Thursday, December 15, 2011

මේ කවුද මොනවද කරන්නේ.....

  මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස වැඩි ප්‍රමානයක් "ගම්උදාව" යටතේ ඉදිකළ නිවාස විය.මගේ පාසැල් මිතුරකුගේ පවුලටත් එලෙස නිවසක් හිමි විය.දිනක් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ එම මිතුරාගේ නිවසට ගිය විට එහි තිබූ අරුම පුදුම වෙනසක් දැක ඒ පිළිබදව ඔහුගෙන් විමසීය.එම නිවසේ බිත්තියේ සවි කර තිබූ බුදු පිළිමයට ඉහළ මට්ටමින් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායා රුවක් එල්ලා තිබුනි.හය වසරේ පමණ සිටි කුඩා දරුවන් වුවත් බුදු පිළිමයට ඉහළින් ප්‍රේමදාස රුව එල්ලා තිබීම අපගේද පිළිකුලට ලක් විය.ඒ පිළදබදව මිතුරාගෙන් විමසූ විට
 "ඕක අපේ තාත්තගේ වැඩක්.අම්මලා ආච්චිලානම් ඔය වැඩේට කැමති නෑ ඒත් එයා කියන්නේ ගෙවල් නැතිව හිටපු අපිට ප්‍රේමදාස මහත්තයා බුදු හාමුදුරුවන්ටත් වඩා වටිනවා කියලා.ඔය පොටෝ එක එල්ලපු ගැන තේරුම් කරලා දෙන්න ගියොත් එයා බීලා ඇවිල්ල අපිට ගහයි."

-------------------------------------------------------------------------------------------------------------
  දිනය   - 1993 මැයි 1 වෙනි සෙනසුරාදා
 වේලාව -  දවල් 1 ට පමණ

  ගම ඇඹිලිපිටියෙ වූ මගේ වයසේ ඉතා ඇට්ටර කොල්ලෙකු හදිසියේ අප වෙත දුව ආවේය

 "හුරේ...අපිට දවස් ගානක් නිවාඩුයි.මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මැයි පෙළපාලියකට යන්න ගිහින් ප්‍රේමදාසට බෝම්බ ගහලා මරලා"
  "අනේ පලයන් යන්න බොරු කියන්නේ නැතිව"
 "බොරු නෙවෙයි  අන්න ටී.වී එකෙත් කියනවා වරෙල්ල යන්න බලන්න"
 අපි සැවොම ටී.වී එක ඇති තැනට දිව්වෙමු.අපි යනවිටත් විශාල පිරිසක් ටී.වී එක ලගට වී විස්තර බලමින් සිටී.
   "අයියෝ මේ මනුස්සයා මේ පෙළපාළිය අස්සේ මොකට ගියාද?" ඒ ගුරුවරයෙකුගේ හඩකි.
   " මෙයා මැරුණු එකමයි හොද.අපේ පැතිවල මිනිස්සු දැන් රතිඥඤ පත්තු කර කර කිරිබත් කනවා ඇති" ඒ ඇඹිලිපිටිය පැත්තේම කොල්ලෙකු කී දෙයකි.
  "කට වහගන්නවා වැඩිහිටියකුට ගෞරව කරන්න තමුසෙලට තේරෙන්නේ නැද්ද?ලග පාතක හිටියනම් මම තමුසෙගේ කන පලනවා."  කොල්ලා කී දෙය ඇසුනු ඈතින් සිටි වැඩිහිටි ගුරුතුමෙක් කොල්ලාට සැර කලේය.

------------------------------------------------------------------------------------------------------------------------------

 ඉහත දැක්වූයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා පිළිබදව දෙආකරයකින් ඇසූ දුටු සිද්ධි දෙකකි.(දෙවන සිද්ධිය අගනුවර ප්‍රසිද්ධ පාසැලක ශිෂ්‍ය නේවාසිකාගාරය තුල සිදු වූවකි.)පිරිසක් ඔහුව බුදු හාමුදුරුවන්ටත් ඉහළින් ගරු සරු කරන විට තවත් පිරිසකට ඔහුගේ මරණයද සතුටක් විය.ඉහත දැක්වූ විස්තරය මා ඉදිරිපත් කළ ආකරය ඇතැම් විට ඔබගේ නොසතුටට හේතු විය හැකිය.නමුත් මා දැක්වූයේ ඉතා සත්‍ය විස්තරයක්මය.ප්‍රේමදාස මහතාව බුදුන්ට ඉහළින් සැළකීමත් ඔහුගේ මරණයට සතුටු වීමත් දෙකම මෝඩ දීන ක්‍රියා ලෙස මගේ සැලකීමයි.
      ක්‍රි.ව. 1924 ජුනි 23 දා පාන්දර 3.27 ට පමන කොළඹදී උපන් ප්‍රේමදාස මහතාගේ දෙමාපියන් හා පවුලේ විස්තර පිළිබදව වැඩි සදහනක් නැත.ඔහු පිළිබදව ලේඛන සටහන් ආරම්භ වන්නේද ඔහු ඒ.ඊ.ගුණසිංහ මහතාගේ කම්කරු පක්‍ෂ සාමාජිකයකු වීම සමඟය.ඉන්පසු 1950 දී එක්සත් ජාතික පක්‍ෂයට බැදෙන ඔහු මැද කොළඹ ආසනයෙන් දේශපාලන ගමන් මඟ අරඹයි.ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ මුල් අවධිය සැඟවී පැවතීමට හේතුව ලෙස බොහෝ දෙනා දක්වන්නේ ඔහු කුල හීනයකු වීම බවයි.කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයේ අධික ලෙස පැවති සුරාසුල් වලට විරෝධය පෑම නිසා ඔහු ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වී ඇති අතර දේශපාලනයට පැමිණීමද තැබෑරුම් වැසීමේ ජන්ද පොරොන්දුවක් සමඟ සිදුවී ඇත.(සුචරිත ව්‍යාපාරයේ නිර්මාතෘ ප්‍රේමදාස මහතා කිසිදිනෙක මත්පැන් පානය කොට ඇති බවට තොරතුරු නැති නමුත් තැබෑරුම් වැසීමට ජන්දය ඉල්ලූ ඔහු පසු කලෙක තම හිතවතුන්ට තැබෑරුම් ඇරීමට අවසර දී තිබීම හාස්‍යයට කරුණකි.)
  ප්‍රේමදාස මහතාගේ දිවියේ වැදගත් සංධිස්ථාන
 *  1950 දී එක්සත් ජාතික පක්‍ෂයට එකතු වීම.
 *  1967 දී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා වීම හා "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව" පිහිටුවීම
 * 1978 දී ජේ.ආර් ජයවර්ධන රජයේ අගමැති වරයා වීම
 * 1989 ජනවාරි 2 වැනි දින නිදහස් ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වීම
 * 1993 මැයි 1 දින එල්ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීම.

  ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රය දෙස නැවත යොමු වෙමු.

1924 ජුනි 23 පාන්දර 3.27 ට ප්‍රේමදාස මහතා ඉපදී ඇත්තේ මේෂ වෘෂභ ලග්න මායිමකදීය.(දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙකු ලග්න මායිම් අවස්ථාවල ඉපදී ඇත.) බොහෝ ජ්‍යොතිෂ මෘදුකාංග වල මේ වේලාවට වෘෂභ ලග්නය යෙදුනත් පුරුෂ උපතකට වෘෂභ ලග්නයේ මුල් ස්ත්‍රී නවාංශකය නොගැනීමේ පැරණි සිද්ධාන්තය අනුව සලකා ප්‍රේමදාස මහතා මේෂ ලග්නයේ ධනු නවාංශකයෙන් ඉපදී ඇති බව සලකා ඇත.



               පුවපුටුප නැකත දෙවන පාදය
  ගුරු මහ දශා ශේෂය වර්ෂ 11 මාස 09 දින 18යි

ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති බලවත් ග්‍රහ යෝග
    * හත් වැන්නේ ශනි උච්ච යෙදී ඇති බලවත් "සස" නම් පංච මහා පුරුෂ යෝගය
    * රවිගෙන් 12 වැන්නේ බුධ පිහිටමෙන් "වොෂි" යෝගය
    * සදු හා කුජ 11 වැන්නේ යෝගවී "චන්ද්‍ර මංගල " යෝගය
    * සදු හා ගුරු කේන්ද්‍රගත වීමෙන් යෙදන "ගජ කේෂරී" යෝගය
    * සියළුම ග්‍රහයන් (රාහු කේතු හැර) රාශි 5ක තැන්පත් වී යෙදෙන "පාශ" යෝගය
    * සදුගෙන් 10 වැන්නේ ගුරු පිහිටීමෙන් යෙදෙන "අමලා" යෝගය
    * රවි,සදු,කුජ එකිනෙකා ත්‍රිකෝණගත වීමෙන් යෙදන "ත්‍රිලෝචන" යෝගය
    * මීට අමතරව රාජ යෝග දෙකක් රාජ සම්බන්ධ යෝග  2ක් විපරිත රාජ යෝග දෙකක් යෝගදා හා මහා යෝගදා යෝග දෙක බැගින් ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇත.           


 ප්‍රේමදාස මහතාගේ යෝග කාරක ගුරු ග්‍රහයා උපතේදී අටවැන්නේ සිටීමත් එම ගුරු මහ දශාව වයස අවු 12 පමණ වන තුරු තිබීම මහු කුඩා කාලයේ තරමක් දුක් පීඩා විදි අයකු බව පෙන්නුම් කරයි.නමුත් මෙම ගුරු ග්‍රහයාම ජීවිතයේ අඩිතාලම නැංවීමට උපකාරී වී ඇත.රාහු පස් වැන්නේ තැන්පත් වීම හා වයස අවු 12 පමණ සිට ඉදිරියට වසර හත හමාරක් ශනි මහ දශාව සමඟ ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලය ලැබීම ඔහුගේ අධ්‍යාපනයටත් සෞඛ්‍ය තත්ත්වයටත් අයහපත් අයුරින් බලපා ඇත.නමුත් වයස අවු 20 දී පමණ ශනි ඒරාශ්ඨකය ගෙවීමත් සමඟ උපතේදී උච්චව සස යෝග බලයෙන් සිටින සෙනසුරුගේ බලය ඉස්මතුවී ඇත.ප්‍රේමදාස මහතාගේ හිරිමල් විය ගැන විස්ත දන්නා අය පවසන ආකාරයට ඔහු වටා හොද තරුණ සේනා බලයක් තිබූ බවයි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයන් ඉන් මුදවාගෙන සමාජ සේවා කටයුතු වලට යොමු කරවීමේ අමුතු බලයක් ප්‍රේමදාස තරුණයා සතු විය.දෙමාපියන්ද මෙනදසාම ප්‍රේමදාසව ප්‍රිය කලේය.කෙසෙල්වත්ත ප්‍රදේශයේ සුරාසැල් වලට තරුණයන් ඇබ්බැහි වීම වැලැක්වීමට කටයුතු කිරීම නිසා සුරාසැල් හිමියන්ට  ප්‍රේමදාසව සතුරකු මෙන් විය.කෙසේ හෝ පංච මහා පුරුෂ යෝගවලින් සේනාබලය හොදින් ලබාදෙන "සස" යෝගයේ බලය ශනි මහ දශව සමඟම ප්‍රේමදාසට හොදින් ඵල දුන්නේය.
      ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසීමද ශනි මහ දශාවේදීම සිදුවී ඇත.එක්සත් ජාතික පක්‍ෂයට ඔහු බැදෙන විට වයස අවු 26කි.ඔහුගේ ආරම්භක ඡන්ද පොරොන්දුව වූයේ කෙසෙල්වත්ත ප්‍රදේශයට පිළලයක් බදු සුරාසැල් අඩු කොට තරුණ පරපුර මත් රකුසාගෙන් ආරක්‍ෂා කිරීමයි.ඒ කාලයේ හැටියට එය අමුතු මෙන්ම වටිනා ඡන්ද පොරොන්දුවක් විය.එසේ අඩිතාලම වැටුණු ඔහුගේ දේශපාලන ගමන ක්‍රමයෙන් පුළුල් වන්නට විය.
  ප්‍රේමදාස මහතාගේ වික්‍රමස්ථානාධිපති මෙන්ම හය අධිපතියා වූ බුධ ග්‍රහයාගේ මහ දශාව වයස අවු 31 -47 අතර විය.උපතේදී බුධ ග්‍රහයා සිකුරු සමඟ බලවත් පරිවර්තනයකින් දෙවැන්නේ සිටී.එමෙන්ම මෙම බුධ මහ දශාවේ වැඩි කාලයක් ශනි ඒරාශ්ඨක අපල නැති කාලයක් විය.විවාහයද මෙම බුධ මහ දශාවේදී සිදුවී ඇත.හත්වැන්නේ සස යෝගය ඇත්තවුන් විවාහයෙන් පසු තත්ත්වයෙන් බලයෙන් වර්ධනය වන බව පැවසෙන ජ්‍යොතිෂ සිද්ධාන්තය පසක් කරමින් විවාහයත් සමඟ ප්‍රේමදාස මහතා තවත් බලවත් විය.1967 වසරේදී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා බවට පත්විය.
                                  ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී බලපෑම් රාශියක් සිදුවූයේ 1978 -1993 අතර කාලසීමාවේදීය.උපතේදී ඉතා තීරණාත්මක පිහිටීමක සිටි සිකුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වන විටම 1978 දී ඔහු ජේ.ආර්. ජයවර්ධන රජයේ අගමැති වරයා බවට පත්විය.1989 දී දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත්වන විට  සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාව ගතකරමින් ඇත.නමුත් ජනපතිවීමත් සමඟ එතෙක් සාමකාමී සැහැල්ලු දිවියක් ගතකල ඔහුට මහා අවුල් ජාලාවකට මුහුණ දීමට සිදුවිය.සිකුරු ග්‍රහයා උපතේදී වික්‍රමස්ථානයේ වුවත් හය අධිපති බුධගේ රාශියක තැන්පත් වීම හා සිකුරු සතුරුස්ථානාධිපති බුධ සමඟ පරිවර්තනය වී තිබීම සිකුරු මහ දශාව තුලදීම ජීවිත හානිය සිදුවීමට තරම් බලපා ඇත.
    ප්‍රේමදාස මහතා පිළිබද අසා ඇති තෙරතුරු අනුව ඔහු ඉතා කඩිසර හා නිරෝගී පුද්ගලයකු විය.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම සහ 10 ,11 අධිපති ශනි හත්වැන්නේ උච්ච හා දිග්බලයෙන් සිටීම දුප්පත් පීඩිත මිනිසුන් නිසා හා බස්නාහිර දිශාවෙන් වාසනාව ප්‍රසිද්ධිය ලබාදුනි.දුප්පත් මිනිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල රාජ්‍ය නායකයින්ගේ ලේඛනයක් සකස් කල විට එහි ඉදිරියෙන්ම සටහන් වන්නේ ප්‍රේමදාස මහතාගේ නාමයයි.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම ඔහු සතුවූ තවත් විශේෂ ලක්‍ෂණයක් පිළිඹිබු කරයි.පීඩිත මිනිසුන් වෙනුවෙන් සානුකම්පාවක් තිබූ ඔහු විප්ලවවාදීන් හා සමාජවාදීන් බැහැර කලේය. මෙවැනි පුද්ගලයන් මෙන්ම තමාට විරුද්ධ වන අය මර්දනය කිරීමේදී ප්‍රේමදාස මහතා ඉතා අමානුෂික හා රළු පිළිවෙත් අනුගමනය කල බව රහසක් නෙවීය.ඔහු සෑම විටෙම ප්‍රදර්ශනය කලේ ලංකාව වැනි රටකට සමාජවාදී ක්‍රමයකින් දියුණු විය නොහැකි බවය.තමාගේ පාලන කාලය තුල දැඩි මාධ්‍ය මර්ධන පිළිවෙතක් අනුගමනය කල ප්‍රේමදාස මහතාගේ එම ක්‍රියා එදා පාසැල් සිසුන්ව සිටි අපද බැහැර කල නමුත් අද කාලයේ ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය දුටු විට ප්‍රේමදාස ක්‍රමය එදාට වඩා අදට ගැලපෙන්නාසේ පෙනේ.(ආණ්ඩුවේ මාධ්‍ය නම් එදාත් අදත් එක හා සමානය.)
  තමා මුහුණ දුන් බරපතළ ප්‍රශ්ණ හමුවේ වුවද තමාගේ පාලන කාලය තුලදී රටේ සංවර්ධන කටයුතු හොදින් පවත්වා ගෙන යාමට ප්‍රේමදාස මහතා සමත් විය.එදා සිටි දැඩි ප්‍රේමදාස විරෝධීන් පවා අද පවසන්නේ "ප්‍රේමදාස උන්නැහේ තව අවුරුද්දක් ජීවත් වුනානම් අපි කෝච්චියෙන් කතරගම යනවා" වැනි වදන්ය.
  පේමදාස මහතාට ඉතා තදින් සතුරු කරදර එල්ල වූ අවස්ථාවක් ලෙස "දෝෂාභියෝගය" එල්ල වූ අවස්ථාව නම් කල හැකිය.මෙම අවස්ථාවේදී ඔහු ගතකලේ සිකුරු මහ දශාවයි.මේ වන විට ශනි ගෝචර ගමනින් එතුමාගේ උපතේදී සදු පිහිටි රාශිය වූ කුම්භ රාශියට ලඟා වෙමින් තිබුනි.දෝෂාභියෝගයෙන් ජයගත්තත් ඔහුට රහස් කුමන්ත්‍රණ විරුද්ධකම් වලට නින්දා අපහාස වලට ලක් වීමට සිදු විය. චන්ද්‍ර ඒර්ශ්ඨකයකදී පුද්ගලයකු විදින මානසික පීඩාව කෙබදුද යන්න මෙහි උච්චතම අවස්ථාවකදී ඔහු විසින් කිරුළුපන රැලියකදී පැවසූ "මා ඝාතනය කරන්න.ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා." යන ප්‍රකාශයෙන් පැහැදිළිවේ.1993 මාර්තු 5 වැනි දින ශනි කුම්භ රාශියට(ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ සදු සිටින රාශිය) සංක්‍රමණය වෙමින් චන්ද්‍ර ඒරාශ්ඨක අපලයේ වැඩිම පීඩනය දියත් කළේය.හරියටම එම ශනි මාරුවෙන් මාසයකුත් දින 26 කට පසු එනම් 1993 මැයි 1 දින මැයි පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී ඔහුව ඝාතනය වූයේ නොසිතූ අයුරිනි.
    ප්‍රේමදාස මහතා මෙරට පාලනය කල බොහෝ ජන නායකයන් මෙන් ජ්‍යොතිෂය ආදී පාරම්පරික ශාස්ත්‍ර ක්‍රම පිළිබදව විශ්වාසයක් තබා සිටි අයකු විය.එදා මාධ්‍ය වල තිබූ ඉතා තදින් දේශපාලඥයන්ගේ චරිත ඝාතනය කිරීමේ පිළිකුල් ස්වභාවය නිසා ඔහුගේ ජ්‍යොතිෂ හා ආගමික පිළිපැදීම් උවමනාවට වඩා හාස්‍යයට උපහාසයට ලක් කොට තිබීමක් දැකිය හැකි විය.එවැනි අවස්ථා කීපයක් පහත සැකෙවින් දැක්වේ.
   * වරක් ප්‍රේමදාස මහතා කතරගම දේවාලයට ගිය අවස්ථාවක "කතරගම දෙවියන්ගේ රුව සලකුණු කරන ලද තිරයට එහා පසින් ඇත්තේ කුමක්ද යන්න (කතරගම දෙවි රූපයක්ද පිළිමයක්ද හෝ වෙනත් යමක්ද යන්න)දැක බලා ගැනීමේ බලවත් ආශාවක් පහළ වී ඇත.තමාට එම තිරය පිටුපස ඇත්තේ කුමක්ද යන්න පෙන්වන ලෙස ප්‍රථාන කපු මහතාගෙන් අවසර ඉල්ලීය.කපු මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රේමදාස මහතා තදින් කෝපාවිශ්ඨ වූ බවට මාධ්‍ය වාර්තා පලවී තිබුණි.
   * ප්‍රේමදාස මහතාගේ අවසන් කාල සීමාවේදී ඔහු තමාගේ ශනි ඒරාශ්ඨක අපල මිදීමට කල්ලු මලයාල ශාස්ත්‍ර ක්‍රම භාවිතා කල බවත් එවැනි මලයාලම් ගුරු උපදේශයක් අනුව කන්‍යාවියන් සත් දෙනෙකු ලවා කිරිකළ හතක් නෑම සිදු කිරීම(එක් මාධ්‍ය පුවත්පතක් මෙය වාර්තා කොට තිබුනේ අදාළ කිරිකළ නෑම කිරීම සිදුකලේ හෙළුවැල්ලෙන් හිදිමින් යනුවෙනි.)
   
  මාධ්‍ය වාර්තාවල මෙලෙස සදහන් වුවත් ඔහු ජ්‍යොතිෂය පිළිපැදීමේදී මෙවැනි ක්‍රියා මෙලෙසම සිදුකලායැයි ඉතා නිවැරදි තොරතුරු නැත.එවැනි තොරතුරු කටකතාවන් ස්වරූපයෙන් ඇත.(කටකතා වැනි එවැනි තොරතුරු කිහිපයක් ලිපියට එක්කිරීම ගැන පාඨකයන්ගෙන් සමාව අයදිමි.)
  ප්‍රේමදාස මහතා ස්වකීය ජීවන තොරතුරු විමසීමට ඉන්දියාවට ගොස් "නාඩි වාක්‍ය" ඇසූ බවට සත්‍ය තොරතුරු ඇත.ඒ බව ඔහු විසින්ම සදහන් කොට ඇත.නාඩි වාක්‍ය අසන තැනට සාමන්‍ය පුද්ගලයකු ලෙස තමා ගිය බවත් එහි සිටි ඉන්දියානුවන් කිසිවෙකුට තමාව හදුනා ගත නොහැකි වූ බවත් නාඩි තල්පත කියවීමේදී තමාගේ නම කතා කලේ "ප්‍රේමදාස්" ලෙස බවත් ඔහු විස්තර කර තිබුණි.ඔහුම පවසන ආකාරයට නාඩි වාක්‍යයෙන් කියවුනු ජීවන තොරතුරු සත්‍ය වී ඇත.නමුත් තමාගේ  විවාහය ,මරණය සිදුවන ආකාරය හෝ ආයුෂ පිළිබදව නාඩි වාක්‍යයෙන් පැහැදිලි කිරීමක් නොවුනු බව ඔහු පවසා තිබුනි.

3 comments:

මාතලන් said...

ප්‍රෙමදාස මහත්තයා මැරුණ දවසෙ. ඉස්සෙල්ලම නිව්ස් එක ගියේ. පොර අතුරුදහන් කියලා. හැමෝම හිටියේ රේඩියෝ ටී වී ළඟට වෙලා. මේ වෙලාවේ අපිට ප්‍රේමදාස මහත්තයගෙන් ලැබුන ගෙදර දොරට කවුද තට්ටු කළා. මම දොර ඇරලා බැලුවා. උඩ ගෙදර ප්‍රින්සිපල් මහත්තයා. පුතා පොඩ්ඩක් එලියට එනවද. ඇයි අංකල්. පොඩි කතාවක් තියෙනවා කියන්න. ඔහේගේ මමා මහ පුදුම මනුස්සයෙක්. ඔය හැමෝම කියනවා නේ මහත්තයා (ප්‍රේමදාස මහත්තයට කිට්ටු අය කියන්නේ එහෙමයි.) මිසින් කියලා. නෑ මහත්තය මැරිලා.. අංකල් කොහොමද එහෙම කියන්නේ. තාම හරි නිව්ස් එකක් නෑනේ. මම තමයි පුතා අංකල් (මගේ මාමන්ඩි.) එක්ක මහත්තයාගේ හඳහන ලිව්වේ. එයා කිව්වා 1993 මැයි 1 දා අනිවාර්යයෙන් ප්‍රේමදාස මහත්තයා මැරෙනවා. ඒ මැරෙන්නේ පිච්චිලා කියලා. මට කිව්වා මේක කාටවත් කියන්න එපා කියලා. මම මේක මගේ නෝනටවත් කිව්වේ නෑ. 100% විස්වශ නිසයි පුතාට කිව්වේ. අපි බලමු කියපු අනික්වත් හරිනේ. බලමු බලමු. කිව්වත් වගේ ටික වෙලාවකින් නිව්ස් එක ගියා. ආමර් වීදීයේදි නිවන් ගියයි කියලා.

මාමන්ඩි එච්චර ජනප්‍රිය නෑ. මොකෝ මිනිහගේ චාජර්ස් සැරයි. ලොක්කොන්ගේ සල්ලි කාරයන්ගේ ඒවා විතරයි බැලුවේ. 88-89 මරණවා කියලා ලියුම් ගෙදරට දීලා ගියාම් හිනා වෙනවලු. මම මැරෙන්නේ මෙදාට කියලා. කියපු දවසෙ, කියපු වෙලාවටම මැරුණා. ප්‍රසිද්ද අය මැරුණම එයාලගේ හිතවත් අය, මාමන්ඩි හොයාගෙන ඇවිල්ලා හඳහන් බලන් යනවා. ඒ උනාට කිසිම කෙනෙකුට මැරෙණ දවස කිව්වේ නෑ. වෙන කෙනෙකුට තමයි කියන්නේ. අපිටත් කියපුවා හරි. ඒත් අද හඳහන බලාගන්න කෙනෙක් නෑ. හරියටම කියන.

මෙන්න පොර ගැන මම දාපූ ලිපිය..
http://maathalan.blogspot.com/2010/06/astrology-predictions.html

දෝශාභීයෝගේ වෙලාවේ ඇතුලත්මුදලිගෙයි ගාමිනිගෙයි හඳහන් බැලුවා කියලා මහත්තයා තරහ වෙලා උන්නේ මාමන්ඩිත් එක්ක. ඒ දෙන්නටත් කියලා තියෙනවා මේක කරන්න එපා කියලා. පස්සේ කාලේ ඒක ආරංචි උනේ. 92 මාමන්ඩිගේ මරණෙටවත් මහත්තයා ආවේ නෑ.

ලහියා said...

මම ජෝතිෂ්‍යය විස්වාස කළේ නෑ.. ඒත් පස්සේ කාලේක මම ගණිතය අදහන්න ගත්තා.. ඒක නිසා ජෝතිෂ්‍යය අදහන්නේ නැතුව ඉන්න මට සදාචාරාත්මක අයිතියක් නෑ කියලා හිතුනා.

ජෝතිරත්න said...

@මාතලන්
මට මතකයි එක දවසක් ජ්‍යෝතිෂ්‍ය සම්බන්ද දොරමන්දලාව වැඩසටහනක් බැලුව. ඒකට අවේ පියසේන රතුවිතානයි , ප්‍රෂන්ත් මලවිගෙයි තව නම මතක නැති රුපවාහිනියේ ජනප්‍රිය ජ්යෝතිර්වෙදියෙකුයි. ඒ අය ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන් කතාකරනකොට අනික්පැත්තෙන් සහබාගි උනේ හේතුවාදීන්ගේ සංගමයේ සබාපති වෙච්ච නීතිඥවරයෙක්(3:1 අනුපාතය.දොරමඬලාවනේ!!!) . කොහොම හරි දෙපැත්තම වාද විවාද කරා ජ්යෝතිශ්යයේ හරි වැරැද්ද ගැන.අන්තිමට හේතුවාදීන්ගේ සංගමයේ සබාපති අබියෝග කරා පුලුවන්නම් 5 දෙනෙක්ගේ මැරෙන දිනයයි වෙලාවයි නිවැරදිව කියන්න එහෙනම් මම ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරනවා කියල. පියසේන රතුවිතාන එක පාරටම අබියෝගය බාරාගත්තා. තමන්ට එහෙම කියන්න බැරිනම් තමන් ජ්‍යෝතිෂ්‍ය වේදියෙක් නෙවෙයිය එහෙම බැරි උනොත් ලක්ෂ තුනක(මතක හැටියට 3) මුදලක් දෙන බවත් කිව්වා.අනෙක් දෙන්න සද්ද නැතුව හිටියා. ඊට ටික කාලෙකට පස්සේ මට මතක හැටියට රාවය පත්තරේද කොහෙද තිබුන අබියෝගය බාර ගත්තට අන්තිමට හේතුවාදීන්ගේ සංගමයේ සබාපතිවරයා කොච්චර උත්සක කරත් 5 දෙනෙක්ගේ මැරෙන දිනයයි වෙලාවයි පියසේන රතුවිතානගෙන් දැනගන්න එයාව සම්බන්ධ කරගන්න බැරි උන බව.
ප.ලි
නම් ගම් සඳහන් උනාට මේක රටම දන්නා දෙයක් නිසා පලකිරීමේ වරදක් ඇති කියල මන් හිතන්නේ නැහැ.

Related Posts Plugin for WordPress, Blogger...