Wednesday, March 16, 2011

පරිවර්තන යෝග

           ග්‍රහයන් දෙදෙනෙකු ඔවුනොවුන් අධිපතිකම් දරන රාශි හුවමාරු කර ගනිමින් පිහිටීම පරිවර්තන යෝගවේ.බ්ලොගයට ආධුනික පාඨකයන්ගේ දැන ගැනීම සදහා එක් එක් ග්‍රහයන් අධිපති කම් දරන රාශීන් පහත දක්වා ඇත.

 රවි - සිංහ
 සදු -කටක
කුජ(අඟහරු) - මේෂ හා වෘශ්චික
බුධ  - මිථුන හා කන්‍යා
ගුරු(බ්‍රහස්පති) - ධනු හා මීන
ශුක්‍ර(සිකුරු) - වෘෂභ හා තුලා
ශනි(සෙනසුරු) - මකර හා කුම්භ
    
   ග්‍රහයන් දෙදෙනෙකු ස්වකීය අධිපති කම් දරන රාශීන් හුවමාරු කරගෙන සිටීම වටහා ගැනීම අසීරු නැත.උදාහරණයක් ලෙස යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයා තුලා හෝ වෘෂභ රාශි දෙකෙන් එකකත් සිකුරු ග්‍රහයා ධනු හෝ මීන රාශි දෙකෙන් එක් රාශියකත් පිහිටන විට බ්‍රහස්පති හා සිකුරු ග්‍රහයන් පරිවර්තනය වී ඇතැයි කියයි.මෙහිදී අදාළ පරිවර්තන යෝගය හැදින්වීමට ග්‍රහයන්ගේ නම් වලට වඩා භාවිතා කෙරෙන්නේ අදාළ ස්ථානය සම්බන්ධ නාමයන්ය.(ලග්නාධිපති,දෙවැන්නාධිපති,තුන්වැන්නාධිපති,.......ආදී ලෙස)


 කේන්ද්‍රයේ ස්ථාන දොලහ අතර දෙක බැගින් සංකරණයන් සැලකූ විට (12සී2 ) පිළිතුර 66කි. ඒ අනුව සම්පූර්ණ පරිවර්තන යෝග 66කි.මෙම පරිවර්තන යෝග 66 ද සුභ,මධ්‍යම හා අසුභ විපාකයන් සලකන ආකාරයට ප්‍රධාන කොටස් තුනකට බෙදේ.
       1) මහා පරිවර්තන යෝග
       2) මධ්‍යම පරිවර්තන යෝග
       3) දෛන්‍ය යෝග


 1) මහා පරිවර්තන යෝග
          කේන්ද්‍රයේ ලග්නය,දෙක,හතර,පහ,හත,නවය,දහය එකොලහ යන සුභ ස්ථානවලට අධිපති ග්‍රහ යුගලයන් අතරේ සිදුවන හුවමාරුවෙන් ඇති වන මෙම පරිවර්තන යෝග සුභ ඵල උදාකරයි.රාජ යෝග හා සමාන ප්‍රතිඵල උදා කරන බවට සදහන්ය.ඉහත දැක්වූ සුභ ස්ථාන 8 යුහල වශයෙන් සංකරණ සැලකූ විට (8සී2) ගණනින් 28කි
   මෙම මහා පරිවර්තන යෝග අතරින් 
      * ලග්නාධිපති හා 11 අධිපති අතරත් 2 අධිපති හා 11 අධිපති අතරත් ඇතිවන පරිවර්තන යෝග ප්‍රබල ධන යෝගයන්ය.
      * 4 හා 11 අධිපතින් අතර පරිවර්තනය යාන,වාහන,ගේ දොර ඉඩ කඩම්, පොලොවෙන් වස්තු ලැබීමට සුභ යෝගයකි.
      * 9 හා 10 අධිපති පරිවර්තන යෝගය ධර්මකර්මාධිපති යෝගයකි.වෘෂහ ලග්න හිමියාගේ 9,10 ස්ථාන අධිපති සෙනසුරු නිසා එම ලග්නයට පමනක් ශනි 9 හෝ 10 සිටින විට ධර්මකර්මාධිපති යෝගය යෙදේ.
      * 10 හා 11 අධිපති අතර පරිවර්තන යෝගය වෘත්තීය බලය උසස් පදවි තානාන්තර ආදිය ඇති කරන යෝගයකි.


2) මධ්‍යම පරිවර්තන යෝග
          තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානය අධිපති ග්‍රහයා  1,2,4,5,7,9,10,11 යන භාවාධිපතියන් අතර පරිවර්තනයෙන් ඇතිවන පරිවර්තන යෝග 8ක් මධ්‍යම පරිවර්තන යෝග ලෙස හැදින්වේ.සුභ අසුභ ඵල මිශ්‍රව උදා කරන බැවින් මධ්‍යම පරිවර්තන යෝග ලෙස හැදින්වේ.

  3) දෛන්‍ය යෝග
         පරිවර්තන යෝග 66න් මහා පරිවර්තන යොග 28ත් මධ්‍යම පරිවර්තන යෝග 8ත් හැරුනු විට ඉතිරි පරිවර්තන යෝග 30 දෛන්‍ය යෝග වලට අයත්වේ.මෙම පරිවර්තන යෝගවල අසුභ ඵල වැඩිය.


  මෙම පරිවර්තන යෝග පිළිබද වැඩි විස්තර ඉදිරියේදී වැඩිදුරටත් සලකා බැලේ.

8 comments:

jhothiratna said...

මම දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ ධර්ම කර්මාදිපති යෝගයක් තිබුනා.සජිත්ගේ උපන් වෙලාවත් ස්ථානයත් තියෙනවනම් දෙන්න.

රත්ගමයා said...

මහා පරිවර්තන යෝගයක් වත් තිබුනොත්.......

Chanaka Aruna Munasinghe said...

මට තේරිච්ච විදිහටනම් ඔය සංයෝජන 66 න් එකක්වත් මගේ කේන්දරේ නෑ.

==
@ jhothiratna

සජිත් ප්‍රේමදාස මහත්තයගේ කේන්දරේනම් මෙතන තිබ්බා.
http://www.gossip9.com/2011/03/blog-post_23.html

Anonymous said...

ප්‍රශ්න ටිකක් තියෙනවා( පෞද්ගලික දැනගැනීම සඳහා )
කේතු මග දශාවෙ ඒකේ හැසිරීම කොයි වගේ ද?
සස මහපුරුස යෝගය ගැන පොඩි විස්තරයක්..
ස්තූතියි..

මගේ පරිවර්තන යෝගයක් තියෙනවාලු..
හැබැයි උඩ තුනෙන් මොකද්ද කියලා මතක නැ..

jhothishalanka said...

@Anonymous
1) කේතු මහ දශා කාලය වසර හතකි.මෙම මහ දශාවේ ඵල දීමද විවිධ වයස්වල අයට විවිධාකාරවේ.උපදින විට කේතු මහ දශාව ඇති දරුවන්ගේ ශරීරය කෙට්ටු බවත් කේතු උපතේදී දුබල විට(6,8,12 ස්ථාන වල පිහිටීම) ලෙඩ දුක් වැඩි බවත් කියයි.ඉගෙන ගන්නා වයසේ සිටින අයට කේතු ලැබීම යහපත් බව කියයි.ඉගෙනීමට රුකුල්දේ.සාමාන්‍යයෙන් වයසට යන විට කේතු ලැබීම සෞඛ්‍ය පීඩා වැඩි කරයි.සාමාන්‍යයෙන් කේතු මහ දශා කාලය සුභ ඵල අඩු බවට සදහන්ය.කේතු මහ දශාවේ අවු 7 කාලයද තවත් අතුරු දශා විදශා වලට බෙදා ඇත.එම අතුරු දශා වල ඵලාපලද විවිධය.ඒවා සියල්ල දැක්වීම කමෙන්ටුවකින් කළ නොහැක.මේ සරල හැදින්වීමකි.
2) සස යෝගය පංච මහා පුරුෂ යෝගයක්.එය යෙදෙන්නේ කේන්ද්‍රස්ථානයක(1,4,7,10) ශනි ග්‍රහයා උච්ච හෝ කෙෂත්‍රව(මකර,කුම්භ,තුලා රාශියක) පිහිටන විටදීය.මෙය ප්‍රසිද්ධ මතය වුවත් ඇතැම් පොත්වල ලග්නයෙන් මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් ශනි සිටින විටද සස යෝගය යෙදෙන බවට සදහන්ය.ප්‍රධාන වශයෙන් පිරිවර සේනාව සාදයි.උදා- හත්වැන්නේ නම් විවාහයත් සමග සේනාව සෑදේ.

Anonymous said...

10 අධිපති ග්‍රහයා 4ත් (කුජ ) 4 අධිපති ග්‍රහයා 10ත් (සිකුරු ) සිටීම මහා පරිවර්තන යූගයක්ද?.

jhothishalanka said...

@Anonymous
4 හා 10 අධිපතීන් පරිවර්තනය වීම මහා පරිවර්තන යෝගයක් තමයි.

Unknown said...

කේන්ද්‍රයේ පරිවර්තන යෝගයක් තියේ කියලා දැනගන්න ලැබුනා. ඒත් මේ විස්තර කියවා එය තේරැම් ගැනීමට මදක් අපහසුයි. කේන්ද්‍රයේ විස්තර එවුවොත් ඒ පිළිබදව තේරැම් කර දෙනවාද

Related Posts Plugin for WordPress, Blogger...