LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, August 17, 2013

තාත්තා


ජ්‍යොතිෂය විෂයානුබද්ධව ලිපි ලේඛන ලියැවෙන මෙම අඩවියේ ඉන් පරිභාහිරව ලියැවුනු ලිපි ඇත්තේ දෙක තුනක් පමණකි.මෙම සටහන මෙම අඩවියට නොගැලපුනත් මා හට වැඩි පිරිසකට ඇමතීමට ඇති අඩවිය මෙම අඩවිය පමනක් බැවින් මෙම සටහන මෙහි දැක්වීම පිළිබඳව පලමුව සමාව අයදිමි.

  තමා වැඩියෙන්ම ගරු කරන ආදරය කරන අය කවුරුන් දැයි ඇසූ විට ඉතා කලාතුරකින් කෙනෙකු හැරුණු විට ඕනෑම කෙනෙකුගේ පිළිතුර වන්නේ ස්වකීය දෙමාපියන්ය.මව් පිය දෙදෙනා සදු හිරුට සමාන කොට දැක්වීමක් පුරාතනයේ සිටම පැවත එන්නකි.මේ සටහන ලියන මාගේ ලෝකයද ඒකාලෝක වූයේ අම්මා තාත්තාගෙන්ය.පසුගිය අගෝස්තු 01 වැනි දින මාගේ ආදරනීය තාත්තා සදහටම සමු ගත්තේය.අවුරුදු 91 කට ආසන්න කාලයක් ආයුෂ ලැබූ තාත්තා අවසන් වසර කීපය රෝගාතුරව ඇඳට වී සිටියත් වයස 87 පමන වන තුරුම ඉතා නිරෝගීව ජ්‍යොතිෂ වැඩ කටයුතුද කලේය.
    අරක්කු සිගරට් වැනි මත් ද්‍රව්‍ය කිසිදිනෙක කටේ තබා නැති අපේ තාත්තා වචනයේ පරිසමාර්ථයෙන්ම සැබෑ සිල්වතෙකු ගුණවතෙකු විය.තමාගෙන් යැපෙනනන්ට ඉතා හොදින් යුතුකම් ඉටු කල තාත්තාගේ චරිතය සෑම අතින්ම ආදර්ශමත් විය.තාත්තා අප සමඟ ගතකල අතීත මතකය දැක්වීමට වඩා තාත්තා කෙනෙකු වශයෙන් ඔහු තුලවූ සුවිශේෂිත්වය මගින් අන් අයට ආදර්ශයක් වටිනාකමක් දැනමුතුකමක් ලබා ගත හැකි බවට ස්ථ්ර හැඟිමක් මා තුල ජනිත වූ හෙයින් තාත්තා අප සමඟ ගත කල ජීවිතයේ මතක සටහන් කිහිපයක් සයිබර් අවකාශය තුලට මුදා හරිමි.
  සීයාගෙන් පාරම්පරිකව උරුම වූ ජ්‍යොතිෂ කටයුතු රැකියාව ලෙස කල තාත්තා ස්වකීය රැකියා කටයුතු නිවස තුලම සිට සිදු කිරීම නිසා නිවස තුල සිටින සෑම මොහොතකදීම වාගේ දෙමාපියන් අපගේ සමීපයේම විය.වර්තමානයේ බොහෝ දෙමාපියන් රැකියා වැනි වානිජ අවශ්‍යතා හා වෙනත් හේතු නිසා දරුවන් සමඟ ගත කරන කාලය ඉතා සීමිතය.නමුත් අප කුඩා කාලයේ දෙමාපියන්(විශේෂයෙන් තාත්තා) වැඩි කාලයක් අප සමඟ වීම නිසා අපගේ ළමා කාලය හා මානසිකත්වය වැඩි වශයෙන් සුන්දර විය.බොහෝ දිනවල අම්මා රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට ප්‍රමාද වන විට තාත්තා කුඩා මාවත් අක්කාවත් ඔඩොක්කුවේ දෙපස තබාගෙන විජය මිහිර පත්තර කියවමින් අප නිදි කිරා වැටීම ප්‍රමාද කල ආකාරය තවමත් මතකයේ ඇත.
  තාත්තා අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට විශේෂ උනන්දුවක් දැක්විය.පවුලේ වැඩිමලා වූ අයියා හොදින් ඉගෙන ගතහොත් බාලයන් වන අපද ඒ ඔස්සේ යන බව පුර්වයෙන් අවබෝධ කරගෙන වැඩ කටයුතු කල තාත්තාගේ උත්සාහය සාර්ථක කරමින් අයියාත් මමත් උසස් අධ්‍යාපනය ලැබීය.අධ්‍යාපනයෙන් එතරම් ඉහලට යාමට නොහැකි වුවත් අක්කාගේ අනාගතය පිළිබඳව තාත්තා විශේෂ සැලකීමක් දැක්විය.බොහෝ තාත්තලා මෙන් අපේ තාත්තාද අප තිදෙනාගෙන් වැඩියෙන්ම ආදරය දැක්වූයේ අක්කාටය.එය අපටද පැහැදිලිව දැක ගත හැකි විය.අක්කාත් මමත් රණ්ඩු අල්ලන විට තාත්තා අක්කාගේ පැත්ත ගන්මින් මා හට වරද පැටවීම සෑම විටම වාගේ සිදු විය.
  වැඩි පිරිසක් ධීවර හා රා කර්මාන්තය ජීවිකාව කරගත් ගම්මානයක විසූ අප ගමේ කොළු කුරුට්ටන් සමඟ ඇසුරු කරනවාට තාත්තා කැමැත්තක් තිබුනේම නැත.කේන්දර වැඩවල තිබූ කාර්ය බහුල බව නිසාම අයියාව ගමේ මිතුරු ඇසුරින් මුදවා ගැනීම තාත්තාට තරමක් අතපසු විය.තමා අතින් සිදුවූ වරද තරමක් බරපතල තත්ත්වයට පත්වන විට තාත්තා අයියාව මවගේ සහෝදරියකගේ නිවසේ නතර කොට පාසැල් මාරු කිරීමක් සිදු කලේය.එයද මහත් ඵල දැරීය.නැවත පහේ ශිෂ්‍යත්වය සමත්වූ පසු නිවසේ සිට පාසැල් ගිය අයියා කොළු කුරුට්ටන් සමඟ එකතුවන අවස්ථාවලදී මහත් බියක් දැක්වූයේ කොල්ලන් ගෙවල් වලට හොරෙන් මුහුදේ නාන්න යන බැවිනි.අයියා නිසා මුහුණ දුන් මෙම කරදර නිසාම තාත්තා මා පිළීබඳව තදින් ක්‍රියා කලේය.අයියාත් මමත් කුඩා කල ටී.වී. බැලීමට වෙනත් නිවාස වලට යන නිසාම තාත්තා කාර් බැටරියෙන් වැඩ කරන කළු සුදු රූපවාහිනියක් නිවසට ගෙන ආවේය.
   දරුවන් සමාජය සමඟ ගැටිය යුතු ආකාරය පිළිබඳ තාත්තාට හොඳ අවබෝධයක් වැටහීමක් තිබුනි.පවුලේ වැඩිමලා වූ අයියාට අපව ආරක්ෂා කිරීමට බාරදීමක් සිදු කර තිබුනි.එමෙන්ම අනවශ්‍ය ආශ්‍රයන්ගෙන් අපව දුරස් කලේය.
“උඹ ආශ්‍රය කරන්න ඕන උඹේ සම වයසෙ අයව විතරයි.උඹට වඩා අවුරුදු කීපයක් වැඩිමල් හා බාල අයව උඹ ආශ්‍රය කරන්න එපා.“ තාත්තා නිතර දුන් උපදේශය සර්ව කාලීන වටිනාකමකින් යුක්තය.
  පවුලේ ගැහැණු දරුවා වූ අක්කාගේ ආරක්ෂාව තාත්තා සැලසුවේ සූක්ෂම ආකාරයකටය.අක්කාත් මමත් අතර වයස් පරතරය වැඩිමලාම වූ අයියාට වඩා අඩු නිසා අක්කා හා මා අතර බැදීම වැඩි විය.අක්කාව සමඟ මාව නිතරම ලගින් තැබුවේය.අක්කා පන්ති යනවිට මාවත් එම පන්තියටම යැව්වේය.
 “අද පන්ති ගිහින් එනකොට බස් එකේ මොකද වුනේ..අක්කත් එක්ක කතා බහ කලේ කවුද?උඹ අක්ක ලගින්ම හිටියද?.“
තාත්තාගේ උපදෙස් මා අකුරටම පිළිපැද්දෙමි.බස් එකේදී වුනත් අක්කා ලඟට ලොකු කොල්ලන්ට ලංවීමට ඉඩ නොදී මා කාන්දමක් සේ ඇය ලඟටම වී සිටියෙමි.අක්කාටත් මටත් රහස් වැඩ කිරීමට බැරි වනසේ අප දෙදෙනා අතර චුට්ටක් විතර තරහ අමනාප කම් ඇති කරවීමටද තාත්තා වග බලා ගත්තේය.කේලම් චෝදනා රහස් ආදිය තාත්තා වෙතට සංක්‍රමණය වන්නේ එවැනි තත්ත්වයක් ඇති විට බව තාත්තා දැන සිටියේය.
 කුඩා අප සෙල්ලම් කිරීමේදී තුවාල අනතුරු සිදුවීම පිළිබදව තාත්තා මහත් බියක් දැක්විය. උවමනාවටත් වඩා වැඩි තත්ත්වයකින් තාත්තා තුල තිබූ මෙම බිය නිසා පිරිමි දරුවන් වූ අපට යම් යම්  අපහසුතා ඇතිවූ බවද කිව යුතුය .අයියා කුඩා අවධියේ අප නිවස ඉදිරිපිට තිබූ විශාල ජම්බු ගස තාත්තා මුළු ගහ පිටින්ම කපා බිම දමා ඇත්තේ අයියා මෙම ජම්බු ගසේ නැග වැටී තුවාල වීම නොඉවසූ නිසා බව අම්මා අප සමඟ පවසා ඇත.කිසි දිනෙක බයිසිකලයක් පැද නැති තාත්තා අප බයිසිකලයක් පදිනවා තබා අල්ලනවාටවත් කැමති නැත්තේ අපට තුවාල අනතුරු වේ යැයි තිබූ බිය නිසාමය.අපගේ ආරක්ෂාව ගැන තාත්තා දැක්වූ සැලකිල්ල මා පහේ ශිෂ්‍යත්වය ලියු අවධියේ සිදුවීමක් මැනවින් උදාහරණ දක්වයි.
  පහේ ශිෂ්‍යත්වයට සූදානමින් සිටි මා අම්මා ලඟට ගොස් 
“අම්මේ, ශිෂ්‍යත්වෙ පාස් වුනොත් මට මොනවද අරන් දෙන්නේ.“
“අපි ඔයාට බයිසිකලයක් අරන් දෙන්නම්.“
“අම්මල බොරු කියන්නේ,අයියටත් ශිෂ්‍යත්වෙ පාස් වුනොත් බයිසිකලයක් අරන් දෙනව කියල රැවට්ටුවනේ..“
අම්මා නිහඩය.89 භීෂණ සමය වු එකල බයිසිකලයක් යනු කුඩා අපට ප්ලේන් එකක් තරම් වටිනා වස්තුවක් විය.මා තාත්තා ලඟට ගොස් 
“තාත්තේ.. අම්මා කියනවා ශිෂ්‍යත්වෙ පාස් වුනොත් තාත්තට කියල මට බයිසිකලයක් අරන් දෙනව කියල.අයියව රැවට්ටුව වගේ නොකර මට බයිසිකලයක් අරන් දෙනව නේද තාත්තේ....“
තාත්තා ඔව්, නෑ කිසිවක් නොදොඩා සිහින් සිනාවක් මුවඟට නංවා 
“ හ්ම්........“  යැයි හඩක් නැංවීය.
තාත්තාගේ එම ප්‍රතිචාරය මට මහා මෙරක් මෙන් විය.
“තාත්තා... මට බයිසිකලයක් අරන් දේවි..“  මගේ කුඩා සිතට සතුටක් දැනුනි.
මා පහේ ශිෂ්‍යත්වය සමත් විය.මා ඉල්ලූ සෑම දෙයක්ම වාගේ තාත්තා අරන් දුන් නමුත් බයිසිකලය අරන් දුන්නේ නැත.මා කිහිප විටක්ම බයිසිකලය ඉල්ලා නාහෙන් ඇඩූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම තාත්තා සැලකීමක් නොදැක්විය.
 මා අටේ පන්තියේ පමන සිටින විට වරක් පාසැල් නිවාඩුවාරයකදී අසල්වැසි නිවසක වූ මගේ සම වයසේ ළමයෙකුට ඔහුගේ තාත්තා බයිසිකලයක් අරන් දී තිබුනි.මා එයාගෙන් බයිසිකලය වරින් වර ඉල්ලා ගෙන ගෙදරට හොරා ආසාවෙන් පදින්නට විය.එක්වරම මොකක්දෝ හේතුවකට කොල්ලා හා මා තරහ විය.බයිසිකල් පැදීමට තිබූ ආශාව ශේෂව තිබූ නිසා මා හට එදා තාත්තා සමඟ දැඩි තරහක්  ඇති විය.එදා රාත්‍රියේ මම බත් පිඟානද ප්‍රතික්ෂේප කරමින් ස්වයං හර්තාලයක් දියත් කලෙමි.
“උඹල මට බයිසිකලයක් අරන් දෙනව කියල රැවට්ටුවා.අල්ලපු ගෙදර සුද්ද අයිය ශිෂ්‍යත්වෙ පාස් වෙන්නෙත් නැතිව එයාගෙ තාත්ත බයිසිකලයක් අරන් දීල.මම ශිෂ්‍යත්වෙ පාස් වෙලත් මට බයිසිකලේ නැහැ.“
එදා මගේ අරිෂ්ඨකම සීමාව ඉක්ම ගියේ මගේ අවාසනාවටය.එලියේ තද වර්ෂාවකි.මා මහ වැස්සේ එලියට බැස තෙමෙන්නට විය.එදා තාත්තාට හොඳටම තරහ ගියේය.
“තෙමෙන්නෙ නැතිව ගෙට වරෙන්, මම උඹට දෙන්න බයිසිකලයක් අර කාමරේ ගෙනත් තියල තියෙන්නේ.“
අයියාටත් අක්කාටත් කිසි දිනෙක පහරක් ගසා නැති තාත්තා එදින මා හට ජීවිතයේ ප්‍රථම වතාවට කාමරයට දමා යකෙක් මෙන් ඉතා තදින් පහර දුන්නේය.තාත්තා එදා ගැසූ පාරවල් තවමත් රිදෙන්නාක් මෙන් දැනේ.එම ප්‍රහාරය ඒ තරමට දරුණුය.එදා මා කල අරිෂ්ඨ වැඩේට ඉතාම සුදුසු දඩුවම  ලැබුනි.දින කිහිපයකට පසු රාත්‍රියක මා ඇදේ ඇලවී සිටි වෙලාවක මා නිදි යැයි සිතා තාත්තා අම්මා සමඟ කතා කරනු ඇසුනි.
“පොඩි එකා තාම බයිසිකලේ ඉල්ලනවද?“
“ගැහුව දවසින්  පස්සේ බයිසිකලේ ගැන ඇහුවෙම නැහැ.පවු ඌට එපා වෙලාද කොහේද?“
“ගැහුවෙ එදා කරපු වැඩේට එදා කරපු වැඩේට ගහන්නම ඕන,මටත් දැන් දුක හිකෙතවා.පොඩි එකා දැන් මගේ ලඟට එන්නත් බයයි.“
“ගෙවන්න හරි පොඩි බයිසිකලයක් ඌට අරන් දෙන්න“
“පිස්සුද? බයිසිකල් අරන් දුන්නම මේකා පාරවල් වල පදින්න යයි.ඕව අරන් දීල තුවාල කර ගත්තම ඔහේ බනින්නෙත් මටමයි.“ 
ඉන් පසු කිසි දිනෙක මා බයිසිකල් ඉල්ලා කරදර කලේ තබා කාලයක් යනතුරු බයිසිකල් පැදීම පවා නොකලෙමි.
 ඉතා තරුණ අවධියේ ක්‍රියාශීලී සමාජ සේවකයෙකු වූ තාත්තා පසුකාලීනව ඒවායින් ක්‍රමයෙන් ඈත් වීමක් සිදුවුයේ කේන්දර වැඩ වැඩි වීම නිසාය.නමුත් තාත්තා සෑම විටම පොදු කටයුතු සංවර්ධන කටයුතු ආදියට හැකි තරමින් දායක විය.පලාතේ සෑම කෙනෙකුම දන්නා ඉතා සුප්‍රසිද්ධ දෛවඥයකු වුවත් තාත්තා සෑම විටම සරල අයකු විය.කිසිදිනෙක ප්‍රසිද්ධිය හඹා නොගිය අතර ප්‍රසිද්ධිය තාත්තා කරා නිරායාශයෙන් පැමිණුනි. 
     වයස අවු 14-15 පමන සිට ස්වකීය පියා සමඟ ජ්‍යොතිෂ කටයුතු කල තාත්තා ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ගෞරවය රැකෙන පරිදි සෑම විටම කටයුතු කලේය.ගැටවර වියේදී අත්දැකීම් මද කම නිසාම තම ඥාතී  දැල් හිමියකුගේ මා දැළ පිලිස්සූ පිරිසකට වස් කවි කීමක් සිදු කිරීමක් හැරුණු විට තාත්තා තම ශාස්ත්‍රීය දැනුමින් කිසිවකුට හොඳක් මිස නරකක් සිදු කොට නැත.ඉතා විශාල පිරිසක් තමාගේ සේවය ලබා ගැනීමට දිනපතා තාත්තා හමුවට පැමිණීයත් ඔහු කිසි දිනෙක මිල ගනන් පවසමින් අයකිරීම් කරනු මා කිසි දිනෙක දැක නැත.සෑම විටම ලද දෙයින් සෑහීමට පත් විය.දෙයියනේ කියා අපි කුඩා කාලයේ හැරුණු විට අපට විශාල ආර්ථික අපහසුතාද නොවුනි.
     තාත්තා සම්බන්ධ සංවේදී මතකයන් විශාල ප්‍රමාණයක් නැතත් සුවිශේෂී අවස්ථාවක් මගේ මතකයේ ඉතා තදින් රැදී ඇත.මා 8 වසරේ පමන සිටින විට පාසැල් වාර නිවාඩු දෙන දිනයක අම්මාත් තාත්තාත් මා රැගෙන යාමට පැමිනීමට සූදානමින් සිටියහ.තාත්තා තරමක් වයසට ගොස් විවාහ වූ නිසා මගේ වයසේ අනිකුත් ළමයින්ගේ තාත්තලාට වඩා අපේ තාත්තා බොහෝ වයස්ගත විය.අම්මාත් තාත්තාත් එදින පැමිනෙන බව කලින් දැන ගත් මා ඔවුන් පැමිනෙන තුරු පාසැල් ගේට්ටුව අසල මඟ බලා සිටියෙමි.නේවාසිකාගාර සිසුන්ගේ ගුරු දෙගුරු රැස්වීමද සෑම පාසැල් වාර අවසාන දිනයේ යෙදී තිබුනි.තාත්තා මා බැලීමට ඊට පෙර අවස්ථාවල නොපැමිනි අතර තාත්තා  ප්‍රථම වතාවට පැමිනියේ එදිනය.ගේට්ටුව අසල රැදී සිටියත් තාත්තාගේ පැමිණීමට යටිසිතින් අසතුටු වූයේ තාත්තාගේ වයස්ගත පෙනුම හා තාත්තාගේ ඇදුම් පැලදුම් ආදිය නිසා මා පාසැල් මිතුරන්ගේ අවඥාවට ලක්වේ යැයි මගේ සිතට දැනුනු බැවිනි.ගේට්ටුව අසල මාගේ මිතුරන් කිසිවකු නැති බව දැක මා අම්මා තාත්තා ලඟට ගොස් 
“අම්මේ....අම්මා විතරක් හොස්ටල් එක ඇතුලට එන්න.“
“ඇයි එතකොට තාත්තා...“
“අනේ තාත්තා ආවොත් මට ලැජ්ජයි තාත්තේ....කොල්ලො අහයි උඹේ සීයද කියලා.“
තාත්තාට මගේ තත්ත්වය වැටහිනි.තාත්තා මගේ ඔළුව අතගාමින්
“එහෙනම් උඹ අම්මත් එක්ක හොස්ටල් එක ඇතුලට ගිහින් බඩු ලෑස්ති කරගෙන වරෙන් මම මේ පන්සලට වෙලා ඉන්නම්.“
දෙමාපියන් දරුවන්ට දක්වන අසීමිත සෙනෙහස කුඩා දරුවකුව සිටි මා හට එදා නොවැටහුනි.මගේ සිත සතුටු කිරීමට අපේ තාත්තා එදා හොස්ටල් එකට නාවේය.මා අමමා සමඟ ගුරු දෙගුරු රැස්වීමට සහභාගි වී බඩු ලෑස්ති කරගෙන ගෙදර යාමට එනතුරු තාත්තා නාලන්දාරාමයට වී හවස් වන තුරුම සිටියේය.නොතේරුම් වයසේදී සිදුවූ මෙම සිද්ධිය මතක් වන විට අදටත් මගේ සිතට මහත් දුකක් වේදනාවක් දැනෙන අතර තාත්තා පිළිබදව දරාගත නොහැකි ස්නේහයකින් සිත පිරී යයි.
    අපේ තාත්තා අප තිදෙනාගේ අනාගතය සරු කිරීමට මහත් වූ දුක් කන්දරාවක් වින්දේය.මසුරු කමක් ලෝභ කමක් කිසිවිටෙක නොතිබුනු අපේ තාත්තා අප ඉල්ලූ සෑම දෙයක්ම සලසා දුන්නේ අපට කිසිදු ආකාරයක දුකක් අපහසුතාවක් ඇති නොවන ආකාරයටය.ශරීර ශක්තියෙන් වැඩි අයකු නොවුවත් තාත්තාගේ මානසික හා ආත්ම ශක්තිය පුදුම සහගත ලෙස ඉහල තත්ත්වයක විය.මා සරසවියේ දෙවන වසරේ සිටින විට වරක් තාත්තා දරුණු ලෙස අසනීප විය.මුත්‍රා පිටවීමට මුත්‍රා බටයක් සවි කර තිබියදී පවා එය පිටතට නොපෙනෙනසේ කකුල වටේ බැද නැවත ‍ජ්‍යොතිෂ වැඩ කිරීම සිදු කලේ මාගේ අධ්‍යාපන කටයුතු අවසන් වී නොතිබුන නිසාය.
  මෙවන් පරිපූර්ණ ගුණ සමුදායකින් යුක්තවූ තාත්තා අප අතරින් වෙන්වීම දරාගත නොහැකි දුකකි.ලෙඩ ගානේ හරි තාත්තා තව ටිකක් කල් සිටියා නම් කියා සෑම විටම සිත කියයි.තාත්තා සිටින විට ගේ පිරිලාය.අද උදයේ තාත්තා සිටි කාමරයේ අල්මාරිය අරින විට තාත්තා ඇදි බැනියමක් නෙත ගැටුනේය.මා සෙමින් එය නහයට ලං කලෙමි.අනේ!... තාත්තා ලඟ නිරතුරුව රැදුනු අප ප්‍රිය කල ඒ සුවඳ ඒ විදියටම මා හට දැනුනි.

                           තාත්තේ ඔබට නිවන් සුව ලැබේවා!

16 comments:

  1. පියා නැති අඩුව ඔබේ ජීවිතය අවසානය දක්වාම දැනේවි.නමුත් කල හැකි දෙයක් නැත.දුක්වීමෙන්ද ඵලක් නැත.ඔහුගේ මතු භවය යහපත්වේවා!!!

    ReplyDelete
  2. මිතුර මමත් මේ දුක දෙවතාවක්ම විඳ තිබෙනවා. ඒ මගේ බිරිඳගේ හා මගේ පියාගේ වියෝවන් නිසා. ඔබේ පියාට නිවන් සැප ලැබේවා!!!!!

    ReplyDelete
  3. මගේ පියා තරම් මට ආදරේ කල කෙනෙක් මට කවදාවත් හමු වෙලා නෑ . ඔහුගේ වියෝව මගේ ජීවිතේ හිස් තැනක් කලා . ඒ අඩුව පුරවන්න කාටවත්ම බෑ . ඔබගේ පියාගේ අඩුව ඔබටත් මුලු ජීවිත කාලයේම දැනේවි . ඒ දයාබර පියානන්ට නිවන් සුව පතනවා !

    ReplyDelete
  4. godak dukai thamai.ape appachchi nati weddi mata wayasa 18i. AL exam karanawa mam.ohoma thamai amma appachchila hamadama apith ekka inne na.kawadahari apiwa dala yanawa. duka kalayath ekka thuni welayai.karanna puluwan hodama de eyala wenuwen pin daham karana eka thamai.

    ReplyDelete
  5. ඔබගේ පියාණන් දීර්ඝායුෂ විඳීම පිලිබඳව සතු‍ටු වන්න. එමෙන්ම එතුමාණන් රෝගාතුරව ඇඳට වී සැපක් වින්දා විය නොහැක. නීරෝගීව සිටි අයෙකු ඇඳට වූ පසු මා එක්තැන් වුනා නේදැයි සිතා සිතින් හෝ විඳිනා වේදනාව තවත් කාලයක් දුක් නොවිඳ මෙසේ අවසන් වීම පිලිබඳව සිතා සැනසීමට පත් වන්න. වියෝ දුක නිසා දුක් වූවත් ඔබට දැන් පැවරී ඇති යුතුකම් පියා වෙනුවෙන් ඉ‍ටු කරන්න. එවිට පියා සිටිනා තැනකින් බලා සිට සතු‍ටු වෙවි. ඔබේ පියාණන්ට මතු උපදින භවයේද මනුසත් බව ලැබී නිර්වාණ සුවය අත්වේවා...!

    ReplyDelete
  6. මචං ජ්‍යොතිෂ...ඇමතීම හරිද මන්දා.මට උඹේ විෂය සම්බන්ධව අල්ප මාත්‍ර දැනුමක් නැහැ.තාත්තා සම්බන්ධව මතකයත් එක්ක ගනන් බැලුවහම හිතුනා මචං කිව්ව්ට වරදක් නැහැ කියලා.තාත්තා කියන වචනය පරිපූර්ණව තේරුම් ගත්තේ මීට අවුරුදු විසිදෙකකට ඉස්සර මමත් තාත්තා කෙනෙක් උනාට පස්සේ.මගේ තාත්තා තවම ජීවතුන් අතර ඉන්නවා.මම උඹේ තාත්තාට මතු භවයක මනුසත්බව ලැබුනොත් ඇයම බිරිඳ වී,උඹලාම දරුවන් වී ලැබේවායයි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. අයියේ මං ඔයාව ආශ්‍රය කරපු මේ අවුරුදු 2 තුලදී ඔයාගෙන් ගොඩාක් ගතිගුණාංග හදුන ගත්තා.ඔයා කියපු එක් දෙයක් තාමත් මගේ කන් දෙකෙහි රැවි පිලි රැව් දෙනවා. ඒ තමයි රොඩ්ඩ උනත් මගේ තාත්තා මං ලග ඉන්න ඕන කියන එක.ඔයා ඒ කියපු වචන 4 කොච්චර ප්‍රභල ද කියලා කියන්න වචන මා ලග නැ.මුදල් පස්සේ හබා යන අද වගේ සමාජයක ඔබගේ චරිතය දෙවියෙක් හා සමානයි අයියේ.ඔයා තාත්තා වෙනුවෙන් කරපු දේවල් මටවත් කරන්න බැරැවේද යන්න මගේ යටි සිතත් කියනවා.ඔයා වගේ චරිතයක් මට මින් කිසි දිනක හමු වී නැහැ.ඔයාට මතු සසරෙන් එතෙර වෙන්න තාත්තා වෙනුවෙන් කරපු මේ උවටැන් හොදටම ඇති අයියේ...

    ReplyDelete
  8. mata mage acc eken log wenna widihak naha dan. mata bohoma kanagatuyi me de gana. mama call ekak dennam obata.mokada mata bari mohothe udaw karapu kenek oya ayye. obe piayata niwan suwa ath wewa..! ohu sugathiye sita oba diha balan athi ayye... hitha wattaganna epa.ohu wenuwen kala haki hama deyakma oba kara kiyala mata theruna dawasak katha karapu welawe oba ekka.

    SrmFz

    ReplyDelete
  9. පියාණන්ට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  10. @all
    සියළු දෙනාගේම ප්‍රාර්ථනා අදහස් වලට ස්තූතියි.ඇත්තටම මම මේ සටහන ලිව්වෙ හිතේ තියෙන දුක වේදනාව බෙදා හදාගෙන තුනී කරගන්නම විතරක් නෙවෙයි.තාත්ත කෙනෙකුගේ වටිනාකම පහදල දෙන්න.ඇත්තටම අපි(අයියා,අක්කා,මම) තාත්ත ලෙඩ වුනාට පස්සෙ තාත්තට සලකපු විදිය සෑම දරුවෙකුටම ආදර්ශයක්.තාත්තගෙ කැත කුණු වැඩියෙන්ම අතගාපු කෙනා මම වුනත් අපි හැමෝම තාත්තට වසර ගනනක් ඇප උපස්ථාන කලා.දෙමවිපියන්ට සලකන හැටි මෙන්න මෙහෙමයි කියල අපි අනිත් අයට කියල දුන්න.අපේ ගමේ මිනිස්සු ඒක දැක්ක.

    ReplyDelete
  11. පියාගේ වියෝව ගැන මම කනගාටුවට පත් වෙන්වා. එතුමාට නිවන්සුව පතනවා!!!

    ReplyDelete
  12. සයිබර් අවකාශෙන් පිට දන්න කියන දෙතුන්දෙනා අතරිනුත් හොඳටම වගේ දන්න එකෙක් වෙච්ච උඹ, තාත්තට සලකපු ආකාරය මම දන්නව. තාත්ත වෙනුවෙන් රැකියාවක් පවා නොකර ඉඳපු පුතෙක් වෙච්ච උඹ ගැන තාත්තට සතුටු වෙන්න පුළුවන් ඉහටත් උඩින්. තාත්තට නිවන්සුව පතනව. බොහොම කණගාටුයි කලින් දැන නොගැනීම ගැන.

    ReplyDelete
  13. අපි කාටත් උරුඟ අත්දැකීම ඔබටත් ලැබිලා! මං ඔය දුක වින්දේ වසර දෙකහමාරකට කලින්.

    අපේ දරුවන්ටත් ඔය අත්දැකීම එනවාය කියා හිතා ගත්තාම සිත සමනය කර ගත හැකියි.

    නිවන් සුව පතමි!

    ReplyDelete
  14. පළමුව ඔබේ පියා වෙනුවෙන් නිවන් සුව පතනවා ...ඇත්තෙන්ම අප පතන්නට දෙයක් නැති තරම් , මෙවන් සුන්දර පිංබර මිනිසුන් සුගතියකට පත්වෙනවාමයි .ඒ වගේම ඔබවන් පුතෙක් ලොවට දායාද කළ එකම ඔබේ පියාණන් කළ පිනක් විදියටයි මම දකින්නේ .

    ස්තුතියි

    ReplyDelete
  15. obe piyata niwan suwa labewa !

    ReplyDelete
  16. ඔබ විසින් ඔබේ තාත්තාට ඉටු කරන ලද්දා වූ අමිල මෙහෙය මා නෙතින් දැක තිබූ නිසාත් ඒ පියා සමග වචනයක් දෙකක් කථා කර තිබූ නිසාත් කිසාගෝතමිය කියූ නිබ්බුත පද නැවත සිහි ආවේ ඔබ වන් පුතෙකු ලද ඒ පියාත්, එබඳු පියෙකු ලද ඔබ වන් පුතෙකුත් යන දෙදෙනාටම නිවී සැනසීම උදාකරගැනීමට අවැසි කුසල් ඔබ දෙපලම රැස්කර ගත් බව මා ඔබේ නිවසට පය තැබූ පළමු දිනයේ ම දුටුවෙමි.

    ඔබේ පියාගේ මළගම අද දිනයේ (2013-08-26) ඔබේ බ්ලොගයට ගොඩවැදුන දා දැකගැනීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් වුවත් ඔබේ පියාගේ භව ගමන සසර කෙළවර කර නිවන් සුව ලැබීමට මා මෙම සංසාර ගමනට එක් වූ දා සිට අද මේ මොහොත වන තුරු මේ හොඳ දෙයකි මේ නරක දෙයකි යයි දැනගත් දා පටන්ම සිදු කරන ලද සියළු යහපත් කුසල කර්මයන්හි යම් කුසල විපාකයක් වේ නම් ඒ සියළු කුසල් ඔබගේ පියාට මම අනුමෝදන් කරමි. ඉන් ඔබගේ පියාගේ සසර ගමන කෙළවර කර නිර්වාණාවබෝධය ලැබීමට ඔහුට ශක්තියක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

    කේන්දර සිංහලෙන් බ්ලොග් අඩවි කතුවර
    එම්. එම්. රෝහණ වසන්ත

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...