Wednesday, August 15, 2012

"ශකට" හා "සකට" යෝග

ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය.
  නාභස යෝග යටතේ ආකෘති යෝගයක් ලෙස වර්ග වන "ශකට " යෝගය දුබල ග්‍රහ යෝගයක් ලෙස දක්වා ඇත."ශකට " යන වදනෙන් අර්ථවත් වන "කරත්තය" සංකේතවත් වන මෙම යෝගය හදුනා ගැනීම ඉතා පහසුය.ලග්නයේ හා හත්වැන්නේ සියළුම ග්‍රහයන් තැන්පත් වීමෙන් ඇති වන මෙම යෝගය ඉතා දුලබ මෙන්ම අසුභ(දරිද්‍ර) යෝගයක් ලෙස සැලකේ.කරත්ත දැක්කීම හෝ රියැදුරු රැකියාවන් බොහෝ දුරට උරුම වන බව කියයි.සැර පරුෂ කාන්තාවක් බිරිය ලෙස ලැබෙන බව කියයි.
    අනිත් "සකට " යෝගයද දරිද්‍ර යෝගයක් ලෙස දක්වා ඇතත් "ශකට" යෝගය මෙන් නිරන්තර දරිද්‍රතාව ඇති නොකරයි.ධනය හා වාසනාව උදාවීම වරින් වර ඇතිවී නැති වී යන තත්ත්වයකි.ගුරු ග්‍රහයාගෙන් 6,8 හෝ 12 ස්ථානයක සදු සිටීමෙන් යෙදෙන මෙම යෝගයේ ඵල ඉතා පරීක්‍ෂාවෙන් යුතුව සලකා බැලිය යුතුය.1,7 ස්ථාන දෙකේ සියළු ග්‍රහයන් යෙදීමෙන් ඇතිවන "ශකට" යෝගයට වඩා සුලභව ඇති "සකට" යෝගයේ බල දුබලතා ඇති වන ආකාරය හොදින් විමසා බැලිය යුතුමය.
   "සකට" යෝගය භංග වන ආකාරයන් පොත් පත් වල විවිධාකාර අයුරින් දක්වා ඇත.චන්ද්‍රයා ලග්නයෙන් කේන්ද්‍රගතව බලවත්ව සිටින විට "සකට" යෝගයේ බල අඩුවන බව කියයි. සදු උච්චව,ක්‍ෂෙත්‍රව ලග්නයෙන් කේන්ද්‍රගතව සිටින විට "සකට" යෝග භංඝ වන බව ශාස්ත්‍රීය මතයයි.
  1945 ජුනි 29 වැනිදා උදේ 9.56 ට උපන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම කේන්ද්‍රයේ සදු ,ගුරුගෙන් 6 වැන්නේ වුවත්  7 වැන්නේ(ලග්නයෙන් කේන්ද්‍රගතව) සදු සිටින නිසා "සකට" යෝග බල අඩුවී ඇත.

8 comments:

Anonymous said...

මම කාලයක සිට ඔබේ බ්ලොග් පිටුව කියවනවා .නොදැන සිටි ගොඩක් කරුණු දැනගත්තා.මෙවර ලිපිය කියවනවිට මට ගැටලුවක් ඇතිවුනා
ජොතිශය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් විදියට මේවගේ ලිපියක් දැක්කම මුලින්ම බලන්නේ තමන්ට මේ යෝගය තියෙනවද කියල නේ .මම කටක ලග්නේ ප්‍රදාන ග්‍රහයෝ 7 දෙනා කිසිම කොටුවක් හිස් නැතුව කොටු හතක තියෙනවා ,එක නිසා
සුනඵා,අනඵා,ධුරාධුර /වෙශි,වොශි හා උභයචාරී යෝග තියෙනවා .සුනඵා යෝගය යෙදෙන්නේ රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටලා තිබුනම කියල ඔබත් සදහන් කරලා තිබුනා,පොත් වලත් දැකල තියනවා
මගේ 6 කොටුවේ කුජත් මගේ 7 කොටුවේ චන්ද්රයත් 8 කොටුවේ ගුරුත් පිහිටලා තියනවා ,එතකොට
සුනඵා යෝගයත් සකට යෝගයත් දෙකම තියෙනවා නේද? (සමහරවිට මගේ විෂය දැනුම අඩුනිසා නොවැදගත් පරශ්නයක් ඇහුවද දන්නේ නෑ,ගණනය කිරීමකට අවශ්‍යනම් උපන්දිනය හා වෙලාව 86-04-30,පෙ. ව 11.16,panadura)

Soda ගුනේ said...

ජෝතිෂ අංකල් මම මේ ඔයාව හොයා හොයා හිටියේ.... මොකද කියන්නේ කාලෝගේ චැලේන්ජ් එක බාර ගමුද?? ලක්ෂ දහයක්.... කජු ඇට ද කොස් ඇට ද අංකල්??? අනික ඔයා වගේ කෙනෙක් ඕක දින්න කියන්නේ මේ බ්ලොග් ලියන බලන අපිට කොච්චර ආඩම්බරයක්ද...අනේ බාරගන්නකෝ අංකල්. මම ඔයාට පට්ට මීඩියා කවරේජ් එකක් අරන් දෙන්නම් මගේ ගානේ. අනේ යමුකෝ අංකල්. ඕන නම් මාත් එන්නම් සපෝර්ට් එකට.

jhothishalanka said...

හරි හරි උඹ ගිනි පාගහං..මං වෙලාව බලන්නම්.

Soda ගුනේ said...

ජෝක් නෙමේ අංකල් මම සීරියස් කියන්නේ අනිත් සේරම යකාට ගියාවෙකෝ... මේ බලන්න අංකල්.........

10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන්විට ඔවුන් සම්බන්ධ පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබාදීම
(අ) ස්ත්‍රී පුරුෂ භාවය (ආ) ජීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ) ජීවතුන් අතර සිටී නම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද? (ඉ) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ශයේද? (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ තත්ත්වය, වෘත්තිය, රැකියාව

මේ අංකල් හැමදාම කරන ජොබ් එක නේ. කේන්දරේ දුන්නම මේ විස්තර ටික දෙන එක අංකල්ට ටොයිස් වැඩක් නේ. අංකල් ඔය ටික කරල චැලේන්ජ් එක දිනන්න අංකල්. බලන්න අංකල් මේ හෙතුවාදියෝ දඟලන දැඟලිල්ල.. මුන් තාම දන්නේ නෑ අංකල්ලගෙ වැඩ ගැන.... අංකල් ඔන්න ඔය ටික කරල පෙන්නුවා නම් මුන්ගෙ කටවල් නිකන්ම වැහෙනවනේ අංකල්. නෑ මම අහන්නේ අවුරුදු දහස් ගානක් පැවතෙන පාරම්පරික ශාස්ත්‍රයකට මෙහෙම අගවුරව කරන්න දෙන්න පුලුවන්ද අංකල්.

jhothishalanka said...

හරි හරි ..ඔහේ මුලින්ම ඔය දෙනවැයි කිව්ව පබ්ලිසිටිය දීල ඉන්නකෝ...

Ishan said...

මම හිතනෙ මටත් ඔයකියන යෝගය තියෙනෙව මගේ ලග්නය(වෘෂභ) 1.ගුරු,රවි,සිකුරු,බුධ
6.(තුලා)සදු හැබැයි තාමනම් මොකුත් උන්නෙ නැහැ.ඉදිරියට මොනවෙයිද දනෙනැ

Anonymous said...

අධ්‍යාත්මවේදියෙකුට අගරු කිරීමට මේ සෝඩාවා ගන්නා තැතට අපගේ විරෝදය!අද මෙරට ආර්ථික මර්මස්ථානයක් වූ බැංකුවක අධ්‍යක්ෂක දුරයක් හොබවන තරමට මේ අධ්‍යාත්මවේදියා දැනුමින් තෙද බලින් පුර්ණය.තවත් අධ්‍යාත්මවේදියෙකු කලකට ඉහත රුපවාහිනී නාලිකාවක ක්‍රිකට් විකාශයකට එක් වෙමින් තත් කාලයෙන් ක්‍රිකට් විස්තර අනාවැකි කී සැටි තොපට අමතකද ? එදාද අර අනර්කලිය මිස්ට ජෝති කියමින් අප අධ්‍යාත්මවේදි තෙමේට අගරු කළහ.ඉදින් සෝඩා ගුණේයනි තොප මේ සෙල්ලම් කරනුයේ මෙලක් දිව නොව මුහුදින් එතරටද සුරු විරු පාන ආර්ථිකය ක්‍රීඩාව දේශපාලනය සිය ග්‍රහ චාරය තුලින් අතැඹුලක් සේ විවරණය කල හැකි ප්රෝෆෙෂනලයෙකු සමගිනි.මතක තබා ගව තව දුරටත් මෙහි කෙන්දරකාරයෝ නොවෙත්! ඉන්නේ ප්‍රොෆෙෂනල් අධ්‍යාත්මවේදි උතුමන්ය.දේශපාලකයා ,අසපුවේ හාමුදුරුවෝ ,කුඩු මුදලාලි ,පාතාල කල්ලියේ නායකයා ආදී වූ නව පංච මහා බලවේගයේ පස්වැන්න මෙතුමන් වන්නාහුය.

jhothishalanka said...

මේ කමෙන්ට් එකේ හීනියට ජ්‍යොතිෂවේදීන් වන අපවත් උපහාසයට ලක් කර ඇතත් කමෙන්ටුවේ ඇති අමුතු ගතිය නිසා හා එය කියවන අයට ලැබෙන වින්දනය හා වැදගත් පණිවුඩය සලකා එය පල කළෙමි.
හොර දොස්තරු හොර ගුරුවරු නිසා අදාල ක්‍ෂෙත්‍ර පරිහානියට පත්වෙන්නාසේම ජ්‍යොතිෂයේ ගෞරවය නැතිවන්නේද වංචාකාර කපටි ජ්‍යොතිෂවේදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙනි.
මේ ගැන මම ලදයපු සටහනක් ඔන්න පල්ලෙහා ඇති.
ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ

මේ කමෙන්ටුව ටැබූ ගේ හරි අපේ මිවනපලානේ රාවණා පාක්‍ෂිකයගේදෝයි සැකයක් මතු විය.

Related Posts Plugin for WordPress, Blogger...