LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Friday, March 4, 2011

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

      මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න 
මල්වර වූ දැරිය නිවසේ කාමරයක තබා දොරට බැස්වීම කළ යුත්තේද සුභ නැකැත් දිනයකට අනුවය.ජ්‍යොතිෂවේදියා විසින් දැරියගේ උපන් නැකත ,මල්වර නැකත හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් විශේෂයන් සලකා බලා.මෙම දොරට බැසීමේ නැකැත් දිනය තේරිය යුතුය.
පුරාණ ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව මල්වර දිනයේ සිට තුන්වැනි,සිව්වැනි හෝ පස්වැනි දිනවල දොරට වැඩ ස්නානය කළ යුතු බව සදහන් වෙතත් වර්තමානයේ උත්සව සාද ගැනීමේ අවශ්‍යතා මත දැරියට සති කීපයක්ම ගෙට කර තැබීමට සිදුවේ.(අඩුම තරමින් දින තුනක් වත් ගෙට කළ යුතුය.)
  දැරිය ස්නානය කරවන දිනයේ සිදුකළ යුතු සම්මත චාරිත්‍ර කිහිපයකි.ලිපිය දීර්ඝ වීම වලකනු පිණිස ඒවා අනුපිළිවෙලින් දක්වා ඇත.
  1) සුභ නැකත් වේලාව ආසන්න වන විට දැරියගේ මව විසින් නිවසේ පෑල දොරින්(පිටුපස දොරින්) දැරිය නිවසින් පිටතට ගත යුතුය.නාවා අවසන් වන තුරු පිරිමින් දැකීම අගුණ නිසා නාවන ස්ථානයට රුගෙන යන තුරු දැරියගේ හිස ආවරණය කළ යුතුය.අනතුරුව කලින් තෝරා ගත් පිරිසිදු ස්ථානයක කිරි ගසක් යට ආවරණය කළ ස්ථානයකදී දැරිය ස්නානය කළ යුතුය.දැරියගේ මව විසින් ස්නානය කරවීම වඩාත් සුදුසුය.වර්තමානයේ රජක කුළ ස්ත්‍රීන් ලවා නෑවීම කළත් දැරියට සෙත් පැතීම සාර්ථකව සිදුකළ හැක්කේ දැරියගේ මවට පමණි.දැරියගේ මව නොමැති විට දරුවන් සිටිනා ඥාති නැන්දනියක නෑවීම කළ යුතුය.ස්නානයට ඖෂධ බෙහෙත් බඩු අළෙවි සැල් වලින් ලබා ගත හැකි අතර එකතු කර ගැනීමද කළ හැක.මෙම බෙහෙත් බඩු කකරා ගෙන නෑවීම කිරීමට සදහන්ව ඇතත් ඇතැම් විට මෙම බෙහෙත් දැරියන්ට අපත්‍ය(හිසේ කැක්කුම්) වීමට ඉඩ ඇති නිසා බෙහෙත් බඩු සියල්ල බෙහෙත් රෙදි කඩක ඔතා පෙරදින රාත්‍රියේ සිට වතුර කළයේ පෙගෙන්නට තබා උදෑසන නැකැත් වේලාවට නෑවීම කරන්න.
 ස්නානයට ඖෂධ
       දේවදාර,ඊතණ,වදකහ,වෙනිවැල්ගැට,බැබිල,කලාදුරු,සුවඳ කොට්ටම්,රත් හදුන්,සුදු හදුන්,අමු කහ,කොහොඹ කොළ
  මෙම ඖෂධ වට්ටෝරුද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වේ.


 2) දැරිය නහවා ගෙට ගැනීමද සිදුකරන්නේ චාරිත්‍රාණුකූලවය.නෑවීමෙන් පසු දැරියට සුදු ගවොමක් හෝ ළමා සාරියක් අන්දවයි.දැරිය ගෙට කැදවාගෙන එන මාවත(සඩංගම් වීදිය.) දෙපස කෙසෙල් කැන්,පළතුරු,වී සහල් ආදිය එල්ලා සශ්‍රීකත්වය සංඛේතවත් කරයි.දැරිය ගෙට ගොඩවන දොරකඩ ලඟ පොල්ගෙඩියක්,පැදුරක්,කණ්නාඩියක් පනාව හා වතුර බදුන ඇගේ දැකුමට තබයි.
 3) ගෙට ඇතුල් වූ පසු පළමුව බුදුන් වැද අනතුරුව ගෙයි මැද පැදුරක් එළා ඒ මත පුන් කළසක් ,වටේට පොල්තෙල් පහන් කිරිබත් කැවිළි ආදිය තබා දැරිය ලවා පුන් කලස නිරාවරණය කොට පහන් දැල්වීම කළ යුතුය.ඉන්පසු දැරිය ලවාම රෙදි නැන්දාට නියමිත තෑගි බෝග දී අනතුරුව දෙමාපියන්ට බුලත් දී දෙපා වැද ආශීර්වාද ගත යුතුය.අනතුරුව දැරිය විසින් තමන්ගේ වැඩිමහළු ඥාතීන්ට බුලත් දී වැද ආශීර්වා ලබා ගනී.ඥාතීන්ද දැරියට තෑගි බෝග වලින් සංග්‍රහ කරයි.
 4) අනතුරුව දැරියගේ පවුළේ ඥාතීන් සමඟ එක මේසයක වාඩිවී එදිනට නියමිත කෑම වර්ගයක් පළමුව දැරියට කෑමට දිය යුතුය.ස්නානයෙන් පසු දැරියට දෙන මෙම පළමු ආහාරය මාංශ වලින් තොර විය යුතුය.මෙම පළමු ආහාරය ගැනීමද සුභ නැකතකට කළ යුතුය.
 5) අනතුරුව එදිනට නියමිත වර්ණයෙන් යුත් අළුත් ඇදුමක් දැරියට අන්දවා හිත ඥාතීන්ට සංග්‍රහ කිරීමට ඈ විසින්ම ආරාධනා කරවීම කළ යුතුය.එදින ඇගේ සිත සතුටු වන අයුරින් උත්සව සිරියෙන් ගත කිරීම වඩාත් සුදුසුය.
                   විවාහ චාරිත්‍ර 
          
පොරොන්දම් බැලීම
 විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීම පිළිබදවය.දෙපාර්ශ්වයේම අය තමන්ගේ පවුලේ දෙදෙවඥයා හෝ දෛවඥයන් ලවා පොරොන්දම් බැලීම සිදු කරයි.දෙපාර්ශ්වයම පොරොන්දම් ගැලපීම පිළිබදව සෑහීමට පත්වන්නේනම් දෙවන පියවර වන්නේ පවුල බලන්නට යාම හෙවත් "බත බුලත් කෑම"යි.
       
පවුල බලන්නට යාම(බත බුලත කෑම)
 පළමුවෙන්ම මනාළයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවසට පැමිණීම සිදු කරයි.මනාලිය මනා ලෙස සැරසී බුලත් හෙප්පුවක් රුගෙන මනාළයා ප්‍රමුඛ මනාළ පාර්ශ්වයේ ඥාතින් හමුවට පැමින ආචාර කරයි.මනාලිය විසින් බුලත් හෙප්පුව පිළිගැන්වීමේ ස්වරූපයෙන් ඇගේ ගති ස්වභාවය තීරණය කිරීමට පැරැන්නෝ පුරුදුව සිටියත් මනාළියව ඒ සදහා සුදුසු ලෙස උගන්වා හැඩ ගැස්විය හැකි නිසා සෙප්පුව පිළිගැන්වීමෙන් චරිතය නිගමනය කිරීම වර්තමානයට ගැලපෙන්නේ නැත.
  අනතුරුව සිදු කරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යාමයි.මෙහිදී මනාලිය එම ගමනට සහභාගී නොවේ.


නැකැත් සෑදීම
  මනාළ මනාළිය දෙදෙනාගේ වයස රූපය තත්ත්වය අදහස් ගැලපීම මෙන්ම දෙපාර්ශ්වයේ තත්ත්වය (ආගම,කුලය,ධනය,බලය,ඥාතීන්,හැදියාව ආදිය) ගැලපේ නම් ඊලඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කීරීමය.සම්ප්‍රධායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනාළ පාර්ශ්වයෙන්ය.මනාළ පාර්ශ්වයෙන් එම නැකැත් පත්‍රය මනාළියගේ පාර්ශ්වයට භාර දෙන අතර එම නැකැත්වල දෝෂ අඩුපාඩු ඇත්දැයි මනාළියගේ පාර්ශ්වයෙන් පරීක්‍ෂා කර බලයි.
  විවාහයේදී විශේෂයෙන් සලකා බලන ප්‍රධාන නැකැත්
 පූර්ව මංගල නැකැත්
 1) මනාළ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාළි පාර්ශ්වයට භාරදීම
 2)දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන්ම මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම)
 3) තෙල් වළං ලිප තැබීම.


 මංගල දිනයේ නැකැත්
 4) මනාළ මහතා නිවසින් පිටත්වීම
 5)මනාළියට තැල්ල බැදීම/වේල් එක දැමීම
 6)මනාළයගේ පැමිණීම
 7)මංගල පෝරුවේ නංවා චාරිත්‍ර ඉටුකිරීම(සළු පැලදවීම ආදිය)
 8) පෝරුවෙන් බැසීම
 9) පොතේ විවාහය සිදුකිරීම(විවාහය ලියා පදිංචි කිරීම)
 10)මගුල් මඩු ඉදුල් කිරීම
11)යුවල පිටත්වීම


 පසු නැකැත්
12)ජෝඩුව පසුගමන් පිටත්වීම
13)මනාළ යුවළ නිවසට ගොඩ වැදීම

  1) මනාළ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාළි පාර්ශ්වයට භාරදීම   
         ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑ කමින් සිදුකළ චාරිත්‍රයකි.සෙත්කවි ශලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාළියගේ පාර්ශ්වය ඉදිරියේ කියවීමද විශේෂත්වයකි.කවිකතා වලින් වර්ණවත් වූ විවාදාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහද හමුවක් වැනිය.වර්තමානයේ මෙම චාරිත්‍රය ගන්නේම නැති තරම්ය.


 2)දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන්ම මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම)
    මෙයද සුවිශේෂී චාරිත්‍රයකි.මේ සදහා තෝරා ගන්නේ තමන්ට ඉතාමත් හිතවත් විශ්වාසදායි සමීපම පවුලේ ඥාතියකුය.බුලත් දීම සිදු කරන තුරු මංගල දිනය අන් අයට දැනුම් නොදීම ඉපැරණි ක්‍රමය වුවත් වර්තමානයේ මංගල උත්සව හෝටල් වල ගැනීම ආදී විසිතුරු වැඩ නිසාම අන්දන කෙනාට පොටෝ ගසන්නාට ආදින්ට සැමටම පෙර මගුල් දිනය දැන්වීමට සිදුවේ.එනමුත් බුලත් දී චාරිත්‍රාණුකූලව කෙරෙන කාර්යයට ඉන් පීඩාවක් නැත.

3) තෙල් වළං ලිප තැබීම.
    නැකැත් දිනය ආසන්න වන විට දෙපාර්ශ්වයේම අය මංගල්‍යයට කැවිළි සෑදීම සදහා නැකතට තෙල් වළං ලිප තබයි.


 මංගල උත්සව දිනට පෙර දින මනාලයාගේ නිවසෙන් බුලත් කොල යම්කිසි ප්‍රමාණයක් මනාලියගේ නිවසට යවයි. මෙයින් කියවෙන්නේ මේ බුලත් කොල ගණනට සමාන පිරිසක් මංගල උත්සවය සඳහා මනාලයාගේ පාර්ශවයෙන් සහභාගි මන බවයි


 මංගල දින චාරිත්‍ර
   * මනාළ මහතා නිවසින් පිටත්වීම
     මංගල දිනයේදී මනාළ මහතා මනාළියගේ නිවසට යාමට තම නිවසින් පිටත්වන්නේ සුභ නැකතකටය.මනාළයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙරමඟට පැමිණේ.
    මලින් සරසන ලද මංගල රථයට මනාළයා සමග දෙවන මනාළයාද ගොඩවන අතර අනිත් ඥාතීන් වෙනත් වාහන වල මංගල රථයට පසුපසින් පැමිණේ.
     සමහර මනාලයන් නිවසින් පිටවීම සඳහා නැකැතක් නොබලයි. නමුත් මනාලයාට මේ අවස්ථාව තම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් බැවින් ඒ සඳහා නැකැතක් බැලීම අත්‍යවශ්‍යයය.සමහර අවස්ථාවලදී මනාලයා නිවසින් පිටවී යන නැකැත එළඹෙන අවස්ථා‍ෙව්දී මනාලයාගේ පවුලේ අය සූදානම් වී නොසිටියි.සමහර විට මනාලයා නිවසින් පිටවීමේ නැකත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය කරා ළඟාවිය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී.මේ අවස්ථා දෙකම නිසා සිදු වන්නේ මනාලය‍ා නිවසින් පිටවීමේ නැකැතට නිවසින් පිටවී මිදුලට වී පැය ගණනක් බලා සිටීමය.
සිදුවිය යුත්තේ මෙය නොවේ. මෙය නැකත පිළිපැද්දා යයි පවසා සිත සනසා ගැනීමට දරන උත්සාහයකි.
නැකත ඇත්තේ පවුලේ සියළු දෙනා සමඟින් නිවසින් පිටවී යාමට මිස නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටවීමට නොවේ.මෙයින් මනාලයා කලකිරීමට පත්වීම, වෙහෙසට පත්වීම ආදියද සිදුවේ.
එමෙන්ම වර්තමානයේ බොහෝ මංගල උත්සව මනාළියගේ නිවසේ නොගෙන හෝටලවල ගන්නා නිසා මනාළිය පිටත්වීමේ නැකතක්ද නැකැත් පද්ධතියට එකතු වී ඇත.

මනාළයාගේ පැමිණීම
   මනාළියගේ නිවසට ඇතුළු වීමට ප්‍රථම මනාළ මහතාගේ පියා විසින් මනාළියගේ නිවසට ගොඩවැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස් කර මනාළියගේ දෙමාපිය ඥාතීන් පිරිනමා තම පිරිසට නිවසට පැමිනීමට අවසර පතයි.දෙපාර්ශ්වය අතර සම්ප්‍රධායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතින් යුතුව නැකැත් වේලාවට මනාළයා ප්‍රමුඛ ඥාතින් මනාළියගේ නිවසට ගොඩ වදී.වර්තමානයේ හෝටල් වල උත්සව ගැනීම නිසාම මේ චාරිත්‍රයේ ප්‍රායෝගික වින්දනය යටපත් වී ඇත.


  මල් කළඹ පිළිගැන්වීම
       මනාළයා නිවසට ගොඩ වැදීමට පෙර රථයෙන් බැස මනාළියගේ නිවසට එන දෙවන මනාළයා විසින් මල් කළඹ මනාළිය අතට දී නැවත පිරිසට එකතුවේ.


පාවඩ එලීම
   මනාළයාගේ පැමිණීමට මනාළි පාර්ශ්වයේ හේනේ මාමා විසින් පාවඩ එලීම සිදු කරයි.හේනේ මාමාගේ හිත සතුටු කිරීමට මනාළයා විසින් යම් මුදලක් පාවඩය මතය දමයි.මෙම තෑගි මුදල "පාවඩ මස්ස " ලෙස හැදින්වේ.


දෙපා සේදීම 
 මනාළියගේ බාල මළනුවන් විසින් මනාළයාගේ දෙපා සෝදා ගෙට ගැනීමේ පැරණි චාරිත්‍රයක් ඇත.මනාළියගේ මළනුවන්ට මනාළයාගෙන් ලැබෙන තෑග්ග රන් මුදුවකි.


පිළිගැනීමේ ගීත ගයා මනාලයා පිළිගැනීම හා අනතුරුව දෙමාපියන් විසින් මනාළයාව චාරිත්‍රාණුකූලව පිළිගැනීම.


මංගල පෝරුවේ නැගීම
  පෝරුව සකස් කිරීම ප්‍රදේශ අනුව විවිධාකාරවේ.පෝරුවේ සිව්කොණේ පුන් කළස් තබා ඒ මත පොල්බල් බහා මැටි පහන් හතරක් තබයි.(සතර වරම් දෙවි පහන්) පෝරුව මතුපිට පැදුරක් එලා ඒ මත සුදු රෙද්දක් එලා ඒ මත නොපෑගෙනසේ කැකුළු සහල්,ලද පස්මල් බුලත්,පඩුරු ආදිය අතුරයි.මීට අමතරව මංගල සම්මත වස්තුන් තැන්පත් කිරීමද පුරාණ චාරිත්‍රයකි.
  සුභ නැකැත් වේලාව ආසන්න වන විට මනාළ යුවළ ස්වකීය මාමා වරු අතින් අල්ලා පෝරුවට නැංවීම කරණ අතර අදාළ චාරිත්‍ර විධි දත් මහතෙකු විසින් පෝරුවේ චාරිත්‍ර ඉටු කරයි.


 පෝරුවේදී ඉටුකරන ප්‍රධාන චාරිත්‍ර
   ත්‍රිවිධ රත්න නමස්කාර
   සතර වරම් දෙවියන්ට පහන් දැල්වීම.
   දෙවියන්ගෙන් අවසර පැතුම
   යුවළ පෝරුවේ නැංවීම
   උතුම් දළුවර පිදීම
   අශ්ඨක කියවීම
  මංගල මුදු පැළදවීම
  සළු පිළි දැවටීම
  අතැගිළි බැදීම
  පැන් වැඩීම
  ජයමංගල ගායනා
  පෝරුව ඉදුල් කිරීම
  හඟල හුරුළු පිදීම
  කච්චි කිරිකඩ පිදීම
  බුලත් හුරුළු ගෙන සුභ පැතීම
  පොරුවෙන් බැස්සවීම හා ඒ සමගම ශබ්ද පූජා පැවැත්වීම(මගුල් බෙර සක් පිඹීම පොල් ගෙඩියක් බිදීම)


 පොල්තෙල් පහන දැල්වීම 
   පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන්ම කරනුයේ චාරිත්‍රාණුකූල පොල්තෙල් පහණ දැල්වීමය.


 කිරිබත් කෑම
      පුරාණයේ සිටම සුභ කටයුතු කිරීමේදී කිරි මිශ්‍ර ආහාරයක් ගැනීමේ චාරිත්‍රයයි.වර්තමානයේ මෙය කේක් කැපීම ලෙස කල එළි බැස ඇත.


 පොතේ විවාහය (විවාහය නීත්‍යානුකුලව ලියාපදිංචි කිරීම)
    මෙම කටයුත්ත ඇතැම් විට පෝරුවේ නැගීමට පෙර මෙන්ම පසුව කරන අවස්ථා ඇත.වර්තමානයේ විවාහය ලියාපදිංචි කිරීම මංගල දිනයට පෙර සුභ දිනයක නැකතට සිදු කිරීම බහුල වුවත් පුරාණයේ මෙම කටයුු සියල්ල කළේ එකම දිනයකදීය.


මගුල් මඩු ඉදුල් කිරීමද චාරිත්‍රාණුකූලව සුභ නැකතින් සිදු විය


 සුභ නැකතට යුවළ පිටත්වීම
    මංගල සභා ආදිය පැවැත්වීමෙන පසු ඥාතීන්ගේ ආශීර්වාදය මත යුවළ සුභ නැකතින් මධු සමයට පිටත්වේ.


දෙවන ගමන 
   මනාළ යුවළ මධු සමය ගතකොට පසුදා උදෑසන රෙදි නැන්දා සමග මනාලයාගේ මව යුවළ විසූ කාමරය වෙත පැමිණේ.පෙරදින පෝරුවේදී මනාළියගේ ඉන දැවටූ සුදු පිරුවටය මධු සමයේදී ඇගේ චරිත ශුද්ධිය ඔප්පු කිරීමට භාවිතා කරයි.මනාළයාගේ මෑණියන් විසින් එය පරීක්‍ෂා කොට මනාළියගේ චරිතය පිළිබදව සතුටට පත්වේ නම් එම සුදු පිරුවටේ කොණක මුදලක් ගැට ගසා රෙදි නැන්දා වෙත ලබා දෙයි.අනතුරුව රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කොට දෙවන මනාලයා අත රතු රෝස මලක් දී මනාළියගේ නිවසට ගොස් එය දන්වයි.මනාළියගේ පාර්ශ්වයේ අයද ඔහු ආදරයෙන් පිළිගෙන රබන් ගසා මනාළියගේ පාර්ශ්වයද සතුට පළ කරයි.අනතුරුව මනාළියගේ පාර්ශ්වය දෙවන ගමනට මනාළයාගේ නිවසට පිටත්වේ.(කදමළු රුගෙන යාම)
  මනාළ යුවළ සුභ නැකතින් පිටත්වී මනාළියගේ පාර්ශ්වය සමග මනාළයාගේ නිවසට පැමිනෙන අතර මනාළයාගේ මව්පියන් විසින් යුවළ ආදරයෙන් පිළිගනී.දෙවන දිනයේදී මනාළිය සැරසී සිටින්නේ පොරුවේදී ලද සළු පිළි වලිනි.පාරිශුද්ධ දියණියක් තමන්ට ලබා දීම පිළිබදව මනාළ පාර්ශ්වයේ දෙමව්පියන් මනාළියගේ දෙමව්පියන්ට චාරිත්‍රාණුකූලව කෘතඥතාව පළ කරන අතර තම දියණිය අද සිටම නුඹලාගේම දියණිය මෙන් සෙනෙහසින් රැකබලා ගන්නා ලෙස හෙළ සිරිත් චාරිත්‍රාණුකූලව මනාළියගේ දෙමව්පියන් බුලත් හෙප්පු තෑගි බෝග හුවමාරුවෙන් සිදු කරයි. 

   

11 comments:

  1. ඕව නොකලොත් මොකද වෙන්නේ ?

    ReplyDelete
  2. මෙච්චර ඉක්මනට කියෙව්වද?මේ අපේ හෙළ චාරිත්‍ර මේවා කරන්නෙයි කියල නියමයක් නැහැ.ඒ වුනාට පාරම්පරිකව ආපු හෙළ චාරිත්‍ර නිසා ඉදිරියට ගනියන්න ඕන අපි තමයි.

    ReplyDelete
  3. මගෙ අම්මෝ.....කොච්චර දේවල් තියනවද කරන්න.අර මල් කලඹ මනමාලිට දෙන එක කලින් දවසෙ කරන සීන් එකකුත් තියනවද?නොදන්න දේවල්නම් ගොඩක් දැන ගත්ත.තැන්කූ සහෝ....

    ReplyDelete
  4. හ්ම් ඒ කතාව නම් හරි තමා ..ඒත් සමහර චාරිත්‍ර නම් මට නම් පිස්සු වගේ (ඒක ඉතින් මගේ මතය විතරයි ) සහෝදරයගෙ කමෙන්ට් ගොඩක් දැකල තිබුනත් බ්ලොග් එක දැක්කෙ අද

    ReplyDelete
  5. නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.. ස්තුතියි..

    ReplyDelete
  6. හ්ප්පුච්චේ.......මෙව්වා කොරන්නම ඕනද?
    අපේ අමට නම් මේවා මම පෙන්නනේ නෑ

    ReplyDelete
  7. මේව ගැන අපේ උදවියට දැනගන්න ලියන එකම ඔබට පිනක්. අනිත් දේ තමයි මල්වර චාරිත්‍ර ගැන අද සමාජයේ ඉතාම විහිලු සහගත අදහස් තියෙන්නෙ. දොස්තර මහත්වරු පවා මේවා හෑල්ලු කරනවා. අපේ අතීතය මේ සිරිත් නිර්මානය කරල අපිට දුන්නෙ නිකන් ඉන්න බැරුවට නෙවෙයි කියන එක නම් අපි තේරුම්ගන්න ඕනෙ. අපේ ජීවිතවලට මේව ගොඩක් බලපානවා

    ReplyDelete
  8. මම මෙහෙම සිදුවීමක් අත් දැකලා තියනවා .

    දවසක් මම ගිය මගුල් ගෙදරකදී . අෂ්ඨක කියන කොට පෝරුව උඩ හිටි මනමාලි කලන්තේ දාලා වැටුනා . ඊටපස්සේ ඕක දිගටම ඇදිලා ගිහින් කට්ටිය ගුටි බැට දීගෙන . මගුල අවසන් උනා ...ඇයි එහෙම පෝරුවේදී කලන්තේ හැදෙන්න හොඳ නෑද්ද ? ..

    මගේ පොරොන්දම් ගැලපෙනවද කියලා මම හොරෙන් තමයි බලන්න හිතා ගෙන ඉන්නේ .

    ReplyDelete
  9. මේ විවාහ චාරිත්‍ර ටිකක් විතර අඩුකරල කරන ක්‍රමයක් හෙම නැද්ද? දෙපාර්සවයම එකග නම් ඒක එහෙම කරගන්න පුඵවන් වේවිද? පළවෙනි දවසෙ මේක කියවන්නත් නික0 බයයි වගේ දැනුණ..සමහර විට මේ ඔක්කොම දන්න අය දැන් නැතුවත් ඇති කියල හිත හදාගත්ත...

    ReplyDelete
  10. කට්ටියම එක්ක මේ පෝස්ට් එකත් බලන්න. පොරොන්දම් බලවගන්න ඉස්සර වෙලා.
    එම්. එම්. රෝහණ වසන්ත 0714161082

    http://kendaralk.blogspot.com/2009/06/blog-post_12.html

    ReplyDelete
  11. @හිස් අහස
    මනමාලිව පෝරුව මතදී කලන්තෙ දමන්නේ ඇගේ චරිතය අපිරිසිදු වී ඇති විට බවට පැරණි මතයක් ඇතත් මෙය මිත්‍යා මතයක් පමණි.වර්තමානයේ උත්සව ගැනීම හෝටල් වල සිදුවන නිසා හා වෙනත් හේතු නිසා මනාලිය ඇද පැලදගෙන පෝරුවේ නගින වේලාව වනතුරු ඉතා විශාල කාලයක් ගතකරනවා.ඒ වගේම පෝරුව සකස් කළ යුතු වන්නේ හොදින් වාත්‍රාශය ලැබෙන සුවදායි තැනක.හෝටල් වල දී පොටෝ ගැසීම අවශ්‍යතාව හා දල්වන ලද පහන් නිවීම නිසා පෝරුව වේලාවට අධික විදුලි ආලෝක දල්වා විදුලි පංකා නිවා දමනවා.ඒ වගේම පෝරුව අසල විශ්ල පිරිසක් ගැවසීම නිසා ඒ අවට කාබන්ඩයොක්සයිඩ් වැඩි වෙනවා.ඉතින් කලන්තෙ නොදා ඉදීද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...