Monday, November 22, 2010

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

   පුරාණ හෙළ සිරිත් විරිත් අනුව දරුවෙකුගේ උපතේ සිට වයස වැඩෙමින් සමාජ ගත වන විට අනුපිළිවෙලින් අනුගමනය කෙරුණු වතාවත් පිලිවෙත් පද්ධතියක් විය.අතීතයේ හෙළ දරුවන් හැදුනේ මෙම වතාවත් චාරිත්‍ර වලට අනුවය.
වර්තමානයේ මෙම චාරිත්‍ර  අනුගමනය කිරීම බොහෝ දුරට සිදුවුවත් ඇතැම් ඒවා භාවිතා වීම ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් ඇති බව පෙනී යයි.එම හෙළ චාරිත්‍ර ගැන තැකීම අඩු වීම,නොදැනුවත්කම හා උවමනාවෙන්ම බටහිර පන්නයට දරුවන් හැඩගැස්සවීම මෙම තත්ත්වයට බලපා ඇත.මෙම බ්ලොග් සටහනේ ප්‍රධාන අරමුණ එම පැරණි චාරිත්‍ර පද්ධතිය ගැන වැටහීමක් පාඨක ඔබට වටහා දීමය.ඒ ඔස්සේ එම පැරණි හෙළ චාරිත්‍ර සුරැකෙමින් ඉදිරියට ගෙන යාමේ මහගු මෙහෙවරට දායක වීමට බලාපොරොත්තුවක්ද බ්ලොග් සටහන්කරු වන මාහට ඇත.පලමුවෙන්ම මෙම චාරිත්‍ර පෙළ දැක්වීමක් විමසා බලමු.පසුව ඒවා එකින් එක ගෙන විමසා බලමු.
  1) රන් කිරි කට ගෑම, හිසකේ කැපීම(උපන් අවස්ථාවේ හිසකේ නොකැපුවහොත් පසුව සුභ නැකතකින් හිසකේ කැපිය යුතුය.)
  2)පලමු දරුවා නම් උපන් රෝහලේ සිට දරුවාගේ මව් පාර්ශ්වය නිවසට රැගෙන  යාම(දරුවාගේ උපන්වේලාව අනුව සුභ නැකතකින් දරුවාව ගෙට ගනී.)
  3) හිරු දැක්වීම
  4)නම් තැබීම(දරුවාගේ ජන්ම පත්‍රයට අනුව නමට සුභ අකුරු තෝරා ඝණ පිහුටුවා)
  5)නවගුන යන්ත්‍රය කොට්ටයට දැමීම,පංචායුධය ඇදුමේ රැදවීම(සාමාන්‍යයෙන් මෙය සෑම දරුවෙකුටම කරන අතර ග්‍රහ අපල වැඩි දරුවන්ට අත්‍යාවශ්‍යවේ.) 
  6)රත කල්කය දීම,පබළු වැල ඉන පැලදීම ,තල තෙල් ගා දරුවාගේ හිස අත්පා හැඩ ගැස්වීම(මෙය අත්ගුණය සහිත අයකු ලවා සුභ නැකතින් ආරම්භ කෙරේ.)
  7)කන් විදීම(ගැහැණු දරුවන්ට )
  8)මාස තුන පිරුනු පසු දරුවාව විහාරස්ථානයට ගෙනගොස් පලමු ආගමික වතාවත් සිදු කිරීම
  9) දරුවාට සෙත්පතා කිරිමව් දානය දීම
 10)නවගුන යන්ත්‍රය,පංචායුධය පැලදවීම.
 11)පලමු දරුවාව සුභ නැකතින් දරුවා හැදෙන නිවසට(පියාගේ නිවසට) රැගෙන ඒම.
 12)ඉදුල් කටගෑම
 13)අකුරු කියවීම
 14)ගැහැණු දරුවන්ගේ මල්වර චාරිත්‍ර
 15)විවාහ චාරිත්‍ර 

      ඉස්සර කාලේ දැන්වගේ ඉස්පිරිතාල තිබුනේ නැති හින්දා දරුවො උපන්නේ බොහෝ විට නිවස තුලමයි.දැන් දොස්තර මහත්වරු නර්ස් නෝනල අතින් කෙරෙන කාර්‍ය එදා කෙරුනේ වින්නඹු මාතාව අතින්.උපන්න ගමන් හිසකෙස් කැපීම,රන්කිරි කටගෑම වගේ කටයුතු කෙරුවෙත් බොහෝවිට වින්නඹු අම්මාම තමයි.උපදින විට කෙස් අඩු තට්ට බබාලාගේ හිසකෙස් කැපීම පසුව සුභ නැකතකින් කිරීම නියම විය.

රන් කිරි කටගෑම 
         පුරාණයේ දරුවා සුවසේ ඉපදුනි නම් උපන් දිනයේදීම මවගේ කිරි බින්දු කිහිපයක් ගෙන එම කිරෙන් පිරිසිදු රන් බිදක් ගලගා පිරිසිදු කපු පුළුන් කැබැල්ලක් ආධාරයෙන් දරුවාගේ මුවෙහි තැවරීමයි.උපන් දිනයේ මෙය කල නොහැකි වුවහොත් දරුවාගේ උපන් ලග්නයට ගැලපෙන සුභ දිනයක රන් කිරි කටගායි. 
 දරුවා උපන් ලග්නය මේෂ,කටක,වෘශ්චික,ධනු,මින ලග්න වලින් එකක නම් සදුදා හෝ බ්‍රහස්පතින්දා දිනයක්ද වෘෂභ,මිථුන,කන්‍යා,තුලා,මකර,කුම්භ ලග්න සදහා බදාදා හෝ සිකුරාදාද සිංහ ලග්නයෙන් උපන් දරුවන්ට බ්‍රහස්පතින්දාද සුභ නැකතකින් රන්කිරි කටගෑම සිදු කරයි. 

හිසකේ කැපීම -
      උපතේදී හිසකේ කැපීම මඟ හැරුනු දරුවන්ගේ හිසකේ කැපීමට දෛවඥ මහතකුගේ සේවය ලබාගෙන සුභ නැකතකින් හිසකේ කැපිය යුතුය.දරුවාගේ ගතවන වයස 5,7,9,11 මාසවලින් ගතයුතුය.ඉංග්‍රීසි සිංහල ක්‍රම පටලවා ගන්නා නිසා වයස තේරීම උදාහරණයකින් දක්වමු
 (දරුවා උපන්නේ 2010 නොවැම්බර් 03 වෙනිදා නම් 5වෙනි මාසය ගතවන්නේ 2011 මාර්තු 03 සිට 2011 අපේල් 03 දක්වා කාලය තුලයි.)
ඊතන,දෑසමන් හාල්පොරි පිරිසිදු ඇල් ජලයට දමා ඉන් බිදක් ගෙන දරුවාගේ නළල,කම්මුල,හිස් මුදුන තවරා නැකැත් වේලාවට හිසකේ කැපිය යුතුය.කපන ලද හිසකේ කථා නොකර ගෙනගොස් ගලායන ජලයට දමයි.පිරිමි දරුවන්ට පියා උපන් නැකත යෙදෙන දින අසුභ වන අතර මව ගැබ්බරව සිටින විට හෝ දරුවා බහතෝරන විටද හිසකේ කැපීම අගුණය.
   පුරාණයේ පවුලක උපදින පලමු දරුවා පලමු මාස තුන මව්ගේ දෙමාපියන් සෙවනේ වැඩීම චාරිත්‍රයක් ලෙස සිදු කරයි.මාස තුන අවසානයේ කිරිමව් දානය දී  දරුවාව සුභ නැකතකින් නිවසට රැගෙන ඒම සිදු කරයි.

 හිරු දැක්වීම -
    මෙමගින් දැක්වෙන්නේ දරුවාව හිරු එළියට නිරාවරණය කිරීමයි.වර්තමානයේ මෙය සුභ නැකතකින් සිදු කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් පැරැන්නෝ මෙය සුභ නැකතකින් කල යුතු චාරත්‍රයක් ලෙස සැලකූහ.

 නම් තැබීම 
         අලුත උපන් දරුවාට සුදුසු නමක් තැබීමද පැරැන්නෝ ජ්‍යොතිෂවේදීන්ගේ උපදෙස් අනුව චාරිත්‍රානුකූලව සිදු කලහ.මෙහිදී දරුවාට තබන නමෙහි ගණ පිහිටීම එහි අරුත විපාකය හා ඉදිරියේදී එම නම දරුවාට බලපාන අන්දම ගැන බෙහෙවින් සැලකිළි මත් විය.වර්තමානයේ දරුවන්ට නම් තැබීමේදී දෙමාපියන් මුහුණ දෙන අසීරුතා හා වටින් පිටින් ඇහෙන දකින අලකලංචි නිසා නම් තැබීම ගැන තරමක් ලෙස දැනෙන අයුරින් කතාබහ කිරීමට සිතුවෙමි.
     ඉස්සර අපේ සිංහලයන් හොද පිරිසිදු හෙළ නම් භාවිතා කලහ.විජය රජුගේ සිට රාජසිංහ රජු දක්වා පුරාණ කාලය තුල හෙල වංශ කතා විමසන විට ඔවුන් භාවිතා කල නම් දැකිය හැක.රාජසිංහ,වික්‍රමසිංහ,ඇහැලේපොළ,ධර්මපාල උදාහරණ කිහිපයකි.නමුත් අපේ රට ඉංග්‍රීසීන්ට නතු වීමත් සමඟ අපේ සිංහල නම් වලටද හෙනහුරා ලැබීය.ඉංග්‍රීසි හුරුවට නම් තැබීම ලොකුකමක් ලෙස අපේ කළු සුද්දෝ සිතූහ.ඇඩ්වින්,ග්‍රෙගරි,විලියම්,ඇලිස් වැනි ඉංග්‍රීසි නම් සිංහල හුරුවෙන් ඇඩ්ඩිං,ගිරිගෝරිස්,විලියොන්,ඇලිසා ලෙස භාවිතා කලහ.එමෙන්ම නම්වලට කාලාරූප ස්වභාවයක් ලැබීමද සිංහල පැරණි නම් අප අතරින් ඉවත් වීමට හේතු විය.වර්තමානයේ දරුවෙකුට සිරිපාල,ජයපාල,අප්පුහාමි,දයාවතී,කමලාවතී වැනි නමක් තැබීමෙන් ඇතිවන තත්ත්වය අමුතුවෙන් වටහා දිය යුතු නැත.නමුත් එය එසේවූ පලියට අපේ දරුවන්ට ඉංග්‍රීසි නම් හෝ හින්දි ජපන් නම් දැමිය යුතුද නැත.දරුවාට නම් තැබීමේදී කාලීන ගැලපීම නොසැලකීමද කල නොහැක.මන්ද එසේ නොවන විට දරුවාව පසුකලෙක උසුළු විසුළු වලට ලක්විය හැකි බැවිනි.
 මේ අනුව බලන විට දරුවාට නම් තැබීමේදී සැලකිළිමත් විය යුතු ප්‍රධාන කරුණු පහත දැක්වෙන පරිදිවේ
  1)කාලයට උචිත විය යුතුය
  2)ගණ පිහිටීම,විපාක සුභ විය යුතු අතර පහසුවෙන් ශබ්දකල හැකි මෙන්ම අර්ථවත් විය යුතුය.
  3)විකෘති කිරීම හා එලෙස කොට අසභ්‍ය හා විසුළු වදන් සැකසීම කළ නොහැකි විය යුතුය.අසභ්‍ය හා විසිළු තේරුම් ඇති නම් දැමීමද නොකළ යුතුය.
  4)පසු කලෙක දරුවාත් අන් අයත්  නමට ප්‍රිය විය යුතුය.

    දරුවන්ට නම් තැබීම නොසැලකිල්ලෙන් හා සිහි බුද්ධියෙන් නොකිරීම නිසා එම දරුවන් අසීරුතාවට පත්වූ අවස්ථා කීපයක් පිලිබදව කතා දෙක තුනක් කීමට ඇත.මේවා මා ඇසූ හා අත්දැකූ සිද්ධීන්ය.
   පළමු කතාව මා කවදාදෝ කොහේදිදෝ කියවපු පුවත්පතක ලියා තිබුණු එකකි.අලුත උපන් දියණියට සුදුසු නමක් තෝරා ගැනීමට  ජ්‍යොතිෂවේදියකු ලගට  ගිය අයකුට දරුවාගේ උපන් ලග්නය ,නැකත,දිනය අනුව දරුවාගේ නමේ මුල් කෑල්ල  "දිලනි" ලෙස දමා දෙවන කොටසට තමන් කැමති ගැලපෙන නමක් දමා ගැනීම කරන ලෙස ජ්‍යොතිෂවේදියාගෙන් උපදෙස් ලැබුණි.දෙවන වර ජ්‍යොතිෂවේදියා හමුවූ අවස්ථාවේ දරුවාට දැමු නමේ දෙවන කෑල්ල කුමක්දැයි ජ්‍යොතිෂවේදියා ඇසීය."මමයි නෝනයි එකතු වෙලා දුවට "දිලිනි යෝනිකා" කියලා නම තිබ්බා"  පිළිතුර ඇසූ ජ්‍යොතිෂවේදියා උපහාසයෙන් හා කෝපයෙන් කිවේ "බොහොම හොදයි.හොදට නම දාල තියෙනවා.ඊලඟ සැරේ පුතෙක් උපන්නොත් පකෝරිස් කියල නම තියන්න" යනුවෙනි.  
   අනිත් කතාව මගේම අත්දැකීමක්.ඉස්සර අපේ පන්තියේ හිටියා "විමාෂි"කියල නම තියෙන ගෑනු ළමයෙක්.කොල්ලො මේ නම විහිළුවට ලක්කලේ "විනාසි"කියල ඒ ළමයට කොලොප්පන් කරලා."වසුන්දරා"කියල ගෑනු ළමෙයෙකුත් සිටියා.මේ නමට තේරුම් තුනක් තියෙනවා.වසුන්දරා මල් ජාතියක් වගේම"වත්සුනු දරාගත්","වසුරු දරාගත්"කියල තේරුම් දෙකකුත් තියෙනවා.මේ නරක තේරුම දවසක් ඇට්ටර කොල්ලෙකුට වැටහිලා එදා ඉදන් ඒ ලමයත් විහිළුවට ලක්වුනා.තව ඔය ශ්‍යාමලී=තලෙළු මුහුණක් ඇති කාන්තාව, පාලින්ද=පෙකනිවැල , තිමිර=අදුර ,වගේ නම් දානකොටත් ඒවයේ තේරුම වැටහාගෙන කටයුතු කල යුතුය.
    දරුවන්ට නම් තැබීමේදී ලග්නය,දිනය,නැකත අනුව ජ්‍යොතිෂයේදී නාමාක්‍ෂර තෝරණ අයුරු පහත දැක්වේ.(ක්ලික් කර බලන්න)

නවගුන යන්ත්‍රය කොට්ටයට දැමීම හා පංචායුධය ඇදුමේ රැදවීම -
       අලුත උපන් දරුවන් නිතර නිතර හීනෙන් බයවීම,තිගැස්සීම,හැඩීම සාමාන්‍ය තත්ත්වයකි.බොහෝ දෙමාපියන් මේ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගනී."බාලගිරි" දෝෂය ලෙස දැක්වෙන මෙම තත්ත්වයෙන් දරුවාට සහනයක් ලබා දීමට දරුවා නිදන කොට්ටයට නවගුන යන්ත්‍රයක් දැමීම සිදු කරනවා(කුඩා දරුවන් සිටින නිවෙස්වල උළුවස්ස උඩ "බාලගිරි දෝෂය අද නොවේ හෙට"ලෙස සටහන් කිරීමද මෙවැනි පිලියමකි.).දරුවාගේ සියුම් සම ආරක්‍ෂා කිරීම හා තවත් ගුප්ත විශ්වාසයක් හේතුකොට ගෙන දරුවාගේ ශරීරයේ ගෑවෙන ලෙස පංචායුධ,යන්ත්‍ර පැළැදීම පලමු මාස තුන ගෙවෙන තුරු සිදු නොකරයි.මාස තුන ලැබූ පසු දරුවාගේ පෙකණියේ ගෑවෙන පරිදි පංචායුධය ගෙල පලදවයි.දරුවාගේ උපන් ග්‍රහ පිහිටීම අනුව පංචායුධයට මැණික් ගල් ඇල්වීම වර්තමානයේ සිදුකලත් පුරාණ චාරිත්‍රයක් ලෙස මැණික් ඇල්වීමක් ගැන සදහන් නැත.

රත කල්කය දීම,පබළු වැලක් ඉනේ බැදීම,තල තෙල්ගා දරුවාගේ හිස අත්පා හැඩ ගැස්වීම.
     දැන් කාලේ පොඩි දරුවන්ට ඔය කලින් කලට විදින බී.සී.ජී. පෝලියෝ ,සරම්ප වගේ එන්නත් බේත්  ඉස්සර කාලේ තිබුනෙ නැති වුවත් එවැනි ආපදා වලින් දරුවා ආරක්‍ෂා කිරීමට සිංහල ආයුර්වේධ බෙහෙත් ක්‍රම පැරන්නෝ කලින් කලට භාවිතා කලා.දරුවන්ගේ ශරීරයේ මතුවන රතු පැහැති කුඩා බිබිලි වලින් ඇතිවන ආසාධනයන් මැඩීමට රත කල්කය දීම සිදු කලා.වර්තමානයේ බටහිර වෛද්‍යවරුත් රත කල්කය දීම අනුමත කරන්නේ ඒ සදහා රත කල්කය තරම් සුදුසු බෙහෙතක් බටහිර වෙද ක්‍රමවලත් නැති නිසා වෙන්න ඇති.ඒ වගේම දරුවාගේ ඉනේ පබළු වැලක් එල්ලීමද පැරණි චාරිත්‍රයක්.මෙහි විද්‍යාත්මක හෝ වෙනත් හේතු සාධක ගැන නම් දන්නේ නැහැ.දන්න කෙනෙක් ඒ ගැන විස්තර බ්ලොග් එකට කමෙන්ට් කරන්න.එමෙන්ම දරුවාව ඇස්වහ කටවහ වලින් ආරකෂා කිරීමට මෙවැනි ආභරන පැලදවූ බවට මතයක් තිබෙනවා.
    ඉස්සර වැඩිහිටියන් දරුවාගේ හිස අත්පා වැනි අවයව සකස් කිරීම කුඩා අවදියේ සිටම සිදු කරනවා.දරුවා බිම පැදුරක්මත හිසට කොට්ට නොතබා තැබූවිට දරුවා එහෙට මෙහෙට හැරෙමින් පෙරෙලෙමින් චලනය වීමෙන් හිස ලස්සනට වටකුරුව සකස් වෙන බවත් තලතෙල් ගා දරුවාගේ හිස අත්පා නිසියාකාරව පිරිමැදීමද අත් පා හිස නිසි අයුරින්(විකෘති නොවී)වර්ධනය වීමට බලපාන බවත් ඔවුන් විශ්වාස කලහ.වර්තමානයේ බොහෝ මව්වරු "හිස දෙපැත්තෙන් නිතර පිරිමැදීම ස්නායු වලට හොදනැහැ" කියන අති පන්ඩිත බටහිර වෙද උපදෙස් අනුව යමින් දරුවාගේ හිස අත්පා සකස් කිරිම සදහා සුමට ක්‍රම අනුගමනය කරනවා.නමුත් මෙහි අවසන් ප්‍රතිඵලය වෙසක් කාල වල දක්නට ඇති "ඔළුබක්කන්" වගේ දරුවන්ගේ හිස් සකස්වීමයි.අතපය බකල් වීමයි.

කන් විදීම
             වයස 10,16,19 දිනවල හෝ 6,7,8 මාස ගතවන විට ශුභ නැකතකින්  ගැහැණු දරුවන්ගේ කන් විදිය යුතුය.කන් විදීම සදහා බොහෝ දුරට උදේ කාලය යොදා ගන්නා අතර කනට විෂ කලාව යෙදෙන දින ඉවත් කල යුතුය.දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයද යහපත් දිනයක් විය යුතුය.කන විදීමේ නැකත තේරීමේදී දෛවඥයන් අනුගමනය කළ යුතු පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු කාරණා පහත කවිවලින් දැක්වේ.(උපුටා ගැනීම "මුහුර්ත චින්තාමාණික්‍යය")
     
   1)    උපන්   තැන්   පට               නී
          දහසා දොලොස් දිනෙ          නී 
          සය  සත  අට  මසෙ             නී
          විදිනු කන් පෙරවරුම පැමි    නී
       
   2)    එක දින වක්   නැකැ         ත්
          දෙකවන   දිනන්තරය       ත්
          නැකැත්  වක්  සමග          ත්
          හරුව රිට්ටා විස්ටි පෝය   ත්

   3)    රැස්    කුඹු    සිංහ     අලි           ත්
          අත්හැර  ඉතුරු    ලග්න            ත්
          පිරිසිදු       වූ      අට                 ත්
          රැසුත් ගෙන මතු කියන නැකතු  ත්

          සුවන  සිත  මුව     හි               ස
          රේවතී    පුනාවස   පු              ස
          තුනතුරු    දෙනට    ද             ස
          නැකැත් ගනු කන් විදිනු  වේ ය ස
   
    දරුවාට  මාස තුන පිරීම සමඟම සිදුකරන ප්‍රධාන වත්පිළිවෙත් 
            අතීතයේ පවුලක දරුවෙකු උපන්විට  දරුවාට පලමු මාස තුන පිරෙන තුරු ආගමික වත් පිළිවෙත් කිරීම වැනිකටයුතු සිදු කිරීම ප්‍රමාද විය.මේ සදහා බලපෑ විද්‍යාත්මක හෝ වෙනත් හේතු සාධක පැහැදිළි නැතත් භූත ආත්ම හාවෙනත් නොපෙනෙන බලවේග වලින් ඇතිවිය හැකි අනිසි බලපෑම්වලින් දරුවාව ආරක්‍ෂා කිරීමට මෙවැනි පිළිවෙතක් අනුගමනය කළ බවට මතයක් ඇත.පන්සලේ බෝධින් වහන්සේ ආශිතව මෙවැනි බලවේග  ඇති බවට විශ්වාසයක් ඇති නිසා හා දරුවාගේ ළපටි මනසට ස්වාධීනව කටයුතු කිරීමේ ඇති හැකියාවේ ඇති අඩු ලුහුඩුකම් නිසා දරුවාව විහාරස්ථානයට ගෙන යාම ප්‍රමාද කළ යුතු බවද පැරණි විශ්වාස තිබී ඇත.
      දරුවාට මාස 3 පිරුණු පසු විහාරස්ථානයට ගෙන ගොස් ආගමික කටයුතු සිදු කිරීමෙන් පසු පත්තිනි දෙවියන්  වෙනුවෙන් සිදු කරන කිරිමව් දාන පූජාව සිදු කරයි.මෙම කිරි මව් දානය දී දරුවාට සෙත් පැතීම සිදුකරන ආකාරය පළාතෙන් පළාතට වෙනස්කම් දක්නට ලැබුනත් මෙහි ප්‍රධාන අරමුණ පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය දරුවාට ලබා ගැනීමයි.
    පවුලක පලමු දරුවා පළමු මාස තුන ඇතුලත මව් පාර්ශ්වය ඇසුරේ වැඩෙන අතර මාස තුනෙන් පසු සුභ නැකතකින් දරුවාව නිවසට රැගෙන ඒම සිදු කරයි.එමෙන්ම දරුවාට පංචායුධය ගෙල පැලදීම,නවගුන,රතන,අභිසම්භිධාන යන්ත්‍ර පැලදීම වැනි වෙනත් ආරක්‍ෂණ කටයුතු කිරීමද මාස තුන පිරෙන තුරු සිදු නොකරයි.

                                      ඉදුල් කටගැම
        හෙළ දරුවන්ගේ වත්පිළිවෙත් සමඟ බැදුනු විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙන ඉදුල් කටගෑම ජ්‍යොතිෂ අනුකුලව උත්සව සිරියෙන් සිදු කිරීම අනාදිමත් කාලයක සිට පැවත එන හෙළ චාරිත්‍රයකි.දරුවාට බර ආහාර පුරුදු කිරීම මෙහි අරමුන වන අතර ඉදුල් කට ගෑමේ ක්‍රියාව දරුවාගේ ඉදිරි ක්‍රියාකාරකම් සිදුවීම්වලට බලපාන  බවත් එබැවින් එය ජ්‍යොතිෂ සාස්ත්‍රානුකූලව සුදුසු අයුරින් කල යුතු බවත් පැරන්නෝ සැලකූහ.ඒ සදහා අනුගමනය කරන ජ්‍යොතිෂ සිද්ධාන්ත හා උපදෙස් සැලකූ විට එය මනාව වැටහේ.
   ඉදුල් කටගෑම සිදුකිරීමේදී අත්හලයුතු පුධාන කරුණු
    1)දරුවා කිසියම් අසනීපයකින් හෝ අපහසුතාවකින් සිටින විට ඉදුල් කටගෑම සුදුසු නැත.
    2)දරුවාගේ මව අසනීපයෙන් සිටින විට ඉදුල් කටගෑම සුදුසු නැත.
    3)කටේ එක දතක්වත් එනතුරු ඉදුල් කට ගෑම නොකළ යුතුය.
    4)ශීතල කාලගුණයක් ඇති දිනවල ඉදුල් කට ගෑම නොකළ යුතුය.
   
  ඉදුල් කටගැමේ නැකත තේරීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිෂ උපදෙස් හා වෙනත් පිළිවෙත් 

 1)  පිරිමි දරුවන්ට 6,8,10,12 මාස වල හා ගැහැණු දරුවන්ට 7,9,11 මාසවල බත් කැවීම සුභයි.

 2) අස්විද,රෙහෙන,මුවසිරස,පුනාවස,පුෂ,හත,සිත,සා,අනුර,සුවන,දෙනට,සියාවස,උත්‍රපලා,උත්‍රසල,උත්‍රපුටුප,රේවතී යන නැකැත් වලින් දරුවාගේ උපන් නැකතට සීහෙන නැකතක් යෙදෙන පංචාංගය සුභ දිනයක් විය යුතුය.

 3)  මීන,වෘශ්චික,මේෂ රාශි  හා දරුවා උපන් ලග්නයෙන් අටවන රාශිය උදාවන වේලාවන් මඟහැර පුර පක්‍ෂයේ 2,3,5,7,10,11,13  තිථි හා අව පක්‍ෂයේ 1,2,5 තිථි යෙදෙන සදුදා,බදාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා දිනයක් යොදා ගැනීම සුදුසුය.

 4) තත්කාල කේන්ද්‍රයේ 10 ශුද්ධ විය යුතුය. 7,8,9 ස්ථානවල කුජ,බුධ,ශුක්‍ර ග්‍රහයන් නොසිටිය යුතුය.

  පිළිවෙත්
         ඇල්හාල් ගෙන පිරිමියකු ලවා පිසවා දරුවාගේ මාමා(මව්ගේ සොයුරු) හෝ පියා ලවා ඉදුල් කරවිය යුතුය.ඉදුල් කරන විට පිරිත් කියවීම සුභයි.
                    අකුරු කියවීම -
      අකුරු කියවීම යනු දරුවෙකුගේ ජීවිතයේ ප්‍රධානම සන්ධිස්ථානයකි.ඉගෙනුම සදහා දරුවාගේ හැකියාවන් දරුවාගේ සහජ බුද්ධිය මත තීරණය වුවත් පැරැන්නෝ දරුවකුට අකුරු කියවීම ජ්‍යොතිෂ සාස්ත්‍රානුකුලව උත්සව සිරියෙන් සිදු කලහ.වර්තමානයේ ඇතැම් අය දරුවන්ගේ අකුරු කියවීම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන පොදු නැකැත් අනුව සිදුකලත් එය ඉතා නුසුදුසුය.පිලිගත් උගත් ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ ජන්ම පත්‍රයට අනුව සුභ නැකැත් දිනය තේරිය යුතුය.
    
 අකුරු කියවීමට සූදානම් වීමට පෙර සැලකිය යුතු ප්‍රධාන කරුණු
   * වයස අවු (2-3) අතර කාල වකවානුවේ අකුරු කියවීම කළ යුතුය.ඊට පෙර හෝ පසුවීම නොකල යුතුය.
   *  දරුවාගේ වචන උච්චාරනය අපහසු නම් අකුරු කියවීම ප්‍රමාද කළ යුතුය.(නමුත් අවු 3 ගෙවීමට ප්‍රථම )
   *  දරුවාට අකුරු කියවීම නැකතට සිදුකරන තුරු අකුරු,ගණිත සංකේත හදුන්වා නොදිය යුතු අතර දරුවා සමග ගත කරන වැඩිමල් කුඩා දරුවන්වද ඒ පිලිබදව දැනුවත් කළ යුතුය.නමුත් දරුවා තම උත්සාහයෙන් කරන ක්‍රියාකාරකම් (පොත් පෑන් ගෙන කුරුටු ගෑම චිත්‍ර ඇදීම සින්දු කවි,ගාථා කට පාඩමින් කියවීම)නතර  කිරීම නොකරන්න.

  දරුවාට  අකුරු කියවීමේ නැකත තේරීමේදී සැලකිය යුතු ප්‍රධාන ජ්‍යොතිෂ සිද්ධාන්ත කරුණු.(මෙම කරුනු ජ්‍යොතිෂවේදීන් නොවන අයද සුළු වශයෙන් හෝ දැන සිටීමේ වැදගත්කම කියා නිම කල නොහැක.)
    * සදුදා,බදාදා,බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දිනවලින් දරුවාගේ උපන් නැකතට සීහෙන නැකැත් දිනයක් විය යුතුය.සරස්වතී යෝගය යෙදීම වඩාත් සුභයි.පෙරවරුව යොදා ගත යුතුය.(සරස්වතී යෝගය යෙදෙන ආකාර කිහිපයක් ඇත.ඒවා යෙදෙන අයුරු වටහා ගැනීමට ජ්‍යෙතිෂ සිද්ධාන්ත පිළිබද මනා වැටහීමක් තිබිය යුතුය.කවි ශ්ලෝක අකාරයෙන් ඇති ඒවා ඉදිරිපත් කිරීම මෙම බ්ලොග් සටහනේ සරල බව අඩු කර සීමාව ඉක්මවා යාමකි.නමුත් ලිපියේ පරිපූර්ණ බව රැක ගැනීම පිනිස හෙට්ටිගොඩ ශූරීන්ගේ "ජීවිතය හා ග්‍රහයෝ" පොතේ සරලව දැක්වෙන සරස්වතී යෝග යෙදෙන ආකාරය පහතින් දැක්වේ.
           
    * පුර පක්‍ෂයේ දිනයක් වඩාත් සුභ වන අතර 2,3,5,10,11,13 තිථි යෙදෙන දින නොවිය යුතුය.
    * යොදා ගත යුතු තත්කාල ලග්නය වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,කුම්භ වීම වඩාත් සුභයි.අට පිරිසිදු විය යුතු අතර රවි ශනි හෝ කුජ ග්‍රහයන් වෙන්වෙන්ව හෝ යෝගව දෙවැන්නේ සිටීම අසුභයි.හයේ ගුරුද හතේ සිකුරු යෙදීමද සදු 1,6,10,12 සිටීමද අසුභයි.

 අකුරු කියවීමට ප්‍රථම ඉටුකල යුතු චාරිත්‍ර -
    මෙම චාරිත්‍ර ඉටු කිරීම පැරණි කාලයේ බොහෝ දුරට සිදු වූයේ ඒ සදහා දැනුමැති කපු මහතෙකු අතිනි.පහත දැක්වෙන්නේ නිවසේදී සරලව ඉටු කළ හැකි චාරිත්‍ර විධි ක්‍රමයකි.

      අකුරු කියවන දිනයේ දරුවාව නැකැත් වේලාවට පැයකට පමන පෙර සෝදා පිරිසිදු කොට එදිනට නියමිත වර්ණයෙන් යුත් අළුත් ඇදුම් අන්දවා දරුවාව සතුටින් තැබිය යුතුය.ඉන්පසු දරුවා නිවසේ ප්‍රිය කරන හොදින් වාත්‍රාශය ලැබෙන සුවදායි පිරිසිදු ස්ථානයක් තෝරා කහ දියර ඉස පිරිසිදු කර ගන්න ඉන්පසු එම ස්ථානයේ ටීපෝවක් හෝ කුඩා මේසයක් සුදු පිරිවටක් එලා ඒ මත මැදින් බුද්ධ රූපයක් හා දෙපසින් සරස්වතී ගණ දෙවි රූප දෙකක් තබන්න.(බුද්ධ රූපය උස් මට්ටමින් තබන්න.)(බුද්ධ රූපය දෙපසින් තැබිය යුත්තේ දෙවි රූප නොව සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිම යැයි මතයක් අළුතින් ඈදා ඇති නමුත් සරස්වතී ගණ දෙවි රූප තැබීම පුරාණයේ සිට පැවත එන ක්‍රමයයි.) අනතුරුව බුද්ධ රූපය ඉදිරියේ බෝ කොළ(වැටුනු) තමා ඒමත මල් තබා මැටි පහනක්ද තබන්න.සරස්වතී දෙවි රූපය ඉදිරියේ නෙළුම් කොළ හා බෙලි කොළ මත රතු නෙළුම් මලක් තබන්න.ගණ දෙවි රූපය ඉදිරියේ කෙසෙල් හා අඹ පත්‍ර මත සමන්පිච්ච,සුදුනෙළුම් මල් තබන්න.දෙවි රූප ඉදිරියේද මැටි පහන් දෙකක් තබන්න.පලමුව දරුවා ලවා බුද්ධ පූජාව තබා බුදුන් වැද පහනද දල්වන්න.අනතුරුව සකස් කරන ලද පූජා වට්ටි දෙක දෙවි රූප ඉදිරියේ තබා පහන්ද දල්වා ගාථා ස්ත්‍රෝත්‍ර කියා පූජාව දෙවියන්ට කැප කරන්න.කුඩා දරුවා පූජා වට්ටිවල ඇති පළතුරු වලට ආසවී අවධානය ඒ වෙත යොමුවන නිසා පූජාව දෙවියන්ට කැපකිරීමෙන් පසු දරුවාට අගුණ නැති කැවිළි පලතුරු වලින් කිහිපයක් කවන්න.අනතුරුව නැකැත් වේලාව ආසන්න වෙත්ම දරුවාගේ මව,පියා හෝ දෙදෙනාම එක්ව දරුවාට අකුරු කියවන්න.දරුවාගේ සීයා ආච්චි හෝ වෙනත් වැඩිහිටි ඥාති හිතවතෙක් විසින් දරුවා  අකුරු කියවන්නේ නම් ඔහු හෝ ඇය දරුවාට හුරු පුරුදු අයෙක් විය යුතුය.හාමුදුරුවරු නමක් අකුරු කියවන්නේ නම් දරුවාට හුරුඅයෙක් විය යුතුය.හාමුදුරුවරුන්ගේ තට්ටයට හා සිවුරට කුඩා දරුවන් බිය වීම මීට හේතුවයි.අකුරු කියවීමේදී සුදුසු අකුරු මුල් කල යුතු අතර දරුවාව වෙහෙස නොවන අයුරින් අකුරක් දෙකක් කියවීම වුවද සෑහේ.අකුරු ලියවීමේදී නිවැරදිව පැන්සල අල්ලන අයුරු හා ලියන අකුර නිවැරදිව කෑලි හලන්නේ නැතිව පරිපූර්ණ ලෙස නිවැරදිව ලියවීම කළ යුතුය.
   දෙවි රුප ඉදිරියේ තබන පූජා වට්ටි දෙකට ද්‍රව්‍ය-
       බුලත් අත් දෙකක්(වට්ටි යටින් අතුරන්න)
       උක්සකුරු
       කිරිබත්
       කළුඋක්
       කැවිළි වර්ග 9ක්(තල ගුලි හෝ කැරලි,උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද ගන්න)
       අඹ හා බෙලි සමග පළතුරු වර්ග 9ක්
      සරස්වතී වට්ටියට බෙලි කොළ මාලයක් හා ගණ දෙවි වට්ටියට අඹ කොළ මාලයක්
      හබලපෙති
      වීපොරි
      පිනිදිය
      පැන්
      පඩුරු
      ගිතෙල් හා මීපැණි කුප්පි වශයෙන්
      ඇල් දියෙන් ගලගාගත් රත්හදුන් හා සුදු හදුන්(බුලත් කොළයක තවරා හෝ කුඩා පීරිසියක් මත තබන්න)

   අකුරු කියවීමෙන් පසු පූජා වටටියේ ඉතිරි පළතුරු පවුලේ අය කුඩා දරුවන් අනුභව කරන්න.සත්තුන්ටත් දෙන්න.

     ගැහැනු ළමුන් සදහා මල්වර චාරිත්‍ර-
          ලාංකීය ජන සමාජය තුළ ගැහැණු දරුවකු මල්වර වීම සුවිශේෂී අවස්ථාවකි.කාන්තාවකට ලැබෙන උතුම් වූ මව් පදවිය ලැබීමට සුදුසු තත්ත්වයට පත්වීමේ ආරම්භක මංගල්‍ය අවස්ථාවයි.දැරියක් ලෙස ගතකළ මුල් අවදියෙන් පසු මල්වරයත් සමග සමාජයේ පවතින සිරිත් විරිත් හා වගකීම් ආරක්‍ෂා පිළිබදව ඇයට වඩාත් හොදින් අවබෝධ කර දීමේ මනෝ විද්‍යාත්මක චාරිත්‍ර විධි ක්‍රමයක් ලෙස මල්වර චාරිත්‍ර ක්‍රමය හැදින්විය හැකියි.
         මල්වර චාරිත්‍ර පිළිබදව කතා කිරීමට ප්‍රථම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණ නම් වර්තමානයේ බොහෝ දැරියන් නිසි වයසට ප්‍රථම මල්වර වීමයි.මින් දැරියගේ දෙමාපියන් පත්වන අසීරුතාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.මල්වර චාරිත්‍ර සිදුකිරීම කෙසේ වෙතත් මෙවැනි අවස්ථා වලදී එම තත්ත්වය සමාජයට හෙළිකිරීමට පවා දෙමාපියන් බියක් දක්වයි.වර්තමානයේ කඩවල් වල ඇති ක්‍ෂණික ආහාර වර්ග කුකුල් මස් වැනි ආහාර වර්ගවලින්,බෙහෙත් ගැසූ එළවළු පළතුරු මෙම තත්ත්වයට හේතුවන බව විද්‍යාත්මකව සනාත වී ඇත.(මෙම බ්ලොගයට අදාල නොවුවත් දැරියන්ගේ ආහාර පාන ගැන දෙමාපියන් අවධානය යොමු කල යුතු බව වටහා දීමට මෙය දැක්වීය)
       මල්වර වයසේ දියණියන් සිටින මව්වරු මුහුණ දෙන අනික් ප්‍රධාන ගැටළුව නම් මල්වරය දිස්වීම සැක කටයුතු අයුරින් සිදුවීමය.පැහැදිලිව රුධිරය පිට වීමක් දක්නට නොමැති අවස්ථාවල බොහෝ මව්වරු කරන්නේ බුලත් අතකුත් රැගෙන දෛවඥයකු කරා දිව යෑමය.එසේ ගොස් ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව මල්වරය සිදුවී ඇත්දැයි විමසා බලයි.ජ්‍යොතිෂවේදියාද විවිධ තත්කාල විමසා ප්‍රශ්න තොරතුරු විමසා මල්වර වීම පිළිබදව විවිධාකාර මත පළකරති.මල්වරය සිදුවීම උදේ මල් පිපෙන වේලාවයි දවල් ලේ රත්වෙන මධ්‍යාහ්නයයි,ඇදිරි වේලාවයි යනුවෙන් විවිධ කාලසීමා දක්වයි.ඇත්ත කථා කරන ජ්‍යොතිෂවේදියකු වශයෙන් මාහට කිව යුතුව ඇත්තේ මල්වර කාලය දක්වන සිද්ධාන්ත ක්‍රම පොත්පත්වල දක්වා ඇතත් ඒවා එලෙසම භාවතා කළ යුතු බව හෝපිළිපැදිය යුතු බව එම ලේඛන වල දක්වා නැත.ඇත්තේ මල්වරය වීම අනුව ඉදිරි පල අපල විමසා බැලීමය.කෙටියෙන් කිව යුත්තේ මල්වර කාල වකවානු පිළිබදව මිස මල්වර වේලාව නිවැරදිව කිව හැකි ක්‍රමයක් පැරණි ජ්‍යොතිෂ පොත් පත් වල දක්වා නැති බවයි.නියම ජ්‍යොතිෂවේදියා කරන්නේ මල්වර වීම දුටු වේලාවේ එම රුධිරයේ තෙත වියලි බව හා වෙනත් කරුණු සලකා බලා තත්කාලය අනුව මල්වර පලාඵල හා නැකැත් දැක්වීමයි.
   සැකකටයුතු අවස්ථා වල අනුපිළිවෙළින් අනුගමනය කල යුතු නිවැරදි ක්‍රියාමාර්ග
           1) දරුවාව බියට පත්නොකොට පළමුවෙන්ම දරුවාගෙන් වස්තර අසන්න(සමහර දරුවන් පළතුරු වල කහට ඇදුම්වල තවරා ගනී.තුවාලයක් වැනි දෙයක්ද විය හැකියි.)   
           2)දෛවඥයකු ලගට යැමට පෙර දරුවාව සුදුසුකම් ලත් එම්.බී.බී.එස්.වෛද්‍යවරයකු(වෛද්‍යවරියක් නම් වඩාත් හොදයි.) ලගට රැගෙන ගොස් පරීක්‍ෂා කරන්න.ඇතැම් විට එම වෛද්‍යවරුන්ටද ස්ථිර කිරීමක් කල නොහැකි අවස්ථා මතුවේ.එවිට සියුම් නාඩි වැටීම පිළිබද  විශේෂඥ දැනුමක් ඇති දේශීය වෛද්‍යවරයෙකු ලගට ගෙනගොස් පරීක්‍ෂා කරන්න.
           3)ඉහත ක්‍රම දෙකෙන්ම විසදුමක් නොලැබුනොත් 100% ක්ම ස්ථිරවම දැනගත හැකි ක්‍රමයක් ඇත.එයනම් ස්කෑන් පරීක්‍ෂාවක් සිදු කිරීමයි.නමුත් රෝගයක් නොවන නිසා මේ සදහා ලැබෙන ඉඩකඩ ඉතා අල්පයි.කල හැකි නම් මුලින්ම කල යුත්තේ මෙම ස්කෑන් පරීක්‍ෂාවයි.
          4)වෛදවරයකු පරීක්‍ෂා කිරීමෙන් ස්ථිර කිරීමක් නොවුනි නම් සහ ස්කෑන් පරීක්‍ෂාවට අවස්ථාවක් නොලැබුනු නම් දෛවඥයකු කරා ගොස් විමසා බලන්න.නමුත් ඔහු මල්වර වීම ස්ථිර කල පමනින් චාරිත්‍ර ඉටු කරන්න යන්න එපා.තවත් දිනක් දෙකක් පමන දරුවාට රුධිර පිටවීමක් සිදුවේදැයි බලන්න.

   දැරියකගේ මල්වර වීම දැනගත් පසු පිළිවෙලින් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග-
       1)ප්‍රථමයෙන්ම දැරියගේ මව විසින්(මව නොමැති නම් ඥාතී කාන්තාවක්) දැරියගේ අතට ආයුධයක් දී ඇයව කිරි ගසක් ලගට රුගෙන යාමයි.
       2) අනතුරුව දැරිය කාමරයක රදවා(ඇයගේ තනියට ගැහැණු අයෙකු ලගින් සිටිය යුතුයි.)දැරියගේ ජන්ම පත්‍රයද රුගෙන කාන්තාවන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු ජ්‍යොතිෂවේදියකු ලගට ගොස් මල්වර පරීකාව සිදු කොට නැකැත් සාදාගෙන පැමිනීම.
       3)දෛවඥයා ඇදුම් ඉවත්කිරීමට දෙන නැකත අනුව රෙදි නැන්දා කෙනෙකු හෝ දැරියගේ මව විසින් දැරියට සෙත් පතමින් වස්ත්‍ර ඉවත්කිරීම සිදුකරන අතර දැරිය පැලද සිටි ආභරණ වල සිට සම්පූර්ණයෙන් වස්ත්‍ර ඉවත්කොට වෙනත් ඇදුමක් අන්දවයි.මෙම වස්ත්‍ර ඉවත් කරන වේලාවට සමාන්තරව දැරිය රැදවූ කාමරය ඉදිරියේ පුන් කලසක් තැන්පත් කරන අතර වැඩිහිටි කාන්තාවක් විසින් එම වේලාවටම කිරිබතක් ලිප තබයි.කිරිබත ඉදුන පසු එය අසල්වැසි නිවෙස් වලටද බෙදමින් දැරියගේ මල්වර වීම දන්වයි.
       4)දැරිය දොරට බස්නා නැකැත් දිනය එළබෙන තුරු කාමරයක ගත කල යුතු අතර මේ කාලය පිරිමින් නොදැකීම,ශබ්ද නගා කතා නොකිරීම,සුවද විලවුන් භාවිතා නොකිරීම,ස්නානය නොකිරීම,අහස දෙස නොබැලීම,හිසකේ පීරීම නොකිරීම,නියපොතු නොකැපීම,ආභරණ නොපැලදීම අනිවාර්‍ය වේ.එමෙන්ම ජලය පානය කිරීම දෝතින් ගෙන කළ යුතු හා ආහාර ගැනීම නැවුම් මැටි බදුනක කල යුතු බවට පැරණි නීතියක්ද ඇත.

                                     -------- මතු සම්බන්ධයි ------------

2 comments:

Anonymous said...

hungak diga vadi eva kastiya kiyavanava adui vage...habai vatinava

R.M Priyantha Wijepala said...

godak vatinava

Related Posts Plugin for WordPress, Blogger...