Monday, May 27, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.

     මා බලාපොරොත්තු වූ පරිදි ඉන්දියානු ජ්‍යොතිෂ අඩවි සියල්ලම වාගේ පරස්පර විරෝධී නොවන ආකාරයෙන් සාර්ථකව ශාස්ත්‍රානුකූලව ලග්න පලාඵල දක්වා තිබූ නමුත් ලංකාවේ සිංහල ජ්‍යොතිෂ පුවත් පත්  ලිපි වෙනදා මෙන්ම ලග්න පලාපල පමනක් නොව ගුරු මාරුව සිදුවන වේලාවද අවුල් ජාලයක් කොට තිබුනි.
        බොහෝ ඉන්දියන් ජ්‍යොතිෂ අඩවි කලාපීය වෙනස හා අයන සමීකරන සූත්‍ර වල විචලතා සලකා ගුරු මාරුව සිදුවන වේලාව දැක්වීමක් නොකොට තත්කාලය සලකා පලාඵල දක්වා තිබුනේ එක් එක් ලිපිය මගින් ගුරු මාරුව සිදුවන වෙලාවන් විවිධ අයුරින් දැක්වූ විට එවැනි පලාඵල ලිපි කිහිපයක් කියවන්නා තුල ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව අවිශ්වාසයක්  මෙන්ම හාස්‍යයක් ජනිත කරවන බව  ඉන්දියානු ජ්‍යොතිෂවේදීන් පූර්වයෙන් අවබෝධ  කරගෙන සිටි බැවින්ය.
      ඉන්දියන් ජ්‍යොතිෂයෝ එසේ කලත් අපේ රටේ ජ්‍යොතිෂ පඩියන් සිතන්නේ මුළු රටේම අය කියවන්නේ තමන් ලියන දේ පමනක් කියාය.මෙවර 2013.05.10 සුබසෙත පත්‍රයේ මුල් පිටුවේ ගුරු මාරුව මැයි 31 උදේ 06.42 ට සිදුවන බවත් 2013.05.21 රිවිරිසි පත්‍රයේ එය මැයි 31 උදේ 6.12 ට සිදුවන බවත් දක්වා ඇත්තේ එසේ සිතා විය හැක.(පහත දැක්වෙන එම ලිපි දෙක බලන්න)





 සුබසෙත හා රිවිරිසි ජ්‍යොතිෂ පුවත්පත් වල මෙලෙස ගුරු මාරුව පැය භාගයක වෙනසක් ඇතිව දක්වා ඇති ආකාරය දකින පාඨකයකුට ඇතිවන සිතුවිල්ල අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත.ඒ ගැන ඉගියක්ද ඉහතින් දක්වන ලදී.
   ගුරු මාරුව සිදුවන නිවැරදි වේලාව කුමක්දැයි දැක්වීම මෙම ලිපියේ අරමුණ නොවේ.එය උදේ 6.12 හෝ 6.42 හෝ ඒ අතර වේලාවක් යැයි ඔබ කවුරුන්හෝ තර්ක කරයි නම් මා ඔබගේ තර්කය පිළිගෙන නිහඩ වෙමි.මෙම සටහනින් මා දැක්වීමට අදහස් කරන්නේ ලංකාවේ ජ්‍යොතිෂ පත්තර කාරයන් ගුරු මාරුව ගැන කියන්නට ගොස් තමාත් ඇනගෙන ජ්‍යොතිෂයත් අගරු කොට පාඨකයාත් අවුල් කොට ඇති ආකාරය පෙන්වා දීමයි.
   සත්‍ය වශයෙන්ම ලෝකායන හා ජ්‍යොතිෂයේ වෙනත් කෙෂත්‍රවල ගුරු(බ්‍රහස්පති) මාරුවක් යනු ශනි මාරුවක් තරමටම ඉතා වැදගත් ග්‍රහ මාරුවකි.පුවත් පතකට හෝ ජ්‍යොතිෂ සඟරාවකට එවැනි ග්‍රහමාරුවක ලග්න පලාඵල ලිවීම ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කල යුතුය.හොඳ පලපුරුදු ජ්‍යොතිෂවේදියකුට පවා මෙවැනි අවස්ථාවල වැරදීම් සිදු විය හැක.වැරද්දක් සිදුවූ විට එය නැවත නිවැරදි කිරීමටද බැරිය.එනම් පලාපල දැක්වීම විමසිලිවත්ව එකපාරින්ම කල යුතුය.
    ලංකාවේ පුවත්පත් වල එදිනෙදා පලාපල විස්තර හා ග්‍රහමාරු පලාපල එකිනෙකට පරස්පර අයුරින් දක්වා ඇති අයුරු පාඨක ඔබද වරින් වර සියැසින්ම දැක ඇත.(දිවයින පුවත්පතේ “හදිසි ධනලාභ“ ලෙස කලු අකුරින් දක්වා තිබූ ලග්නයකට එදිනම වෙනත් පුවත්පතක “ධන හානි අධිකයි“ ලෙස දක්වා තිබූ අයුරු ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන සයිබර් මිතුරකු වරක් නක්කලේට මෙන් මාගේ මූනුපොතේ අමුනා තිබූ ආකාරය මතකය.) මෙවැනි පලාපල දැක්වීම් වලින් ජ්‍යොතිෂය අගෞරවයට මෙන්ම හාස්‍යයට ලක්වේ.මෑතක සිට බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල වෙනදා නොදුටු වරදක් දක්නට ඇත.එනම් එකම ජ්‍යොතිෂ පුවත්පතේම ආසන්න ග්‍රහ මාරු සංයෝග පලාපල එකිනෙකට නොගැලපීම හා සම්පීඩ්‍ය නොවීමයි.මෙය උදාහරණයකින් දැක්වුවහොත් අළුත් අවුරුදු රවි සංක්‍රාන්ති පලාඵල විස්තරයකදී මුළු වසර පුරාම සුභඵල උදාවන බැවු කියූ ලග්නයකට එම වසරේ මැදදී සිදුවන ශනි මාරුවකදී එම පුවත්පතේම ලිපියකින් වසරේ අග කොටස අධික අසුභ බව දක්වා තිබිය හැක.මෙවැනි ලිපි දෙකක් එකම පුවත්පතකින් එකලඟ කියවන පාඨකයන් වික්ෂිප්ත වනු නිසැකය.
     ජ්‍යොතිෂ පුවත්පත් පලාඵල මගින් ජ්‍යොතිෂය අගරු වන තවත් අවස්ථාවක් වන්නේ දේශපාලඥයන්ගේ උවමනාවන් සපුරාලීමට පලාඵල ලියන විටදීය.ලේක්හවුසිය මගින් පලකෙරෙන පත්තර වල පලාඵල ලියැවෙන්නේ සෑම ග්‍රහ මාරුවකින්ම රටටත් ආණ්ඩුවටත් සුභම බවයි.රටට කිරි උතුරන බවයි.සෞභාග්‍ය උදාවන බවයි.ආන්ඩු විරෝධි බලවේග හරහා මුද්‍රණය වන පත්තර වලින් හැ
ම ග්‍රහ මාරුවකින්ම කියන්නේ මෙදා පොටේ ආන්ඩුවට කෙලෙවෙන බවය.වර්ජන තර්ජන කල කෝළහල ත්‍රස්තවාදී සතුරු කරදර ආදී කරදර එකවර මතුවී ආණ්ඩුව පෙරලෙන බවය.දේශපාලන අවශ්‍යතා මත ආණ්ඩු වර්ණනා කිරීමට මෙන්ම විවේචනය කිරීමට ජ්‍යොතිෂ ලිපි ලිවූ අය ගුටි කෑම් ,රෙදි ගැලවීම් ,ගෙවල් ගිණි තැබීම් මෙන්ම හිරේ විලංගුවේ වැටුනු අවස්ථාවලට සාක්ෂි එමට ඇත.
   මෙවර ගුරු මාරුවේ ඇති විශේෂත්වය වන්නේ තුලා රාශියේ ශනි රාහු  සංයෝගය මතට හා කුම්භ,ධනු රාශිවලට ගුරුගේ දෘෂ්ටිය වැටීමයි.මේ හේතුව නිසාම ශනි ලග්න හා අෂ්ටම ඒරාශ්ඨක අපල ගත කරන්නන්ටත් ශනිගේ චන්ද්‍ර(ජන්ම) ඒරාශ්ඨක අපලයේ මධ්‍ය කොටස ගත කරන්නන්ටත් එම අපල විෂ අඩු කොට යම් සහනයක් ඇති කරයි.එමෙන්ම කටක ලග්න හිමියාගේ 6 අධිපති ගුරු 12 වැන්න වූ මිථුන රාශියට යාමෙන් උදාවන හර්ෂ යෝගයත් ගුරු මාරුව සිදුවන මොහොතේ ගුරු සමඟ සිකුරුත් කෙෂත්‍ර බුධත් යෝගව යෙදෙන සුබ ත්‍රිත්ව ග්‍රහ යෝගය නිසාත් මකර ලග්න හිමියාගේ රැකියා ස්ථානයේ(දස වැන්නේ) උච්ච ශනි  මතට ගුරු දෘෂ්ටිය වැටී රැකියා දියුණුවත්  12 අධිපති ගුරු 6 වැන්නේ ගමනින් යෙදෙන විමලා යෝගයෙන් හදිසි ධන ලාභ යෙදීමත් වෘශ්චික ලග්න හිමියාගේ 12 වැන්නේ රාහු සමඟ යෝගව ඒරාශ්ඨකව ගමන් කරන ශනි මතට ගුරු දෘෂ්ටිය වැටී ඒරාශ්ඨක හා රාහු අපල අඩු කිරීමත් සලකා බැලූ විට සාම්ප්‍රධායික ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව මෙවර ගුරු අසුභ  6,8,12 ස්ථානවලට ගමන් කරන මකර,වෘශ්චික,කටක ලග්න හිමියන්ටද සුභඵල දෙමින් (වෘශ්චික ලග්න  හිම්යන්ට පමනක් සුභපල තරමක් දුරට අඩු කරමින්) සමස්ත ලග්න දොලහටම සුභ දායක කරයි.
     මෙලෙස ගුරුගේ දෘෂ්ටි වැටීම සැලකූ විට සෑම දෙනාටම වාගේ ගුරු මාරුව සුභදායකය.සිංහල ජ්‍යොතිෂ පුවත්පත් සඟරා කිහිපයකම මෙම තත්ත්වය නිවැරදි ලෙස දක්වා තිබූ නමුත් ලංකාවේ ජනප්‍රියම ජ්‍යොතිෂායුරුවේදී පුවත්පතේ 2013.05.10 කලාපයේ 10-11 පිටුවල දක්වා ඇති “2013 මැයි 31 ගුරු මාරුව ඔබට බලපාන හැටි“ ලිපියේ කටක හා මකර ලග්න හිමියන්ට ගුරු 12 වැන්නට යාම හා 6 වැන්නට යාමේ සිද්ධාන්තය පමනක් සලකා අසුභ ඵල දක්වා තිබීම අශාස්ත්‍රීයමවේ.



   


    

13 comments:

රාජ් said...

ගුරු මාරුව දැනගන්න වෙන්නෙ අධ්‍යාපන අමාත්‍යංශයෙන්:)
(ජෝතිෂේ අපි දන්නෙ නැතෝ)

මුතු said...

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය විනාශ කරන්නේ හතු පිපෙන්නා සේ කලින් කලට ඇති වී නැති වෙන මුදලට කඩේ යන්නෝ ම ය.
මා සිටිනා ප්‍රදේශයේ එක් ජ්‍යෝතිෂ වේදියෙක් පවසන්නේ ඉදිරි කාලයේ පවතින අපල නිසා හදිසි අනතුරු බහුල වන බැවින් රක්ෂණාවරණයක් ලබාගන්නා ලෙසය. තමන්ට ඒ සඳහා මැදිහත් විය හැකි බව පවසන ඔහු ලංකාවේ එක්තරා රක්ෂණ සමාගමක නියෝජිතයෙකු සේ ක්‍රියා කරයි.

jhothishalanka said...

ඔව්..ඔව්..මේ දවස්වල ගොඩක් අය ගුරු මාරු හදා ගන්න ට්‍රයි එක

jhothishalanka said...

ජ්‍යොතිෂය කරන අය මේ විදියට වැඩ කරන එකෙන් ජ්‍යොතිෂයට නිගා කරනවා...

කෝරලේ මහත්තයා said...

මෙහෙම ගියාම කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියන එක අපිට ලොකු ගැටළුවක් වෙනවා

Anonymous said...

ගුරු මාරුව ගැන පලාපල ඉදිරිපත් කරන්න. පෙර ලිපියක් නැද්ද ඒ සම්බන්ධව..

saduni kalpana said...

ගුරු මාරුව සිදුවන්නේ.
2013.05.31 - 5.58.43 පෙරවරු
මුවසිරස නෑකතේ 3වන පාදයෙන්.

Anonymous said...

ගුරු මාරුව සිංහ ලග්නෙට හොඳයි කිව්වට මම දන්න සිංහ ලග්න හිමියෙකුට ඔහුගේ ‍රැකියාව නැති උනා ඊයේ. පවු ඒ මනුස්සයා දරු පවුල් කාරයෙක්. ඒ වගෙම තරමක් උගත් කෙනෙක්

Underwriter said...

මොකද්ද ජෝති අය්යා අර හර්ෂ කියලා යෝගයක් ගැන කිව්වෙ...මමත් කටක හින්ද අහන්නෙ....

jhothishalanka said...

මෙතන තියෙන්නේ බොරුවක් නෙවේ..වැරදීමක්

jhothishalanka said...

හයවැන්නාධිපති 6,8,12 ස්ථානයක තැන්පත් වීම

M. M. Rohana Wasantha said...

ඔය සියල්ලටම ප්‍රධාන ගැටළුව වන්නේ තමන් පවසන පලාඵල තමුන්ගේ ප්‍රකාශයක් ලෙස එළිදැක්වීමට යාම හේතුවෙන් බව තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. මන්ද ජ්‍යෝතිෂය යනු පරාශර, ජෛමිණි, භට්ඨෝත්ඵල, වරාහමිහිර,නීලකණ්ඨාචාර්ය, කල්‍යාණවර්මාදී සෘෂි භාෂිතයෙන් ගොඩනැගුණ විද්‍යාවක් බව අමතක කොට තාත්තගෙන්, අම්මගෙන්, දැවැද්දට හෝ වෙනයම් ලෙසකට පැමිණි හා තමන් අතපත් දෙයක් තමුන්ගේ දෙයක් බවට පත්කරගෙන ශාස්ත්‍රයෙන් පරිබාහිරව තමුන් පවසන දෑ කවර නම් මූලාශ්‍රයකට එකඟව තමුන් පවසන්නේ ද යන්න සහිතව යම් අනාවැකියක් කියන යම් ජ්‍යෝතිර්වේදියෙකු වේ නම් හෙතෙම ඒ සියළු බාධක මැඩ ශාස්ත්‍ර උන්නතියට කටයුතු කරන්නෙක්මය.
එම්. එම්. රෝහණ වසන්ත
0714161082

jhothishalanka said...

කතාව හරියටම හරි..ඔබ කියන්න ගියදේ මට වැටහුනා.ඒත් කමෙන්ටුව ටිකක් දිග වැඩි වුන හින්දද මන්ද අදහස විරුද්ධ ආකාරයට වටහ ගන්න අයත් ඉන්න පුළුවන් නිසා පොඩි නිවැරදි කිරීමක් කලා..

//ඔය සියල්ලටම ප්‍රධාන ගැටළුව වන්නේ තමන් පවසන පලාඵල තමුන්ගේ ප්‍රකාශයක් ලෙස එළිදැක්වීමට යාම හේතුවෙන් බව තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. මන්ද ජ්‍යෝතිෂය යනු පරාශර, ජෛමිණි, භට්ඨෝත්ඵල, වරාහමිහිර,නීලකණ්ඨාචාර්ය, කල්‍යාණවර්මාදී සෘෂි භාෂිතයෙන් ගොඩනැගුණ විද්‍යාවක් බව අමතක කොට තාත්තගෙන්, අම්මගෙන්, දැවැද්දට හෝ වෙනයම් ලෙසකට පැමිණි හා තමන් අතපත් දෙයක් තමුන්ගේ දෙයක් බවට පත්කරගෙන ශාස්ත්‍රයෙන් පරිබාහිරව දැක්වීම මෙම තත්වයට හේතුවී ඇත. තමුන් පවසන දෑ කවර නම් මූලාශ්‍රයකට එකඟව තමුන් පවසන්නේ ද යන්න සහිතව යම් අනාවැකියක් කියන යම් ජ්‍යෝතිර්වේදියෙකු වේ නම් හෙතෙම ඒ සියළු බාධක මැඩ ශාස්ත්‍ර උන්නතියට කටයුතු කරන්නෙක්මය //

Related Posts Plugin for WordPress, Blogger...