Monday, May 13, 2013

සුභ නැකැත් සෑදීම 6


  සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ රාශියකි.දෝෂ කිසිවක් නොමැති නැකතක් සෑදීම අසීරුවුවත් දෝෂ අවම අයුරින් නැකත සාදා දීම ජ්‍යොතිෂවේදියා සතු කාර්්‍යයකි.සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ පිළිබඳව සුළු වශයෙන් හෝ අන් අයත් දැන සිටීම යහපත්ය. මෙම ලිපියෙන් සුභ නැකැත් සෑදීමේදී විශේෂයෙන් සලකා බැලිය යුතු අත්හල යුතු දෝෂ කිහිපයක් දක්වා ඇත.

  * මාස දෝෂය
          සුභ නැකැත් සෑදීමේදී ඒ ඒ කරුණු අරඹයා අත්හල යුතු මාස පිළිබඳව ජ්‍යොතිෂයේ සඳහන්ව ඇත.වර්තමානයේ ඇති තරඟකාරී.කලබලකාරී හා වානිජ අවශ්‍යතා මත මෙම දෝෂය මඟ හැරීම අවම වෙමින් ඇත.
   ගෙවල් සෑදීමේදී රවි , මිථුන,කන්‍යා,ධනු,මීන රාශිවල ගමන් කරන කාල හෙවත් කෝණ මාස අත් හළ යුතුය.දළ වශයෙන් මෙම කාල යෙදෙන්නේ පිළිවෙලින් 
        මිථුන රවිය - ජුනි 14-15 සිට  ජූලි 14-15 දක්වා
        කන්‍යා රවිය - සැප්තැම්බර් 15-16 සිට ඔක්තෝම්බර් 15-16 දක්වා
        ධනු රවිය - දෙසැම්බර් 15-16 සිට ජනවාරි 15-16 දක්වා
        මීන රවිය - මාර්තු 13-14 සිට අප්‍රේල් 13-14 දක්වා

 රවි  මීනයේ ගමන් කරන කාලය මින් වැඩිම දෝෂ ඇති කාලය ලෙසත් ඉන් පසුව පිළිවෙලින් ධනු,කන්‍යා,මිථුන රවි කාලත් දෝෂ වැඩිය.

 විවාහයට දුරුතු,බක්,නිකිණි,බිනර,වප් මාස පහ අසුභය.

හිසකෙස් කැපීමේදී වයස 1,3,5 ඔත්තේ මාස ගතවන කාල වඩාත් සුභයි.බහ තෝරන මාසය ගතවන විට හිසකේ කැපීම අසුභය.

අකුරු කියවීමේදී 24 හා 36 මාස අතර (අවු 2 හා 3 අතර) අකුරු කියවීම සුභයි.
  
බත් කැවීමේදී 
    පිරිමි දරුවන්ට 6,8,10,12 ආදී ඉරට්ටේ මාස ගතවන විටද ගැහැණු දරුවන්ට 7,9,11 ඔත්තේ මාස ගතවන විටද සුභයි.


 * ලග්න දෝෂය
        ඒ ඒ කටයුත්ත අනුව තෝරා ගත යුතු මෙන්ම අත්හල යුතු තත්කාල ලග්නය(සුභ නැකැත් වේලාවේදී නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවන ලග්න 12 ට අයත් රාශිය) දක්වා ඇත.

 වෘෂභ,මිථුන,කටක,සිංහ,කන්‍යා,තුලා,ධනු, මීන රාශි විවාහයට සුභයි.
 නිවාස වැනි ස්ථිර ගොඩනැගිලි සෑදීම සඳහා මේෂ,කටක,තුලා,මකර වැනි චර රාශි අගුණය.
ඒ ඒ දිනයට අසුභ ලග්න මඟහැරිය යුතුය.(රවිදාට මේෂ,ධනු මීනද චන්ද්‍රදාට වෘෂභ මිථුන කන්‍යාද  කුජදාට කටක,මකරද බුධදාට මේෂ,කන්‍යා,වෘශ්චිකද ගුරුදාට වෘෂභ,කටක,තුලාද කිවිදාට මකර,කුම්භ,මීන ද ශනිදාට සිංහ,තුලාද අසුභයි.)
විෂ ලග්න ස්ඵුට ඉවත් කල යුතුය.(මේෂ,වෘෂභ,කන්‍යා,ධනු පලමු නවාංශකයද මිථුන,සිංහ,තුලා,කුම්භ මධ්‍ය නවාඞශකයද කටක,වෘශ්චික,මකර,මීන අවසන් නවාංශකයද විෂයි.)

 * අෂ්ටම ලග්න දෝෂය
        ජන්මියාගේ ලග්නයෙන් අටවන රාශිය(උදා- ලග්නය මේෂ විට ලග්නයෙන් අටවන රාශිය වෘශ්චිකයි.)  උදාවන විට ශරීරය සම්බන්ධ කටයුතු(බත් කැවීම,කන් විදීම,අකුරු කියවීම,විවාහය,...ආදී) නොකල යුතුය.

 * සූර්ය සංක්‍රාන්ති දෝෂය
          හිරු එක් රාශියක සිට ඊලඟ රාශියට මාරුවන තෙක් ගත කරන ඔරලෝසු පැය 12  මිනිත්තු 48 කාලය මෙම සූර්ය සංක්‍රාන්ති කාලයයි.(උදා අළුත් අවුරුදු පුන්‍ය කාලය)භෞතික සුභ කටයුතු සදහා යොදා නොගන්නා මෙම සංක්‍රාන්ති කාලයේ දන්දීම,සිල් රැකීම,භාවනා කිරීම වැනි පුන්‍ය කටයුතු සදහා නිර්දේශවේ.

 * ග්‍රහනෝත්පාත රාශි දෝෂය
         සූර්ය හෝ චන්ද්‍ර ග්‍රහනයක් සිදුවන විට ග්‍රහනයට ලක්වන රවි හෝ සදු සිටින රාශිය ලග්නය ලෙස උදාවන වේලාවක් ග්‍රහනය සිදුවූ දිනයේ සිට දින 7ක් යනතුරු සුභ වැඩකට යොදා නොගත යුතුය.

 * ග්‍රහනෝත්පාත දින දෝෂය
        සූර්ය හෝ චන්ද්‍ර ග්‍රහනයක් යෙදෙන අවස්ථාවල ග්‍රහනයට පෙර දින දෙක,ග්‍රහනයට පසු දින දෙක හා  ග්‍රහන දිනය යන දින 5 තුලම සුභ කටයුතු කිරීම අගුණය.

                                           ------------- මතු සම්බන්ධයි. -----------
       

ප.ලි.
     අධික කාර්ය බහුල බව නිසා කමෙන්ට්ස් පල කිරීම පිළිතුරු දීම ආදිය ප්‍රමාද වීම මඟ හැරීම පිළිබඳව සමාව අයදිමි.........

2 comments:

මුතු said...

ඉතාමත් වටිනා පොස්ටුවක් අයියේ. මෙවැන්නක් පත්තරයකද පලවෙයි නම් එය මහඟු ක්‍රියාවකි.
බසයේ යනවිට මා ළඟ අසුනේ සිටි කාන්තාවක් තමන්ගේ දියණියට බත් කැවීමට නැකතක් සාදාගැනීමට භාර දී තිබුනේ දැරියට මාස 9 අවසන් වන විටදීය. ඒ අවස්තාවේ ඇයගේ ජ්‍යෝතිෂවේදියා පවසා ඇත්තේ 11 වන මාසයේ දැරියට සුබ නැකත් නැති බවත් අවුරුද්දයි මාස 1ක් ගෙවුණු පසු දැරියට නැකතක් සාදා දිය හැකි බවත්ය. තවත් මාස 4ක් ප්‍රමාද වන බව පැවසූ ඇය මහත් අපහසුතාවයට පත්ව තිබු අතර මා හට පැවසූයේ "අපි මේවා හරියට දන්නේ නැනේ. ඔයාලවත් මතක තියාගෙන දරුවෙක්ගේ ඕනෑම දේකට කලින් නැකත් හදන්න දෙන්න" කියාය.

දුරුතු,බක්,නිකිණි,බිනර,වප් - සුදුසු නොවේ නම් මෙම මාස පහේදීම විවාහ පැවැත්වෙන්නේ කෙසේද? වසර 25ක ට වඩා ගෙවුණු විවාහ ජීවිත ඇති මා දන්නා බොහොමයක් අයද (මගේ දෙමවුපියන් නෑදෑ හිතමිතුරන් ද ඇතුළුව) විවාහ වී ඇත්තේ මේ කාල පරාසයන් තුළදීය. මේ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න.

jhothishalanka said...

//දුරුතු,බක්,නිකිණි,බිනර,වප් - සුදුසු නොවේ නම් මෙම මාස පහේදීම විවාහ පැවැත්වෙන්නේ කෙසේද?//

ඇත්තටම මම විවාහ නැකැත් හදන කොටත් මේ ගැන සලකන්නේ නෑ..මොකද එහෙම බැලුවොත් හැමදාම වගේ අසුභයිනේ..අනිත් දෝෂ තමයි වැඩිපුර සලකන්නේ..මේ කොටස ලියල නැවත ලිපියෙන් ඉවත් කරල ආයිත් දැම්ම කොටසක්...වර්තමානයේ ඇති තරඟකාරී.කලබලකාරී හා වානිජ අවශ්‍යතා අනුව සෑම දේම පොතේ තියෙන විදියටම කරන්න අමාරුයි.

Related Posts Plugin for WordPress, Blogger...