Tuesday, March 15, 2011

"කාල කඩවර " උපත

 ඉර බැස යමින් ඇත.මරාගත් දිය කොකුන් දෙදෙනා සමග එම මිනිසා තම පැලට ගමන් කරමින් සිටියේය.ගෙට ගොඩවී දිය කොකුන්ව තම ඇඹේනිය අතට දුන්නේ රාත්‍රී ආහාරය සදහා උන් මස් කර පිළියෙළ කරන ලෙස දන්වමිනිඉන් පසු හේ මුහුණ කට සෝදා පිල උඩ ඇලවූයේ වෙහෙස නිවා ගනු පිණිසය.කුසගින්නද තදින් ඇත.තම බිරිද දිය කොකුන් මස් කර රාත්‍රි ආහාරය සකසන තෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.බිරිද වහ වහා මස් ව්‍යාංජනය පිළියෙළ කොට බත් සමග රැගෙන ආවාය.මිනිහා දියකොක් මස් සමග බත් කෑවේ මහත් කෑදර අයුරිනි.මස් නැවත නැවත ගෙන්වමින් කෑවේය.අන්තිමේදී මස් හට්ටිය ඉවර වෙන තුරුම කෑවේය.තව මස් නැද්දැයි බිරිදගෙන් ඇසීය.බිරිදට යකා නැග්ගාය .ඇය සැර පරුෂය.මේ මිනිහා කෑදර කමට මටත් ඉතිරි නොකර මස් හට්ටියම කාලා තවත් මස් ඉල්ලනවා.කේන්ති ගිය ඇය මස් හට්ටියෙන් මිනිහාට දමා ගැසුවාය.මස් හට්ටිය බිදී හට්ටියේ ගැට්ට මාලයක් මෙන් මිනිහාගේ බෙල්ලේ හිරවිය.ඒ මදිවාට ගෑනි මහා හයියෙන් බැන වදින්නටද විය.මේ කළබගෑනිය කුමක්දැයි බලන්නට අහල පහල නිවෙස් වල අයද රොක් වූහ.මිනිහගේ කරේ වලං ගැට්ට හිරවී ඇති අයුරු දුටු සෑම දෙනාම මහා හයියෙන් හිනාවෙන්නට විය.ගෑනි තවමත් බැන වදිමින් සිටියි.මිනිහාට මහත් ලැජ්ජාවක් දැනුනි. ඔහුට එය දරා ගත නොහැකි විය.හේ ලැජ්ජාවෙන්ම කැළයට ගියේය.ඔහු නැවත ගමට නොආවේය.



    වනගතවූ මිනිසා තනිවම කාත් කවුරුවත් නොමැතිව වාසය කළේය.වසර 12ක්ම ගත විය.කැලයේ තනිවම වාසය කරන මෙම අපූරු මිනිසා දුටු වැද්දන් ඒ බව එකල රජ කල ධාතුසේන රජුට දැන්වීය.රජු රාජ පුරුෂයන් ලවා මිනිසා අල්වා රාජවාසලට රැගෙන ආවේය.තමා කවුදැයි මිනිසාගෙන් ප්‍රශ්ණ කලත් උත්තරයක් නැත.වසර දොළහක් මහ වනයේ මිනිස් ආශ්‍රයක් නොමැතිව කතා නොකළ සිටි ඔහුට දැන් කතා කිරීමට නොහැකිය.
   මහ කැලයෙන් රැගෙන ආ මිනිසාව කතා කරවන්නෙකුට ඇතෙක් බරට තෑගි ලැබෙන බවට අඩබෙරයක් ගැසුවේය.අන්තිමේදී මිනිහාව කතා කිරවීමට ඉදිරිපත් වූයේ ඔහු වන ගත වීමට හේතු වූ ඔහුගේම බිරිදය.තමා එදා වලඳෙන් දමා ගසා සෙනග මධ්‍යයේ ඔහුට අවමන් කළ නිසා මෙම කරදරය වීම ගැන ඇයද සිටියේ තරමක් විශ්සෝපයෙනි.
  මිනිසාගේ ඇති කෑදර කම ගැන බිරිද හොදින් දැන සිටියාය.ඔහුව කතා කිරීමට ඉන් මගක් පාදා ගැනීමට ඈ සිතුවාය.මිනිසාව කමරයක සිර කොට වේල් කීපයක් නිරාහාරව තබන ලෙස පැවසූ ඈ ඉන්පසු ඔහු බැහැ දැකීමට හදිසියේ පැමිණ ඔහු නොදැක සිටි කාලය තුල තමා ඉතා කනගාටුවෙන් සිටි බවත් සිදුවූ දෙයට තමාට සමාව දෙන ලෙසත් පැවසූ ඇය තමා සමග කතා කරන ලෙස පැවසීය.කුසගින්නේ සිටි ඔහුට කේනිතිය තවත් වැඩිවී කතා නොකරම සිටියේය.ඉන්පසු ඇය ඔහුට ආහාර සපයා දීමට ඉදිරිපත් වී ඔහු සිටිනා කාමරයේම බත් මුට්ටියක් ලිප තැබීමට සිතා ගල් දෙකක් මත බත් මුට්ටිය තබා මුට්ටිය නොවැටී සකස් කර ගැනීමට උත්සාහ කරන අයුරු ඔහුට පෙනෙන සේ කලේය.ඇගේ මෙම ක්‍රියාව දුටු කුසගින්නේ සිටි ඔහුට කේන්තිය වැඩිවී.
  " ඇයි ගෑනියේ ඔය ලිපට තව ගලක් තියහන්කෝ" යනුවෙන් කීවේය.වසර 12 කට පසු මිනිසා එදින කතා කලේය.ඉන් පසු හේ ක්‍රම ක්‍රමයෙන් කතා කරමින් සාමාන්‍ය තත්තවයට පත්විය.
  කතා කිරීම ඇරබූ මිනිසා තමා වෙතට ගෙන්වූ ධාතුසේන රජු වනයේ ගතකල වසර 12 තුල දුටු විශේෂ දේවල් මොනවාදැයි ඇසීය මහ වනයේ මැද විශාල ජලාශයක් දුටු බව ඔහු රජුට පැවසීය.ඔහු කිවූ මාර්ගය ඔස්සේ ගිය රජුටද එම විශාල ජලාශය දැකගත හැකි විය.මෙම ජලාශයෙන් වැවක් සාදා ඉන් අවට කුඹුරු වලට ජලය ලබා ගත හැකි බව රජුට පසක් විය.වැව පිහිටි තැන කිවූ මිනිසාට වස්තුව දී වැව ඉදිකරන තුරු එහි වැඩ බැලීමේ තනතුරද ලබා දුන්නේය.
    වැව ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය වැව ඉදිකිරීම බාර දුන් මිනිසාට කුඩා පිරිමි දරුවකු විය.ඔහුගේ නම කාලය.කාලද වැව ඉදිකිරීම ගැන සතුටින් සිටියේය.වැව ඉදිකල පසු ඉන් කුඹුරු අස්වැද්දීමේ පහසුව ගැන කුඩා වුවද ඔහුටද වැටහීමක් තිබුණි.එනිසා ඔහුද වැව ඉදිවන තුරු නොඉවසිල්ලෙන් සිටියේය.ඉදිවෙමින් පවතින වැව වටේ ගොස් එහි සිරි නැරඹීම කුඩා කාලගේ දින චර්්‍යාවේ එක් අංගයක් විය.එක් දිනක් ඇදිරි වී වැව වටේ යන කාලට වැව් කන්ඩියේ එක් තැනක කුඩා සිදුරකින් වතුර කාන්දු වනු දුටුවේය.සිදුරෙන් වතුර කාන්දු වීම එන්න එන්නම වැඩිවේ.බලා සිටීමටද නොහැක නිවසට ගොස් පිරිස කැදවාගෙන ඒමටද වේලාවක් නැත.වැව් කණ්ඩිය කැඩුනොත් මහා විනාශයකි.වහාම එම ස්ථානයේ තිබු ගල් කිහිපයකින් සිදුර වසා හේ දෑතින් තද කරගෙන සිටියේය.බිම දිගාවී දෑතින් ගල් තදකරගෙන සිටියේය.තම දෑත් අතුරින් ජලය මද වශයෙන් ගලා යන්නට විය.එහෙත් කාල දෑත අත හැරියේ නැත.කවුරුන් හෝ පැමිනෙන තුරු සිටිය යුතුමය.එළිවෙන තුරුම සිටියේය.කාලගේ සිරුරට ජලයේ සීතල ගතිය පීඩා විය හේ එලෙසම සිහිසුන් විය.පසුදා උදේ පිරිස එනවිටද කාල වැව් බැම්මට තැබූ අත හැර තිබුනේ නැත. එම ඉරියව්වෙන්ම කාල මියගොස් තිබුණි.නමුත් වැව් බැම්ම ආරක්‍ෂාවී තිබුණි.වැව් බැම්ම යථා තත්වයට පත් කළේය.කාලගේ වීර ක්‍රියාව අගය කරණු පිණිසම රජු විසින් වැව "කාල වැව" ලෙස නම් කළේය. එය පසු කළෙක "කලා වැව" විය.
    ඉඩෝර කාලයට වැව සිදෙන විට රජුගේ අනුග්‍රහයෙන් මහා සංඝයා වැඩම කොට වැව අසළ පිරිත් මණ්ඩපයක් සාදා දින කීපයක් පිරිතක් පවත්වයි.පිරිත් කියන විට මහ වැසි ඇද වැටී වැව පිරේ.මණ්ඩපයේ සිටින භිකෂූන්ට පෙනෙන සේ එළියේ කොරහක් තබා ඇත.කොරහ පිරෙන විට වැවේ වාන් මට්ටමට ජලය පිරේ.එවිට පිරිත නවත්වයි.වැස්සද නවතී.එක් ඉඩෝර කාලයක කාලගේ පියා විසින් රජුගේ අනුග්‍රහයෙන් මෙම පිරිත් සඡ්ජායනය සංවිධානය කළේය.පිරිත් මණ්ඩපයට භික්ෂූන් වඩින විට එක් වයෝවෘධ භික්ෂුවකගේ පය වැදී අසල තිබූ ගල්පතුරක් කොරහේ වැදුනි ඉන් කොරහේ උඩ කෙටසේ සිදුරුවිය.කව්රුත් මෙය දුටුවේ නැත.පිරිත් මණ්ඩපය සකසා තිබුනේ වැව් ඉස්මත්තේය.දැන් මහා සංඝයා පිරිත සඡ්ජායනා කරයි.වැස්සද වැටේ.දින කිහිපයක්ම මෙලෙස පිරිත් කියයි.වැස්සද වැඩිවේ.අවසන් දිනයේ වැව වාන් මට්ටමට පැමිණියේය.කොරහේ සිදුර නිසා සම්පූර්ණයෙන් පිරුණේ නැත.එබැවින් භික්‍ෂුන් තවමත් පිරිත් කියති.වැව පහල කොටසේ සිටි පිරිස හඩනගා පිරිත නවත්වන ලෙස පැවසුවත් මහ වැස්ස නිසා පිරිත් මණ්ඩපයේ සිටි භික්‍ෂූන්ට එය ඇසුණේ නැත.පිරිත නවත්වන ලෙස පිරිත් මණ්ඩපය දෙසට එන ගමනේදී කාලගේ පියාද වතුර පහරට හසුවී මිය ගියේය.මරණ මොහොතේදී අපරික්‍ෂාකාරීව කටයුතු කල භික්‍ෂූන් ගැන කලකිරී සිටි නිසා හේ මරණයත් සමගම යක්‍ෂයකුව ක්‍ෂණික ප්‍රතිසන්ධියක් ලැබීය.කලා වැව වෙනුවෙන් ඇපකැපවී සිටි නිසාම මෙම යක්‍ෂ තෙම වැවට අරක් ගත්තේය.දැන් කාලගේ පියා යක්‍ෂයෙකි."කාල කඩවර" ලෙස වරම් ලැබී ඇත.යක්‍ෂයන් සාධාරණය නමුත් කිපෙන සුළුය.දඩුවම් කරන විට ඉතා දැඩිය.අපරික්‍ෂාකාරී භිකෂු පිරිස තවමත් පිරිත් කියයි."කාල කඩවර " තදින් කිපුණේය.පිරිතේ බලය නිසා අසලට යාමද කළ නොහැක.යක්‍ෂයාට අවශ්‍ය භික්‍ෂූන්ට දඩුවම් කිරීමටය.එය කෙසේ හෝ කරයි.ඒ අමනුෂ්‍ය ගතියයි."කාල කඩවර" යක්‍ෂයා වැව අයිනේ සිටි ගවයකු මරා උගේ ගාතයක් ලේ වගුරවමින් පිරිත් මණ්ඩපය දෙසට විසි කළේය.අනපේක්‍ෂිත සිද්ධයෙන් කලබල වූ භික්‍ෂු පිරිස පිරිත නැවැත්වූහ.දැන් "කාල කඩවර" යක්‍ෂයාගේ වාරයයි.හේ වියරුවෙන් පිරිත් මණ්ඩපයේ සිටි භික්‍ෂු පිරිස වෙත කඩා පැන්නේය.


  මේ "කාල කඩවර " උපතයි.


 ප.ලි. කතාවේ අන්තිම ටික කවුරුවත් කැමති නැතිව ඇති .මෙය පුරාවෘතයක් පමනි.තෙරුවන් බලය යක්‍ෂ බලයට වඩා උසස්ය.
     

8 comments:

හිස් අහස said...

මම අහල තිබ්බේ කලා වැවට නම හැදුන හැටි කියවෙන කතාව විතරයි .සමහර ඈයෝ කඩවර දෙයියෝ කියලා කඩවරව අදහනවා නේද ? සමහර අය කියන්නේ එයා යක්‍ෂයෙක් නෙවෙයිය දෙවිකෙනෙක් කියලා

Anonymous said...

කාල කතාව නම් පොඩි කාලේ අහලා උන්නා ..නමුත් කාල කඩවර කතාව නම් ඇහුවේ අද ..හරිම ලස්සනයි.දිගටම කියොගෙන ගියා ..මේ වගේ කතා තවත් ගෙන්න ...

jhothishalanka said...

@හිස් අහස
කඩවර යනු අර්ධ දේව,රාක්‍ෂ බලවේගයක් ලෙස සලකන්නේ.කඩවර 32 ආකාරයකින් ඇති බව දැක්වේ.කාල(කලා) කඩවර ඉන් එකකි.

@නිම්ශා
බලමු බලමු තව කතා තියෙනවා.සැරින් සැරේට දාන්නම්.සේරම එක පාරට කිව්වාම අගයක් නෑනේ.

නදී said...

ඔය කාල ගෑන කතාව ඉස්කොලෙ සිංහල පොතේ තිබ්බා මතකයි.කඩවර උප්පත්ති කතාව මේ අහුවමයි.

Tharindu Eroshan Hendawitharana said...

හරිම හොඳය,ඔය කතා ඔක්කොම අනිවාර්යයෙන්ම ලියන්න.අපි හැමෝම යමක් ඉගෙනගනීවී.කියවන අය බොහොම අඩුය්.

Mihipal Dewaraje said...

thank you

Kushan said...

ශ්‍රී ලංකාවේ පැරණිම ආගම වන්නෙ මලවුන් පිදිමයි(යක්ෂයින් පිදිම) , බුද්ධ ධර්මය පැමිනිමෙන් පසුව මෙම යක්ෂයින් පිදිම අභාවයට ගියමුත් ගැමි ජනතාව එය ‍රැකගෙන ආ නිසා එම ප්‍රදේශවල ප්‍රභූ වරයකු හො ජන නායකයකු මියගිය විට ඔහු යක්ෂයකු වී තමන්ට පිහිට හො කරදර කරයි පිලිගනි..... අපගෙ මෙම යක්ෂ ආගමටම සමාන ආගමකි ජපානයෙ ශින්තො ආගම.... මෙම ආගම් දෙක අතර සැහෙන සමාන කම් තිබේ.....නියම ලිපියක් .....ගොඩක් දෙවල් දැන ගත්තා....

blogsuku said...

බොහොම ස්තූතියි.....

කතරගම දේවාලය බලාගන්න කඩවර දෙවියො තව කෙනෙක් වෙන්න ඕන නේ.. හ්ම්...

තෙරුවන් සරණයි !