Monday, September 24, 2018

“කර්ණමුණ්ඩිය“

  ඔබ විසින් තමන්ගේ ජන්ම පත්‍රය  ජ්‍යොතිෂවේදියකු වෙත රැගෙන ගොස් ග්‍රහ අපල පරීක්ෂා කිරීම සිදු කරන අවස්ථාවලදී එක් එක් ජ්‍යොතිෂවේදීන් තම තමන්ට ආවේනික වූ ක්‍රම යොදා ගනිමින් පලාඵල කථනය සිදු කරන අයුරු අත්දැක ඇත.මින් බහුලව දැකිය හැක්කේ තමා හමුවට පැමිනෙන සේවා දායකයාගේ ජන්ම පත්‍රෙය් හරි වැරදි පරීක්ෂා කොට අනතුරුව ජන්මියාගේ වයස, ගතවන දශාවන් මෙන්ම තත්කාල ග්‍රහ පිහිටිම ලකුණු කොට ගැන බලා පලාඵල පුරෝකථන කිරීමයි.ඇතැම් අවස්ථාවල ප්‍රශ්ණ තත්කාල ක්‍රම හා බැඳුනු ක්‍රම උපයෝගී කරගෙන සාර්ථකව පලාඵල කියන අයද ඔබ දැක ඇත.නමුත් ඉතාම කලාතුරකින් අයෙක් ජන්ම පත්‍රය පරීක්ෂාවක් හෝ කඩදාසි කොළයක ගනන් හැදීමක් පොත් ලිත් පරීක්ෂාවක් කිසිවක් නොකොට ඔවුනොවුන්ට ආවේනික ආකාරයට ඇස,කන,අත පය ආදී ශරීර අංග වලට දැනෙන සංවේද උපයෝගී කරගෙන වක්කඩ කැඩුවාක් මෙන් එක දිගට පලාපල කියාගෙන යන අවස්ථාද දැකගත හැකිය.මෙවැනි අවස්ථාවලදී ශාස්ත්‍රකරු කටට එන දේ කියන්නාක් මෙන් බැලූ බැල්මට පෙනුනත් මේ සමඟ අති ගුප්ත පැරණී ශාස්ත්‍රීය ක්‍රමයක් බැඳි ඇති බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.

 අමනුෂ්‍ය,ප්‍රෙත්‍ර භූත කුම්භාණ්ඩයන් ගැන කියන විටම ඇතැම් අය “මොන බොරුද“, “විකාර“,“මනස්ගාත“,“ඕවා හිතේ ලෙඩ“ ආදී නොයෙක් දේ කියමින් ප්‍රතික්ෂේප කලත් භූතයන් පෙරේතයන් අදෘශ්‍යමානව මිහිපිට වසන වගට ප්‍රත්‍යක්ෂ සාක්ෂි එමට ඇත.පිරිසිදු බුදුදහම තුල  මෙවැනි බලවේග ඇතිවන ආකාරය පැවැත්ම විනාශය හා හැකියාවන් පිළිබඳව මැනවින් විස්තර කොට ඇත.සත්‍ය වශයෙන්ම භුතයන් ප්‍රෙත්‍රයන්ද දෙවි බඹු මනුෂ්‍ය තිරිසන් ආදී සතත්වයන් ආකාරයෙන්ම සංසාරය තුල කර්ම බලයෙන් බිහිවන ක්‍රියාත්මක වන හා විනාශවන භව සංකල්පයකි.අපට ඇසට නොපෙනුනත් අප අවට මෙවැනි අදෘශ්‍යමාන බලවේග එමට ඇත.කර්ම බලයේ ස්වරූපය අනුව මෙම බලවේග ආත්ම වල ආයුෂ හැකියාව ස්වරූප විවිධාකාරවේ.ඇතැම් ආත්ම දීර්ෂ කාලයක් සැරි සරන අතර තත්පර කිහිපයකට ආයුෂ වෙන්වූ ආත්මද ඇත.අර්ධ මිනිස් අංග අර්ධ සත්ව අංග මෙන්ම ගිනිගෙන දැවෙමින් ආයුධවලට කැපෙමින් අසූචි කම්න් නාමින් නොයෙක් ආකාරයේ ඇදහිය නොහැකි ස්වරූප වලින් දිගින් පලලින් යුත් භුත පෙරේත ආත්ම ඇති බව බුදුන් වහන්සේද දේශණා කොට ඇත.මොවුන් අතරින් ඇතමෙකුට දෘඩ වස්තුවක් චලනය කිරීම, දුරුවල මනසක් ඇත්තන්ට බලපෑම් කිරීම,මනුෂ්‍ය ශරීරයන් විනිවද දැකීම විනිවිද යාම හැකියාව ඇති අතර වැඩි පිරිසකට පෙර ආත්ම සිහි කිරීම මෙන්ම ඔවුන්ට මුනගැසෙන මිනිසුන් සතුන් පෙර ආත්ම වලදී තමන් හා සම්බන්ධව සිට් ආකාරය ක්ෂණිනව වටහා ගැනීමේ හැකියාව ඇතිබව කියවේ.සංසාර සාගරයෙන් එතෙර වීම සත්ත්වයා තනිව සිදුකලත්  සසර සැරිසැරීමේදී සියළු ආත්ම සමඟ ගැටීමට අප සැමට සිදුවේ..ඔබ මෙම ලිපිය කියවන විට ඔබ වටා සැරසරන මැස්සා මදුරුවා කූඹියා පවා පෙර ආත්මවල ගනන්කල නොහැකි තරමට ඔබට මව පියා සහෝදරයා දුව පුතා සැමියා බිරිඳ ආකාරයේ ආදරණීය බැදීම් මෙන්ම ඔබව මරා මස් කෑ සිංහ කොටි වලස් යක්ෂයන් වීද ඔබව ඝාතනය කල සතුරු වෛරක්කාරයන් වීද උපත ලබා තිබීම ඇතැම් විට නොව අනිවාර්යෙන් සිදුවී ඇත.දැනට සසර සැරි සරණ සත්ත්වයන් පමණක් නොව මේ වනවිට සසරින් එතෙරව ඇති ලොව පහල වුූ  සම්මා සම්බුදුවරුන් පසේබුදුවරුන් මහ රහත් හා රහත් හිමිවරුන් පවා අපට සංසාරය තුල සම්බන්ධවීම සංසාරයේ භව දීර්ඝතාව වැටහෙන අය විශ්වාස කරනු ඇත.
   පූර්ව අකුසල කර්මයන් අනුව ගින්නට දැවෙමින් පිළිස්සෙමින් අනේක විධ දුක් විඳිමන් ගතකරන පවුකාර ප්‍රේත්‍ර ආත්ම අතරට ප්‍රේත භූත ආත්ත්මයක් ලැබුවත් පෙර කුසල් බලය වැඩි නිසා දුක්පීඩා විදීම් අඩු හැකියාවන් බලයන් වැඩි නිදහස් නිවහල් බවක් ඇතිව සැරිසැරීමේ හැකියාව ඇති රස්තියාදු අමනුශ්‍ය ආත්ම පිළිබඳව සඳහන් කරන ලදී මෙම ලිපියේ මාතෘකාවට අදාල වන්නේ මෙම සුවිශේෂී අමනුස්ස කොට්ඨාශයයි.  තම අමනුශ්‍ය ආත්මයෙන් මිදී මනුස්ස ආත්මයක් වැනි භෞතික ශරීර ආත්මයක් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන මොවුහු ඊට අවස්ථාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් කල් ගත කරති.තම ආත්මයෙන් මිදීමට පහසු ක්‍රමය වන්නේ මනුෂ්‍යකු හෝ කිහිපදෙනෙකු ලවා තම භුත ආත්මයේ අකුසල කර්ම බලය නැති කල හැකි ආකාරයේ ප්‍රභල වූ පුන්‍ය කර්මයක් සිදු කරවා එය තම ආත්මය වෙනුවෙන් අනුමෝදන් කර ගැනීම බව දැන ඔවුන් ඊට අවස්ථාවක් සොයමින් සැරි සරයි.මේ ආකාරයේ බොහෝ ප්‍රේත්‍රයන් භූතයන්ගේ එම ආත්ම ලැබීමට පෙර ජන්මය  වන්නේ මනුශ්‍ය ආත්මයකි.ඔවුන්ගේ අමනුෂ්‍ය ආත්මය ලැබීමට මූලිකවන අකුසලයද බොහෝ දුරට සිදු කරගන්නේ ඊට පෙර ගතකල මනුශ්‍ය ආත්මයේදීමය.මනුෂ්‍ය ආත්ත්මයක ඇති වටිනාකම හොඳින් වැටහෙන මෙම භූතයන් තම භූත ආත්මයෙන් මිදී නැවත මනුශ්‍ය ආත්මයක් ලබා ගැනීමට වචනයෙන් කිව නොහැකි තරමේ දැඩි උත්සාහයක යෙදේ.භුත ආත්මයෙන් මිදීමට අවශ්‍ය(අනුමෝදන් කරවා ගත යුතු) පුන්‍ය  කර්මය සිදු කරවා ගැනීමට ප්‍රථමයෙන්ම පිහිට පතන්නේ තමන්ගේ පෙර මනුශ්‍ය ආත්මයේ ඥාතීන්ගෙනි.මන්ද තමාව හදුනන තමාව මතකයේ ඇති මනුෂ්‍යන් පිරිස වන්නේ ඔවුන් බැවිනි.වෙනත් මිනිසුන් සිටියත් ඔවුන් සංසාරයේ තමන් සමඟ ඇති බැදීම සංසාර බව අඳුරින් වැසී එම මිනිසුන්ගේ මතකයෙන්  ඈත්ව ඇති නිසා තමා වෙනුවෙන් ඔවුන්ව පිනට යොමු කරවීමට භුතයාට අසීරුය.අනිත් කාරණය නම් කුසල් වැඩි පින්වත් සිල්වත් ගුණවත් අයට ආයාචනා කිරීමට බලපෑම් කිරීමට සමීප වීමට භුතාත්මයන්ට අසීරු වීමයි.තමාව  මතකයේ ඇති දරුවන් ආදී ඥාතීන් වෙත සිහිනෙන් ආදී ත්‍රම මඟින් තමා වෙනුවෙන් පින් කොට අනුමෝදන් කරන ලෙස ඉල්ලීම් කරන අතර ඥාතීන්ගෙන් එය ඉටු නොවන විට භුතයා මහත් වූ අපහසුතාවකට කලකිරීමකට පත්වේ.(අප විසින් කිසියම් උසස් පින්කමක් කල විට නිරන්තරයෙන් එම කුසල් මලගිය ඥාතීන්ටද අනුමෝදන් කරන ලෙස දක්වා ඇත්තේ ඔවුන්ගේ ඊලඟ ආත්මය කෙබඳුවේදැයි කිව නොහැකි නිසාමය.)
   තම ඥාතීන් හරහා  ආත්මයෙන් මිඳිමට පිහිටක් නොලැබෙන භූතයා (හෝ පෙරේතයා) ඉන් පසු තරමක් දුරට ප්‍රචන්ඩ සිවරූපයක් ගන්නා අතර වෙනත් නොයෙකුත් උපක්‍රම විදි යොදා ඥාතීන්ට තම අවශ්‍යතාව දැන්වීමට උත්සාහ කරයි.ඒවාද අසාර්ථක වූ විට ඇතැම් භූතයන්  ඥාතීන් සමඟ වෛරයක් ඇතිකොට ඔවුන්ට කරදර බාධක සිදු කරන අතර අකුසල බල වැඩිවී භුත ආත්මයේ ආයුෂද නොදැනුවත්මව වැඩිවේ.ඒ අනුව බැලූ විට නියම “මල පෙරේතයන් “ බිහි කරවන්නේ අප විසින්මය.
    ඥාතීන්ගෙන් පිහිටක් නොලැබෙන භූතයන් ඉන්පසු සමීප වන්නේ ගුප්ත ශාස්ත්‍ර කරුවන් කේන්දර බලන්නන් වෙතයි.මෙවැනි භූත බලවේග පිහිට ලබා ගැනීමේදී ලාබ ප්‍රෙයා්ජන වලට වඩා ඇතිවිය හැකි කරදර ගැන වටහා ගෙන  සම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව ජ්‍යොතිෂ කටයුතු සිදු කරන  ජ්‍යොතිෂවේදීන් මෙවැනි ගුප්ත ක්‍රම ප්‍රතික්ෂේප කලත් මනුශ්‍ය ශරීරය විනිවද දකිමින් ඔවුන්ගේ ශරීර තුල ඇති හා ඉදිරියේදී මතුවිය හැකි රෝගාබාධ විශ්මිත ආකාරයට පැවසීමට මෙන්ම ඇතැම් භුතාත්ම සතු දින කිහිපයක දිවැස් දැකීමේ හැකියාව උපකාරයෙන් ඡන්ද ප්‍රතිඵල පුරෝකථනය කිරීමත් ගුප්ත ශාස්ත්‍ර හැකියා ඇති අයට සිදුකල හැකි බවට පුරාතනයේ සිට විශ්වාසයක් ඇත.මෑත කාලයේ ලංකාවේ ප්‍රසිද්ධියට පත්වූ එක්තරා අන්ධ ජ්‍යොතිෂවේදියකු ජනාධිපතිවරණ ඡන්දයක් අවස්ථාවකදී එවකට ජනාධිපතිතුමා අනිවාර්යෙන් පරදින බව පැවසීමට තරම් එඩිතර වූයේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ විශ්වාසය නොව “කර්ණමුණ්ඩි“ හෙවත් “කනට කියන“ ශාස්ත්‍රයට තිබූ විශ්වාසය බව කවුදෝ කොතැනකදෝ කිව්වා මතකය. 
  

No comments:

Related Posts Plugin for WordPress, Blogger...