Sunday, March 24, 2013

අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම


අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම
 තමන්ගේ උපන් කේන්දු සටහන හදිසියේ නැතිවීම, ජන්ම කේන්‍දුයක් සාදා නොතිබීම ජන්ම වේලාව නිවැරදිව දැන නොසිටීම ආදී අවස්ථාවලදී නැවත ජන්ම කේන්‍ද්‍රයක් සාදා  ගැනීමේ ගැටළු ඉස්මතුවූවන් නිතර නිතර අප වැනි ජ්‍යොතිෂ වැඩ කරන්නන් සොයා පැමිනේ.මංගල කටයුත්තකදී අනෙකුත් පාර්ශ්වයෙන් පොරොන්දම් පරීක්ෂාව සඳහා ජන්ම කේන්ද්‍රය ඉල්ලා සිටීම,ගෙයක් සෑදීම සඳහා සුභ නැකැතක් තෝරා ගැනීම ආදී අවස්ථාවලදී එවැන්නන්ට මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවේ.

  මෙලෙස ජන්ම පත්‍රය නැතිවී ඇති නිවැරදි ජන්ම වේලාව නොදන්නා බොහෝ දෙනෙකුට තමන්ගේ උපන් ලග්නය මතක තිබීම නිසා මෙවැනි ගැටළු මතුවී තමන් ලඟට පැමිනෙන්නන්ට නැවත කේන්ද්‍ර සෑදීමේදී බොහෝ ජ්‍යොතිෂවේදීන්  කරන්නේ ජන්මියාගේ උපන් දිනය තුල උපන් ලග්නය මතුවන කාල පරාසය තුල යම් වේලාවක් තෝරා ජන්ම කේන්ද්‍රය සාදා දීමය.මෙම කටයුත්තේ ඇති බරපතල වැරදීම ගැන දැන දැනම බොහෝ ජ්‍යොත්ෂවේදීයෝ මෙම වැරද්ද නැවත නැවත සිදු කරති.
   ජන්ම කේන්ද්‍රය නොමැතිව අසරනව සිටින අයකුට ලග්නය හා එහි ග්‍රහ පිහිටීම අනුව හෝ සලකා විවාහයකට මඟ පාදා දීම වැනි මානුෂික තත්වයක් මෙහි ඇතත් අඩුම වශයෙන් උපන් වේලාවේ ආසන්න තත්ත්වයක් ,නවාංශකය,තත්කාල පංචම කාල හෝරා , චන්ද්‍ර ස්ඵුටය හෝ මහ දශා ශේෂයේ ඉදිරියට තිබූ වර්ෂ මාස ගනන හෝ සටහන්ව ඇති කැඩී දිරාපත්වී ඇති කොටසක් හෝ මෙම අංග සුළු වශයෙන් හෝ සඳහන්ව ඇති පලාඵල ලියූ ලේඛනයක් හෝ නොමැතිනම් කේන්ද්‍රය සෑදීම කල නොහැකි බව පවසා වැඩේ බාර නොගැනීම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ගෞරවයක් බව මාගේ පෞද්ගලික හැඟීමය.
  පුරා පැය දෙකකට ආසන්න කාල පරාසයක් තුල උදාවන ලග්නය අනුව සලකා බලා අනුමාන උපන් වේලාවක් අනුව සාදන කේන්ද්‍රයකින් මඳ වශයෙන් ප්‍රයෝජනයක් ගත හැකි වුවත් කේන්ද්‍රෙය් සියුම් කොටස් වල විශාල වැරදීම් ඇති බව ඊයේ පෙරේදා කේන්ද්‍ර බලන්න පටන් ගත් ආධුනික ජ්‍යොතිෂ වේදියකු පවා දනී.

**********************************************************************************
 ශ්ලෝක හා කවිවල බලය
  තාත්තාත් සීයාත් ශ්ලෝක කාරයන් වුවත් මා ශ්ලෝක කාරයකු නොවන බව අවංකව පවසමි.තාත්තා මටද ශ්ලෝක අනුව ජ්‍යොත්ෂය පුරුදු කරවීමට උත්සාහ කලත් මා හට එය ඇල්ලුවේ නැත.සංස්කෘත ශ්ලෝක සිංහලට පරිවර්තනය කල මූලාශ්‍ර ග්‍රන්ථ නිතර කියවන බලන නමුත් මා කිසි දිනෙක ශ්ලෝකයක සිංහල පරිවර්තනයක් හෝ කට පාඩම් කර නැත.නමුත් යෝගයක් වැනි දෙයකට අදාලව මූල ග්‍රන්ථ වල නම් මෙන්ම එය පිහිටා ඇති ස්ථානය(පිටු) ගැන පෘථුලත්වයක් මා හට කුඩා කල සිටම තිබුනි.අවශ්‍ය වූ විට කරන්නේ පොත පෙරලා බැලීමය.(පොත බැලීම සේවා දායකයාට පෙනෙන්න මෙන්ම නොපෙනෙන්න කල යුතු අවස්ථා ඇත.)ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය වැනි ගැඹුරු විෂයයක කරුණු කට පාඩම් කිරීම අසීරු මෙන්ම අපුලය.ජ්‍යොතිෂයේ හිනිපෙත්තට නැගීමට ඇතැම් දේ කටපාඩමින් දැන සිටිය යුතු නමුත් එය මන්දගාමිය.තාත්තා නතර කල තැන සිට ජ්‍යොතිෂ වැඩ කිරීමට සිදුවූ මා  මන්දගාමී කට පාඩම් ක්‍රමය බැහැර කොට සීඝ්‍රගාමී කියවීමේ ක්‍රමය තෝරා ගත්තෙමි.
   ජ්‍යොතිෂ වැඩ කිරීමේදී කටපාඩම් කිරීමද අවශ්‍ය බව මැනවින් අවබෝධ වූ අත්දැකීමකට මේ ලඟකදී මා හට මුහුණ දීමට සිදු විය.වැල්වටාරම් ඉවත දමා කතාව දක්වමි.
    හදිසි උවමනාවකට තාත්තාගේ පැරණි ගෝලයකු හමුවීමට පසුගිය දිනෙක ඔහුගේ නිවසට ගියෙමි.ගාල්ලට ආසන්න ගම්මානයක විසූ ඔහුද මේ වන විට අව්රුදු හැත්තෑවද ඉක්මවූ අයෙකි.අවුරුදු 18 දී පමන තරුණ ගැටවර අවධියේ සිට තාත්තාගෙන් ජ්‍යොත්ෂය ඉගෙනීම ඇරඹූ ඔහු සැබෑම දක්ෂ ලෙස ජ්‍යොතිෂය උගත් ගෝලයන් අතරින් තාත්තාට වඩාත්ම සමීප මෙන්ම ගෞරවයක් දැක්වූ කෙනා බව තාත්තා මා සමඟද පවසා ඇත.මා ඔහුගේ නිවසට ගිය පලමු අවස්ථාවද එය විය.නිවසට යන මාර්ගය පෙර සිටම දැන සිටියත් ප්‍රධාන මාර්ගය අසල වූ ත්‍රීවිල් රථ ගාලේ වූ ත්‍රීවිල් කරුවන් කිහිප දෙනාගෙන් ඔහු ගැන විමසීමක් කලෙමි.

  “අයියේ අර හදහන් බලන ......... මහත්තයගේ ගෙදරට යන්නේ කොහොමද කියල දන්නවද?“

 එම ප්‍ර‍දේශය තුල ඔහුට ඇති ප්‍රසිද්ධිය හා සැලකිල්ල පරීක්ෂා කිරීම සඳහාම මා ඇසූ ගැටළුවට මා සිතුවාටත් වඩා ඉක්මන් යහපත් ප්‍රතිචාර ලැබුනි.

 මා නිවසට ඇතුල්වන විටත් කිහිප දෙනෙකු හදහන් පරීක්ෂාවට පැමිණ තිබුනි.එම වැඩ මදකට නවතා ඔහු මාව සුහදව පිළි ගත්තේය.ගනුදෙනු කරුවන් පිටත්ව ගිය පසු මා පැමිනි කාරනාව (කලින් දුරකථනයෙන් දැක්වූ) දක්වා ඔහු සතුව තිබූ මගේ සීයා භාවිතා කල පැරනි පන්හිඳක් නැවත ඉල්ලා ගත්තෙමි.
  දවල්ට බත් කන ලෙස ඉල්ලීමක් කලත් මම එය ප්‍රතික්ෂේප කලේ බඩගිනි නැති නිසා නොව රෙදි අපුල්ලන හීන කුලයේ නිවසක් වූ එම නිවසින් තේ උගුරක් බිව් බව හෝ අපේ ගෙදර අයට ආරංචි වුවහොත් එය මා නිවසින් පන්නා දැමීමට තරම් බරපතල වරදක් ලෙස අපේ අය සලකන බැවිනි.“පුක බිම ඇනුනත් බෙට්ට කෙලින්“ මාන්නක් කරුවන් වූ මගේ දෙමාපියන් කුඩා කාලයේ සිටම මෙවැනි  තහංචි අපහට  පනවා තිබුනි.

 “ අනේ මහන්සි වෙන්න එපා.මම මේ එන ගමන් කඩේකින් කාල ආවෙ..කන්න බොන්න මුකුත් බැහැ.“

 නිවැසියන්ගේ හිත නොරිදෙන පරිදි මා බොරුවක් කිව්වත් ගෘහ මූලිකයාට මාගේ ආහාර පාන ප්‍රතික්ෂේප හේතුව වැටහෙන්නටද ඇත.

   ආපසු පැමිනීමට පෙර  ටික වේලාවක් මාගේ පියාගෙන් ජ්‍යොත්ෂය උගත් වැඩිහිටියා සමඟ කතා බහ කලෙමි.තාත්තාගේ සැප සනීප ගැන අතීතයේ තාත්තා සමඟ එක්ව ජ්‍යොතිෂය ඉගෙන ගත් අයුරු ජ්‍යොතිෂ වැඩ කල අයුරු ඔහු ඉතා සතුටින් මෙනෙහි කරමින් කතා කලේය.පඤ්චාංග ලිත් වල අවුල පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග ගැනද කතා විය.
අපේ කතා බහ අතරේදී නිවසේ සිටි අවුරුදු 5ක් පමන වූ සුරතල් කුඩා දැරියක් සීයාගේ ඔඩොක්කුවේ වාඩිවී සුරතල් වන්නට විය.සීයා විසින් කුඩා දැරිවිට කවියක පද දෙකක් කිව්වේය.
  “සඳගුරු   සමඟවත්    වෙන  වෙන වත්   ලග්    නේ
    බුධ   කිවි   සතර  හය  රවි  සැනි  දස    වැන්  නේ “

  කුඩා දැරිය  සුරතල් ලෙස සිනා වෙමින් මනහරව කවියේ ඉතිරිය සම්පූර්ණ කලාය.

   “ යෙදුනම මෙයෝගය අනිකුදු නොසොයන්    නේ
        ලද  මව්   විලස   ගමනෙහි   සුභ   වන්       නේ “


 දැරිය විසින් සම්පුර්ණ කලේ මුහුර්ත ච්න්තාමණියේ “සුබ ගමන් යෝග“ ගැන දැක්වෙන කවියක් බව මට වැටහුනේ නිවසට පැමිනි පසුය.

  ලිතක් පොතක් නැතිව බස් එකක යන විට හදුනන අයෙකු විසින් 
 “ අද තියෙන නැකත මොකක්ද? “ 
යනුවෙන් ඇසුවහොත් අපහට එකවර පිළිතුරු දීමට නොහැකි වුවත් ශ්ලෝක කවි කටපාඩම් අයකුට යම් මූලයක් ඔස්සේ සලකා පිළිතුරු දිය නොහැකිද?“



 


   
   
   
  

6 comments:

Sagara said...

කුඩා දැරියක් එලෙස කවිය සම්පූර්ණ කීරීම සිතට ආශ්වාද ජනකයි.

Hasitha said...

kathawa aththa

Unknown said...

සිංහලෙන් ජෞතිෂ්‍ය කටයුතු කරගත හැකි මෘදුකාංගයක්...
ගණනය කිරීම් සඳහා යෝග්‍යයි...
පලාපල කීමට නොවෙයි..

http://ikman.lk/en/astrology-making-offered-colombo

SilentSahan said...


ජෝතිෂය විශයට මම ගොඩක් කැමති කෙනෙක් අයියේ...
අකුරක් නෑර ඉගෙන ගන්න කැමතියි...

Anonymous said...

මහත්ම්යා,

මම සිතන්නෙ නැහැ මතකයි කියා ඔබට මාව. මා කලකට ඉස්සර මෙහි කොමෙන්ටු දැමුවෙ.
මට දැන ගන්නට ඔනා මෙකයි. ශ්‍රි ලන්කවෙ ලග්නය කුම්භ කියා කියනවා, බොහො දෙනෙක්.මා අසා තිබෙනවා එය.

ඉතින් මහත්මයා, එලෙස රට රටවල් වලට කෙන්ද්‍රයක් සදන්නෙ කෙසෙද? අනික නම් ලන්කවෙ වත්මන දුටුවම මට බයයි එහි අනගතය ගැන. නැවත ඉවරයක් නොවන ලෙ හැලිමකට අපෙ දිවයින ගොදුරු වෙද? ඔබ උගත් ජ්‍යොතිෂය අනුව කුමක් කිව හැකිද මහත්මයා.

ඔබට කාල වෙලවක් තිබෙනම් පිලිතුරු දෙ යයි කියා මා බලපොරොත්ත්යුවෙන් පසු වන්නෙ.
(මා මුහුන දෙනවා තක්ශනික අපහසුතවයකට සින්හල අකුරු ටයිප් කිරිමෙදි. එ පිලිබදව සමා වන්න මට.)
-Nathan-

Anonymous said...

@-Nathan-මට ඔබව හොදට මතකයි.
ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භ ලෙස තමයි තෝරා ඇත්තේ.ලංකාවට නිදහස ලැබුනු දින ජාතික කොඩිය එසවූ වේලාවේ මතුවූ ලග්නය කුම්භ වීම දක්වා ඇතත් ලෝකායන ජ්‍යොතිෂය අනුව ලංකාව කුම්භ ලග්නයට වැටීම වඩාත් මූලික නිවැරදි තේරීමයි(අක්ෂාංශ දේශාජශ අනුව)

මෙවර අළුත් අවුරුදු උදාව සිදුවන්නේ ශනි තුලාවේ සිටින විටයි.මීට පෙර ශනි තුලාවේ ගමන් කල කාල වල සිදුවූ සිද්ධි මෙනෙහි කිරීමෙන් ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති ඔබටම ඉදිරි දැක්මක් ලබා ගත හැකියි.
මෙම කැමන්ටුව මගේම එකකි.ෆ්‍රොපයිල් එකේ මගේ රියල් පොටෝ එක තිබීමත් සර්ච් වලට මෙම කමෙන්ටුව හසුවීම වැලැක්වීමටත් මෙලෙස ඇනෝ කමෙන්ට්‍රවකින් පිළිතුරු දෙමි.
ඇඩ්මින්-

Related Posts Plugin for WordPress, Blogger...