Monday, December 31, 2012

වස් කවිය

 “එලිස නැන්දේ ගුණතුංග ගෙදර ඉන්නවද?“
  කුඩා නිවසේ ගෙමිදුලට වී ඩේවිඩ් මුදලාලි දොරකඩ සිටි එලිස ආච්චීගෙන් ඇසුවේය.
 ආච්චි පිළිතුරු දීමටත් ප්‍රථම  නිවස ඇතුලේ සිටි  ගුණතුංග ඩේවිඩ් මුදලාලි ඉදිරියට ආවේය.
 “ආ....මොකක්ද දන්නේ නෑ උවමනාව“
  ගුණතුංගේ ප්‍රතිචාරය ඹහුගේ සුපුරුදු ක්‍රමයටම විය.තම ගම්මානයේ අසල්වැසි ඥාතී හිතවතුන් සමඟ නමින් අමතා කතා කිරීමක් ඔහු තුල නොවුනි.එලිස ආච්චි තරමක් එහාට මෙහාට වනතුරු සිටි ඩේවිඩ් මුදලාලි
 “මට හරි වැඩක් වුනානේ ගුණතුංග,උඹලට ආරංචිත් ඇතිනේ ගිය සතියේ මගේ දැළ කවුදෝ කට්ටියක් පුච්චලා දාලා.තරහටම කරපු වැඩක්.පොලිසිත් ගියා ඒත් වැඩක් වුනේ නෑ.අන්තිමේ මම වැලිගම ගිහින් ............... හාමුදුරුවෝ ලව්වා වස් කවියක් ලියාගෙන ආවා.ඒක කියවන්න කෙනෙක් තාම හොයා ගන්න බැරි වුනා.උඹට පුළුවන්නේද මේක කියවල මට උදවු කරන්න.“
   මීට වසර 60 කට පමන පෙර සිදුවූ මෙම සිද්ධිය සිදුවන විට ගුණතුංග  වයස අවු 20 ක පමන කොලු ගැටයකු විය.ඩේවිඩ් මුදලාලි තමන්ගේ දැළ පිලිස්සූ අයට දඩුවම් කිරීමට ලියවූ වස් කවිය කියවීම ගුණතුංග විසින් බාර ගැනීමට ගුණතුංගගේ දෙමාපියන් තදින්ම විරුද්ධ වූයේ එහි ඇති අවදානම් තත්ත්වය නිසාමය.නමුත් හිතුවක්කාර තරුණ වයසේ සිටීමත් තම පවුලේ සමීප ඥාතී හිතවතෙකු වූ ඩේවිඩ් මුදලාලිගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි වීමත් නිසාම වස් කවිය කියවීමට තමා බාරගත් බව පසු කලෙක ඔහු මා සමඟ පැවසීය.
     පවුලේ වැඩිහිටියන්ගේ දැඩි විරෝධය මධ්‍යෙය් වස් කවිය කියවීමේ කටයුත්තට ගුණතුංග සූදානම් විය.වස් කවිය තමා විසින් රචනා කල එකක් නොවුවත් එකල පැවති පිරිවෙන් අධ්‍යාපනයෙන් ලත් පාලි සංස්කෘත දැනුමත් පාරම්පරික ජ්‍යොතිෂ සිද්ධාන්ත ඉගෙනීමේදී සංස්කෘත ශ්ලෝක කියවීමෙන් ලත් ආභාෂයත් නිසා වස් කවියේ ස්වර ගණ පිහිටීම හා ගායනා කල යුතු ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීම ගුණතුංගට අසීරු දෙයක් නොවුනි.
     මා දැළ පිළිස්සීම සිදුවී 21 වන දිනයේදී වස් කවිය කියවීමට නියමිතව තිබුනි.දැළ පිළිස්සීම රාත්‍රී කාලයේදී සිදු කර තිබූ නිසා වස් කවිය කියවීමද රාත්‍රී කාලයේම කල යුතුය.සූදානම් වීමද රහසිගතව කල යුතු විය.
     වස් කවිය කියවීමට ප්‍රථම සිදු කරන පුදපූජා කිරීම දැළ පිළිස්සූ ස්ථානයට නුදුරින් මුහුදු වෙරලේ පිහිටි  “යග්ගහ ගල“ නම්වූ ගල් තලාව තෝරා ගැනුනි.වර්තමානයේ මෙම ගල මත දර්ශනීය සංචාරක හෝටලයක් ඉදිකර ඇතත් අපගේ කතාන්දරයට අදාල කාලයේ කැළෑවට ගිය මෙම ස්ථානය රාත්‍රී කාලයේ බියකරු අදුරු ගුප්ත බවකින් යුක්ත විය.
      වස් කවියේ ප්‍රධාන ගණ පිහිටුවීම “සූර්ය“ නම්වූ අයහපත් ගණය සමඟ “බූමි“ නම්වූ යහපත් ගණය මුසුකොට ගුරුළු හා නාග ප්‍රතිවිරුද්ධ යෝනි අතර ඝට්ටනය සිදුකොට විනාශය ඇති කරන පරිදි ලියූ දරුණුම ආකාරයේ වස් කවියක් බව වස් කවිය කියවීමට බාර ගත් ගුණතුංග පූර්වයෙන් අවබෝධ කරගෙන තිබුනි.කෙසඟ සිරුරකින් යුත් ශරීර ශක්තිය අඩු පුද්ගලයෙකු වුවත් ඔහු යකෙකුටවත් බය නැති එඩිතර අයෙක් විය.මෙවැනි අවස්ථාවලදී කටයුතු කල යුතු ආකාරය පිළිබඳව මනා වැටහීමක් ඔහුට තිබුනි.
     ධීවර කටයුතු වල යෙදී සිටි පිරිසකට සිදුවූ අකටයුත්තක් නිසා වස් කවි ආයාචනය ගොඩකොහොට(කතරගම) හා භද්‍රකාලී දේව යක්ෂ බලවේග වලටය.එබැවින් පුදපූජා කිරීමද ප්‍රවේශමෙන් කල යුත්තක් විය.
   වස් කවිය කියවීමට ප්‍රථම යග්ගහ ගලේ සිදුකල පුද පූජාවට සහභාගී වූයේ ගුණතුංගත් “රූබට්“ ලෙස ගැමියන් හැදින්වූ තරුණයාත් පමනක් විය.භද්‍රකාලී දිස්ටිය වැටෙන රාත්‍රී (8.07 - 8.24) අතර භද්‍රකාලී වෙනුවෙන් පුදපූජාව විය.අනතුරුව නැවත රාත්‍රී (10.47 - =11.11) අතර කතරගම දේව දිස්ටිය වැටෙන කාල සීමාවේදී කතරගම දේව පූජාවද පැවැත්වුනි.
   අනතුරුව පැවතියේ භාරදූර හා අවදානම් කාර්යය වූ වස් කවිය ගායනා කිරීමය.යක්ෂ බලවේග වලට ආරාධනා ශ්ලෝක ගායනයෙන් පසු ප්‍රථමයෙන්ම දැල පිළිස්සූ ස්ථානයේ සිට වස් කවිය ගායනය ආරම්භ කලේය.වරෙක ඉතා බියකරු ලෙස දැඩි පලිගසන ස්වරූපයෙනුත් තවත් වරෙක මහා අදෝනාවක් ලෙසත් ගායනා වන වස් කවියේ හඩින් මුළු මූදු කරයම දෙවනත් විය.වස්කවි කීම පිළිබදව පෙර දැනුවත් වීමක් නොවුනු වෙරලබඩ නිවෙස් වල ජනතාව නිවෙස් තුලින් එලියට විත් මෙම කලබලය කුමක්දැයි විපරම් කල නමුත් වියරුවෙන් මෙන් වස්කවිය කියමින් මූදු වෙරළ දිගේ ගමන් කරමින් ඉදිරියට එන ගුණතුංගත් ඔහු පසුපසින් දුම්මල ගසමින් එන රූබට්වත් දුටු බොහෝ දෙනෙකුට කාරනය වැටහී නැවත නිවෙස් තුලට ගොස් දොරගුළු ලා ගත්තේ මෙවැනි අවස්ථාවලදී ඔවුන් තුල ඇතිවන ගුප්ත භීතිය නිසාය.
     වස් කවිය කියමින් මුහුදු වෙරළ දිගේ ගම්මානය හරහා වැටෙන පාරට පැමිණි ගුණතුංග තමා පුටුපසින් එන රූබට් දෙසට හැරීමක් කරම
   “පිටිපස්සෙන් නෙවෙයි රූබට් ඉස්සරහින් දුම්මල ගහපිය.“ යනුවෙන් සැරෙන් පැවසුවේය.  
  ගුණතුංග විසින් රූබට්ට හදිසියේ පැවසූ කරුණ සලකා බැලීම වටී.අතීතයේ සිටම තොවිල් කිරීමේදී හා වෙනත් මන්ත්‍ර කටයුතු කිරීමේදී  යකදුරන් තමන් ගායනා කරන මන්ත්‍රය,ශ්ලෝකය,කවිය සමඟ දුම්මල ගැසීමක් සිදු කරයි.දුම්මල දුම අඩංගු වාතය හා සාමාන්‍ය වාතය අතර මාධ්‍ය වෙනසක් ඇත.දුම්මල මුසුවූ වාතය තුල ශබ්ද තරංග වේගවත්ය.දුම්මල දුම වාතය තුල විසරනය වෙමින් ශබ්ද තරංග වැඩි දුරක් ගමන් කරවයි.

 වස් කවිය කියමින් ගුණතුංග හා රූබට් මුළු ගම පුරාම සංචාරය කලහ.වස්කවිය මුළු ගමටම හොදින් ඇසුනි.වස්කවිය ගායනය අවසන් කිරීම සිදුවූයේ ගමේ උස් ස්ථානයක සිටය.වස් කවි ගායනයේ අවසානයේ ගායනය මෙන්ම අවට පරිසරයේ බියකරු ස්වභාවයක් ගත් බව රූබට් විසින් පසු දින කිහිප දෙනෙකු සමඟ පවසා තිබුනි.

   වස් කවි ගායනය මෙසේ අවසන් වූ නමුත් බුදු දහමින් කියැවෙන වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවත් වෛරය ද්වේශය බෞද්ධයන් තුලින් ඉවත් විය යුතු බවත් වස් කවිය ලියවූ ඩේවිඩ් මුදලාලිට නොවැටහුනි.තමාගේ ඥාතී හිතවතාට පාඩු කල අයට වස් කවියෙන් ශාප කිරීම වරදක් පවක් නොව වීර ක්‍රියාවක් උදවුවක් ලෙසට  තරුණයෙකු වූ ගුණතුංගට දැනෙන්නට හැගෙන්නට ඇත.තමාට කරදර විපත් කල අයකුගෙන් පලි ගැනීමක් ලෙස පෙරලා සතුරු කම් කිරීමත් විශාල පාපයකි.වස් කවියෙන් සතුරාට කරදර විපත් ඇති කල හැකි නමුත් කෙතරම් ආරක්ෂාකාරී ලෙස සිදු කලත් වස් කවි කීම සිදුකල අයටත් බොහෝ විට කරදර වලට මුහුණ දීමට සිදුවේ.මෙම කතාවේ වස් කවිය කියවීමෙන් පසු සිදුවූ සිද්ධි මොනවාදැයි විමසා බලමු.

   වස් කවි කීමේදී ආරක්ෂා සහිතව කල යුතු බව එම ශාස්ත්‍රයේද සදහන්ය.එනමුත් වෛරී සිතින් කෙරෙන මෙවැනි කටයුතුවලදී කුමන හෝ අත්වැරදීමක් සිදුවේ.මේ කතාවේද එය එසේම විය.ගුණතුංග සමඟ අතවැසියකු ලෙස සම්බන්ධ වූ රූබට් අතින් පලමු වරද සිදු විය.එය වැලැක්වීමට දියයුතු උපදෙස් පවා ගූණතුංග විසින් රූබට්ට ලබා දී නොතිබුනි.ඉතා හොඳ මතක ශක්තියක් ඇත්තකු වූ රූබට්ට ගුණතුංග විසින් ගායනා කල වස් කවිය කිහිප වරක් ඇසීම නිසා ඉතා හොදින් කට පාඩම් වී තිබුනි.ඊට පසු දින ගමේ කඩපිල් ආදී ස්ථාන කීපයකදීම රූබට් විසින් මහත් උජාරුවෙන් තමන්ට රිසි පරිදි ගායනා කලේය.

  සති කීපයක් ගත විය.දැල පිළිස්සීමට සම්බන්ධයැයි මුල සිටම සැක කල රා මදින්නකු පොල් ගසකින් වැටී මිය ගියේය.තවත් අයකු ඒ ලඟ දිනයකදීම කෝළාහලයකට හසුවී දරුණු ලෙස තුවාල විය.තවත් අයකු දියේ ගිලී මලේය.(ඩේවිඩ් මුදලාලිගේම ඥාති පුතෙක් වූ දියේ ගිලී මිය ගිය පුද්ගලයා මීට සම්බන්ධයැයි ඩේවිඩ් මුදලාලි පවා සැක කලේ නැත.තුවාල වූ තැනැත්තා විසින් ඔහු මීට සම්බන්ධ වූ ආකාරය හෙලි  විය.)


 වැරදි කල අයට එසේ දඩුවම් ලැබුනි.වස් කවි කියවූ අයටද අකරතැබ්බි විය.ඩේවිඩ් මුදලාලිට එම කාලයේ විශේෂ කරදර බාධක ඇති නොවුවත් වස් කවිය කියවූ මගේ පියාට (ගුණතුංග ලෙස අන්වර්ථ නමකින් දක්වා ඇති) වස් කවිය කියවා දින කිහිපයකට පසු හිටිහැටියේ පාද දෙකම කොරවී ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක් ඇති විය.මාස කීපයක් නොවිදිනා දුක් ව්ඳ සුවය ලැබුවත් යළි කිසි දිනෙක එවැනි කටයුතු වලට දායක නොවීමට මගේ පියාට එය පාඩමක් විය.ඉතා නිරෝගී හැඩි දැඩි පුරුෂයකු වූ රූබට් මාමාගේ කකුලක වරින් වර අඩු වැඩි වෙමින් මුළු ජීවිත කාලය පුරාම වාගේ පැවති දදයක් වැනි තුවාලයක් ඇති වූයේ වස් කවි කීයවීමෙන් දින කීපයකට පසුවය.







2 comments:

SilentSahan said...

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

කතන්දර Kathandara said...

ඔය පසුව සිදුවී ඇති සියළු දේ ස්වාභාවික සිදුවීම් නිසා ඒවායේ සමපාතවීමක් එක කාලසීමාවක වෙලා තියෙන බවයි මට නම් පේන්නේ.

ඒවා එලෙස සිදු නොවුණා නම් ඒ වස් කවියේ දෝෂයක් නිසා යැයි කියනවා ඇති.

Related Posts Plugin for WordPress, Blogger...