Tuesday, December 20, 2011

මහ දශා පද්ධති -1 (විංශෝත්තරී මහා දශා ක්‍රමය)

 ජ්‍යොතිෂය ගැන අසා ඇති ඔබ මහ දශාව ගැනද අසා ඇතැයි සිතමි.විංශෝත්තරී දශාව,අශ්ටෝත්තරී දශාව,යෝගිණී දශාව,කාලචක්‍ර දශාව,පංචෝත්තරී දශාව,......ආදී ලෙස පෙරදිග ජ්‍යොතිෂයේදී මහදශා ක්‍රම 43 ක් ගැන සදහන්ය.

  මෙම මහදශා ක්‍රම අතරින් ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී පෙරදිග රටවල වැඩි වශයෙන් භාවිතා කෙරෙන්නේ විංශෝත්තරී මහ දශා ක්‍රමයයි.මෙලෙස විංශෝත්තරී දශා ක්‍රමය හා දශාඵල ප්‍රධාන වශයෙන් සැලකීමට විශේෂ හේතුව කුමක්දැයි නිශ්චිත නැති නමුත් පරාශර මතය අනුව මිනිස් පරමායුෂ අවු 120 ක් වූ මෙම කලියුගයට ගැලපෙන මහ දශා ක්‍රමය විංශේත්තරී දශා ක්‍රමය ලෙස දක්වා තිබීම මීට හේතු ලෙස දැක්විය හැකිය.
    විංශෝත්තරී දශා ක්‍රමයේදී පරමායුෂ අවු 120 කාලය කොටස් නවයකට බෙදා ග්‍රහයන් නව දෙනාට(යුරේනස් නැප්චූන් ප්ලූටෝ හැර අනිත් ග්‍රහයන්) එහි අයිතීන් පවරා දී ඇත. ඒ අනුව පිළිවෙළින් ගත් විට
    රවිට අවු 6යි
    සදුට අවු 10
    කුජ(අඟහරු)ට අවු 7යි.
    රාහුට අවු 18
    ගුරුට අවු 16
    ශනිට අවු 19
    බුධට අවු 17
    කේතුට අවු 7
    සිකුරුට අවු 20
   
   ලෙස මෙම අවු 120 කාලය බෙදා ඇති අතර මෙය චක්‍රීය ආකාරයෙන් ඇත. එක් එක් ග්‍රහයන්ට අදාළ දශා කාල සීමාව වෙන් කර ඇති ආකරය පිළිබදව පැහැදිලි යාන්ත්‍රණයක් ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථ වල සදහන්ව නැති නමුත් "චුල්ල ගණිතයාගේ සටහන් පොත" බ්ලොග් අඩවියේ විංශෝත්තරී දශා ක්‍රමයේදී ග්‍රහයන්ට දශාකාල වෙන්කීරීමේ නිර්මාණාත්මක යාන්ත්‍රණයක් දක්වා ඇති අයුරු නෙත ගැටුනි.එම ලිපියේද අමුතු ගතියක් ඇති නිසා එයද පහලින් දක්වා ඇත.එම ලිපිය කියවා බලා නැවත මෙතනට එන්න.

විංශෝත්තරී දශා කාල ගණනය කරන්නට අලුත් ක්‍රමයක්(චුල්ල ගණිතයාගේ සටහන් පොත)

ජන්මියකු මෙම විංශෝත්තරී මහදශා චක්‍රයට සම්බන්ධ වීම සලකා බලන්නේ ඔහුගේ ජන්ම මොහොතේදී සදුගේ පිහිටීම අනුවය.පෘථිවිය වටා අංශක 360 වෘත්තාකාර පෙදෙස කොටස් 27 කට බෙදා වෙන්කර ඇති නැකැත් 27 චක්‍රයේ ජන්මියාගේ උපත සිදුවන විට සදු පිහිටියේ කුමන නැකැතේ කුමන කොටස එල්ලේද යන්න අනුව ජන්මියා උපදින විට ගතකරන දශාව හා දශ්වේ කිනම් කොටසද යන්න තීරණයවේ.
  මෙම මහදශා කාලසීමාවන් තවදුරටත් සියුම්ව බෙදා වෙන්කිරීමෙන් එම මහදශා වල අතුරු ,විදශා හා සූක්‍ෂම දශා කොටස් දක්වා ඇත.
 ජ්‍යොතිෂයේදී ජන්මියාගේ උපන් නැකත ලෙස සලකන්නේ උපතේදී සදු පිහිටන නැකතයි.මෙම නැකත අනුවම ජන්මියාගේ ආරම්භක මහදශාව තීරණය වේ.නැකැත් 27 අනුව හිමිවන ග්‍රහයන් නවදෙනා පහත පරිදි නැකැත් ත්‍රිත්වය  බැගින් බෙදී යයි.
  
    රවි            කැති,උත්‍රපල්,උත්‍රසල
    සදු            රෙහෙන,හත,සුවන
    කුජ           මුවසිරස,සිත,දෙනට
    රාහු          අද,සා,සියාවස
    ගුරු          පුනාවස,විසා,පුවපුටුප
    ශනි          පුෂ,අනුර,උත්‍රපුටුප
    බුධ           දෙට,අස්ලිස,රේවතී
    කේතු        අස්විද,මා මුල

       උපතේදී සදුගේ ග්‍රහස්ඵුථය අනුව ජන්මියාගේ උපන් නැකත හා එම නැකතට හිමි මහ දශාවත් ජන්මියා උපදින විට එම මහ දශාව ගෙවී යාමට ඉදිරියට ඇති කාල සීමාවත්(මහ දශා ශේෂය) ගනනය කල හැකිය.ඔබගේඋපන් කේන්ද්‍රයේ අවසානයට ඔබ ඉපදුනු මහදශාවත් එම දශාවේ ඉදිරියට තිබූ ශේෂයත් දක්වා ඇත.ඔබ උපන්නේ අඟහරු(කුජ) මහ දශාවෙන් නම් එහි කුජ මහ දශා ශේෂය ඉදිරියට වර්ෂ ... මාස ... දින ... ලෙසට සටහන් කර ඇත.
   ඔබ සතුව මේ මොහොතේ ජන්ම කේන්ද්‍රය නැත්නම් ඔබ උපන් නැකත මහ දශාව හා දශා ශෙෂය ලබා ගැනීමට මාවිසින් සැකසූ සරල පරිඝණක වැඩසටහනක් පහත දක්වා ඇත.එය ඔබේ පරිඝනකයට භාගත කොට ඔබගේ ජන්ම නැකත මහ දශාව හා දශා අපහරණය ලබා ගන්න.(මෙහි නැකත දශා අපහරණයට අමතරව ලග්නය හා ග්‍රහයන් කීප දෙනෙකුගේ ග්‍රහස්ඵුථයද ලැබේ.)

 භාගත කිරීමට මෙතනින් යන්න (download LITTLEHO.rar --> Extract --> run LITTLEHO.EXE)

 මෙමගින් ලැබෙන උපන් මහ දශා ශේෂය අනුව උපන් මහ දශාව ගෙවී යන දිනට ඔබේ වයස බලා එතැන් සිට ඊලගට ලබන මහ දශාධිපති ග්‍රහයන්ගේ මහ දශාවලට අයත් වසර ගනන් එක් කරමින් ඔබට වර්තමානයේ ගෙවෙන මහ දශාව ඔබටම සොයා ගැනීමට අපහසු නැත.මෙය උදාහරණයකින් පහත දක්වා ඇත.
   2011 දෙසැම්බර් 15 උපන් අයකුගේ මහ දශා ශේෂය බුධට ඉදිරියට වර්ෂ 7 යි මාස 10 දින 21 ක් වේ යැයි සිතමු.ප්‍රථමයෙන්ම ජන්මියාගේ උපන් මහ දශාව වන බුධ මහ දශාව ගෙවී යන දිනය සොයා ගැනීමට උපන් දිනය හා මහ දශා ශේෂය එකතු කරමු.
                                                         2011.12.15
                                                              7.10.21
                                                          -------------
   බුධ මහ දශාව ගෙවී යන දිනය   =       2019.11.16

 බුධගෙන් පසු ලබන්නේ කේතු මහ දශාවයි එය වර්ෂ 7ක් පවතී.
                                                             2019.11.16
                                                                 07.00.00
                                                              --------------
    කේතු මහ දශාව ගෙවී යන දිනය  =     2026.11.16 

 කේතු මහ දශාවෙන් පසු ලබන්නේ සිකුරු මහා දශාවයි.එය අවු 20කි.
                                                                   2026.11.16
                                                                       20.00.00
                                                                  ------------- 
   සිකුරු මහ දශාව ගෙවී යන දිනය      =       2046.11.16    
  සිකුරු මහ දශාව ගෙවීමෙන් පසු රවි මහ දශාව ලබයි.එය අවු6කි.
  මේ ආකාරයට ඉදිරි දශාවන්ට අදාල කාල සීමා එකතු කිරීමෙන් මහ දශාවන් ගෙවී යන දිනයන් සොය ගත හැකිය.

  අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රයන්ට බෙදුනු අනුපාතයටම එක් එක් මහ දශා කාල සීමාවන්ද තවත් අතුරු දශා කාල වලට බෙදී යයි.එක් එක් මහදශා කාල සීමාව තුල අතුරු දශාවන් ගෙවී යන ආකරය පහත වගුවෙන් දැක්වේ.      
     එම වගුව අනුව එක්එක් මහ දශා කාලය තුල අතුරු දශාවන් ගෙවී යන අයුරු තමන්ටම බලා ගත හැකිය.

                         

                                                   -----  මතු සම්බන්ධයි.   -----

3 comments:

මාතලන් said...

ඕන් අපිත් ලිව්වා රාජ යෝග ගැන..

Chamantha Thilina said...

එතකොට අය්යේ අන්තර් දශා කියන්නෙ??? හොයන ව්දිහත් පොඩ්ඩක් කියන්නකො....

jhothishalanka said...

@චමන්ත මල්ලී
ඉදිරි ලිපියෙන් ඒ ගැන කියමි.

Related Posts Plugin for WordPress, Blogger...