Wednesday, April 6, 2011

අළුත් අවුරුද්ද ගැන කතා කිරීමේදී මාධ්‍යවලින් සිදුවන වැරදි(විද්වතුන්,ලේඛකයන් සිදුකල බරපතළ වැරදි කීපයක්)

   අළුත් අවුරුදු උදාව ආසන්න වන විට අවුරුදු උදාව හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් පිළිබදව කෙරෙන විග්‍රහ විමර්ශණ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට නිරතුරුව අසන්නට දකින්නට ලැබේ.
අවුරුදු උදාවේ ජ්‍යොතිෂ,තාරකා විද්‍යා විග්‍රහ විමර්ශන,අළුත් අවුරුදු පලාඵල හෙළ චාරිත්‍ර වාරිත්‍ර,සංස්කෘතික අංග ගැන විස්තර විග්‍රහ වලින් පුවත් පත් සඟරාවල පිටු පිරී ඉතිරී යන අතර අවුරුදු දා උදේ සිට හැන්දෑව දක්වාම ගුවන් විදුලිය රූපවාහිණිය ආදියෙන්ද හෙළ සිරිත් විරිත් ජාතික ක්‍රීඩා තරඟ උත්සව ආදී සංස්කෘතික වැඩසටහන් මෙන්ම විද්වතුන් රැස්වී සිදුකරන සාකච්ඡාමය වැඩසටහන්ද විකාශයවේ.
         ඉතා මෑත කාලයේ මෙලෙස විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ විකාශනය වූ හා පල කෙරුණු විද්වත් අදහස් හා විග්‍රහ විමර්ශන ලිපි ලේඛන වලින් බොහොමයක් ඉතා වැදගත් කාලෝචිත මතු පරපුර සදහා වටිනාකමක් ඇති දෑ වුවත්  අතරින් පතර දක්නට අසන්නට ලැබුණු ලිපි ලේඛන විද්වත් අදහස් ඉතා වැරදි සහගත මතු පරපුර දැනුමෙන් මංමුලා කරවන කරුණු වලින් සමන්විත වූ බව ඉතා වගකීමෙන් කිව යුතුය.අළුත් අවුරුද්ද හා ඒ සබැදුනු හෙළ චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව භාෂාමය වැරදි මතවාද ඉදිරිපත් කිරීම මින් ප්‍රධාන වූ අතර සිද්ධාන්ත හා ඉතිහාසමය කරුණු වැරැද්දූ අවස්ථාද විය.පුද්ගල අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි නිසා නම් ගම් ඇතිව විස්තර නොකලත් මෙහි ඉදිරියේදී දක්වා ඇති විස්තර රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පත් මගින් පාඨක ඔබ හොදින් අසා දැක බලා ඇති නිසා මෙහි ඇති කරුණු ලේඛකයා වන මා විසින් ගොතා නිර්මාණය කොට ලියන ලද්දක් නොවන බව වැටහෙනු ඇත.
    මීට වසර කිහිපයකට පෙර රූපවාහිනිය ඔස්සේ එක්තරා ප්‍රසිද්ධ මහාචාර්‍ය වරයෙක් නොනගතය සදහා අපූරු අර්ථ දැක්වීමක් ඉදිරිපත් කලේය.එනම් "නොනගතය යන වචනය "නැකැත් නැති"(නොනැකැති = නොනගත)යන්නෙන් වර නැගුණු බවයි.එම වසරේ අවුරුදු කාලයේ  අදාළ මහාචාර්‍ය වරයා විසින්ම මෙම අර්ථ දැක්වීම සිදු කිරීම(පටිගත කළ) පැයෙන් පැයට වාගේ විකාශය කෙරුණා ඔබට මතක ඇත. සත්‍ය වශයෙන්ම නොනගතය යන වචනය සෑදී ඇත්තේ න + අනගත = නනගත =නොනගත යන්නෙනි. මෙහි "අගත" යනු පැමිණීම යන්නයි "අනගත" යනු නොපැමිනීමයි. "න" යෙදීමෙන් නොපැමිනි අවස්ථාව නොවේ යන්න විස්තර කෙරේ.මෙය "පැමිණීමට ආසන්න" අර්ථය දේ.මෙහි පැමිනීම යනු සූර්යයා මේෂ රාශියට පැමිණීමයි.නැකත් නැති යන්න නොනගතය ලෙස අර්ථ දැක්වීම බරපතල වරදකි.රූපවාහිනී වැඩසටහණකින්ම පසුකාලයේ භාෂා විශාරදයින් පිරිසක් මෙහි වැරද්ද පෙන්වා දුන්හ.මෙය මහත් ආන්දෝලනයක් ඇති කලේ මෙම මහාචාර්‍ය වරයාගේ අනුශාසකත්වයෙන් ලියැවුනු පාසැල් සිංහල පෙළ පොතක(මට මතක විදියට 8 වසර) නොනගතය අර්ථ දැක්වීමට ඉහත දැක්වූ වැරදි අරුත භාවිතා කර තිබීමත් සමගය.පසුව මෙය නිවැරදි කෙරුණි.
    "අවුරුද්ද" යන වචනයට අර්ථයක් ඇත්ත වශයෙන්ම සිංහල අපට අවශ්‍යව තිබුනේ නැත.මන්ද යත් දින 365 කින් සමන්විත කැලැන්ඩර් කාලය සදහා සුද්දා ඉංග්‍රීසියෙන් " " කියන වචනයට සමාන අර්ථයක් සිංහල අපි "අවුරුද්ද" සදහා භාවිතා කරමින් සිටද බැවිනි.නමුතා කල්ගත වීමේදී විශේෂයෙන් අවුරුදු කාලයට අපේ රටේ සිංහල පඩියෝ අපිව වල්මත් කලහ.අවුරුදු යන්න ලිවීමේදී "අවුරුදු" ද "අව්රුදු" ද යන්න කාලයක් ගැටළුවක් විය.
     දැනට වසර දෙකකට පමන පෙර ජනප්‍රිය රූපවාහිනී සංවාද මණ්ඩපයකදී ජ්‍යොතිෂවේදියකු අවුරුද්ද සදහා පුදුම සහගත අර්ථ දැක්වීමක් කළේය.එය නම් "අව්ව රෞද්‍ර වීම හෙවත් රුදු වීම"  "අවුරුදු" යන්නයි.කරුණු දන්නෝ පුදුම වූහ.කරුණු නොදත් කුඩා දරුවන්(සමහර වැඩිහිටියන්ද) එය තම දැනුමට ඇතුල් කර ගත්තා විය හැකිය. 
    ඉන්පසු ජ්‍යොතිෂ පුවත්පතක අවුරුදු වචනය අවුර් + ඉද්ද = අවුරිද්ද =>අවුරුද්ද යන්නෙන් සෑදුන බවට විකාර ලිපියක් විය.එයද ජ්‍යොතිෂවේදියකු ලියන ලද්දකි.එහි සදහන් ආකාරයට අවුර් යනු හීබෲ වචනයකි.හීබෲ බසින් අවුර් යනු හිරුයි.හිරු ඉද්ද ගැසුවාක් මෙන් සිටීම ඒ අනුව දැක්වුනු අවුරුදු වචනයේ තේරුමයි.පුදුමය මෙම වචනය ගලපන පද දෙකෙන් මුල් පදය හීබෲ වීම හා දෙවැන්න සුද්ද සිංහල වීමත්ය.ලංකාවට හිරු රෞද්‍ර වන්නේ හෝ ඉද්ද ගැසුවාක් මෙන් සිටින්නේ අප්‍රේල් මාසයේ පමනක්ද?අගෝස්තු මාසයේත් එලෙස සිදුවේ.අව්ව රුදු කාලය අවුරුදු නම් වැස්ස රුදු කාලය  "වැහිරුද්ද" විය යුතුය.
     අවුරුදු යනු අපේම පැරණි හෙළ වදනකි. අ + වරු + දු යන්නෙන් අවුරුදු වචනය සෑදී ඇත. මෙහි වරු යනු වාරයයි."දු" යන්නෙන් දුනු පස හෙවත් ආවර්තය හෙවත් නැවත නැවත සිදුවීමයි.අවුරුදු යන්න දින 365 ක කාලය හැදින්වීමට වඩා වෙනස් අරුතක් යෙද්.ඉන් අර්ථවත් වන්නේ "විශේෂ අවස්ථාව ඇරඹීම" යන්නයි. මෙහි විශේෂ අවස්ථාව වන්නේ සූර්යයා මේෂ රාශියට එළැඹීමයි.
     අවුරුද්ද අපේ රටට ලැබුණු අයුරු පිළිබදව මීට වසර කීපයකට පෙර රූපවාහිනී වැඩසටහනකදී විද්වත් මහතෙක් විශේෂ කරුණක් ඉදිරිපත් කළේය.එනම් අපේ රටට අළුතා අවුරුද්ද ලැබුනේ ක්‍රි.ව. 550 දී පමණ සීගිරි කාශ්‍යප රජුගේ සොයුරු මුගලන් රජුගේ පුත් කුමාරදාස රජුගේ කාලයේදී බවට මතයක් ඇති බවයි.කලාකාමියකු වූ කුමාරදාස රජු තම පියාට සීගිරි කාශ්‍යපගෙන් රාජ්‍ය ලබා ගැනීමට උදවු කළ ඉන්දීය රජෙකු සමග සමීප සබදතා පැවැත්වූ බවත් එහිප්‍රතිඵලයක් ලෙස ලැබුණු ඉන්දීය සංස්කෘතික අංග සමග අළුත් අවුරුද්ද අපට ලැබුණු බවත්  ඔහු කියා සිටියේ ඊට පෙර වකවානු තුළ ලංකාවේ අළුත් අවුරුදු සංස්කෘතික අංග,උත්සව ගැන සදහන් ශිලා ලේඛන හෝ වෙනත් ලේඛන නොමැති බව දක්වමිනි. 
  එහිදී එම විද්වතා එය ස්ථිර මතයක් ලෙස ඉදිරිපත් නොකිරීම නිසා ඔහුව ඉහත දැක්වූ වැරදි කරුවන් ගොන්නට දැමිය නොහැකි වුවත් රාවන යුගයේ සිටම ලංකාවේ අවුරුදු උත්සව ආදිය පැවැතුණු බවට ලේඛන ඇති බව එම විද්වතා දැන සිට නැත.
    ඉහත දැක්වූයේ අළුත් අවුරුද්ද පිළිබදව පසුගිය කාලය තුල විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කෙරුණු වැරදි අර්ථ කථන කීපයකි.තවත් මෙවැනි වැරදි අඩුපාඩු සිදුකල අවස්ථා එමට තිබිය හැක.ඉහතින් දැක්වූයේ ලේඛකයා නැරඹූ කියවූ හා ඇසූ අවස්ථා කිහිපයකි.එම වැරදි වලට වගකිව යුත්තේ ඒවා ඉදිරිපත් කළ අය පමනක් නොවේ.එම ඉදිරිපත් කිරීම් සදහා ඉඩකඩ ලබා දුන් මාධ්‍ය ආයතනද එම වැරදි වලට යම් තරමින් හෝ වගකිව යුතුය.




 **  මෙම ලිපිය මා විසින් 2009 අප්‍රේල් 12 වැනි ඉරිදා "ලක්බිම" පුවත් පතට ලිවූ ලිපියක කොටසකි  .එය අදටත් ගැලපෙන නිසා බ්ලොගයේ නැවත පල කෙරුණි. 
      

7 comments:

Anonymous said...

මහත්මයනි,

මම ඔබගේ බ්ලොග් අඩවියට කොමෙන්ට් කරන පලමු අවස්තාව මෙයයි.මෙහිදි මාගේ අදහසක් ඉදිරිපත් කිරීමට කෑමත්තෙමි.මෙය මා බොහෝ කාලයක් දෑක ඈති දෙයක්මි.

එනම් ලන්කාවේ සිටිනා ජ්‍යොතිෂයවෙදීන් යෑයි කියා ගන්නා බොහෝ දෙනා කුහක සිත් ඈත්තවුන් බවය.ඔවුන් බොහෝවිට වෙනත් ජ්‍යොතිෂයවේදීන් පිලිබදව කතා කරන්නේ පහත් කොටය.ඔවුන්ව විවේචනය කරමිනි.....

එසේම යම්කිසි ජ්‍යොතිෂයවේදීයෙක්ට රෑපවාහිනි හෝ පුවත්පත් මගින් ප්‍රසිද්ධීයක් ලෑබෙනවාට අනෙක් ජ්‍යොතිෂයවේදීන් ඉදුරා විරෑද්ධ වෙති.ඔහුව විවේචනය කරති.

මම ඔබගෙන්ද එම ගුනාන්ග අඩු වෑඩි වශයෙන් දෑක ඈත්තෙමි....

මට සිතෙනා අකාරයට ඈතම් පිරිස් ජ්‍යොතිෂය පිලි නොගන්නේ මේ ආකාරයට ජ්‍යොතිෂයවේදීන් අතර ඈති වෙනත් ජ්‍යොතිෂයවේදීන්ට ඊර්ශීයා කීරීමේ තත්වය නිසා බව මට සිතේ....

ස්තූතියි

jhothishalanka said...

@Anonymous
ඔබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි.අනිකාව විවේචනය කිරීම ලංකාවේ ජ්‍යොතිෂය කරන බොහෝ දෙදෙනකුට තියෙන දුර්වලතාවයක්.හැබැයි මම විවේචනය කලේ සාස්ත්‍රයට අගෞරව විදියට වැඩ කටයුතු කරන මුදල් පසුපස හබා යමින් අසරණ ජනතාව රවටන අයවයි.හොද අයව මා කවදාවත් විවේචනය කොට නැහැ.අපිට උනත් අනාවැකි වරදින වේලාවල් තියෙනවා.අපිත් මෝඩ වැඩ කරන වේලාවල් තිබෙනවා.හැබැයි නියම ජ්‍යොතිෂවේදියා කවදාවත් මුදල්වලට දේශපාලනයට ශාස්ත්‍රය පාවා දෙන්නේ නැහැ.එහෙමෙයි කියලා ජ්‍යොතිෂවේදින්ට සුඛ විහරණය අවැඩයි කියලත් මම කියන්නේ නැහැ.ජනප්‍රිය ජ්‍යොතිෂවේදීන් ඒ තැනට එන්න හැකියාවන් අනුව කියල අපිත් පිළිගන්න ඕන තමයි.සමහරු කපටියි වංකයි.තවත් සමහරු අවංක කම තිබුනත් සාස්ත්‍රය හරියට දන්නේ නැහැ.මම මගේ බ්ලොගයෙන් දැඩිලෙස විවේචනය කරල තියෙන්නේ මුදලට දේශපාලනයට සාස්ත්‍රය විකුනන හා බොරු කරමින් අසරන ජනතාවගේ මුදල් ගසා කන නරක ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදීන් දෙදෙනෙක් හා පෙන්ෂුයි බොරුව කරන ජ්‍යොතිෂ පුවත්පත් කතු වරයෙකු පමනයි.

Anonymous said...

මේකත් බලන්න
http://www.gossip9.com/2011/04/blog-post_1777.html

jhothishalanka said...

@පලමු ඇනෝ
ඇත්තටම මිත්‍රයා මම මේකේ ජ්‍යොතිෂය නිවැරදිව භාවිතා නොකරන්නන්ට ඉදල හිටල දොස් කියන්නේ මගේ තියෙන කුහක කමකටවත් මහන්දැන්ත ආඩම්බර පොරත්වයකටවත් මම තමයි හරිම කෙනො අනිත් එකා වැරදියි කියන මානසිකත්වයෙන් වත් නෙවෙයි.ඒ වගේ වැරදි කරන කියන අයගෙන් ජ්‍යොතිෂයේ ඉදිරි ගමනටත් සාමාන්‍ය ජනතාවටත් ඉන් වන හානිය අවම කරන්නයි.නිකං හරි හිතන්න කාසි උඩ දාලා පංචි උඩදාල ක්‍රිකට් මැච් වල ජය පරාජය ගැන අනාවැකි කිව්ව කෙනා (2007 ක්‍රිකට් ෆයිනල් එකේදී මතකද?) ඒ සම්බන්ධව පොතක් ලියල ඒක ප්‍රසිද්ධ කරලා තිබුනනම් ඒ වැඩේ කවුරුවත් වැරදියි නොකිය හිටියනම් කොහොම වෙයිද? ඒ වගේම නොනගතය = නැකැත් නැති ලෙස අර්ථ දැක්වීම හරියි කිව්ව නම් ඒව ඉදිරියට යනවා නේද?මට පේන්නේ ජ්‍යොතිෂය සම්බන්ධ කරුණු දැනුම ආදිය මිනිසුන් අතරට මෙම බ්ලොගය හරහා ගමන් කිරීම පිළිබදව තමුන්නාන්සෙගෙ හිතේ ඇති කුහකත්වය මෙම කොමොන්ටුවෙන් පෙනෙන බවයි.

Anonymous said...

මහත්මයෙනි,

මාගේ පලමු කමෙන්ටුවෙන් මා පෙන්නා දුන්නේ ලන්කාවේ
ජ්‍යොතිෂවේදීන් අතර ඈති අප්‍රසන්න ගති ගුනයකි...

කෙසේ වෙතත් එමගින් ඔබගේ සිත් රිදීමක් ඈතිවූයේ නම් මාගේ කණගාටුව ප්‍රකාශ කිරිමට කෑමත්තෙමි...

ස්තූතියි.(පලමු ඈනෝ)

jhothishalanka said...

@පලමු ඇනෝ
මමත් ඔබෙන් සමාව අයදිනවා මගේ ප්‍රතිඋත්තරය එච්චර හොද නැහැ කියල මටත් හිතෙනවා. මගේ බ්ලොගයෙන් ඔබලාට හොද දෙයක් ලැබෙනවානම් සතුටු වෙමි.

Anonymous said...

සිංහල අවුරුද්ද හා බැදුන තවත් වැරදි භාවිතයක් තමයි මෙය "සිංහල හා හින්දු අලුත් අවුරුද්ද" ලෙස හැදින්වීම.ලංකාවේත් දෙමළ ජනයා අතර හෝ දෙමළ නිජබිම වන තමිල්නාඩුවේ වත් අප්‍රේල් මාසයේ නව අවුරුදු සැමැරුමක් නෑ.නමුත් ඔවුන්ට ම ආවේනික වූ වෙනත් නව අවුරුදු උත්සව වෙනත් දිනවල උත්කර්ශවත් ලෙස සැමැරෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...