Tuesday, February 7, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2

     

 * බලි ඇඹීම
         බලි යාගය පවත්වන දින උදේ සිට බලි ඇඹීම සිදු කරයි.මෙම බලි ඇඹීමේදී එක් එක් සම්ප්‍රධායන්ට සුවිශේෂී වූ ක්‍රම පවතී.නුවරකලාවියේ වර්ණ සදහා යොදා ගන්නේ දේශීය කොළ,ඵල පොතු ඇට ආදියයි.
   බලි ඇඹීමේදී වඩාත් විචිත්‍රවත් හා ජීවමාන අයුරින් බලි ඇඹීම සැලකූ විට පහත රට සම්ප්‍රධාය ප්‍රමුඛ තැනක් ගනී.


 * බලි සැරසීම
     අඹන බලි සැරසීමද යාගයේ සුවිශේෂී අංගයකි.එක් එක් ප්‍රදේශවල බලි සැරසිලි සදහා යොදා ගන්නේ එම ප්‍රදේශවලින් පහසුවෙන් සපයා ගත හැකි ස්වභාවික ද්‍රව්‍ය වලිනි.රුහුණේ බලි යාග වලදී ගොප්කොළ කැටයම් හා රඹ පතුරු යොදා ගනී.නුවර කලාවියේ බලි රූප සැරසීමට වැඩි වශයෙන් යොදා ගන්නේ වර්ණ යෙදීමය.

 * නේත්‍රා තැබීම
      බලි සැරසීමෙන් පසු සිදු කරන්2න් සුභ නැකතකට අනුව නේත්‍රා තැබීමයි.


 * පුද පූජා පැවැත්වීම
        නියම කරන ලද බලිය අනුව මෙම පුද පූජා පැවැත්වීම විවිධාකාරය.පළතුරු කැවිළි පූජාවන්ට අමතරව යක්‍ෂ භූත ආදින් වෙත කරන බලි වලදී කුකුල් බිත්තරයක් වැනි මාංශ පූජාවක්ද යොදාගනී.
  "ශාන්ති  මංගල   මෙලෙ   ස
   අඹවා සිතු ලෙසය නොල ස
   පුදා  බොජුන්  කුකුල   න්
   ගිණිකොණ තබ දොස මුල "



* නමස්කාරය, දේවාරාධනාව
    යාගය පටන් ගැනීමට පෙර පිරිත් හූය ගෙන ප්‍රධාන බලි ඇදුරුතුමා තෙරුවන් නැමැද දේවාරාධනාව කරයි.නමස්කාරයට පෙර විවිධ තිත් තාල වලට අනුව වාදනය කෙරෙන මඟුල් බෙර වාදනයකි.බෙර වාදකයන් ඉදිරිපිට බලි ඇදුරන් පිරිත් හූයෙන් සන්න ශ්ලෝක කවි ගායනා කරමින් බලි ශාන්තිය සදහා නමස්කාරයෙන් මුල පුරයි.

 * පිරිත් හූය ආතුරයා අතට පත් කිරීම
       ආතුරයා ඉදිරියේ කන්‍යාවන් දෙදෙනෙකු ආවඩමින් පිරිත් හූය ආතුරයා අතට පත් කරයි.

* කඩතුරාව ඇරීම
    මෙය ඉතා සීරුවෙන් හා පිළිවෙලින් කෙරෙන යාගයේ ප්‍රධාන කටයුත්තකි.සුදු රෙද්දකින් වසා තිබූ බලිය ආතුරයා ඇතුළු සභවට දර්ශනය වනසේ සුදු රෙද්ද ඉවත් කරයි.මෙම කඩතුරාව ඇරීම හෙවත් බලිය ඇරීමේදී ඉතා මනරම් බලි කවි ගායනා සිදු කරයි.

 * බලිය පාවා දීම
    මෙහිදී ඒඒ ග්‍රහයන්ට අදාළව අධිපති කම් දරණ දේව යක්‍ෂ කොට්ඨාශ වලට අදාළ කවි ගායනා කරමින් බලිය පාවා දීම සිදු කරයි.


* අටමඟල පෑගීම,කවි ගායනය.
     1) දිවි හිස
     2) හාල්
     3) පොල් ගෙඩිය
     4) තොලබෝ කොළය
     5) දෙපුරුක් හීරැස්ස කැබැල්ල
     6) හත් වියත් දිග දිවි කදුරු මෝල් ගස
     7) හාල් පඩුරු හා කහ සහිත කළය
     8) මෙම ද්‍රව්‍ය තබන කළාලය

   යන මෙකී අට මඟල ආතුරයා ඉදිරියේ සකසා කවි ගායනා කිරීමෙන් පසු ආතුරයාගේ දෙපා අටමඟලට යොමු කරයි.

 *මල් බුලත් පුටුව තැබීම
     මෙයද යාගයේ සුවිශේෂීම අංගයකි.මෙහි මල් බුලත් ආදිය තැන්පත් කර ඇති අතර ආතුරයාට ජ්‍යොතිෂ්‍යානුකූලව සිදුකල යුතු දෙහි කැපීම් යන්ත්‍ර දැමීම් ආදිය තිබේ නම් ඒවාද මෙහි අඩංගු කෙරේ.කහ දිය කොතලයද මීට අයත්ය.මෙම මල් බුලත් පුටුව ශ්‍රියා කාන්තාව නියෝජනය කරයි.



* මංගල අෂ්ඨක කවි සන්න ශ්ලෝක
   100% ක්ම ගායනය පමනක් වූ මෙය නර්තනයෙන් බැහැරව කෙරෙන කාර්යයකි.

*ආතුර අඩව්ව
    ගායනය පමනක් කරමින් සිදුකෙරෙන අෂ්ඨක කවි සන්න කීම මඟින් ආතුර හා පේක්‍ෂකයන්ගේ කම්මැළිකම නින්ද තුරන් කිරීමට සිදු කෙරෙන විශේෂ නර්තන අංගයකි.

 * ග්‍රහයන්ට දොළ පිදේනි දීම
         බලියේ පාමුල තබා ඇති භොජන තටුවේ මෙම දොළ පිදේනි තැන්පත් කර තිබෙන අතර කැවිලි පළතුරු තෙල් ජාති සියල්ලෙන්ම 7 බැගින් නවග්‍රහයන්ට පුදයි.

 * ග්‍රහ ශාන්ති කවි කීම
     ග්‍රහ දෙවියන්ගේ ගුණ ගායනා කරමින් හා ඔවුන්ගේ පිහිට පතමින් කවි ගායනා කිරීම බලි යාගයේ තවත් දීර්ඝ කොටසකි.ග්‍රහයන්ට අමතරව බලියට අනුරූපව කන්‍යා දේව රාක්‍ෂ බලි වලටද දශා අතුරු දශා වලටද කවි ගායනා කරයි.බුදු ගුණ කවියෙන් වැනමද මෙහි සුවිශේෂී අංගයකි.පහත දැක්වෙන්නේ ලග්න,ග්‍රහ,කන්‍යා ,දේව හා රාක්‍ෂ බලි වලට  මහදශා හා දශා අතුරු දශා වලට ගැයෙන බලි කවි කිහිපයක් හා බුදු ගුණ කවියකි.


 ඉරුදෙව් ආරාධනා කවියක්
     ඉන්ද්‍ර දිගට අධිපති වම් ඉරු දෙවි මන  නන් දා
     රන් සිරිවත සුරත දරා රත වාහනයෙන් දා
     කොකුමෙන් භෝජන වළදා සපිරුන මනන්දා
     ඉන්ද්‍ර දිගින් ඉරු වඩිනව නමා සිරස වැන් දා


මේෂ ලග්න කුජට(අඟහරු) අපලයට මේෂ කුජ බලියේ කවියක්
    එපෑරැස මැද අඹවට පත්ම ලෙස  සදා
    සතර කොන අඹා අඟහරු දේව රසදා
    මේෂ කුජයගේ පිම්මෙන් ලෙඩක් තදා
    මේෂ කුජ බලිය මෙනිරිදු රකුනි  බදා

වින දෝසෙන් ගත් උණට කෙරෙන නාග කන්‍යා බලියේ කවියක්
   මහයක් පිරිබඩ ලවා එ සුවද කිරි පැනුත් ඉසිමින්      තනා
   රැයක් ඒ ගේ පේව තනමින් වලු මල් ද ගෙන      බඳිමිනා
   බසක් විතර පොරණ අණ ඇදුරන් කී ලෙස නිවරදයෙනා
   අඹත  නාඟය  කල්‍යාණ  බලි  ආයුත්  ඔබට     වඩමිනා

 නෙවාබහින උණට බයට කස් කිලාසයට භෙරව රාක්‍ෂ බලිය
   ඉසාන දින මැස්සක් කර සරාලා
   කිරිබත් ලාලු අතිරස ගෙ පුදාලා
   නොයෙක් දොස ඇරවයි වසාලා
   බිලි බැද තබව සෙත දී ආවඩාලා

 ඉරු මහ දශාවට ඉරු මහ දශා බලිය
   ඉදුර ඉඹුල මුල තටුවක් සරා පුදා
   මතුර දපා බලි ගෙන ගොසිනි කර පුදා
  පතර පසඟ තුරු ගොස කරවා නොමදා
  ඉරුගෙ මහදශා තබ සෙත් කර මෙසදා

 ඉරු අන්තර් දශාවට රවි අන්තර් දශා බලිය
  තිනෙත් සුර බරණ සිව් අත මූනු    පසා
  සකත් ත්‍රිසුල් ඇගරත් පද නැඟි    නිලසා
  පොතත් කෙණ්ඩිය සැදි බමුණා ගෙවි ලසා
  රවි අන්තර් දසා තබ ඉදුරු ඉඹු    ලැසා

 බෝසත් ගුණ වැයෙන කවියක්(එලි වැට හා සම අක්‍ෂර බිදුනු සැහැලි ආකාර)
  අප මහ බෝසත් සොළසකි කපින  පිට
  තම  මව්  කර පිට ඉඳුවා        පීනමින
  මනෝවාද  දැක  පුරමින්    එතරට
  සුමේද  නම්  තාපසව   ඉපිද   එදා



 * සිං යක්‍ෂ පූජාව
    බලියේ සතර කොනට අධිපති යම,කාල,වායු,මුර්තු  හින් යක්‍ෂයන් සතර දෙනා වෙනුවෙන් කවි ගායනා කරමින් යාග කරන අවස්ථාවයි.
 යම සිං බලි කවියක්
   කුරිරු මූන කළු පැහැ යුතු සියොලඟය
   සිරස ජටා දෙවුරෙහි උරඟ මාලය 
   දකුණුකය මතුරෙහි වාහන රකුසාය
   යමරකුසා ආතුර රැක සෙත දේය 

 * ඇඹුම් කවි ගායනය
     බලි කතා විස්තර යටතේ පතිරූප බලියෙන් ආරම්භව බලි ඇඹුම් කවි ගායනා කරයි.
     
    ජන්ම තුරඟුන්  පිට   දී සිටි     ලෙසට
    මින් පතිරූප අඹමින් නැකත දෙවි වට
    සී අට දෑල වර යෝනි ද      දෙපතුලට
    උන් උන් පිදේනිත් නොවරද ඇති රහට
   
 * මෝලංගර තටු පිදේනි 
     පාන්දර ජාමයේ එළිය වැටීගෙන එනවිට පිදේනිය බලි මඩුව වටේ ගෙනගොස් මෝලංගර යකු වෙත පුදයි.හාස්‍යජනක නාට්‍යමය ස්වරූපයක් ගන්නා මෝලංගර පූජාවේදී බලි ඇදුරන් උසුළු විසුළු පාමින් නටයි.

* දොලොස් මස පූජාව
       සත් දින,වප් පංති,හෝරා ශාන්ති කවි ගායනය මෙම කොටසට අයත්ය.

 * සිරස පාද කවි
      සිරසේ සිට පාදාන්තය දක්වා රෝග පීඩා අඩු වේවායි සෙත් පතමින් බෝසත් පාරමිතා ගුණ දක්වමින් කියැවෙන සිරස පාද කවි යාගයේ අවසන් කොටසේ අංගයකි.

  * බලි අවසානය දැක්වීම
       අවසාන වශයෙන් බලිය යනු ලී දඩු වැල් මැටි වලින් සෑදු රූපයක් බවත් එය සෑදූ ආකරයත් කවියෙන් දැක්වීමක් කරන්නේ ආතුරය බලිය නිසා යම් ව්‍යාකූලතත්ත්වයක් ඇතිවී නම් එය මඟ හැරවා වස් දොස් ඇරීමටය.

   * ආතුරයා නැගිටුවා බලි මඩුවෙන් නිවසට රුගෙන යාම

---------------------------------------------------------------------------------

මූලාශ්‍ර
      "බලියාග පිළිවෙළ" ,තිස්ස කාරියවසම්,සමයවර්ධන
      "ලංකාවේ බලි ශාන්ති කර්ම" ජයන්ත අමරසිංහ, ගොඩගේ 
      " බලි ඇඹුම් කවි පොත" මනෝජ් පුෂ්ප කුමාර ජිනදාස, ගොඩගේ 
       "ලංකාවේ බලි උපත" ජේ.ඊ.සේදරමන්, එම්.ඩී.ගුණසේන
       "ඌවේ බලි යාග ශාන්තිය",ගොඩගේ 




 http://kendaralk.wordpress.com/2010/03/23/%E0%B6%9C%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84-%E0%B6%85%E0%B6%B4%E0%B6%BD-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B7%92-%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A/


http://www.divaina.com/2011/08/17/badada02.html
http://www.silumina.lk/punkalasa/20101121/_art.asp?fn=ar1011211

5 comments:

මහේෂ් said...

හරිම වටින රසවත් ලිපියක් ...

Gimhani said...

නොදන්නා කරුණු බොහෝ දැනගත්තා. වටින ලිපියක්.

රාජ් said...

දැං නං අභාවයටම ගිය ගානයි.

මාතලන් said...

මෙවැනි දෑ දිගටම ලියන්න. මම කැමතිම විෂයක්. අනෙක නව පරපුර අපේ නියම සංස්කෘතිය පිළිබඳව දැණුවත් කිරීම පුන්‍ය කටයුත්තක්. මේවා අද දකින්නත් නෑ. පොඩි කාළේ මේවා බලන කොට නිදිමත නාවේ කොහොමද කියලා දැන් හිතෙනවා..

Soda ගුනේ said...

මමත් ඔය දහඅට සන්නි, බලි, තොවිල්, බලන්න පට්ට ආසයි.... ඉස්සර නම් මේව බලලත් තියනව ඒත් දැන් නම් ඉතින් කොහෙන් බලන්නද... වෙසක් එකට ගමේ පන්සලේ 18සන්නිය නම් තවම තියනවලු... බලන්න යන්න තමයි වෙලාවක් හොයාගන්න අමාරු...:D දෙවියෝ, යක්කු, ජෝතිෂ ගැන විස්වාසයක් නැති උනත් මේවයි සංස්කෘතික වටිනාකමට නම් ගරු කරනව.