LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Friday, April 8, 2011

අභාවයට යන අපේ ඉපැරණි ජනක්‍රීඩා රැක ගනිමු.

    බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් ඇතත් ඒවා නිර්මාණය වීමට හේතුවූ මූලාශ්‍ර කරුණු මොනවාද ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබදව පැහැදිළි අවබෝධයක් නැති බව වගකීමෙන් කිව හැක.මේ ලිපියේ ප්‍රධාන අරමුන වන්නේද එම නොදැනුවත් පාර්ශ්වයන් ඒ පිලිබදව දැනුවත් කිරීමයි.

      අපේ සිංහල ජාතිය ඇතුළු පෙරදිග ආර්ය ජාතීන් ප්‍රධාන වශයෙන් සූර්යයා මුල්කොටගත් ඇදහිළි සම්ප්‍රධායන් මත ගොඩ නැංවී ඇත.ඒ වගේම ඔවුන්ගේ පැරණි ජීවන රටාව ගොඩනැගී ඇත්තේ කෘෂිකර්මාන්තය මූලික කොට ගෙනය.අතීතයේ සිටම ඔවුන් තමන්ගේ ප්‍රධාන අස්වැන්න ලබාගත් කාලය තමයි මේ බක් මාසේ,භාග්‍ය මාසෙ කියල කියන්නෙත් ඒ හින්දම තමයි.ඉතින් අස්වැන්න ගෙට ගත්ත ගමන් ඒ අය තමන්ගේ අස්වැන්නට ආරක්‍ෂාව ප්‍රවේශම ලබා දුන්නු දෙවි දේවතාවුන්ට පුද සත්කාර කිරීමක් කරනවා. මෙන්න මේ දෙවියන් පිදීම සිදු කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපේ ජනක්‍රීඩා සම්ප්‍රදාය බිහිවී ඇත්තේ.තමන් අදහන දෙවියන් පිදීමේ ක්‍රියාව ක්‍රීඩා,නැටුම් ගායනා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම නිසා ඒ ආශිතව බැදනු ජන සාහිත්‍යක්ද නිර්මාණය වී ඇත.
    දැන් ඉතින් මේ සටහන කියවන අපේ තරුණ පරම්පරාවේ අයට හිතේවි ආපෝ ඉස්සර කාලේ හිටපු සිංහල මිනිස්සුන්ට පිස්සුද කියලා ඔය දෙවියන්ට පුද සත්කාර කරන වැඩේට ඉතින් දුවලා පැනලා නටලා සෙල්ලම් කරල තව ඒ මදිවට බෙර ගහල කස ගහල කවි සීපද කියල මහන්සි වෙන්න ඕනද?නෙලාගත්ත අස්වැන්නෙ මුල් කොටස ලග පාත තියෙන පන්සලකට දේවාලෙකට අරන් ගිහිල්ල බුදුන් දෙවියන්ට පූජා කරලා ඊට පස්සෙ ගෙදර ඇවිත් හොදට කාල බීල ෂපාන් එකේ ඊලග කන්නෙ වෙනකන් ඉන්න තිබුන නේද කියල අනිත් එක ක්‍රීඩා සෙල්ලං ඉතින් පොඩි ළමයිනුයි තරුණ වයසෙ අයයි කලාම මදැයි.ඒත් මේ අපේ සිංහල අය සෙල්ලං කරන කොට ළමා ලපටි තරුණ මහළු හැමෝම එක වගේ එකතු වෙනවනේ.ඔය ටී.වී. එකෙන් එහෙම දැකලා ඇතිනේ කටේ දතුත් නැති හෙන වයසක පොරවල් එහෙමත් පත්තිනි හෑලි කිය කිය  පොරපොල් ගහන්න අං අදින්න සෙට් වෙන හැටි .ඇත්තටම මේ අය මෙහෙම කලේ ඇයි?
    අපේ මුතුන් මිත්තො අස්වනු නෙලීමේ මංගල්‍ය බක් මහේ කරන ගමන් දෙවියන් පිදීම ක්‍රීඩා ස්වරූපයෙන් සිදු කලේ ශරීරයට අවශ්‍ය ව්‍යායම ලබා ගැනීම මානසික සුවය ලබා ගැනීම පාරම්පරික සිරිත් විරිත් ඉදිරියට ගෙන යාම වගේ වැදගත් කරුණු කාරණා මුල් කරගෙනය.මුට අමතරව ජනක්‍රීඩා මගින් තවත් විශේෂ අරමුණු රැසක් පැරණි සමාජය තුල ඉෂ්ට විය.
   දෙවියන් පිදීමේදී මූලික වශයෙන් සලකා බැලෙන්නේ පත්තිනි දෙවියන් වෙනුවෙනි.ජන ක්‍රීඩා ආශ්‍රිත නැටුම් කවි ගායනා ජන කථා ආදිය සමඟ පත්තිනි දෙවියන් සෘජුව සම්බන්ධවේ.
   නාමික ව ඒ ගැන සඳහන් කරනවානම්, ඔලිඳ කෙළිය, භූ කෙළිය, පතුරු කෙළිය, ගුස්ති ඇල්ලීම, චක්ගුඩු, වළකජු ගැසීම, එළුවන් කෑම, ජවුසන් නැටීම, කතුරු ඔන්චිල්ලා, පන්දු කෙළිය, ලී කෙළි, පොල් කෙළි, පංච කෙළිය, මේවර කෙළිය, ලේන්සු හැංගීම ආදි වශයෙන් ජන ක්‍රීඩා විශාල ප්‍රමාණයක් එදා සමාජයේ දක්නට ලැබුණා.මින් වැඩි ජන ක්‍රීඩා ප්‍රමාණයක් ගොඩ නැගී ඇත්තේ පත්තිනි දෙවියන් පිදීමේ ශාන්ති කර්ම ලෙසයි.
    පත්තිනි හා පාළඟ සපුමල් කැඩීමට කැලයට ගිය අවස්ථාවක ඔවුන්ගේ කෙකි එකට පැටලී තිබුණා. පත්තිනියට තමන්ගේ කෙක්ක ගලවා ගැනීමට නොහැකි වූ නිසා ඒ අසළින් ගමන්ගත් මලය කුමාරවරු තිදෙනාට එය ගලවා දෙන්න යයි කීවා.
මේ කුමාරවරු තිදෙනා එක වලියටම කෙක්ක ඇද ගලවා දුන් නිසා පත්තිනිය ඔවුන්ට වලියක්කු යයි නම් තැබුවා. මහනුවර විෂ්ණු දේවාලයේ වලියක් මංගල්ලය පවත්වන්නේ මේ තිදෙනා වෙනුවෙන්. පත්තිනි හා පාළඟ ගේ මේ කෙක් පටලැවිල්ල සිහිකිරීම සඳහා තමයි අංකෙළිය නම් ජන ක්‍රීඩාව සිදු කරන්නේ.
        පොල් කෙළිය (පොර පොල් ගැසීම) සිදු කරන්නේ වීරමුණ්ඩ දෙවියන් සහ පත්තිනි පිදීමක් වශයෙනුයි. පොර පොල් ගැසීමට පොල් ලබාගන්නා පොල් ගස් පත්තිනිට වෙන් කර තිබෙනවා. ඒවා පත්තිනි ගස් කියලත් නම් කරනවා. අඟල් කාලක් පමණ ගනකම් වූ කටුවක් සහිත උල් හැඩැති කුඩා පොල් ගෙඩි තමයි පොල් කෙළියට යොදාගන්නේ. මේ ජන ක්‍රීඩාවලින් අස්වනු සරුවී, ලෙඩ රෝග දුරු වී සෞභාග්‍යය උදාවෙන බවක් අතීතයේ සිට ගැමියන් විශ්වාස කරනවා. මේවා ගැමියන්ගේ ශාන්තිකර්ම යි.
      අලුත් අවුරුද්ද හා ජනකෙළි සමඟ බද්ධ වූ බරපතළ ගීත, කාව්‍ය හා ජනකතා සාහිත්‍යයක් අපට තියෙනවා. එයින් නිරූපණය වෙන්නේ ජනතාව කොයිතරම් දුරට ඒ ක්‍රීඩාව සමඟ හෘදයංගම වූවාද කියන කාරණයයි.
“ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ”
ඔලිඳ අපේ රටට බංගලාදේශයෙන් ගෙනාවක් කියලයි ගැමියන් විශ්වාස කරන්නේ. “එළුවන් කන්නයි මං ආවේ, එළුබෙටි කාපන් තුන්බීරේ” කියමින් කුඩා දරුවන් එළුවන් කෑම කරනවා. ඒ කාලෙ ගම් ගෙවල්වල හරක් එළුවන් ආදී සතුන් ගාල්කර තිබුණු කොටුවලට කොටි වගේ සත්තු පැනලා හරක් ටික, එළුවො ටික කාල යනවා. මේ සංසිද්ධිය තමයි දරුවන් මේ අනුරූපණය කරන්නේ.ඒ වගේම, උඩුපිලායි යටිපිලායි - උඩුපිලායි යටිපිලායි පොල් කෙළි මල් කෙළි සැණකෙළි ආසි ද මුතු කෙළි... කියමින් පොල් කෙළිය පවත්වනවා. තවත් තැනක දරුවන් රංඩු ගැහිලා “නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා...” කියමින් මේ වර කෙළියේ යෙදෙනවා. අලුත් අවුරුද්ද ජන කවියෙන් පිරි සැණකෙළියක්. ඒ අතර තව ළමයි පිරිසක් වයසක සීයා කෙනෙක් අසල ඉඳගෙන මහදැනමුත්තගෙ කතාව, වීරවරුන්ගේ කතා ආදිය අහනවා. එතන තියෙනවා අපේ දරුවන්ගේ විචාර බුද්ධිය වර්ධනය වන කතා කලාව. වෙන රටවල කෙටිකතාව, නවකතාව බිහිවෙන්න කලින් අපි ජාතක පොත කියෙවුව ජාතියක්.
      ගමේ සිටින වැඩිහිටි තරුණ බාල සියලු දෙනා කලඑළි බහින්නේ අවුරුදු කාලයට යි. ඇත්තෙන් ම මෙතන වැඩිහිටියන්ට අමුතු අවස්ථාවක් නෑ. තරුණ තරුණියන්ට සහ ළමයින්ට තමයි මේ අවස්ථාව එළැඹෙන්නේ. විශේෂයෙන් චක්ගුඩු පැනීමකදී, පොල්කෙළියකදී, අං ඇදීමකදී ජවුසන් නැටීමකදී තරුණියන් හඳුන ගන්නවා හොඳ කාය ශක්තිය තියන තරුණයින් ව.ඒ වගේම ඔවුන් සතු තීක්ෂණභාවයත් මැන ගත හැකි වෙනවා. මේවා බලා සිටින වැඩිහිටි මව්පියවරු හඳුනා ගන්නවා තමන්ගේ පවුලට ගැළැපෙන තරුණයා කවුද කියලා. ඒ වගේ ම තමයි තරුණියන්ටත්, ඔවුන්ට වෙන්වූ ක්‍රීඩා තිබෙනවා. පංච දැමීම, ඔලිඳ කෙළිය වැනි දේවලින් මැන බලන්නේ ඔවුන් සතු කළමනාකරණයයි.
ඒ කාලෙ ඉස්කෝලෙ ගිහින් වීජ ගණිතය, ජ්‍යාමිතිය, අංක ගණිතය කළමනාකරණය ඉගෙන නොගත්තත් තරුණියන් සතුව මේ හැකියාවන් වර්ධනය වුණේ ජන ක්‍රීඩා හරහායි. නිවසක සැලසුම්කරණය හා කළමනාකරණය කරන්නේ කාන්තාවයි. ඒ නිසා නිවසකට කැන්දාගෙන එන යුවතිය මනා සැලැසුමක් ඇති තැනැත්තියක ද යන්න පිළිබඳ සොයා බැලීම වටිනා දෙයක්. ගමේ වැඩිහිටියන් ගැමි යුවතියන්ගේ මේ ලක්ෂණ බලාගන්නේ ජනක්‍රීඩා හරහායි. ඒ අනුව තමයි වැඩිහිටියන් තමන්ගේ පවුලට ගැළැපෙන දියණි කෙනෙක් තෝරාගන්නේ.ඒ අනුව ජනක්‍රීඩා වලින් අපේ සමාජ කටයුතු වලටද සැලකිය යුතු බලපෑමක් අතීතයේ සිදුවී තිබෙනවා.
   ජනක්‍රීඩා කියන්නේ අපේ සිංහල ජන ජීවිතයේම එක් ප්‍රධාන අංගයක් කියල ඔය අයට දැන් තේරෙනවනේ.ඒ හින්ද අපි ජාතියක් විදියට ජනක්‍රීඩා හා ඒ ආශිත බැදී ඇති සංස්කෘත අංග ඉදිරියට ගෙන යාමට ඇප කැපවෙමු.
   

2 comments:

  1. ඔව් ඔබ කියන කරුණට මාත් එකග වෙනවා.එනමුත් උපන්දා සිට කොළඹ ජීවත් වෙන මම ඔය ජන ක්‍රීඩා දෑකලා තියෙන්නේ ටීවී එකේ විතරයි.
    මගේ මව සහ පියත් මෙහෙම ජීවත් උන අය හින්දා ඔවුනුත් මෙව්වා අත්විදලා නෑතුව ඈති.

    මට ඉතින් ඒක හොදයිද නරකයිද කියලා කියන්න තේරේන්නේ නෑහෑ.මොකද මම මේකට පුරුදු වෙලා හින්දා.

    දෑන් ඔය හෑම වෙලේම ටීවී එකේ පෑරණි ජන ක්‍රීඩා,පෑරණි සිරිත්,කෑම වර්ග ගෑන වෑඩසටහන් පෙන්නුවාට ඔය වගේ එව්වා ඈත්තටම කරන,පිළි පදින අය කවුරුත් නෑතුව ඈති කියලයි මට හිතෙන්නේ.මම මේ මට හිතුන එක කිව්වේ.

    හෑබයි ඉතින් අවුරුදු දවස් දෙකට මම ගොඩාක් කෑමතියි.මොකද ඒ දවස දෙකේ කොළඹ හරිම පාලුයි වගේ.මොකද මෙහෙ වෑඩ කරන අය ගම් වලට ගිහිලානේ.

    අනේ මන්දා!!!!

    Clash

    ReplyDelete
  2. සෑහෙන්න පිටිසර ගමක් උනාට මම ඉන්න ගමෙත් මේ ජනක්‍රීඩා නැති තරම් . අපේ පැත්තේ කොල්ලොත් දන්නේ කැට ගහන්නයි ජිල් ගහන්නයි විතරයි ඒත් ඒකත් සල්ලි ඔට්ටුවට .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...