Wednesday, September 28, 2011

දරුවකු අරන් හදා ගැනීම හෙවත් කුල වැද්දීම

    දරුවන් නොමැති අය අනාගතය්දී තමන්ගේ ආරක්‍ෂාවට හා තමන්ට ඇප උපස්ථාන ලබා ගැනීම පිණිසත් තවත් අය දරුවන් සිටියත් අසරණ දරුවන් කෙරෙහි ඇති කරුණාව සෙනෙහස නිසාම දරුවන් අරන් හදා ගැනීම සිදු කරති."කුල වැද්දීම" ලෙස ජන වහරේ භාවිතා වන මෙය එක් අතකින් විශාල පින්කමකි.දරුවන් නොමැතිව පිටින් දරුවන් අරන් සාදාගත් අයට ඉන්පසු තමන්ගේම දරුවන් ලැබීමත් දරුවන් අරන් සාදාගත් පවුල් විශාල දියුණුවක් ලැබීමත් බහුලව දැකිය හැකිය.


    දරුවකු අරන් හදා ගැනීමට ප්‍රථම අනිවාර්යෙන් අනුගමනය කළ යුතු ප්‍රථාන නීතිරීති පහත පරිදි දැක්විය හැක.
  1) දරුවා අරන් හදා ගන්නා යුවළ නීත්‍යානුකුල විවාහක යුවළක් විය යුතුය.
  2) දරුවා අරන් හදා ගැනීමට දරුවාගේ නියම දෙමාපියන් කැමති විය යුතුය.එනම් ඔවුන්ගේ අකමැත්තකින් තොරව මෙන්ම ඔවුන් බියවද්දීම හෝ කිසිම පෙළඹවීමකින් තොරව දරුවා ලබා ගත යුතුය.
  3)දරුවා සදහා මුදලක් ලබා ගැනීම හෝ දීම නොකළ යුතුය.
  4) දරුවා අරන් හදා ගැනීමට උසාවියකින් නිසිලෙස ලිඛිත අවසර ලබා ගත යුතුය.
  5) දරුවා අරන් හදාගන්නා අයට දරුවාව නඩත්තු කිරීමට ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක්,ගේදොර වාසස්ථානයක් තිබිය යුතුය.
  6) අරන් හදා ගන්නා අය යටතට දරුවා පත්වූ විට ඔවුන්ගේම දරුවකුට මෙන් ලැබිය යුතු හා ලබා දිය යුතු වරප්‍රසාද සියල්ල හිමිවිය යුතුය.දරුවා අරන් හදාගැනීමට ප්‍රථම හා පසුව තමන්ගේම දරුවන් භාරකාර අයට සිටියත් අරන් හදාගත් දරුවාටත්  සමාන වරප්‍රසාද හිමිවිය යුතුය.
  
  දරුවකු අරන් හදා ගැනීමට ප්‍රථම සැලකිය යුතු වැදගත් කරුණු.
   * තමාගේ කැමැත්ත අනුව අරන් හදාගත යුත්තේ ගැහැණු දරුවකුද පිරිමි දරුවකුද යන්න එම යුවළ විසින් තීරණය කළ යුතුය.
      * උපන් දිනය ස්ථානය ,වේලාව නිවැරදිව ලබාගත යුතුය.
   * උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම තිබිය යුතුය.අරන් හදාගන්නා යුවළගේ නම් දරුවාගේ මව පියා වෙනුවට යෙදීම සංශෝධනය කිරීම ඉදිරියේදී එන ගැටළු නැති කරයි.
  * දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සදහා සම්පූර්ණ පරීක්‍ෂාවක් කළ යුතුය.රුධිර පරීක්‍ෂාවේ සිට ශරීරයේ සියළුම අංග සදහා පරීක්‍ෂාවක් කොට දරුවා නිධන් ගත හා වෙනත් උප්පත්ති රෝග වලින් මිදී  උපරිම නිරෝගී තත්වයේ සිටීදැයි පරීක්‍ෂා කළ යුතුය.
   * දරුවාගේ දෙමාපියන්ගේ අනන්‍යතාව පෙනෙන්නට තිබී ඔවුන්ගේ පදිංචිය තමන්ගේ පදිංචියට ආසන්න හෝ දරුවා පසු කලෙක ඔවුන්ව හදුනා ගැනීමට පහසු අයුරින් සිටීම ඉදිරියට ගැටළුකාරී තත්ත්ව මතු කරයි.
   * දරුවාගේ නියම දෙමාපියන්ගේ ජානමය හෝ වෙනත් පාරම්පරිකව පැවත එන කළහකාරී දුර්ගුණ හෝ තිරිසන් අමන ගති පැහැදිලිව දක්නට ඇත්දැයි විමසිළිමත් විය යුතුය. 
   * පළපුරුදු ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කොට දරුවාගේ උපන් බලය අනුව අරන් හදා ගන්නා අයට සුභ වීමත් ආදරය,ගෞරවය,විශ්වාසය,කීකරුකම එකමුතුව සෞභාග්‍ය ලැබීම ආදිය සුභදායක ලෙස ඇත්දැයි පරීක්‍ෂා කර බැලිය යුතුය.
  
   විවාහයේදී පොරොන්දම් බැලීම සිදු කරන්නාක් මෙන් දරුවකු අරන් හදා ගැනීමේදී දරුවාගේ හා දරුවා ලබා ගන්නා යුවළගේ පොරොන්දම් පරීක්‍ෂවක් සිදු කරයි.                       
    උපන් නැකතගණ,රාශි,රාශ්‍යාධිපති,වශ්‍ය,රජ්ජු,ගෝත්‍ර,වර්ණ දින                          ග්‍රහ ගැලපීම් විශේෂයෙන් සලකා බලයි.      
   කුලවද්දන දරුවා නිවසට රැගෙන ඒමේදීද සුභ නැකතක් අනුව කළ යුතුය.තත්කාළ කේන්ද්‍රයේ 1,5,8 ස්ථාන බලවත් වීම විශේෂයි.

1 comment:

Bindi said...

දරුවෙක් අරන් හදා ගන්න කෙනෙක් ලොකු ඉවසීමක් සහ දයාව ආදරය ඇති කෙනෙක් වෙන්න ඕන .

Related Posts Plugin for WordPress, Blogger...