Saturday, November 20, 2010

Astronomy Vs Astrology (තාරකා විද්‍යාව Vs ජ්‍යොතිෂය)



"ජ්‍යොතිෂයේදී සලකා බලන රාශි දොලහට අයත් තරු රටා පද්ධතිය නිකම්ම නිකන් දෘෂ්ථි මායාවක් විතරයි.එම තරු රටාවන්ට අයත් තරු අතර ඇති පරතරය සලකා බලන විට මෙය වටහා ගැනීමට පුළුවනි.(මිථුන රාශියට අයත් "බීටා පොලක්ස්" හා "එප්සයිලෝන් මෙබ්සුවා"  තරුවලට පෘථිවියේ සිට ඇති දුර ප්‍රමාන පිලිවෙලින් ආලෝක වර්ෂ 35 හා 1081 කි)
මෙම තරුරටාවල පෙනෙන තාරුකා එක පොකුරේ එක ලග පිහිටි තරු වගේ පෙනුනට එහෙම තත්වයක් සත්‍ය ලෙස නැහැ.මේක හරියට ඈතින් ඉන්න අලියෙකුයි ඒ අලියව අපේ ඇහැට පෙනෙන විශාලත්වයට සමාන විදියට පෙනෙන ලගින් ඉන්න හරකෙකුයි දැකලා මෙන්න අලියො දෙන්නෙක්,එහෙම නැත්නම් හරක් දෙන්නෙක් කියලා කියනවා වගේ තමයි."
       -------------------------------------------------------------------------
      "ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත සැකසී ඇත්තේ පෘථිවියට සාපේෂ අයුරින් එනම් සූර්යයා ඇතුළු අනිත් ග්‍රහ වස්තු පෘථිවිය වටා ගමන් කරන බව සලකමින් නමුත් තාරකා විද්‍යා නියම අනුව පෘථිවිය සූරයයා වටා ගමන් කරන බව ඔප්පු වෙලා තියෙනවා.ඒ වගේම ජ්‍යොතිෂයේදී ලග්න ලෙස සලකන්නේ විශේෂ තරු පොකුරු 12ක් පමනයි.ඒ තරු පොකුරු වගේම අපට එදිනෙදා දිස්වෙන වෙනත් තරු පොකුරු ජ්‍යොතිෂයට සම්බන්ධ කොට නැත්තේ ඇයි.කේන්දර කාරයෝ මේකට උත්තරයක් විදියට කියන්නේ පෘථිවියේ භ්‍රමනය සමඟ එකකට එකක් පස්සේ අනුයාත අයුරින් නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවන්නේ මෙම රාශි 12 කියන එක තමයි.ඒ වුනාට සමකයෙන් ඈතින් පිහිටි ප්‍රදේශ සැලකුවාම ඒ තර්කය හරියන්නේ නැහැ"
      --------------------------------------------------------------------------
       "පෘථිවියේ භූ විෂමතාව අනුව සමහර ස්ථාන වලට වසරේ විවිධ කාල තුලදී සමහර ග්‍රහයන් ක්‍ෂිතිජයෙන් ඉහලට මතුවන්නේ නැහැ."මර්මැන්ක්ස්(රුසියාව)" වලට ගිම්හාන කාලෙට අගහරු,බ්‍රහස්පති,සෙනසුරු ප්‍රධාන ග්‍රහයන් තිදෙනෙක්ම මතුවෙන්නේ නැහැ.එම ග්‍රහයන්ගේ කිරන වල බලපෑමක් නැතිව කොහොමද එවැන් ස්ථාන වල උපදින දරුවන්ට හදහන් හදලා පලාඵල කියන්නේ"
      ---------------------------------------------------------------------------
       "ජන්ම කේන්ද්‍ර සටහන කියන්නේ මහාම මහා බොරුවක්.නවීන තාරකා විද්‍යාව අනුව බලන විට තරු වලින් නිකුත් වන ආලෝක කිරන ඇතුළු විද්‍යුත් චුම්භක තරංග පෘථිවියට සම්ප්‍රේෂණය විමට ඉතා විශාල කාලයක් ගත වෙනවා.දරුවා උපදින විට අහසේ දිස්වන තරු සමහර විට විනාශවෙලා තිබෙන්නත් පුළුවන්.තවම ඔය ලග්න දොලහයි කියන තරු පොකුරු වල වෙනස්කම් දකින්නට නොලැබුනත් කවදාහරි ඔය තරු පොකුරක ලොකු ජල්බරියක් වෙලා ලග්නයක් අංගවිකල වෙන්න විකෘති වෙන්න පුළුවන්.කකුළුවගේ,ගෝනුස්සගේ අඩු කැඩෙන්න පුළුවන්.මිථුන රාශිය කනවැන්දුම් වෙන්න පුළුවන්.අන්න එහෙම දෙයක් වුනදාට ඔය කේන්ද්‍ර කාරයෝ හදහන් හදන හැටි බලමුකෝ"
      ---------------------------------------------------------------------------
       "ජ්‍යොතිෂයේ ජන්ම කේන්ද්‍රය මූලික වන්නේ උපන් මොහොතේ උපන් ස්ථානයට අනුරුප නැගෙනහිර ක්‍ෂිතිජය කියනවනේ.ඔය හදේ හරි වෙනත් ග්‍රහලෝක වල උපදින අයට ඒවාට අදාල ග්‍රහ වස්තු සලකලා සිද්ධාන්ත හදාගන්න පුළුවන් කියමුකෝ.හොදයි පොලොවට හුගක් ඉහලින් වේගයෙන් ගමන් කරන ගුවන් යානයක දරුවෙක් උපන්නහම කේන්දරේ හදන්නේ කොහොමද?"
       --------------------------------------------------------------------------
       "ජ්‍යොතිෂයේ කේන්ද්‍ර සෑදීම ගණිත විද්‍යාත්මකව සත්‍යතාවක් ඇති බව පිළිගන්න පුළුවන්.තත්පරයෙන් තත්පරයට උපදින අයට සූක්‍ෂම අයුරින් කේන්ද්‍ර සෑදීම කල හැකිවුවත් පලාඵල සදහා ඇති සිද්ධාන්තවල එම සියුම් බව දකින්නට ලැබෙන්නේ අඩු වශයෙන්.නිවුන් දරුවන්ට පලාඵල කියන කොට මේ ගැටළුව මතුවෙනවා නේද?"
       --------------------------------------------------------------------------
       "ජ්‍යොතිෂයෙන් සත්‍ය අනාවැකි කියන්න පුළුවන් කියලා මමනම් හිතන්නේ නැහැ.1186 දී සියළුම ග්‍රහයන් තුලා රාශියට එක එල්ලේ ස්ථාන ගත වූ විට විශාල කුණාටුවක් එන්න පුළුවන් කියලා කිව්වා කෝ ආවාද? නැහැ එහෙම වෙලා නැහැ.ඒ වගේම 1524 දි මේ විදියටම ග්‍රහයො ටික කුම්භ රාශිය කෙලින් ආවම කිව්වළු මහා ජල ගැල්මක් වෙනවයි කියලා.කෝ වුනාද?ඒකත් වෙලා නැහැ.දැන් ඔය 2012 දෙසැම්බර් 21 දිනය බදාගෙන ඉන්නවා.හැබැයි මේ සැරේ බයකරන්නේ කේන්දර කාරයෝ නෙවෙයි චිත්‍රපටි කාරයෝ.ලෝකයේ මෙතෙක් සිදුවුන විශාල ස්වභාවික අනතුරු හානි පිළිබදව කිසිම ජ්‍යොතිෂඥයකුට කලින් අනාවැකි පලකරන්න බැරිවෙලා තිබෙනවා."
      ----------------------------------------------------------------------------
       "ජ්‍යොතිෂය කියන්නේ සම්පූර්නයෙන් මිත්‍යාවක්.ඒක විතරක් නොවේ.ඒකේ සිද්ධාන්ත ඉදිරිපත් කරපු ඔය ඉස්සර හිටියැයි කියන වරහමිහිර,පරාශර වගේ අය හැමෝම මිත්‍යා දෘෂ්ඨිකයෝ.ජ්‍යොතිෂයට සම්බන්ධ වෙලා තියෙන ඔය හස්ත රේඛා,දේහ ලක්‍ෂණ,වාස්තු විද්‍යා ශාස්ත්‍රත් මිත්‍යාවන් අවාසනාවට අපේ හෙළ චාරිත්‍ර වාරිත්‍රත් මෙම මිත්‍යා මත සමග බැදී තිබෙනවා.ජ්‍යොතිෂයෙදී භාවිතා වන රාහු,කේතු ග්‍රහයන්ගේද විද්‍යාත්මක පැවැත්මක් නැහැ."
     ----------------------------------------------------------------------------
        "ජ්‍යොතිෂය කියන්නේ පුද්ගල කටයුතු ප්‍රමාද කරණ රටක දියණුව අඩාල කරන දෙයක්.බුදු හාමුදුරුවෝත් කියලා තියෙන්නේ නැකැත් තරු දිහා බලන්නේ නැතිව අප්‍රමාදව කටයුතු කරන්න කියලා.කේන්ද්‍ර බලන්නන් විසින් මෙය බුදුන් විසින් විමුක්ති මාර්ගය හොයන භික්ෂූන්ට පමනක් දේශනා කරපු දෙයක් කියලා ඒ අයගේ වාසියට ඒක වෙනස් කරගෙන තිබුනට බුදු හාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙන්නේ ගිහි පැවිදි කියලා වෙන් කරලා නොවෙයි." 
     ----------------------------------------------------------------------------


        ඉහත දැක්වූයේ මා විසින් විවිධාකාර පුවත්පත් සගරා ලිපි ලේඛනවල හා විවිධවූ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ හා එදිනෙදා සමාජ දිවියේදී කියවා අසා දැක තිබූ ජ්‍යොතිෂය පිලිබදව විවේචාත්මකව බුද්ධි ගෝචර අයුරින් ඉදිරිපත් වූ මත කිහිපයකි.මාගේ බ්ලොගය ජ්‍යොතිෂයට සම්බන්ධ වුවත් මෙවැනි අදහස් උදහස් බ්ලොගයට එකතු කිරීමට සිතුවේ පාඨක ඔබ වෙත ජ්‍යොතිෂය පිළිබදව ඉතා විවෘත අවබෝධයක් ලබා දෙනු පිණිසය.ජ්‍යොතිෂය සම්බන්ධ මෙම බ්ලොගය වඩාත් සාර්ථක වන්නේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන අයත් එයට සම්බන්ධ වන විටය.නැත්නම් එය "පාළු ගෙදර වලං බිදීම" වැනිය.ඉහත දැක්වූ කරුණු ඉදිරිපත් කලේ මා ජ්‍යොතිෂවේදියකු යන්න සහමුලින්ම අමතක කොටය.කියවන අයට එය හොදින් වැටහේ.ජ්‍යොතිෂයේ සත්‍ය අසත්‍යතාව පිළිබදව තාරකා විද්‍යා හෝ වෙනත් විද්‍යා දර්ශන යොදාගෙන විග්‍රහ විමර්ශන කිරීමට ලේඛකයා සූදානම් නැත.සත්‍ය වශයෙන්ම ජ්‍යොතිෂය යනු තර්ක විතර්ක විග්‍රහ විමර්ශන කල යුතු විෂයයක් නොවන බව පමනක් අවසාන වශයෙන් දක්වමි. 


ප.ලි - ජ්‍යොතිෂයට ගරු කරන අය හා ජ්‍යොතිෂවේදීන් මෙය දැක කනගාටු නොවන්න.මෙයින් ජ්‍යොතිෂයේ ගෞරවය හෑල්ලු වීමක් කිසිවිටෙක සිදු නොවේ.මෙහි දක්වා ඇත්තේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන්ගේ තර්ක අදහස් කීපයක් පමනි.

1 comment:

Buddhika Thambugala said...

ඉතින් මේවට ඔබතුමා දීපු උත්තර කෝ?

Related Posts Plugin for WordPress, Blogger...