Saturday, July 2, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 2

       " ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච"

 ඉහත සදහන් බුද්ධ දේශනාව අනුව අවකාශය නැත්නම් ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම බවයි.මේ අනුව සමස්ත අවකාශය හුදකලා පුද්ගලයා වෙතම විතැන් කර එහි ක්‍රියාකාරිත්වය හෙවත් පැවැත්ම නැවැත්වීමේ වැදගත්කම තිලෝගුරු බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත.

 -------------------------------------------------------------------------------
   ලංකාවේ හද්ද පිටිසර ගැමි පෙදෙසක ගොවිතැනින් ජීවත්වන පවුලක ඉපදී සුළු අධ්‍යාපනයකින් පසු ස්වකීය මව්පිය උරුමයෙන් ලද ගොවිතැන් කරමින්(ඔහුගේ දෙමව්පියන්ද ගොවියන්ය.)වැඩි කාලයක් තම ගම්මානයේම ජීවත්වී වයස අවු 80 ක් පමන ආයුෂ විද (කිසිදිනෙක කොළඹ නගරයට නොගිය කිසිදිනෙක මුහුද නොදැක) මියපරලොව ගිය පුද්ගලයකුගේ කාල අවකාශ පද්ධතිය සලකා බලමු.
    මෙම පුද්ගලයා 1922 දී පමන ඉපදී 2002 වසරේදී මියගොස් ඇති අතර ඔහුගේ ජීවිත අත්දැකීම් ඔහු ජීවත් වූ අවු 80 කාල පරාසයට සීමාවේ.මෙම වසර 80 තුල සිදුවූ විශේෂ සිදුවීම් ඔහු අත්විදින නමුත් ජීවිත කාලය පුරා ස්වකීය ගම්මානයට කොටුවී සිටි නිසා ඔහුගේ අත්දැකීම් තම ගම්මානයේ සිදුවූ විශේෂ සිදුවීම් වලට සීමාවේ.අතරින් පතර වන්දනා ගමන් නෑ ගමන් ආදියෙන් රටතොට යම් අවබෝධයක් ලබා තිබිය හැකි වුවත් එහි සීමාන්විත බවක් ඇත.කාලය හා අවකාශය රේඛීය ලෙස අර්ථ නිරූපන කළ නොහැකි වුවත් උපකල්පිත ලෙස ඔහුගේ කාලය රේඛීය ලෙස හා අවකාශ පද්ධතිය පෘථිවි තලය ලෙස සැලකු විට වයස අවු 80ක් වැනි ආයුෂක් භුක්ති විදි නිසා එහි කාල අක්‍ෂය විශාල පරාශයක විහිදී ඇත.(විශ්වීය කාලය ගැන සිතන විට මෙම කාල සීමාව අංශු මාත්‍රයකි.)නමුත් ඔහුගේ දිවියේ අවකාශීය නිරූපනය කුඩා පරාසයකි.මොහු දෙවන ලෝක යුධ සමයේ ජීවත්ව ඇතත් එකළ ලෝකයේ රටවල් යුධ වැදුනු ආකාරය පිළිබදව විස්තර කළ නොහැක.නමුත් ස්වකීය ගම්මානයේ  පිහිටවූ කාපිරි සෙබළුන්ගේ හමුදා කදවුර ගැන ඔහුට විස්තර කල හැක.කොළඹ නගරයේ සිදුවූ සිදුවීම් ගැන ඔහුට කිව නොහැකි වුවත් තමා ජීවත්වූ ගමේ කලින් කලට සිදුවූ විශේෂ සිදුවීම් ගැන ඔහුට මනා මතකයක් තිබේ.ගමේ රගදැක්වූ ටීටර්,බලි තොවිල්,සිදුවූ මගුල් තුලා,කළ කෝළහල,ස්වභාවික අනතුරු ආදිය හොදින් විස්තර කල හැක.
    රටවල් කිහිපයක් දිග්විජය කල මහා අධිරාජ්‍යයෙකු වූ මහා ඇලෙක්ස්‍රැන්ඩර් රජුගේ ජීවතයට අදාළ කාල අවකාශ පද්ධතිය සැලකූ විට පෘථිවි තලය මත වූ රටවල් රාශියක පරාසය ඔහුගේ අවකාශ පද්ධතියට අයත්වේ.නමුත් මහා ඇලෙක්ස්‍රැන්ඩර් රජු තරුණ අවධියේදී මිය ගිය නිසා ඔහුගේ කාල අක්‍ෂය සීමිතවේ.
   අනන්තවූ විශ්වීය කාල අවකාශ පද්ධතිය තුල ඉහත දැක්වූ පුද්ගලයන් දෙදෙනාගේ කාල අවකාශ රාමු ඉතා කුඩා අංශු මාත්‍රයන් පමනක් බව ඔබට වැටහෙනු ඇත.ඔබ අප සෑම කෙනෙකුගේම තත්ත්වය මෙලසය.තමා කෙතරම් බලවත් කෙනෙක් වුවත් විශ්වීය කාල අවකාශය තුල පෘථග්ජන අපට හිමි ස්ථානය ගැන සදහන් කිරීමටවත් බැරිය.
    බුදු,පසේ බුදු,මහ රහත්,රහත් වහන්සේලාද මෙම කාල-අවකාශ රාමුව තුළ ජීවත් වුවද එහි බලපෑමට හසු නොවේ.මන්ද ඒ හා සක්‍රීය සම්බන්ධයක් උන්වහන්සේලා නොපවත්වන හෙයිනි.ඒ අනුව රහතුන් වහන්සේලා කාලය හා අවකාශය සංඥාව ප්‍රහාණය කර ඇත.බුදු රදුන්ට මෙන්ම මුගලන්,මහා කාශ්‍යප,අනුරුද්ද වැනි මහ රහතන් වහන්සේලා සෘද්ධි බලයෙන් තව්තිසාදී දිව්‍ය ලෝක වෙත ගමන් කිරීම කලේ අවකාශ-කාල රාමුව ප්‍රහාණය කිරීමෙනි.සෑම ජීවියකු අරභයා අවකාශ කාලය නිර්මාණය වීමක් සිදුවේ.ඉහල ලෞකික සෘද්ධි බලයක් ඇත්තකුට  කාල අවකාශය යම් තරමකට ප්‍රසාරණ සංකෝචනය කිරීමේ හැකියාවක් ඇතත් සම්පූර්ණ ලෙස කාල අවකාශය ප්‍රහාණය කළ හැක්කේ රහතන් වහන්සේලාට පමනි.
 -------------------------------------------------------------------------------
   යම්කිසි කාල වකවානුවක පෘථිවිය තුල වාසය කළ සුවිශේෂී ප්‍රසිද්ධ පුද්ගලයකු ගැන සදහන් කිරීමේදී(රචනාවක්,ලිපි සටහනක් ලිවීමේදී) ප්‍රධාන වශයෙන් අඩංගු කෙරෙන විස්තර කිහිපයකි.
    * ඔහු/ඇය උපන් දිනය රට,නගරය
    * ඔහුගේ දෙමාපිය සහෝදරාදී පවුලේ සාමාජිකයන්ගේ විස්තර
    * ඔහුගේ ළමා කාලය,අධ්‍යාපනය
    * තරුණ අවධිය
    * ඔහු ලෝක ප්‍රසිද්ධ වීමට හේතුවූ කරුණු
    * ඔහුගේ විවාහ දිවිය දරුවන් ආදී විස්තර
    * ඔහු සම්බන්ධ සුවිශේෂී කරුණු රහස් ආදිය
    * ඔහුගේ ජීවිතයේ සුවිශේෂි සිදුවීම්
    * ඔහු මරණයට පත් දිනය, හේතුව
    * මරණයෙන් පසු වුවද ඔහුගේ නාමය නොමැකී තැබීමට හේතු සාධක වූ හා වෙමින් ඇති කරුණු.

 උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් අරඹයා විකිපීඩියා විශ්ව කෝෂයේ ඉහත දත්ත දක්වා ඇති අයුරු(සිංහළ අනුවාදය සරල අයුරිනි.) පහත දැක්වේ.(එහි දකුණු පස ඡායාරූපය සමඟ ඇති විස්තර බලන්න.)
  මෙහිදී අපගේ මාතෘකාවට සුවිශේෂීවූ අවකාශ-කාල ලක්‍ෂය වූ අයින්ස්ටයින්ගේ උපතට අදාළ විස්තරය සලකා බලමු.
  *පෘථිවියේ සිටින අයෙකු එහි(පෘථිවියේ) සමුද්දේශ රාමුවට අදාළව අයින්ස්ටයින්ගේ  උපතට අදාළ කාල අවකාශ ලක්‍ෂය තේරුම් ගන්නා අයුරු ප්‍රථමයෙන් සලකා බලමු.
  1) මෙහිදී කාලය අර්ථ දැක්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට කිස්තුස් වහන්සේගේ උපතේ සිට අයින්ස්ටයින්ගේ උපන් මොහොත දක්වා පෘථිවියේ භ්‍රමනය හා පරිභ්‍රමනය අනුව පැය,දින ,වර්ෂ සලකමින්ය.ක්‍රි.ව. 1879 මාර්තු 14 දිනය හා අයින්ස්ටයින් උපන් වේලාව අර්ථ දැක්වී ඇත්තේ මේ ආකාරයටය.
    2) අවකාශයට අනුරූප උපන් ස්ථානය ජර්මනියේ වර්ටන්බග් හි උල්ම් ගම්මානය
           මෙය පෘථිවි සමුද්දේශ රාමුවට අදාලව අර්ථ දක්වා ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍රව උතුරු දකුණු අක්‍ෂාංශ හා නැගෙනහිර බටහිර දේශාංශ ඇසුරෙනි.
       අයින්ස්ටයින් උපන් උල්ම් සදහා -උතුරු අක්‍ෂාංශ 48 කලා 23
                                                         නැගෙනහිර දේශාංශ 10 කලා 0
  මෙහිදී කාලය හා අවකාශය වෙන වෙනම අර්ථ දක්වා ඇතත් නියම ලෙස කාලයත් අවකාශයත් එකිනෙකට බැදී ඇත.ඒ දෙක එකට මිස වෙන් වශයෙන් ඇති විට අර්ථ දැක්වීම සම්පූර්ණ නොවේ.අයින්ස්ටයින් උපන් වේලාවට වෙනත් ස්ථාන වල තවත් දරු උපත් සිදුවීම මෙන්ම අයින්ස්ටයින්ගේ උපතට පෙර මෙන්ම පසුවද ඔහු උපන් ස්ථානයේ දරු උපත් සිදුවේ. 
      
   දැන් අපි අපගේ මාතෘකාවට අදාළ කතාබහට මුල පුරමු.අප විසින් පුද්ගලයකුගේ උපන් විස්තර සටහන් කිරීමේදී එම තැනැත්තා උපන් දිනය වේලාව හා ස්ථානය සටහන් කර ගනී.ඉහත නිදසුනෙන් දැක්වූ පරිදි විද්‍යාඥයන්,ලේඛකයන්,ක්‍රීඩකයන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විස්තර සදහන් කිරීමේදී ඔහුගේ උපන් විස්තර සදහන් කිරීම විශේෂයෙන් සිදු කරන්නේ එය අනන්‍ය වන බැවිනි..ජ්‍යොතිෂයේදීද පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහනෙන් දැක්වෙන්නේ ජන්මියාගේ උපතට සම්බන්ධ විස්තරයකි.නමුත් මෙහිදී ජන්ම කේන්ද්‍ර සටහනේ අන්තර්ගතය පුද්ගලයකුගේ උපන් දිනය වේලාව හා ස්ථානය සටහන් කිරීමට වඩා විද්‍යාත්මක වශයෙන් පෘථුල වූවකි.ඉස්පිරිතාලේ පොතේ හෝ උප්පැන්න සහතිකේ ඇති උපන් දිනය වේලාව(ලංකාවේ උප්පැන්න සහතිකවල උපන් වේලාව දක්වා නැතත් පිටරටවල එය සටහන් කරයි.) හා ස්ථානය යන අමු දත්ත වලින් ඒ පුද්ගලයා ගැන සුවිශේෂී අනන්‍යතාවක් විද්‍යාත්මකව හෝ වෙන ක්‍රමයකින් ඉදිරිපත් කිරීම අසීරු වුවත් එම දත්ත උපයෝගී කරගෙන සාදා ගනු ලබන ජන්ම කේන්ද්‍රයෙන් එම පුද්ගලයා ගැන ඊට වඩා වැදගත් විස්තර කිරීම් කළ හැකි යයි කිවහොත් එය ඔබ එකවර පිළිගැනීමට මැලි වනු ඇත.උපන් දිනය හා වේලාව මගින් දැක්වෙන්නේ පෘථිවි සමුද්දේශ රාමු තුලවූ දත්ත කිහිපයකි.පෘථිවියෙන් ඔබ්බට වූ අවකාශ කාලය සමඟ සම්බන්දයක් එම විස්තර වල නැත.නමුත් ජන්ම කේන්ද්‍රයේ සෞරග්‍රහ මන්ඩලයේ පිහිටි,රවි(සූර්යයා),සදු,කුජ(අඟහරු),බුධ,ගුරු(බ්‍රහස්පති),....ආදී ග්‍රහයන් මෙන්ම ලග්න හා නැකැත් අනුව ඈත අවකාශයේ පිහිටි තාරුකාද සම්බන්ධවී ජන්මියාගේ උපන් මොහොත කාල අවකාශ පද්ධතිය තුල ක්‍රියාත්මක වන ආකාරය ගැඹුරින් සලකා බලා ඇත.ජන්මියාගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම දෙස බලා ක්‍රමයෙන් කාලය ගතවන විට ග්‍රහයන් අහස් ගැඹේ වෙනස් වන ආකාරය පිළිබදව අදහසක් ලබා ගත හැක.කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කර ඒ වන විට ජන්මියාට ඇති වන හොද නරක ගැන පැවසීමට ජ්‍යොතිෂයෙන් කෙරෙන බව ඔබ වටහා ගෙන ඇත.ඉපදී යම් කාලයක් ගතවී ඇති කෙනෙකුගේ උපන් දිනය වේලාව හා ස්ථානය යන දත්ත ඇති විට අපට ඉන් කිව හැක්කේ ඔහුගේ හෝ ඇයගේ වයස පමනි.නමුත් දක්‍ෂ ජ්‍යොතිෂවේදියකුට මෙම දත්ත අනුව සකසා ගන්නා ජන්ම කේන්ද්‍රය දෙස බලමින් එම පුද්ගලයාගේ හැඩරුව,ජීවිතය ගත කරන ආකාරය,ලෙඩදුක්,බුද්ධිය හැකියාව,ආසාවන්,බලාපොරොත්තු,ගතිගුණ,ආයුෂ,...ආදී බොහෝ දේ ගැන කීමේ හැකියාව ඇත.ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ වටිනාකම ඇත්තේ එතනය.මෙම ලිපිය අරමුණ වූයේද එම වටිනාකම පාඨක ඔබට වටහා දීමයි.

  .                  ------  මතු සම්බන්ධයි   -----

8 comments:

Anonymous said...

ela!

සංකල්ප said...

ගොඩක් වටින ලිපියක්. මට සමහර කරුණු තේරෙන්නේ නෑ නේ අයියා.

ඒක නෙමේ අයියා. පොරොන්දම් ගලපද්දි දෙන්නෙක් ගලපෙන්න කීයක් හරි යන්න ඕනද ? ඒ පොරොන්දම් වලින් ගලපිය යුතුම පොරොන්දම/ පොරොන්දම් මොනවද ?

jhothishalanka said...

@මධුරංග
පොරොන්දම් ගැලපීමේදී සිදු කරන 20 පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව තවත් ගැලපීම් සලකා බැලිය යුතුයි.20 පොරොන්දම් පරීක්‍ෂාවේදීත් ප්‍රධාන තැන දෙන්නේ සුභ පොරාන්දම් සංඛ්‍යාවටම නෙවෙයි.අත්‍යාවශ්‍ය පොරොන්දම් වලට ග්‍රහ නැකැත් පොරොන්දම් දෙක මූලික වශයෙනුත් රාශි,රාශ්‍යාධිපති,ගණ,නාඩි හතර ඉන් පසුත් අත්‍යාවශ්‍ය පොරොන්දම් ලෙස සැලකේ.ග්‍රහ,නැකැත් දෙකම හෝ ඉන් එකක් ඉතා අසුභ ලෙස ඇත්නම් විවාහයට ඉතා අසුභ ලෙසයි සැලකෙන්නේ.

හිස් අහස said...

අද ලිපියත් ටිකක් වෙලාව අරගෙන ආසාවෙන් කියෙවුවත් බොහෝ දෑ මට තේරුනේ නැත . කමක් නෑ දැන් මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් වැටෙන්නේ කොයි මොහොතේද කියලා බලමින් තමා ඉන්නේ ..දැන් මේවා ගැන කියවන්න ටිකක් ආසයි . කලින්ට වඩා දැන් දසමයක හරි දෙයක් මම ජ්‍යොතිෂය ගැන දන්නවා

වෙද ගෙදර මහ වෙදනා said...

මම කාලය සහ අවකශය ගැන හොඳම ලිපි කියවලා තියන්නේ නලින්ද සිල්වාගේ. දැන් මොන අදහස් දැරුවත් ඔහු අදාල විෂය ගැන ඉතාම උසස් දැණුමැත්තෙක්.

ජෝතිෂය ආයුර්වේදය වගේ පෙරදිග විද්‍යාවනුත් අවකාශය ගැන ඉතාම උසස් දැණුමකින් යුතුයි. නමුත් අද ඉන්න ගොඩක් බුද්ධිමතුන් මේ දෙවල් වැඩිය තකන්නේ නැහැ. එවැනි කාලෙක ඔබ ඉතා වටිනා දෙයක් කර තිබෙනවා. මෙහි අනෙක් කොටස් ඉක්මනට දාන්න. ආසාවෙන් බලා ඉන්නවා.

ජය!!!

සංකල්ප said...

@JHOTHISHALANKA :
පොරොන්දම් කොච්චර ගානක් ගැලපෙන්න ඕනද ?

jhothishalanka said...

@මධුරංග
අත්‍යාවශ්‍ය පොරොන්දම් වලින් වැඩි ප්‍රමාණයක් සමඟ 13කට වැඩි වුනොත් ගලපන්න පුළුවන්.මම කලින් කිව්ව වගේ ඉලක්කමෙන්(සුභ පොරොන්දම් සංඛ්‍යාවෙන්) නෙවෙයි ගැලපීම බලන්නේ

Podi Kumarihami said...

අද තමා ඉස්සල්ලාම මේ පැත්තේ ආවේ...හරිම රසවත් ලිපියක්. ගොඩාක් දේවල් තේරුනේ නම් නෑ. තව කීප සැරයක් කියවලා තේරුම් කරගන්ට බලනවා...