Tuesday, July 19, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 4

  "හිරු පොලොව වටා ගමන් කරන්නේ යැයි සිතා සිටින මුග්ධයන් පිරිසක්"
  " මෝඩයන් රවටමින් අන්දවමින් ඔවුන්ගේ මුදල් ගසා කන කපටියන් පිරිසක්"


  ඉහතින් දැක්වූයේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් විසින් ජ්‍යොතිෂවේදීන් වන අපව හැදින්වීමට සයිබර් අවකාශය තුළ නිරන්තරයෙන් භාවිතා කෙරෙන වදන් කීපයකි.(එහි දෙවන පාඨයට යම් තරමින් හෝ අනුකූලව කටයුතු කරන ජ්‍යොතිෂව්දීන්ද ඇත.) ජ්‍යොතිෂයේ සිද්ධාන්ත, තාරකා විද්‍යා නියම දර්ශන වලට පටහැනි අයුරින් පැවතීම හා තමන්ගේ හෝ තමන් දන්නා හදුනන අයගේ ජන්ම කේන්ද්‍ර පරීක්‍ෂා කළ විට නිවැරදි පළාඵල ඉදිරිපත් නොවීම, ස්වභාවික අනතුරු වැනි ව්‍යසන සදහා පෙර අනාවැකි ක්‍රමවත් ලෙස නිවැරදිව ඉදිරිපත් නොවීම වැනි තාර්කික හේතු සලකා වැඩි පිරිසක් ජ්‍යොතිෂය පිළිගැනීම පිළිපැදීම ප්‍රතික්ෂේප කරන අතර තවත් පිරිසක් කිසිම හේතුවක් නොමැතිව තමාගේ සිතුවිලි ප්‍රකාරයෙන් ජ්‍යොතිෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරති.ජ්‍යොතිෂය අන්ධ ලෙස විශ්වාස කරමින් බඩ බැඳගෙන සිටින පිරිසක් මෙන්ම එය මධ්‍යස්ථ අයුරින් විඳදරා ගන්නා අයද සිටී.තමාගේ තරුණ අවධිය ජ්‍යොතිෂය ප්‍රතික්ෂ්ප කරමින් ක්‍රමයෙන් වයසින් මුහුකුරා යනවිට ඒ පිළිබද විශ්වාසය වැඩිකරගන්නා පිරිස ලාංකීය ජන සමාජය තුල වැඩිය.කේන්දර හදහන් පලාඵල නැකැත් පොරොන්දම් ගැන වර්තමානයේ වැඩි උනන්දුවක් දක්වන්නේ ස්වකීය තරුණ අවධියේදී ඒවා ඉතා තදින් ප්‍රතික්ෂේප කළ අයයි.ඔවුන් අද නිරන්තරයෙන් පවසන්නේ අපේ වැඩිහිටියන් පැවසූ පරිදි එකළ ජ්‍යොතිෂ කටයුතු නිසියාකාරයෙන් පිළිපදිමින් කටයුතු කළා නම් අද තමන්ට අත්වී ඇති කරදර බාධක අඩුවන බවයි.එසේ කියමින් ඔවුන් තමන්ගේ තරුණ දුව පුතා ආදීන්ගේ විවාහය ආදී කටයුතු ජ්‍යොතිෂ ශාස්ත්‍රාණුකුලව ඉටු කිරීමට වෙර දරති. නමුත් එදා ජ්‍යෙතිෂය ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළ වැඩිහිටියන් වර්තමානයේ ජ්‍යොතිෂයට අනුකුලව කටයුතු කිරීමට යාමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ තමන් තරුණ අවධියේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කළාටත් වඩා දැඩි අයුරින් තම තරුන දූ පුතුන් ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කිරීමයි.වර්තමාන තරුණයන් වැඩිහිටියන් වන විට තම දෙමාපියන්ටත් වඩා පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් මෙන්ම ජ්‍යොතිෂය විශ්වාස කරන්නන් වන බව මට ඉර හද මෙන් විශ්වාසය.මන්ද එහි ස්ථිර චක්‍රීය ආකාරයක් ඇති බැවිනි.
    මා පහේ ශිෂ්‍යත්වය පාස්වී කොළඹ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලැබුවේ වෛද්‍ය,ඉංජිනේරු,ගුරු,.... ආදී සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති රැකියාවන් කරන දෙමාපියන්ගේ දරුවන් සමඟය.වෙන අපහසුතාවක් නැතත් පියාගේ රැකියාව පැවසීමට සිදුවන අවස්ථාවල මා අසීරුතාවට පත්වූයේ අන් දරුවන්ගේ දෙමාපියන් කරන රැකියාවන් සමඟ සැසදීමේදී මගේ පියා "කේන්දර බලන්නෙකු" යැයි පැවසීම මාගේ පුංචි සිතට ලැජ්ජාවක් මතු කළ බැවිනි. විද්‍යා උපාධිධාරියෙකු වුවත් මා විසින් දැනට කෙරෙන්නේ "කේන්දර බැලීම" රැකියාව නිසා පසු කලෙක මගේ දරුවෙකුට වුවද මට එදා අත්දැකීමට සිදුවූ දේ ඇතිවිය හැකිය.නමුත් වයසින් වැඩෙන විට ඔවුන්ටද මට මෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ වටිනාකම ගාම්භීරත්වය වැටහෙනු නිසැකය.එවිට ඔවුන්ද ආඩම්බරයෙන් මා දැන් පවසනාකාරයෙන්ම "අපේ තාත්තා හොද කේන්දර බලන්නෙක්" යැයි පවසනු ඇත.
    
---------------------------------------------------------------------------------

 පෘථිවිය මත හා ඉන් පිටත සිදුවන ජෛවී භෞතික හා රසායනික ක්‍රියාවලි අනුව අපේ ඉන්ද්‍රීයන් සංවේදනය කරන සංසිද්ධීන් සලකා බැලූ විට ඒවායේ අනාගත ක්‍රියාකාරීත්වය පිළිබදව ඇතැම් විට ස්ථිර තීරණ නිගමන වලට එලැබිය හැකි මෙන්ම නොහැකි අවස්ථා ඇත.මෙම සංසිද්ධීන් පෘථිවිය මත(පෘථිවි වායු ගොලය හා ගුරුත්වයට යටත් පෙදෙසද ඇතුළුව) සිදුවන හා පෘථිවියෙන් එපිට සිදුවන සංසිද්ධි ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදු විට පෘථිවිය මත සිදුවන සංසිද්ධීන්වල අනාගත ස්වභාවයේ යම් අවිනිශ්චිත භාවයක් ඇතත් පෘථිවියෙන් එපිට ග්‍රහ තාරකා වල හැසිරීමේ අනාගත ස්වභාවයන් පිළිබද නිශ්චිතතාවක් දැකිය හැක.උදාහරණයකට හෙට දිනයේදී හිරු නැගෙනහිරින් පායා බටහිරින් බැසයාම අපහට ස්ථිරව කිවහැකි වුවත් හෙට දිනයේ ඔබේ නිවස පිහිටි ප්‍රදේශයට වැස්ස ලැබේද නොලැබේද යන්න පිළිබදව ස්ථිරව කිව නොහැක. හෙට උදේ 10.00 වන විට අඟහරු ග්‍රහයා කුමන රාශියක් එල්ලේ එහි කවර අංශකයක පිහිටයිද යන්න ග්‍රහ ගණිතය සලකා අපට කිව හැකි වුවත් හෙට උදේ 10.00 වන විට අපිට කවර ස්ථානයක කවර ආකාරයකින් සිටීමට සිදුවේදැයි ස්ථිරව කිව නොහැක.හදිසි ගමනක් යෙදී එම වෙලාව වනවිට අපි කොළඹ ප්‍රදේශයේ හෝ ගාල්ලේ සිටීමට සිදුවිය හැක.සමහර විට තුවාල අනතුරක් සිදුවී රෝහලක සිටින්නටද සිදු විය හැක.කොටින්ම ජීවිතය ගැන වුවද නිශ්චිතව කිව නොහැක.එහි අවිනිශ්චතාවක් ඇත.
   පෘථිවිය මත සිදුවන සියළුම ජීව,භෞතික හා රසායනික ක්‍රියාවලි සදහා සූර්යයා ප්‍රමුඛ සෞර ග්‍රහ මන්ඩලයේ බලපෑම හා ඈත විශ්වයේ ග්‍රහ තාරුකා බලපෑම මත සිදුවන බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.පෘථිවිය මත දිවා රාත්‍රිය ඇති වීම ජීවි ක්‍රියා සිදුවීම,ස්වභාවික සංසිද්ධි සෘතු කාලගුණ විපර්යාස,ජෛව විවිධත්වය ඇති වීමට හේතුවන  පෘථිවියේ භ්‍රමණය,පරිභ්‍රමනය,උත්තාරණය,වායු ගෝලය,චුම්භක ක්‍ෂෙත්‍රය,ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය,ආදිය ඇති වන්නේ සෞර ග්‍රහ මණ්ඩලය හා ඈත පිහිටි තාරුකා වැනි ආකාශ වස්තු වල බලපෑමෙනි. 
        වර්තමාන විද්‍යා දියුණුව නිසාම අපේ සූර්යයාගේ ආයුෂ ප්‍රමාණය(එහි දහනය අවසන් වීමට ගතවන කාලය) සදහා අනුමාන කළ හැකි කාල සීමාවක් විද්‍යාඥයන් සොයා ගෙන ඇත.එමෙන්ම වර්තමානයේ විද්‍යාගර තුල සිදු කරන ලද පරීක්‍ෂණ දත්ත අනුව ඇතැම් බැක්ටීරියා දිලිර වර්ග වල ආයු කාලය ඉතාමත්ම නිවැරදිව පැවසීමේ දියුණුව ඇත.නමුත් බරපතළ අසනීපයක් නැති නිරෝගී පුද්ගලයකුගේ(ළමයකුගේ හෝ වැඩිහිටියකුගේ) ශරීරයේ අවයවයක්,තරලයක් හෝ මුළු සිරුරම පරීක්‍ෂා කොට ඔහුගේ ආයුෂ ප්‍රමාණය පැවසීමට ක්‍රමයක් තවම සොයාගෙන නැත.(මාරක හදිසි අනතුරු ඝාතන මොහොතකට අමතක කරන්න)
   විද්‍යාවේ දියුණුව නිසාම විකිරණශීලී ද්‍රව්‍ය අනාවරක,කාබන් කාල නිර්ණානක ක්‍රම විදි ඇසුරින් සත්ත්ව පොසිලයක ශාක කොටසක වයස හා ඒවා කලින් කලට භාජනය වූ මුහුණ දුන් ජීව භෞතික රසායන ක්‍රියාවලි පිළිබදව පැහැදිළි අදහසක් නිරූපනයක් ලබා ගත හැකි නමුත් මිනිසා මුහුණ දෙන ප්‍රධාන ස්වභාවික ව්‍යසනයක් වන "භූමි කම්පා" පෙරාතුව දැන ගැනීමේ විද්‍යාත්මක ක්‍රමයක් සොයා ගැනීමට සමත් වී නැත.මෙහි පෙර ලිපියේ දැක්වුනු "විද්‍යාත්මකව නොවිසදුනු ගැටළු අතරින් ප්‍රධාන 10ක්"ලිපියේ 7 වැනි ගැටළුව ලෙස දක්වා ඇත්තේ මෙම "භූමි කම්පා පෙරාතුව දැන ගැනීමේ" ගැටළුවයි.
    පෘථිවිය මත සිදුවන ජීව,භෞතික රසායන  ක්‍රියාවල අනාගතය පිළිබද අවිනිශ්චිතාවක් ඇතත් පෘථිවියෙන් එපිට සෞරග්‍රහ මණ්ඩලයේම වෙනත් ග්‍රහලෝක මෙන්ම තාරුකා අවකාශයේ පිහිටීමේ අනාගතය නිවැරදිව කලින් පැවසීමේ හැකියාවක් ඉතා ඈත අතීතයේ සිටම පැවතුනි.

                        ------ මතු සම්බන්ධයි. ----------

9 comments:

සංකල්ප said...

නියම ලිපියක් !!!!!
ගොඩක් නොදන්න දේවල් දැනගන්න ලැබුනා.
ප්‍රශ්නයක් !!!!!!
අපි පෘතුවි කේන්දරය ගැන කතා කරනවනේ. කේන්දරයක් හදන්න උපන් වෙලාව ඕනේ නේ. එතකොට පෘතුවියේ උපත සිද්ද උනේ කවද්ද?

jhothishalanka said...

@මධුරංග
ජ්‍යෙතිෂයේදී පෘථිවි කේන්දරයක් හෝ පෘථිවියක් ගැන සලකා බැලීමක් නැත.ජ්‍යොතිෂයේ සිද්ධාන්ත සකසා ඇත්තේ පෘථිවියට සාපේක්‍ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතය සැලකීමෙනි.පෘථිවියේ උපත ගැන විස්තර ජ්‍යෙතිෂයේ වෙනත් ක්‍ෂෙත්‍රවලින් දක්වා ඇති අතර ඒ පිළිබදව මා හට ලොකු දැනුමක් නැත.පෘථිවියේ උපත ගැන දැන ගැනීමට හොදම ක්‍රමය සෞරග්‍රහ මණ්ඩලය හා එහි ග්‍රහලෝක ඇතිවීම ගැන නවීන විද්‍යාවේ හා බුදු දහමේ දක්වා ඇති විස්තර ඉගෙනීමයි.

Anonymous said...

සීයට දාහක් ඇත්ත.තරුණකාලේ ගුරුගෙන් නටල නටල ගරහන්ඩ ඕනෙ ඒවට ගරහල ඉවර වෙලා පස්සේ සෙනසුරුගෙන් පරිප්පු කනකොට තමයි ජ්‍යෝතිෂ්‍ය මතක් වෙන්නේ.

Dayal Bathee said...

මඳකට කලින් මම අරුනි ශපිරොගෙ බ්ලොග් එක
http://arunishapiro.wordpress.com/2011/07/19/ කියවා අදහස් කෑල්ලක්-කොම්මෙන්ටුවක්-'කටක්' දැම්මා(මතකද අපි පොඩි කාලේ වැඩිහිටියන් කියනව ඕන එකටයි එපා එකටයි කට දාන්න එපයි කියලා)
ඉතින් මම මේ කියන්න හැදුවේ ඇය කියලා තියෙනව, තොරතුරු නැත්නම් facts or data ඇතුව සලකල බලල නිවිහැනහිල්ලේ තීරන ගත යුතුය කියල,
මම ජෝතිශය දිහා බලන්නේ ජීවිතයෙ ඉදිරි කටයුතුවලට යම් දිශානතියක් දෙන ඓතිහාසික තොරතුරු සමුහයක් හැටියට; ඔබ දක්වා ඇති මා ඔබේ වර්ගීකරනය අනුව මධයස්ථ වර්ගයේ කෙනෙක්.

ලැබෙන තොරතුරු නුවනින් සලකාබැලීම කල යුතුමයි. නමුත් පුද්ගලිකයි (රහසිගතයි)

වෙද ගෙදර මහ වෙදනා said...

ඔබගේ බ්ලොග් අඩවිය මම ඉතාම කැමති නවාතැනක්. බොහෝ වෙලාව ගෙන කියවිය යුතු තැනක්. මම ඉතාම ආස විෂයක් තමයි ජ්‍යෝතිෂය අවාසනාවට මට ඒ ගැන දැනුමක් නැහැ. ඔබත් මාරයා මල්ලීත් ඉන්න නිසා දැන් බයක් නැතිව යමක් අසා ගන්න පුළුවන්.
මගේ දුවත් යන්නේ ලංකාවේ තියන ප්‍රධානම කාන්තා පාසලකට මම ටිකක් බයෙන් හිටියේ මේ සමාජේ මිනිස්සු ලමයාගේ හිතට ප්‍රශ්න වන විදියේ දෙයක් මගේ රැකියාව ගැන කියයි කියලා. මම නම් ලෝකෙ කොහේ හිටියත් කියන්නේ ආයුර්වේද වෛද්‍ය කියලා. ඒත් ලමා හීත්නේ
දැන් මුළු පාසලේ වැඩිම ගුරුවරියන් ප්‍රමාණයක් එන්නේ මගේ වෙද හාමිනේගෙන් බේත් ගන්න.
ඔබගේ ලිපිවල අන්තර්ගතය ගැන මට මෙහෙම යමක් කියන්න බැහැ. මොකද මම තවම ඒ ගැන හදාරනවා. ඔබගේ ලිපි වලින්ම. ඒවා ඒ තරම් ගැබුරු ඉතා ප්‍රිය මනාප ලිපි. මම දිනක ඔබගේ බ්ලොගය ගැන වෙනම ලිපියක් ලියන්න ඉන්නේ.

චතුර.... said...

නූතන විද්‍යාවෙන් සොයාගෙන ඇති දේවල් වගේම තවත් වැඩි ප්‍රමාණයක් සොයාගෙන නැහැයි කියලා දන්නේ නැති අය තමයි විද්‍යාවෙන් හැම දේම පහදන්න යන්නේ. අඩුම තරමේ ලෝකයේ සත්ව ශාක විශේෂයන්ගෙන්වත් වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන නැහැනේ. කවදාවත් අපේ පැරැන්නන් අගය කළ දෙයක් මම නම් අහක දන්නට යන්නේ නෑ, සමහර වෙලාවට මම ඒ දේවල් නොකළත් මම ඒදේවල් වලට ගරහන්නවත් හෙලා දකින්නවත් යන්නේ නෑ..

Anonymous said...

මම ඉන්නේ qatar වල . අසාවෙන් මම මේ ලිපි ටික බැලුවේ. විශ්වය හදුනා හැටි , quantum theory වගේ දේවල් ගැන තව තව ලියන්න මම බැලුව http://www.youtube.com/watch?v=0KVwHTyo-Sk
මේවා බුදු ධර්ම එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා , එත හරියට ඉඅගන ගන්න කෙනෙක් නැ. එක ගැන ටිකක් ලියන්න පුවන්ද ? (පිටිදුවේ හාමුදුරුවෝ ස්වර්ණවාහිනී සංගායන වැඩසටහනේ කල දේවල් ටිකක් ගැලපෙනවා. එත් කොහෙද එකට අනිත් හමුරුවෝ ටික කෙලවලා එක නතරකරලා.)

Anonymous said...

මචං BBc කොහොමද? මම GT

jhothishalanka said...

හම්මේ GT කොහොමද ඉතින් දැක්ක කල්.මම දැන් ලිං මැඩ්ඩ වගේ ගෙදරට වෙලාම ඉන්නේ.රන්ජන් සුරංග දැන් කොහේද වැඩ?ඒ ගැන මෙතන ලියන්න එපා.මගේ ෆේස් බුක් එකට එවපන්.

Related Posts Plugin for WordPress, Blogger...