පිරුවටකින් වසා තබයි.පුන්කලස් මත පොල් තෙල් පහන් දැල්වීමට සූදානම් කර තබයි.
  පෝරුව සාද එහි චාරිත්‍ර ඉටු කරන තුරු එය තනි නොකළ යුතු අතර මනාළ යුවලගේ ඥාතීන්(යටින් සතුරු) ,සතුරන් වැන්නවුන් සිදු කල හැකි වින බන්ධන වලින් පෝරුව ආරක්‍ෂා කිරීමට කෙනෙකු ඒ අසල සිටිය යුතුය.ඇතැම් පළාත්වල රතු ජටා බැදගත් දූතයන් සතර දෙනෙකු කඩු 4ක් ගෙන පෝරුව සතර කොන පෝරුවේ චාරිත්‍ර අවසන් වන තුරු නොසෙල්වී සිටින්නේ මෙම ආරක්‍ෂාව සංකේතවත් කිරීමටය.සතර කොන සහල් පඩුරු ආදිය පුරවා පිපුණු පොල් මල් දමා පහන් දැල්වීමට සූදානම් කල පුන්කළස් හතරක්ද තබයි.
  
  පෝරුවේ පොදු චාරිත්‍ර
   * නව යුවළ පෝරුවට නැංවීමට ප්‍රථම ඔවුන් ලවා තෙරුවන්ට හා සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම.තෙරුවන් වෙනුවෙන් දැල්වූ පහන පෝරු චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථමයෙන් උඩකින් තබා ඉන්පසු සතර වරම් දෙවි පහන් පෝරුව වටා තබා ඇති පුන් කළස් හතර උඩ තබයි.මෙය සිදුකරන ගමන්ම අෂ්ඨක කියන්නා(පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නා) සභාවෙන් අවසර ගැනීම ත්‍රිවිධ රත්නයට නමස්කාර කිරීම හා සතරවරම් දේවාරාධනාව සිදු කරයි.
                                             
   * අනතුරුව මනාලයා පෝරුවේ දකුණු පසින් හා මනාලිය වම්පසින් දෙදෙනාගේ මාමා වරුන් මනාළ යුවළගේ දකුණු අතින් අල්වා දකුණු පය පෙරට තබා සුභ නැකත් වේලාවට පෝරුවට නැංවීම සිදු කරයි.ඇතැම් පළාත් වල දෙදෙනා පෝරුවට නැංවීම මනාලියගේ මාමාවරු දෙදෙනෙකු විසින් සිදු කරයි.දෙදෙනා පෝරුවට නගින විට යශෝධරා අෂ්ඨකය වැනි පෝරුවට නැංවීමේ කවි අෂ්ඨක කියයි.
                                
 * හූය බැදීම හා අත පැන් වත් කිරීම
       මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද (සමහර පළාත් වල සමන්පිච්ච මල් දැවටූ නූලෙන් බැද) කෙළවර පුච්චා රන් කෙන්ඩියකින් හෝ හක් ගෙඩියකින් පැන් වැඩීම සිදු කරයි.මෙම අවස්ථාවේදී "අටවිසි පිරිත"කියා ආශිර්වාද කිරීම සිදු කරයි.රන් කෙන්ඩියෙන් (හෝ හක් ගෙඩියෙන්) වඩන පැන් පෝරුව මතට නොවැටෙන සේ යටින් දිය බදුන අල්ලා පිරිත අවසන් වන තුරු පැන් වඩා අවසන නූල දෙදෙනාට ගලවා ගැනීමට නියම කරයි.
                                  

 * සළුපිලි(තැලිපිළි) ඇන්දවීම
        මනාළයා විසින් මනාලියට සළුපිළි ඇන්දවන මෙම චාරිත්‍රයෙන් දෙදෙනා අතර නොබිදෙන බැදීම ආදරය සංකේතවත්වේ.

 * බුලත් හුරුළු දීම කිරිකඩ රෙද්ද දීම
       චාරිත්‍ර ඉටු කරන්නා විසින් ප්‍රථම බුලත් හුරුල්ල මත පඩුරක් තබා නව යුවලගේ අත ගස්වා තෙරුවන සදහා උස් ස්ථානයකින් තබයි.අනතුරුව බුලත් හුරුළු හතක් නව යුවළ අතින් පෝරුව මත හෙළයි(මෙම බුලත් නොපෑගිය යුතුය)ඉන් පසු ප්‍රථමයෙන්ම දෙමාපියන්ට බුලත් හුරුළු දී එතැන් සිට ඥාතීන්ට බුලත් හුරුළු දේ.මනාලියගේ මවට දෙන බුලත් අතට කිරිකඩ රෙද්ද දෙදෙනා විසින් මනාලියගේ මවට පිළිගන්වා වැදීම සිදු කරයි.ඔක්කාක රජ දවස රජ කුමරකු විසින් බමුණු දියණියක් සරණපා ගැනීමේදී මව් බැමිණියගේ පිළිවදනක් අනුව පෙවූ කිරි වල ණය හිලව් වීමට මෙම කිරිකඩ රෙද්ද පුරාතනයේ සිට සංකේත කෙරේ.බුලත් හුරුළු දීමේදී හා කිරිකඩ හේලය පිදීමේදී මව් පිය ගුණ ගායනාව හා කිරිකඩ රෙද්ද පිදීමේ සිද්ධිය කියැවෙන කවි අෂ්ඨක කීම සිදු කරයි.

                                                   
                                   

                                                    ----  මතු සම්බන්ධයි -----

9 comments:

Roshanherath said...

මනාලයාගේ දකුණතේ හා මනාලියගේ වමතේ සුළැගිලි දෙක එක්කොට රන් කෙන්දකින් බැද

මනාලයාට වම්පසින් මනාලිය සිටින විට මෙහෙම කරන්න අමාරුයි නේද? බොහෝවිට මම නම් දැකලා තියෙන්නෙ මනාලියගේ දකුණතයි මනාලයාගේ වමතයි අරන් සුළැඟිලි බඳිනවා..

මාතලන් said...

මේ ළිපි මාලාව බොහොම වැදගත්. මේ තමයි ලාංකික අනන්‍යතාව...

priyantha said...

මේවා ගැන අපි නොදන්නා දේ බොහොමයි. මෙවැන්නක් ලියන්න සිත් වීම අගේ කොට සලකනවා. දිගටම මේ ලිපි පෙල ලියන්න...:D

Gimhani said...

නොදත් කරුණු බොහෝ දැනගත්තා . බොහොම ස්තූතියි . අප හැම දැන ගත යුතු කරුණු හුඟක් තියනවා . ඉතිරි කරුණුත් බලාපොරොත්තු වෙනවා .

Soda ගුනේ said...

"පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථාරූඩ කරන්නේ කන්‍යාවියන් පමනි.ඒ අනුව මනාලියගේ පාරිශුද්දතාව හිත ශාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීම පෝරුවේ මූලික අරමුණකි."
මම දන්න තරමින් පෘතුගීසින්ට කලින් ලංකා සමාජේ, කන්‍යාවිය කියන එකෙන් අදහස් කලේ වැඩිවිය නොපැමිණි ගැහැණු දරුව. කන්‍යාභාවය කියන සංකල්පය ලංකාවට ආවේ පෘතුගීසින් එක්ක කන්‍යා මරිය සංකල්පය ඔස්සේ කියල තමයි මම කියවල තියෙන්නේ
මට හිතෙන විදියට නම් ලෝකෙට ණයවෙලා පුහු චාරිත්‍ර වාරිත්‍ර රකිනවට වඩා අතේමිටේ ඇති ගානට වැඩේ කරගන්න එක තමයි නුවණට හුරු...:D

dakshika said...

Roshan kiyala thiyena eka neda machn karanne.. මනාලියගේ දකුණතයි මනාලයාගේ වමතයි

jhothishalanka said...

@Roshan Herath & කරුමක්කාරයා
ඔයාලගේ කමෙන්ට්ස් වල සදහන් කරුණු ගැන මම සොයලා බැලුවා.පෝරුවේ චාරිත්‍ර ඇති වීඩියෝ කීපයක්ම බැලුවා.ඒ සෙරම තිබුනේ මනාලියගේ වමතේ හා මනාලයාගේ දකුනතේ සුලැඟිලි බැද පැන් වැඩීමයි.මේ පිළිබදව අෂ්ඨක කියන වැඩිහිටියකුගෙන් ඇසූ විට ඔහු කීවේ උඩරට ක්‍රමයේදී ඇතැම් පළාත් වල ඔබ දැක්වූ ආකාරයට මනාලියගේ දකුණතේ හා මනාලයාගේ වමතේ සුලැඟිලි බැද පැන් වඩන බවයි.

Anonymous said...

මෙම ලිපිය අභාවයට යන චාරිත්‍ත්‍ර විදි ගැන බාල පරපුරට දැනුවත් වීමට ඉතාමත්ම වැදගත්.මම හිතන වදියට ඉහත roshan herath මහත්මාගෙ කමෙන්ට්ස් එකෙන් අදහස් කරන්නට අැත්තෙ පොරුවෙ දකුනෙන් මනමාලයත්,මමෙන් මනමාලත් නැන්ගවූවිට කෙසෙද මනාලයාගෙ දකුනතෙත්,මනාලියගෙ වමතෙත් සුළැගිලි එක්කරන්නෙ කියන පැනය වෙන්නට පුලුවනි.පැනය එය නම්...මම අසා තිබෙන පරදි මගුල් පොරුවෙ වම දකුන බලනු ලබනුයෙ පොරුව ඉදිරිපිට සිටගෙන එය දෙස බලාගෙනයි.එවිට මනාලයා දකුනෙන් ද මනාලිය වමෙන්ද එයට නැංග වු පසුව මනාල මහතාගෙ දකුනතෙත්, මනාලි මහත්මියගෙ වමතෙත් සුළැගි එක් කිරීමට බාදාවක් නැහැ නෙද.

Gayani Imbulana said...

aththatama godak watina lipiyak