Monday, August 13, 2012

අපල කාලෙට රට ගියාම අපල අඩු වෙනවා කියන්නේ ඇත්තද?

 රටින් පිටුවහල් කිරීම යනු අතීතයේදී යම් පුද්ගලයකුට මරණීය දණ්ඩණය ලබා දීම තරමේ දරුණු දඩුවමක් විය.මෙය අතීතයට අදාලව වධයක් ලෙස සැලකිය හැකි වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන්නකුට දඩුවමක තත්ත්වය කෙසේ වුවත් මෙය එක්තරා අයුරකින් භාග්‍යයක් උදාවීමක් වැනි දෙයකි.පිටුවහල් කරන්නේ යුරෝපා රටකට නම් සියල්ලෝ සියළු වැඩ අත්හැර වැරදි කරමින් රටින් පිටුවහල් වීමේ දඩුවම භුක්ති විදීමට සූදානම් වනු නිසැකය.
  "අපල කාලෙට රට ගියාම අපල අඩු වෙනවැයි කියන්නේ....."

 මෙය බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇති මතයකි.බොහෝ ජ්‍යොතිෂවේදීන්ද අපල කාල වලදී අපල අඩු කර ගැනීමේ ප්‍රත්කර්මයක් ලෙස උපන් දේශය හෙවත් මව් බිම හැරදා වෙනත් රටක එම අපල කාලය ගත කිරීම සුදුසු යැයි නිර්දේශ කරති.
  උපන් දේශය වෙනස් කල පමනින් ග්‍රහ අපල අඩුවේ යැයි පැවසීම නියම ශාස්ත්‍රීය ක්‍රමයක් නොවේ.වරද ඇත්තේ ග්‍රහ අපල අඩුවේ යැයි පැවසීමය. රටින් රටට ග්‍රහ බලපැම් වල යම් යම් විචලනතා ඇති නිසා අපල වල වෙනසක් (අඩු හෝ වැඩි වීමක්) සිදු විය හැකි නමුත් අපල අඩුවීමක් පමනක් සිදු වන බව පැවසීම ජ්‍යෙතිෂ සිද්ධාන්ත වලට අනුකූල නොවන බව පැහැදිලිව පෙනී යයි.

// ග්‍රහ මාරු අපල තත්ත්ව රටින් පිට වෙනකොට අවම වීමට හෝ වැඩි වීමට හැකියි.එසේ රටින් පිට වෙනවානම් අපල අවම වන පරිදි අක්ෂාංශ දේශාංශ අනුව තමන්ගේ ලග්නයට ගැලපෙන පරිදි සුදුසු රටකට යා යුතුය..බහුතරයක් අපේ රටේ දේශපාලකයින් අපල කාල වලදී නිසි උපදෙස් ලබා ගෙන රටින් පිටවන අවස්ථා එමටය.    //
   
    ඉහතින් දැක්වූයේ ජ්‍යෙතිෂය පිළිබද වැටහීමක් ඇති සයිබර් මිතුරකු වන රවිශංක සේනානායක සොයුරා විසින් 

     "ග්‍රහ මාරු අපල තත්ත්ව රටින් පිට ඉන්න කෙනෙක්ට බලපෑම වෙනස් කියල අහල තියනවා. ඒක මොන වගේ වෙනසක්ද?"

    යනුවෙන් පාථකයකු අසන ලද ගැටළුවකට දී තිබූ පිළිතුරයි.රවිශංකගේ පිළිතුර මාද අනුමත කරමි.ග්‍රහ අපල අඩු කරගැනීමට යායුතු දේශය තෝරාගෙන අපල කාලය තුල එම තෝරාගත් දේශයේ ගත කිරීම අපල අඩු කර ගැනීමට හේතු කාරක කර ගත හැකිය.මේ ආකාරයට ස්වකීය අපල කාල තුලදී අපල අඩුවන දේශයන් ජ්‍යොතිෂවේදීන් ලවා තෝරාගෙන උපන් දේශයෙන් පිටව යන දේශපාලකයන් එදා මෙන්ම අදත් සිටිති.එම රටවල් හා අප රටේ අතර ඇති සම්බන්ධතාව වැඩි දියුණු කර අප රට සංවර්ධනයට උර දීමේ අරමුණ රටවැසියාට පෙන්වමින්  මහජන මුදල් වැය කරමින් එලෙස අපල අඩු කර ගැනීමට විදෙස් ගතවන දේශපාලඥයන් ඉතා විශාල පිරිසක් එදත් අදත් සිටිති. 

    යම්කිසි අයකුගේ අපල කාලයකදී ඔහුගේ අපල අඩු වීමට ඔහු යා යුතු පිට දේශය තීරණය කිරීමට පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍රයේ ස්වභාවය,අපල දෙන ග්‍රහයා හා ග්‍රහයන්,එම ග්‍රහයා(ග්‍රහයන්) උපතේ සිටින ස්වභාවය ,වෙනත් ග්‍රහයන් උපතේ සිටින ස්වභාවය,රටවල් දෙකේ භූ විෂමතාව,දේශගුණය.... මේ ආදී විශාල සාධක ප්‍රමාණයක් සලකා බැලිය යුතුය.ඇත්තෙන්ම එවැනි විස්තරයක් කඩදාසි කොළයක සිද්ධාන්තයක් ආකාරයෙන් දැක්විය නොහැක.සිදුවිය හැකි වැරදි දෝෂයන්ද වැඩිය.ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් මේසටහන ලියන මටද පූර්ණ දැනුවත් කමක් නොමැති බව අවංකව පවසමි.නමුත් එය ඉතා නිවැරදිව කිව හැකි දක්‍ෂ ජ්‍යොතිෂවේදීන් මේ රටේ එමට සිටී.එවැනි අයකු අහම්බෙන් හෝ මේ ලිපිය කියවුවහොත් ඒ පිළිබදව  දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1 comment:

Unknown said...

ane manda mata nam maraka apala kiyala thamai kiyanne..... me gewenne anthima tikalu.... me kataha aththada bang ????

Related Posts Plugin for WordPress, Blogger...