Friday, October 15, 2010

ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව ගැන නොදන්නා අයට කෙටි හැදින්වීමක්

      කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔහුගේ ජීවිත පලාඵල  විස්තර පැවසීම කල හැකි වීම මෙන්ම ප්‍රදේශයක,රටක  ඇතිවන ආර්ථික සමාජ හා දේශපාලන තත්ත්වයන් ස්වභාවික සංසිද්ධි,ජන ජීවිතය වැනි දෑ පිළිබඳව අනාවැකි පවසන ක්‍රමයක්ද ජ්‍යොතිර් විද්‍යාවේ ඇත."ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව" ලෙස හැදින්වෙන මෙම කෙෂත්‍රය ඉගෙනීම,ගවේශණය හා භාවිතා කිරීම කල යුත්තේ මනා පුහුණුවකින් හා අවබෝධයකින් යුක්තවය.දැලි පිහියෙන් කිරි කෑම උපමා කල හැකි ලෝකායත අනාවැකි පැවසීමේ ක්‍රියාව අනවබෝධයෙන් සිදුකරන ජ්‍යොතිෂවේදීන්ට අත්වූ හා අත්වෙමින් පවතින අලකලංචි පිළිබද අපහට නිතර අසන්නට හා දකින්නට ලැබේ.
එබැවින් ලෝකායත අනාවැකි ඉදිරිපත් කිරීමට පෙර හොදින් සිතා බලා කටයුතු කල යුතුය.අතීතයේ සිටි ජ්‍යොතිෂවේදීහුද එවැනි අනාවැකි පැවසීමේදී ඉතාමත් සැලකිලිමත් වූහ.අනාවැකි වැරදීම හේතුවෙන් හිස් ගැසුම් කෑ රාජකීය දෛවඥයන් පිළිබදව විස්තර ඉතිහාසයේ සටහන්ව ඇත. වර්තමානයේ වැරදි අනාවැකි පවසන ජ්‍යොතිෂවේදීන්ගේ හිස් බේරුනත් ඔවුන්ගේ වැරදි අනාවැකි නිසා ජ්‍යොතිෂයේත් ඔවුන්ගේත් ගෞරවයට විශාල කැලලක් ඇතිවේ.බොහෝ දෛවඥයන් මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන වලට වහල්වී අනාවැකි පැවසීම නිසාත් තවත් අය දැනුම හීන වීම හෝ නොදැනුවත්කම නිසා කටට එන දේවල් පැවසීම නිසාත් ඉපැරණි වටිනා විද්‍යාවක් වූ ජ්‍යොතිෂය අද වන විට බල්ලට ගොස් ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය.
         යමෙකු උපන් වේලාවට සකස් කර ගන්නා ජන්ම පත්‍රය අනුව ඔහුගේ ජීවන තොරතුරු පවසන ආකාරයට ලෝකායත ජ්‍යොතිෂයේදී ලෝකය ,දේශ දේශාන්තර ආදියේ පලාඵල අනාවැකි පැවසීමට ලෝකායත කේන්ද්‍ර සටහන් උපයෝගී කරගනී. නමුත් මෙහිදී ඇති විශේෂත්වය වන්නේ පුද්ගලයකුගේ ජීවන තොරතුරු පැවසීමේදී ඔහු උපන් වේලාවට අදාළ විශේෂ එකා කේන්ද්‍රයක් භාවිතා කළත් ලෝකායතයේදී එක් එක් විශේෂ අවස්ථා අනුව සකස් කර ගන්නා කේන්ද්‍ර සටහන් උපයෝගී කරගැනීමත් ඒවායේ බලපෑම යම්කිසි කාලසීමාවකට යටත්වීමත්ය.එම සීමාකාරී කාලය අවසන් වූ විට ඒ සදහා වෙනත් අනුරූප අලුත් ලෝකායත කේන්ද්‍ර සටහන් උපයෝගී කර ගනී.
      ලෝකායත ජ්‍යොතිර් විද්‍යාවේදී භාවිතා කරන ලෝකායත කේන්ද්‍ර ප්‍රධාන වශයෙන් 6කි.බලපෑම හා වැදගත්කමේ ප්‍රභලතාව අනුව ඒවා පිළිවෙළින් සූර්්‍ය කේන්ද්‍ර, චන්ද්‍රය කේන්ද්‍රය,සූර්්‍ය ග්‍රහන කේන්ද්‍රය,චන්ද්‍ර ග්‍රහන කේන්ද්‍රය,ග්‍රහ සංයෝග කේන්ද්‍රය,සම සප්තම කේන්ද්‍රය ලෙස දැක්විය හැකියි.
          සූර්‍ය කේන්ද්‍රය.
                    හිරු මේෂ,කටක,තුලා,මකර යන රාශිවලට සංක්‍රමනය වීමේදී සාදා ගනු ලබන තත්කාල කේන්ද්‍රවලට සූර්‍ය කේන්ද්‍ර යැයි ව්‍යවහාරවේ.(මෙහි තත්කාල කේන්ද්‍රය යනු අදාල මොහොතේ එම ස්ථානයේ නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවූ රාශිය හා එහද ග්‍රහ පිහිටීමය.ඉදිරියේදී තත්කාල කේන්ද්‍රය ලෙස ඇති අවස්ථාවල අර්ථය එලෙසමවේ)අපි අලුත් අවුරුද්ද ලෙස සමරන්නේද මෙහි එක් අවස්ථාවකි.මෙහිදී උදාවන තත්කාල රාශිය අනුව මෙම සූර්‍ය කේන්ද්‍රවල බලපෑම ඇතිවන කාල සීමාවන්ද විවිධාකාරවේ. උදාවූයේ චර රාශියක් නම් මාස තුනකි. ස්ථිර රාශියක්නම් වසරකි.උභය රාශියක් නම් හය මසකි.මේ අනුව බලන විට අලුත් අවුරුදු සංක්‍රාන්තිය වන රවි මීනයේ සිට මේෂයට සංක්‍රමනය වන මොහොතේ උදාවන තත්කාල රාශිය අනුව අලුත් අවුරුදු පලාඵල වැනිදෑ බලපාන කාල සීමාවන්ද වෙනස්වේ.සමහර විට එය මාස තුනක කාලයක්ද විය හැක.
       චන්ද්‍ර කේන්ද්‍රය.
                   පුර පසලොස්වක හා අමාවක තිථි ලබන වේලාවන්වලදී සකස් කර ගන්නා තත්කාල කේන්ද්‍රයි.මෙම චන්ද්‍ර කේන්ද්‍ර බලපෑම මාසයක් ඇති අතර පලාඵල පැවසීම සංකීර්න අයුරින් ඇත.
       සූ්‍ය ග්‍රහන කේන්ද්‍රය
               හිරුත් පොලොවත් අතරට චන්ද්‍රයා එක එල්ලේ පැමිනීමෙන් සිදුවන සූර්‍ය ග්‍රහන අවස්ථාවලදී සාදාගනඑ ලබන තත්කාල කේන්ද්‍රයයි.මෙහිදී පලාඵල අනාවැකි සඳහා යොදා ගන්නේ ග්‍රහන අවස්ථාවේදී නොව අමාවක තිථිය ලබන මොහොතේ තත්කාල කේන්ද්‍රයයි. ග්‍රහනය දිස්වන හා ග්‍රහනය සිදුවන රාශියට අයත් රටවල්වලට (ලෝකායතනයේදී එක්එක් රාශීන්ට රටවල්වල අයිතියක් බෙදා ඇත.)බලවත් ඵල විපාක ලැබේ.මෙහි විපාක සමහර විට අවුරුදු ගනනාවක් යනතුරු සිදුවිය හැක.
       චන්ද්‍ර ග්‍රහන කේන්ද්‍රය.
              චන්ද්‍ර ග්‍රහන සිදුවන දිනවල පූර පසලොස්වක තිථිය ලබන මොහොතේ සාදා ගනු ලබන තත්කාල කේන්ද්‍රයයි.සූර්ය ග්‍රහන කේන්ද්‍රයේ බලපෑම තරම් ප්‍රබල නැතත් ග්‍රහනය දිස්වන හා ග්‍රහනය සිදුවන රාශියට අයත් රටවල් වලට ග්‍රහනය සිදුවන කාලය අනුව මාස කීපයක් පල විපාක ලැබේ.
       ග්‍රහ සංයෝග හා සමසප්තම කේන්ද්‍ර
              මෙහිදී ලෝකායත ජ්‍යොතිෂයේ භාවිතා වන ප්‍රධාන ග්‍රහයන් වන කුජ,ගුරු,ශනි,යුරේනස්,නැප්චූන් යන ග්‍රහයන් ගෝචර ගමනින් සංයෝගවන හා සමසප්තම වන විට(එකම රාශියට පැමිනීම හා එකිනෙකට රාශි හතක් ඈතින් ඇති රාශිවලට පැමිනීම)සාදාගනු ලබන තත්කාල කේන්ද්‍රයි.
        
               ඉහත දැක්වූයේ ලෝකායත ජ්‍යොතිෂයේදී අනාවැකි පලකිරීම සදහා මූලිකව උපයෝගී කරගන්නා ලෝකායත කේන්ද්‍ර පිළිබදවයි. මීට අමතරව යටත් විජිතයන්ව පැවත නිදහස ලැබූ හෝ අලුතින් ගොඩනැගුණු රටක දේශයක ලෝකායත පලාඵල  සදහා එම රට නිදහස ලැබූ හෝ අලුතින් නම්කෙරුණු මොහොතේ තත්කාල කේන්ද්‍රයන් විශේෂවේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාච බ්‍රිතාන්‍යයෙන් නිදහස ලත් 1948 පෙබරවාරී 4 දා ජාතික ධජය එසවූ මොහොතේ උදාවූ තත්කාල කුම්භ ලග්න කේන්ද්‍රයත් ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශ වූ මොහොතේ උදාවූ සිංහ ලග්න කේන්ද්‍රයත් ලංකාව සම්බන්ධ ලෝකායත පලාඵල අනාවැකි පැවසීම සදහා භාවිතා කෙරේ.

                    

1 comment:

බිඟූ said...

මේකත් හරි එහෙනම්

Related Posts Plugin for WordPress, Blogger...