Tuesday, April 5, 2011

ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව - 4

  මෙහි මුල් ලිපි තුන පහතින් කියවන්න.
       පළමු ලිපිය
       දෙවන ලිපිය
       තෙවන ලිපිය 


ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.
විදුලි උපකරණ නිපදවන කොම්පැණියක සේවය කළ ඔහුගේ පියාට සේවා අවශ්‍යතාවකට 1880 වසරේදී උල්ම් සිට මියුනිච් වලට යාමට සිදු විය.කතා කිරීම ප්‍රමාද වීම නිසාම ඔහුගේ පාසැල් ගමනද ප්‍රමාද විය.වයස අවු 7ක් පමන වන තුරු නිසිලෙස වචන උච්චාරණය කිරීම කළ නොහැකි වීම නිසාම සම වයසේ දරුවන් පාසැල් යන විට මෙම දරුවා නිවසේ තනිවිය.කෙසේ වුවත් දරුවාගේ පියා විසින්  නිවස තුලදී මූලික අධ්‍යාපනය ලබා දීමට වැඩ පිළිවෙලක් සකස් කොට තිබුණි.
     වයස අවු 8දී පමණ පාසැල් අධ්‍යාපනයට යොමු වුවත් සම වයසේ දරුවන්ගේ මට්ටමට වඩා හේ බෙහෙවින් පසුගාමී අයෙකු විය.1895 වසරේදී පියාගේ ව්‍යාපාර බිදවැටීම හේතුවෙන් ජර්මනියො සිට ඉතාලියට යාමට සිදුවිය.මිලාන් වල ටික කාළයකුත් ඉන්පසු පැවියා වලටත් යාමට සිදු විය.ඔහුගේ පියාට උවමනා වූයේ ඔහු විදුලි ඉංජිනේරුවකු වනු දැකීමය.ඒ අරමුනින්ම ඒ සදහා වූ පාසැලකට ඔහුව ඇතුලත් කලත් විභාග අසමත් වීම නිසාම ඔහුව ඉන් ඉවත් කිරීමට පියාට සිදු විය.පාසැලේ සාමන්‍ය කටයුතු වලදී ඔහු දක්‍ෂ කම් පෙන්වුවත් විභාග ලිවීමේදී ඔහුගේ දක්‍ෂතා ඉස්මතු නොවීය.ඔහුට උගන්වා වියතකු කරවීමට පියාට දැඩි උවමනාවක් තිබුනත් විභාග සමත් වීමට තිබූ නොහැකියාව නිසාම එම උත්සාහයන් අසාර්ථක විය.
    වයස අවු 17 දී පමන රැකියා පුහුණුවක් ලබා ගැනීමටම ස්විස්ට්සර්ලන්තයේ සුරීච්හි "පොලිටෙක්නික් තාක්‍ෂණික ඇකඩමි" ඇතුලත් වීමේ විභාගයට පෙනී සිටියේය.කරුමක හැටි එම ඇතුලත් වීමේ විභාගයෙන් පළමුවර අසමත් විය.දෙවන වර යාන්තම් අවසන් සිසුන් කීප දෙනා අතරට තේරී පත්විය.තාක්‍ෂණික ඇකඩමියේදීද  අධ්‍යයන කටයුතු ඔහු හොදින් සිදු කලත් විභාග කඩඉම් වලදී පෙරසේම පසුගාමී විය.වයස අවු 20දී පමණ තම උපාධිය අවසන් කලත් ඒ ගෞරව උපාධියක් ලෙස නොව සාමාන්‍ය උපාධිදාරීයකු විලසිනි.
    වයස අවු 24 දී තම පාසැලේ මහාචාර්‍ය වරයකුගේ දියණිය වන මිලෙවා මාරික් සමග විවාහ විය.පසුකලෙක හෑන්ස් හා එඩ්වඩ් නම් පුතුන් දෙදෙනෙකුද දියණියක්ද ලැබීය.
  උපාධිය ලබා ගැනීමෙන් පසු කාලයක් යනතුරුම ඔහුට රැකියාවක් සොයාගත නොහැකි විය.ටියුෂන් ගුරුවරයකු ලෙස පාසැල් සිසුන්ට ඉගැන්වීම කෙටි කාලයක් කල නමුත් විෂය නිර්දේශයන්ට බැහැරව තාරකා විද්‍යාව හා ඒ දක්වා විසදුම් නොලැබුණු විද්‍යා ක්‍ෂෙත්‍රයන් පිළිබදව සිසුන්ව යොමු කරවීම නිසාම දෙමාපියන් ඔහුගේ සේවය ප්‍රතික්ෂේප කලහ.තමන්ගේ දරුවන්ගේ ඔළුවට විකාර අදහස් ඇතුලත් කරන්නෙකු ලෙස දෙමාපියන් ඔහුව සැලකූහ.අනතුරුව තම පාසැල් මිතුරකුගේ උදවු ඇතිව පේටන්ට් බලපත්‍ර කාර්්‍යාලයක ලිපිකරු රැකියාවක් ලබා ගත්තේය.රැකියාව කරන අතර තුරදී විද්‍යා සඟරා ආදියට ලිපි ලිවීම ඔහුගේ පුරුද්දක් විය.
  ************************************************************
     සාපේක්‍ෂතාවාදය පිළිබදව මා ප්‍රථම වරට සැලකිය යුතු අවබෝධයක් ලැබුවේ උසස් පෙළ සිසුවකු ලෙස අධ්‍යාපන කටයුතු කරමින් සිටින විටදීය.විභාග කටයුතු නිසාම ඉන්පසු එම සම්බන්ධව සිත් යොමු කිරීම නතර විය.සරසවියේදී ඒ පිළිබදව සාමාන්‍ය දැනුමක් ලබා ගත්තත් බලාපොරොත්තු වූ තරමේ දැනුමක් ලබා ගැනීමට තරම් සාපේක්‍ෂතාවාදය පිළිබදව සරසවියේදී උගැන්වීමක් නොවීය.(භෞතික විද්‍යා විශේෂ උපාධිය සදහා සාපේක්‍ෂතාවාදය තරමක් දුරට සලකා බලා තිබූ නමුත් අපගේ සමකාලීන භෞතික විද්‍යා විශේෂ උපාධිදාරීන් සාපේක්‍ෂතාවාදය පිළිබද ලබා තිබූ දැනුම පරිභාහිර පොත්පත් ඇසුරින් අප ලබා තිබූ දැනුම තරම්වත් නොවීය.විභාගයට නියමිතව තිබූ සමීකරණ කිහිපයක ගණිත සාධනය පිළිබදව පමනක් දැනුවත්ව සිටි ඔවුන් එයද දිගු කාලීන මතකයට වඩා විභාගය ලිවීමට අවශ්‍ය කෙටි කාලීන මතකයේ තබා ගැනීමක් පැහැදිලිව දක්නට විය.) ලංකාවේ අපි අධ්‍යාපනය ලබා ගැනීමට කරන්නේ බටහිර විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් පතුරු ගසමින් ඉගෙනීම පමණි.අළුත් දෙයක් සොයා ගැනීමට අදාල පරදි හැඩ ගැසීමක් අපේ අධ්‍යාපන ක්‍රමයේ නැත.මේ යනවිදියට එවැනි තත්ත්වයක් ඉදිරියටත් බලාපොරොත්තු විය නොහැක.මා විසින් ඉහත ඉදිරිපත් කරන ලද්දේ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ කුඩා හා තරුණ අවධියේ ජීවන විස්තර දැක්වීමකි.(ලිපියේ ඉදිරියට විස්තර තවත් ඇත.)කුඩා කාලයේ අධ්‍යාපන කටයුතු වලට සම වයසේ දරුවන්ට වඩා ඉතා පහල මට්ටමක සිටි අයින්ස්ටයින් පසුව මුළු ලොවම ජයගත් මහා විද්‍යාඥයකු විය.
  
  *********************************************************************
   මා හට මතක අයුරින් ඒ 2005 වසරයි.සෑම බදාදා දිනකම හවස් වරුවේ විශේෂ ආරාධිත දේශකයකුගේ දේශනයක් විශ්ව විද්‍යාලීය භෞතික විද්‍යා සංගමය විසින් සංවිධානය කර තිබුණි.විශේෂ දේශකයා බොහෝ විට සුවිශේෂී ආරාධනාවක් අනුව වෙනත් විශ්ව විද්‍යාලයකින් පැමිනෙන ආචාර්්‍ය හෝ මහාචාර්‍ය වරයෙකි.මෙම දේශණ මාලාව එකල හොද ප්‍රසිද්ධියක් ලැබීය.විද්‍යා ෆැකල්ටියේ විශාල සිසුන් පිරිසක් මෙයට සහභාගී විය.එක් සතියක විශේෂ දේශණයට ආරාධනා ලැබුවේ මහාචාර්‍ය නලින් ද සිල්වා මහතාය.වර්තමානයේ එම මහතා ඇතැම් පාර්ශ්වයන්වල දෝෂ දර්ශනයට ලක්ව සිටියත් එකල ඔහුට විශාල පිළිගැනීමක් විය.ලංකාවේ සිටි හොදම ගණිත භෞතික මහාචාර්්‍ය වරයකු ලෙස තවමත් ඉහල පිළිගැනීමක් නලින් ද සිල්වා මහතාට ඇත. එම දේශනය භෞතික විද්‍යා සංගමයේ සිසුන් වන අප ඉතා සැලකිල්ලෙන් සංවිධානය කලේය.දේශනය ක්වොන්ටම් විද්‍යාව සම්බන්ධවය.කුමක්දෝ දේශපාලන(හෝ වෙනත්) පලහිලවුවකට අනුව ඒ දිනවල නලින් සිල්වා මහතා කොළඹ(හෝ කැළණිය) විශ්ව විද්‍යාලයේ සේවයෙන් ඉවත්ව සිටි කාලයකි.අප සංගමයේ ආරාධනය පිළිගත් එම මහතා දේශනයට පැමිනීමට පොරොන්දු විය.අදාළ දිනයේ හවස එම මහතා විශ්ව විද්‍යාලයට පැමිනෙන විට ඔහුව පිළිගෙන පුධාන දොරටුවේ සිට දේශන ශාලාව වෙත කැදවාගෙන ඒමට භාර වූයේ මටත් තවත් සිසුන් දෙදෙනෙකුටත්ය.දහවල් 2 ට පමන තමන් මග එන බව අප විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට දුරකථනයෙන් දන්වා තිබුණි.ඒ අනුව අප තිදෙනා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස ඔහුගේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටීය.සිකියුරිටි අංශයේ මහත්වරුන්වද දැනුවත් කලේ වාහනය ඇතුලට ගන්නා විට එමගින් දැන ගත හැකි බැවිනි.දේශකයන් කිහිප දෙදෙනකුම කාර් වලින් ඇතුලට ගිය නමුත් ඔහු තවමත් නැත.ඒ අතර බසයෙන් පැමිණි සිසුන් හා වෙනත් පුද්ගලයන් කිහිප දෙනෙකු දොරටුවෙන් ඇතුළු වී ගියහ.මා සමග සිටි මිතුරන් දෙදෙනාගෙන් අයකුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුනේ ඇතුලේ සිටි මිතුරකුගෙනි.
   "උබලා තවම මොනවාද කරන්නේ.මෙන්න මෑන් ඇවිල්ල ලෙක්චර් එක පටන් ගන්න හදන්නේ"
  අපි තිදෙනා තක්බීර් වුනෙමු.ඉක්මනට අපිත් ඇතුලට ගොස් බැලුවෙමු අපි යන විට ඔහි පැමින දේශණය පටන් ගැනීමට සූදානම් වී සිටියේය.ඔහුව දුටු ගමන් අප තිදෙනාගෙන් අයෙක් පැවසූවේ
 "මන් දැක්කා බන් මේ මනුස්සයා නයි මල්ලක් වගේ බෑග් එකක් කරේ එල්ල ගෙන රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන පයින්ම ඇතුලට යනවා.කවුද බන් හිතන්නේ නලින් සිල්වා මෙහෙම ඒවි කියලා."
   දේශනයෙන් පසු අප සමග සුහද කතාවක් කළ එම මහතා පැවසූවේ තමන් කොළඹ සිට මාතරට ආවේ දුම්රියෙන් බවත් ඉතිරි දුර බසයෙන් පැමිණි බවත්ය.
 එදින දේශනය ඉතා වටිනා රසවත් එකක් විය.ක්වොන්ටම් විද්‍යාව පිළිබද ඉතා සරල වටිනා දිගු කාලීන මතකයට වැටෙන දේශනයක් වු එහිදී සාපේක්‍ෂතාවාදය පිළිබදවද වැදගත් අයුරින් කතා බහ විය.අප විශ්ව විද්‍යාලයේ තරුණ රසායන විද්‍යා ආචාර්‍ය වරයකු ක්වොන්ටම් විද්‍යා දේශණයට සාපේක්‍ෂතාවාදයේ කරුණු ඉදිරිපත් කිරීම පිළිබදව ප්‍රශ්ණ කළ විට නලින් සිල්වා ඉතා තදින් කෝපාවිෂ්ටව ඔහුට බැන වැදුනේ ප්‍රශ්නය නැගූ අය සිසුන් ඉදිරියේ තමාගේ දැනුම විදහා පෑමට ගත් උත්සාහයක් ලෙසත් එය මෝඩ ප්‍රශ්ණයක් බවත් සදහන් කරමින්ය.ආචාර්‍ය වරයාද "මට ඔබතුමාගෙන් බැනුම් අහගෙන මේක අහන්න උවමනා නැහැ මම යනවා" යැයි පවසා ශාලාවෙන් පිටවිය.එම ක්‍රියාව ඔහුගේ පැත්තෙන් බලන විට තේජස්ය.කෙසේ හෝ වේවා එම පැය දෙකක පමණ කාලය තුල සිසුන් වන අපි ඉහල දැනුමක් ලබා ගත්තෙමු.  
 ******************************************************************
    පේටන්ට් කාර්යාලයේ ලිපිකරු රැකියාව ලබාගත් තරුණ අයින්ස්ටයින් විවේක අවස්ථාවල විද්‍යා සඟරා වලට ලිපි ලිවීම කලේය.ක්‍රි.ව 1905 දී  පුවත්පතට ඔහු විසින් ලියන ලද ලිපි පෙලක් මහත් ආන්දෝලනයක් කලේය.ලිපි පහක් ලෙස පලවූ එම ලේඛනය ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමු විය.භෞතික විද්‍යාවේ පෞරාණික ක්‍රමය වෙනස් කරමින් නවීන භෞතික විද්‍යාවේ ආරම්භය මෙම ලේඛන සමග සිදුවූ බව කිවහොත් වඩාත් නිවැරදිය.
  1905 දී අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ එම ලේඛනයෙන් ප්‍රධාන ලෙස විස්තර වූයේ
    * බ්‍රවුනීය චලිතය 
    * ප්‍රකාශ විද්‍යුත් ආචරණය
    * ව්ශේෂ සාපේක්‍ෂතාවාදයේ මූලධර්ම පිළිබදවය
       මින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය සොයා ගැනීම වෙනුවෙන් 1921 වසරේදී භෞතික විද්‍යාව වෙනුවෙන්වූ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට ලැබුනත් පසුකලෙක වඩාත්ම කතා බහට ලක්වූයේ සාපේක්‍ෂතාවාදය සම්බන්ධ කරුණුය.අපගේ ලිපියේ ඉදිරි ගමනට සම්බන්ධ වන්නේද මින් සාපේක්‍ෂතාවාදය ගැන නිසා ඒ පිළබදව පමනක් කතා බහ කිරීමට බලාපොරොත්තුවේ.
  ******************************************************************
  විශේෂ සාපේක්‍ෂතාවාදය(Special Relativity) මුලික උපකල්පන දෙකක් මත ගොඩ නැංවී ඇත.
    1) සියළු චලිත සාපේක්‍ෂය (එනම් විශ්වයේ ඇති සියළු වස්තු එකකට එකක් සාපේක්‍ෂ වශයෙන් චලිතවේ.නිසල වස්තු නැත.ග්‍රහලෝක,චක්‍රාවාට ආදී සියල්ල චලිත වෙමින් ඇත.)
    2) ආලෝකයේ ප්‍රවේගය සෑම විටම නියතයකි.
        මෙහිදී සාපේක්‍ෂ චලිත සැලකීම ඒකාකාර ප්‍රවේගයක් සහිත අවස්ථාව සලකා ඇත.එනම් එක් වස්තුවකට සාපේක්‍ෂව අනිත් වස්තුවේ ප්‍රවේගය ඒකාකාරී වන අවස්ථාවයි.වස්තු වල ප්‍රවේගය ඒකාකාරී නොවන විට ඇති කොටස පසු කලෙක අයින්ස්ටයින් විසින්ම සාධාරණ හෙවත් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය ලෙස එලි දැක්වීය.එය පසුව විස්තර කෙරේ පලමු කොට විශේෂ සාපේක්‍ෂතාවාදයේ සිද්ධාන්ත සරලව දැන ගනිමු.
     උපකල්පන ඔස්සේ එලඹි ගණිත සමීකරණ සියල්ල දැක්වීම ඉවත් කර ඇත.ඒවා තරමක් සංකීර්ණය.අදහස පමනක් දැන සිටීම පාඨකයන්ට ප්‍රමාණවත් නිසා වචන ස්වරූපයෙන් එම නිගමන දක්වා ඇත.මේවා දැනගෙන අපට මොකටද?යැයි කෙනෙකුට සිතිය හැක.නමුත් සංකීර්ණ විෂයයක් පිළිබද මෙතරම් සරල ඉදිරිපත් කිරීමක් ඔබට ලබා ගැනීම අසීරුය.කියවා අවසන් වූ විට එය වැටහේ.
    ඉහත දැක්වූ උපකල්පන ඔස්සේ යමින් අයින්ස්ටයින් විශේෂ සාපේක්‍ෂතාවාදයේ පහත දැක්වෙන සිද්ධාන්ත නිගමනය කලේය.
  * ස්කන්ධ ශක්ති සමීකරණය 
        අපි කවුරුත් දන්නා  E =mC2 සමීකරණයයි. මෙමගින් ස්කන්ධයකින් ජනනය වන සම්පූර්ණ ශක්තිය පිළිබදව ඉදිරිපත් කලේය.සමීකරණය අනුව බලන විට ඉතා කුඩා ස්කන්ධයක් වුවද විශාල ශක්තියක් නිපදවිය හැක.පසු කලෙක ජපානයට වින කල පරමාණු බෝම්බය නිපදවීමට මූල බීජය වූයේද මෙයයි.එමගින්ම සමීකරණය ඔප්ප විය.
  * එකිනෙකට සාපේක්‍ෂව චලිත වන වස්තු දෙකක සාපේක්‍ෂ කාල මන්දනයක් ඇත
           මෙම නිගමනයත් සමග එතෙක් පැවති කාලයේ නිරපේක්‍ෂ බව ප්‍රතික්ෂේප විය.එක් රාමුවක සිටින්නාට අනිත් රාමුවේ කාලය ගත වීම අඩුවෙන් සංවේදනය වීම මෙහිදී සිදුවේ.මෙම නිගමනයත් සමග එකල ලොව පුරා වැරදි මතයක්ද ඇති විය එනම් අධික ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක(රාමුවක) කාලය ගත වීම අඩු නිසා එවැනි රාමුවක සිටින අයට වයසට යාම අඩුවීමක් වන බවයි.නමුත් පසු කලෙක සාධාරණ සාපේක්‍ෂතාවාදය සමග අයින්ස්ටයින් විසින්ම මෙම තත්ත්වය ප්‍රායෝගිකව මතුකිරීමේ අපහසුතාව විස්තර කලේය.පසු කලෙක සූර්‍ය ඔරලෝසු(සූර්යයා මත සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලියන් ඇසුරින්)පරීක්‍ෂාවෙන් මෙම සමීකරණයේ නිවරද්‍යතාව ඔප්පු විය.
    * එකිනෙකට සාපේක්‍ෂව චලිත වන වස්තු දෙකක සාපේක්‍ෂ රේඛීය මන්දනයක් ඇත.
         මෙහිදී එක් වස්තුවක සිට අනෙකේ දිග මැන බලන විට සැබෑ දිගට අඩු අගයක් ලැබීම දක්වා ඇත.මෙම සමීකරණයේ සත්‍යතාව ෙසෙද්ධාන්තිකව ඔප්පු වීම ප්‍රමාද වුවත් පරීක්‍ෂණාත්මකව මෙම සමීකරණයේ නිවරදතාවද සනාථ වී ඇත.
          
                 - මතු සම්බන්ධයි. --


**  මෙම ලිපිය ජ්‍යොතිෂයට සම්බන්ධ වන්නේ කෙසේදැයි යමකුට ගැටළුවක් මතු විය හැක.මෙම ලිපියේ ප්‍රධාන අරමුණ ඉදිරියේදී පළකිරීමට අදහස් කොට ඇති ලිපියකට මුල පිරීමට පමණි.ජ්‍යොතිෂය සම්බන්ධ වන්නේ මේ හා බැදුනු ඉදිරි ලිපිවලදීය.මෙම ලිපිය නැතිව ඉදිරියට ගමන් කිරීම අසීරුය.

4 comments:

jhothiratna said...

නලියා ගැන නොලිය හිටියනම් හොඳය්.මේක කියවන අය හිතය් නලියා නිහතමානි අවංක කෙනෙක් කියල.

ජයශ්‍රී said...

නැගිටල ගිය ආචාර්ය වරයා ටැබූ වත්ද? (නිකං සැකයක් විතරයි).

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම නම් නැගිටලය යන්නෙ නලිය දේශනය ප්ටන් ගන්නත් කලින්

Anonymous said...

yhg