Tuesday, January 25, 2011

මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ.

මේ පෝස්ට් එක දාන්න අදහස දුන්නේ අපේ මාර උන්නැහේ තමයි.ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අමතරව වෘත්තීය මට්ටමේ අත්දැකීම් ගැනත් ලියන්න කියල තමයි උන්නැහේ කියල තිබුනේ.ඇත්තටම බ්ලොග් ලියන කියවන හා අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා තරුණ තරුණියන් නිසා මාරයාගේ අදහස ඉතා වටිනවා.
ජ්‍යොතිෂ පුවත්පතකට ලියනවා වගේ බ්ලොග් එකකට ලිවීම අසාර්ථකයි කියල තමයි මටත් හිතෙන්නේ.ජ්‍යොතිෂ පුවත්පත් කියවන බොහෝ දෙනෙකුට ඒ පිළිබදව වැටහීමක් ඇතත් බ්ලොග් අවකාශයේ එවැන්නන් සිටින්නේ ඉතා අතලොස්සක් පමනයි.ජ්‍යොතිෂයේ භාවිතා වන ලග්නාධිපති,ධනස්ථානාධිපති,නෛසර්ගික මිත්‍ර,ස්වක්‍ෂෙත්‍ර,යෝගකාරක වගේ වචන බොහෝ දෙනෙකුට අන්ඩර දෙමළ වගේ නුහුරුයි.එවැනි බරපතළ වචන ඇති ලිපි කියවීමට වැඩි පිරිසක් කැමතිම නැත.එනිසාම ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබද ලියැවෙන පෝස්ට් කිපයක් අතරට විටින් විට වෘත්තීය අත්දැකීම් ගැනත් ලිවීමට සිතුවෙමි.එවැනි ලිපි වැඩි පිරිසක් කියවනු ඇති බවට අදහස් කරන අතර එම කතා ඔස්සේම ජ්‍යොතිෂය පිළිබදවත් අප අවට සමාජ ක්‍රියාකාරකම්වලට ජ්‍යොතිෂයෙන් ඇතිවූ හා ඇතිවන බලපැම් පිළිබදවත්.මෝඩ හා මුග්ධ අයුරින් බඩ බැද ගැනීමක් නොකොට නියම අයුරින් ජ්‍යොතිෂය භාවිතා කළ යුතු අයුරු පිළිබදවත් පාඨක ඔබට වැටහීමක් ලබා දීමට මෙහි ලේඛකයා වන මම අදහස් කරමි.
    අත්දැකීම් ගැන ලියනවනම් ඉතින් ඉහේ කෙස් ගානටත් වැඩි අත්දැකීම් මේ වසර 32 ට මට ලැබිල තියෙනවා.ඉස්කෝළේ යන කාලේ වගේම අවුරුදු හතරක කැම්පස් ජීවිතේ ලබාපු අත්දැකීම් එමටයි.ඒත් ඉතින් මේක ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොග් එකක්නේ.මාතෘකාවට අදාලව එපැයි ලියන්න.ඒ හින්ද ජ්‍යොතිෂවේදියෙක්(හදහන් බලන්නෙක්) විදියට ලබපු අත්දැකීම් ගැන ලියන්න තමයි හිතන් ඉන්නේ.ලියන කොට හෑල්ල වගේ දිග්ගස්සන්නෙ නැතිව කෙටියෙන් ලියන්න තමයි සූදානම (ඉදල හිටල දිගු ලිපිත් ලියවෙන්න පුළුවන්.)එක පාරම සේරම ලියන්න බැහැ එතකොට අගේකුත් නෑනේ.ඔය මතක් වන සැරේට එකින් එක දාන්නම්කෝ.
    ඔන්න ඉතින් හා හා පුරා කියල මුලින්ම ලියන්නේ දිගුකාලීන මතකයට වැටුනු මෑත කාලීනව අත්දැකපු සිද්ධි දෙක තුනක් තමයි.ජ්‍යොතිෂය කරන අය වගේම අන් අයටත් මේ කියන්න යන කතා වලින් ඉගෙන ගන්න දේවල් තියේවි.


****************************************************************************
     ඔන්න දවසක් වයස අවු (50-55) ක විතර කාන්තාවක් හදහන් බලන්න ආවා.එතකොට අපේ තාත්තා තමයි හදහන් වැඩ කළේ මමයි අක්කයි තමයි ගෝලයෝ.එදා තාත්තාට උදවු කරන්න ලග හිටියේ මම,ආපු කාන්තාව පලාඵල බලන්න කියල කේන්ද්‍රයක් තාත්තා අතට දුන්නාය.ඒකේ තත්කාල,දශාතත්ත්ව ලකුණු කිරීම භාර කලේ මට.එදා හවස් වරුවක්.තාත්තත් හොදටම හෙම්බත් වෙලා හිටපු නිසා තත්කාල දශා ලකුණු කරගෙන මමම පලාඵල පැවසීම ආරම්භ කළා.
   "මේ කේන්දර් අයිති කෙනාට මේ වෙනකොට ගතවෙන්නේ සෙනසුරු මහ දශාවේ  ...... අතුරු දශාව,ශනි ඒරාශ්ඨක අපලයකුත් මේ වන විට ගත වෙනවා.සෙනසුරු මහ දශාවත් තියෙන නිසා ඒරාශ්ඨකයේ බලපෑම වැඩියි.කේන්දරේ බලන්න ආපු එක හොදයි.ශනි ඒරාශ්ඨකේට අමතරව තවත්  ........................  අපල වලට ප්‍රතිකර්ම විදියට බෝධි පූජා වගේ ආගමික කටයුතු කරල තව එතකොට.." මට කියන්නට ලැබුනේ එපමනකි.එක්වරම කාන්තාව වාඩි වී සිටි පුටුවෙන් වේගයෙන් නැගිට ඉතා උස් හඩින්
    "හහ් මම කරනවා මූට හොද බෝධි පූජාවක්...." යනුවෙන් පැවසීය.
   මාව ගැස්සී ගියේය.මේ ගෑනිට පිස්සුද?මට සිතිණි.මා තාත්තා දෙසද බැලුවෙමි.තාත්තා කිසි ගානක් නැතිව ඔහේ සන්සුන්ව  සිටී.
    "ඇයි නැන්දේ එහෙම කිව්වේ" මම හෙමින් සැරේ ඇසුවෙමි.
   මෙන්න එතකොට ආපසු වාඩිවෙලා කාන්තාව කතා කරන්නට විය.
    " නෑ ළමයො මට ටිකක් කේන්ති ගියා.මේ කේන්දරේ මගේ මිනිහාගේ. ඌ දැන් මාවයි දරුවො තුන්දෙනයි දාල වෙනින් ගෑනියෙක් එක්ක ගිහින් ඉන්නවා.මූ ලෝයර්ල අල්ලගෙන කපටි විදියට වන්දි ගෙවන එකත් මගහරින්න හදනවා.මමයි දරුවොයි ඉන්නෙ හරි අසරණ වෙලා.ගෙදරට හදහන් බලන්න ආපු කෙනෙක් කිව්වා මූව ලගදිම හිරේ විලංගුවෙ වැටෙන වැඩකට අහුවෙනවා කියල.ඒක ඇත්ත වුනොත් නම් හරිම හොදයි.ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න තමයි මම ආවේ."


දැක්කද සමහරු හදහන් බලන්න එන්නේ අමුතු විදියේ අදහස් උවමනා ඇතිව.


***************************************************************************
  මේ වගේම සිද්ධියක් තවත් වුනා
          ඔන්න කොළඹ පැත්තෙ ඉදල කාර් එකකින් ආව මැදිවයසෙ අම්මයි තරුණ දුවයි.අප්පා දෙන්නම හරි ස්ටයිල්,අර මූනේ පාට ජාති උලල කරන මේකප්ද මොකක්ද කිරිල්ල හරි ජාමෙට කරල.පළාතම සෙන්ට් සුවදේ බැහැ.අම්මා කියන විදියට දුවගෙ මහත්තයා ඉංජිනියර් කෙනෙක්.හරි ලෝභයිලු(ගෑනු දෙන්න ලෝභකම විදියට කිව්වෙනම් ඔය සාරි බාරි ගන්න සල්ලි දෙන්නෙ නැහැ වගේ කතා තමයි.)කොහොමත් මටයි තාත්තටයි දෙන්නටම තේරුණා වෙලා තියෙන්නේ මොකක්ද කියලා.ආපු උවමනාව මේකයි."බෑනගෙ ලෝභ කම මගහැරෙන්න ගුරුකමක් කරන්න ඕනලු"  .  
    "අපි ගුරුකම් කරන්නේ නැහැ කේන්දර බලන නැකැත් හදන වගේ වැඩ විතරයි කරන්නේ"කියල තාත්තා කිව්වා.

"ලෝභ කම යන්න ගුරුකම් " අනේ කරන්න පුළුවන් දෙයක්ද?


****************************************************************************


  "සංචාරක මගපෙන්වන්නෝ" ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.හොද කාක්කො තමයි.වැටකෙයියා පැළ ඕකිඩ් කියල ඩොලර් වලින් සුද්දන්ට විකුනපු ඔය ජාතියෙ අයියලා අපේ පැත්තේ ඉන්නවා.ඔන්න දවසක් මේ ජාතියෙ සත්ගුණවත් ගයිඩ් කෙනෙක් තව ඔය ජාතියෙම ත්‍රීවිල් රියැදුරෙක් එක්ක දවසක් මගේ ලගට ආවා.
   "මල්ලි ගෙස්ට් කෙනෙක්ගෙ පොඩි වැඩක් තියෙනවා.කේන්දරේ හදල පලාඵල බලන්න තියෙන්නේ "
  මම ඉතින් මෙයාලගේ හැටි දන්න නිසාම මෙහෙම කිව්වා.
   "මට වැඩේ කරල දෙන්න පුළුවන්.පිටරට සුද්දන්ගෙ කේන්දර හදන කොට ලංකාවේ වෙලාවට හරවල හදන ක්‍රමේ වැරදියි.හරි විදියට මට හදල දෙන්න පුළුවන්.ගෙස්ට්ව එක්ක එන්න.ඉංග්‍රීසි හොදටම බැරි වුනත් දන්න විදියට අතින් පයින් හරි කියන්න බැරියැ" 
   "මේකනේ මල්ලි ගෙස්ට් අද පොඩි ටුවර් එකක් යනවා.අනිද්දට ආපු ගමන් රැ ආපහු යනවා.ඔයා වැඩේ කරල තියන්න.සිංහලෙන් ලියන්න මට ට්‍රාන්ස්ලේට් කර ගන්න පුළුවන්.ඔයාගෙ ගාන කියන්න.මම ඒක ගෙස්ට්ගෙන් ඉල්ලල දෙන්නම්."
   මොවුන්ගේ වැඩ පිළිවෙල වැටහුනත් වෙන කරන්න දෙයක් නැති නිසා වැඩය භාර ගතිමි.ගාස්තුවද තරමක් වැඩිකර කීවෙමි.වැඩේද කර දුන්නේය.
    සති කීපයක් ගත විය.අර දෙන්නාගෙන් ත්‍රීවිල් රියදුරා හදිසියේම මා හමුවට පැමිනියේය
    "හරි වැඩේනෙ මල්ලි උනේ .ඔයාට මතකද අපි අර එදා ගෙස්ට් කෙනෙක්ගෙ වැඩක් කරන් ගියා.අර ගයිඩ් එදා ඔයාට දාහයිනෙ දුන්නෙ මිනිහ වැඩේ ගාස්තුව විදියට සුද්දගෙන් 20000 ක් අරගෙන" 


   පසුව කරුනු සොයා බැලීමේදී සියල්ල හෙළි විය. ගයිඩ් හා ත්‍රීවීල් රියැදුරු දෙදෙනාම එක්වී වැඩේ සිදුකලත් මුදල් බෙදා ගැනීමේදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී තිබේ.ත්‍රීවිල් රියදුරා මා සමග ඇත්ත කීවේ ඔහුට බලාපොරොත්තුවූ මුදල ගයිඩ් ගෙන් නොලැබුනු නිසාය.


*******************************************************************************


 " අනේ මල්ලි අපේ පුතා මොන්ටිසෝරිය ඇරෙන්නේ 11ට මට මේ වැඩේ ඉක්මනට කරල දෙන්න පුළුවන්ද?"
  
 එදා හදහන් වැඩ කිරීමට ටික දෙනෙක් තම වාරය එනතුරු සිටින විට හදිසියේ පැමිනි කාන්තාවක් පැවසුවාය.ඇගේ ඉලීලීම අනුව ඇයට පෙර පැමිණි කිහිප දෙනෙක් සිටියද ඇගේ වැඩය ඉක්මන්න් කර දී ඇයව පිටත් කලේය.ඈ ගිය විගසම වාගේ මගේ මව විසින් පැවසූ කුමක්දෝ හදිසි වැඩකට බැහැරට යන්නට සිදුවිය.පැමිණි සිටි අයට මා ඉක්මනින් එන බව පවසා පාපැදියෙන්ම පිටත් විය.පාරට බැස්ස විටම දුටු දසුනින් මා හොල්මන් විය.අර හදිසි බව කියමින් කළබල කොට පිටත්වූ කාන්තාව වැටක් අයිනට වී තවත් කාන්තාවක් සමඟ හොද කතාවක්ය.දැන්නම් කිසි කළබලයක් නැත.මා හට මැගේ ක්‍රියාවට යකා නැංගේය.ඈ අසලින් යනවිට උස්හඩින් "අක්කෙ අර මොන්ටිසෝරියෙ ඉන්න පුතා එක්ක එන්න යන්න ඕන කියල කිව්ව නේද?" ඇසීය.
  කාන්තාව මාව දුටුවේ එවිටය.හේ කලබල වුවත් එක්වරම
     "ආ මල්ලි අපේ මහත්තයා මේ දැන් කෝල් එකක් දාලා කිව්වනේ එයා පුතාව ගන්න යනවා කියලා." යනුවෙන් කීය.
 ඇය කීවේ පට්ටපල් බොරුවකි.එය මට හොදටම පැහැදිළිය.මා පුදුම වූයේ එයට නොව එම බොරුව ක්‍ෂණිකව ඇගේ කටට ආපු ආකාරයටය.


****************************************************************************

8 comments:

~:: My Cottage ::~ said...

ඔයාට comment එකක් දාන පලවෙනි වතාව මේ. විෂයේ සමහර වචන නොතේරුණත් ඉගෙන ගන්න තියන ආසාව නිසා ඔයාගේ ලිපි ඔක්කොම වගේ මම කියවල තයෙනවා. දිගටම ලියන්න. නවත්තන්න එපා.

මාරයාගේ හෝරාව said...

යකෝ මාත් හරියට වෙරංජාවෙ වස්සකාර වගේ උනානේ..
ආරාධනාව විතරයි සැලකුම් සුම්මා...
ඔං දැන් තමයි කියවන්න උනේ..හරිම අපූරු අත්දැකීම් ටිකක් ඔය එළියට එන්නේ..? ආන්න ඔහොම ලියාගෙන යං...
ඒ අතරෙ පරණි විදියට ලිපිවල අධ්‍යාපනික පසුබිමත් පවත්වාගෙන යං...
ඔබට ජය...

Sagara said...

මමත් හඳහන් බලන්න ඉගෙන ගන්න බොහොම ආසාවෙන් ඉන්නෙ. මේ වෙනකොට මම ඒ සම්බන්ධව ගොඩක් පොත් පත් අරගෙන උත්සහා කලත් හොඳ ගුරුවරයෙකුගේ උපදෙස් නැතුව ඉගෙන ගන්න අමාරුයි. මට හොඳ ගුරුවරයෙක් ගැන හා පංති විස්තර ලබාදෙන්න පුළුවන්ද. ස්තූතියි.

මාරයාගේ හෝරාව said...

පොඩි වැරදීමක් වස්සකාර නෙවෙයිනේ උදය බමුණා...
දැන්නේ සිහියට ආවෙ...

Sagara said...

ඒ සියළු බ්ලොග් මම ලියන එක නවත්වලා ගොඩක් කල්. ඔන්න මම ඒ POST ටිකත් මැකුවා. බොහොම පින් මට ඒක කියලා දුන්නට.

jhothishalanka said...

@sagara
මම විහිළුවක් කලේ.මම බැළුවෙ ඔයාට ඉවසීම තියෙනවාද කියලා.මම ඔයාට මම දන්න හොද කෙනෙක් ගැන කියන්නම්.ඔයාගේ ඊමේල් එක එවන්න.

jhothishalanka said...

@sagara
ඔයාගෙ ඊමේල් එක මට ලැබුණා.ඒකේ ආරක්‍ෂාවට මම පබ්ලිෂ් කළේ නැහැ.මම දන්න ජ්‍යොතිෂ ඇදුරො කීප දෙනෙක් ඉන්නවා.සමහරු හුගක් වයසයි.මම විස්තර හොයල දින කීපයකින් මේල් කරන්නම්

Sagara said...

ස්තූතියි.

Related Posts Plugin for WordPress, Blogger...