Saturday, June 11, 2011

සුභ නැකැත් සෑදීම 1

              සුභ මුහුර්ත හෙවත් "සුභ නැකැත්" පිළිබදව විස්තර කිරීම එක් ලිපියකින් කළ හැකි කාර්්‍යයක් නොවේ.නමුත් සුභ නැකැත් පිළිබදව වැටහීම ජ්‍යොතිෂවේදියාට පමනක් සීමා විය යුතුද නැත.සුභ නැකැත් තේරීම පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කල යුතු වුවත් සුභ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන අනුගමනය කෙරෙන ක්‍රම පිළිවෙත් ගැන සරල වශයෙන් හෝ අවබෝධයක් ලබාගෙන සිටීම කවදා හෝ ප්‍රයෝජනවත් වනු ඇත.

   සුභ කටයුතු සදහා නැකැත් සෑදීමේ ක්‍රම දෙකක් ජ්‍යොතිෂයේදී පෙන්වා දී ඇත.
   1) මහා නක්‍ෂත්‍ර ක්‍රමය
   2) චූල නක්‍ෂත්‍ර ක්‍රමය.

  මහා නක්‍ෂත්‍ර ක්‍රමය
        මහා නක්‍ෂත්‍ර ක්‍රමයේදී ජීවිතයේ වටිනා වැදගත් විශේෂ අවස්ථා(විවාහය,නිවෙස් ඉදිකිරීම ආදිය) සදහා කල්වේලා ඇතිව ඉතා සුපරික්‍ෂාකාරී ලෙස සාදා ගන්නා නැකැත් ක්‍රමයි.
  මෙහිදී අනිවාර්යයෙන්ම යෙදී තිබිය යුතු ශුභ කරුණු පහත දැකවේ.(ලිපියේ කරුණු හොදින් තේරුම් ගැනීමට මෙම ශුභ කරුණු යෙදෙන ආකාරය පිළිබදව සවිස්තර දැක්වීමක් අවශ්‍ය වුවත් මෙම ලිපිය ලියන්නේ සුභ නැකැත් හැදීම පිළිබදව හදුන්වා දීමක් පාඨක ඔබට ලබා දීමට නිසා එම සවිස්තර දැක්වීම් ලිපියේ සීමාව ඉක්මවයි.එබැවින් පහත විස්තර වල දැක්වෙන අමුතු අමුතු වචන ගැන මේ අවස්ථාවේ වැඩිය කලබල නොවන්න.ඉදිරි ලිපිවලින් එම අපහසුතාවද මඟ හැරේ.)
 1)යෙදෙන නැකැත් වේලාවට අදාළ නැකැත ජන්මියාගේ උපන් නැකතට සීහිය(සුභ) විය යුතුය.
    2) පඤ්චාංග ශුද්ධිය තිබිය යුතුය.
    3)උදය කාලය වීම (හිරු මුදුන් වීමට පෙර කාලය)
    4)තත්කාල ග්‍රහචාරය බලවත් වීම
    5) ශුභ හෝරා පංචම කාල හෝරා තෝරා ගැනීම
    6)ශුභ දිශාව,සදු සිටින දිශාව විමසීම
    7) පක්‍ෂියා බලවත්(රජ,භෝජන,ගමන) වීම
 අත්හළ යුතු අසුභ අවස්ථා පහත දැක්වේ
  1)සුභ නැකතක් ලෙස ඇතත් ජන්මියාගේ උපන් නැකතට ඉතා අසුභ නැකැත්
    2)දස මහා දෝෂ
    3)කෝණ මාස,සංක්‍රාන්ති,ග්‍රහණ,ධූම කේතු
    4) අසුභ හෝරා විෂ පංචම කාලය
    5) රාහු කාලය
    6)මරු සිටින දිශාව 
    7) පක්‍ෂියා නිදි මර අවස්ථා
    8) විෂ කලාව(ශරීරර සම්බන්ධ කටයුතු වලදී)
   


  චූල නක්‍ෂත්‍ර ක්‍රමය.
       කල් නොදමා කල යුතු මෙන්ම හදිසියේ අනිවාර්යෙන් කිරීමට යෙදෙන කටයුතු (සම්මුඛ පරීක්‍ෂණ,විභාග ආදියට පිටත්වීම ආදී..) සදහා සුභ වේලාවන් තෝරා ගැනීමට මෙන්ම ජන්ම කේන්ද්‍ර නොමැති අයට සුභ නැකැත් සෑදීමට යොදා ගන්න ක්‍රමයයි.
     මෙහිදී පඤ්ච පක්‍ෂි ක්‍රමය,කේවල සිද්ධි යෝග,සිවලිත මුහුර්ත,ඵන්ථාන චක්‍රය,අෂ්ඨ මාංශ හෝරා චක්‍රය,අටවිසි මහා යෝග චක්‍රය ආදී ක්‍රමෝපායන් රාශියක් භාවිත කරයි.


 පූර්වාචාරීන් විසින් මෙලෙස මහා හා චූල නක්‍ෂත්‍ර ක්‍රම දක්වා ඇති අතර සේවා දායකයාගේ අවශ්‍යතාව අනුව සුභ දායක අයුරින් මුහුර්ත සකසා දීම ජ්‍යොතිෂවේදීයාගේ යුතුකමකි.වර්තමානයේ සමාජ ආර්ථික ක්‍රම රටාවන් හා මිනිස් අවශ්‍යතා අනුව සලකා බලන විට සුභ නැකැත් තේරීමේදී ජ්‍යොතිෂවේදීන් ඉමහත් අසීරුතාවලට මුහුණදේ.එවැනි අවස්ථා අනුව බලන විට පැරණි පොත්පත්වල දැකවෙන සිද්ධාන්තානුකූලව සුභ නැකැත් සෑදීම ඉතා අසීරුය.මහා නක්‍ෂත්‍රය ඇතුලේ චූල ජ්‍යොතිෂ ක්‍රමත් චූල නක්‍ෂත්‍රය තුල මහා නක්‍ෂත්‍ර යෙදීමත් සිදුවන අවස්ථා ඇත.ඇත්තටම සුභ නැකැතක් සෑදීමට ජ්‍යොතිෂවේදීන් විඳිනා දහ දුක දන්නේ අපි වැනි ජ්‍යොතිෂය රැකියාවක් ලෙස කරන අයයි.බොහෝ අය එය පිරිත් නූලක් ගැට ගසන තරමේ පහසු වැඩක් ලෙස සිතුවත් සුභ නැකැත් සෑදීම මහා භාරදූර කාර්යයකි.තමා විසින් සාදන විවාහ නැකත ,ගෙවල් නැකත ආදියෙහි සාර්ථක ප්‍රතිඵල දැකීම ජ්‍යොතිෂවේදියා නිතරම බලාපොරොත්තුවේ.සුභ නැකතක් අසාර්ථක වූ විට සේවා දායකයා මෙන්ම ජ්‍යොතිෂවේදියාද අසීරුතාවට පත්වේ.ජ්‍යොතිෂවේදීන් වන අපි සාදන සෑම සුභ නැකතක්ම එක ලෙස සාර්ථක වන්නේ නැත.(ඒ සදහා විවිධාකාර හේතූන් බලපායි.).එසේ හදන හදන හැම නැකතක්ම සාර්ථක වූවා නම් මේ රටේ  හැම තැනම ගෙවල්ය.දික්කසාද වීම් වැන්දඹු අනාථ වීම් නැත.ලියන ලියන සෑම විභාගයකින්ම යන යන සෑම සම්මුඛ පරීක්‍ෂණයකින්ම හැමෝම සමත් විය යුතුය.කොටින්ම ලෙඩක් දුකක් කරදරයක් නැතිව අවු 120 පරමායුෂ විදීමට හැකි විය යුතුය.
  තමා ළඟට පැමිනෙන සේවා දායකයාගේ අවශ්‍යතාවය අනුව සුභ නැකැත් තේරීමේදී මතුවන අපහසුතාවන්ට හැකි උපරිම සාර්ථක අයුරින් මඟ හරවා ගනිමින් සුභ නැකත සාදා දීම අප සතු යුතුකමක් වුවත් වර්තමානයේ සමාජ ආර්ථික හා වෙනත් මිනිස් අවශ්‍යතාවන් අනුව නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂවේදීන් මුහුණ දෙන ගැටළු රාශියකි. ඒ පිළිබදව පාඨක ඔබට වැටහීමක් ලබාදීම මෙන්ම සුභ නැකැතක් සෑදීමට ජ්‍යොතිෂවේදියකුගේ සේවය ලබා ගැනීමේදී තමාගේ අවශ්‍යතාවයන්ට වඩා ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට ගැලපෙන අයුරින් නැකත සෑදීමට අවශ්‍ය නිදහස ජ්‍යොතිෂව්දියාට ලබාදිය යුතු බවත් දැක්වීමට ඉහත විස්තරය කරන ලදී.
   මා වෙතට නැකැත් සෑදීමට පැමිණි කිහිප දෙනකු ඔවුන්ගේ  අවශ්‍යතා  අනුව නැකැත සෑදීමට ඉල්ලීම් කළ අවස්ථා කීපයක් පහත දක්වා ඇත.

 * "මනමාලිගේ අයියා වැඩ කරන්නේ එංගලන්තෙ එයාට නිවාඩු තියෙන්නේ මාර්තු අග ඉදල අප්‍රේල් මුල දක්වා මාසයක් විතරයි.අපිට මංගල නැකැත් හදන්න ඕන අන්න ඒ කාලෙට"

 * "අපේ ලොකු දුවගේ උත්සවේ ගත්තේ අහවල්...... හෝටලය්.අගෝස්තු පාසැල් නිවාඩුවට අපි මංගල උත්සවේ ගන්න හිතන් ඉන්නේ.අපි ආසයි පොඩි දුවගේ උත්සවේත් ඒ හෝටලේම අරගන්න.හෝටලේ බුකිං වෙලා තියෙන දින අපි ලියාගෙන ආවා.ඒ දින අතෑරලා හොදම නැකැත් දිනයක් තෝරලා දෙන්න."

 * "කලින් දුන්නු නැකැත් දිනවල ෆොටෝ ගහන කෙනාටයි අන්දන කෙනාටයි දින වෙන් වෙලා වෙනින් හොද දිනයක් බලන්න බැරිද?"

 * "හපොයි.හැම තැනම හෝටල් අර කිව්ව නැකැත් දවසට බුකිං.වෙනින් දිනයක් බලන්න."

 * "මගේ ගේ හදන්න උදවු කරන්නේ සුද්දෙක්.(විදේශිකයෙක්).ඌ ලබන ඉරිදා රට යනවා.මිනිහ කියන්නේ ඉරිදට කලින් ගෙට අත්තිවාරම දාන්න කියලා.සුද්දා රට යන්න කලින් ඌට පේන්න අත්තිවාරම දාන්න ඕන.නැත්නම් සුද්දගෙන් ඉදිරි වැඩ වලට සල්ලි ගන්න බැහැ.කෝණ මාසේ වුනාට කමක් නෑ මේ සතියෙ තියෙන හොදම නැකත ගන්න."

 * "මගේ ගාව තියෙන්නේ 30000 යි..ඒ වුනාට ඔයා මට හදල දෙන්න ඕන අතට සල්ලි ලැබිලා ගේ ඉක්මනට හැදෙන නොම්බර එකේ ගෙවල් නැකතක්."

 * "ගේ හදන්න හදන ඉඩම මුඩු බිමක් ඒක හිස්ව තිබුනොත් රජයට ගන්නවා.ඒ හින්ද ඉක්මනට මොකක් හරි අටවන්න ඕන."

 * "අනේ මල්ලි මේ කාලේ සුද්දො ඉන්න හින්ද වැල්ලෙ විසිතුරු බඩු,රෙදි කඩයක් දාන්න හදන්නේ.ලබන සතියෙ තියෙන හොද නැකතක් දෙන්න."

 * "නුවර පෙරහැර සතියෙ කානිවල් එකට් දාන්න හොද නැකතක් ඕන කරනවා.පෙරහැර ගියාට පස්සේ නැකැත් අරන් වැඩක් නෑනේ"

 * අපේ මහත්තය රට ඉදල ලබන සුමානේ ලංකාවට එනවා සති දෙකක නිවාඩුවකට.බබාට අකුරු කියවන්න ඒ සති දෙකේ හොද නැකතක් තියෙනවාද බලන්න."

  ඉහත දැක්වූ කරුණු වලින් ඇතැම් දේවල් ඒ අයගේ අවශ්‍යතා අනුව නැකැත් සෑදීම කළ යුතු අවස්ථා ඇතත් පුහු ආටෝපය ලොකුකම හා මෝඩකම් නිසා ජීවිතයේ වටිනාම අවස්ථා සුභදායක අයුරින් සිදු කර ගැනීමට බාධා ඇති කරගෙන ඇත්තේ ඔවුන්ම බව නොවැටහේද?

                                      ---- මතු සම්බන්ධයි.  ------

8 comments:

Chanaka Aruna Munasinghe said...

චන්ද්‍රයාගේ පුර පක්ෂය සහ පෙරවරු කාලය කියන දෙකත් බලනවා නේද නැකැත් හදද්දි ?

jhothishalanka said...

Chanaka Aruna Munasinghe
උදය කාලය නම් මහා නක්‍ෂත්‍රයට අත්‍යාවශ්‍ය දෙයක්.ස්තූතියි අතපසුවීමක් හරි ගැස්සුවට.චන්ද්‍රයාගේ පුර බලයනම් අත්‍යාවශ්‍යම නැහැ.අව පක්‍ෂයේ වුනත් බලවත් තත්කාලයෙන් ප්‍රභල නැකැත් ගන්න පුළුවන්.

හිස් අහස said...

අපිත් ඔහොම තමයි සහෝදරයා .ඔයාට කියන්න අපි කඩ කාමරයක් හදන්න ගිය දවසේ අපිට කීවේ සතියකට එහා නැකතක් . ඊටපස්සේ කොහොමහරි යන්තම් නැකතක් දෙන්නම් කියලා . අපිට පන්සලේ හාමුදුරුවෝ නැකතක් හදලා දුන්නා .

අපි වැඩේ ඉවර කලාට පසේ හාමුදුරුවෝ කීවේ නැතෑ ඔයාලට ඕන හින්දා මම හිතට ආපු දිනයක් දාලා දුන්නා කියලා ..

වෙනදා වගේම වැදගත් වෙනදා තරම් සංකීර්ණ නිවූ ලිපියක්

All in one....... said...

මම ගොඩක් කාලෙක ඉදලා ඔබතුමාගේ ලිපි කියවනවා. හැබැයි මම comment කරන දෙවෙනි වතාව වෙන්න්න ඕනේ. මම ජ්‍යොතිෂය හද්දරලා නැති වුනත් ඔබතුමාගේ ලිපි වලින් ඒ පිළිබද අදහසක් අරගෙන තියෙනවා. ඔබතුමා ලියයි කියලා බලාපොරෝත්තුවෙනම හිටි ලිපියක් මේ.

janaka said...

ජ්‍යෝතිශ්‍යය හි පැරණී පොත්/ලේඛන කියවීමට සොයාගන්න නෑහැ: හිතවත් මහත්මානනී;'මාන සාගරි' වැනි පොත පත කිවීමට ක්‍රම වේදයක් ඈද්ද? කතෘ තුමෝට හානියක් නොවන් ලෙසින් CD,ඡායා පිටපත් කර,Email කෙ​ලෙසක හෝ ලෙසකින් පිහිට වන්න! මා ගරු විෂයේ පෙළ පොත් තබන්නෙකී.

Gimhani said...

හොඳ ලිපියක් මාත් බැලුවා.
ස්තූති

සංකල්ප said...

මට මේක දැන ගන්න පුලුවන්ද ? පුශ රෙහෙන බෙරන අද...... ඔහොම තියෙන නකැත් සෙට් එක මොකද්ද ? මම පුෂ නැකතෙලු. මට මේ කිසිවක් නොතේරේ.

jhothishalanka said...

@මධුරංග
මේ පෝස්ට් එකේ වෘත්තයක් වගේ තියෙන රූපය බලන්න.නැකැත් චක්‍රය අහස් තලයේ පිහිටන ආකාරයේ සරල වැටහීමක් ඉන් ලබා ගත හැකියි.
http://lankajhothisha.blogspot.com/2011/01/blog-post.html

මේකත් බලන්න
https://docs.google.com/document/d/1Yn_Jou7Y8hHd99qpI0Z_SHRL4JXmFpUEfSdyG9XJWyo/edit?hl=en_US&authkey=CKyp1psO

Related Posts Plugin for WordPress, Blogger...