Monday, November 15, 2010

ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ

        දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේඩියෝ එක දැම්මත් ජ්‍යොතිෂය සම්බන්ධ ලිපිලේඛන,වැඩසටහන් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් දකින්න අහන්න ලැබෙනවා.ජනතාවත් ඒවා ගැන වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැමැත්තක් දක්වනවා.
තම තමන්ගේ එදිනෙදා ජ්‍යොතිෂ වැඩ කටයුතු සිදුකරදුන් ග්‍රාමීය දෛවඥයන්ට වඩා ටී.වී. රේඩියෝ වල පෙනී සිටින ජ්‍යොතිෂවේදීන්ගේ මුකරි කමට අපේ අය වශීවෙලා වගේ වැඩි පිරිසක් ඔවුන්ගේ පිහිට පතාගෙන යන්න පුරුදු වෙලා.කවුරු කොහොම කිව්වත් හැමදෙනාම නැතිවුවත් මෙම මාධ්‍ය ජ්‍යොතිෂවේදීන්ගෙන් වැඩිදෙනා හොද තෙම්පරාදු කපටි මුදල් වලට කෑදර ලෝකෝත්තර මගඩි කාරයෝ,ඇත්තම කියනවා නම් හොද මානුෂික ගතිගුණ වලින් යුත් දක්‍ෂ ගුණගරුක ජ්‍යොතිෂවේදීන් මේ රටේ ඕන තරම් ඉන්නවා.ඒඅය තමන්ගේ පාඩුවේ ඔවුනොවුන්ගේ නිවෙස් වැනි සරල ස්ථානවලට වෙලා තම තමන්ගේ ශාස්ත්‍රීය දැනුමෙන් අන්අයට උදවු උපකාර  කරන්නේ  පැරණි හෙළ සිරිත් විරිත් අගයමින්  නියම මිනිසුන් ලෙසයි.එහෙම කිව්වයි කියලා මාධ්‍ය ඔස්සේ ජ්‍යෙතිෂ වැඩසටහන් වලට පෙනී  සිටින සෑම ජ්‍යොතිෂවේදියකුම නරකයි කියලා ලේඛකයා කියන්නේ නැහැ.හොද අයත් ඉන්නවා.හැබැයි වැඩියෙන් ඉන්නේ බොරුකාරයෝ,වංචාකාරයෝ තමයි.හොර දොස්තරු හොර ගුරුවරු නිසා අදාල ක්‍ෂෙත්‍ර පරිහානියට පත්වෙන්නාසේම ජ්‍යොතිෂයේ ගෞරවය නැතිවන්නේද වංචාකාර කපටි ජ්‍යොතිෂවේදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙනි .
          ඇත්තටම ජ්‍යොතිෂය කියන්නේ ශාස්ත්‍රයක්.එහි ගෞරවය රදා පවතින්නේ එය සේවයක් ලෙස ජනතාවට ලබාදෙන ජ්‍යොතිෂවේදීන්ගේ කියුම් කෙරුම් මත තමයි.දුෂ්ශීල පවිටු භික්ෂූන් නිසා නිර්මල බුදුදහමේ පරිහානිය සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.ජ්‍යොතිෂය පරිහානියට පත්කරන්නේද මුදල් පසුපස හබායන දීන ජ්‍යොතිෂවේදීන්මය.සතිඅන්ත පුවත්පත් වල පිටු ගනන් වෙලඳ දැන්වීම් දමා ඇති මලයාල,රොඩී වශී ගුරුකම් කාරයන් ගැන අමුතුවෙන් කිව යුතු නැත.එවැනි කපටියන් ගැන වටහා දීමට බ්ලොග් සටහන් ලිවීමට කාලය මිඩංගු කිරීමට ලේඛකයා සූදානම් නැත.ඔවුන් ගැන කිව යුත්තේ එක් වචනයකි.ඒ "උන් හැමෝම ලෝක හොරු" යන්න පමනි. මේ සටහනින් කියන්න හදන්නේ එවැනි අය ගැන නොවේ.වශී ගුරුකම් කාරයන්ගේ බොරුව එළිපිටම වැටහෙන නමුත් ජ්‍යොතිෂ දැනුමෙන් හොදින් තෙම්පරාදුවී උපතින් ලත් මුකරිකමින් පරිණතව මාධ්‍ය ඔස්සේ පෙනීසිටිමින් අසරන ජනතා මුදල් ගසා කන ජ්‍යොතිෂවේදීන්ගේ බොරුව වටහා ගැනීමට කල් ගතවේ.අද අපි කතා කරන්න හදන්නේ මෙම කපටි තෙම්පරාදු මාධ්‍ය ජ්‍යොතිෂවේදීන් ගැනය.පුද්ගල අපහාස කිරීමේ චෝදනා එල්ල විය හැකි නිසා නම්ගම්  සදහන් කර දැක්වීම නොකලත් මෙහි ඉදිරියට දැක්වන දෑ ඔබ රූපවාහිනිය,ගුවන් විදුලිය ඔස්සේ  නිතර නිතර අසන දකින දේවල්,ඒවා ලේඛකයා විසින් ගොතා නිර්මාණය කල සිද්ධීන් නොවන බව ඕනෑම අයකුට වටහා ගත හැකිය.
         වර්තමානයේ රූපවාහිනිය,ගුවන් විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශනය වන ජ්‍යොතිෂය සම්බන්ධ වැඩසටහන් ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන පරිදි වර්ග කොට දැක්විය හැකිය.
         *  ජ්‍යොතිෂවේදියකු සහභාගීවන එදිනෙදා ලග්න පලාඵල  ඉදිරිපත් කෙරෙන වැඩසටහන්
       *  ජ්‍යොතිෂවේදියකු දුරකථනයෙන් සම්බන්ධ වන පේක්‍ෂයන්ට ජ්‍යොතිෂ උපදෙස් සපයන අතර වැඩසටහන මෙහෙයවන්නේ නිවේදිකාවක(බොහෝ විට සුරූපී තරුණියක්) හෝ නිවේදකයකුය. මේ සදහා ජ්‍යොතිෂවේදීන්,වාස්තු විද්‍යාඥයන්,පෙන්ෂුයි උපදේශකයන් විටින් විට සහභාගී වෙති.
  * ජ්‍යොතිෂවේදීන් කිහිපදෙනකු සහභාගීවන සාකච්ඡාමය වැඩසටහන්

        මින් එදිනෙදා පලාඵල ඉදිරිපත් කිරීම ලේඛකයාගේ පෞද්ගලික අදහස අනුව ඉතා නුසුදුසුය.මන්දයත් ලග්න දොලහ වෙනුවෙන් පොදුවේ ඉදිරිපත් කෙරෙන මෙම පලාඵල විස්තර විකාරයකි.තමන්ගේ එදිනෙදා පුවත්පත් විකුනා ගැනීමට ඉන්දියානු පුවත්පත් ආරම්භ කල මෙම එදිනෙදා ලග්න පලාඵල ක්‍රමය සත්‍ය වශයෙන්ම වෙලඳ උපක්‍රමයකි.ජ්‍යොතිෂය අනුව බැලීමේදී මෙම දිනයේ ලග්න පලාඵල විස්තරයකින් යම්කිසි මට්ටමක එදිනෙදා ජීවිතයට බලපෑ හැකි සත්‍ය අනාවැකි ඉදිරිපත් කල හැකි නමුත් 100%ක් සාර්ථක නැත.මෙය හරියට ලෙඩා පරීක්‍ෂා නොකොට  වෛද්‍ය උපදෙස් ලබා දීම වැනිය.
       විද්වතුන් හා ජ්‍යොතිෂවේදීන් රැස්වී ජ්‍යොතිෂය සම්බන්ධ විෂය කරුනු සාකච්ඡා කිරීම ඉතා වැදගත් මහගු කටයුත්තකි.අවශ්‍ය වන්නේ මෙවැනි වැඩසටහන්ය.ජ්‍යොතිෂය නිසිලෙස භාවිතා කරන ආකාරය සාමාන්‍ය ජනතාවට වැටහීමක් ලබා ගැනීමට මෙවැනි වැඩසටහන් වලින් මහගු පිටිවහලක් සිදුවේ.නමුත් මෙවැනි වැඩසටහන් තුලදීද අඩුලුහුඩුකම් ඇතිවන අවස්ථා ඇත.ජ්‍යොතිෂවේදීන්ම රැස්වී පාලු ගෙදර වලං බිදීමට වඩා ජ්‍යොතිෂය නොපිළිගන්නා විද්වතුන්ද වරින් වර සහභාගීවී අදහස් හුවමාරු කර ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම නැති සුභ තත්ත්ව විදහා දක්වමින් රජය වර්නනා කීරීම හා නැති අසුභ තත්ත්ව දක්වමින් ජනතාව බියට පත්කොට ආන්ඩු පෙරලීමට උත්සාහ  කිරීම්ද ඇතැම් විට දක්නට විය. ඉතිහාස,භාෂාමය හා සිද්ධාන්තමය වැරදීම් කල අවස්ථාද විය."නැකැත් නැති" ලෙස නොනගතය අර්ථ දැක්වීම,"අව්ව රුදු වීම හෙවත් රෞද්‍ර වීම" ලෙස "අවුරුද්ද" අර්ථ දැක්වීම එවැනි අවස්ථා කීපයකි.එවැනි වැඩසටහන් වලින් සිදුවන්නේ ඉදිරි අනාගතයේ රට භාර ගැනීමට සිටින කුඩා දරුවන්ගේ දැනුම මොට වීම හා විකෘති වීමය.
         නිවේදිකාවක හෝ නිවේදකයකු සමග විශේෂඥ  ශාස්ත්‍රඥයකු සහභාගී වී සිදුකරන ජ්‍යොතිෂ වැඩසටහන්ද අපට නිතර දක්නට ලැබේ.මෙහිදී විශේෂඥයා ලෙස ජ්‍යොතිෂවේදීන්,වාස්තු විද්‍යාඥයන්,ෆෙන්ෂුයි උපදේශකයන් විටින් විට සහභාගීවේ.ඇතැම් විට අදාල මාධ්‍යවල ආරාධනයෙන් සහභාගී වී විදිමත් ලෙස කෙරෙන කාලීන වැදගත් වැඩසටහන් ඇතත් බොහෝ විට මෙවැනි වැඩසටහන් සිදුකෙරෙන්නේ අදාල ජ්‍යොතිෂවේදියාගේ වානිජ්‍ය අවශ්‍යතාව මතය.මාධ්‍ය ආයතන වලට මුදල් ගෙවා එම ජ්‍යොතිෂවේදීන්ම තමන්ගේ අවශ්‍යතාව පරිදි එම වැඩසටහන් සම්පාදනය කර ගනී.තමාගේ ජ්‍යොතිෂ හෝ වෙනත් ශාස්ත්‍රීය දැනුම විදහා දක්වා තම පෞද්ගලික සේවා ස්ථානවලට පිරිස ලගාකරගැනීම ඔවුන්ගේ අරමුනයි.පසුගිය කාලයේ එක්තරා ෆෙන්ෂුයි උපදේශකයකු මෙලෙස මාධ්‍ය ආයතන වලට මුදල් ගෙවා ෆෙන්ෂුයි උපදේශ  වැඩසටහන් ලෙස දක්වමින් චීන කාසි,ලාෆින් ගෝඩ්,කකුල් තුනේ ගෙම්බන් පිළිම විකුනමින් හා විවිධ ආකාරයේ ෆෙන්ෂුයි උපදෙස් ලබාදෙමින් ප්‍රේක්‍ෂයන් තම උපක්‍රමයට හසුකර ගත්තේ එම වැඩසටහන් වෙලද දැන්වීමක් බවට පත්කරගනිමිනි.අපේ අයද එකල ෆෙන්ෂුයි බදා ගත්තේ "හතර මහා නිධානය" පහළ කර ගැනීමේ පරම අභිලාෂයෙනි.එතැනින් නොනැවතී ෆෙන්ෂුයි උපදේශකයන් ගෙදරට ගෙන්වා දහස් ගනන් වියදම් කොට නිවසේ වාස්තු දෝෂ නිවැරදි කරමින් ධන මාර්ග එළිපෙහෙළි කර ගැනීමට උත්සුක විය.ෆෙන්ෂුයි කාරයෝද  නිවෙස්වලට පැමින ජනෙල් රෙදි අදිමින්,ඇදන් පුටු මේස එහාට මෙහාට කරමින්,මල් පෝච්චි තබමින් ගෙහිමියන් රැවටූහ.ඉතාමත් අඩු සම්භාවිතාවකින් මතුවන දක්‍ෂිණාවෘත සංඛ ඕනෑ තරම් මොවුන් ලග ඇත.(හුනුගල් උනුකොට අච්චුවේ සාදාගත්).
            එක්තරා ජ්‍යොතිෂවේදියකු කාසි,දාදු කැට,කවඩි උඩදමා නිමිති අල්ලා (ටී.වී. එකේ)පලාඵල කීවා,ක්‍රිකට් මැච්වල ජය පරාජ අනාවැකි කීවා ඔබට මතකද?තවත් ජ්‍යොතිෂවේදියකු අපල වලට සුදුසු මැණික් ගල් දක්වමින් රූපවාහිනිය ඔස්සේ මැණික් බිස්නස් කලා ඔබට මතකද?කල්ගතවීමේදී ඔවුන්ගේ අරමුණු වටහා ගත් ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කලහ.නිමිති ජ්‍යොතිෂවේදියා දේශපාලන පකෂ වලට වහල්වී අනාවැකි පල කිරීමට ගොස් හිරේ විලංගුවේ වැටී සල්ලං වී ගියේය.ජ්‍යොතිෂවේදීන් කිසිකලෙක දේශපාලනයට හෝ මුදල් වලට වහල් වී සාස්ත්‍රයට අගෞරව කිරීම නොකල යුතුය.ඉන් පිරිහෙන්නේ ඔවුන්මය.ඉහත කී නිමිති ජ්‍යොතිෂවේදියා ඊට හොදම උදාහරනයකි.මොහු ගැන විස්තරයක් දැන් අසන්නටවත් නැත.නමුත් පසුකලෙක මොහු නැවත කරලියට පැමින අසරණයන් රැවටිය හැකිය.ඒ ගැන සිතා පසුගිය කාලයේ ඔහු කල කී දෑ හා ප්‍රේක්‍ෂකයන් ඔහුට රැවටුන හැටි නැවත මතක් කර දීමට සිතුවෙමි.
           ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ විදේශ සංචාරයකදී සහභාගී වන එක්දින ජාත්‍යන්තර තරගයක් පවතින දිනයකි.තරගය ආරම්භ වීම ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 4.30 ට පමනය.තරගයේ විකාශනය "මහ පොලොව" අර්ථය ගෙන දෙන රූපවාහිනී නාලිකාවකිනි.තඩි පොත් මිටියක් සමඟ පැමිනෙන අධ්‍යාත්මවේදී ජ්‍යොතිෂවේදියා තරගයට පෙරාතුව මේ සූදානම් වන්නේ කුමකටද? විශාල පුදුම කටයුත්තකි.එනම් නිමිති ශාස්ත්‍රය උපයෝගී කරගෙන තරගයට පෙරාතුව තරගයේ ජයපරාජය පිළිබදව අනාවැකි ඉදිරිපත් කිරීමටය.සුරූපී සංකර නිවේදිකාව තොදොල් වදනින් අමතමින් වැඩසටහන ආරම්භ කරයි.
"ආයුබෝවන් ඔයාලාට,ආයුබෝවන් මිස්ට ජෝතිෂ්.අද මැච් එකට මොනා වේවිද?කවුරු දිනාවිද?අපි හැමෝම ඔයාගේ අනාවැකිය බලාපොරොත්තුවෙන් සිටිනවා." 
   අධ්‍යාත්මවේදියා එකවර පිළිතුරු නොදේ.පළමුවෙන් තමන්ගේ උඩුරැවුල පිරිමැද සියුම් සිනාවක් පා කටහඩ අවදි කරයි.
    "ඒක තමයි  ....කලී මම මේ ගනන් හදලා බලන්නේ..මට පේන විදියට අද මැච්එක ඉතා සුවිශේෂී තරගයක් වේවි." 
  එසේ කියමින් හේකඩදාසි කොළයක ගනන් හදයි.විටෙක එය නවතා තවත් තඩි පොතක් බලයි.නළළ රැළි ගන්වා බැබෑරුම් බවක් පෙන්වයි.නැවත සිහින් හඩින් කතා කරයි.දත් පෙන්නා සිනාසෙයි.කට හරියි,වසයි.දෑස් අඩවන් කරයි.විටෙක තරමක් උස් හඩින් කතා කරයි.නැවත කටහඩ සිහින් කර අධ්‍යාත්මවේදී ස්වරූපය දක්වයි.මෙලෙස විවිධාකාර නරිනාටක රඟ දක්වා අවසානයේ කාසි කිහිපයක් හෝ දාදු කැටයක් උඩදමා එහි ප්‍රතිඵලය දෙස මදක් බලා හිද පැස්බරෙකු මෙන් අමුතුම ලතාවකට බෙල්ල කරකවා ගණ පිහිටුවමින් උජාරුවෙන් සිය අවසාන නිගමනය මෙසේ පවසයි.
  "මම මේ හොදට කරුණු කාරනා බලලා කියනනේ අද මැච් එක ලංකාව අනිවාර්‍යයෙන් දිනනවා."
    එලෙස පවසා මලලසේකර ශබ්ද කෝෂය තරම් විශාල තඩි ඉංග්‍රීසි පොතක් ප්‍රේක්‍ෂක අපට පෙන්වන්නේ තමා මේ අනාවැකිය ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිමිති ශාස්ත්‍රය ඉගෙන ගත්තේ එම පොතෙන් බව පවසමිනි.අනාවැකිය සමහරදාට හරිය.මන්ද අනාවැකියේ සත්‍ය අසත්‍ය සම්භාවිතාව දෙකට එකක් බැවිනි.නමුත් තරග විශිෂ්ට අයුරින් දිනන බවට මොහු අනාවැකි පලකල බොහෝ තරග Gooo...   ගහගෙන පරාජය විය.
     මෙම ජ්‍යොතිෂවේදියාම තවත් වරෙක ඉතා දිගු කාලයක් එම රූපවාහිනී නාලිකාව ඔස්සේම කාසි,කවඩි,දාදු කැට උඩ දමමින් පාර කියන වැඩසටහනක් ඉදිරිපත් කලේය.ඉරිදා හැන්දෑවේ 5 සිට (සමහර දාට පැය දෙකක් වැනි කාලයක්)ප්‍රේක්‍ෂකයන් දුරකථනය ඔස්සේ වැඩසටහනට සම්බන්ධ වී ඔහුගෙන් පාර අසා ගත්තේය.පහත දැක්වෙන්නේ එම වැඩසටහනේ දෙබසකි.
    ප්‍රේක්‍ෂක - "හලෝ ආයුබෝවන්"
  නිවේදක - "හලෝ ආයුබෝවන්, කවුද ඔය කතා කරන්නේ?"
  ප්‍රේක්‍ෂක - "මම මේ ගාල්ලෙන් තනුජා කතා කරන්නේ"
    නිවේදක - "හොදයි තනුජා ඔයාගේ ප්‍රශ්නය අපේ ජ්‍යොතිෂවේදී මහතාට ඉදිරිපත් කරන්න."
    ප්‍රේක්‍ෂක - "මහත්මයා මගේ විවාහය ප්‍රමාද වීම ගැටළුවක්.මගේ විවාහය ප්‍රමාදයට හේතුව හා විවාහය සිදුවන කාලය පවසන්න පුළුවන්ද?"
    ජ්‍යොතිෂවේදියා - "ම්...... හොදයි දුව ,මුලින්ම ඔයා හොද හුස්මක් උඩට අරගෙන මම මේ කාසි ටික උඩදමන  කොට ඔයාගේ ප්‍රශ්නය හිතින් හිතා ගන්නකෝ,ඒ අතරම මට දුවගේ උපන් දිනය වේලාව කියන්නකෝ."
      (ජ්‍යොතිෂවේදියා කාසි උඩ දමයි.)
     ප්‍රේක්‍ෂක - "මගේ උපන් දිනය වේලාව තමයි...................."
     ජ්‍යොතිෂවේදියා - "දුව ඔයාගේ ලග්නය මේෂ නේද?"
     ප්‍රේක්‍ෂක - "ඔව් ඔව් හරියටම හරි කොහොමද එකපාරටම කිව්වේ,හරිම පුදුමයි."
      (උපන් දිනය හා වේලාව අනුව ලග්නය ක්‍ෂණිකව බලා ගත හැකි වගු ක්‍රම ඇත.නමුත් ජ්‍යොතිෂවේදියා ඒ ගැන සදහන් නොකර එය තමා සතු අසාමාන්‍ය බලයක් ලෙස විදහා පායි.ලග්න මායිමේදී මෙය වරදින නිසා පසුව ඔහු පරිගනකයක් රැගෙන විත් කේන්ද්‍ර සෑදීම සිදු කලේය.)
     ජ්‍යොතිෂවේදියා - "දුව ඔයා ප්‍රශ්නය අහන අතරේ මම උඩදාපු කාසි වල අගය තුනක් හා සිරස 2ක් වැටිලා තියෙනවා.ඒකෙන් මට පෙනී යන කරුණු අනුව ඔයාට හොද අධ්‍යාත්මක ශක්තියක් තිබෙනවා.ඔයා මේ වැඩසටහන සමග දිගටම සම්බන්ධ වෙලා ඉන්න එතකොට ඔයාට අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන්.දුවගේ උපන් කේන්ද්‍රයේ හත්වෙනි කොටුවට පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය වැටිලා තියෙන හින්දා තමයි විවාහය ප්‍රමාද වෙලා තියෙන්නේ, ඔයා කිසිම සැකයක් තියා ගන්න එපා මේ ජූලි 05 වෙනිදා ඔයාගේ විවාහ යෝග කාරක ගුරු ග්‍රහයා 7වැන්නට දෘෂ්ටි වැටෙන විදියට 11වෙනි රාශියට ඇතුල්වෙනවා ඉන් පස්සේ මලට බඹරු එන්න වගේ ඔයාට මංගල යෝග උදාවේවි.ඔබගේ විවාහය ලබන අවුරුද්දේ අගදී සිදුවන බවට බොහෝ දුරට පෙන්නුම් කෙරෙනවා.ඒ වගේම ඔයාගේ උපතේදී හත අධිපති සිකුරු ග්‍රහයා 11වැන්නේ තැන්පත්වීමත් වික්‍රමස්ථානාධිපති බුධ හා ධනස්ථානාධිපති ශනි ග්‍රහයන් පරිවර්තනය වෙලා ඒ සමගම සෑදෙන බලවත් පර්වත යෝගයත් අනුව ඔයාට යහපත් විවාහයක් කෙරෙන බව කියන්න පුළුවන්.ඔයාගේ යෝගකාරක ගුරු ග්‍රහයා නෛසර්ගික මිත්‍ර සදු සමග යෝග වීමත් ඉතා ප්‍රබල ග්‍රහ පිහීටීමක් ඔයාට හොද අනාගතයක් තිබෙනවා."
   (මෙම පලාඵල වල සත්‍ය අසත්‍ය බව කෙසේ වූවාදැයි නොදනිමි.මෙම විස්තරය දැක්වූයේ ඔබලාගේ ඔළුව අවුල් කිරීමට නොව ජ්‍යොතිෂවේදියා ජ්‍යොතිෂ දැනුමෙන් තෙම්පරාදුවී එම දැනුම යොදාගෙන ප්‍රේක්‍ෂකයන් ඇද ගන්නා අයුරු පෙන්වා දීමට පමනි.)
            --  මතු සම්බන්ධිතයි --

6 comments:

jhothishalanka said...

@නිශාන්ත
ඔයාගේ කමෙන්ට් එක අයින් කරන්න වුනේ ඔයා කිහිප දෙනෙකුගේ නම් ලියලා තිබුන නිසා. සමාවෙන්න.ස්තූතියි.

M. M. Rohana Wasantha said...

හෙන්ද‍්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන් විසින් ලියන ලද ජීවිතය සහ ග‍්‍රහයෝ නැමති පොතේ පෙරවදන ඉතාමත් සුපරීෂාවෙන් බලන ලෙස ඔබතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

එසේම එතුමා සිය කෘතිය රචනා කිරීමේ දී ශාස්ත‍්‍රයේ නියැලී පාරක් අයිනේ පේමන්ට් එකේ හිඳ අත බලා ශාස්ත‍්‍ර කියන ශාස්ත‍්‍රකරුවාට ද ප‍්‍රණාමය පුද කර ඇත්තේ ඇයිදැයි මදක් සිතිය යුතු කරුණකි.

එසේම ඔබ පවසන තත්වය තුළ සත්‍යයක් නැතහොත් අහිංසක ජනතාව මුලාකරන පවිටු ජ්‍යෝතිෂඥයින් යයි කියාගන්නා, අවාසනාවන්ත, මතු භවයේ රෞරව නිරයෙහි දිවි ගෙවීමට සූදානම් වන පුද්ගලයන්ගේ ක‍්‍රියාකලාපයන් නිසා ශාස්ත‍්‍රයට වන ප‍්‍රසිද්ධියට වඩා අගෞරවයක් වන බව සැබෑවක්ය.

නමුත් මහජනතාව දැණුමින් සන්නද්ධ කිරීමේ හිතකාමී පුන්‍ය ක‍්‍රියාවලියට දායක වෙමින් දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත‍්‍රයේ දී බුදුරදුන් වර්ණනා කළ ගෘහපතියාටත් බුදුරදුන්ට නිග‍්‍රහ කළ පිරිවැජියාටත් යන දෙදෙනාගේම ප‍්‍රකාශයන්ගෙන් උද්ම්විය යුතු හෝ ආත්ම අවමානයට ලක් නොවිය යුතු බව බුදුරදුන් පෙන්වා දී ඇති බව මදක් විමසා බලන්න.

එසේම කාලාම සූත‍්‍රයේ දී බුදුරදුන් කාලාමයන්ට පෙන්වා දුන් සත්‍යය කුමක් ද යන්න සහ නිවැරදි චින්තනයකට මග පෙන්වීමට අවශ්‍ය ඥාන දානන ක‍්‍රියාවලිය කෙසේ සෘජු මාවතක ගමන් ගත යුතු ද යන්න පිළිබඳව යළිත් මදක් සිතා බලන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.

එම්. එම්. රෝහණ වසන්ත

jhothishalanka said...

@රෝහණ වසන්ත
ඔබගේ පනිවුඩය දුටු විගස මා "ජීවිතය හා ග්‍රහයෝ" පොතේ පෙරවදන කියවූයෙමි.ජ්‍යොතිෂය ජනතාව අතර කතාබහ කිරීමට සංක්‍රමනය වීමට මෙවැනි ජ්‍යොතිෂවේදින්ද කාරක වන බව වටහා ගතිමි.බ්ලොගය ආරම්භ කිරීමේදීම එහි ගෞරවය හා වැදගත්කම ආරකෂා කරගත යුතු බව ඔබ විසින්ම මා හට දුන් උපදේශය මතක් විය.ලියූ එක නිසා මෙය ඉවත් නොකර තබමි.මෙහද දෙවන කොටසක් ලිවීමට අදහසක් නැත.අන් අයව විවේචනය කිරීම පසෙකලා මින් ඉදිරියට ශාස්තීය වැදගත් කරුනු පමනක් ලිවීමට සිතට ගතිමි.බුද්ධියට ගෝචර වන අයුරින් දුන් උපදේශය ගෞරවයෙන් පිළිගතිමි.ඔබගේ අළුත් ලිපිය ඉතා වැදගත් ඊයේ රූ මම ඒක කියවූවා දෙවන කොටස ලියන තුරු බලා සිටිමි.ස්තූතියි.

Anonymous said...

Oyaga Lipiya Hariytma Hari Oya Gal Alanva Kiyapu akana Dan Vana chanl akka kana Kandara balanna. Apit owa balanva hariya

Anonymous said...

mata puluwan da lanka jothishya arane contact no 1k hari email 1k hari ganna

jhothishalanka said...

@jhwimalarathne
ඔබගේ කමෙන්ටුව මා දුටුවෙමි.නමුත් එය පල කල නොහැක්කේ ඔබ එහි ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියකුගේ නම සදහන් කර ඇති බැවිනි.

Related Posts Plugin for WordPress, Blogger...