LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Monday, September 2, 2013

කාබන් කාල නිර්ණකයද? පුරා විද්‍යා ජ්‍යොතිෂයද?


    කාබන් කාල නිර්ණක ක්‍රමය පිළිබඳව මෑත කාලීනව අපේ රටේ වැඩිපුර කතාබහට ලක්වූයේ මාතලේ සමූහ මිනී වලත් සමඟය.මිනීවලෙන් මතුවූවන්ට එම ඉරණම අත්වූයේ කුමන වකවානුවක් තුලදීද යන්න ගැටළුවක් වූයේ 1971 හා 1988-89 භීෂණ කාල වකවානු දෙක තුලදීම මෙවැනි සමූහ මිනිස් ඝාතන සිදුවූ බැවිනි.
  මාතලේ සමූහ මිනීවලෙන් මතුවූවන්ගේ මරණය සිදුවූ කාලය දැන ගැනීමට සාම්පල් කිහිපයක් පිටරට යැවූ බවට මාධ්‍ය වල පලවී තිබුනි.එහි පරීක්ෂණ වාර්තා කෙබදු වූවා දැයි ලේඛකයා නොදනී.එය මෙම සටහනේ ඉදිරිය සදහා අවශ්‍ය වන්නේද නැත.එම විස්තරය දැක්වූයේ හුදෙක් කාබන් කාල නිර්ණක පරීක්ෂාවේ ප්‍රායෝගික අවස්ථාවක් දැක්වීම පිණීස පමණී..
     කාබන් කාල නිර්ණ ක්‍රමය ලොවට හදුන්වාදුන් අමෙරිකානු ජාතික භෞත රසායන විද්‍යාඥ විලාඩ් ෆ‍්‍රෑන්ක් ලිබී කාර්යබහුල වී සිටියේ යුරේනියම් 235 සමස්ථානිකය සමඟ ය. එය ස්වභාවිකව ම විකිරණශීලිතාව පෙන්වූ මූලද්‍රව්‍යයක් විය. එහෙත් ස්වභාවික විකිරණශීලිතාව ට අමතරව ඇතැම් මූලද්‍රව්‍ය පෘථිවියට පතිත වන අධිශක්ති අංශුවල බලපෑම නිසා ද විකිරණ නිකුත් කරයි. හයිඩ්‍රජන්වල ඉහළම සමස්ථානිකය වන ට්‍රීටියම් ද එසේ ම ය. එසේ වන්නේ මන්දැයි ලිබී දිගින් දිගට ම සොයා බැලුවේය.
     එම අධිශක්තික ආලෝක අංශු පෘථිවි වායුගෝලය පසාරු කරගෙන පැමිණෙන්නේ වායුගෝලයේ බහුල ම සංඝටකය වන නයිට්‍රජන් අණු හරහා බව සරල පැහැදිලි කරුණක් විය. නයිට්‍රජන් පරමාණුවක ප්‍රෝටෝන 7 ක් සහ නියුට්‍රෝන හතක් අන්තර්ගත ය. ඒ අනුව අධිශක්තික ආලෝක අංශු නියුට්‍රෝන අංශුවක ගැටෙන විට ප්‍රෝටෝනයක් මුදා හරී.මෙකී ප්‍රෝටෝන නිදහස් ඉලෙක්ට්‍රෝන සමඟ බැෙඳන අතර ඉන්පසු හයිඩ්‍රජන් පරමාණුවක් බව ට පත්වේ. මේ අනුව දැන් ප්‍රෝටෝන හයක් සහ නියුට්‍රෝන අටක් සහිත නයිට්‍රජන් න්‍යෂ්ටිය කාබන් දාහතර සමස්ථානිකයක් බවට පත්වෙයි
                          
                                                        1n + 14N → 14C + 1p

කාබන් දාහතර සමස්ථානිකය වෙනස්වීමට කැමති (අස්ථාවර) කාබන් පරමාණුවකි. එය බීටා නම් වූ කිරණ වර්ගය පිට කරමින් නයිට‍්‍රජන් දාහතර(N14) පරමාණුව සාදයි. මෙම කි‍්‍රයාව හඳුන්වන්නේ විකිරණශීලී හායනය නමිනි.        
                                             
                                 \mathrm{~^{14}_{6}C}\rightarrow\mathrm{~^{14}_{7}N}+ e^- + \bar{\nu}_e

කාබන් දාහතර පරමාණුවක මෙම කි‍්‍රයාව දිගටම සිදු වෙයි.ශරීරයේ කාබන් දාහතර සමස්ථානිකය ශාක සහ සතුන් මැරුණු පසුව කාබන් දාහතර විනාශවීම ආරම්භ කරයි. මැරුණු ශරීරයක ඇති කාබන් දාහතර පරමාණු වලින් බාගයක් විනාශවීමට අවුරුදු 5730 ක් ගත වෙයි. මෙම කාලය අර්ධ ජීව කාලය (HALF LIFE) ලෙස හැඳින් වේ.මියගිය ශරීරවල අඩංගු විකිරණශීලී කාබන් 14 ප‍්‍රතිශතයක් ලෙස ගණන් ගැනීම සිදු කරයි. එසේ ලැබෙන උත්තර මගින් එම ජීවියා ගේ වයස නිවැරදිව ප‍්‍රකාශ වේ.
    උදාහරණයක් වශයෙන් පොසිලයක් හමු වූවා යැයි සිතමු. එහි කාබන් 14 සමස්ථානිකය අන්තර්ගත නම් සහ එහි ස්කන්ධය අර්ධයක් දක්වා ක්ෂීණ වී තිබේ නම් එහි අරුත මේ පටකයේ වයස අවුරුදු 5730 ක් යැයි දළ වශයෙන් කිව හැකි බවයි.
   විද්‍යාඥ ලිබී කිහිපදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයවමින් සිය සොයා ගැනීම අතිශය තර්කානුකූල හා නිරවද්‍ය ලෙස ලොවට ඉදිරිපත් කෙළේ ය. එහි ප්‍රතිඵලය ලෙසට ඔහු 1960 වසරේදී කාබන් කාල නිර්ණය ක්‍රමය සොයා ගැනීම හා සංවර්ධනය කිරීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය.

  ඉහත විස්තරය අනුව කාබන් කාල නිර්ණක ක්‍රමය  වසර 52ක් වැනි කාලයක් ඉතිහාසයක් ඇති පැරණි ක්‍රමයකි.වර්තමානය වනවිට විද්‍යාවේ දියුණූව සමඟ පොසිලයක හෝ පුරා වස්තුවක වයස තීරණය කිරීමට වඩාත් ඵලදායි තාක්ෂණික ක්‍රම බිහිවී ඇත.න්‍යෂ්ථික භෞතික හා රසායන විද්‍යාවේ සිද්ධාන්ත අනුව ගොඩනැගී ඇති ඉතා සංකීර්ණ එම සිද්ධාන්තයන් සැකෙවින් දැක්වීම මෙම ලිපියේ සීමාව ඉක්මවා යාමකි.කෙසේවුවත් මෙම ලිපියේ ප්‍රධාන මාතෘකාවට පිවිසීමට ප්‍රථම එම නවීන පුරා විද්‍යා තාක්ෂණ ක්‍රම පිළිබඳව ලේඛකයා දැනුවත් මට්ටමින් හෝ පාථකයන්ද දැනුවත් වීම සුදුසු නිසා ඒ පිළීබඳව සරල හැදින්වීමක් පහත දක්වමි.

 කාබන් කාල නිර්ණක ක්‍රමය ප්‍රායෝගිකව යෙදීම අසීරු වන හා වෙනත් ගැටළුසහගත අවස්ථාවලදී පුරා වස්තුවල වයස නිර්ණය කිරීමට බහුලව භාව්තා කෙරෙන තාක්ෂණ ක්‍රමයකි, සන්දීප්තතා කාල නිර්ණක (Luminescence Dating) ක්‍රමය.


 සන්දීප්තතා කාල නිර්ණක ක්‍රමය(Luminescence Dating)
      පුරාවස්තුවල ස්වභාවික විකිරණශීලි මූලද්‍රව්‍ය (යුරේනියම්,තෝරියම්,පොටෑසියම්,....) තැන්පත්වී ඇත.අවසාධිත දැලිස් ආකාරයට තැන්පත්ව ඇති අයනිකාරක විකිරණශීලි ද්‍රව්‍ය යම් කිසි උත්තේජනයකින් (ආලෝක හෝ තාප) සන්දීප්තියක් ආකාරයට විමෝචනය කොට එම විමෝචිත සන්දීප්ත සාම්පලයක් ඇසුරින් පුරා වස්තුව මීට පෙර සූර්ය ආලෝකයට මුහුණ දුන් හෝ අධික තාපයකට මුහුණ දුන් කාල වකවානුව  ගණනය කල හැකිය.උත්තේජනය සදහා තාපය යොදා ගන්නා ක්‍රමය තාප සන්දීප්තතා(thermal luminescence Dating) ක්‍රමය හා ආලෝකය උත්තේජනය සදහා යොදා ගන්නා ක්‍රමය ආලෝක සන්දීප්තතා(Optical luminescence Dating) ක්‍රමය ලෙසත් හැදින්වේ. අධික තාපය භාවිතා කරමින් සාදන මැටි බදුන් වලං වැනි පුරා වස්තු වල නිෂ්පාදන කාලය ගනනය කිරීමට තාප සන්දීප්ත ක්‍රමය වැඩි වශයෙන් භාවිතා කෙරෙන අතර ආලෝක සන්දීප්තතා ක්‍රමය වැඩි වශයෙන් භාවිතා වන්නේ සත්ත්ව හා ශාක පොසිල ජීවි තත්තවයේ පැවති කාලය ගනනය කිරීමටය.






 පැරණි පාෂාණ ආදියේ වයස් කාලයන් ගනනය කිරීමට භාවිතා කෙරෙන තවත් විකිරණශීලී ක්‍රමයක් ලෙස පොටෑසියම් ආගන් ක්‍රමය දැක්විය හැක.පාෂාණ තුළ ඇති විකිරණශීලී පොටෑසියම් මූල ද්‍රව්‍යය ඉතා සෙමින් නමුත් නොකඩවා විකිරණ පිට කරයි. පොටෑසියම්වල අර්ධ ජීව කාලය (එම මූල ද්‍රව්‍යය බාගයක්වීමට ගතවන කාලය) අවුරුදු මිලියන 1.3 ක් පමණ වෙයි. පොටෑසියම් විකිරණ පිට කරමින් ආගන් මූල ද්‍රව්‍යය බවට පත් වෙයි.අප විසින් කාලය සෙවීමට ගන්නා පාෂාණයේ අඩංගුවන ආගන් මුලද්‍රව්‍ය ප‍්‍රමාණය මැන ගැනීමෙන් එම පාෂාණයේ වයස ප‍්‍රමාණය තීරණය කළ හැකිය.

      ඉහත දක්වන ලද පුරා වස්තු හා පොසිල වල වයස බැලීමේ විකිරණ ශීලී ක්‍රම විධි අතුරින් වසර 52 ක් පැරණි ක්‍රමයක් වූ කාබන් කාල නිර්ණායකය පවා හරිහැටි කල හැකි පහසුකම් ලංකාව තුල නැති බව කනගාටුවෙන් කිව යුතුය.ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක් පමණ වටිනා තාප සන්දීප්තතා උපකරණයක් මීට වසර කීපයකට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ රසායනාගාරය සතුව පැවති නමුත් මේ වන විට එය අබලන්ව ඇත.එය සක්‍රියව පැවති කාලයේ එය භාවිතයෙන් ලාංකීය පුරා විද්‍යාඥයන් සිදුකල වටිනා සොයා ගැනීමක් මෙහි සටහන් කල යුතුමය.එම විද්‍යඥයකුගේ අදහස්ම දැක්වූ විට,
  “ සුනාමි අවස්ථාවලදී මුහුදේ තිබෙන වැලි ආදිය තැන්පත් වෙන්නෙ කළපුවල. සාමාන්‍යයෙන් කළපුවක තිබෙන්නෙ මඩ. මේ පරීක්ෂණයට ලක් කළ කළපුව තිබෙන්නේ විහාර මහා දේවිය ගොඩබට ස්ථානයේ සිට කිලෝමීටර 1/4 ක් පමණ දුරින්.(කිරින්ද) අපි යවපු (කෝ එක) පිට්ටු බම්බුවක් වැනි තාක්ෂණ උපකරණය මේ කළපුවෙ පස් අතර යැව්වා.
   ගොඩට ගත්තම අපට පෙනුණා 2004 සුනාමියේ වැලි තට්ටුව. ඊළඟට නැවතත් පස් තට්ටුවක්. යළිත් ටිකක් දුර යන කොට මුහුදු වැලි තට්ටුවක්. ඒකෙ බෙල්ලො ආදි මුහුදු සතුන්ගේ අවශේෂ තිබුණා. මේ විදියට බලනකොට අවුරුදු 1600 කදීත්, 2200 කදීත් ආපු සුනාමි වැලි තට්ටු කළපුවේ තැන්පත්ව තිබුණා. හරියටම 2200 කියන්නේ විහාර මහාදේවිය ගොඩබට කාලයයි.
  එම ස්ථානයෙන් අප ලබාගත් පස් සාම්පල පිරීක්සීමේදී එම භූමියේ පස්වලට අමතරව එම ප‍්‍රදේශයට කිසිසේත් අයිති නොවන රොන්මඩ ස්ථර කිහිපයක් එම පස් අතර තිබී සොයා ගත හැකි විය.
එම සාම්පල සම්බන්ධව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රසායනාගාරයේදී පර්යේෂණය කරන ලදී. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ඨික විද්‍යා අංශයේ මහාචාර්ය රෝහිණී හේවාමාන්න හා බී. මහවත්ත යන මහත්මීන් කරන ලද විකීරණශීලී පරීක්‍ෂණයෙන්ද එය තහවුරු වීය.“

අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රසායනාගාරය වසා දමා පෞද්ගලික සමාගමකට ලබාදී ඇත. වෙනත් රටවල් වල පුරා විද්‍යා තාක්ෂණය ක්‍රමයෙන් දියුණූ වන විට අපේ රටේ එය ප්‍රපාතයට වැටෙමින් ඇත.

 මෙම සටහනේ ප්‍රධාන මාතෘකාවට අපි දැන් එලඹෙමු.පුරා වස්තු අධ්‍යනය සදහා නූතනයේ භාවිතා කෙරෙන විකිරණශීලි ක්‍රම වලට යම් අනුරූපතාවක් දැක්වූ එනමුත් නවීන විද්‍යා ක්‍රම මෙන් යාන්ත්‍රණය කඩදාසි කොලයක ලියා දැකවිය නොහැකි ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමයක් අතීතයේ සිටම පෙරදිග ජාතීන් වන අප භාවිතා කලෙමු “පුරා විද්‍යා ජ්‍යොතිෂය“ ලෙස හැදින්වූ මෙම අපූර්ව ශාස්ත්‍රය පිළිබදව ඊලඟ ලිපියෙන් කියවමු.


                 ------------- මතු සම්බන්ධයි. ------------- 


මූලාශ්‍ර -  
http://www.dinamina.lk/sithijaya/art.asp?id=2011/10/20/spg12_1 
http://www.silumina.lk/punkalasa/20071125/_art.asp?fn=ar0711251
http://crustal.usgs.gov/laboratories/luminescence_dating/technique.html
http://en.wikipedia.org/wiki/Thermoluminescence_dating
රසායන විද්‍යාවේ මූලධර්ම , භෞතික රසායනය - මහාචාර්ය ජේ.කේ.පී. ආරියරත්න
ජීවයේ සම්භවය - මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම
http://www.divaina.com/2011/08/21/feature04.html
http://www.mawbima.lk/95-10023-news-detail.html
http://lankadeepa.com/index.php/articles/47425


5 comments:

  1. ඉතාම වැදගත් තාක්ෂණික ලිපියක් අය්යේ.. දිගටම මේ වගේ ඒවත් ලියන්න.. ගොඩක් ආසයි බලන්න..

    ReplyDelete
  2. \\ ගොඩට ගත්තම අපට පෙනුණා 2004 සුනාමියේ වැලි තට්ටුව. ඊළඟට නැවතත් පස් තට්ටුවක්. යළිත් ටිකක් දුර යන කොට මුහුදු වැලි තට්ටුවක්. ඒකෙ බෙල්ලො ආදි මුහුදු සතුන්ගේ අවශේෂ තිබුණා. මේ විදියට බලනකොට අවුරුදු 1600 කදීත්, 2200 කදීත් ආපු සුනාමි වැලි තට්ටු කළපුවේ තැන්පත්ව තිබුණා. හරියටම 2200 කියන්නේ විහාර මහාදේවිය ගොඩබට කාලයයි.\\\\


    මේවා නම් ඔය මිනිස්සුන්ගේ පච අය්යේ.. මොකද අපි ගිහින් " ඕවා බොරු " කියලා ඔප්පු කරන්නද ..?

    ReplyDelete
  3. very good article. keep it up

    ReplyDelete
  4. ඉතිරි කොටසත් එනකල් බලන් ඉන්නවා ඕන්..........
    කෝරලේ මහත්තයා.

    ReplyDelete
  5. හොඳ ලිපියක් ජෝති අයියේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...