Thursday, September 15, 2011

"පොන්නා"

මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.


 ---------------------------------------------------------------------------------

  රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ නයින් කෙළිනා තොට නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.
    ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන්ය.තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.
   බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු අප කතාන්දරයේ ප්‍රධාන චරිත දෙකෙන් පළමු වැන්නා විය.තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ "පොන්නා"(පොන් යනු තෙළිගු බසින් "රන්" හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.) 
----------------------------------------------------------------------------------

  "පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ"
  "කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ."
   පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.
  "තේගිසෝ උඹ ගිහින් මේ ගුත්තා ලමයාට බොන්න වෑවරයක් කපාගෙන වරෙන්."
  අතවැසියා පිටතට ගිය පසු ගුත්තා කතා කලේය.
   "ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.
  "හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං"
  පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.
  "හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්."
  " මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා  නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ."
 "ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය."
 "ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?"
  " ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි."
  තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.
   පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්‍ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි.අපේ කතාවේ දෙවන කතා නායකයාද පොන්නා කෙනෙකුය.ඔහු දුටු ගැමුණු රජුගේ ප්‍රධාන නැකැත් ඇදුරා වූ පොන්නාගේ මුණුපුරෙකු විය.අපි ඔහුට පොන්නා 2 යැයි කියමු.මෙම පොන්නා 2 නැකැත් ඇදුරා වෙන කිසිවකු නොව  කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) හා රාජාධිරාජසිංහ (කි‍්‍ර.ව. 1782 - 98) රජවරුන් දෙදෙනාගේම ප්‍රධාන රජවාසළ නැකැත් ගණින්නා ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ "කොත්මලේ ගණිතයා"මය.අපි මේ පොන්නා 2 හෙවත් "කොත්මලේ ගණිතයා" ගේ කතාව විමසා බලමු.
 ---------------------------------------------------------------------------------

   පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ "කොත්මල් ගණිතයා" මහා ප්‍රාඥයකු විය.ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යා ක්‍රම මෙන්ම හේ කවියටද දක්‍ෂයකු විය.ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා පිළිබදවය.කොත්මලේ ගණිතයාද පොන්නා නැකැත් පරපුරේම අයෙකු වීමත් ඇතැම් ස්ථාන වල  කොත්මලේ ගණිතයාවද පොන්නා ලෙස හැදින්වීම නිසා දුටු ගැමුනු කුමරුට අනාවැකි පැවසූ පොන්නා හා ඔහුගේම මුණුපුරෙකු වූ කොත්මලේ ගණිතයාව ඉතිහාසඥයන් පටලවා ගනී.
     කොත්මලේ ගණිතයා රාජ සේවයට බැදුනේ කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) රජතුමාගේ කාලයේදීය.ඔහුට එම තනතුර උරුම වුයේ පිය උරුමයෙනි.කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිළි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යෑම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස්‌ ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය.කොත්මලේ ගණිතයා දක්‍ෂ කවි කාරයකුද විය.දිනක් තමා ඉදිරියට වතුර පිරවූ කළයක් උකුළ තබා එන රූමත් තරුණියක් දුටු ඔහු කවියෙන් මෙසේ කීවේය.

තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

 කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ යනු පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ යනු  64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන යනු තුන් කල් ( එනම්  අතීතය, අනාගතය හා වර්තමානය)  හිදීම  ලස්සන ගැනු ළමයෙක්  යන්නයි. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ (කළයක්)  අතින් ගෙන පාරෙ  සිටිනා බවයි.
    කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දුවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ. ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක්‌ ගසා මෙල්ල කොට රැගෙවිත් සිටි යක්‌ෂයෙක්‌ ඔහු නැති දිනෙක ගැබ්බර සිටි ගණිතයාගේ බිරිඳ හා දුවරුන් හත්දෙනා මරා ලේ විලක්‌ වගුරුවා ශ්‍රීපාද අඩවියට පළාගොස්‌ සැඟවුණේය. කෝපය ඉහව හා ගිය ගණිතයා කරුංකා ගෙඩියක්‌ මතුරා පිල්ලියක්‌ ලෙස යවා යක්‌ෂයා මන්ත්‍ර බලෙන් ගේනවා තිස්‌පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹගහ "යකඹ" ගහ නමින් ප්‍රසිද්ධ විය. 
     කොත්මලේ නැකැත්තා ජීවත් වූ කාලයේ දී ප‍්‍රබල ග‍්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා සිකුරු සෙනසුරු ග‍්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය.මේ ප‍්‍රබල ග‍්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් කොත්මලේ ගණිතයා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිත බමුනකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ කොත්මලේ ගණිතයා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදීකුණ්ඩලාභරණය බිම පතිත වන බව දැක එම ස්ථානය සෙවීම ආරම්භ කළේය. කුණ්ඩලාභරණය නියම ලෙස බිම පතිත වන ස්ථානය සොයාගන්නා කොත්මලේ ගණිතයා  ඒ ඉඩ ප‍්‍රමාණය වෙන් කරගනී. ග‍්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් කොත්මලේ ගණිත සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල විසඳ්‍රගත නොහී එය දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.මෙතරම් වටිනා කුණ්ඩලාභරණයක් තොප දෙදෙනාටත් රාජත්වයෙහි වූ මටත් නොවටිනා හෙයින් එය උත්තම දළදා වහන්සේ වෙත පුදමි” යැයි කියමින් එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප‍්‍රයෝජනයට ගන්නා ලදී.වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති. මෙකී කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය කුණ්ඩසාලය වශයෙන් ප‍්‍රසිද්ධ වූයේය.
   කොත්මලේ ගණිතයා පිළිබඳව ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ මෙහි ඉදිරිපත් කරමු. දිනක්‌ උදෑසන මැතිරූ තල අත්ත කිහිළි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට, පා තබමින් ගඟෙන් එතෙරව සෙන්කඩගල රාජසේවයට යන කොත්මලේ ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩ වී අසුන්ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය. ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් වැසියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාලුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජසේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය. මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය.හොඳයි මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද? මහල්ලා ගණිතයාගෙන් විමසුවේය. ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීප වරක්‌ ග්‍රහචාරය ගැන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.
"තවම හොයාගන්න බැරිවුණාද?" - අමුත්තා අසයි.
ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිස්‌කෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා ලෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.
"සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද?" ගණිතයා අමුත්තාගේ දෑත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.
ඉගෙන ගත්තේ එච්චරයිද? - අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දෑස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දෑත් තදින් ම බදාගෙන වැළපෙන්නට විය.
ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න. මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය. උතුරා ගිය ප්‍රිතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුර දෙවියාගේ වරම් හා ආශිර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශිර්වාද කළේය. ඒ සමග ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශිර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිසමිවිය. ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති

    නැකැත් තරුවක් ගැහෙනු දැකීමෙන් කොත්මලේ නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කරයි. ඉදිරි කලෙක කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොරකන්දත් එකට එක්වී රටට සෞභාග්‍ය ගෙන එමින් ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බව නැකැත්තා පැවසුවේ යැයි ජනප‍්‍රවාදයේ එයි.
     එම ප‍්‍රකාශයෙන් අවුරුදු 200 කටත් පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය, අඩි 1300 කට ආසන්න තිරස් කොන්කී‍්‍රට් අතුරණයකින් යුතු උමඟකින් හා අඩි 390 කින් යුත් අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරයෙහි ට’ර්’බයින තෙක් ගෙන යන ආකාරයෙන් කොත්මලේ ජලාශය ඉදිකරනු ලැබීය.ජලාශය ඉදිකිරීම මත නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. ප‍්‍රකාශයෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍ය බවට පත්වී ඇත.
  කොත්මලේ ගණිතයා විසින් ලියන ලද යැයි සලකන ‘මහාගණිතය’ නම් වූ පුස්කොළ පොතක් වෙයි. එය අදටත් මාවෙල පදිංචි ඩී.ජී.සරත් සෝමවීර මහතා ළඟ සුරක්ෂිතව තිබේ. එසේම  නැකැත්තා භාවිත කළායැයි සැලකෙන පන්හිඳ ද ඔහු ළඟ සුරක්ෂිතව ඇත.මෙකී පුස්කොළපොත ලියැවී ඇත්තේ තෙලිඟු භාෂාවෙනි. ‘තෙලිඟු’ යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ පවුල් කතා කරනු ලබන භාෂාවකි. (මහා සිංහල ශබ්ද කෝෂය) එහි අග බුද්ධ වර්ෂ 2301 (එනම් කි‍්‍ර.ව. 1757) ලෙස සඳහන් ය. “ශිකුරාජපති” “ස්වස්ති සිද්ධම්” යන පාඨය ද එයි.
කොත්මලේ ගණිතයා විසින් රචිත "මහා ගණිතය" නම් පුස්කොළ පොත හා ඔහුගේ පන්හිද
                                    
පුස්කොළ පිටු 191 කින් සමන්විත දිගින් හා පළලින් පිළිවෙළින් සෙ.මි. 15.5, සෙ.මි. 4.8 වන මෙම පුස්කොළ පොත දෙපසින් ලී පටි තබා බැඳ පසු සෙ.මී. 7 උසයි. ඇතුළත පළමු පුස්කොළයේ ‘මහා ගණිතය’ ලෙස සටහන් කර ඇති මෙහි දෙමළ අක්ෂර ද බහුලව භාවිතා කොට ඇති බව පෙනේ.
කොත්මලේ ගණිතයා  නැකැත් කටයුතු සඳහා භාවිතා කළා යැයි සැලැකෙන නැකැත් පඩ
    කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජාධිරාජ සිංහ රජුටද කොත්මලේ ගණිතයා සේවය කලේය.ඒ වනවිට මහළු වයසේ සිටි කොත්මලේ ගණිතයාට රජ වාසළ තරුණ නැකැත් කරුවන් විරුද්ධව කුමන්ත්‍රණ දියත් කලේය. තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.
අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප‍්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සූ කොත්මලේ ගණිතයා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප‍්‍රකාශ කරයි.මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප‍්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත‍්‍රඥයින් විසුළු කළ බැව් ජනප‍්‍රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප‍්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.මේ සිදුවීමෙන් රජතුමාගේ ප‍්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.
 නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.
  “සත් අවුරුද්දක් වසිනා වැස්සේ 
බිංදු ගණන් කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ 
කකුල් ගණන් කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නත් 
පියලි ගණන් කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා සිටියොත් 
මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”

රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද කොත්මලේ ගණිතයා ස්වභාවිකව මිය පරලොව යයි.

මේ පිළිබඳ තවත් එක් මතයක් ගැමියන් අතර පවතී. නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් නැකැත්තා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බවක් ඉන් කියැවේ. කෙසේ නමුදු මේ ප‍්‍රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.

මේ අයුරින් කොත්මලේ පුරාවට පැතිර ඇති ජනශ‍්‍රැතිවල සදහන් කොත්මලේ ගණිතයා ජීවමානව තවමත් සිටියි. 
----------------------------------------------------------------------------------
මූලාශ්‍ර
        ප‍්‍රබෝධ කහඳගමගේ - සිළුමිණ 2008/10/19
        එස්‌. කේ. ජයවර්ධන - දිවයින  2009/11/22
        එල්.කේ.ඒමිස් අප්පු - සුබසෙත 1969/10/15
       
        

22 comments:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

නියමයි! ස්තූතී මේ තොරතුරු වලට :)

Jotirathna said...

මා දන්නා පරිදි මෙම ගනිතයන් පිලිබඳ කතා විශ්වාස කළ නොහැකි ගොතන ලද ඒවායි.මෙවැනි හාස්කම් කිරීමට ජෝතිශ්යට බැරි බව මගේ පිළිගැනීමයි.ජෝතිෂ්‍ය ලංකා මේ ලියපු ලිපියත් තව අවරුදු 50 කින් පමණ ගනිතයන් පිලිබඳ මුලාශ්‍රයක් ලෙස බාවිතා විය හැකියි. ඉතිහාසය පිලිබඳ මුලාශ්‍රවල සත්‍ය කතාව එයයි.
කෙසේ නමුත් ආකර්ශනීය ලිපියක්.

email: jotirathna@gmail.com

Podi Kumarihami said...

එක හුස්මට කියවාගන ගියා. හරිම රසවත් කතා ටිකක්. බොහොම පින් මේ වගේ කලින් නෑසූ කතා අපට ඉදිරිපත් කරනවාට.

ඔබතුමාගේ භාෂා විලාශයත් බොහොම අපූරුයි නොවැ.

Kaveen said...

"කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 භ 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ කියන්නෙ පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 භ 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ කියලා කිව්වේ 64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන කියන්නෙ තුන් කල් (ඒ කියන්නෙ අතීතය, අනාගතය හා වර්තමානය) වලීදිම ලස්සන ගැනු ළමයෙක් කියලා. තුන් සතරෙන් එකක් හැර (3 භ 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ එහෙම නැත්නම් කළයක් අරන් පාරෙ ඉන්නවා කියන එකයි"

භාෂා ශෛලය වාක්‍යයෙන් වාක්‍යයෙන්ට නොගැලපෙන ආකාරයට යොදා තිබෙන බවක් පෙනෙනවා. (විශේෂයෙන්ම ඉහත කොටසේ). මුලාශ්‍ර සමග අතිශෝක්ති නොවන ආකාරයෙන් ලිවීම අගනේයි.

Lishan Puwakovitage said...

මම මේ පොන්නා නැකැත්තා ගැන කියෙව්වේ.., කොත්මලේ ජනකතා කියන පොතෙන්.., ඒ පොත පස්සේ කාලේදී මා අති නැති වෙනවා.., ඊට පස්සේ ඔබ තමා මගේ මේ චරිතය ගැන මතකය අවදි කලේ..! ස්තූතියි..! ජය!!

Unknown said...

සමහර කතාවල් මම අහලා තිබ්බ "කොත්මලේ ජනකතා " පොතෙන්

Anonymous said...

What an informative article.
Please keep your writing up ...
-From Tokyo

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

බොහොම ස්තුතියි තොරතුරු වලට...!

Weni said...

එක එක කතා එක එක සැරයකට අහල තිබුනත්..මේ පුරාවෘත එක තැනකින් කියෙව්වෙ අද තමයි...

Chanaka Aruna Munasinghe said...

තෙලිඟු විත්‍රක් නෙවෙයි දෙමළ භාෂාවෙනුත් රත්තරන් වලට පොන් කියනවා. මතකද කාලයක් ගියා රූපවාහිණී වැඩසටහනක් 'පොන් මාලෙයි පොලුදු' කියල.

මේ ලිපිය පළ කරපු වෙලාවෙ සිකුරු ග්‍රහායා හිටපු තැන කියමු බලන්න ?

Thank you Gamika said...

niyamna lipiya... thanks

තිරිසනා said...

ගුප්ත විද්‍යාවෙන් පවා ඉහලටම ගිය බුලට් එකක් තමයි කොත්මලේ ගණිතයා.කාමරංක ගෙඩියෙන් පිල්ලිය යැවූ හැටි අහපුවම පිස්සු හැදෙනව.අන්න අර ලියල තියෙන පුස් කොලේ කියව ගන්ඩ පින නෑනේ අපිට. :(

හිස් අහස said...

අදත් ආසාවෙන් කියෙවුවා මේ ලිපිය

ඇත්තටම මේ වගේ ඉතිහාසගත කරුණු දැනගන්න ගොඩාක් අය ආසයි ඉතින් මේ වාගේ ලිපි නිතර ලියැවෙනවා නම් ගොඩාක් අය කැමති වේවි .

පින්තූරත් පල කරන එක නියම වැඩක්

Anonymous said...

Pilliyak yawanna kohomada ?

Gimhani said...

මාත් හරි ආසයි මේ වගේ ඉතිහාස කථා වලට.. බොහොම ස්තූතියි දැනුම බෙදා ගත්තාට...

Sanidu said...

ඔය කොත්මලේ ගණිතයා ආඬියෙක්(තෙලිගු බමුණෙක්), ඉන්දීයන් කාරයෙක් කියන්නෙ කොහොමද ?
මෙහෙම අහමු, පොන්නා කියන තෙලිගු බමුණගෙන් පැවත එන කෙනෙක් තමා කොත්මලේ ගණිතයා කියලා තහවුරු කරන්න පුලුවන්ද? නැත්තං , අපේ රටේ ඉන්න විද්වතෙක් ට ඉන්දියානු ආඬි සම්බවයක් දෙන්න හදපු කතාවක් ද කියලා සැකයක් ආවා.

duliponline said...

රාජසිංහ රජතුමාගෙ කාලෙ කතා ටික නං කොහොමත් මම පොඩි කාලෙ ඉඳල කතන්දර විදියට මගෙ ආච්චිලා සීයලාගෙන් අහපු කතා. ඇත්තටම මම ආඩම්බර වෙනව මම ඒ පරපුරේ කොනකට හරි ගෑවීම ගැන . . . සිකුරාධිපති, එහෙමත් නැත්නං සිකුරාජපති කියන පරපුර දිගේ උරුමයක් විදියට එන ගණිතට සම්භන්ද රස්සාවක් තියනව . . . . ඒක තමයි අදටත් අපේ පවුල ඇතුලෙ ලොකුම පිලිගැනීම තියන රස්සාව්.
කොත්මලේ තියන සිකුරාධිපති පවුලේ මහගෙදර තවමත් තියනව මට තවම යන්න වෙලාවක් ලැබුනෙ නැතිඋනාට.

Anonymous said...

ඒකියන්නෙ අපිට හැමදාම ඉඳල තියෙන්නෙ එකම විදියෙ මහ රජවරු තමා..

Anonymous said...

ඔබ සුමංචි ගුරුන්නාංසේ ගැන යමක් දන්නවාද?

Aru අරු said...

දැනුම ගබඩාවට ලැබුණ ඒකතුවට තුති. ඔබට ජය.

ආචාර්ය මීවනපළානේ ජයරත්න said...

ගුරුන්නාන්සේ මේක රසවත් ලිපියක්. මේ ලිපිය වර්ගපූර්ණිකාවටත් සුදුසු බවයි මගේ අදහස. මේ බලන්න

[[පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ "කොත්මල් ගණිතයා" මහා ප්‍රාඥයකු විය.]]

[[ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති]]

ඔහු අවසන් පුරුක වුවත් ඔහුගේ පරපුරේ අය අදත් සිටින්නේ ශ්‍රී රාවන රජතුමාගේ බල මහිමයෙනි. එයට මූලාශ්‍රය වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ දැක්වෙයි. ශ්‍රී රාවණ සිද්ධම්!

jhothishalanka said...

අනේ මන්ද ඔහේට ඕන දෙයක් දා ගන්න හැබැයි ඔන්න මම නම් ඕවට නෑ ඕන්...

Related Posts Plugin for WordPress, Blogger...