Sunday, June 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 1

 විද්‍යාවේදී කාලය හා අවකාශය වෙන වෙනම නොසලකා එකම ප්‍රස්තූතයක් ලෙස ගොඩ නගා ඇත.කාලය හා අවකාශය ගැන වෙනවෙනම කතා කල හැකි වුවත් ඒ දෙක අතර ඇති සම්බන්ධය අමතක කල නොහැක.

  සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම්වාදය තුල ඉතා පුළුල් අයුරින් කාලය අවකාශය පිළිබදව සලකා බලා ඇත.එවැනි සංකීර්ණ අයුරින් කාලය අවකාශය පිළිබදව විස්තර කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.ඊට අදාළ පූර්ණ දැනුම් සම්භාරයක්ද ලේඛකයාට නැත.කාලය අවකාශය පිළිබදව සරලව කතා බහ කිරීමක් සමග ජ්‍යොතිෂය තුල එහි ක්‍රියාකාරීත්වය පිළිබදව යම් අවබෝධයක් පාඨක ඔබට ලබා දීම මෙම සටහනේ අරමුනයි.
  කාලය හා අවකාශය පිළිබදව දැක්වෙන විවිධාකාර වූ අර්ථ දැක්වීම් කීපයක් ප්‍රථමයෙන් සලකා බලමු.
---------------------------------------------------------------------------------
 කාලය
* "අඛන්ඩ පැවැත්ම පිළිබද සංකල්පය,පැවැත්මක සම්බන්ධතාවය හෙවත් මිම්ම."
                
* "පැවැත්මක නියමිතප්‍රමාණය,සමය,යුගය,අවධිය,කාලපරිච්ඡේදය,කාල සීමාව (තත්ත්පරය,විනාඩිය,පැය,දවස,මාසය,වර්ෂය ආදී වශයෙන්) "

 අවකාශය
       * "සජීවි අජීවි වස්තූන්ගෙන් පිටත් සෙසු හිස් තැන්"

  *"වස්තූන් සහිත වූ හෝ රහිත වූ නිරන්තර ප්‍රවාහීවූ විශාල ලෙස පැතිරුණු අසීමාන්තික ප්‍රද්ශයයි.
---------------------------------------------------------------------------------
   "අවකාශය තුල පඨවි,ආපෝ,තේජෝ,වායෝ යන චතුර් භූතයන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයෙන් කාලය නිර්මාණය වේ."
   මෙයින් අදහස් කෙරෙන දේ එක්වරම නොවැටහුනත් පහත දැක්වෙන වගන්තිය කියවූ විට එහි ව්‍යාකූල බව මඟ හැරේ.
  "අප අවට ඇති විශ්වය සම්පූර්ණයෙන්ම හිස් අවකාශයක් යැයි මොහොතකටසිතන්න.පෘථිවිය,වායුගෝලය,චන්ද්‍රයා,ග්‍රහලෝක,සූර්ය්‍යා,තාරුකා,චක්‍රාවට,මන්දාකිණී,කළු කුහර,අදුරු අංශු ආදී මෙකී නොකී කිසිත් නැති හිස් අවකාශයකි.මෙහිදී පෘථිවියක් හෝ එහි භ්‍රමණ,පරිභ්‍රමණ සංසිද්ධි වායුගෝලය,ජීවී ක්‍රියා නැත.දිනය මාසය වර්ෂය මැනීමක් තියා කිසිදු ආකරයකින් කාලය පිළිබද අර්ථ දැක්වීමක් කල නොහැක. "

 කාලය හා අවකාශය පිළිබද තවදුරටත් දැනගැනීමට මෙන්ම එහි ඇති ගුප්ත මායාකාරී බව වටහා ගැනීමට පහත දැක්වෙන විස්තරත් කියවන්න.

   * " පෘථිවියට ආලෝක වර්ෂ 4 ක් පමන ඈතින් පිහිටි තාරුකාවක් එහි ආයුෂ කාලය අවසන් වී යම් මොහොතක පුපුරා විනාශ වී ගියේ යැයි සිතන්න.නමුත් එම පිපුරුමේ දර්ශනය පෘථිවියේ සිටින අයට දර්ශනය වීමට වසර හතරක් ගතවන්නේ අදාළ ආලෝක කිරණ පෘථිවියට ලගා වීමට එපමන කාලයක් ගතවන බැවිනි.තරුව පිපිරී වසර හතරකට පසු පෘථිවි වාසීන්ට එය දර්ශනය වුවත් ඒ වන විට එම ස්ථානයේ එම තරුව නැත.එමෙන්ම පුපුරා ගිය තරුවේ සිට ආලෝක වර්ෂ 10 ක් පමණ ඈත පෘථිවිය පිහිටි දිශාවෙන් වෙනත් දිශාවක පිහිටි ස්ථානයකට හෝ ග්‍රහලෝකයකට එම පිපිරීම දිස්වෙන්නේ වෙනත් කාලයක වෙනස් අයුරකිනි (පිපිරීම පෘථිවි කාලයට සාපේක්‍ෂව 2000 ජනවාරි 01 දා සිදුවන විට එය පෘථිවියට 2004 ජනවාරි 1 දා දර්ශනය වන අතර අනිත් ග්‍රහලෝකයේ සිටින අයට එය දිස්වෙන්නේ පෘථිවි කාලයට සාපේක්‍ෂව 2010 ජනවාරි 1 දිනයේදීයි.)"

  * "පෘථිවිය මෙන්ම තනි සූර්යකුගෙන් ජීවය ලබන වෙනත් ග්‍රහලෝකයක කක්‍ෂීය භ්‍රමනය(දිනක කාලය) පෘථිවි දින 100 ක කාලයට සමාන වන විට එම ග්‍රහලෝකයේ වෙසෙන ජීවින්ගේ ජීව රසායන ක්‍රියාවලීන්ද ඊට අනුරූපවේ."තව්තිසා දිව්‍යලෝකේ එක දවසක්  අපේ වසර 100 ක්" ලෙස පැරණි කතාවක් ඇත.විද්‍යාත්මකව බලන විට මෙය තර්කානුකුලය."

  * " සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙන් දැක්වෙන පරිදි රෝහිතස්ස නම් සෘෂිවරයා ස්වකීය සීමා රහිත වූ සෘද්ධි බලය යොදාගෙන විශ්වයේ කෙලවර (ලෝකාන්තය)සොයමින් වසර සියයක් පුරා විශ්වය පුරා සිසාරා ගිය නමුත් ලෝකාන්තය නොදැකම මිය ගියේය.ගෞතම බුද්ධ ශාසනයේ වමත් අගසව් මෙන්ම සෘද්ධිමතුන් අතර අග්‍රවූ මුගලන් මගරහතන් වහන්සේද ස්වකීය සෘද්ධි බලයෙන් අනේක වූ ලෝක වලට ගොස් ඒවායේ සැපදුක් විදින සත්ත්වයන් දැක ඒ පිළිබදව ජනතාව දැනුවත් කරමින් පින් දහම් කිරීමට ඔවුන්ව පෙළඹවූ සේක.එසේ විශ්වයේ සැරිසරන අතරතුර විශ්වීය අවකාශයේ අවසානය සෙවීමේ අවශ්‍යතාවක් මුගලන් හිමියන්ටද ඇති විය.(අග්‍රශාවක මහරහතන් වහන්සේ නමකට මෙවැනි අවශ්‍යතාවක් පහළ වීමද සිතන්නට දෙයකි.) ඒ අනුව මුගලන් හිමිද ස්වකීය සෘද්ධි බලයෙන් ලෝකාන්තය සොයමින් අවකාශයේ සැරිසරන විට බුදු රදුන් මෙය දැක ස්වකීය සෘද්ධි බලය යොදාගෙන මුගලන් හිමිව නැවත ගෙන්වා අපරිමිත අවකාශයේ අවසානයක් සෙවීම අර්ථශුන්‍ය ක්‍රියාවක් බව දේශනා කරමින් "අවකාශයේ ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමණ සංඥා සහිත මනසින් යුක්ත මේ ශරීරයම බවයි."

 * "සිඛී බුදු රදුන් සමයේ අභීභූ නම් භික්‍ෂුවක් යම් ගාථාවක් සහස්සී ලෝකධාතුව තෙක්ම ඇසෙන සේ සජ්ජායනා කළ බව සදහන්ය.ආනන්ද හිමි විසින් මේ අරභයා බුදුරදුන්ගෙන් පැනයක් අසමින් බුදුරජානන් වහන්සේට කෙතරම් දුරකට ශබ්දය පැතිරවිය හැකිදැයි විමසූය.මේ ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් විසින් ලෝකධාතු ප්‍රධාන වශයෙන් තුනක් පවතින බව දේශනා කළ සේක.
  1) සහස්සී චූලනිකා ලෝකධාතුව
  2)ද්වී සහස්සී මජ්ඤධිමා ලෝකධාතුව
  3)තීසහස්සී මහාසහස්සී ලෝකධාතුව
      මෙම ලෝකධාතුද තවදුරටත් බෙදීම් දක්වයි.ඒ අනුව චූලනිකා ලෝකධාතුවේ පමනක් 
   1)දඹදිව් තල දහසකි(පෘථිවිය වැනි ලෝකධාතු දහසකි.)
   2)තව්තිසාදී දිව්‍ය ලෝකධාතු දහසකි(මේ එක් එක් තව්තිසා ලොවට එක් සක්‍රයා බැගින් සක්‍රයන්ද දහසකි.අනිත් තත්තවද එසේමවේ.)
   3)යමලෝක දහසකි
  4) බඹලෝක දහසකි
            .
            .
            .
       
     ඒ අනුව බලන විට අපගේ සෞරග්‍රහ මන්ඩලයට සමාන වූ තවත් සෞරග්‍රහ මන්ඩල දහසක් චූලනිකා ලෝක ධාතුවට අයත්ය.එවැනි චූලනිකා ලෝකධාතු දහසක් මජ්ඤජමා  ලෝක ධාතුවට අයත්ය.එවැනි මජ්ඤජිමා ලෝකධාතු දහසක් මහා ලෝක ධාතුවට අයත්ය.අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ "නිවුන් ලෝක" සංකල්පය අනුව පෘථිවියට සමාන වූ සමාන්තර ලෝක ඇති බව හෙළිවේ.චීන ජාතික සටන් නළුවකු වන "ජෙට් ලී"ප්‍රධාන චරිතය රඟපෑ     "   The One"නැමැති ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපටියේ කතාතේමාව වී තිබුනේද සමාන්තර ලෝකවල සිටින තමාට සමරූපී වූ පුද්ගලයන් ඝාතනය කරමින් බලවත් වීමට උත්සාහ කරන පුද්ගලයකුගේ කතාවකි.මෙම කතාවේ සමරූපී චරිත හදුන්වා දීම කතා රසය මතු කිරීමට සිදු කළ දෙයක් වුවත් පෘථිවියට සමාන ලෝක පැවතීම බුදු දහම අනුවද සනාථ වී ඇත."

 * "කාල අවකාශීය ක්‍රියාවලිය චක්‍රීයවේ."
        මෙම ක්‍රියාවලිය එක් ලෝකධාතුවක් තුල නැවත නැවත සිදුවීමක් ලෙස දක්වා නැතත් ධර්මය අතුරුදහන් වී අබුද්ධොත්පාද කාලය ගතවී ලෝක ධාතුවක් විනාශ වී එයින්ම අනාගත ලෝක ධාතුව නිර්මාණයට වැඩ සැලසීම,ජීවින් බිහිවීම,...... බුදු කෙනෙකුන් බිහිවීම ආදී නියාම ධර්ම වලට අනුකූලව ලෝකධාතුව ක්‍රියාත්මක වීම චක්‍රීයවේ. 

---------------------------------------------------------------------------------
   අළුත උපන් දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය සෑදීමට ජ්‍යෙතිෂවේදියකු හමුවට යාමේදී දරුවාගේ උපන් දිනය වේලාව මෙන්ම උපන් ස්ථානයද රැගෙන යන බව කව්රුත් දනී.සත්‍ය ලෙසම උපන් වේලාව හා ස්ථානය අනුව දරුවෙකුගේ උපන් කේන්ද්‍රය සෑදීමේ ක්‍රියාවටද කාලය හා අවකාශ සංසිද්ධිය සෘජුලෙස යොදාගැනීමකි.
   ජ්‍යොතිෂයේදී කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රයට මූලික ලෙස සලකා බැලෙන්නේ ජන්මියා උපන් වේලාවට එම ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජයයි.පෘථිවි පෘශ්ඨය මත එක් එක් ස්ථානයට විශේෂ වූ අනන්‍යතාවක් ඇත.
    ගෝලකාර පෘථිවියේ සෑම ස්ථානයකටම(ලක්‍ෂයකටම) අනන්‍ය වූ ස්ථාවරත්වයක් ඇත.දරුවා උපන් ස්ථානයට සාපේක්‍ෂව නැගෙනහිර බටහිර දිශා රේඛා ඔස්සේ බැලූ විට පෙනෙන නැගෙනහිර බටහිර ක්‍ෂිතිජයන් පිළිබදව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.පෘථිවියේ දකුණු පසට සිදුවන භ්‍රමණ ක්‍රියාවලිය නිසා ඉර හද ඇතුළු ග්‍රහ තාරුකා නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවී බටහිර ක්‍ෂිතිජයෙන් බැසයන අයුරු ඉන්ද්‍රිය ඝෝචර තත්ත්වයක් පෘථිවි ලක්‍ෂයේ සිටින්නාට දැනේ.ලංකාවේ නැගෙනහිර දිශාව අප සිටින දිශාවට ඔබ්බෙන් පිහිටි නිසා අපට බටහිර මුහුදෙන් ග්‍රහ තාරුකා බැසයන අයුරු දැකගත හැකි අතර නැගෙනහිර වෙරළ ආශ්‍රිත පදිංචි කරුවන්ට නැගෙනහිර මුහුදෙන් හිරු නැගෙන අයුරු දැක ගත හැක.ජ්‍යොතිෂයේ ජන්ම කේන්ද්‍රය ආශ්‍රිත සිද්ධාන්ත සැකසී ඇත්තේද උපන් ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජය මූලිකවය.මොහොතින් මොහොත අළුත් වීමක්(අළුත් අහසක්) ඇතිවන නැගෙනහිර ක්‍ෂිතිජය තෝරා ගැනීමම විද්‍යාත්මක නොවේද?
    දරුවා උපදින මොහොතේ උපනා ස්ථානයට අදාල නැගෙනහිර ක්‍ෂිතිජයෙන් ඉහලට මතු වෙමින් පැවති ලග්න දොළහට අයත් (මේෂ,වෘෂභ,....ආදී) තරු රාශිය කේන්ද්‍ර හිමියාගේ උපන් ලග්නය ලෙස සලකයි.කැරකෙන බඹරයක් නිසල වීමට ආසන්න වන විට භ්‍රමන අක්‍ෂයේ සිදුවන ලප්පා වීමට(පූර්වායනය) අනුරූපව පෘථිවි අක්‍ෂයද එහි ඇලවීම හා වෙනත් හේතු නිසා කේතුවක පෘෂ්ඨයක හැඩයට ඉතා සෙමින් පූර්වායනයවේ.(ජ්‍යොතිෂයේදී අයනය ලෙස හැදින්වෙන්නේ මෙයයි.) පෙරදිග ජ්‍යොතිෂයේදී මෙම පූර්වායන චලිතය(අයනය) අනුව අපට දෘෂ්ටි වන තත්ත්වය බැහැර කර අයනය රහිතව(නිරයන) පෘථිවි චලිතය සලකා දරුවා උපදින වේලාවට එම ස්ථානයට අනුරූප නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවෙමින් තිබූ ලග්න රාශිය හා එහි ඉහලට මතුවූ කොටස අනුව ලග්නයත් ලග්නයේ අභ්‍යන්තර බෙදීම්(නවාංශකය,ත්‍රිංශාංශකය ....ආදී) සලකා බලන බව විශේෂයෙන් දැන ගත යුතුය.අයනය සහිත(සායන)ක්‍රමය බටහිර ජ්‍යොතිෂයේ භාවිතාවේ.එය එසේ වුවත් තාරකා විද්‍යාවට අදාල සායන ක්‍රමය භාවිතා කරන බටහිර ජ්‍යොතිෂය අපේ පෙරදිග ක්‍රමයට වඩා නිවැරදිය යන තීරණයට එලඹීමට කළබල විය යුතු නැත.
         නැගෙනහිර ක්‍ෂිතිජ රේඛාව අංශක 0 ලෙසත් එම රේඛාවේ සිට අහසේ ඊලගට මතුවෙන කොටසේ දිශාවට අංශක 30 පෙදෙස පළමු භාවය ලෙසත් ඊලග අංශක 30 කොටස දෙවන භාවය ලෙසත්  ආදී කොට  අහසේ අංශක 360 අවකාශ පෙදෙස කොටස් දොලහකට බෙදා එක් එක් කොටස එල්ලේ ඇති ග්‍රහයන් අනුව සකසා ගත් ග්‍රහ පිහිටීමත් අනුව ජන්මියාගේ භාව කේන්ද්‍ර සටහන සකසා ගන්නා අතර අප එදිනෙදා භාවිතා කරන දළ කේන්ද්‍ර සටහන සාදා ගන්නේ මීට තරමක් වෙනස් ආකාරයකටය.එහිදී නැගෙනහිර ක්‍ෂිතිජයෙන්  නිරයන ක්‍රමයට මතුවෙන ලග්න දොළහට අයත් රාශිය 1 ස්ථානය(ලග්නය) ලෙසත් ඉන්පසු මතුවන ලග්නය 2ස්ථානය(දෙවැන්න) ලෙසත් අනුරූප අයුරින් සලකා ස්ථාන 12 සකසා ඇති අතර එක්එක් ග්‍රහයා නිරයන ක්‍රමය අනුව සිටියේ කුමන රාශිය එල්ලේද ඒ අනුව ග්‍රහ පිහිටීමද සටහන් කෙරේ.අපේ රටේ මෙම භාව කේන්ද්‍ර හා දළ කේන්ද්‍ර ක්‍රම දෙකම භාවිතා කරන නමුත් පලාඵල බැලීමේදී වැඩිපුර භාවිතා කෙරෙන්නේ දළ කේන්ද්‍රයයි.
       සාමාන්‍යයෙන් දරුවෙකු මව් කුසින් ස්වභාවික අයුරින් බිහි වීමේදී දරුවාගේ හිස පෙදෙස පළමුවෙන්ම එළියට පැමිනීම සාමාන්‍ය ක්‍රමයයි.ඉන් පසුව ක්‍රමයෙන් ශරීරයේ ඉතිරි කොටස් පිළිවෙලින් බෙල්ල,පපුව,උදරය,ලිංග පෙදෙස,පාද මව්කුසින් බිහිවේ.ජ්‍යොතිෂයේදී ලග්නයට හිස ප්‍රදේශයත් දෙවැන්නට ඇස් කන් නාස්වලටත් තුන්වැන්නට බෙල්ල සිව්වැන්නට පපුව ........දොලොස්වැන්නට යටිපතුල් හා හිස මුදුනත් ආදී වශයෙන් කේන්ද්‍රයේ ස්ථාන 12ට ශරීරාංග වෙන්කොට ඇති ආකාරයේද විද්‍යාත්මක පිළිවෙළක් දක්නට ඇත.
       මීට අමතරව ජ්‍යොතිෂයේදී අහස් ගෝලය බෙදා ඇති ආකාරයේද පිළිවෙළක් දක්නට ඇත.
          1) අහසේ තරු රටා විශාල ප්‍රමාණයක් ඇතත් ලග්න දොළහට අයත් තරු රටා තේරීමේදී සමකයට ආසන්නව ඇති එකකට පසු එකක් අනුපිළිවෙළින් පායන තරු රටා 12ක් තෝරාගෙන ඇත.
  
                     ------  මතු සම්බන්ධයි   -----



6 comments:

සංකල්ප said...

ගොඩක් වටින ලිපියක්. මම මේ දේවල් ගැන කලින් නම් දැනගෙන හිටියේ නෑ. ඒ දේවල් දැන ගත්තේ මේ ලිපියෙන්ම තමයි.

හිස් අහස said...

ඔයා මෑත කාලයේ ලියපු පෝස්ට් වලින් මම කැමතිම පෝස්ට් එක මේක .කාලය හා අවකාශය ගැන මේ පෝස්ට් එකෙන් හොඳ විස්තරයක් දීලා තියනවා

විශ්වය කියන්නේ ඇත්තටම අපිට කවදාකවත් තේරුම් ගන්න බැරි දෙයක් . අපි යන්තම් හඳට ගියාට ඒකෙන් කවදාකවත් අපි දිනුවා කියලා කියන්න බෑ . අපි තවම මේ මහා අභිරහස් වලින් පිරුනු විශ්වයේ සැඟවෙච්ච දේවල් වලින් දශමයක් පමන දන්නේ නැතිව ඇති .

ඊට පහල ටික නම් මට වැඩිය තේරුනේ නෑ ඒත් මම මේ ලිපියත් එක්ක දිගටම ඉන්නවා ..

jothiratna said...

බුදු දහම නිරපේක්ෂ සත්‍ය විදියට අරගෙන අනෙත් දේ විස්තර කරන එක අනුමත කරන්න බැහැ.

janaka said...

"බෙල්ල,පපුව,උදරය,...ජ්‍යොතිෂයේදී ලග්නයට හිස ප්‍රදේශයත් දෙවැන්නට ඇස් කන් නාස්වලටත් තුන්වැන්නට බෙල්ල සිව්වැන්නට පපුව: දොලොස් වැන්නට යටිපතුල් හා හිස මුදුනත් ආදී..." කරණු තේරුනෙමු! පවුල කොටු විස්තර 12ට ස්තුති ඹබතුමට!; මේ අයුරින් කෙනෙකුගේ පළමු දරුවා;දෙවන දරුවා;තෙවන දී ද: පළමු විවාහය 7හි පෙන්නුම් වේද? දෙවැන්නක්; තෙවැන්නක් ආදි කරනු 12ස් කොටුවන් හෙළිකරන කරනු ඉදිරි ලිපි තුලින් සටහන් පත් කිරීමට කාරුණික වෙමු!

මුතුපබලු said...

කාලය හරහා ගමන් කිරිම යනු කුමක්ද?එය කලහැක්කේ කෙසේද?ඉතාමත් හොඳ ලිපි පෙලක්..ඔබට සුභ පැතුම්.....තව තවත් හරවත් දෑ ලියන්නට

Anonymous said...

apa saama dinama kaalaya harahaa gaman karannemu.

Related Posts Plugin for WordPress, Blogger...