Thursday, November 17, 2011

"දෑවැද්ද"

    මෙම සතියේ සුබසෙත ජ්‍යොතිෂායුර්වේද පුවත්පතේ කතුවැකියේ කාලෝචිත මෙන්ම සමාජ විමර්ශණාත්මක කරුණක් පිළිබදව සදහනක් විය.ඉතා ඈත අතීතයේ සිටම ලාංකීය ජනසමාජය තුල ඉතා තදින් මුල්බැස ඇති "දෑවැද්ද" සංකල්පයේ වර්තමාන ගමන් මග පිළිබද පාඨක අවබෝධාත්මක විස්තරයක් එහි ඉතා රසවත් අයුරින් ලියා දක්වා තිබුනි.

  සුබසෙත කතු වැකියේ සදහන් ආකාරයට ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමට පූර්ව පරීක්‍ෂණයක යෙදුනු මහතෙකු ඒ සදහා තෝරා ගෙන තිබුනේ ලාංකීය ජනසමාජය තුල "දෑවැද්ද" සමඟ ඇති මානසික බැදීම අධ්‍යනය කිරීමයි.
   හෙතෙම පුවත්පතක මංගල යෝජනා තීරයෙහි මංගල දැන්වීම් කිහිපයක් පල කොට ඇත.මින් පලමු දැන්වීමෙහි
   "රැකියාවක් නැති නිවසක් නැති එහෙත් උසස් ඉගෙනීමක් ලද තරුණියකට දෑවැදි නොපතන සහකරුවෙක් සොයයි" ආකාරයෙන් පල කලේය.එයට පිළිතුරු ලැබී ඇත්තේ පස් දෙනෙකුගෙන් පමනි.
   දෙවන දැන්වීම "ඉතාම විනීත එහෙත් වත් පොහොසත්කමක් නැති ගුණවත් දියණියට දෑවැදි නොපතන සහකරුවෙකු දෙමව්පියෝ සොයයි." ලෙස පල කලේය.එයට පිළිතුරු හතක් පමනක් ලැබී ඇති අතර එයින් වැඩි සංඛ්‍යාවක් මුලින් විවාහය බිද ගත් වැනි කුමන හෝ දෝෂ අඩුපාඩු ඇති අය විය.
   තුන්වර දැමූ දැන්වීමෙහි "පදිංචියට අගනා නිවසක් ඇති නවීන වාහනයක් දෙමහල් නිවසක් හා මුදල් දායාද හිමි " ලෙස පල කලේය.එයට පිළිතුරු සිය ගනනක් ලැබී ඇත.
   ඉහත දැක්වූ විස්තරය අනුව පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ මේ රටේ වැඩි දෙනෙකු දෑවැද්ද කෙරෙහි ආශාවක් දක්වන බව නොවේද?
   ඉතා මෑතකදී තම දියණියගේ පුවත්පත් මංගල දැන්වීමට ලැබුනු විශාල පිළිතුරු ලියුම් සංඛ්‍යාවක් සමඟින් කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික මහතෙකු මා හමුවට පැමිණියේය.කලින් කතා කරගෙන තිබූ පරිදි පලමු අදියරේදී වඩාත්ම හොදින් පොරොන්දම් ගැලපෙන කේන්ද්‍ර තෝරා වෙන් කර පිළිතුරු යැවීම් සිදුකල යුතු අතර ගැලපෙන කේන්ද්‍ර තේරීම මගේ කාර්යය විය.මෙහි තිබූ අති විශේෂ තත්ත්වය වූයේ දියනිය වැඩ වරද්දාගෙන සිටීමය.ඉතා කෙටි කාලයකින් ඇගේ පලමු විවාහය බිද වැටී තිබුනි.නමුත් ඇයගේ මංගල දැන්වීමට ඉතා විශාල පිළිතුරු සංඛ්‍යාවක් ලැබී තිබුණු අතර ඉන් වැඩි පිරිසක් නෑඹුල් මනාලයන්ගේ පිළිතුරුය.ඇයගේ දැන්වීම් ලිපියේ කලින් විවාහ වූ බව දක්වා තිබුණත් ඇය වෙනුවෙන් වාහන නිවාස හා විශාල දේපල මුදල් දෑවැදි සදහන් කර තිබීම පිළිතුරු වැඩිපුර ලැබීමට හේතු වූ බවට අනුමාන කල හැක.
      පැරණි විවාහ චාරිත්‍ර වලදී විවාහක යුවලට වැඩි ආර්ථික ශක්තියක් ලබා දීමේ අරමුණින් නිර්මාණය වී ඇති "දෑවැද්ද" අද වන විට මුදල් පසුපස හඹා යන තත්ත්වයට පත්වී ඇත.සැලකිය යුතු දායාදයක් නොමැති කමින් වර්තමානයේ බොහෝ තරුණියන්ට විවාහ බාධක යෙදී ඇති බව පෙනී යයි.මේ හේතුව නිසාම එවැනි තරුණියන් මිත්‍ර විවාහ වලට පෙලැඹන අතර ඔවුනගේ දෙමාපිය වැඩිහිටියන්ද එවැනි අවස්ථාවලදී අසරණ බවට පත්වේ.ඇතැම් මව් පියවරු තමන්ගේ දියණියගේ ප්‍රේම සබදතාවලට බොරු අකමැත්තක් පෙන්වන්නේ දෑවැදි මඟහැර විවාහයට ඉඩ සැලසීමටදෝයි සැකයක්ද මතුවේ.
      තරුණියන් අතරද ඇතැම් විට වත් පොහොසත්කම් වලට ඇති ඇල්ම විදහා දැක්වෙන අවස්ථාවන් දැකිය හැක.තමාට සාර්ථක විවහ දිවියක් ගත කිරීමට ශක්තිමත් ආදායම් මාර්ගයන් ඇති සහකරුවකු තොරා ගැනීම බුද්ධිමත් වුවත් ඇතැම් තරුණියන් "නැව් නැඟීමට" සිහිණ දකිති.වර්තමානයේ වංචනික විවාහයන්ට ලක්ව අසරණ වන තරුණියන් වැඩි පිරිසකට එම තත්ත්වය උදාවී ඇත්තේ ඔවුන් හා ඔවුන්ගේ දෙමාපියන් දේපළ වස්තු ගැන වැඩි බලාපොරොත්තු තබා ගැනීම හා ඒවාට ලොල් වීම නිසාමය.
       දෑවැද්දේදී අපේ රටේ ග්‍රාමීය මධ්‍යම ප්‍රාන්තිකයන් අනුගමනය කරන පිළිවෙත විටෙක හාස්‍ය ජනකය තවත් විටෙක ඉතා කෘරය.තමන්ගේ දියණිය වෙනුවෙන් දෑවැද්දක් දීමට තරම් ශක්තියක් නැති බවත් තමන් එහිදී අසරණ බවත් මනාලයාගේ වැඩිහිටියන් ඉදිරියේ නොකියා කිව්වත් ඔවුන්ම තමන්ගේ පුතුට දෑවැද්දක් සමඟ මනාලියක් සෙවීමට දැඩි ලෙස උත්සාහ කරති.දෑවැද්ද ගැන ඉස්මතුවන විට
         "අනේ අපට ඉතින් දෙන්න දෑවැදි නැහැ.මෙයා තමයි අපට දෙන්න තියෙන එකම දෑවැද්ද"
   යනුවෙන් පවසා තම දියණිය ඉදිරියට දමන දෙමාපියන්ම තම පවුලේ පුතුගේ මනාලිය සොයන විට  
        "දෑවැද්දට මොනාද දෙන්නේ"
   යනුවෙන් මනාලියගේ පවුලේ අයගෙන් ප්‍රශ්ණ කරති.ඇත්තෙන්ම මෙය හාස්‍යයක් නොවේද?
     ඉන්දියාව වැනි රටවල මෙම දෑවැදි ක්‍රමය ඉතා කෘර අයුරින් ක්‍රියාත්මක වන අවස්ථා වාර්තා වේ.පොරොන්දුවූ පරිදි මනාලියගේ වැඩිහිටියන් දෑවැද්ද ලබා නොදීම හා තමාගේ පුතු හිතුවක්කාර ලෙස හිස්අතින් මනාලිය රැගෙන ඒම නිසා මනාලයාගේ වැඩිහිටියන් ඉතා තිරිසන් අයුරින් එහි කේන්තිය පිට කරන්නේ අසරන මනාලියට අඩත්තේට්ටම් කිරීමෙන්ය. දෙවන ගමන පැමිනීමේදී මනාලියගේ වැඩිහිටියන් විසින්ඉලපත,කොස්ස,පැදුර,වලං ආදී මුළුතැන්ගෙයි උපකරණ රැගෙන ඒම පැරණි චාරිත්‍රයකි.වරක් මෙලෙස ගෙනා බඩු බාහිරාදිය සමඟ ලුණු ගෙන ඒමට අමතක වීම නිසා මනාලියට වසර කීපයක්ම ලුණු නැතිව ආහාර ලබා දුන් හාස්‍යජනක මෙන්ම අමානුෂික අවස්ථාවන් පිළිබද අපේ රට තුලින්ම වාර්තා වී ඇත.
       මගුල් කපුවන් මාර්ගයෙන් විවාහයක් කර ගැනීමට යාමේදීද ඇතැම් විට දෑවැදි පැටලිම් වන අවස්ථා දැකිය හැකිය.කපුවන් සාමන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු වර්නනා කරති.කෙසේ හෝ මගුල ගෙනු කොට ගාන කපා ගැනීම ඔවුන්ගේ අරමුණ නිසා බොරු දෑවැදි පොරොන්දු ඉදිරිපත් කිරීම නිසා මිනී මරාගත් අවස්ථාද ඇත.
      විවාහයෙන් දායාද ලැබීම නොලැබීම මෙන්ම විවාහයෙන් පසු තමාගේ ධනය දියුණුව අංශයේ සාර්ථකත්වය පිළිබද ජන්ම කේන්ද්‍රයේ අටවැන්නෙන් විමසිය යුතුය.අට අධිපති ග්‍රහයා බලවත් වීම සුභයන්ගේ දෘෂ්ථි වැටීම යහපත්ය.
            ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් පරීක්‍ෂාවේදීද දෙදෙනාගේ අනාගත දියුණුව ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය.ග්‍රහ පොරොන්දම හා නැකැත් පොරොන්දම ඉතා හොදින් ගැලපෙන අවස්ථාවලදී විවාහයට පෙර එතරම් දියුණුවක් නොතිබූ අයටද විවාහයෙන් පසු විශාල දියුණුවක් ලැබෙන බව ජ්‍යොතිෂයේ සදහන්ය.
    ආර්ථික ශක්තිය අඩු අසරණ තරුණියන්ට විවහ බාධකයක් ලෙස ඇති "දෑවැද්ද" අපේ රටට පිලළයක් බදු ය.එය අපේ රටෙන් ඉවත් කල යුතුය යන්න ලේඛකයාගේ පෞද්ගලික මතයයි.

3 comments:

Anonymous said...

මේක සමහර අයට තේරෙන්නේ නෑ .ඔය දෑවැද්ද ලබන්ඩත් පින තියෙන්ඩ එපායැ.හත්වැන්නයි අටවැන්නයි බලවත් වුනොත් තමයි ඔන්න පල දෙන දෑවැද්දක් හම්බෙන්නේ .එහෙම නැතුව ඉතින් හම්බුනත් හම්බෙන්නේ හොටු ගෑවිච්ච දෑවැදි තමා.එහෙම හොටු ගෑවිච්ච දෑවැදි වලින් ලැබෙන පලත් අඩුයි.

Anonymous said...

කෙල්ලෙක් විදියට නෙමේ...මං නම් පෞද්ගලිකවම දැවැදි දිම සම්බන්ධයෙන් විරුද්ධයි..එක හරියට මනමාලිව විකුණනව වගේනේ.. සල්ලි ගෙවලා දිලා යනවා වගේ..

Ravishanka said...

මා අසා ඇත්තේ මෙවැන්නකි.දෑවැද්ද යනු පැරණි ඉන්දියානු සංස්කෘතියෙන් පැවත එන්නක් බවත් ඉන්දීය ක්‍රමයට අනුව දෑවැද්ද දිය යුත්තේ මනාලිය නොව මනාලයා බවත් පැරණි ලිපියකින් කියවීමි.මනාලයා විසින් මනාලියගේ දෙමව්පියන් වෙත දියණියව කුඩා කල පටන් උස මහත් කොට චරිතවත්ව ගුණ යහපත්ව හදා වඩා ගැනීම වෙනුවෙන් දෙනු ලබන තුටු පඬුරු දායාද නම් වේ.ලංකාවට එන විට කොයිකත් සිදුවන්නේ නොපිටට බව මගේ අදහසයි...

Related Posts Plugin for WordPress, Blogger...