Tuesday, October 19, 2010

මොකක්ද මේ රාහු කාලය කියන්නේ?

   රාහු කාලය කිවිවම අපේ අයට ඒක හාල් පොල් තරම්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වෙලා.ඇත්තම කිව්වොත් පත්වෙලා නෙවෙයි පත්කරලා,හැමෝම වගේ තමතමන්ගේ සුභ කටයුතු රාහු කාලය අත්හැරලා කරන්න තමයි බලන්නේ.හුඟක් උදවිය මගුල් තුලාවලදි දරුවෙකුගේ අකුරු කියවීම,සුභ ගමනක් යෑම වගේ විශේෂ අවස්ථාවලදි පමනක් රාහු කාලය මඟ හැරියත් තවත් ඉතාම සුළු පිරිසක් රාහු කාලයට දක්වන්නේ හරි මෝඩ බියක්.විශේෂ සුභ කටයුතු වලදී විතරක් නොවේ වැසිකිලි යන්න වතුර ටිකක් නාගන්න වගේ එදිනෙදා කටයුතු කරන්නත් රාහු කාලය බලන උදවිය අපි අතර ඉන්නවයි කියල ආරංචි තියෙනවා.
රාහු කාලය පිලිපැදීම නූගත් මෝඩ ගැමි ක්‍රියාවක් කියල මූණිච්චාවට අපහාස උපහාස කරන අයත් තම තමන්ගෙ සුභ කටයුතු කරන කොට රාහු කාලෙ අත්හරින බව තමයි පෙනෙන්නේ."අනේ අපි ඔය කේන්දර හදහන් විශ්වාස කරන්නේ නෑනේ ඕව මහා විකාර මෝඩ වැඩ" වගේ අදහස් රටට පෙන්නන් ඉන්න අයත් තම තමන්ගේ දුවගේ පුතාගේ අධ්‍යාපන,විවාහ වගේ දේවල් සුභ විදියට කරගන්න හොර රහසෙම කේන්දර බලන අය ලගට යනවනෙ. රාහු කාලේ අකුරටම පිළිපදින අය අතරේ ඉස්සරහින්ම ඉන්නෙත් වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ මහත්තුරු බැංකු ලොක්කො වගේ ඉහල ප්‍රභූ පන්තියේ අය තමයි.
           රාහු කාලය මේ තරම්ම අපේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි අස්සට රිංගුවේ වෙන කවුරුත් නොවේ අපේ ටී.වී. රේඩියෝ පත්තර වලින්ම තමයි.එහෙම කිව්වම මේක කියවන අය තර්ක කරාවි ඒක එහෙම වෙන්නෙ කොහොමද රාහු කාලය සුභ කටයුතු වලට හොද නැහැ කියල අපි පුරුදු වුනේ අපේ අම්ම තාත්ත,සීයා ආච්චිගෙන් ඒ කියන්නේ අපේ පරම්පරාවෙන් නේද කියල.ඒ ඔයගොල්ලො හිතන හැටිනේ,ඒක එහෙම වුනාට මට පොඩි සැකයක් තියෙනවා අපි දැන් පුරුදු වෙලා තියෙන රාහු කාලය අපේ පැරණි මුතුන්මිත්තන් භාවිතා කල රාහු කාලයට වඩා වෙනස් කියලා.ඒ කාරණාව වගේම රාහු කාලය ගැන දන්න දේවල් ගැන ඔයගොල්ලන්ටත් කියා දෙන්න කියලා තමයි මේ බ්ලොග් සටහන ලියන්න හිතුවේ.හිමින් සැරේ කියවලා බලන්නකෝ.
         රාහු කාලය පිළිබදව සිංහල බසින් ලියැවුන විස්තරයක් ලේඛකයා ප්‍රථමයෙන්ම කියවූයේ හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන්ගේ "ජීවිතය හා ග්‍රහයෝ"පොතෙනි.එහි 387-389 පිටුවල  "ගුලිකාව හා රාහුකාලය" යටතේ දැක්වෙන විස්තරයෙන් සතියේ දින හත තුළ රාහුකාලය යෙදෙන අයුරු සිද්ධාන්තමය අයුරින් දක්වා ඇත.
      
                        එහි දැක්වෙන කරුණු අනුව දවසක දිවා කාලය එනම් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා කාලය අටට බෙදූ විට පැය 1 විනාඩි 30 හේ කොටස් අටක් ලැබේ.ඒ කොටස් අට රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනද යන ක්‍රමයෙන් ඒ දින හිමියාගෙන් පටන්ගෙන ඔහුගෙන්ම අවසානවේ. මින් ශනි හිමි කොටස ගුලික ලෙසද කුජ හිමි කොටස මෘත්‍ය ලෙසද බුධ හිමි කොටස අර්ධ ප්‍රහරන ලෙසද ගුරු හිමි කොටස යමකණ්ඨක යයිද හදුන්වනු ලැබේ.සදු,ශුක්‍ර හිමි කොටස් නිදොස්(හිස්)වේ.රාහු කාලයට වෙන්වන්නේ රවිට හිමි කොටසයි.
       මෙම ක්‍රමයට ඉරිදා හා සෙනසුරාදා දිනවල පමනක්ඉරිදා රවිගේ අවසන් කොටස රාහු කාලය ලෙසත් සෙනසුරාදා ශනිට හිමි පලමු කොටස ගුලික ලෙසත් විශේෂ අර්ථ දැක්වීම් ලෙස දැක්වේ.
         ජීවිතය හා ග්‍රහයෝ පොතේ දැක්වෙන මෙම සිද්ධාන්තය අනුව සතියේ දින හතේ රාහු කාලයන් යෙදෙන කාල පරාසයන් දැනට සම්මතයේ ඇති රාහු කාලයන් සමග සැසදෙන්නේ ඉරිදා බදාදා දින දෙකේ පමනක් වීම විශාල ගැටළුවකි.පැරණි සංස්කෘතික ශ්ලෝක අනුසාරයෙන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි වියතානන් විසින් රචිත 'ගුණදොස් සංග්‍රහය" නම් පැරණි ග්‍රන්ථයේ රාහුකාලය පිළිබදව දැක්වෙන ශ්ලෝකයෙන් නිර්මිත රාහු කාලය  ජීවිතය හා ග්‍රහයෝ පොතේ දැක්වෙන රාහු කාලයට බොහෝ දුරට සමාන නමුත් එහි සෙනසුරාදා දිනයේ රාහු කාලය හා යමකණ්ඨය ස්ථාන මාරුවී ඇත.දැනට සම්මත රාහු කාලයන් හා ඉහත දැක්වූ කෘති වල දැක්වෙන රාහු කාලයන් එකිනෙකට නොගැලපීමට සිද්ධාන්ත හේතු බලපා ඇතත් සම්මත රාහුකාලය පිළිබදව සිද්ධාන්තය එම කෘතිවල සදහන් නොවීම ගැටළුවකි.
     දැනට අප භාවිතා කරන රාහුකාලයට අදාල සිද්ධාන්තය හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහතා හෝ ඈපා අප්පුහාමි මහතා හෝ වෙනත් පැරණි ලාංකික දෛවඥයන් නොදැන සිටියා යැයි සිතීම  ඉතා අමනෝඥ සිතිවිල්ලකි,මන්දයත් එම ග්‍රන්ථ කතුවරු දෙදෙනාම ඉන්දියාවට ගොස් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හොදින් ප්‍රගුණ කල අය වන බැවිනි.
        පුවත්පත්,රූපවාහිනිය,ගුවන්විදුලිය වැනි මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දිනපතා රාහුකාලය ඉදිරිපත් කිරීම ප්‍රථමයෙන්ම සිදුකලේ අසල්වැසි භාරත දේශයයි.ඔවුන්ගෙන් එය ඉගෙනගත් අපේ රටේ මාධ්‍යද ඒ ඔස්සේ යමින් දිනපතා රාහු කාලය අපට දුන්නේ එය නොම්මර එකේ වෙළඳ උපකාරක ද්‍රව්‍යයක් බවට පත්කරමිනි.අප දැන් භාවිතා කරන රාහු කාලයද එලෙස මාධ්‍ය ඔස්සේ ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූවා විය හැකිය.
         දැනට සම්මතයේ ඇති රාහුකාලය ලොවට හදුන්වාදුන් පඩිවරයා කවුරුන්දැයි නිශ්චිත නැති නමුත් මීට වසර දෙදහසකට පමණ පෙර භාරතයේ විසූ වරහමිහිර පඩිවරයා විසින් රචිත "දෛවඥ වල්ලභ" නම් ග්‍රන්ථයෙන් දැනට සම්මත රාහු කාලයේ සිද්ධාන්තය පැහැදිළි කොට ඇත.මෙහිදී දින හිමියන් අනුව දිවා කාලය අටට බෙදීම වෙනුවට අට දිශාවන් අනුව දිවා කාලය කොටස් අටකට බෙදීමක් සිදුකොට ඇත.දින හතේ දිනහිමියන්ට දිවා කාලයේ කොටස්අට බෙදී යාමේදී එනම් හත අටට බෙදීමේදී එකම දින හිමියාට කොටස් දෙකක් ලැබුනත් දිශා අටට බෙදීමේදී එසේ නොවීමත් දිශා අටට කාලය බෙදීමේ සිද්ධාන්තයේ ක්‍රමවත් රටාවක් දක්නට ලැබීමත් (වාමාවෘතව දෙකක් හැර එකක් ලෙස)සම්මත රාහු කාලය ලෙස අදටත් භාවිතා කරන වරහමිහිර පඩිවරයාගේ කෘතියේ අඩංගු රාහුකාල සිද්ධාන්තයේ විශේෂ ලක්‍ෂණයයි. මෙහිදී රාහු කාලයේ දකුණු,ඊශාන,බටහිර හා උතුරු දිශාවලට අනුරූප කොටස්වලට පිළිවෙළින් මෘත්‍ය,යමකණ්ඨක,ගුලික,අර්ධප්‍රහරණ කාල වෙන්කොට ඇති අතර රාහුකාලයට වෙන්කර ඇත්තේ නිරිත දිශාවට හිමි කාල කොටසයි.ඉරිදා දිනයේ මෙම කාලපරාස බෙදෙන අයුරු පහත දැක්වේ.(දිවා රාත්‍රී දෙකටම)

    
         සතියේ දිනවල රාහු කාලය බැලීමේදී බිත්තිලිත්,දිනපොත් වැනි වාර්ෂික ප්‍රකාශණ වල රාහු කාලය දක්වා ඇත්තේ සූර්ය උදාවේ සංශෝධනය රහිතවය.එදිනෙදා සූර්ය උදාව අනුව රාහු කාලය සංශෝධනය විය යුතුබව කිව යුතුය.එනම් සතියේ දිනවලට අදාල රාහු කාලයන්  සදහා එම වේලාවම යොදා ගත හැක්කේ සූර්ය උදාව උදේ 6ට හා හිරු බැසීම හවස 6ට සිදුවන විටය.හිරු උදාව හා හිරු බැසීමට අනුරූපව රාහුකාලයද සංශෝධනයවේ.මෙම සංශොධනය කිරීම බස් ටිකට් එකක පිටුපස පේළි දෙකක ගණිතයකින් සිදුකල හැකි නමුත් විස්තර කිරීමට වැඩි කාලයක් ගතවේ.
     රාහු කාලය බැලීමේදී දිනය සැලකිය යුත්තේ ඉංග්‍රීසි ක්‍රමයට (රාත්‍රී 12 සිට) නොව සූර්ය උදාව පදනම් වූ සිංහල ක්‍රමයටයි.සදුදාට එලිවෙන(රවි දින රාත්‍රී) 4.30 සිට 6.00 දක්වා හා සදුදා උදේ 7.30 සිට 9.00 දක්වා එකලග රාහු කාල දෙකක් යෙදීමේ පටලැවිල්ල එවිට විසදා ගත හැකිය.බොහෝ දෙනා (ඇතැම් දෛවඥයන්ද ) මෙය නොදනී.

    

5 comments:

දොඩන් said...

වැදගත් ලිපියක්

Kumar Wellalage said...

Mema blog liyana Janmiyage Jothishaya Adupadu godak etha.

Rahu kalaya geneema siduwanne Kala Chakrayata Bawa denaganna.

Hettigodage Pothe ehthe Rahu Kalaya nowe. Denata Divamanaya Rahu Kalam Hari Rathri manaya Iridatahera Veradiya

බිඟූ said...

දින හිමියා යනු කවුද?

බිඟූ said...

දින හිමියා ගැන විස්තර කරන්න පුළුවන්ද

RANDEW GURUKULAYA said...

Rahu kalaya kala chakrayata anuwa geneema itha niweradi kramayai kaala chakrayee ravi, kuja, guru, buda,sikuru, shani,sadu ravi yana piliwelata grahayan pihitai dina himiyage sita piliwelin gena ganna wita adala kalaya hamu wee rahu kalaya menma shani kalaya sadu kalaya ravikaalaya aadii anekuth kalayanda eatha eaewa aprakataya kala chakraya anuwa datha yuthui

Related Posts Plugin for WordPress, Blogger...